Divaina - කින්නියා උණු දිය ළිං පුරාවිදු බිමේ උරුමය අනතුරේ.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

unu diya1

 

මුළු රටම ඇත්තේ තැති ගැන්මකය. බෝම්බ පිපිරීම පිළිබඳ බියකින් නොවේය. දැන් ඒ බිය පහව ගොස් අවසන්ය. බෝම්බ වලට වඩා දරුණු වන්නේ ගර්භාෂ යුද්ධයය. නූපන් පරපුරක් තිඹිරිගෙහිදිම මරා දැමූ පසු නිතැතින්ම ජාතියක් වඳ වී යන බව ධර්මපාලතුමා කියා ඇත. දැන් මුළු රටේම අවධානය යොමුව ඇත්තේ එම අනතුර කෙරෙහිය. මිනිසුන්ගේ අවධානය ඒ දෙසට යොමුව තිබෙන විට ආක‍්‍රමණිකයා විවිධ වෙස් ගෙන විවිධ පැතිවලින් මතුවිය හැකිය. ඒ කුමන අයුරකින් පැමිණියද ඔවුන්ගේ අරමුණ එකක්මය. ඔවුන් වනසා දමන්නේ මේ රටත් මේ රටේ උරුමයත් ඒ හා බැඳි මහා සංස්කෘතියත්ය. අප මේ පූර්විකාව ලීවේ ති‍්‍රකුණාමලයේ කින්නියා උණු දිය ළිං භූමියේ ඇති ඓතිහාසික බොදු උරුමය ගිල ගැනීමට වෙර දරන බලවේගයක සැබෑ ස්වරූපය හෙළිකිරීම සඳහාය.
 
 
කින්නියා උණු දිය ළිං ප‍්‍රකටව ඇත්තේ එහි ජලයේ පවතින අසාමානය උෂ්ණත්වය නිසාය. ඒ නිසා මෑත ඉතිහාසයේ එය මේ රටේ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ගමනාන්තයක් ලෙස ප‍්‍රසිද්ධව ඇත. නමුත් උණු දිය ළිං පිහිටීම හේතුවෙන් එම ස්ථානය ප‍්‍රසිද්ධ වීමට ප‍්‍රථම මේ බිම අතීතයේදී සම්භාවනාවට පාත‍්‍රව ඇත්තේ ලෝකෝත්තර සුවයට පාර කියූ පින්බිමක් ලෙස පැවතීම නිසාය. එහි ආරම්භය ක‍්‍රි. පූ. දෙවන සියවස දක්වා දිගු ඉතිහාසයක් කරා දිව යන්නේය. එවකට මේ ප‍්‍රදේශයේ බෞද්ධ පුනරුදයේ සලකුණව පැවතියේ වෙල්ගම් රජමහා විහාරයය. කින්නියා උණු දිය ළිං පරිශ‍්‍රය එදවස වෙල්ගම් රජ මහා විහාරවාසී භික්ෂුන්ගේ පරිහරණය සඳහා වෙන්කර තිබිණ. එහි අදටත් නිරුපද්‍රිතව තිබෙන උණු දිය ළිං නිර්මාණය කර ඇත්තේද එම භික්ෂූන්ගේ පැන් පවස නිවාලීමටය. මෙය බෞද්ධ උරුමයක් බව සනාථ වීමේ වැදගත්ම සාක්ෂිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහත් පරිශ‍්‍රමයක් දරා පසුගිය කාලයේ එහි සිදුකළ කැණිම් වලදී සොයා ගත් සෙල් ලිපියයි. ‘‘ මහරජ කුජ විය. මරුදවිය හ බොජියපති. බොජියපති හ චපල.මේ එතක තනහි. සගහය දිනි. ’’ යනුවෙන් ඉපැරණි බ‍්‍රාහ්මී අක්ෂරවලින් ලියවී ඇති එහි තේරුම ආචාර්ය දම්මි බණ්ඩාර මහතා විසින් පරිවර්තනය කර ඇත්තේ මෙසේය. කිසියම් මහරජෙකු විසින් කරවිය. මරුදවිය ආදි වැව් කිහිපයක බෝජක බද්ද සහ පල වැව සහ තවත් වැව් කිහිපයක් මෙම ස්ථානයේ වාසය කරන භික්ෂූන් වහන්සේට පූජා කරන ලදි. මෙය බෞද්ධයන්ට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු භූමියක් ලෙස තහවුරු කිරීමට එවැනි තවත් කොතෙකුත් සාධක ඇත.

නමුත් යුග යුග ගණනාවක් පුරා කාලයේ වැලි තලාවෙන් වැසී ගිය එම සාක්ෂි ඉතිහාසයේ මෑතක් වන තුරුම පැවතියේ මහ පොළවේ නිදන්ගතවය. එම ඉතිහාසය පොළොවෙන් මතුකර වර්තමාන ලෝකයට විවර කරගනු ලැබුවේ යුද බිය රටින් තුරන් වූ පසුවය. එයද නිරායාසයෙන් සිදුවූවක් නොවේය. එම උරුමය මතු පරපුරට උරුම කරදීම පිටුපස දුෂ්කර සටනක් තිබිණ. එහි මූල්කත්වය ගෙන කි‍්‍රයා කළෝද බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක්ය. ඒ වෙල්ගම් වෙහෙර විහාරවාසී ශීලවංශ හිමියෝය. යුද සමයේදී පවා ජීවිත අවදානමෙන් මේ ප‍්‍රදේශයේ උරුමය ආරක්ෂා කරගනිමින් වැඩ හිඳි ඒ හිමියෝ මේහි අතීතයත්, අනාගත අනතුරත් පිළිබඳ කතා කළේය.
 
unu diya2 
එක්දහස් නවසිය අනූව අනූ දෙක වගේ කාලේ ඉඳල තමයි ඔය පූජනීය භූමිය වනසන්න හැදුවෙ. ඒක කරේ එල්. ටී. ටී. ඊ. එක. බුල්ඩෝසර් දාලා ඔතන කෝවිලක් හදන්න සුද්දකරනකොට ඔතන පැරණි දාගැබක සලකුණු මතුවුණා. ඔවුන් ඩෝසර් කරලම ඒවා විනාශ කරන්න හදනකොට මම යුද හමුදාව මැදිහත් කරගෙන ඔය දාගැබ මතු වූ ස්ථානය කොන්ක‍්‍රීට් කරල වහල දැම්මා. ඒකෙන් පොලව යට තිබුණ නටබුන් ආරක්ෂා වුණා. ඒත් එල්.ටී ටී.ඊ. එක ඔතන උණුවතුර ළිං බලන්න එන අයට ටිකට් එකක් කඩලා ඔතන පාලනය අතට අරගෙන තිබුණෙ. නමුත් යුද්ධය ඉවරවුණාම උප්පුවේලි ප‍්‍රාදේශීය සභාව යටතට ඒ අයිතිය ගියා. දැන් ඔතන කෝවිලක් කියල තියන ඉදිකිරීම වෙන්නෙ ඒ කාලේ. අවුරුදු දහයක්වත් පරණ නෑ ඔය ඉදිකිරීමට. හැබැයි දැනට අවුරුදු දෙක තුනකට කලින් පුරාවිද්‍යා කැණීම් පටන්ගත්තට පස්සේ පැරණි දාගැබක කොටස් සඳකඩපහණ වගේ නටබුන් මතුවෙන්න පටන් ගත්තා. ඒවයින් තහවුරු වුණා මෙතන අනුරාධපුර මුල් යුගයේ ඉඳලම පූජා භූමියක් විදියට තිබුණ බවට. පස්සෙ පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුව මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරල කැණීම් වලදි හමු වූ දාගැබ සංරක්ෂණ කටයුතු පටන්ගන්න හදනකොට තමයි මේ විරෝධයක් ගෙනත් තියෙන්නෙ. මට තියෙන එකම කනගාටුව පුරාවිද්‍යාවෙන් මේ බෞද්ධ උරුමයක් බවට තහවුරු කරල තියෙද්දි දිසාපතිතුමා මැදිහත්වෙලා සංරක්ෂණ කටයුතු නවත්තපු එක. මම දන්නෙ නෑ පුරා විද්‍යා බිමක් කියල නම්කළ දේකට ඔහු මැදිහත්වෙන්නෙ කොහොමද කියල. එතන ගැටලූවක් තිබුණනම් ඒක පොලිසියට විසඳන්න දෙන්න තිබුණා. 
 

unu diya3  ශීලවංශ හිමියෝ කතා කළේ වේදනාවෙනි. කැණිම් සිදුකරන අවස්ථාවේ වත් නොතිබූ විරෝධයක් හදිස්සියේ මතුවීම සැකයට කරුණකි. එය උණු දිය ළිං බොදු උරුමයේ ඉතිහාසය මකා දැමීම සඳහා සිදුකරන දිගුකාලීන දේශපාලන ව්‍යාපෘතියක් බව ශීලවංශ හිමයෝ චෝදනා කරති. විරෝධතා කරුවන්ගේ පැටිකිරිය සොයාබලන විට පෙනෙන්නේ එම චෝදනාවේ සත්‍යතාව වටහා ගැනීමද එතරම් අපහසු නොවන බවකි. 
 
 
සංරක්ෂණ කටයුතු වලට විරෝධය පා තිබෙන්නේ කෝවිල් බාරකාර නමැති සංවිධානයකි. එම සංවිධානයට මුවා වී කෝවිල් අම්මා ලෙස එම ප‍්‍රදේශයේ ප‍්‍රකට කාන්තාවකද වන්නීය. ඇයට මේ විරෝධය සඳහා උත්තේජනය ලැබෙන්නේ දෙමළ ජාතික සංවිධානයේ ප‍්‍රබලයන්ගෙනි. මේ සියලූ බලවේග දැන් පුරාවිද්‍යා සාක්ෂි පවා අභියෝගයට ලක්කරමින් එම ස්ථානයේ රාවනා යුගයේ සිට හින්දු කෝවිලක් පැවති බවට ප‍්‍රවාදයක් ගොඩනැගීමේ උත්සාහයක නිරත වෙති. නමුත් එම මුග්ධ උත්සාහය තිඹිරිගෙහිදීම පරාජය කළ හැකි අනුල්ලංගනීය සාධක තවමත් එහි සුරැකිව තිබේ. එයට පැහැදිලි සාක්ෂිය වන්නේ මෙහි සංරක්ෂණ කටයුතු භාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ එම්. එච්. සුමනදාස මහතාගේ මේ ප‍්‍රකාශයයි.
 
 
මේ භූමියේ කැණීම් වලදි යුග දෙකකට අයත් නටබුන් හමුවුණා. දැනට නෂ්ඨාවශේෂව තිබෙන දාගැබ අනුරාධපුර මුල් යුගයට අයත් එකක්. කැණීම් වලදි හමුවූ සෑම පුරාවිද්‍යා සාධකයකින්ම තහවුරු වුණේ මේ ස්ථානය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස අතීතයේ පැවති බව. වෙනත් කිසිදු ආගමකට අයත් සාධක මේ පුරාවිද්‍යා බිමෙන් හමුවී නෑ. ඇත්තටම කැණිම් සිදුකරන කාලයේදි කිසිම ප‍්‍රශ්නයක් සිදුවුණේ නෑ. නමුත් කැණීම වලින් පස්සෙ දාගැබ සංරක්ෂණය කරන්න යද්දි තමයි හිටි ගමන් මේ විරෝධයක් ආවේ. නමුත් 2011 සැප්තැම්බර් 09 අංක 1723 ගැසට් නිවේදනය මගින් මේ ස්ථානය පුරාවිද්‍යාවට අයිති භූමියක් ලෙස නම් කරා. ඒ නිසා කැණිම් වලදි හමුවූ නෂ්ඨාවශේෂ සංරක්ෂණය කිරීමේ අයිතිය අපේ වගකීමක්. 
 
 
එහෙම තියෙද්දි දිස්ත‍්‍රික් ලේකම් මැදිහත්ව එය නැවැත්වීම විසුලූ සහගතයි. මේක තනිකරම දේශපාලන බලපෑම් මත සිද්ධ වෙන දෙයක් බව පැහැදිලියි. මේ කරන්නෙ උණුවතුර ළිං පරිශ‍්‍රය පෙර තිබුණා වගේ පුරාවිද්‍යාවෙන් ගලවලා උප්පුවේලි ප‍්‍රාදේශීය සභාවට ගෑවීමේ උත්සාහයක්. 
 
 
සහකාර පුරාවිද්‍යා කොමසාරිස් සුමනදාස මහතාගේ අදහස මේ විරෝධය පිටුපස දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වන බවය. ඇත්තෙන්ම ඔහු පමණක් නොව බොහෝ දෙනෙක්ගේ සැකය නාබිගතව ඇත්තෙ එම කරුණ කෙරෙහිය. සාමාන්‍ය මිනිස්සුන්ගේ සැකය ඒ තැන කරා රැගෙන ගියේ දිස්ත‍්‍රික් ලේකම් වරයාගේ කි‍්‍රයාකලාපයමය. මේ වන විට සේවා දිගුවක් ලබා ඇති ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික් ලේකම්වරයා දෙමළ ජාතික සන්ධානයේ හිතෛෂි වන්තයෙකු බවට දැන් ලෙබල් ඇලවෙමින් පවතින්නේය. එවැනි වතාවරණයක් මතුව තිබියදී පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකිරීම අත්හිටුවා ප‍්‍රශ්නගත සිදුවීම පිළිබඳ තිරණයක් ගැනීමට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට යොමු කළේ කුමන පදනමක් මතදැයි ප‍්‍රශ්නකාරීය. මන්ද ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ වැඩි බලයක් දෙමළ ජාතික සන්ධානයට හිමිය. එහි සම සභාපතීත්වය දරන්නේ දෙමළ ජාතික සංධානයේ නායක සම්බන්ධන් මහතාය. ඔහු හින්දු කෝවිල් ව්‍යාප්ත කිරීමේ අන්තගාමී ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරන බවට එම ප‍්‍රදේශයේ ජනතාව අතර චෝදනාවක් ඇත. හැරත් දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවකදි ප‍්‍රමුඛ වන්නේ ව්‍යාපෘති වලට ප‍්‍රතිපාදන වෙන් කිරීම වැනි කරුණුය. නමුත් පුරාවිද්‍යා බිමක් ලෙස නම් කර, සංරක්ෂණ කටයුතු සඳහා ප‍්‍රතිපාදනද වෙන්ව ඇති උණු දිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ එවැනි ගැටලූවක් නැත. එවැනි වාතාවරණයක මේ මතභේදය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට යොමු කිරීම යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකට සමානය. එහි භයානක ප‍්‍රතිඵලය වන්නේ නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයක් මහ දහවලේ කොල්ලකන තැනකට තල්ලූකර දැමීමය. නැගෙනහිර පමණක් නොව උතුරේද බෙදුම්වාදීන්ට අදටත් ඔවුනගේ සිතැගි ඉටුකර ගැනීමට බාධාව වී ඇත්තේ මේ මහ පොළව මත චිරාත් කාලයක් නිදන්ගතව පැවති බෞද්ධ උරුමය නිසාය. එම සාධක විනාශ කර දැමීමේ කුමන්ත‍්‍රණ ආක‍්‍රමණිකයාගේ තවත් ස්වරූපයක්ය. 
 
 
 
තිස්ස ගුණතිලක
 
 
ති‍්‍රකුණාමලය - සමන් මල්ලවාරච්චි

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles