Divaina - මාව මුණගැහෙන්න ආවේ රනිල්ගේ තාත්තා කියල දැනගත්තෙ පස්සේ... රාජකීය විදුහලේ දෙවැනි ගුරුවරිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

-  දෙවන කොටස

 

rajakiya1

මම මුලින් කිව්ව වගේ පුදුමාකාර යහපත් දරුවො පිරිසක් ඒ කාලෙ රාජකීය විදුහලේ ඉගෙන ගත්ත. ඒ කාලෙ හිටිය දේශපාලනඥයන්ගෙ දරුවො වැඩි දෙනෙක් ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙ. ඒ අය කවදාවත් තමන්ගෙ බල පුළුවන්කාරකම් පෙන්වන්න ආවෙ නැහැ. ගුරුවරුන් විදිහට අපිවත් ඒ අයට විශේෂයක් කියල දෙයක් දැක්වූවෙ නැහැ. පාසල් ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සෙ හැමෝම එක සමානයි. සිංහල, දෙමළ, මුස්ලිම් බේදයක් ඒ කාලෙ තිබුණෙම නැහැ. පුදුම සුහදත්වයක් සියල්ලන් අතරෙ තිබුණ. කොලූකමට කවුරු හරි දරුවෙක් පොඩි වරදක් කළත් දෙපාරක් අහන්න කලින් ඒක පිළිගැනීමේ ගුණයක් හැම කෙනෙක් ගාවම තිබුණ.
 
 
කොළඹ ලොකු ව්‍යාපාරිකයන්ගෙ දරුවොත් ඒ අතරෙ හිටිය. රාජකීය විදුහලේ සාමාන්‍ය පවුල්වල දුප්පත් දරුවොත් ඉගෙන ගත්ත. හැබැයි පාසල් ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ දුප්පත් පොහොසත් භේදයක් තිබුණෙ නැහැ. හැමෝම එක සමානයි. පුදුම සහෝදරත්වයක් ළමයි අතරෙත් තිබුණ...’’
 

rakiya2  රාජකීය සේවනෙහි එකල සිප්සතර හැදෑරූ ශිෂ්‍යයන් අතරින් කීපදෙනෙක් මේ වන විට ජාතික දේශපාලනයේ නිරත ප‍්‍රසිද්ධ පුද්ගලයන්ය. කලක් වීරබද්ධන ගුරු මාතාව ඇතුළු රාජකීය ආචාර්ය මණ්ඩලයේ ‘ගෝලයන්’ වූ ඔවුන් පිළිබඳව ගුරු-ගෝල මතකය අවදි කළ වීරබද්ධන මහත්මිය ඔවුන් පිළිබඳව මෙනෙහි කරන්නට වූයේ අතීතය සතු රසවත් මතකයන් අතර සැරිසරන හැඟීමකින් යුක්තවය.
 

rajakiya3  ‘‘ඒ කාලෙ... මගේ පන්තියක හරිම දඟයෙක් හිටිය. මෙයා කියන දෙයක් අහන්නෙම නෑ... අධ්‍යාපන කටයුතුවලට ඒ තරම් උනන්දුවක් දක්වන්නෙත් නැහැ. කරන්නම දෙයක් නැති තැන දෙමවුපියන්ට ඇවිත් මාව මුණගැහෙන්න කියල ගෙදරට ලිපියක් යැව්ව.
 
 
‘‘දවස් කීපයකට පස්සෙ විදුහල්පතිතුමා මට පණිවිඩයක් එවල තිබුණ අමුත්තෙක් ඇවිත් ඉන්නව එයාව මුණගැහෙන්න විදුහල්පති කාර්යාලයට එන්න කියල. මම කාර්යාලයට ගියාට පස්සෙ විදුහල්පතිතුමා ‘මේ ඇවිත් ඉන්නෙ වික‍්‍රමසිංහගෙ තාත්තා... පුතා ගැන තියෙන පැමිණිලි ඉදිරිපත් කරන්න කියල. ඒ පාර මම දරුවගෙ තියෙන අඩුපාඩු ගැන විස්තර කලා. එතුම ඉතාමත් සාවධානව ඒ දේවල් අහගෙන ඉදල බොහොම නිහතමානීව ඒ දේවල් පිළිගත්ත. ඒ ඇවිත් හිටියේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහත්තය කියල පස්සෙ මම දැන ගත්ත. එතුමා අපේ රටේ වර්තමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ තාත්ත. රනිල්ගෙ මල්ලි කෙනෙක් ගැන පැමිණිලි කරන්න තමයි මම එදා ගෙරදට ලිපියක් යැව්වෙ. මට දැන් ඒ දරුවගෙ නම මතක නැහැ. ඒකට එක හේතුවක් තමයි ඒ කාලෙ අපි ළමයින්ගෙ නම් අඬගහන්නෙ වාසගමින්. එදා තමයි මම දැනගත්තෙ රනිල් එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහත්තයගෙ පුතා කියල. උසස් පෙළ කරද්දි රනිල් හිටියෙ මගෙ පන්තියෙ. ඒ කාලෙත් රනිල් කියන්නෙ හරිම පිළිවෙළක් තිබුණ ඉතා කීකරු ළමයෙක්...’’
 
rajakiya8 
වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිබඳ මෙනෙහි කරමින් වීරබද්ධන මහත්මිය ආරම්භ කළ ශිෂ්‍ය නාමාවලිය තුළ මුණ ගැසෙන තවත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් දෙපළක් වන්නේ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක සහ දිනේෂ් ගුණවර්ධනය. ඔවුන් උසස් පෙළ පන්ති කාමර තුළ තමන්ගේ ශිෂ්‍යයන්ව කටයුතු කළ බව පවසා සිටි වීරබද්ධන මහත්මිය පසුකාලීනව දේශපාලන ක්‍ෂේත‍්‍රය තෝරාගත් තම ගෝලයන් පිරිසක් පිළිබඳවත් මෙනෙහි කරන්නට විය.
 
rajakiya4 
‘‘මම උසස් පෙළ පන්තිවලට උගන්වමින් ඉන්න අතරේ ඩිප්ලෝමා එකක් කළා. එතනදි ටික කාලයක් 6,7,8 ශ්‍රේණිවලට උගන්වන්න අවස්ථාව ලැබෙනව. මට මතකයි... හයේ පන්තියේදී මම සජිත් පේ‍්‍රමදාසට සමාජ අධ්‍යයනය ඉගැන්වුවා. එතුමත් අද අමාත්‍යවරයෙක්. සජිත්ගෙ පන්තියෙ හිටිය තවත් දීප්තිමත් ශිෂ්‍යයෙක් තමයි මහාචාර්ය සමන්ත හේරත් කියන්නෙ. මගේ මතකයේ හැටියට ඒ අවුරුද්ද 1976 වෙන්න ඕන. ඒ අවුරුද්දෙ සමන්ත හේරත් තමයි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනිය...’’
 
 
වීරබද්ධන මහත්මියගෙ ශිෂ්‍ය පරම්පරාව අතරට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් වන රවි කරුණානායක හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ද අයත්ය. මහත්වූ ගුරු භක්තියකින් තවමත් ඔවුන් කටයුතු කරන බව පවසා සිටි වීරබද්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ රාජකීය දරුවන් තුළ එදත් අදත් ගුරු ගෞරවය පිණිස විශාල නැඹුරුවක් පවතින බවක්ය. අධ්‍යයන කටයුතු මෙන්ම විෂය බාහිර ක‍්‍රියාකාරකම් ආදියෙහි සමත් විශාල සිසුන් පිරිසක්ද එකල රාජකීය විදුහලෙහි අධ්‍යාපනය ලබා ඇත. ඔවුන් අතරින් වැඩි දෙනෙක් පසුකලෙක රටේ ඉහළ නිලතල ආදියට පත්වූ බවත් ඒ සඳහා බාහිර ක‍්‍රියාකාරකම් ආදියෙන් ලත් අත්දැකීම් බෙහෙවින් ඉවහල්වූ බවත් වීරබද්ධන මහත්මිය පවසා සිටියේ එකල තමන්ගේ ශිෂ්‍යයන්ව සිටි කීපදෙනෙකුගේ නම්ගම් පවා සිහිපත් කරමින්ය.
 
rajakiya5 
‘‘හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ, හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු රාජකීය විදුහලේ විවාද කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ ශිෂ්‍යයන්. ඔය අතරට හේම නලීන් කරුණාරත්න, අශෝක සේමසිංහ, සමන් අතාවුදහෙට්ටි, විකුම් කළුආරච්චි වගේ පසුකාලීනව ජනපි‍්‍රය වූ තවත් ශිෂ්‍යයන් පිරිසක් අයත්ව සිටී. ඒ අය සහභාගිවන සෑම විවාද තරගයක් ද වගේ ඒ කාලෙ අපි ජයග‍්‍රහණය කරනව. ඇත්තටම දැන් මට සමහර ශිෂ්‍යයන්ගේ නම් මතක නැහැ. අවුරුදු 84ක් කියන්නෙ සුළුපටු වයසක් නොවෙයිනෙ... මම ළමයින්ට තදින් හිටිය. ඒ වගේම ඒ අයගෙ ගොඩක් දේවල් අවබෝධ කරගෙන තිබුණ. ඒ හින්ද වෙන්න ඇති හැම දරුවෙක්ම මට හුඟක් ආදරෙන් හිටිය. ගුරු වෘත්තිය කියන්නෙ ලෝකයේ තියෙන උසස්ම වෘත්තියක්. මම මුලින්ම මේ රස්සාව කරන්න අකමැති වුණත් කාලයක් යද්දි මට දැනෙන්න ගත්ත ඒක මොනතරම් උසස් වෘත්තියක්ද කියල. මුළු ලෝකයටම බුද්ධිය, ශ‍්‍රමය හදල දෙන්නෙ ගුරුවරුන්. ගුරුවරය දුප්පත් වෙන්න පුළුවන් නමුත් ඒ අයගෙන් ඉගෙන ගන්න දරුවො තමයි මුළු ලෝකයේම උසස් තැන්වලට යන්නෙ...’’
 
 
ගුරු වෘත්තියෙහි ගරුත්වය පිළිබඳ මෙනෙහි කළ වීරබද්ධන මහත්මිය පවසා සිටියේ එකල සිටි ගුරුවරුන් බොහෝ පිරිසක් සිසුන්හට නිසි මගපෙන්වීම පිණිස දැවැන්ත වෙහෙසක් ගත් බවය. අද මෙන් උපකාරක පන්ති බහුල නොවූ එකල පාසල් වේලාවෙන් අමතරව අතිරේක පන්ති පවත්වමින් ඒ සඳහා ගුරුවරුන් කැපවූ ආකාරය පිළිබඳව ඇය විසින් සිහිපත් කරන ලද්දේ දැඩි ආත්ම තෘප්තියකින් යුක්තවය.
 
 
විරබද්ධන මහත්මිය සතු රාජකීය මතකයන් අතර ‘සියඹලාගහ යට පන්තියට’ සුවිශේෂී ස්ථානයක් හිමිය. එකල සියඹලාගහ යට පන්තිය වෙන්ව තිබුණේ තරමක් දඩබ්බර සිසුන්ට බව පවසා සිටි වීරබද්ධන මහත්මිය ඒ පිළිබඳ විස්තර පවසා සිටියේ තරමක සිනහමුසු මුහුණින් යුක්තවය.
 
rajakiya6 
‘‘සියඹලාගහ යට පන්තිය කියන්නෙ තරමක් දඩබ්බර පන්තියක්. වැඩිපුර හිටියෙ කොළඹ ලොකු ව්‍යාපාරිකයන්ගෙ පුත්තු. හැමෝම ඉගෙන ගත්තෙ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. හුඟක් ගුරුවරු මේ පන්තියට උගන්වන්න ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. කරන්නම දෙයක් නැති තැන විදුහල්පතිතුමා මට කථා කරල කිව්ව පන්තිය බාර අරගෙන වැඩටික කරන්න කියල. මම ඒ ඇරයුම භාර අරන් පන්තියට ගියා. මම මුලින්ම මේ ළමයින්ට කිව්ව ඔයාලගෙ අම්මල තාත්තලට සල්ලි තියෙනවනේ... ඒ හින්ද අඩුම තරමින් ඉලක්කම් ටිකවත් හරියට ලියන්න ඉගෙන ගන්න කියල. මුලින් මුලින් ඒ අය මටත් උසුළු විසුළු කරන්න පටන් ගත්ත.

දරුවන්ට දඬුවම් කරද්දි ‘වේවැල’ අතට නොගැනීම මගේ සිරිතක්. මම දරුවන්ව යහමගට ගන්න නිතරම භාවිතා කළේ වදන් කස පහරවල්. ඒක වේවැල් පාරට වඩා සැරයි. මම ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. මාස දෙකක් යද්දි සියඹලාගහයට පන්තියෙ සියලූ දෙනාම මට අවනත වෙන්න ගත්ත. මේ මෑතකදි සියඹලාගහ යට පන්තියෙ හිටිය දරුවො දෙන්නෙක්ව මුණ ගැහනෙව. ඒ දෙන්නම දැන් පිටරටවල පවා ලොකු ව්‍යාපාරික කටයුතු කරන ඉහළම ධනවතුන් දෙන්නෙක්. මාව මුණ ගැහුන වෙලාවෙ ඒ දෙන්න මගෙන් අහනව ‘මැඩම්... අපි මේ වගේ තැනකට එයි කියල එදා මැඩම් හිතුවෙ නෑ නේද?’ කියල. අදත් මට එන දුරකථන ඇමතුම්වලින් වැඩි හරියක් එන්නෙ මම උගන්වපු දරුවන්ගෙන්. රාජකීය ආදි සිසුන් එකතුවෙලා ඉස්කෝලෙට උදව්වක් කළත් ඒ අයගේ වාර්ෂික හමුවක් සංවිධානය කරත් සමාජ සත්කාර ආදිය ගත්තත් ඔය සෑම කටයුත්තකටම තාමත් අපට ආරාධනා කරනව. ඒ අය අද මොන තරාතිරමක හිටියත් මට තාමත් දැනෙන්නෙ ‘‘මේ අපේ දරුවො නේද?’’ කියල හැඟීමක් ඒ අය ළඟත් තියෙන්නෙ පුදුම ගෞරවයක්. පිරිත් උත්සවයක් පැවැත්වුවත් ඒ ළමයි අපේ ළඟට ඇවිත් දණ ගහගෙන ඇවිත් තමයි අපේ අතක පිරිත් නූලක් පවා ගැටගහන්නෙ.
 
rajakiya7 
අධ්‍යාපනය යනු අකුරු ඉලක්කම්වලට පමණක් සීමා නොවිය යුක්තක්ය. විනය, හැදියාව, හික්මීම ආදියද එකතුව ලබන අධ්‍යාපනයක් තුළින් වඩාත් යහපත් පුද්ගලයන් නිර්මාණය වන අතර එය සමාජ ප‍්‍රගමනය පිණිස බෙහෙවින් බලපානු ලබන සාධකයක්ය. වීරබද්ධනමහත්මිය ඒ බව සඳහන් කර සිටින්නේ දශක දෙකකට අධික ගුරු සේවයේ අත්දැකීම් ඇසුරෙනි. මේ වන විටත් මෙරට ප‍්‍රකට විශේෂඥ වෛiවරුන් රැසක් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ ජය කෙහෙළි නැංවූ පුද්ගලයන් කීපදෙනෙක් එකල පාසල් සිසුන්ව රාජකීය විදුහලේ අකුරු කළ අතීතය මෙනෙහි කරන අතරතර වීරබද්ධන මහත්මිය වරක් දෙවරක් හැඟුම්බර විය. සිය ආදරණීය ගෝලයන් කීප දෙනෙකුගේ හදිසි වියෝගයන් විසින් මතු කළ කඳුළක් වීරබද්ධන මහත්මියගේ වියපත් දෑස් අග මතුවෙමින් තිබන අයුරු එවෙලෙහි දැකගත හැකි විය.
 
 
තව කොටසක් ලබන සතියේ
 
 
රුවන් ජයවර්ධන
 
ඡායාරූප - කමල් බෝගොඩ
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles