Divaina - ආණ්ඩුව විසින් විදුලි අර්බුදය නිර්මාණය කළ හැටි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali



* දැන දැන රටම අ`දුරට යැවූ කැබිනට්ටුවේ අදූරදර්ශි තීන්දුව පිළිබ`ද විශේෂ අනාවරණය

 

ආචාර්ය ජනක රත්නසිරි


electriදැනට පවතින විදුලි අර්බුදයට හේතු වශයෙන් දේශපාලනඥයින්, අදාළ අමාත්‍යංශ නිලධාරීන්,ක්‍ෂේත‍්‍රයේ වෘත්තීකයින් සහ මහජනයා ද විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටිති. බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පවතින මත භේදය පිළිබඳවය. තවත් සමහරකු සාම්පූර්හි 2016 දී තැනීමට යෝජිතව තිබූ ගල් අඟුරු බලාගාරය තැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නවතා දැමීම හේතුවක් ලෙස දක්වති.

මෙම කාරණා දෙකම සත්‍යයෙන් තොරය. එසේ නම් සත්‍යය කුමක්ද? සත්‍යය නම් අද පවතින විදුලි අර්බුදයට හේතු වන්නේ අද ඊයේ ගත් තීරණ නොව මීට වසර සොළොසකටත් පෙර සිටම ගන්නා ලද වැරදි තීරණ හේතුවෙනි. එක් අවස්ථාවකදි ගන්නා ලද වැරදි තීරණ නොව අවස්ථා සතරකදීම ගන්නා ලද වැරදි තීරණයන් නිසා වෙනි. මින් සමහර තීරණවලට විදේශීය බලපෑම් ද ඇති විය.


දකුණු වෙරළේ ගල් අඟුරු
බලාගාර ව්‍යාපෘතිය

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් 2006 නොවැම්බර මස 14වැනි දින පළ කරන ලද පුවත් පත් දැන්වීමකට අනුව දකුණු වෙරළබඩ එකක් මෙගාවොට් 300ක් බැගින් වූ ගල් අඟරු බලාගාර 4ක් 2012-2020 අතර කාලය තුළදී තමන්ගේම වියදමින් තනා ක‍්‍රියා කරවා විදුලිය සැපයීමට බලාගාර නිෂ්පාදනවරුන්ගෙන් ලංසු 2007 පෙබරවාරි 02වැනි දිනට පෙර කැඳවන ලදි. කරගම්ලේවාය, මිරිජ්ජවිල සහ මාවැල්ල ආදිය සුදුසු ස්ථාන ලෙස සඳහන් කර තිබුණි. නමුත් ඒ පිළිබඳ තොරතුරු කිසිවක් ඉන් පසුව අසන්නට නොලැබිණි. ව්‍යාපෘතිය කිසිත් හේතුවක් නොදක්වා අතහැර නොදැම්මා නම් අද වන විට අමතර මෙගාවොට් 600ක හෝ 900ක ධාරිතාවෙන් යුක්ත බලාගාර 2ක් හෝ 3ක් ස්ථාපනය කළ හැකිව තිබුණි.

ජාත්‍යන්තරව ලංසු ලබා ගෙන ඒවා අගැයීම් කර ආර්ථිකවද තාක්ෂණය අතින්ද පරිසර හිතකාමි බවින්ද වඩාත් සුදුසු ලංසුව තෝරා ගැනීම ඉතා පහසු කාර්යයක් නොවේ. එවැනි ක‍්‍රියාවලියකට වෙහෙස නොවී රජයකින් රජයට දෙනු ලබන බලාගාරයක් පිළිගැනීම වඩා පහසු වනු ඇතැයි අදාළ නිලධාරීන් සිතුවා විය හැක. අද පවතින තත්ත්වයට හේතුවන පළමුවැනි කරුණ මෙම ව්‍යාපෘතිය ඉවත ලෑම වන්නේය.


ඉන්දීය රජයෙන්
ඉදිරිපත් කළ යෝජනාව

මෙම කාලය අතරතුරදීම ඉන්දියානු රජය විසින් මෙගාවොට් 500ක් බැගින් වූ ගල් අඟරු බලාගාර දෙකක් ත‍්‍රිකුණාමලය අසල තනා දීමටත් දෙරට අතර අධි විභව විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයක් තනා දීමටත් ඉදිරිපත් විය. මේ සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් 2006 දෙසැම්බර 29වැනි දින අත්සන් කළ අතර ලංවිමය සහ ඉන්දියානු පාර්ශ්වය අතර බලාගාරවල තිබිය යුතු ධාරිතාව, කාර්යක්‍ෂමතාව, තාක්ෂණය, විමෝචන සීමාවන් ආදිය පිළිබඳ සාකච්ඡුා ඇරඹී නමුත් ඒවා පිළිබඳ එකඟතාවයකට එළැඹීමට වසර 5කට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡුා වට ගණනාවක් පැවැත්විණි. මුලදි ඉන්දීය රජය විසින් බලාගාරය තනා දෙනු ඇතැයි ප‍්‍රකාශ කළද සාකච්ඡුා අතර වාරයේදී ප‍්‍රාග් ධනය පියවීම සඳහා ඉන්දීය සමාගමෙන් 15% ක් පමණක් ප‍්‍රදානය කරනු ලබන අතර ලංවිමයෙන් 15% ද ඉතිරි 70% වාණිජ ණයකින් ද ලබා ගැනීමේ ඉන්දීය යෝජනාවට ලංකාවට එකඟ වීමට සිදු විය.

අනතුරුව සාම්පූර්හි මුලින් මෙගාවොට් 500ක බලාගාරයක් ඉඳිකර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා 2011 සැප්තැම්බර 06වැනි දින ලංවිම සහ ඉන්දියානු පාර්ශ්වය සමග සම කොටස් සහිතව සමාගමක් පිහිටුවා ගන්නා ලදි. මෙරට නීතිය අනුව විදුලි බලාගාරයක් තැනීමට පෙර ඉන් ඇතිවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳ ශක්‍යතා වාර්තාවක් ලබා ගත යුතුව ඇත. සාම්පූර් බලාගාරය සඳහා මෙම වාර්තාව පිළියෙල කිරීමට වසර කිහිපයක් ගත කර එය අවසානයේ නිකුත් කරන ලද්දේ 2015 වසරේදීය. මහජන අදහස් විමසා එය මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට තවත් වසරක් ගත විය. ව්‍යාපෘතිය අරඹා වසර 10ක් ගත වූ පසුවත් ප‍්‍රගතියක් නොමැති නිසාත් පරිසරයට සිදුවිය හැකි අනිසි බලපෑම් නිසාත් 2016 මැද භාගයේ දී ජනාධිපති සිරිසේන මහතා විසින් ගල් අඟුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික බලාගාරයක් ලබා දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය. ඉන්පසු සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු මුළුමනින්ම නැවතිණ. ජනාධිපති සිරිසේන මහතා 2015 අගදී පැරිස් නුවරදි පවත්වන ලද කාලගුණ විපර්යාස පිළිබඳ මහ සමුළුවේදී. කාබන් විමෝචනය ලංකාවෙන් අඩු කිරීමට ඔහු විසින් දෙන ලද ප‍්‍රතිඥාව ඔහුගේ මෙම තීරණයට හේතු වීයැයි සිතිය හැක.

දැනට පවතින විදුලි අර්බුදයට හේතු වශයෙන් සමහර දෙනකු ජනාධිපතිතුමාගේ මෙම තීරණය හුවා දැක්වුවද ඇත්ත වශයෙන්ම සත්‍යය එය නොවේ. ඒ මන්ද එම බලාගාරයේ ඉඳි කිරීම් කටයුතු 2016 දි ආරම්භ කළද එය අවසන් කිරීමට අවම වශයෙන් වසර 5ක් වත් ගත වන බැවිනි. එනම්, ඉන් ජනනය කෙරෙන විදුලිය 2021 වන තුරු පද්ධතියට එකතු කළ නොහැකි වන අතර 2019 ඇති වී තිබෙන විදුලි හිඟයට එය පිළියමක් නොවනු ඇත. පළමුවෙන්ම කළ යුතුව තිබුණේ වසරක් තුළ නිම කළ හැකිව තිබූ සාකච්ඡුා වසර 5ක් තිස්සේ ඇදී යෑමට ඉඩ නොදී ඊට වඩා කෙටි කලකින් නිම කිරීමය. එසේ කළා නම් බලාගාරය තැනීම 2012 පමණ වනවිට ආරම්භ කර 2017 පමණ විට වැඩ කටයුතු නිමවා 2018 දී ඉන් ජනනය වන විදුලිය පද්ධතියට එකතු කිරීමට හැකිකම තිබුණි. නමුත් එසේ නොකර මෙම ව්‍යාපෘතිය ප‍්‍රමාද කිරීමට වග කිව යුත්තේ කවුද? නිතැනින්ම එම වග කීම සාකච්ඡුා වටවලට සහභාගි වූ ලංවිමයේ සහ ඉන්දියානු පාර්ශ්වයේ නිලධාරීන් වෙත යොමු විය යුතුය. මෙම බලාගාරය පිළිබඳ තීරණ ගැනීම අනිසි ලෙස ප‍්‍රමාද කිරීම අද පවතින තත්ත්වයට හේතු වූ දෙවැනි කරුණ වන්නේය.


ඉන්දියාවේ සැබෑ අරමුණ

ලංකාවේ ගල් අඟුරු බලාගාර තැනීමට ඉන්දියාවට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා ලංවිම විසින් ලංසු කැඳවූ අවස්ථාවෙ ඔවුනට ඊට ලංසු ඉදිරිපත් කළ හැකිව තිබුණි. නමුත් ඒ වෙනුවට ඔවුන් කළේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්මින් ත‍්‍රීකුණාමලයේ මෙගාවොට් 1000ක ගල් අඟුරු බලාගාරයක් අදියර දෙකකින් තනා දීමට පිටුපස දොරින් ඉදිරිපත් වීමය. මේ සඳහා අවසාන තීරණයක් ගැනීම ප‍්‍රමාද වනවිට කොළඹ සිටින තානාපතිවරයාගෙන් පමණක් නොව ඉන්දීය අගමැතිතුමාගෙන් පවා බලපෑම් එල්ල විය. ලංකාවේ බලශක්තිය පිළිබඳ ඇමැතිතුමා නව දිල්ලියට ගිය අවස්ථාවක එහි අගමැතිතුමා ඔහුගෙන් එ් පිළිබඳ විමසා තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම කරුණුවලින් පෙනී යන්නේ ඉන්දියාවට අවශ්‍යව තිබුණේ අප රටේ බල ශක්ති ක්‍ෂේත‍්‍රය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම නොව කෙසේ හෝ ත‍්‍රීකුණාමලයේ තම අඩි සටහන තහවුරු කර ගැනීමට ක‍්‍රියා කිරීමය. පළමුව ලංවිමය මෙගාවොට් 1200 බලාගාර සඳහා ලංසු කැඳවූ අවස්ථාවේ එයද අවලංගු වීමට සලස්වා තමන්ගේ ව්‍යාපෘතිය ඉදිරිපත් කර එහිද සාකච්ඡුා වසර 10ක් තිස්සේ ප‍්‍රමාද කර ලංකාවේ මුළු විදුලි පද්ධතියම අඩාල වීමට සලස්වන ලද්දේ කුමන අරමුණකින් දැයි සිතා ගත නොහැක. තම රටේ විදුලි පද්ධතිය අපට අවශ්‍ය ආකාරයට රටට මූල්‍ය බරක් නොවන පරිද්දෙන් වැඩි දියුණු කිරීමට තිබූ අවස්ථාව ලංවිමයේ නිලධාරීන් විසින් ඉවත ලා ඉන්දීය රජයේ වචනයට රැවටී අප විසින්ම අමාරුවේ වැටුණ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක. ඉන් ගම්‍ය වන්නේ අප රට වෘත්තිකයින්ටත් දේශපාලකයින්ටත් දුර දක්නා නුවණක් නොමැති කමයි. ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණේ ඉන්දීය රජය තම යෝජනාව ඉදිරිපත් කළ විට එය ස්තුතිපූර්වකව ප‍්‍රතික්‍ෂේප කර දකුණු වෙරළේ යෝජිත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමය.


කෙරවලපිටියේ යෝජිත වායු බලාගාරය

වත්මත් විදුලි අර්බුදයට හේතුවක් ලෙස දක්වනු ලබන තවත් කරුණක් නම් කෙරවලපිටියේ ස්ථාපිත කිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුත් ද්වි චක‍්‍රීය වායු ටර්බයින බලාගාරය සම්බන්ධව ඇති වී තිබෙන ගැටලූවයි. මෙය පුද්ගලික අංශය විසින් තමන්ගේම වියදමින් ඉඳිකර ඉන්ධන ලෙස පළමුව ඛනිජ තෙල්වලින්ද ස්වභාවික වායුව ආනයන කිරීමෙන් පසු එමගින්ද බලාගාරය ක‍්‍රියා කරවා ජනනය කෙරෙන විදුලිය ලංවිමයට එකඟකර ගත් මිලකට සැපයීමෙ පදනම මත ස්ථාපිත කළ යුතු බවට එ් සඳහා 2016 නොවැම්බර මසදී පළ කරන ලද ප‍්‍රසම්පාදන දැන්වීමෙහි සඳහන් විය. තෝරාගත් ලංසුව සඳහන් තීරණය 2017 අගෝස්තු මසදී දැනුම් දෙන බවද ප‍්‍රසම්පාදන ලියකියවිලිවල සඳහන් විය. නමුත් මින් අවුරුද්දකුත් මාස 8ක් ගත වී ඇතත් මේ පිළිබඳ අවසාන තීරණයක් තවමත් ලැබී නැත. මේ පිළිබඳ විවිධ පාර්ශ්ව නඩු මඟට බැස ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එනම් අවසාන තීරණයක් ලබා ගැනීමට තවත් වසර ගණනාවක් ගත වනු ඇත. ඇත්තෙන්ම මෙය ඉතාමත් ඛේදනීය තත්වයකි. මේ තත්ත්වයට වග කිව යුත්තේ කවුද?

මෙම බලාගාරයට අවශ්‍ය ප‍්‍රාග් ධනය යොදනු ලබන්නේ ආයෝජකයා විසිනි. ලංවිමය නොවේ. එමනිසා බලාගාරයේ අභ්‍යන්තර විස්තර ආදිය ලංවිමය විසින් දැන ගත යුතු වන්නේ නැත. දැන ගත යුතු වන්නේ එක් එක් ඉන්ධනයෙන් විදුලි ඒකකයක් සපයනු ලබන්නේ කොපමණ මිලකටද?

බලාගාරයේ කාර්යයක්‍ෂමතාව කොපමණද? විදුලි ඒකකයක් ජනනය කිරීමට කොපමණ තාප ශක්තියක් අවශ්‍යද? දුම් කවුළුවෙන් කොපමණ ප‍්‍රමාණයක් අප වායූන් පිට වේද? ඒවා ජාතික පිරිවිතරවලට අනුකූලද ආදි සරල කරුණු කිහිපයකි. තවද මේ එක් එක් පරාමිතියක් සඳහා පිළිගත හැකි අවම හෝ උපරිම සීමාවන්ද සඳහන් කිරීම ඉතා වැදගත්ය.

ලංවිමය විසින් මේ සඳහා පිටු 500ත් වඩා අධික ප‍්‍රසම්පාදන ලියවිල්ලක් නිකුත් කරන ලදි. එහි අඩංගු බොහෝ දේ අනවශ්‍ය විස්තරය. බලාගාරයේ විවිධ උපාංගවල මිනුම්, විවිධ ස්ථානවල උෂ්ණත්වයන් සහ පීඩන අගයන් ද ආදී තෙවැනි පාර්ශ්වකරුවකු වන ලංවිමයට අදාළ නොවන එකිනෙකට පරස්පර බොහෝ විස්තර සැපයීමට අවශ්‍යව ඇත. එනමුදු, ප‍්‍රසම්පාදන ලියවිල්ලක අවශ්‍යයෙන්ම අඩංගු විය යුතු ඉහත සඳහන් පරාමිතියන් සඳහා පිළිගත හැකි අවම හෝ උපරිම සීමාවන් කිසිවක් සඳහන් කර නොමැත. මෙම දත්ත නොමැතිව ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ අගැයීම නිසියාකාරව ඉටු කිරීම උගහටය.

රජයේ කාර්යාලයකට රුපියල් දහස් ගණනක් වටිනා භාණ්ඩ මිලට ගැනීමේදීත් මෙම ක‍්‍රමවේදය අනුගමනය කිරීම සාමාන්‍ය සිරිත වුවද රුපියල් කෝටි 5,000ක් පමණ මුදලක් වැය වන බලාගාරයක් වෙනුවෙන් එවැනි ක‍්‍රමවේදයක් අනුගමනය නොකළේ මන්දැයි සිතා ගැනීම අපහසුය. එහි ප‍්‍රතිඵලය වූයේ ලැබුණ ලංසු නිසියාකාරව අගැයීමකට ලක් නොවීම නිසා විවිධ පාර්ශ්වකරුවන් නඩු මඟට බැසීමය. අනවශ්‍ය තොරතුරු අඩංගු පිටු 500ක ලිියවිල්ලක් නිකුත් කර ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අවුලකට පත් කිරීම සමහරවිට හිතා මතාම කරන ලද්දක් විය හැකිය. ඒ මන්ද එම ලියවිල්ල පිළියෙල කරන ලද්දේ කනිෂ්ඨ නිලධාරීන් නොවන බැවිනි. එය එසේ නම් අදාළ බලධාරීන් විසින් ඊට වග කිව යුතු නිලධාරීන් සොයා බලා ඔවුනට නිසි දඬුවම් දිය යුතුය. අද පවතින තත්ත්වයට හේතුවන තෙවැනි කාරණය වන්නේ මෙලෙස ක‍්‍රමවත් ප‍්‍රසම්පාදන ලියවිල්ලක් පිළියෙල නොකිරීමය. ඊට ලංවිමයේ ප‍්‍රසම්පාදන අංශයේ නිලධාරීන් ඍජුවම වග කිව යුතුය.


හම්බන්තොට වරායේ
යෝජිත වායු බලාගාර

සතරවැනි හේතුව වශයෙන් දක්වන්නේ වැඩි කතා බහට ලක් නොවූ කරුණකි. හම්බන්තොට වරායේ වැඩ කටයුතු නිමවීමෙන් පසු 2012 දී වරාය අධිකාරිය විසින් වරාය ආශ‍්‍රිතව සුදුසු ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම පිණිස ආයෝජිකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා පුවත්පත් දැන්වීමක් මගින් 2012.08.4වැනි දිනට පෙර ඉල්ලා සිටියේය. මෙහි පහත දක්වා සිටින්නේ ඊට ප‍්‍රතිචාර දැක්වූ එක් ආයෝජිකයකු විසින් ලියුම්කරු වෙත සපයන ලද තොරතුරුය. මීට සමහර රහස්‍ය කරුණු ද ඇතුළත් විය හැකි වුවද මෙම අර්බුදකාරී අවස්ථාවේ මහජනයා විසින් ඒවා දැනගත යුතු නිසා මෙහි ඉදිරිපත් කරමි.

පළ කරන ලද දැන්වීමට අනුව ව්‍යාපාර කටයුත්තට අවශ්‍ය සියලූම ඉඳි කිරීම්, මූල්‍ය පහසුකම්, මෙහෙයුම් සහ පාලනය ආයෝජකයා විසින්ම ඉටු කර දිය යුතු අතර වරාය පහසුකම් අතර මීටර 17ක් ගැඹුරැති ජෙටියක්ද මීටර 610ක් දිගැති තෙල් සහ වායු ව්‍යාපෘති සඳහා වෙන්වුණු පර්යන්තයක්ද තිබෙන බව සඳහන් විය. මීට අනුකූලව මෙම ආයෝජකයා විසින් වරාය තුළ ස්වභාවික වායුව ද්‍රව ලෙස ආනයනය කිරීමට පර්යන්තයක් තැනීමටත් මෙගාවොට් 1200 වායු බලාගාරයක් තැනීමටත් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළේය. වරාය අධිකාරිය විසින් මෙය පිළිගන්නා ලදුව ඒ පිළිබඳ වරාය සහ නාවික කටයුතු පිළිබඳ ඇමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව 2014.04.03 දින පවත්වන ලද රැස්වීමේදී අනුමත විය. එහිදී ගන්නා ලද තීරණයට අනුව ව්‍යාපාතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයා විසින් ලංවිමය සහ ආයෝජන මණ්ඩලය සමග හවුල් ව්‍යාපාරයක් ඇරැඹිය යුතු බවටත් මහා භාණ්ඩාගාරයට 10%ක කොටස් දිය යුතු බවටත් ලංවිමය සමග විදුලිය මිලට ගැනීම සඳහා ගිවිසුමකට එළැඹිය යුතු බවටත් අනුමත විය.

අනතුරුව වරාය අමාත්‍යංශ ලේකම්වරයා විසින් විදුලිබල අමාත්‍යංශය ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් සහ ආයතනවල නිලධාරීන් සමග පවත්වන ලද රැස්වීමේ 2014.10.09 දිනැති වාර්තාව අනුව එහිදී පහත දැක්වෙන කරුණු එළිදරව් විය. 2011 සහ 2013 වසර තුළ වාණිජ සහ කාර්මික ව්‍යාපාර 10ක් පමණකට අනුමැතිය ලැබුණ ද අඛණ්ඩ විදුලි සැපයුමක් මෙම ව්‍යපාරවලට ලබා දීමට අපොහොසත් වීම නිසා ඒ වනවිට එකම ව්‍යාපාරයක්වත් ක‍්‍රියාත්මක නොවන බවත් යෝජිත පරිසර හිතකාමි වායු බලාගාරය හම්බන්තොට ඉඳි කරන්නේ නම් එය වරාය ආශ‍්‍රිත කර්මාන්ත ප‍්‍රවර්ධනයට මහත් රුකුලක් වන බවත් පැවසින.

රැස්වීමට පැමිණ සිටි ආයෝජකගේ නියෝජිත විසින් තමනට අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීමට සහතික විය හැකි බවත් විදුලි ඒකකයක් අමෙරිකානු ශත 7කට නොවැඩි මිලකට ලබා දිය හැකි බවත් පැවසීය. තවද සපයන ලද විදුලියට පමණක් මුදල් අය කරන බවත් ධාරිතා ගාස්තු වැනි ස්ථාවර ගාස්තු අය නොකරන බවත් පළමුවන අදියර වන මෙගාවොට් 300ක බලාගාරය වසර කිහිපයක් ඇතුළත තනා දිය හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය. වායුව ආනයනය කළ පසු විදුලි ජනනයට අමතරව එය සම්පීඩනය කර වාහනවල භාවිතයටද සැපයිය හැකි බව පැවසීය.

මෙම කරුණු ඇතුළත් පති‍්‍රකාවක් නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව 2014.10.30 වැනි දින පැවැත් වූ රැස්වීමේදී ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. මේ බව අමාත්‍යංශ ලේකම්වරයා විසින් වරාය අධිකාරියේ සභාපතිට 2014.12.02 වැනි දිනැති ලිපියෙන් දන්වනු ලැබූ අතර ඔහු විසින් 2015.04.20 වැනි දිනැති ලිපියෙන් ආයෝජකයාට ඒ බව දන්වා සිටියේය. තවද ව්‍යාපෘතිය සඳහා වරාය පරිශ‍්‍රය තුළින් හෙක්ටෙයාර 30ක භූමි ප‍්‍රදේශයක් මුදා හල බව දන්වා ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන ලෙස දන්වා සිටියේය.


චීනයේ අවශ්‍යතාවය මත
වායු බලාගාර ව්‍යෘපෘතිය අවලංගු කිරීම

ව්‍යාපෘතියේ ඊළඟ පියවර වූ පරිසර අගැයීම් වාර්තාව පිළියෙල කිරීමට ආයෝජකයා සූදානම් වෙමින් සිටියදී වරාය අධිකාරියේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද 2016.06.21 වැනි දිනැති ලිපියක පිටපතකින් අගමැතිතුමා යටතේ පවතින ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව මගින් 2016.05.25 වැනි දින පවත්වන ලද

රැස්වීමේදී හම්බන්තොට වරාය ආශ‍්‍රිතව පිහිටුවීමට අනුමැතිය ලබා තිබූ සියලූම ව්‍යාපෘති නවතා ලීමට තීරණය කර තිබෙන බව ආයෝජකයා වෙත දන්වා සිටියේය. ඊට හේතුව වශයෙන් දක්වා සිටියේ හම්බන්තොට වරාය චීන රජයට පවරා දීමට ශ‍්‍රී ලංකා රජය විසින් ගෙන තිබෙන තීරණයයි.

මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ මෙවැනි ක‍්‍රියාවලියක් වෙනත් රටක සිදු වේද යන්නයි. රජය විසින් නිසියාකාර ලෙස ආයෝජන සඳහා අයැදුම් පත් කැඳවා ආයෝජකයින් තෝරා ගෙන අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඉඩම්ද පවරා දී ව්‍යාපෘතියේ වැඩ ඇරඹීමට සූදානම්ව සිටියදී වෙනත් රටක අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමට ඒ සියල්ල අවලංගු කර එම රටට සියල්ල භාර දීම අප ආත්ම ගෞරවයක් හෝ ලඡ්ජාවක් හෝ නොමැති ජාතියක් බව පෙන්නුම් නොකරන්නේද? රජයට අවශ්‍ය නම් වරාය පවරා දීමේ ප‍්‍රශ්නයක් නැත. නමුත් මෙරට අවශ්‍යතාවයන් පසෙක ලා අනුමත වී තිබූ ව්‍යාපෘති අවලංගු කිරීමෙන් පාඩුව සිදු වූයේ ලංකාවටමය. සමහර ආයෝජකයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න ගාස්තුවක් ආයෝජන මණ්ඩලය විසින් අය කර ගෙන තිබෙන බවද අමතක නොකළ යුතුය.


වසරකට රුපියල් කෝටි 1500ක පාඩුව

වසර 2012 දී ඉදිරිපත් කරන ලද මෙම වායු බලාගාර ව්‍යාපෘතියට කඩිනමින් අනුමත කර පරිසර අගැයිම් වාර්තාවන්ද කඩිනමින් ලබා ගෙන චීන බලපෑම්වලට යටත් නොවී ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඉඩ දුන්නේ නම් මේ වන විට ඉන් ජනනය වන පරිසර දූෂණයෙන් තොර විදුලිය පද්ධතියට එකතු කර බොහෝ කල්ය. ඒකකයකට ගෙවීමට සිදු වන්නේ රුපියල් 12.25ක් පමණ ඉතා අඩු මුදලකි. ගල් අඟුරු

බලාගාරයක මෙන් වායු බලාගාරයක බාහිර පිරිවැයක් එකතු වන්නේ නැත. ලංවිමයේ සංඛ්‍යන ප‍්‍රකාශනයට අනුව තාප

බලාගාරවලට සපයන ලද ඉන්ධනවලට පමණක් 2017 දී ඒකකයකට රුපියල් 12.22ක් වැය වී ඇත. මීට අමතරව මෙහෙයුම් සහ නඩත්තු වියදම්ද පරිපාලන පිරිවැයද ගත් කළ ඒකකයක් ජනනය කිරීමට වැය වන මුදල රුපියල් 20ත් වඩා අධික විය හැක. මෙම බලාගාරයෙන් වසරකට ඒකක මිලියන 2000ක් පමණ ජනනය වන නිසා මෙම බලාගාරය කී‍්‍රයාත්මක කළේ නම් වසරකට රුපියල් කෝටි 1500ක් පමණ මුදලක් ලංවිමයට ඉතිරි කර ගත හැකිව තිබුණි. නමුත් රටේ අවාසනාවට එය එසේ නොවීය. මෙම බලාගාරය අවලංගු කිරීම අද පවතින තත්ත්වයට වග කිව යුතු සතර වැනි හේතුව වන්නේය.

රටට ආර්ථිකවද පරිසර හිතකර බවෙන්ද වාසිදායක මෙම ව්‍යාපෘතිය අවලංගු කරීමට වග කිව යුත්තේ කවුද? ජනාධිපතිතුමාද? අගමැතිතුමාද? කැබිනට් මණ්ඩලයද? එසේත් නැත්නම් ආර්ථික කළමනාකරණ කමිටුවද? මෙහි වගකීම කවුරුන් විසින් හෝ භාර ගත යුතුය. එසේ නොමැතිව අහක සිටින නියාමන නිලධාරීන්ට දොස් පැවරීමෙන් කාටවත් සෙතක් වන්නේ නැත.

සාරාංශය

ලංකාවේ අද පවතින විදුලි අර්බුදයට හේතු වන්නේ අද ඊයේ ගත් තීරණ නොව මීට වසර 10- 12කට පෙර ගන්නා ලද වැරදි තීරණයන්ය. ඒවා සැකෙවින් මෙසේය.

1 දකුණු වෙරළබඩ මෙගාවොට් 300ක් බැගින් වූ ගල් අඟුරු බලාගාර 4ක් 2012-2020 අතර කාලය තුළදී ස්ථාපිත කිරීමට 2007 දී ලබා ගන්නා ලද ලංසු ඉවත ලෑමට ගන්නා ලද තීරණය.

2 සාම්පූර්හි මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තීරණයන් ගැනීම වසර 10ක් තිස්සේ ප‍්‍රමාද කිරීම.

3 කෙරවලපිටියේ ස්ථාපිත කිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුත් ද්වි චක‍්‍රීය වායු ටර්බයින බලාගාරය සඳහා 2016 දී ක‍්‍රමවත් ප‍්‍රසම්පාදන ලියවිල්ලක් පිළියෙල නොකිරීම.

4 පරිසර හිතකාමි මෙගාවොට් 300ක වායු බලාගාරයක් හම්බන්තොට 2015 දී ඉඳි කිරීමට ගන්නා ලද තීරණය රජය විසින් අවලංගු කරීම.

මෙම තීරණයන් නිසි ලෙස නොගැනීමෙන් රටේ ජනතාවට මෙන්ම ආර්ථිකයට සිදු කරන ලද අසීමිත පාඩුවට දේශපාලනඥයින්, අමාත්‍යංශ නිලධාරීන් සහ ලංවිමයේ වෘත්තිකයින් එක සේ වග කිව යුතුය. වගකීම පැවරීමෙන් පමණක් නොනැවතී ඔවුන්ගෙන් සුදුසු වන්දියක් අය කර ගැනීමට ක‍්‍රමවේදයක් සැකසිය යුතුය.


 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles