Divaina - වසර තිස්‌දහසකට පෙර සිටි මිනිසුන් චිත්‍ර ඇන්ද කුරුල්ලන්ගල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n1 2බදුල්ලේ සිට ඇල්ල මාර්ගයේ ගමන් කරන විට හමුවන කරඳගොල්ල ගම් පියසේ වනගත පෙදෙසක මෙම කුරුල්ලන්ගල පිහිටයි. රාවණා ඇල්ල අසල සිට කිලෝ මීටර් දෙකක පමණ දුරක්‌ වැල්ලවාය දෙසට යන විට හමුවන මන්සන්ධියෙන් රක්‌කිතකන්ද ආරණ්‍ය සේනාසනය මාර්ගයේ ගොස්‌ වනගත මාර්ග ඔස්‌සේ මෙම කුරුල්ලන්ගල කන්දට සමීප විය හැක.
 
 අන්තර්ජාලයේ ගුගල් සිතියම් හි අක්‌ෂාංශ 6. 811408 සහ දේශාංශ 81. 064768 ඔස්‌සේ සෙවීමේදී මෙම ස්‌ථානය නිවැරදිව සොයා ගත හැක.
 
 මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පක්‌ෂි රූප සහිත කන්ද අරුමයක්‌ නොවේ. ඔවුන් අතීතයේ පටන් මෙම කන්ද තරණය කර ඇත. ඒ නිසාම ඔවුන් මෙම කන්දට කලින් ව්‍යවහාර කළ පෙට්‌ටිගල යන්න වෙනුවට කුරුල්ලන්ගල යෑයි පටබැඳ ඇත. ඒ එහි ඇති පක්‌ෂි රූප නිසාවෙනි.
 
 රාවණා ඇල්ල ප්‍රදේශය සංචාරක පුරවරයකි. එබැවින් මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් කඳු තරණය සඳහා මෙම කන්ද තෝරා ගනියි. එහෙත් මෙම කන්ද තරණය කළ බොහෝ දෙනෙක්‌ මෙම පක්‌ෂි රූපවල වටිනාකම කෙතරම් අවබෝධ කරගන ඇත්දැයි සැක සහිතය.
 
 ගල් පර්වතය මුදුනේ වූ පැතලි පෘෂ්ඨයේ මීටර් 6 ක්‌ පමණ ඉහළට විහිදී යනසේ අඳුරු රතු පාටින් ඇදි රූප සමූහයක්‌ මෙහි ඇත. එම චිත්‍ර පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌ කර නැත, එහෙත් යුරෝපා ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍රවල ලක්‌ෂණ මෙම චිත්‍ර වලද දැකගත හැකි හෙයින් සහ මෙහි දැක්‌වෙන සත්ව රූප මෙයට වසර තිස්‌දහසකට පෙර එළැඹුණු ප්‍රාග් ඓතිහාසික යුගය නිරූපණය කිරීම නිසා නිසැකවම මෙම චිත්‍ර ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර වේ.
  
na1 2කුඩුකරගත් රතු පැහැ පාෂාණ මිශ්‍රණයකින් චිත්‍ර ඇඳ ඇත. එම වර්ණයම පැහැය අඩු සහ වැඩි කිරීම මගින් චිත්‍ර මතුකර දක්‌වා ඇත. වර්ණ මිශ්‍ර කිරීමට සත්ව රුධිරය හෝ වෙනයම් මැලියම් වර්ගයක්‌ භාවිතා කළ බව පෙනී යන්නනේ එම වර්ණ ගල් පෘෂ්ඨයට හොඳින් ඇලී පැවතීම නිසාය. වැසි දිය ගලා යන මෙම ගල් තලයේ මෙම චිත්‍ර මෙතෙක්‌ කල් ආරක්‌ෂා වී පවතින්නේ මෙම ශිල්ප ක්‍රමය නිසාවෙන් බව පැහැදිලිය. මෙහි චිත්‍රයට නැගී ඇති තේමාවන් පහත පරිදි වේ,
 
 1 පක්‌ෂි රූප.
 
 2 අත් සළකුණු.
 
 3 හඳුනා නොගත් සත්ව රූප.
 
 ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූවා යෑයි අනුමාන කළ හැකි පක්‌ෂි රූප කීපයක්‌ මෙහි ඇඳ ඇත. එම පක්‌ෂීන් අහසේ පියාඹන පක්‌ෂීන්ට වඩා පොළව මත ගමන් කරන කළුකුමා, මොනරා හා පැස්‌බරා වැනි සතුන්ගේ ගති ලක්‌ෂණ පෙන්වයි. සමහර සතුන්ගේ ශරීර හරස්‌කඩ ඇඳ ඇති අතර උන්ගේ අස්‌ථි පිහිටීමද ඇඳ දක්‌වා ඇත. ශ්‍රී ලංකීය ප්‍රාග් මානවයාගේ බුද්ධි මට්‌ටම ලොව අන් ප්‍රාග් මානවයන් පරදාලන බව පැවසීමට මෙය කදිම සාක්‌ෂියකි.
 
 ගල් පෘෂ්ඨය මත ප්‍රාග් මානව චිත්‍ර ශිල්පියා තම අනන්‍යතාවය දක්‌වා ඇති ආකාරය ද විශිෂ්ඨ ය. තම අත්ල මත වර්ණ තවරා එය ගල් පෘෂ්ඨයේ තද කිරීම මගින් මෙම සළකුණු තබා ඇත. ස්‌පාඤ්ඤයේ ඇල්ටමීරා සහ ප්‍රංශයේ ලැස්‌කෝ ලෙන් චිත්‍ර අතරද මේ ආකාර රූප සටහන් දැකිය හැකිය.
 
 කුරුල්ලන්ගල චිත්‍ර ශිල්පයා තම වමත පමණක්‌ එහි සටහන් කර තිබීමෙන් පෙනී යන්නේ ඔහු දකුණු අතින් යම් ආධාරකයක එල්ලී සිටිමින් මෙම සටහන කළ බවයි.
 
 මීට අමතරව අප ක්‍ෂුද්‍ර ජීවීන් ලෙස දකින සතුන්ගේ ගති ලක්‌ෂණ ඇති රූප ද මේ අතර වේ. මේ කාරණා වලින් පෙනී යන්නේ මෙම ප්‍රාග් මානව චිත්‍ර ශිල්පියා මනා නිරීක්‌ෂණයෙන් යුතුව පරිසරය දෙස බලා හොඳ මතකයකින් යුතු ව මෙම චිත්‍ර ඇඳි බවයි. තමා විසින් තනාගත් පින්සලකින් මෙම චිත්‍ර ඇඳ ඇත.
 
 චිත්‍ර සටහන් යෙදූ රේඛාවේ ඝනත්වය, රිද්මය, අනුව පින්සල් කීපයක්‌ ඔහු සතු වූ බව පෙනී යයි. මිනිසකුට සිටගත් ඉරියව්වෙන් චිත්‍ර ඇඳිය හැකි සීමාවෙන් ඔබ්බට මීටර් 6 ක්‌ පමණ ඉහළට මෙම චිත්‍ර ඇඳ ඇති නිසා සිතිය හැක්‌කේ යම් ආධාරකයක්‌ මත සිට මෙම චිත්‍ර ඇඳි බවයි. එම චිත්‍ර තලයේ බොහෝ චිත්‍ර කොටස්‌ විනාශ වී ඇති අතර තැනින් තැන සමහර චිත්‍ර කොටස්‌ මතුවී පෙනේ.
 
 ශ්‍රී ලංකාවේ ඉපැරණි ලෙන් චිත්‍ර නාමාවලියක්‌ මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක සහ ගාමිණී ජයසිංහ යන විද්වතුන් විසින් රචනා කළ The Rock And Wall Paintings Of Sri Lanka නම් ග්‍රන්ථයේ පිටු අංක 10,11 හි දක්‌වා ඇත. එහෙත් එම විද්වතුන් පෙන්වා දෙන්නේ එම චිත්‍ර වැදි චිත්‍ර හෙවත් ඉපැරණි /ඓතිහාසික, ලෙන් චිත්‍ර බවයි. ඊට හේතු ලෙස,
 
 1. කටාරම් කෙටූ ලෙන් බිත්තියේ කටාරමට පහළින් චිත්‍ර ඇඳ තිබීම.
 
 2. චිත්‍රයට යෙදූ වර්ණ එතරම් ඉපැරණි නොවීම.
 
 3. වැදි ජනාවාසවල ජනයා මෙම චිත්‍ර තම ඥාතියකු ඇඳි බව තහවුරු කිරීම.
 
 4. සමහර චිත්‍ර කොටස්‌වල බෞද්ධ තේමා හෝ දේව රූප යෑයි අනුමාන කල හැකි චිත්‍ර කොටස්‌ තිබීම, යනාදී කාරණා දැක්‌විය හැක. චිත්‍ර කලාව පාසල් විෂය නිර්දේශය තුළ ද මෙම ලෙන් චිත්‍ර 28 ට අයත් ලෙන් අතරින් තුනක්‌ "ප්‍රාග්" ඓතිහාසික ලෙන් චිත්‍ර යෑයි දෝෂ සහගත ලෙස දක්‌වා ඇත. එම ලෙන් තුන ලෙස, නම්,
 
 1 තන්තිරිමලේ.
 
 2 බිල්ලෑව.
 
 3 දොරවක.....ලෙන් දැක්‌විය හැක.
 
 තන්තිරිමලේ සහ බිල්ලැව ලෙන් චිත්‍ර අද දැකගත නොහැකි තරමට දුර්වර්ණව පවතී. ඒවා ඇඳ ඇත්තේ ද කටාරම් කෙටූ ලෙනෙහි කටාරමට පහළිනි. ඊට අළු හුණු පැහැය බඳු සුදු පැහැය පමණක්‌ යොදගෙන ඇත. ගල්ලෙන් කටාරම යනු ගල් ලෙනක්‌ බෞද්ධ සංඝාවාසයක්‌ බවට පත් කිරීමේදී ඒ තුළට ජලය ගලා ඒම වැලැක්‌වීමට ගල් පෘෂ්ඨයේ ඉහළින් යොදන කුඩා ගැට්‌ටකි. බුදු දහම ශ්‍රී ලංකාවට ලැබෙනුයේ දේවානම්පියතිස්‌ස රාජ යුගයේ බැවින් ලෙන් විහාර තැනීම ඇරඹෙන්නේ ද ඉන් පසු කාලයේදීය.
 
 එමෙන්ම ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර ලෙස උසස්‌ පෙළ චිත්‍ර කලාව විෂය නිර්දේශය තුළට හඳුන්වා දී ඇති වෙට්‌ටම්බුගල ලෙන් චිත්‍ර සමඟ මහානාග රජුගේ සෙල් ලිපියක්‌ ද ඇත. එසේ නම් මෙම තන්තිරිමලේ වෙට්‌ටම්බුගල සහ බිල්ලැව ලෙන් චිත්‍ර ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර වීම මිත්‍යාවකි.
 
 දොරවක ලෙන් චිත්‍ර
 
 දොරවක ලෙන් චිත්‍ර හූරා අඳින ලද කුරුටු සටහන් ය. එහි ඇතා සහ ඇත් පැටවා නම් රූප කොටස වැදගත් වේ. එහෙත් දොරවක මාදෙනිය වතුයායේ ඇති මෙම ලෙන් රූපසටහන් යුරෝපා යටත් විජිත කාලයට අයත් බවත් ඒවා ඉංග්‍රීසි ජාතිකයන් රබර් වැවීම සඳහා වනාන්තර හෙළි කිරීමට ගෙනා ඇතුන් බැද තැබූ මෙම ලෙනේ ඒ අවධියේදී ඇඳි චිත්‍ර බව ගැමියන් පවසයි.
 
 යුරෝපා ඇල්ටමීරා, ලැස්‌කෝ, පොන්ඩි ගෝමේ, චෝවේ, ආදී ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර හා සමකළ හැකි ශ්‍රී ලංකාවේදී හමුවන එකම ලෙන් චිත්‍ර "කුරුල්ලන්ගල ලෙන් චිත්‍ර" බව මින් මනාව පැහැදිලි වේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේශන කිරීම සහ සංරක්‌ෂණය කිරීම බලධාරීන්ට භාරය. විවෘත ගල් පෘෂ්ඨයේ තවත් කාලයක්‌ මෙම චිත්‍ර පැවතුනහොත් අනාගත පරපුරට කුරුල්ලන්ගල ලෙන් චිත්‍ර ඉතිරි නොවනු ඇත.
 
 ජානක විඡේවීර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles