The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

* දළදා මාළිගාව කොටි බෝම්බයෙන් විනාශ වී විසිවසරක ශෝක දිනය නිමිත්තෙනි.
 dalada
ජනවාරි විසිපස්‌ වැනි දිනය ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට වේදනාකාරී ශෝක දිනයකි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සමඟ සමස්‌ත ලෝක බෞද්ධ ප්‍රජාව ද සෙසු ජාතිකයන් සහ ලබ්ධිකයන් ද කම්පාවට පත් කරමින් සමස්‌ත බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ ශ්‍රී දළදා මාළිගාව සිත් පිත් නැති ඒල් ටී ටී ඊ කොටි සංවිධානයේ ලොරි බෝම්බයකින් විනාශයට පත් වූ දිනය ජනවාරි විසිහය වැනිදාය. එම අවාසනාවන්ත සිදු වීමට මෙම විසිහය වැනි දිනට විසි වසරක්‌ පිරෙයි. වර්ෂ 1998 ජනවාරි මස විසිහය වැනිදා ශ්‍රීමත් දළදා වහන්සේ වෙත අලුයම බුද්ධ පූජාව පැවැත්වෙන මොහොතේ උදෑසන ඔරලෝසුවේ 6.05 මොහොත සටහන් වෙද්දී ශ්‍රී දළදා මාළිගාවේ මහා වාහල්කඩ අසලදී පුපුරා ගිය ලොරි බෝම්බයේ බිහිසුණු හෙඬේ දෝංකාරය, ගුවනට නැඟී දස දෙස පැතිරී ගියේ ජනතාවගේ සිත් සතන් අති මහත් කම්පනයට පත් කරමිනි.
 
 බලගතු බෝම්බය පිපිරී යැමෙන් සිදු වූ හානිය, අති මහත්ය. දළදා මාළිගාවේ ඉදිරිපස පැරණි බිත්ති තාප්ප දොර ජනේල ද, සමඟ වහළද ක්‌ෂණිකව ඇද වැටී ගල් ගඩොල් උළු ගොඩක්‌ බවට පත්විණ. අලුයම බුද්ධ පූජාවට එක්‌වීමට දළදා මාළිගාවට පිවිසෙමින් සිටි බැතිමතුන් පිරිසකගේ සිරුරු සුන්බුන් අතරින් පසුව සොයා ගනු ලැබීය.
 
 එහෙත් ආශ්චර්යයක්‌ වූයේ, මෙවන් මහා විපතක්‌ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපස සිදුවූ බවට, එම මොහොතේ ඉහළ වැඩසිටින මන්දිරයේ බුද්ධ පූජාවේ නිරත වී සිටි මහා සංඝරත්නයට හෝ බැතිමතුන් පිරිසට කිසිදු හෝඩුවාවක්‌ නොදැනීමය. දළදා සමිඳුන් වැඩසිටින සුවඳ කුටියට හෝ පිවිසුම් දොරටුව ඇතුළු පරිසරයට කිසිදු හානියක්‌ සිදු නොවීය. රන් වහළ නිරුපද්‍රිතව කාන්තිය සිරිත් පරිදි විහිදුවන් පවැතිණ.
 
 පිපිරී ගිය අධිබලැති බෝම්බයෙන් හටගත් ගින්න දළදා මාළිගාව තුළට පැතිර ගියේය. කිසිදු ත්‍රස්‌තවාදියකුට දළදා මාළිගාව තුළට ඇතුළුවීමට අවකාශ නොලැබී ගියේ එම අලුයම් වේලේ රාජකාරියෙහි යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් අවස්‌ථානෝචිතව ක්‍රියාකරමින් මහවාහල්කඩ අසල යකඩ ගේට්‌ටුව වසා දැමීමෙනි.
 
 ලොරිය සමඟ පිපිරී ගිය බෝම්බයෙන් හට ගන්නා ලද ගිනි ජාලාව මාළිගාව අභ්‍යන්තරය දෙසට පැතිරී යැමෙන් වැළකී මහ වාහල්කඩ ඉදිරිපිට ශ්‍රී නාථ දේවාලය ඉදිරිපස භූමිය දෙසට හමා ගියේය. ඒ වන විට මහ වාහල්කඩ ඉදිරිපිට සඳකඩ පහණ ඇතුළු ස්‌ථානයේ මහ වළක්‌ නිර්මාණය වී තිබිණි. නාථ දේවාලයේ ඉදිරිපිට බැම්ම ඇදවැටී ගොස්‌ තිබිණි. මුළු පරිසරයම ශෝචනීය දර්ශනයකි.
 
 එවකට දියවඩන නිළමේ පදවිය දරමින් සිටි නෙරංජන් විඡේරත්න මහතා ද දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය දරමින් වැඩසිටි මල්වතු පාර්ශවයේ අති පූජ්‍ය මහානායක රඹුක්‌වැල්ලේ ශ්‍රී විපස්‌සි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක පලිපාන ශ්‍රී චන්දානන්ද ස්‌වාමින් වහන්සේද වැඩම කර සිටියහ.
 
 නාගරික ගිනි නිවන හමුදාව පොලීසිය සහ ආරක්‌ෂක හමුදාවන් ස්‌වෙච්ඡා සේවකයන් අවට මෙහෙයුමෙන් තුවාලකරුවන් රොහල්ගත කිරීමේ සේවාවන්හි නිරත වූයේ කඩි රැලක්‌ මෙනි. අවට ගිහි පැවිදි පිරිස්‌ රැස්‌වෙමින් සිටියහ. එම සොචනීය දර්ශනය ගැටුණු කිසිදු නෙතකින් කඳුලක්‌ නොවැටී නොතිබිණි.
 
 එම සෝචනීය දර්ශනය දශක දෙකකට පෙර එක්‌ දිනෙක සිදු විණි. එවන් විපතක කිසිදු සලකුණක්‌ අද දක්‌නට නොලැබේ. ජීවමාන බුදුන් වහන්සේ වන් ශ්‍රීමත් දළදා සමිඳුන් වැඩසිටින පූජාසනය අතිශය දීප්තිමත්ව විරාජමාන වෙයි. අඳුරු අතීතය කාලය නැති වලාවෙන් වැසී ගියාක්‌ බඳුය. මෙම සුගන්ධ පූජාසනය අසිරිමත් අයුරින් යළි නිර්මාණය වූයේ කෙසේද යනු සොයා බැලීමේදී පියවි ඇසට වසන් වූ පැතිකඩ කිහිපයකි. දළදා මාළිගා ගොඩනැඟිල්ල ඇදවැටීමෙන් වූ සුන්බුන් ඉවත් කිරීම ඉතා කල්පනාකාරීව සිදු කිරීමට සිදු වූයේ ගොඩනැඟිල්ලේ කොටස්‌ ඇදවැටීමෙන් ජීවිත අනතුරට ලක්‌වීමේ ඉඩකඩ තිබීමය.
 
dalada1පත්තිරිප්පුව තුළ පවත්වාගෙන යන ලද, ප්‍රාචීන පුස්‌තකාලයේ ඵෙතිහාසික සංස්‌කෘතික හා සාහිත්‍යමය වටිනාකමින් යුතු ඉපැරණි පුස්‌කොළ පොත් ආරක්‌ෂා කිරීම ප්‍රමුඛතාවයේලා යුතු අංශ ලෙස සලකන ලදී. පුස්‌කොළ පොත් අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපානන් වහන්සේගේ අත් අකුරින් ලියන ලද භේසඤ්ඥ මංජුසාව නැමැති ග්‍රන්ථයද වේ.
 
 උළු, ගඩොල්, වැලි, හුණු වැනි ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයා ගත හැකි වුවත්, වහළ ඉදිකිරීමට අවශ්‍ය දැව සොයා ගැනීම විශාල ගැටලුවක්‌ විය. දළදා මාළිගාවේ වහළ ඉදිකිරීමට යොදා ගෙන තිබුණේ දිග පළල සහිත දැව සොයා ගැනීම මහත් ගැටලුවක්‌ ව තිබූ බව කියෑවේ.
 
 මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමින් වහන්සේ සහ දියවඩන නිළමේ නිරංජන් විඡේරත්න මහතා ද ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යුතු ප්‍රතිසංස්‌කරණ කමිටුව වහළ සැකසීමට අවශ්‍ය බුරුත දැව, සොයා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූහ. ගොඩනැඟිල්ල ඉදිකිරීමේ රාජකාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්‌තාවට පැවැරිණි. එවකට රාජ්‍ය නායිකාව වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ අනුග්‍රහයෙන් ආරක්‌ෂක හමුදාවේ සහාය ගොඩනැඟිලි ඉදිකරනු ලැබිණි.
 
 රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මහනුවර ප්‍රධානි වීරක්‌කොඩි මහතා ද විශේෂ කාර්ය භාරයක්‌ ඉටු කළහ.
 
 දළදා මාළිගාවේ වහළය පත්තිරිප්පුව ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අවශ්‍ය වූ බුරුත බාල්කය සඳහා දැව කොටසක්‌ සොයා ගැනීම විශාලතම ගැටලුවක්‌ බවට පත්විය. සිංහලයේ විශිෂ්ටතම වාස්‌තු විද්‍යාඥ පත්තිරිප්පුව ඉදිකළ අවස්‌ථාවේ යොදා ගන්නා ලද බුරුත බාල්කය දිග පළලින් යුත් දැව කොටසක්‌ සොයා ගැනීම ප්‍රමුඛ ගැටලුවක්‌ බවට පත්විය.
 
 ගැටලුව නිරාකරණය කර ගැනීමට වාසනාව සැලසුණේ කොළඹ බේරේ වැවේ ජලය ගලා යන ස්‌ථානයක ජලය සීමා කිරීම සඳහා යොදා ගන්නා ලද ඉදිකිරීමකට සම්බන්ධ කර තිබූ බුරුත දැව කොටස සොයා ගැනීමෙනි. එම බුරුත දැව කොටස, පැරණි බාල්කයේ දිග පළලින් යුක්‌ත වීම එම දළදා මාළිගාවේ මහා වාහල්කඩ ඉදිරිපිට පියගැටපෙළ සහ සඳකඩ පහණත් ඇත් රූප දෙක මෙන්ම පංචනාරි රූප පැරණි අයුරින්ම නිර්මාණය කිරීම ගැටලුකාරී විය. ඉපැරණි සඳකඩ පහන ඇත් රූප පංච නාරි රුප බෝම්බයෙන් විනාශයට පත්ව කැබලිව තිබිණි. එම පුරාවස්‌තුවල සටහනක්‌ පිංතුරයක්‌ හෝ ඡායාරූපයක්‌ සොයා ගැනීම දුෂ්කර කාර්යයක්‌ විය.
 
 එම ගැටලුව නිරාකරණය කර ගැනීමේ නියුතුව සිටි මොහොතක ප්‍රංශ ජාතික ඩැනියෙල් නිසාරෝ මහනුවර පැමිණ දියවඩන නිළමේ නෙරංජන් විඡේරත්න මහතා මුණ ගැසුණේය. දළදා මාළිගාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී උද්ගතවී ඇති තත්ත්වයට අවධානය යොමු විය.
 
 එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වු ජැක්‌ස්‌සුලේ මහතා සතුව දළදා මාළිගාවේ පැරණි ඡායාරූප කිහිපයක්‌ තිබෙන බව ඩැනියෙල් ලෙසාරෝ පැවසීය. ඩැනියෙල් ලෙසාරෝ, නෙරංජන් විඡේරත්න සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව ද දැන හඳුනාගෙන සිටියේය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වූ එඩ්මන්ඩ් වික්‍රමසිංහ මහතා ද හෙතෙම දැන හඳුනාගෙන සිටියේය. ඩැනියෙල් ලෙසාරෝ, ගේ උපදෙස්‌ අනුව මහාචාර්ය ජැක්‌ස්‌ සුලේ සොයා උඩුනුවර නිවසට නෙරංජන් විජයරත්න මහතා සහ7 වීරක්‌කොඩි මහතා ගියහ. ජැක්‌ස්‌ සුලේ ආරක්‌ෂා සහිතව, තබාගෙන තිබුණු ඡායාරූප පෙන්වා සිටි නමුත් බැහැරව ගෙන යැමට කැමැත්තක්‌ නොදැක්‌වීය. ඡායාරූප ස්‌කෑන් කර රැගෙන යන ලෙස හෙතෙම දන්වා සිටියේය.
 
 එම ඡායාරූප දැඩිව තමන් සතුව තබා සිටින බවත් එම ඡායාරූප රාජ්‍ය වෙන්දේසියකදී මිලට ගත් බවත් ආචාර්ය සුලේ කීය. එම ඡායාරූප 1864 දී ලංකාවට පැමිණි ප්‍රංශ ජාතිකයකුගෙන් මෙම ඡායාරූප තමන්ට ලැබුණු බවද හෙතෙම කීය. පියගැටපෙළ දෙපස දොරටුවල ඇත් රූප දෙකද පංචනාරි රූප ද පැහැදිලිව පෙනිණි. නෙරංජන් විජයරත්න වීරක්‌කොඩි ගැමුණු සිල්වා යන මහත්වරු වහා පියවර ගනිමින් සංස්‌කෘතික දෙපාර්තමේන්තුවෙන් ස්‌කෑන් යන්ත්‍ර ලබාගෙන ඡායාරූප ස්‌කෑන් කර ගත්හ. එම ඡායාරූපවල දර්ශනය වූ අයුරු පියගැටපෙළ සඳකඩ පහණ ඇත් රූප සහ පංචනාරි රූප නිර්මාණය කරන ලදී. ඔවුන්ගේ කලා වස්‌තූන් ශ්‍රී දළදා මාළිගයේ තැන්පත් කිරීමට ද කටයුතු කරන ලදී.
 
 විනාශයට පත් වූ පියගැටපෙළ සඳකඩ පහණ නිර්මාණය කිරීමේදී එතෙක්‌ පැවති ගලින් නිමවූ සත්වැනි පඩියක්‌ ද සොයා ගත හැකි විය. අතීතයේ අඩි සතක්‌ව පැවැති පියගැට පෙළෙහි පළවැනි පඩිය දොරටුව ඉදිරිපිට මහා මාර්ගය සංවර්ධනය කිරීමේදී වැසීගොස්‌ තිබිණි.
 
 විනාශයට පත් වූ මාළිගාවේ බිත්ති සැරසුම පැරණි චිත්‍ර සංස්‌කෘතික දෙපාර්තමේන්තුවට සම්බන්ධ චිත්‍ර ශිල්පීන් ලවා උසස්‌ ලෙස නිර්මාණය කරන ලදී. දළදා මැඳුරට පිවිසෙන මහ වාහල්කඩ පිටුපස දොරටුව ඇතුළු ස්‌ථාන කිහිපයකට අවශ්‍ය සුදුසු කළුගල අවිස්‌සාවේල්ලෙන් ලබාගන්නා ලදී.
 
 මෙම සියලු සංස්‌කරණ සහ නිමැවුම් සිදු කරන ලද්දේ, දේශීය කර්මාන්තකරුවන් කලා ශිල්පීන් ඉංජිනේරුවන් සහ වාස්‌තු විද්‍යාඥයන් අතින්ම වීම විශේෂත්වයකි. ආඩම්බරයකි.
 
 
 සිරිල් විමලසුරේන්ද්‍ර

විශේෂාංග

sikuru

සිනමා කලා

dul250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles