Divaina - තඹත් නෑ කියලා අතහැරපු නිධියක්... රට ගොඩගන්න පහළවූ රත්තරන් නිධිය... සිදුරු කළේ අඩි හැත්තෑවක්... තව යටට රත්තරන් නිධිය තියෙනවා...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

තරංග රත්නවීර


kanija

 



* රත්තරන් විතරක් නෙමෙයි ලොව වටිනාම ලෝහය වන ෆ්ලැටිනම් ඛනිජයත් තියෙනවා...
* දෙවැනි අදියරේ ගවේෂණ කටයුතු නුදුරු දිනකදී ආරම්භ කරනවා...
-  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න

 

 

 

 

 

රන් මිල කාලගුණය වැනිය. හිටි හැටියේ මිල අඩු, වැඩි වේ. මේ දිනවල ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ශීඝ‍්‍රයෙන් වැඩි වෙමින් තිබේ. මේ ලිපිය සටහන් තබන දිනයේ දේශීය වෙළෙඳපොළේ පවුමක වටිනාකම රුපියල් හැත්තෑහයදහසකට වැඩිය. රත්තරන් මිල වැඩි වෙමින් තිබෙන මෙවැනි පසුබිමක, අපේ රටේ මිනිසුන්ට ‘රත්තරන්’ කතාවක් කියන්නට දැන් අප සූදානම්ය. ඒ මෙරට සේරුවාවිල ප‍්‍රදේශයෙන් ලොව වටිනාම රන් නිධියක් සොයාගෙන ඇති බවට ලැබෙන විශ්වසනීය කතාවය. ඒ කතාව කියන්නේ අප නොවේ. දීර්ඝ කාලයක සිට සේරුවාවිල ප‍්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නියැළී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතාය. මෙතැන් සිට පෙළගැසෙන්නේ මහාචාර්යවරයා කියන ඒ ‘රත්තරන්’ කතාවය.


‘සේරුවාවිල ප‍්‍රදේශයේ භූ විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන්න අපිව උනන්දු කළේ එම ප‍්‍රදේශවාසීන්. මුලින්ම ඒ ප‍්‍රදේශවල විවිධ පාෂාණ වර්ග තිබිලා සොයාගෙන තිබුණේ සේරුවාවිල ගම්වාසීන්. ඒ තොරතුරු පාදක කරගෙන 1970 දශකයේදී ප‍්‍රංශ රජයේ ආධාර ව්‍යාපෘතියක් යටතේ භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව සේරුවාවිල ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු ආරම්භ කළා. මීටර් සීය, එකසිය පනහ ගැඹුරට කැණීම් කර, පාෂාණ නිධියේ සාම්පල් ලබාගෙන ප‍්‍රංශයට යවා, එරට රසායනාගාරවලදී විශ්ලේෂණය කරලා යකඩ, තඹ නිධියක් තිබෙන බව තහවුරු කරගෙන තිබුණා. ඒ පර්යේෂණ වාර්තාව ලැබිලා තිබුණේ 1979 අවුරුද්දේ අවසාන මාස කිහිපයේදී...’’

kanija2‘‘දිගුකාලීන ගවේෂණයක ප‍්‍රතිඵලයක්. ඒත් සොයාගත් නිධියේ කර්මාන්තයක් කරන්න තරම් තඹ නෑ කියලා කැණීම් කටයුතු අතහැර දාලා තිබුණා. විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ඔස්සේ එම පර්යේෂණ වාර්තා විශ්ලේෂණය කරගෙන යනකොට ඒ කැණීම්වලින් ඔබ්බට තව පාෂාණ තට්ටු තියෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබුණා. වැඩිදුරටත් අපි ඒ පර්යේෂණ වාර්තා අධ්‍යයනය කරලා බැලූවා. සේරුවාවිල ඛනිජ නිධිය ලෝකයේ වෙනත් රටවල ඛනිජ නිධිවලට සමානයි. ඒ වගේම එවැනි ඛනිජ නිධියක යකඩ, තඹ, පොස්පේට් රත්තරන් තියෙනවා. සේරුවාවිල ප‍්‍රදේශයෙන් සොයාගත් ඛනිජ නිධියෙත් යකඩ, තඹ, පොස්පේට් තුනම තිබෙන බවට තහවුරු වෙලා තිබුණා. එහෙම නම් මේ නිධියේ අනිවාර්යයෙන්ම රත්තරන් තියෙන්න ඕනෑ. කැණීම් කළ ස්ථානයේ නැති වුණත් ඒ ආසන්නයේ කිලෝ මීටර් හතරක්, පහක් වපසරියක අනිවාර්යයෙන්ම රත්තරන් තිබිය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කළා. ඒ වගේම සේරුවාවිල ප‍්‍රදේශයේ තඹ කැණීම් සිදු කර ඇති බව මහාවංශයෙත් සඳහන් වෙලා තියෙනවා. අතිතයේ කැණීීම් කරපු බවට අදටත් එම ප‍්‍රදේශවලින් සාධක හමුවෙනවා. දිගට හැරූ විශාල කාණු නටඹුන් බවට පත් වෙලා තියෙනවා. ඒ කැණීම්වලින් ඛනිජ සම්පත් පිටතට රැගෙන නිස්සාරණය කරලා තියෙන බවට සාධක තියෙනවා. මෙරට ඉතිහාසයේ යකඩ පරිභෝජනයට පෙර තඹ පාවිච්චි කරපු බවට සාධක හමුවෙලා තියෙනවා. ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ලංකාවේ තඹ පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු වළලපු තැන්වල තඹ ආභරණ තිබිලා හමුවෙලා තියෙනවා. ඒ තඹ තොග ලබාගෙන තියෙන්නේ සේරුවාවිල ප‍්‍රදේශයෙන් බවට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ කරුණු කාරණා අධ්‍යයනය කරමින් සේරුවාවිල තඹ නිධියේ රත්තරන් තිබේද යන්න සොයාබැලීමට ගවේෂණය කිරීමට අපි තීරණය කළා...’’

‘‘කැණීම් කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ගවේෂණ බලපත‍්‍රය භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලූම් කළා. ඒත් එම පනතේ කොන්දේසිවලට ප‍්‍රකාරව රාජ්‍ය නිලධාරීන්ට ගවේෂණ බලපත‍්‍ර නිකුත් කරන්න බෑ. රාජ්‍ය ආයතනවලට ගවේෂණ බලපත‍්‍ර නිකුත් කරන්නෙත් නෑ. සාමාන්‍ය පුද්ගලයන්ට සහ පෞද්ගලික ආයතනවලට විතරයි ගවේෂණ බලපත‍්‍ර නිකුත් කරන්නේ. ඒ නිසා පෞද්ගලික සමාගමක සහාය ලබාගෙන ගවේෂණ වාර්තාව ලබා ගත්තා. ඒත් රත්තරන් ගවේෂණය කිරීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මල්ටි මිලියන ව්‍යාපෘතියක්. එවැනි ව්‍යාපෘතියකට ලංකාවේ ව්‍යාපාරිකයෝ මුදල් වියදම් කරන්න කැමති නෑ. ලොකු අවදානමක්. රත්තරන් තිබුණොත් දිනුම්. නැති නම් වියදම් කරපු මුදල් අපතේ. සේරුවාවිල රත්තරන් ගවේෂණ ව්‍යාපෘතිය කරගෙන යන්න මූලික වියදම විදිහට රුපියල් මිලියන දහයක් විතර අවශ්‍ය වුණා. මා කෙරෙහි තැබූ විශ්වාසය මත පෞද්ගලික ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් සිය කැමත්තෙන් මුදල් ලබා දෙන්න ඉදිරිපත් වුණා. මදි පාඩුවට බැංකු ලෝන් එකක් ලබාගෙන, අඩු වියදමකින් පොළොව විදින්න විදුම්කරුවකුත් සොයාගෙන 2017 අවුරුද්දේ කැණීම් කටයුතු ආරම්භ කළා...’’

සේරුවාවිල ඛනිජ නිධිය පිහිටලා තියෙන්නේ මුහුදේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොඩබිම දෙසට පිහිටි අති සුන්දර ප‍්‍රදේශයක. ප‍්‍රථමයෙන් අපි සේරුවාවිල තඹ නිධිය සහිත ප‍්‍රදේශයට ගිහින් ඒ ගම්වැසියන් සමග සුහදත්වයක් ගොඩනඟා ගත්තා. සේරුවාවිල පන්සලේ නායක හාමුදුරුවො අපිට විශාල අනුග‍්‍රහයක් දැක්වුවා. සේරුවාවිල රත්තරන් නිධිය රටේ සංවර්ධනයට සම්පතක් කර ගන්න පුළුවන් වුණොත් විහාර සංවර්ධනයට කොටසක් වෙන්කර ගැනීම තමයි සේරුවාවිල පන්සලේ විහාරාධිපති වහන්සේගේ එකම අභිප‍්‍රාය වුණේ. ඊට ඔබ්බට ගිහින් ඛනිජ සම්පත් සංවර්ධනය, පතල් කැණීම් පිළිබඳ අධ්‍යයන ආයතනයක් සේරුවාවිල ප‍්‍රදේශයේ ඇති කරන බවට අපි පොරොන්දු වුණා. සිහින ලෝකයක හිඳගෙන ඛනිජ නිධිය සහිත ප‍්‍රදේශයේ භූ භෞතික විද්‍යාත්මකව පර්යේෂණ කටයුතු කරගෙන ගියා. ඒ තුළින් ඛනිජ නිධිය බහුලව පැතිරී ගිය විශේෂිත ස්ථාන හඳුනාගත්තා...’’

‘‘සේරුවිල පන්සලේ දකුණු ප‍්‍රදේශයෙන් තමයි යකඩ, තඹ ඛනිජ සොයාගෙන තිබුණේ. එතැන ඉඳලා කිලෝ මීටර් හතරක් විතර දුරකින් තමයි රත්තරන් නිධිය පිහිටලා ඇතැයි අනුමාන කළේ. ?, දවල් තිස්සේ අලි ගැවසෙන විශාල කුඹුරු යායක්. භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණයට අනුව එම වෙල් යායෙත් ඛනිජ නිධිය බහුලව ස්ථානගත වෙලා තිබුණු ස්ථාන හඳුනාගත්තා. වර්ග කිලෝ මීටර් නවදහසක පමණ ප‍්‍රදේශයක ඛනිජ නිධිය පැතිරිලා තියෙනවා. ඒ කලාපය තුළ මීටර් හැටක්, හැත්තෑවක් ගැඹුරු සිදුරු විඳින්න පටන් ගත්තා. ඒ සිදුරුවලින් ෆයරයිට් ඛනිජ සොයා ගත්තා. ෆයරයිට් නිස්සාරණය කරලා තමයි තඹ නිෂ්පාදනය කරන්නේ. ෆයරයිට් සල්ෆයිඩර් ඛනිජය රත්තරන් පාට නිසා ඒ ඛනිජයට මෝඩයගේ රත්තරන් කියලත් කියනවා. ගැමි වහරේ හඳුන්වන මෝඩයගේ රත්තරන් ඛනිජය ඇතුළේ තමයි අනෙකුත් සියලූ ඛනිජ තැන්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ෆයරයිට් සල්ෆයිඩර් ඛනිජය මතු වුණාම අපි ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ අපි මීටර්, හැට හැත්තෑව ගැඹුරට විද්දා. කෙළින් අතට, හරහට විදුම් කටයුතු සිද්ධ කළා. එහෙම විදගෙන ගිහින් එක, එක කලාපවලින් නියදි කිහිපයක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරවලදී පරීක්‍ෂණ කරලා බලනකොට රත්තරන් තියෙන බව තහවුරු වුණා. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනයේ පරීක්‍ෂණාගාරයේදී පරීක්‍ෂණ කරලා බැලූවා. ඒ පරීක්‍ෂණයේදී රත්තරන් තියෙන බව ඔප්පු වුණා. මූලික අධ්‍යයන ආයතනයේ පරීක්‍ෂණාගාර තුළදී පරීක්‍ෂණයක් කළා. ඒ සෑම පරීක්‍ෂණයකදීම අපි ලබාගත් ඛනිජ සාම්පල්වල එක්, එක් ප‍්‍රමාණවලින් රත්තරන් තියෙන බව තහවුරු වුණා.

ඊට පස්සේ පරීක්‍ෂණ සඳහා කැනඩාව, අයර්ලන්තයේ පර්යේෂණ ආයතන දෙකකට සාම්පල් කිහිපයක් යැව්වා. ඒ රටවලදී සිදු කළ පරීක්‍ෂණවලදී රත්තරන් තියෙන බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව 2018 වර්ෂය වෙනකොට සේරුවාවිල ඛනිජ නිධියේ රත්තරන් තිබෙන බව අපි තහවුරු කරගත්තා...’’

‘‘අපි ගවේෂණය කරපු කලාපයේ විතරක් කිලෝ මීටර් හතරක් පමණ දුරට විහිදුණු ඝනකම පාෂාණ තට්ටුවක් තිබුණා. ඒ පාෂණ තට්ටුව මීටර් සියක් පමණ ගැඹුරට හෑරුවා. ඒ අනුව ඝන මීටර් මිලියන හතළිහක විතර ප‍්‍රමාණයක ඛනිජ නිධිය පැතිරලා තියෙනවා. ඒ කලාපය තුළ විතරක් ටොන් මිලියන අසූවක පමණ ඛනිජ සම්පත් තියෙනවා කියලා අපි අනුමාන කරනවා. ඒ ඛනිජ නිධියේ තඹ, යකඩ, රත්තරන් වගේම ලොව වටිනාම ලෝහ වන ෆ්ලැටිනම් ෆ්ලේඩියම් ඛනිජත් තියෙනවා. ඒ, ඒ කලාපවල විවිධ මට්ටම්වලින් ඛනිජ පිහිටලා තිබුණා. අපි හඳුනාගත්තේ මීටර් හැට හැත්තෑවක ගැඹුරින් තියෙන ඛනිජ නිධියේ ලෝහ වර්ග කිහිපයක් විතරයි. ලෝකයේ රත්තරන් නිධි මීටර් තුන්සිය, හාරසීය ගැඹුරට විහිදෙනවා. මේ රත්තරන් නිධියත් තව ගැඹුරට පැතිරිලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මීටර් එකසිය පහළොවකින් විතර තවත් ඛනිජ තට්ට්ටුවක් අපට හමුවුණා. ප‍්‍රතිපාදන නැති නිසා ඒ කලාපයට වෙනකම් අපි හෑරුවේ නෑ...’’

kanija3‘‘2019 අවුරුද්දේ පෙබරවාරි, මාර්තු වෙනකොට මූලික ගවේෂණ කටයුතු අවසාන කරලා, එම පර්යේෂණ වාර්තා භූ විද්‍යා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන්න අපිට අවස්ථා ලැබුණා. ඒ අවස්ථාවට අදාළ සියලූම පාර්ශ්ව කැඳවන්න කියලා මම ඉල්ලීමක් කළා. ඛනිජ සම්පත් ගවේෂණය භූ විද්‍යා, පතල් කාර්යාංශයට පමණක් සීමා වෙච්ච කටයුත්තක් නෙමෙයි. ඒ කටයුත්තට අදාළ ආයතන, නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ගවේෂණය කරන්නේ පොළොවේ. මිනිසුන් ජීවත් වන ප‍්‍රදේශවල හෝ කැලෑ ප‍්‍රදේශවල. ඒ ඒ ක්‍ෂේත‍්‍ර පාලනය වන ආයතන තියෙනවා. වෙනම නීති තියෙනවා. නිලධාරීන් ඉන්නවා. ඛනිජ සම්පත්වල තියෙන වටිනාකම ගැන ඒ අයත් දැනුවත් වෙන්න ඕනෑ. එහෙම නොවෙන්න ඛනිජ සම්පත් ගවේෂණයේදී ඒ ආයතනවලින් සහ නිලධාරීන්ගෙන් අපිට ගැටලූ මතු වෙනවා. ඒ නිසා ඛනිජ සම්පත් පිළිබඳ අධ්‍යක්‍ෂ ජෙනරාල්, පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අදාළ සියලූ ආයතනවල නිලධාරීන් එක තැනකට එකතු කරලා අපි වාර්තාව ඉදිරිපත් කළා. ඒ සියලූ නිලධාරීන් අපේ වාර්තාව පිළිගත්තා. කිසිදු ගැටලූවක් මතු වුණේ නෑ. ඒත් අපි මේ වාර්තාව සමාජගත කළේ නෑ. දැන් නියම කාලය ඇවිත් තියෙන නිසා ප‍්‍රථම වතාවට රත්තරන් සොයාගත්ත කතාව මාධ්‍යයට කිව්වා...’’

‘‘සේරුවාවිල ප‍්‍රදේශයෙන් අපි සොයාගෙන තියෙන රත්තරන් ප‍්‍රමාණාත්මකව වෙනස් වෙනවා. සමහර නියදිවල පාෂාණයේ ටොන් එකකට රත්තරන් ග‍්‍රෑම් නවයක් දහයක් තියෙනවා. තව සමහර නියදිවල ටොන් එකකට රත්තරන් ග‍්‍රෑම් පහයි, හයයි. එවැනි ප‍්‍රමාණයන් තියෙනවා කියන්නේ ආර්ථික වශයෙන් වටිනා නිධියක ලක්‍ෂණ. ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල ආර්ථික වශයෙන් ක‍්‍රියාත්මක රත්තරන් නිධිවල ටොන් එකට රත්තරන් ග‍්‍රෑම් 0.5 තියෙන නිධිත් කැණීම් කරනවා. ලංකාවේ අපි සොයාගත්ත රත්තරන් නිධියේ ටොන් එකට ග‍්‍රෑම් පහ, නවය තියෙනවා. ආර්ථික වටිනාකම ඉතාම ඉහළයි. ඒත් මේ ගවේෂණ කටයුතුවලට රජයෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නෑ. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙනුත් සහයෝගය ලැබුණේ නෑ. දැන් මේ ඛනිජ නිධියේ රත්තරන් තියෙන බව තහවුරු වෙලා තියෙන නිසා ඉදිරියට කෙරෙන ගවේෂණ කටයුතුවලට ප‍්‍රතිපාදන ලබාදීමට ආයෝජකයන් පොරකන තත්ත්වයට පත් වෙලා. ඒ්ත් රත්තරන් කර්මාන්තයක් ඇති කිරීමේදී මූලික පිරිවැය පමණක් ඩොලර් මිලියන තුන්සීයක් විතර වැය වෙනවා. රත්තරන් නිස්සාරණය කරලා රත්තරන් කැට එළියට ගන්න විතරක්. රත්තරන් කර්මාන්තය ඒ තැනට ගේන්න දැන් ව්‍යාපාරිකයෝ ආයෝජනය කරයි. ඉතා නුදුරේදී දෙවැනි අදියරේ ගවේෂණ කටයුතු අපි ආරම්භ කරනවා...’’

‘‘මේවා මීට කලින් වෙන්න තිබුණු ව්‍යාපෘති. ඒත් අපේ රටේ ඛනිජ සම්පත් ගවේෂණයට කිසිම රජයක් උනන්දු වුණේ නෑ. ඛනිජ සම්පත්වල වටිනාකම, ඛනිජ සම්පත් සොයා ගැනීමෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ ගැන කිසිම රජයක් සැලකිලිමත් වුණේ නෑ. ලෝකයේ දියුණු රටවල ප‍්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ මොනවද? ඇමෙරිකාවේ ජාතික ආර්ථිකයට එරට ඛනිජ සම්පත්වලින් 18% ක දායකත්වයක් ලැබෙනවා. චීලි රටේ ජාතික ආර්ථිකයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට තිස්අටයි. බොට්ස්වානාවල ඛනිජ සම්පත්වල දායකත්වය සියයට හැටක්. අපේ රට පුංචි දූපතක් වුණත් ඛනිජ සම්පත් තියෙන ප‍්‍රමාණය වැඩියි. ඒත් අපේ රටේ නිධන්ගත ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට සම්පතක් කර ගන්න බැරි වුණා. සොබාදහම රටට ලබා දීලා තියෙන සම්පත් ප‍්‍රයෝජනයට ගන්න අපේ රටට නිවැරැදි ප‍්‍රතිපත්තියක් තිබුණේ නෑ...’’ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ රත්තරන් කතාව අවසානය. මහාචාර්යවරයාගේ පර්යේෂණ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාදීමේ බලාපොරොත්තුවෙන් ඔහු නිහඬ විය.

නිදහසින් පසු මෙතෙක් කාලයකට මේ රන් පොළොව යට නිධන්ගත ඛනිජ සම්පත් කැණීම් කොට රටේ ආර්ථිකයට සම්පතක් කරගැනීමට තරම් දූරදර්ශී දෑහිතකාමී නායකයන් බිහිනොවීම අපේ රටේ කරුමයකි. එහෙත් යටගියාවට චෝදනා නැඟීම නිෂ්ඵල ක‍්‍රියාවකි. එහෙයින් ඒ අවාසනාවන්ත කාලපරිච්ෙඡ්දයන් අමතක කොට සේරුවාවිල ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති රත්තරන් ඇතුළු ඛනිජ නිධිය නිස්සාරණය කිරීම පවතින රජයේ ප‍්‍රමුඛ කාර්යභාරයකි.

එමෙන්ම පවතින රජයට එම රාජකාරිය පසෙකට දැමීමට ද නොහැකිය. සේරුවාවිල ප‍්‍රදේශයේ ඛනිජ ගවේෂණයේ නිරත වූ මහාචාර්ය සේනාරත්න මහතා දැන් ඒ ‘රත්තරන්’ කතාව සමාජගත කර අවසානය. දැන් අප බලා සිටින්නේ රජයේ අදාළ පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන වේගය දෙසය. එමෙන්ම වාර්තා වන අන්දමට මේ වන විටත් සේරුවාවිල රත්තරන් නිධිය බදුගැනීමේ අදහසින් කැනඩා සමාගම් දෙකක නියෝජිතයන් කිහිපදෙනෙක් ලංකාවට පැමිණ සිටිති. එහෙයින් ‘වත්ත බද්දට දී ඇස්සට දත නියවන’ තත්ත්වයක් සේරුවාවිල රත්තරන් නිධියට උදානොවේවායි යන්න අපගේ ප‍්‍රාර්ථනාවය. 


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles