Divaina - රටේ සාරය කොල්ලකාලා පොරොන්දු වැසි වස්සන මේ අයට රැවටෙන්න එපා - දුමින්ද නාගමුව කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


p18
 

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර


ප‍්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනකු ජනාධිපතිවරණ සටනේ ඉදිරිය ගැන කටයුතු කරමින් ඇති මොහොතක පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ ලබන 16 වැනිදා මහ පොළොව මත යුක්තිගරුක සමාජයක් බිහිකිරීමේ අරගලයට ආරම්භයක් ලබාගැනීමේ අරමුණින් සිය ජනාධිපතිවරණ මෙහෙයුමේ කටයුතු කරමින් සිටී. පවතින දේශපාලන තත්ත්වය මෙන්ම තවත් කරුණු කාරණා ගැන විමසීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතාව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මුණගැසුණෙමි. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය - ප‍්‍රධාන අපේක්‍ෂකයන් සියලූ දෙනා පාහේ මැතිවරණ වේදිකාව තුළ අති දැවැන්ත පොරොන්දු කන්දරාවක් ජනතාව හමුවේ තබමින් ඇති බව පෙනෙන්නට ඇති කාරණයක්. මෙම පොරොන්දු දේශපාලනය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - මෙය අලූත් දෙයක් නොවෙයි. මැතිවරණ ඉතිහාසය තුළ දිගින් දිගටම මෙම පොරොන්දු දේශපාලනය ඉදිරියට ඇදෙමින් ඇවිත් තිබෙනවා. මේ රටේ පහළ පාන්තික ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්න මොවුන් කොල්ලකමින් තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස මහත්තයා කිරි වීදුරුවක් දෙනවා කියා වේදිකාවේ කිවු පසු අනෙත් අපේක්‍ෂකයා ඒකට තව දෙයක් කියනවා. මොවුන් මේ කොල්ල කන්නේ කිරි වීදුරුවක් තම දරුවාට දීමට නොහැකි අම්මා තාත්තාගේ සිහිනයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොහොර නිකන් දෙනවායි කියනවා. ඔහු මේ කොල්ලකන්න හදන්නේ සුවහසක් ගොවි ජනතාවගේ අනාගත බලාපොරොත්තුයි. රටට බත සපයන ගොවියා වී කිලෝවකින් රුපියල් දහයක් දොළහක් ගනිද්දී හාල් මෝල් හිමියා එමගින් රුපියල් විස්සක පමණ ලාභයක් ලබනවා. එවැනි හාල්මෝල් හිමියන් හතර දෙනකු මේ සියල්ල හූරාකමින් තිබෙනවා. අපි දන්න එක් හාල්මෝල් හිමියකුගේ දිනක ශුද්ධ ලාභය රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයක් පමණ වෙනවා. ඒ කියන්නේ ඔහුට හැම දවසකම කෝටි ගණනක ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක්. පාලකයින් මෙම මාෆියාවන් නතර නොකොට ගොවියාගේ සිහින කොල්ලකනවා. අපි නතර කළ යුත්තේ එයයි.

සමාජයේ ජනතාව මුහුණදෙන ඇත්ත ප‍්‍රශ්න විසඳන්නේ නැතිව පාලකයින් ජනතා මුදල් යටිමඩි ගහගනිමින් සිටිනවා. ආර්ථිකයේ සාරය කොල්ලකන, ශ‍්‍රමය කොල්ලකන, නිෂ්පාදනය කොල්ලකන ක‍්‍රමය එහෙම්මම තිබෙනවා. මේ සිදුකරමින් තිබෙන්නේ ජනතාවට මරණ වරෙන්තුව දී අන්තිම කැමැත්ත අහනවා වගේ වැඩක්.

ප‍්‍රශ්නය - අපේක්‍ෂකයින් ලබාදෙන මෙම දහසකුත් පොරොන්දු ක‍්‍රියාත්මක කිරීමේ ආර්ථික හැකියාවක් මේ රටට තිබෙනවාද?

පිළිතුර - කිසිසේත් බැහැ. මේවට සල්ලි සොයාගන්නේ කොහෙන්ද කියලා අපිට නම් හිතාගන්න බැහැ. මීට මාස දෙකකට කලින් රාජ්‍ය සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට මේ වන තෙක් කිසිදු වැටුපක් ගෙවා නෑ. ඊට හේතු ලෙස සඳහන් කර තිබෙන්නේ රජයට සල්ලි නැති කාරණයයි.

ප‍්‍රශ්නය - නමුත් අපි දැක්ක කාරණයක් තමයි එක් අපේක්‍ෂකයෙක් භාණ්ඩාගාරයේ සල්ලි පුරෝලා තිබෙනවා යැයි වේදිකාවේදී ප‍්‍රකාශ කර තිබුණා.

පිළිතුර - එයා කියන්නේ රජ කාලේ කහවනු පුරවලා තිබෙනවා වගේ කතාවක්. හරි පැහැදිලිවම ඒ වගේ ආර්ථික ශක්තියක් මේ රටට දැන් නැහැ. මෙම කතා මිනිස්සුන්ගේ දුප්පත්කම කොල්ලකන කතායි. ඒ දුප්පත්කම ගසා කන්න දේශපාලනඥයන්ට ඉඩ දෙන්න එපා යැයි අපි ජනතාවට කියා සිටිනවා.

ප‍්‍රශ්නය - රට පාලනය කළ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම තම දේශපාලන ක‍්‍රියාවලිය තුළ පොරොන්දු දේශපාලනයට ප‍්‍රමුඛ තැනක් දී තිබෙන බව ඉතා පැහැදිලියි. මිනිස්සුන්ට ආමන්ත‍්‍රණය කරන්න ඇති ලේසිම හා පහසුම තැන එතැන යැයි එම ආණ්ඩු හිතනවා වෙන්න පුළුවන්. මෙතනදී එම ආණ්ඩු වගේම පොරොන්දු දේශපාලනය භාරගන්නා ජනතාවත් වරදකරුවන් නොවේද?

පිළිතුර - පැහැදිලිවම. ඔවුන් ළ`ග අඩුපාඩුවක් තිබෙනවා. අපි කතාවට කියනවානේ යකාගේ හැටියට තමයි විමානේ කියලා. මෙතනත් ඒ වගේ තමයි. ජනතාවගේ හැටියට තමයි පාලකයෝ හැඩගැසී තිබෙන්නේ. මෙරට පාර්ලිමේන්තුවත් ජනතාව හිතන විදිහේම පරාවර්තනයක් හා ප‍්‍රකාශනයක්. ජනතාව වෙනස් නොකර අපට කිසිසේත් මේ දේශපාලන ක‍්‍රමය වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ජනතාව හිතන ක‍්‍රමය වෙනස් කරන දේශපාලන ක‍්‍රමයකට අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ ඒ නිසයි. ජනතාවට වඩා මොවුන් මේ අවුස්සන්නේ ඡන්ද මානසිකත්වයේ ඉන්න ඡන්ද දායකයන්වයි. අපි ඡන්දෙදී දකින්නේ ප‍්‍රකෘති තත්ත්වයක් නොව විකෘති කරන ලද ජනමතයක්. මොවුන්ගේ ප‍්‍රචාරක මෙහෙයුමේ එක කොටසක් තමයි මේ වගේ පොරොන්දු ගොන්නක් ලබාදීම.

ප‍්‍රශ්නය - ජනතාව වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අසමත් වෙලාද?

පිළිතුර - ජනතාව වෙනස් කරන්න නම් මතයක් පමණක් ගෙන යෑම ප‍්‍රමාණවත් නැහැ. අපි කරමින් සිටින්නේ මැතිවරණයෙන් එහාට ගිය දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ වන විට එය කරමින් සිටිනවා. අපේ ජනතාව බොහෝ දේවල්වලට නතුවෙලා සිටින්නේ පුරුද්දක් විදිහට. ඔවුන් දැන් රැවටීමත් පුරුද්දක් කරගෙන සිටිනවා. දේශපාලනඥයෝ බොරු කීම පුරුද්දට ගිහින් තිබෙනවා. ඒ වගේම ජනතාවත් බොරු අහන් ඉන්න එක පුරුද්දක් කරගෙන තිබෙනවා. දේශපාලනඥයෝ හොරකම් කරන එක පුරුද්දක් කරගෙන තිබෙනවා. ජනතාවත් අඩු වැඩි වශයෙන් එම පුරුද්දම කරගෙන යනවා. මෙම තත්ත්වයන් නිසා ජනතාව සංවිධානය කිරීමේ දේශපාලන ව්‍යාපාරයක අපි නිරතව සිටිනවා. වෙනස් මතයකට ගෙන ආ හැක්කේ සංවිධානය වූ ජනතාවයි.

ප‍්‍රශ්නය - මේ වන විට ජනාධිපතිවරණය සටනේ දී ප‍්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනකු ඉදිරිය ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇති කාරණයක්. ජයග‍්‍රහණයක් සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මේ වන විට කපාගෙන ඇති පාර ප‍්‍රමාණවත්ද?

පිළිතුර - මෙහෙමයි. මෙම ජනාධිපතිවරණයේදී ඔය කියන කවුරු දිනුවත් ජනතාව පරදිනවා. අපි ජනතාවට කියන්නේ මෙවර ජනාධිපතිවරණයේ දිනන එක්කෙනා බලන්න 17 වැනිදා රූපවාහිනිය ඉස්සරහට යන ලෙසත්, පරදින කෙනා බලන්න ගෙදර කණ්ණාඩිය ඉස්සරහට යන ලෙසත්ය. ජනතාව මොන තරම් රතිඤ්ඤා දාගෙන, අත්පොළසන් දීගෙන හුරේ දීගෙන සිටියත් ජනතාව පරදින එක නවත්වන්න බැහැ. ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා නියෝජනය කරන්නේ එකම වැඩපිළිවෙළ සහ ප‍්‍රතිපත්ති මිස වෙන අන් යමක් නෙමෙයි. ජනතාවට සමාජවාදී විකල්පයකින් තොර කිසිදු ජයග‍්‍රහණයක් නැති බව සිහිපත් කරන්න කැමැතියි. මුහුණු මාරු කිරීමෙන් රටේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.

තව දෙයක් කියන්න ඕනෑ මේ ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවගේ අයිතිවාසිකම් ඩෝසර් කරන වැඩපිළිවෙළක් ඒකාන්තයෙන්ම එනවා.

ප‍්‍රශ්නය - ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර මිලේනියන් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරමින් ඇති බව සඳහන් වෙනවා.

පිළිතුර - මෙය අතිශය භයානක ගිවිසුමක්. මෙමගින් ඇමරිකාවට ලංකාවේ වෙනමම භූමිභාගයක් වෙන්කර දීමට නියමිතයි. මෙම ආර්ථික කලාපයේ මොන විදිහේ ක‍්‍රීඩාවක් ඇමරිකාව කරයිද කියලා අපි දන්නේ නැහැ. චීනයට වෙන්කර දී ඇති වරාය නගරය ඇතුළු තවත් තැන්හී භූමි නිසා ඇතිවී ඇති දේශපාලන බලපෑම කොච්චරද කියලා අපට පෙනෙන්නට තිබෙනවා. චීනය ඇමරිකාව මේකෙ ලැගගත්තාට පසු තුන්වන ලෝක යුද්ධයක දඩ බිමක් බවට ලංකාව පත්වේවි. මෙම ගැඹුරු බරපතළ දේශපාලන ප‍්‍රශ්නයක්. මෙම ආණ්ඩුව සෝෆා ගිවිසුම අත්සන් කරන්න ලෑස්තියි. ඒ වගේම චීනය සතුටු කරන්න තව තවත් ඉඩම් කෑලි දෙන්නත් මොවුන් ලෑස්තියි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉඩම් අක්කර ලක්‍ෂ තිහක් අයිති වෙනවා. මේ සියල්ල කරද්දී මේවාට ජනතාව එරෙහි වීම අනිවාර්යයි. එම එරෙහි වීම් නතර කරන්න ආණ්ඩුව අනිවාර්යයෙන්ම මර්දනය ක‍්‍රියාත්මක කරනවා. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට වීම තමයි ඇත්ත කතාව. මේ අනතුර පරාජය කරන්න නම් ජනතාව කළ යුත්තේ ඒ අනතුරට විරුද්ධව සටන් කරන ව්‍යාපාරය ශක්තිමත් කිරීමයි. දුර බැලූවත් අපට තිබෙන්නේ සමාජවාදය, ළ`ග බැලූවොත් අරගලයයි. අරගලය ශක්තිමත් කරන්න ජවයක් දෙන්න ජනතාවට අවශ්‍ය නම් ජනතාව තෝරාගත යුත්තේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කුළුගෙඩිය ලකුණයි.

ප‍්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණත් එවැනිම ආකාරයේ අරගලයක නිරතව සිටිනවා නොවේද?

පිළිතුර - ඔවුන් එහෙම අරගලයක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ පරණ වම කරා වගේ හාන්සි වුණු දේශපාලනයක්. අපි ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්නේ සජිත් පේ‍්‍රමදාසගේ වැඩපිළිවෙළයි ගෝඨාභයගේ වැඩපිළිවෙළයි, ජවිපෙ වැඩපිළිවෙළයි අතර වෙනසක් පෙන්වන ලෙසයි. ඒ වාක්‍යවල නෙමෙයි ප‍්‍රතිපත්තිවලයි වෙනස පෙන්වන්න කියා අප කියන්නේ. සමහර තැන්වල ජවිපෙ අනිත් දෙදෙනාගේ ප‍්‍රතිපත්ති වාක්‍ය පිටින් කොපිකර තිබෙනවා. අපි කියනවා ප‍්‍රතිපත්තිමය හරයෙන් වෙනසක් පෙන්වන ලෙස. මේ රටේ ජනතාව පසුගිය කාලේ කළ සියලූ අරගල ජවිපේ පාවලා දීල තිබෙනවා.

ප‍්‍රශ්නය - ඉහත දේශපාලන පක්‍ෂ තුනේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ තුළින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වෙනස් වන්නේ කොතැනදිද?

පිළිතුර - අපි කරුණු කිහිපයක් තුළින් පැහැදිලිවම වෙනස් වෙනවා. පළවැනි කාරණය ආර්ථිකයයි. එහි අපේ දැක්ම සකස් වන්නේ ආර්ථික අසමානතා තුරන් කිරීමයි. අපේ සැලසුම් සකස් වන්නේ ජනතාවට සාධාරණත්වයක් ලබාදීමයි. දෙවැනි කාරණය ලාභ පාදකව තිබෙන ආර්ථිකය සමාජපාදක ආර්ථිකයක් බවට පත්කිරීමයි. තෙවැන්න නිෂ්පාදන ආර්ථිකයක් සකස් කිරීමයි. ‘බයිබැක්’ ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැ`ගිය යුතුයි. අද මේ රටේ තිබෙන්නේ තනිකරම චීන වෙළෙඳපොළක්. වඬේ තෝසේ සහ හදන කෑම ටික හැරෙන්න අනෙක් සියල්ල චීන භාණ්ඩයි. චීනය ඔවුන්ගේ මෙහි තිබෙන චීන වෙළෙඳපොළට හරියන්න පාරවල් හදන්න තව තව යටිතල පහසුකම් හදන්න ණයදීමක් තමයි මේ කර තිබෙන්නේ. චීන මාකට් එකක් වෙලා රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. අනෙක් කාරණය අපට පරිසර හිතවාදී ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. මෙම සියවස මිනිස් ඉතිහාසයේ අවසාන සියවසද කියලා ලෝකයේ විශාල සංවාදයක් ඇවිත් තිබෙනවා. උත්තරද්‍රවයේ ග්ලැසියර් දියවෙද්දී ඩොනල්ඞ් ට‍්‍රම්ප් කිව්වේ මීට පෙර ළංවිය නොහැකිව තිබූ සම්පත් වලට මෙමගින් ළංවීමට අවකාශයක් ලැබූ බවයි. ඒ හා සමානම අදහසක් මංගල සමරවීරත් සඳහන් කර තිබුණා. ඔහු කියා තිබුණේ සීගිරිය කැලෑවක්, ඉතින් කැලෑවක් කැපුවහම මොකක්ද වෙන්නේ යන්නයි. මේ මිනිස්සුන්ට ඒ තරම් නග්න නරුම චින්තනයක් තමයි තිබෙන්නේ. මේ වන විට අපිට හැම මාසයකම ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමට සිදුව තිබෙනවා. දැන් මේ රටේ නැත්තේ ගිනි කඳු විතරයි. අපි ස්වභාව දහමත් සමග කළ ගනුදෙනුව විනාශ වෙලා තිබෙනවා. මම ඔය කිව්වේ අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙන මූලික කාරණාවන් කිහිපයක් පමණයි.

ප‍්‍රශ්නය - ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැතිවරණ සමයේ ප‍්‍රමුඛව කතා කරන කාරණයක්. මෙවරත් එය එලෙසම සිදුවෙමින් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩු ගාණට විකිණෙනවා නේද?

පිළිතුර - ඔව්. එක කොටසක් කියනවා ගෝඨ ආවොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉවරයි එය රැකගන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගත හැකි අපේක්‍ෂකයකුට ඡන්දය දෙන්න කියලා. සජිත්ට ඡන්දය දෙන්න කියලා කියන්න ඒ අයට කොන්දක් නෑ. තව කට්ටියක් කියනවා එක්සත් ජාතික පක්‍ෂය බලයට පැමිණියොත් රට, ජාතිය, ආගම විකුණනවා කියලා. ඔවුන් බලයට ආවොත් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළක් තමයි ක‍්‍රියාත්මක කරන්නේ කියලත් කියනවා. ඒ නිසා ගෝඨාභයට ඡන්දය දෙන්න යැයි ඔවුන් කියනවා. තවත් සමහරු රතුපාට ෂර්ට් ඇඳගෙන දෙපැත්තටම වෙලා ඉන්නවා.

අපි අහන ප‍්‍රශ්නය මේ කතා ඇත්තද කියලයි. රාජපක්‍ෂලාව පසුගිය කාලයේ හුරතල් කළේ කවුද? එහෙම හුරතල් කරපු අය තමයි රාජපක්‍ෂ භීතිකාවක් හදන්නේ. රාජපක්‍ෂලා ආවොත් අනතුරු ගොඩයි කියන කට්ටිය අනෙක් පැත්තෙන් ගේන්නේ සරත් ෆොන්සේකලා ආරක්‍ෂක ඇමැතිවන ආණ්ඩුවක්. ඇත්තම කියනවා නම් මේ දෙගොල්ලොම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදැමීමට කටයුතු කරන අයයි. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගේනකොට සජිත් පේ‍්‍රමදාසලා මොකුත් කිව්වද? දෙවැනි කාරණාව තමයි යූ.එන්.පී. එකේ අධිරාජ්‍ය ගැති කතාව. අපි අහන්නේ 2007 වසරේ ඒ.සී.එස්.සී. ගිණුම අත්සන් කළේ කවුද කියලයා.

එය කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා නෙමෙයිද? ඒ අය අත්සන් කරන කොට ඒවා අධිරාජ්‍යවාදී නැද්ද? රාජපක්‍ෂ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක‍්‍රියාත්මක කරන්න පුද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දෙන්න ගොහින් තමයි රොෂේන් චානකව මරා දැම්මේ.

ඇත්තටම බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදියොයි බොරු අධිරාජ්‍ය විරෝධියොයි මේ රටේ ජනතාව ගොනාට අන්දමින් තිබෙනවා. බුද්ධිමතුන් යැයි කියා ගන්නා අයත් මේවාට සුදු හුණු ගෑමයි අපට තිබෙන කනගාටුව.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles