Divaina - ගෑස් හිග වේ... රටම රත් වෙයි... මේ වෙනකොට වැඩිපුරත් ගෑස් නිකුත් කරලා තියෙනවා... ලිට්‌රෝ ගෑස්‌ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


gas

* මේ කතා කරන මොහොත වන විටත් ගෑස් සිලින්ඩර් නිකුත් කරනවා...

තරංග රත්නවීර


ගෑස් හිඟය උග‍්‍ර වේ. ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථාන අසළ පෝලිම තව, තවත් දිගු වේ. මුළුතැන්ගෙයි කෑම පිළියෙල නොවෙන තරමටම ගෘහස්ත ගෑස් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්වෙමින් සිටිති. හන්දියේ තේ කඩයේ සිට මළමිනී පුච්චන ආදාහනාගාරයෙත් වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති. සති කිහිපයක සිට රට පුරා ඇති වී තිබෙන ගෑස් හිඟය නිසා බොහෝ ක්‍ෂේත‍්‍රවල වැඩ කටයුතු අඩාල වී ඇති බව ද නොරහසකි.

ගෑස් හිඟය තදින්ම දැනුණු ඌරාපොළ ආදාහනාගාරය වසා දමා ඇති බව ද වාර්තා විය. අත්තනගල්ල ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයට අයත් ඌරපොළ ආදාහනාගාරය වසා දැමීමට සිදුවී ඇති බැවින් එම ප‍්‍රදේශයේ ජනතාවට භූමිදාන කටයුතු සිදුකර ගැනීමට මීරිගම ප‍්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාර වෙත මළ සිරුරු රැගෙන යෑමට ද සිදුව ඇත. කිලෝ මීටර් පහළොවක්, විස්සක් වැනි දුර ගෙවා මීරිගම ආදාහනාගාරය වෙත මළ සිරුරු රැගෙන එන විට අවමංගල්‍ය සේවා ආයතනවලට වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බව ද ප‍්‍රදේශවාසීහු පැවසූහ. ඒ අපට වාර්තා වූ එක සිද්ධියක් පමණි. ගෑස් නොමැතිව ආදාහන කටයුතු සිදු නොකරන ආදාහනාගාර මෙරට තව බොහෝ ඇත. ඒ අල්ලපනල්ලේ කළුකඩ මුදලාලිලා පස්ස දොරෙන් ගෑස් සිලින්ඩරය හාරදහසට, හාරදහස් පන්සීයට විකුණන බවද වාර්තා වේ. ඒ බව පැමිණිලි කිරීමට පාරිභෝගික අධිකාරියට දුරකථන ඇමතුම් ලබාගත්ත ද නිලධාරියෙක් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බව ද ගෑස් පාරිභෝගිකයන් කිහිපදෙනෙක්ම අපට කීහ. මිල සූත‍්‍රයට අනුව ගෑස් මිල රුපියල් දෙසීය හතළිස් එකකින් අඩු වුවද එහි වාසිය තවමත් පාරිභෝගියාට භුක්ති විඳීමට නොහැකි වී ඇති බව ද ඔවුහු අපට පැවසූහ.

‘‘සමහර ගෑස් කඩ අස්සෙ ගෑස් ටැංකි ගොඩ ගහගෙන ඉන්නවා. ඒත් ගෑස් තියෙනවද කියලා ඇහුවම නෑ කියනවා. ගෑස් කඩකාරයො කරන්නේ මුහුදට හත් ගව්වක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක්. ආරාබියේ තෙල් ටැංකිවලට ගහනකොට ගෑස් හිඟයක් මතු වෙයි කියලා ගෑස් හංගනවා. අන්තිමේ වැඩි මිලට ගෑස් සිලින්ඩරය විකුණනවා. අදත් අපිට ගෑස් ටැංකියක් ගෙනත් දුන්නේ රුපියල් දෙදහස් පන්සීයට. නාට්ටාමිලා කොහෙන් ගත්ත ද කියලා දන්නේ නෑ, අපිට බඩු ආවා...’’ පිටකොටුවේ ආපනශාලාවක කළමනාකාරුවෙක් ගෑස් හිඟය සහ බඩු මිල ගැන ලේ රත් වෙන කතාවක් අපට කීවේ ගෑස් හිඟය ගැන සොයාබැලීමට පිටකොටුවට ගිය අවස්ථාවේය.

‘‘ගෑස් ටැංකිය වැඩි මිලට ගත්තා කියලා ප්ලේන්ටියේ මිල වැඩි කරන්න අපිට බෑ. කෑමවල මිලත් එහෙමයි. ඒ පාඩුව අපි දරාගන්න ඕනෑ. මේ කෑම කඩ කෙරුවාවෙන් වැඩි ලාභයක් නෑ. කුළු බඩු මිල අදට වඩා හෙට වැඩි වෙනවා. රට ලූනු, රතු ලූනුු මිල ඇහුවම ඇස් රතු වෙනවා. ෆයිඞ් රයිස්වලට කැරට්, ලීස් පෙන්නන්න විතරයි. රහට හැපෙන්න දැම්මොත් ෆයිඞ්රයිස් එකක් විකුණන්න වෙන්නේ තරුපහේ හෝටල්වල මිලට. අපේ කඬේට දවස් දෙකකට ගෑස් සිලින්ඩර තුනක් යනවා. තවදුරටත් ගෑස් හිඟය තිබුණොත් හෙට අනිද්දා වෙනකොට ගෑස් සිලින්ඩරයක් ගන්න වෙන්නේ රුපියල් හාර පන්දාහට. එහෙම වුණොත් ගෑස් හිඟය ඉවර වෙනකම් කඬේ වහලා දාලා ගෙදර යනවා. මෙහෙම පාඩු විඳගෙන හෝටල් කරලා වැඩක් නෑ. දුම් කනවටත් පාඩුයි...’’ ඔහු කතා කළේ දැඩි කලකිරීමකිනි. ගාල්ල ප‍්‍රදේශයේ සිට පිටකොටුවට පැමිණ අපනශාලාවක් කරගෙන යන ඔහු හෝටල් කර්මාන්තයේ ප‍්‍රවීණයෙකි. එහෙත් නම් ගම් හෙළි කිරීමට ඔහු අකමැති විය.

‘‘මට ප‍්‍රසිද්ධියක් ඕන නෑ. මම කියපු කතාව පත්තරයට ලියන්න ඒ හොඳටම ඇති. මේ දිගටම තියෙන කෑම කඩවලට ගිහින් කතා කරන්න ඒ අයත් කියන්නේ ඔය ටිකම තමයි. පිටකොටුවේ විතරක් නෙමෙයි මහත්තයො මුළු රටේම අපනාශලාවලට මේ මහ නරක කාලයක්...’’ ඔහු එසේ කියමින් අපනශාලාව දෙසට හැරුණේ ප්ලේන්ටියක් හෝ බීමට කවුරුහරි ඇවිත්ද කියා බැලීමටය. කෑම මේස මැස්සො ඇහිරෙන ගානය. වැඩ කරන සේවකයෙක්වත් පේන මානයක නැත. ඔහු අසළින් ඈත් වූ අපි වීදීය දිගේ ඇති තවත් අපනශාලා කිහිපයකට ඇතුළු වීමු.

පවතින ආර්ථික ක‍්‍රමය යටතේ ගෑස් හිඟයත් සමඟ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය ගැන සියලූ අපනශාලා හිමියන් කතා කළේ දැඩි කලකිරීමකිනි. තවදුරටත් ගෑස් හිඟය පැවතුණොත් තම අපනශාලාව වසා දැමීමට සිදු වන බව එම ව්‍යාපාරිකයෝ ද අපට කීහ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද ගෑස් හිඟය සම්බන්ධයෙන් මෙසේ අදහස් ප‍්‍රකාශය කළේය.

‘‘පහුගිය සැප්තැම්බර් මාසේ රජය විසින් මිල සූත‍්‍රයට අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 241 කින් අඩු කළා. ඒත් පාරිභෝගික අධිකාරිය නව මිල ගැසට් කළේ ඔක්තෝබර් මාසේ 04 වැනිදා. එදා ඉඳලා තමයි රට පුරා ගෑස් හිඟය මතු වුණේ. මේක ආරාබියේ තෙල් ටැංකිවලට එල්ල වූ ඩ්‍රෝන් ප‍්‍රහාරය නිසා සිදු වූ අර්බුදයක් නෙමෙයි. ආරාබියේ තෙල් ටැංකිවලට ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල වුණේ අද ඊයේ නෙමෙයි, සති ගානකට ඉස්සෙල්ලා. එම පහරදීමත් එක්ක ගෑස් අර්බුදයක් එනවා කියලා ආරංචි වුණා නම් රජය විසින් රටේ ජනතාව දැනුවත් කරන්න තිබුණා. එහෙම දෙයක් වුණේ නෑ. සාමාන්‍ය විදිහට රට තුළ ගෑස් පරිභෝජනය සිදු වුණා. මේ ගෑස් හිඟය මිල අඩු වීමත් සමඟ වෙච්ච කුමන්ත‍්‍රණයක්. ජනාධිපතිවරණයට වාසි ගන්න රජය ගෑස් මිල අඩු කළාට, ගෑස් කොම්පැණිවලට මිල අඩු කිරීම දරාගන්න බැරි වුණා. ඒ නිසා ගෑස් කොම්පැණි වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අඩු කළා. ගෑස් කඩකාරයො තියෙන ගෑස් ටැංකි වැඩි මිලට විකුණන්න හැංගුවා. ඕක තමයි ඇත්ත කතාව...’’

‘‘ගෑස් මිල වැඩි කළා නම් එදා රෑ ඉඳලම නව මිල ක‍්‍රියාත්මක වෙනවා. එහෙම නම් මිල අඩු වුණහමත් ඒ වාසිය ජනතාවට අරගෙන දෙන්න පාරිභෝගික අධිකාරිය කටයුතු කරන්න ඕනෑ. මේ සතිය තුළ ගෑස් හිඟයට පිළියමක් නොලැබෙන්න බොහෝමයක් අපනශාලා වසා දාන්න සිදු වෙනවා...’’ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් රට තුළ උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් සෘජුව චෝදනා කළේ ගෑස් ආනයනය කරන ආයතනවලටය. එහෙයින් අසේල සම්පත්ගේ චෝදනාවට පිළිතුරක් බලාපොරෝතුවෙන් මෙරටට ගෑස් ආනයනය කරන සමාගම් දෙකේ ඉහළ නිලධාරීන්ට කතා කර ගෑස් හිඟයට හේතු විමසා සිටියෙමු. මේ පෙළගැසෙන්නේ ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මුදිත පීරිස් කියන කතාවය.

‘‘මාසයකට පමණ ඉහතදී සෞදි ඇරැම්කෝ තෙල් පිරිපහදුවලට එල්ල වූ ඩ්‍රෝන් ප‍්‍රහාරයත්, ඊට පසුව සෞදි තෙල් නැවකට එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ ගල්ෆ්ස් කලාපයෙන් එන ගෑස් තොග සීමා සහිත වුණා. ඒත් ගෑස් තොග කලින් ඇනවුම් කරලා තිබුණු නිසා අපිට ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ නෑ. අපිත් එක්ක සිටින තරගකාරී ගෑස් සමාගම සති දෙකක් පුරාවට ගෑස් නිකුත් කිරීමේ අඩුවක් පෙන්නුම් කළා. ඒ සමඟ ගෑස් මිල අඩු කිරීම මත වෙළෙඳපොළේ විශාල ඉල්ලූමක් නිර්මාණය වුණා. මේ හේතු කාරණ තුන නිසා තමයි රට තුළ ගෑස් හිඟයක් මතු වුණේ. අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගෑස් නැව් පැමිණීම ප‍්‍රමාද වෙච්ච නිසා දවස් දෙකක් ප‍්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් කරගැනීමට අපිටත් නොහැකි වුණා. මේ වෙනකොට ගෑස් නැව් කිහිපයක්ම අපේ රටට ආසන්න වෙමින් තිබෙනවා. මේ කතා කරන මොහොතෙත් කෙළවර පිටියෙන් ගෑස් සිලින්ඩර් විශාල ප‍්‍රමාණයක් නිකුත් වෙමින් පවතිනවා. සෙනසුරාදා උදෑසන ඉඳලා සාමාන්‍ය විදිහට ගෑස් තොග නිකුත් කරන්න අපිට පුළුවන් වෙනවා...’’ ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මුදිත පීරිස් මහතා කියන කතාවට අනුව වෙළෙඳපොළේ මහා විශාල ගෑස් හිඟයක් තිබිය නොහැකිය. එහෙත් උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමට ඇති එකම තරගකාරී ගෑස් සමාගමේ මතය විමසීමට එහි අධ්‍යක්‍ෂ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික‍්‍රම මහතාව ද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු. මේ චමින්ද මහතා කියන කතාවය.

‘‘සෞදි ආරාබියේ ඇරැම්කෝ තෙල් පිරිපහදුවට ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟ ගෑස් නිෂ්පාදනය 35% කින් විතර අඩු වුණා. ඊට පසුව තෙල් නැව් කිහිපයකට පහරදීමත් සමඟ ගල්ෆ් මුහුදු සීමාවේ නැව් ගමනාගමනයත් අඩු වුණා. ඒ සමඟ ආසියාතික රටවලට එන ගෑස් ප‍්‍රමාණය විශාල අඩු වීමක් වුණා. මේක අපේ රටට විතරක් නෙමෙයි පාකිස්තානය, බංගලාදේශය, ඉන්දියාවටත් ලොකු බලපෑමක් වුණා. පසුගිය සති තුනක කාලය තුළ අපේ ආයතනයෙත් ගෑස් හිඟයක් තිබුණා. ඒත් පසුගිය සෙනසුරාදා වෙනකොට අපිට ගෑස් ආවා. අපිට ගෑස් ලැබුණු අවස්ථාවේ ඉඳලා පැය විසිහතරම වැඩ කරලා වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සිදු කළා. මේ වෙනකොට අපේ ආයතනයේ කිසිදු ගෑස් හිඟයක් නෑ. වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් ප‍්‍රමාණයටත් වඩා මේ වෙනකොට දෙගුණයකින් අපි ගෑස් නිකුත් කරනවා. ඒත් තරගකාරී ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් හිඟය විශාල නිසා වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. ලිට්රෝ ගෑස් පාරිභෝගිකයොත් මේ මොහොත වෙනකොට අපේ ගෑස් මිලදී ගැනීමට පෙළ සිටිනවා. ඒ නිසා අපි වෙළෙඳපොළට නිකුත් කරන සුනංගුවට ගෑස් තොග ඉවර වෙනවා. දැනට අපි ඉදිරි මාස හතරකට ප‍්‍රමාණවත් ගෑස් තොග ඇනවුම් කරලා තියෙනවා. ලාංකික සමාගමක් විදිහට ගෑස් ප‍්‍රවාහනය කිරීමට අපිට නැව් තුනක් තියෙනවා. කුලී නැව් මත අපිට යැපෙන්න අවශ්‍ය නෑ. ඒ නිසා ගෑස් ආනායනයයේදී අපිට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ මාසේ මැද වෙනකොට විශාල වශයෙන් ගෑස් තොග ආනායනය කර ආරක්‍ෂිත තොග වශයෙන් ගබඩා කරලා තියන්නත් අපි සැලසුම් කරලා තියෙනවා...’’

ගෑස් සමාගම් දෙකෙහිම නිලධාරීන්ට අප කතා කරනු ලැබුයේ පසුගිය 30 වැනිදාය. ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂවරයා කියන විදිහට ඒ මොහොත වන විට එම ආයතනයේ ගෑස් නිකුත් කිරීමේ හිඟයක් නොතිබිණි. ලිට්රෝ ගෑස් සමාගම දින දෙකක් පුරාවට ගෑස් නිකුත් කිරීමේ සුළු ප‍්‍රමාදයක් තිබුණද කතා කරන මොහොත වන විටත් ගෑස් සිලින්ඩර තොගයක් නිකුත් කරමින් සිටින බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අපට කීවේය. ගෑස් සමාගම්වල නිලධාරීන් කියන විදිහට පාරිභෝගිකයන් සිලින්ඩර තියාගෙන ගෑස් කඩ ඉදිරිපිට රස්තියාදු වන්නේ උන්මාදයෙනි. ගෑස් නොමැතිව ආදාහන කටයුතු කරගැනීමට නොහැකිව ආදාහනාගාර වසා දමා ඇති කතා බොරුය. ආපනශාලා හිමියෝ ගෑස් නැතැයි කියා මැසිවිලි නඟන්නේ රටේ ජනතාවට බිල්ලො මැවීමටය. මේ සියලූ කතා අසාගෙන සිටින අපිට පිස්සු හැදෙන්නේය. මොළේ විකාරෙන් හෝ අපට කියන්නට ඇත්තේ මෙපණකි.

ගෑස් ආනායනකරුවන් පෙන්වා දෙන ආකාරයට සෞදි ආරාබියේ ඇරැම්කෝ තෙල් පිරිපහදුවට සහ තෙල් නැව්වලට සතුරු ප‍්‍රහාර එල්ලවීමත් සමඟ රට තුළ ගෑස් අර්බුදය නිර්මාණය වූයේ නම් එය අතිශය භායනක තත්ත්වයකි. සීයට හැත්තෑවකට ආසන්න ගෑස් පරිභෝජනයක් සහිත රටක හදිසි ගෑස් හිඟයකට මුහුණදීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැති බව සනාථ කිරීමකි. එමෙන්ම පාරිභෝගිකයන් කියන ආකාරයට ගෑස් හිඟය නිර්මාණය වූයේ මිල අඩු කිරීමත් සමඟ නම් එය වෙළෙඳපොළ කුමන්ත‍්‍රණයකි. ගෑස් ආනායකරුවන් පාලනය කිරීමට තරම් ආණ්ඩුවට කොන්දක් නැතිකමය. උද්ගතව ඇති ගෑස් අර්බුදයවත් ආදර්ශයට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වී ඇති ගෑස්, ආනයන සමාගම්වලට පාලනය කිරීමට ඉඩ නොතබා අනාගතයේ ඇති වන ඕනෑම ගෑස් හිඟයකට මුහුණදිය හැකි සාර්ථක සැලසුම් සකස් කරගැනීම රජය කටයුතු කළ යුතුය.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles