Divaina - මම ගිහින් එන්නම් අම්මේ... ලෝකයක් කම්පා කළ වතුර සොයාගොස් මරු හමුවු දරුවා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 sijith
 
 ශානක ලියනගම
 
 ”බය වෙන්න එපා පුතේ. අපි ඉක්මණින් උඹව බේරා ගන්නවා.”
 
 ඒ සුජිත් විල්සන්ගෙ අම්මා. පුරා දින පහක් මැරි මැරී ඉපදුන අම්මා. සමස්ත ලෝකයේම බර හදවත් ඇත්තන් ඇගේ අඳුරු මුහුණේ සිනහවක් බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියා.
 
 ”සුජිත්, මගේ සුදු පුතේ
 අනේ එහෙම යන්න එපා
 අපාය ගැන කියපු කතා බොරු
 උඩට වරෙන් ඉක්මනින්...
 
 උඹට උණු තෝසෙ හැදුවා.
 උඹට ලස්සන ඇඳුමක් මැහුවා..
 මයෙ පුතේ”
 
 සුජිත් විලසන් වයස අවුරුදු දෙකක පොඩිත්තෙක්. තමිල්නාඩුවේ හොඳින් ඉර පායන තැනිතලා පොළවේ වේගයෙන් දිව යන්න, අයියත් එක්ක හැංගිමුත්තන් කරන්න සුජිත්ට කාගෙන් බාධාවක්ද? ”අපේ දරුවන්ට ශිව දෙවියන්ගේ බැල්ම තියෙනවා.” එහෙම තමයි සුජිත්ගෙ දෙමව්පියන් හිතන්නේ.
 
 මේ දඟකාර අසරණයා අතහැර දමන ලද පාළු නළ ළිඳකට වැටුණේ පසුගිය සිකුරාදා. ඒ ගොම්මන් වෙලාවේ යහළුවන් එක්ක සෙල්ලම් කරමින් සිටින විටයි. ළිඳේ ගැඹුර අඩි 600ක්. විශ්කම්භය සුජිත්ගේ ශරීර ප‍්‍රමාණයමයි. ඒක දිව්‍ය ලෝකයේ ඉඳන් අපායට තියෙන දුර. දරුවා හැංගිමුත්තන් සෙල්ලමකට කුහරයට රිංගුවා නෙවෙයි. ක්ෂණයකින් මේ අසරණයා අඩි 30ක් පමණ පහලින් මේ ළිං කුහරයේ හිරවුණා. කලබල වූ ගම්මු කඹයක ආධාරයෙන් දරුවා බේරා ගැනීමට උත්සාහ කළා. ඒත් ළිඳේ පවතින මඩ ගතිය නිසා ඒක හරි ගියේ නැහැ. පසුව රොබෝ හස්තයක් ආධාරයෙන් ඔහුව උඩට ගැනීමට උත්සාහ කළත් වාසනාව ඈතට පලා ගියා. තව තවත් පහලට ඇද වැටුණු දරුවා ඒ ඝනාන්ධකාර ආගාධයේ අඩි 88ක් ගැඹුරු තැනෙක නැවත සිරවුණා.
 
 නැදුක්කට්ටුපට්ටි යනු තමිල්නාඩුවේ ටි‍්‍රචි නගරයට ආසන්නව පිහිටි දුෂ්කර ගම්මානයක්. ඒත් එහි මිනිස්සු සතුටින් ජීවත් වුණා. කොහොමත් පුංචි පැටවුන්ට මහ උන්ගේ ජීවන ප‍්‍රශ්න වැඩක්ම නැහැ. හරක් ටික දිගෑලි කරන්න, ගොයම් කපන හැටි බලාන ඉන්න එක ඇරුණාම ඔවුන්ට තිබුණේ බඩවැටි පුරා දුව පනින්න. එක යායට හඳපාන වැටෙනකම් ඔවුන් සෙල්ලම් කළා. ඒත් සෙල්ලම ලෙල්ලම වෙන්න ගත වෙන්නේ තත්ත්පරයයි.
 
 මුලින් කුහරය තුළ සිට ඉකිගසන සුජිත්ගේ හඬ උඩට ඇසුණා. ඔහු අම්මාගේ කටහඬට ප‍්‍රතිචාර දැක්වූවා. ඇයගේ කුස තුළ දසමසක් හිටපු සුජිත්ට අම්මා තරම් විශ්වාසයක් කොයින්ද?
 
 ”අම්මේ මම එනවා ආයෙත්.
 හඳපානේ දුවගෙන අම්මගෙ සුදු මූණ බලන්න.
 
 ඉරපායපු මිටියාවත්,ගොයම් සුවඳ එන කුඹුරු යායවල් දිගේ ආයෙත් දුවගෙන එනවා පිම්මේ අම්මලාගේ දිව්‍යලෝකෙට”
 
 ඔහු අසරණව වුවත් දින ගණනක් හුස්ම අල්ලාගෙන ඉන්නට දිරිය ගෙන තිබුණ බව පෙනී ගියා.
 
 දරුවා මුදා ගැනීමේ මෙහෙයුම දින පහක් පුරා එක දිගට ක‍්‍රියාත්මක වුණා. ඒ මුළු කාලය පුරාම සුජිත් හිටියේ වතුර පොදක්වත් නැතිව. නමුත් ඔහුට හුස්ම ගැනීමේ පහසුවට ඔක්සිජන් වායුව බටයක් මගින් යැවීමට කටයුතු කර තිබුණා.
 
 පසු ගිය වසරේ තායිලන්තයේ උමඟක සිර වූ පාසල් පාපන්දු කණ්ඩායම මුදාගැනීමේ මෙහෙයුමෙන් පසු ලෝකයේ කැරකීම මොහොතක් නතර කළ අති සංවේදී මානුෂික මෙහෙයුම මෙයයි. තායිලන්තයේ දරුවන් සිටියේ තනියම නෙවෙයි. ඔවුන් කණ්ඩායමක්ම සිටියා. ඔවුන්ව සැනසීමට ඔවුන්ගේ පුහුණුකරුවා සිටියා. ඒත් සුජිත් හිටියේ කාත් කවුරුවත් නැති අපායේ දොරකඩ. දෙවියන්ටවත් නොපෙනෙන තැනක. කෙසේ නමුත් මිනිස් සංහතියේ විශිෂ්ට ජයග‍්‍රහණයක් වූ තායිලන්ත මෙහෙයුම මෙන් ඉන්දියාවත් සුජිත්ව මුදා ගෙන ලෝක කුසලානය දිනා ගනු ඇතැයි මුළු ලොවම අපේක්ෂාවෙන් සිටියා.
 
 ඉන්දියාව පසුගියදා හඳට රොකට්ටුවක් යැව්වා. එය අසාර්ථක වුණා. අගමැති නරේන්ද්‍ර මෝදි ඊට වඩා උනන්දුවක් සුජිත්ව බේරා ගැනීමට දක්වන්න ඇති. සුජිත් කියන්නේ කෝටි 100 කටත් වැඩි මහා ජනසන්නිපාතයක පුංචි තිතක්. ඒත් ඔහු පොළොව මත නැවත සිටගෙන සිනාසීම මහා භාරතයේ අභිමානය සඳහා අනිවාර්ය වී තිබුණා. ඇත්තටම පක්ෂ, පාට, කුලමල, ආගම් භේද නොතකා සමස්ත ඉන්දියානු දේශයම සුජිත් වෙනුවෙන් යාඥා කළා. ලංකාවත් තම අසල්වැසියා සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු සහගතව බලා සිටියා.
 
 දරුවා සිර වී සිටින නළ ළිඳට සමාන්තරව මීටරයක විශ්කම්භයකින් යුතු කුහරයක් කපා ඒ ඔස්සේ ගොස් ඔහුව බේරා ගැනීමයි බලධාරීන්ගේ අරමුණ වී තිබුණේ. කෙසේ නමුත් එය අධි වේගයෙන් කළ යුතුව තිබුණා. ඉතිරි කර ගන්නා සෑම තත්ත්පරයක්ම මිල කළ නොහැකියි. දිවා ? දෙකෙහිම මෙහෙයුම ක‍්‍රියාත්මක වුණා. දහස් ගණන් ජනතාව දැඩි බලාපොරොත්තුවෙන් නොකා නොබී එක් රැස්ව සිටියා. තමිල්නාඩු මහ ඇමැති කේ. පලනිසාමි පවා දින කිහිපයේම රැඳී සිටියේ එතැන. නමුත් පොළොවේ තිබෙන කළුගල් ස්වභාවය මුදාගැනීමේ මෙහෙයුමට දැඩි ලෙස බාධා කළා. දින හතරකට පසුත් යන්ත‍්‍රවලට හැකිව තිබුණේ අඩි 35 ක් පහළට යෑමට පමණයි.
 
 ඉන්දියාවෙ ගහක් ගලක් ගාණේ අනාවැකිකාරයන් ඉන්නවා. උන්නැහේලාට ලංකාවෙ ජනාධිපති වෙන්නෙ කවුද කියල වුණත් කියන්න පුළුවන්. ඒත් මේ කුඩා දරුවකු නිසා ලෝකයක් බය බිරාන්තව බලා සිටීවියැ යි කිසිවෙකුගේ තරු රටාවලට අහු වුණා ද සැකයි. ඒත් නලාකරුවන් නොවන කලාකරුවාට බොහෝ දුර පේනවා. ගෝපි නයියර් විසින් ”අරාම්” නම් දමිළ චිත‍්‍රපටයේ කතා කරන්නේ මෙවැනිම සිදු වීමක්. රූපරාමු, දර්ශන තල සියල්ල සුජිත් බේරා ගැනීමේ මෙහෙයුමට අතිශයින් සමානයි. චිත‍්‍රපටයේ දී නළ ළිඳට වැටුණු දර්ශිකා නම් දැරිය අවසානයේ බේරා ගන්නවා.
 
 නමුත් දර්ශිකා දෙස බැලූ දෙවිවරු සුජිත් දෙස ඇසගසා ගෙන සිටියේ නැහැ. පස්වන දිනයේ පාන්දර මුදාගැනීමේ නිලධාරියකුට යම් අමුත්තක් දැණුනා. ළිඳ තුළින් යම් දුර්ගන්ධය නිකුත් වන බව ඔහුට තේරුණා. සුජිත් විල්සන් නම් ඒ හදවත් පාරන්නා අපායේ සිට දෙව්ලොවට ගොස් තිබුණා. මුදාගැනීමේ නිලධාරීන් ඒ මොහොතේම සියල්ල අතහැර දැම්මා. ඉන්දියාවේ පමණක් නෙවෙයි ලෝකයේම මානුෂික හදවත් ඇත්තන් මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටියා. මෙහෙයුම් ප‍්‍රධානියා වෙව්ලමින් සුජිත්ගේ මරණය ලොවට වාර්තා කර සිටියා.
 
 පසුව උඩට ගන්නා ලද සුජිත්ගේ නරක් වූ නිසල සිරුර ඉක්මනින්ම මිහිදන් කෙරුණා. ඔහු සැහැල්ලූවෙන් නික්ම යන්න ඇති. මුදා ගැනීමේ මෙහෙයුම හරියට කෙරුණාද නැද්ද යන්න පිළිබඳව දැන් වාද විවාද ඇති වෙලා. බොහෝ අය ඉන්දියාවට දෝෂාරෝපණය කරනවා. ඔවුන් හොඳම තාක්ෂණය භාවිතා කළේ නැහැ. නමුත් ඔවුන් උපරිමව උත්සාහ දැරූ බව පිළිගත යුතුයි. ඉන්දියාව වැනි අධ්‍යාත්මිකව පෝසත් රාජ්‍යයක් එය නොකරනු ඇතැයි හිතන්න බැහැ. එක මිනිස් ජීවිතයක වුවත් වටිනාකම කොතෙක්දැයි කිසිවෙකුට මිලක් නියම කරන්න බැරි බව ලෝකයට නැවතත් දැණුනු මොහොතක්. මොන සීමා කිරීම් තිබුණත් ඉන්දියාව ඒ මිල ගෙවන්න සූදානමින් සිටි බව හංගන්න බැහැ.
 
 මෙය ඉන්දියාවේ පරාජයක් පමණක් නොවෙයි. අප සැමගේ පරාජයක්. සමස්ත මානව වර්ගයාම මඳක් නතර වී නැවත සිතිය යුතු අනුවේදනීය මොහොතක්. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම මතුපිට ඇති ජල මූලාශ‍්‍ර වේගයෙන් සිඳී යමින් පවතිනවා. වැඩි වෙන ජනගහනයට ජලය ලබා දෙන්න හදපු නළ ළිං පසුව අතහැර දැමෙනවා. සමහර ඒවා අඩි 1000ක් පමණ යටයි. කොයිතරම් නම් බල්ලන්, පූසන් වැනි අහිංසක සතුන් ඒ අන්ධකාර ආගාධ තුළ පණපිටින් මිහිදන් වෙන්නට ඇද්ද?
 
 අශ්වයා ගිය පසු ඉස්තාලය වහන එක ඉන්දියාවටත් අදාළයි. අතහැර දැමූ නළ ළිං සියල්ල වසා දැමීමට ආණ්ඩුව දැන් සූදානම්. ඒත් වැඩිහිටියන්ගේ පව් කමා කිරීමට බිලි පූජාවක් වූ සුජිත් විල්සන් ආයෙත් එන්නෙ නැති බව නම් පැහැදිලියි. ඔහු අපේ දරුවන්ගේ ලෝකය සුරක්ෂිත නොමැති බව කඳුළෙන් කැටයම් කරමින් නොඑන්නම ගිහින්.
 
 ”පුතේ උඹ ගියාද? උඹව බේර ගන්න බැරි වුණා. සමාවෙයන් පුතේ”
 
 ඒ අම්මාගේ විලාපය සුජිත් විල්සන්ට අන්ධකාරය අතරින් ඇසේවි.
 
 ”කමක් නෑ අම්මෙ. මම ආයෙ එන්නම් අම්මගෙ බඩට....”
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles