Divaina - පුත‍්‍ර සමාගම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


umbe
 

නිමල් ෆ‍්‍රැන්සිස්


රජපසයෝ ස්වකීය මධ්‍යමූල නිවස්නයෙහි ඉදිරි අංගනයේ ඔබ මොබ සරමින් කල්පනායෙහි නිමග්නව හිඳිනුයේ සිව් වසකට පෙර රජසුන අහිමිවැ විත් නැඟැ ජනයා ඇමැතූ කවුළුව දැකැ, දෙතුන් දිනකටැ මත්තෙන් වෙල් විදානයා,‘ගියවර අප කවුළුයෙහි එල්වූයේ රජපසයා පමණයැ. මෙවර සකළ රජපස කුටුම්භයමැ එකුදු කවුළුයෙක් නෑර එල්වමුයැ’යි පැවැසූ වදන් සිහිවැ මඳක් තැතිගත් සිතින්, ‘රජවරණය මුව විටට පැමිණැ ඇත්තේයැ. කුමකින් කුමක් වේදැයි කිවනොහැක්කේයැ.’යි සිතමින්මැ සක්මනෙහි යෙදෙනුයේ ප‍්‍රිය දේවිය එබැව් දැකැ,”ස්වාමීනී, විදානයා රිසි දේ කෙරුමටැ හැකිවෙතැයි නුඹ වහන්සේ සිතන්නේදැ? තුමූ රිසි දේ කෙරුමටැ තබා තුමූ රිසි දේ කියුමටවත් උහුට ඉඩ නොමැත්තේයැ. තුණ්ඩු පතෙකින් උහු මුඛය වසනායුරු නුඹ වහන්සේ නොදුටුවෙහිදැ? වැලිදු මේ කපෙහි උන් බලයට එතැයි තොප සිතනේදැ?”යි අසනාහ. රජපසයෝද, තුමූ සිතැඟි ඇය එසැණින් වටහාගත් අරුමය දැකැ පළමුවැ පුදුමව, තුමූ මෙන් නොව සියල්ල විනිවිදැ දක්නා ඇගේ නුවණ දැකැ දෙවනුවද පුදුමවැ එබැව් නොඅඟවා, ”අප තෙපුතුන් කොහිදැ?”යි අසමින්මැ ඇතුළු ගෙට වදිනාහ. ඇතුළු ගෙයි යෝ පුතුගේ කුටියට වදිනා එතුමාණෝ යෝ පුතු සයනය මධ්‍යයෙහි වකුටුවැ කල්පනායෙක හිඳිනු දැකැ,”කිමද පුත, තොප මෙසේ සුනඛ සෙයියාවෙන් හිඳිනට කාරණා කිම්දැ? මෙත්පලයාණන් රජසුන හැරදා පුලතිසිපුර යෑමට පෙර තොප යළි සමුදුරු සේවාවෙහි පිහිටු වූවේ නොවේදැ?”යි උහු හිස පිරිමැද මහත් කරුණායෙන් අසනාහ. එබස් ඇසූ යෝ පුතු,”එසේයැ පියාණෙනි, දැන් මා කල්පනායෙහි හිඳිනුයේ තජුදිනයාගේ පැනයත් අවසන් වනා හෙයින් අප රූපවාහිනී නාලිකාව යළි පිහිටුම් පිණිසැ සැලැසුම් සැකැසුමෙහියැ”යි පිළිවදන් දෙන්නාහ.

umbe2එබසට මුවින් නොබැන උහු කුටියෙන් පිටටැ විත් ගිනිහල්ගෙය පැත්තෙහි වූ දොරටුවෙන් පසුපස අංගනයට බසිනා රජපසයෝ උයන බෑවුමෙන් ගලා බස්නා වූ නදියෙහි ඉවුරෙහි හොල්මන් කෙරෙනා එකකු දැකැ විමසිල්ලෙන් බලනුයේ උහු ගං ඉවුරට බැසැ ඉවුර සාරා ගන්නා වූ යමක් පැසක ලා ගොඩට ගෙන එනා නියාව දැකැ මහ හඬින් දේවිය කැඳවා,”බලව, තෙල පෙනෙනා ගොබිලා අප උයන මායිමෙහි මාණිඛ්‍ය ගැරුමෙහි යෙදෙනුයේ නොවේදැ? වහා උහු පිටිකර හයා බැඳ මා වෙත ගෙන එන ලෙසැ සෙබළුන්ට අණ කරව”යි පවසනාහ. එබස් ඇසූ දේවිය එතුමන් කියනා දිසාව බලනුයේ ගං ඉවුරෙහි සරනා ගොබිලා හැඳින,”නුඹ වහන්සේ නොහැඳිනිය සේයැ. ඒ වනාහී අප වැඩුමල් පුතණුවන්යැ.” කියනාහ. දේවියගේ බස් අනුව ගං තෙර දෙසැ විමසිල්ලෙන් බලනා රජපසයාණෝ ”උහු එහි කුමක් කරනාදැ? වහා උහු කැඳවව”යි අණ කරනාහ. ඒ අනුවැ රජපසයාණන් අභිිමුවැ පෙනී හුන් සියොළඟමැ වාලූකා තවරා ගෙන හා ගං දියෙන් තෙතබරිතවැ හිඳිනා නාමලයාගේ විසුළු විලාසය දැකැ උහු කෙරෙහි අනුකම්පායෙන්,”පුත තොප මේ සා වෙහෙසවැ වැලි ගොඩ දමනුයේ නව නිවහනක් තැනුම පිණිසැ නොවේදැ? තොප දැන් විවාපත්වැ හිඳිනා හෙයින් එකී අදහස නම් කදිමයැ”යි උහු පසසනාහ. එබස් අසා ලජ්ජායෙන් ඇඹරෙනා නාමලයා,”නැතැ පියාණෙනි, එවැන්නක් නොවේයැ. මාගේ මේ වෑයාමය හුදෙක් නිවෙස් තැනුම පිණිසැ නොවේයැ. මා මිතුරු කැළ පිනවනු සඳහායැ”යි පවසනාහ. එපිළිවදන් අසනා රජපසයාණෝ හොල්මන්වැ,”කිමෙක්ද පුත, තොප කියනා දෑ නොවැටහෙනායැ.”යි කිවූ කල්හි නාමලයා,”පියාණෙනි, තෙල වාලූකා මළු රැස් කරනුයේ පෙරකල්හි සේ රිය තරග පිණිසයැ. අප බලයෙහි හුන් පෙරකල්හි කන්ද නුවර මාළිගය වටා පැදකුණු කළා සේ මා අදහස නම් මෙවර අප බලයැ පත්වූ කල්හි අනුරාධ නුවර රන්වැලි සෑය පැදකුණු කරනටයැ. සලපතල මළුව වටා බිහිර හල් තනවා සල්පිල් ඉදි කොටැ විදෙස සංචාරකයන් ආකර්ෂණය කොට සංචාර වෑපාරය නංවනා සැලසුමක් මා සතුයැ”යි පිළිවදන් දෙන්නාහ. එබස් අසා පුෂ්පෝප‍්‍රාප්තවැ ගොස් දන්ත මුෂ්ටි සපනා රජපසයාණෝ නාමලයාට තරවටු පිණිසැ මුව විවර කෙරෙන්නේ පොළොව ගුගුරනා සේ මහා හඬක් නැගෙන්නේ, උදම් රළක් යළි පැමිණේදැයි සැකැව එදෙසට දිවගොස් බලනුයේ නෙරළු තුරක් සරි උසට පෙනෙනා වූ යම් අටමගලයක් දැකැ තුමූ පසුපසින් පැමිණි දේවිය අමතා,”මේ කවර නම් දැරැහැවක්දැ?”යි අසනාහ. එබසට පිළිවදන් පිණිසැ එතුමිය මුව විවර කරනුයේ අටමගලයේ ඉහළ මාලයක කවුළුවකින් යමකු හිස පොවනු දැකැ එදෙස බලනාහ. දෙදෙනාම විමසිලිවැ බලනුයේ දසන් දක්වා සිනාසෙමින් කවුළුයෙන් හිස පොවනුයේ චිචි පුත‍්‍රයාණන් බැව් දැකැ,”තා කුමක් කරනුද පුත, නෙරළු ඵල නෙළනු පිණිස තා කදිම හිණි මඟක් තනනු සේයැ”යි කියනාහ. එබසට කෝචොක සිනාවෙකින් පිළිවදන් බඳනා චිචියා,”නැතැ පියාණෙනි, නුඹ වහන්සේට නොවැටහෙනායැ. පෙරකල්හි මාගේ අභවකාස රොකත සැරිය නුඹ වහන්සේට නොමතක සේයැ. එයින් මඤ්ඤංලන්තයට මා ගෙන ආ කීර්තිය සුළුපටුදැ? මෙවර මගේ අදිටන නම් අංගහාර තාරකාව වෙත රොකතයක් යැවුමයැ. පියාණෙනි, මට ආශිර්වාද කළ මැනැව”යි පවසනාහ.

එබස් අසා දහසක් පුෂ්පෝප‍්‍රාප්තවැ යන්නා වූ රජපසයෝ, ”එම්බා මුග්ධයනි, තෙල පබකරණයා පරදවා සකළ මඤ්ඤංලන්තයමැ ඒක සේසත් කළ මා පැරද වූයේ තොප තිදෙනායැ. මෙවර නම් තොප තිදෙනා නටනට තැත් කළහොත් තොප කවුළුවල එල්වනුයේ වෙල් විදානයා නොව මා යැ”යි මහත් හඬින් ගුගුරා උන් පලවා හරිනාහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles