Divaina - ‘බෑ මැණිකෙට බෑ’.... 88 මැතිවරණයේදී මඩ පෝස්ටර් ගැහුවේ මෙහෙමයි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n4 3මෙම ලිපියෙන් කියැවෙන්නේ අතීත දේශපාලනයේ රසමුසු තැන් කිහිපයකි. එය කිසිසේත් වත්මන් දේශපාලනයෙහි කිසිදු කාරණයක් හෝ පුද්ගල චරිතයක් සමග බද්ධවන්නේ නැත. බොහෝ දුරට වත්මන් දේශපාලනයෙහි ‘මජර’ ක‍්‍රියාකාරකම් හා සංසන්දනය කර බැලූ විට අතීත දේශපාලනය හා බැඳි මෙවැනි කාරණා අපට බොහෝ දේ කියාදෙන අත්දැකීම් සමුදායක් බව කිව යුතුය.
 

 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ දේශපාලන සම්ප‍්‍රාප්තිය ඉතා අහම්බෙන් සිදු වූවකි. එය අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේ හදිසි අභාවයෙන් කම්පාවට පත්ව සිටි පොදු ජනයාගේ දැඩි ඉල්ලීම මත සිදු වී යැයි සඳහන් කිරීම වඩාත් නිවැරදි වේ. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළම සිටි දැඩි දක්ෂිණාංශික කුමන්ත‍්‍රණකාරීන් පිරිසකගේ බලපෑම් නිසා පක්ෂය මහත් අර්බුදකාරී තත්ත්වයකට පත් විය. ඉතා හදිසියේ රජය විසුරුවාහැර පැවැත්වූ 1960 මාර්තු මහ මැතිවරණයෙන් ලැබූ ප‍්‍රතිඵලය, 56 දී ලැබූ දැවැන්ත ජයග‍්‍රහණය කණපිට හැරවීමක් බඳු විය. මේ දුෂ්කර අවස්ථාවේදී මැතිනිය පක්ෂ නායකත්වය භාර නොගත්තා නම් එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ‘ගමනක අවසානය’වන්නට ඉඩ තිබිණි. 1960 ජූලි මහ මැතිවරණයෙන් ශී‍්‍ර ල. නි. පක්ෂය ලැබූ අති විශිෂ්ට ජයග‍්‍රහණය, පොදු ජනතාව මැතිනියගේ නායකත්වය කෙරේ තැබූ විශ්වාසය තහවුරු වන්නකි.
 
 බණ්ඩාරනායක මැතිනිය කි‍්‍රයාකාරී දේශපාලනයට එක්වීම අනුමත නොකළ අය විපක්ෂයේ මෙන්ම පක්ෂය තුළ ද සිටි බව කිව යුතුය. එහෙත් ඒ කිසිවක් ගැන තැකීමක් නොකළ එතුමිය නොයෙ
කුත් බාධක, අභියෝග අතරින්, 1977 ජේ. ආර්. ජයවර්ධනයන්ගේ දැවැන්ත ජයග‍්‍රහණය හමුවේ පරාජයට පත් වන තෙක්ම පක්ෂය ඉදිරියට ගෙන යෑමට සමත් වූවාය.
 
 එහෙත් 1977 න් පසු මැතිනිය ප‍්‍රමුඛව ශී‍්‍ර ල. නි. පක්ෂයට උදා වූයේ ඉතා අභාග්‍ය සම්පන්න කාල පරිච්ෙඡ්දයකි. එතුමියගේ ප‍්‍රජා අයිතිය සත් වසරකට අහිමි කොට, කි‍්‍රයාකාරී දේශපාලනයෙන් එතුමිය ඉවත් කිරීමෙන්, ශී‍්‍ර ල. නි. පක්ෂයේ අවසානය සිදු වේ යැයි ප‍්‍රතිවාදීන් අපේක්ෂා කළා විය හැකිය. මේ කාලය මැතිනියට අභියෝග එල්ල වූයේ ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ පාලනයෙන් පමණක් නොවේ.
 
 ශී‍්‍ර ල. නි. පක්ෂයේ දැවැන්තයන් වූ අනුර, මෛතී‍්‍ර, කළුගල්ල, ඉලංගරත්න වැනි සමීපතමයන් ද මැතිනියගෙන් ඉවත්ව ගියේය. විජය, චන්ද්‍රිකා ශී‍්‍ර ල. නි. පක්ෂයට විකල්පයක් ලෙස පරාජිත වාමාංශිකයන් පිරිසක් ද සමග අලූත්ම පක්ෂයක් නිර්මාණය කළේය. රෝගාබාධ මධ්‍යයේ වුව ද මේ සිදුවීම්වලින් කම්පාවට පත් නොවීමට තරම් දැඩි ආත්ම ශක්තියක් එතුමිය සතු විය. මේ දුෂ්කර අවධියේදීත්, මැතිනිය සමග සිටිමින් තමන්ට හැකි පමණින් පාක්ෂිකයන්ට ද සේවය කරමින් පක්ෂය රැුකගත් සුළු පිරිසක් හෝ සිටි බව ද අමතක නොකළ යුතුය.
 
 බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රජා අයිතිය වලංගු වූ වහාම ඇය පාර්ලිමේන්තුවේ අසුන් ගනී යැයි එතුමියට ආදරය කළ පොදු ජනතාවගේ අපේක්ෂාව වූහ. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන් ද කීප වතාවක්ම ‘‘දැන් මැතිනියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නට’’ හැකි යයි පවසා තිබිණි. ඒ වනවිට ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් නියෝජනය කරනු ලැබූ අත්තනගල්ල ආසනය තුන්ඩු :ක්‍යසඑ* ක‍්‍රමයට ලබා ගැනීමේ හැකියාව තිබුණත් එතුමිය ඊට කැමැත්තක් දැක්වූ බවක් නොපෙනුණි. 1988 ජනාධිපතිවරණයෙන් ජය ගෙන රාජ්‍ය නායිකාව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ එතුමියගේ අදහස වූවා විය හැකිය. ඒ වනවිට රටේ භීෂණයෙන් පීඩාවට පත්ව අපේක්ෂා භංගත්වයෙන් යුතුව සිටි ජනතාව නැවත මැතිනියගේ රජයක් කෙරේ බලාපොරොත්තු තැබූහ.
 
 මැතිනියගේ දේශපාලන පුනරාගමනය ප‍්‍රතිවාදී අපේක්ෂක ආර්. පේ‍්‍රමදාස මහතා කිසිසේත් අනුමත කළ එකක් නොවේ. මැතිනිය රදළ පරපුරකට අයත් වීම බොහෝ විට පේ‍්‍රමදාස මහතාගේ දෝෂාරෝපණයට ලක් විය. එවකට භාරතයේ උසස්ම කුලය වූ ශාක්‍ය වංශිකයකු ලෙස උපත ලැබූ අපගේ බුදු පියාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛයෙන් වදාරා ඇත්තේ ‘‘යමෙකු කි‍්‍රයාවෙන් මිස උපතින් කිසි විටෙකත් බ‍්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවයි’’ එහෙත් මා දන්නා තරමින් ඉතා හොඳ දහම් පාසල් පසුබිමක හැදී වැඩුන පේ‍්‍රමදාස මහතා, මැතිනියට පහර ගැසීමේදී ඒ උතුම් ධර්ම පාඨය පවා අමතක කළ බවක් පෙනේ. 1960 බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටත් ප‍්‍රථම එවකට නාගරික මන්තී‍්‍රවරයකු වූ පේ‍්‍රමදාස මහතා මුළු රටම කැළඹීමට පත් කළ ඉතා නින්දිත ප‍්‍රකාශයක් කළේය. මට එය මෙහි සඳහන් කළ නොහැකි වුවත් එදා කාන්තා පක්ෂය විශේෂයෙන් කොළඹ ප‍්‍රදේශයේ කාන්තා පක්ෂය දැඩි පිළිකුලකින් යුතුව එය හෙළා දුටුවෝය. මේ වාචාල කතාවේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ මහතාට ඉතා අශෝභන නම් පටබැඳුණු බව ද ප‍්‍රකට කාරණයකි. 1977 එ. ජා. පක්ෂයේ ප‍්‍රථම පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන් කළ කතාවෙන් ද ඔහු අනුරටත්, මැතිනියටත් ඉතාම නින්දිත ලෙස ප‍්‍රහාර එල්ල කළේය. සත් වසරක මැතිනියගේ පාලනයේ (තුන් හවුලේ* කොතෙකුුත් වැරදි තිබුණු බව සත්‍යයකි. ඊට පිළිතුරු ජනතාව විසින් ලබාදී තිබියදී උත්තරීතර පාර්ලිමේන්තුව හිටපු රාජ්‍ය නායිකාවගේ චරිත ඝාතනයට යොදා ගැනීම මොන තරම් අශිෂ්ට, නින්දිත දැයි නැවත සිතා බැලිය යුත්තකි. බණ්ඩාරනායක මහත්මියටත්, අනුර බණ්ඩාරනායක මහතාටත් වාග් ප‍්‍රහාර එල්ල කිරීමෙන් සෑහීමට පත් නොවූ පේ‍්‍රමදාස මහතා එවකට බලය අහිමිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියට ද දෝෂාරෝපණය කරන්නට පසුබට නොවූයේය. එම කතාවේ සංක්‍ෂිප්ත අදහස වූයේ බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් එතුමිය ද රාජ්‍ය බලය අහිමි කර ගත් බවයි. අසීමිත බලයකින් උත්තේජනයට පත්ව සිටි පේ‍්‍රමදාස මහතා ඉදිරියේදී එයින් ඇති විය හැකි අනිසි ප‍්‍රතිඵල ගැන නොසිතා එදා මේ ප‍්‍රකාශය කළේය. ඉන්දිරා ගාන්ධි යනු එවකට ලෝක දේශපාලන බලවතුන් අතර පිළිගත් රාජ්‍ය නායිකාවක් බව අමතක කිරීම ඒ මහතා කළ බලවත් වරදකි. ඊළඟ වසර දෙකක් වැනි කෙටි කාලයකින් ඉන්දිරා ගාන්ධි ප‍්‍රමුඛ කොංග‍්‍රස් පක්ෂය බලයට පැමිණියේය. ඒ වනවිට දකුණු ඉන්දියාවේ කොටි පුහුණු කඳවුරු පැවැත්වීම ගැන අග‍්‍රාමාත්‍ය ගාන්ධි මැතිනිය දැනුවත්ව සිටියත් එතුමිය ඒවා වැළැක්වීමට පියවරක් නොගත්තාය. ඇය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළාය. එසේ වාචාල කතාවකින් රටක් වුවත් විනාශ කළ හැකි බවට මෙය හොඳ උදාහරණයකි.
 
n4 2 1988 ජනාධිපතිවරණය සඳහා ආර්. පේ‍්‍රමදාස අගමැතිවරයා ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගත්තේ පක්ෂ අභ්‍යන්තරය තුළ දැඩි සටනක් කිරීමෙන් අනතුරුව බව එදා පක්ෂ - විපක්ෂ කවුරුත් පාහේ දැන සිටියෝය. එසේ බලවත් දුෂ්කරතා මධ්‍යයේ ලබා ගත් අවස්ථාවෙන් කෙසේ හෝ ජයග‍්‍රහණය කළ යුතුය යනු ඒ මහතාගේ දැඩි අරමුණ විය.
 
 1988 නොවැම්බර් මස 10 දින ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් දින කීපයකට පසු බණ්ඩාරනායක මැතිනිය උපහාසයට ලක් කරන පෝස්ටරයක් රට පුරාම ඇලවී තිබිණි. ‘බෑ මැණිකෙට බෑ’ යනුවෙන් හඳුන්වන ලද මේ පෝස්ටරයට ඇතුළත් වී තිබුණේ බණ්ඩාරනායක මහත්මිය ඉතා අපහසුවෙන් ඉහළ මාලයක සිට පහළට පඩි පෙළක් තරණය කරන ආකාරයයි. පහත දැක්වෙන කවි පේළි දෙක යටින් සටහන් කර තිබිණි.
 
 පඩි නගින්ට බෑ මෑණිකෙට පඩි නගින්ඩ බෑ
 පඩි බහින්ඩ බෑ මැණිකෙට පඩි බහින්ඩ බෑ
 
 සමහර විට මේ මඩ පෝස්ටරය කෙසේ නිර්මාණය වූවා දැයි? මැතිනිය පවා දැන නොසිටින්නට ඇත. එහෙත් යථෝක්ත සිදු වීමෙන් වසර 18 කට පසු සති අන්ත පුවත්පත් අතිරේකයකින් මඩ පෝස්ටරය එළිදැක්වීමේ පසුබිම් කතාව හෙළිදරව් කර තිබිණි. මේ මඩ පෝස්ටරය නිර්මාණය කර බෙදා හැරීමේ වගකීම භාර ගත් තැනැත්තා විසින්ම සත්‍ය හෙළි කිරීම දෛවයේ සරදමක් බඳුය. මේ අන් කිසිවකු නොව එදා පේ‍්‍රමදාස මහතාගේ සමීපතමයකු මෙන්ම නාගරික මන්තී‍්‍රවරයකු හා කලාකරුවකු වූ ටී. එම්. සංඝදාස මහතාය.
 
 1988 දෙසැම්බර් 19 වැනිදාට යෙදී තිබුණු ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම 1988 නොවැම්බර් මස 10 වැනිදා සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබිණි. එවකට මැතිවරණ කොමසාරිස් චන්දා නන්ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ මහ නගර සභාවේ ඉහළ මාලයේ මන්තී‍්‍රවරුන්ගේ කාමරය ඒ සඳහා පිළියෙල විය. ප‍්‍රථමයෙන්ම එ. ජා. පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ආර්. පේ‍්‍රමදාස මහතා සුබ මොහොතින් තමන්ගේ නාම යෝජනා පත‍්‍රය භාරදීම අවසන් කොට නීතිඥයන් ද සමඟ පහත මාලයට පැමිණියේය. මේ වනවිට පහත මාලයේ රැුඳී සිටි ආධාරකරුවන් පිරිස අතර සංඝදාස මහතා ද විය. පිරිස අතරින් සංඝදාස මහතා පසෙකට කැඳවාගෙන ගිය පේ‍්‍රමදාස මහතා වහා සිදු කළ යුතු වැදගත් කාර්යයක් ඔහු වෙත පැවරීය. තමන් මේ භාර ගත්තේ ඉතා ක්‍ෂණිකව ඉටු කළ යුතු දුෂ්කර කාර්යයක් බව සංඝදාස මහතා දැන සිටියත්, එය කෙසේ හෝ ඉටු කළ යුතු විය. එසේ නොකළහොත් සිදු වන්නේ නයාට පහරදී පොල්ල වරද්දා ගත්තා වැනි දෙයකි. පේ‍්‍රමදාස මහතා පවරන කාර්යයකදී ප‍්‍රශ්න කිරීම් හෝ අපහසුතා දැක්වීම් කිසිසේත් වලංගු නොවේ. තමා මේ කාර්යය කෙසේ හෝ ඉටු කරන බව දන්නා නිසාම මේ රහස්‍යමය සැලසුම තමන්ට පැවරූ බව සංඝදාස මහතා තීරණය කළේය.
 
 
n4 1පේ‍්‍රමදාස මහතාගේ විධානයට අනුව සැලසුම කි‍්‍රයාත්මක කරන්නට සංඝදාස මහතා සූදානම් වෙද්දී නීතිඥයන් ද සමග නාම යෝජනා භාර දෙන්නට පැමිණි බණ්ඩාරනායක මැතිනිය විදුලි සෝපානයෙන් ඉහළ මාලයට ගියාය. එම දිනවල නගර සභාවේ විදුලි සෝපාන දෙකෙන් එකක් අකී‍්‍රයව පැවති අතර කි‍්‍රයාත්මක වූයේ එක් සෝපානයකි. විදුලි සෝපාන නඩත්තු කටයුතු කරන කාර්මිකයකු විසින්ම එය පදවනු ලැබීය. මැතිනිය උඩ මාලයට ගිය පසු සෝපාන කි‍්‍රයාකරු වෙතට ළංවූ සංඝදාස මහතා සෝපානය කි‍්‍රයා කරන ප‍්‍රධාන විදුලි යතුර අකී‍්‍රය කරන මෙන් ඔහුට දැන්වීය. අකැමැත්තෙන් නමුත් ඔහු සංඝදාස මහතාගේ ඉල්ලීම ඉටු කළේය. ඉක්බිතිව සැලසුමට අනුව ඔහු පිටතට කැඳවාගෙන යායුතු වුවත්, ඒ සඳහා බලවත් උත්සාහයක් දරන්නට සංඝදාස මහතාට සිදුවිය. ඉදිරියේදී ඔහුගේ රැුකියාව සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් තමන් ඊට සම්පූර්ණයෙන්ම මැදිහත් වන බව පැවසීමෙන් පසු ඔහු සංඝදාස මහතාගේ ඉල්ලීමට එකඟ විය. තවත් සුළු මොහොතකින් නගර සභා ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණි මේ දෙදෙනා ඇස් වාට්ටුව හන්දිය දෙසට ගොස් මත්පැන් හලකට ඇතුළු වූහ.
 
 මේ අතරතුර පේ‍්‍රමදාස මහතාගේ අවශ්‍යතාවය අනුව ලේක්හවුස් ආයතනයෙන් පැමිණි ඡුායාරූප ශිල්පීන් දෙදෙනකු හා තවත් කැමරා ශිල්පියකු පහත මාලයේ සූදානමින් පසු වූහ. නාම යෝජනා භාර දීමෙන් අනතුරුව විදුලි සෝපානය වෙත පැමිණි බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පිරිසට, එය කි‍්‍රයා විරහිත වී ඇති බව දැන ගන්නට ලැබිණි. පාදයක ඇති වී තිබූ ආබාධයක් හේතුවෙන් මැතිනිය ඒ දිනවල ගමන් කළේ අත් වාරුවක ආධාරයෙනි. ඒ නිසා පඩි පෙළක් නැඟීම හෝ බැසීම එතුමියට මහත් අපහසු කාර්යයක් විය. විදුලි සෝපාන කි‍්‍රයා කරවන්නා සෙවීමට පිරිස යුහුසුළු වූ නමුත් එය නිශ්ඵල වූයේ ඔහු ඒ වනවිටත් බීම හලේ බියර් පානය කරමින් සිටි හෙයිනි. බීර බෝතල් කීපයක් හිස් කර සිටි ඔහුට විදුලි සෝපානය ගැන මතකයක් ද නොවීය. සංඝදාස මහතාට වුවමනා වූයේ ඔහු රඳවාගෙන කාලය ගත කිරීමටයි. තවදුරටත් එතන රැුඳී කාලය ගත කරන්නට අකැමැති වූ බණ්ඩාරනායක මහත්මිය පාදයේ වේදනාව ද නොතකා අත් වාරුවේ ආධාරයෙන් සෙමින් තරප්පු පෙළ බසින්නට වූවාය. මෙතෙක් සූදානමින් පසු වූ කැමරා ශිල්පීන් තිදෙනා එතුමිය ඉතා අපහසුවෙන් පඩි බසින ආකාරය, ඡුායාරූපවලට නැඟීය. රාජ්‍ය නායකයන් යන එන තැන්වල ඡුායාරූප ගැනීම සාමාන්‍ය කාරණයක් නිසා මැතිනිය ද ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකළා විය හැකිය.
 
 කැමරා ශිල්පීන් තිදෙනකු විසින් කැමරාවට නඟන ලද විශාල ඡුායාරූප ප‍්‍රමාණයක් අතරින් පේ‍්‍රමදාස මහතා එකක් තෝරා ගත්තේය. එය ඉතාමත් අපහසුවෙන් තරප්පුව බසින මැතිනියගේ මුහුණින් දැඩි වෙහෙසකර බවක් දැක්වෙන සේයාරුවකි. එය පෝස්ටරයක් ලෙස මුද්‍රණය කොට රට පුරා බෙදා හැරීමේ කාර්යය ද සංඝදාස මහතාටම භාර කළේය.
 
 පේ‍්‍රමදාස මහතා මේ පෝස්ටරය ජයග‍්‍රහණයේ තුරුම්පුවක් ලෙස සලකා රැුස්වීම්වල මැතිනියගේ ආබාධිත බව ඉතා නිර්දය ලෙස විවේචනයට හසු කළේය. එය තමන් පංචශීලය ආරක්ෂා කරන ප‍්‍රතිපත්ති ගරුක බෞද්ධයකු බව නිරතුරුවම පැවසූ පේ‍්‍රමදාස වැන්නකු අතින් සිදුවීම ඔහු ආත්ම වංචාකාරයකු බව හෙළි වන හොඳම සාක්ෂියකි. ආබාධිත බව සමච්චලයට ලක් කිරීම ශීලාචාර සමාජය විසින් ප‍්‍රතික්ෂේප කරන්නකි.
 
 88 ජනාධිපතිවරණ ජයග‍්‍රහණය ගැන බොහෝ දේ ලියවී ඇති නිසා තවදුරටත් ඒ ගැන ලිවීමට අදහස් නොකරමි. භීෂණයෙන් තොර සාමකාමී මැතිවරණයක් පැවැත්වූයේ නම් මේ ඡුන්ද ප‍්‍රතිඵලය ද මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි. මැතිවරණය පරාජය වී නිවසට ගිය පසුවත් මැතිනියට සිත සන්සුන් කරගෙන විවේක ගැනීමට අවකාශයක් නොවීය. ඒ සංවිධානාත්මකව රොස්මිඞ් පෙදෙස පුරා ඉතා දිගු වේලාවක් රතිඤ්ඤා පිපිරවීමට කටයුතු යොදා තිබීම හේතුවෙනි. අධික ශබ්දයක් සහිතව පුපුරන තුන්හුලස් රතිඤ්ඤා වර්ගයක් යොදා ගැනීමෙන්, මැතිනිය පමණක් නොව රොස්මිඞ් පෙදෙසේ බහුතරයක් අපහසුවට පත් වූහ. රටේ නීතිය වල් වැදී තිබුණු අවධියක මෙය වළක්වන්නට ඉදිරිපත් වූ කෙනෙක් ද නොවීය.
 
 කොළඹ මහ නගර සභාවේ විදුලි සෝපානය, පේ‍්‍රමදාස මහතාගේ විධානය අනුව කි‍්‍රයා විරහිත කිරීමේ සැලසුම කි‍්‍රයාත්මක කළ හිටපු නාගරික මන්තී‍්‍ර ටී. එම්. සංඝදාස මහතා විසින්ම ඉන් වසර 18 කට පසු එය හෙළිදරව් කිරීම මගේ දැකීමට අනුව සත්‍ය පවසා හිත නිදහස් කර ගැනීමකි. රොස්මිඞ් පෙදෙසේ රතිඤ්ඤා පිපිරවීමේ පුවතද ඔහු විසින්ම අනාවරණය කරන ලද්දකි. මෙවැන්නක් හෙළි කරන්නට තරම් සංඝදාස මහතා තුළ තිබූ මනුෂ්‍යත්වයට මම ගරු කරමි. ‘‘පේ‍්‍රමදාස මහතා සමීපව ඇසුරු කිරීම දැලි පිහියෙන් කිරි පැණි කෑම වැනි යැයි’’ වරක් පුවත්පත් ලේඛකයකු ද වූ නීතිඥ මහතෙකු විසින් සඳහන් කර තිබිණි.
 
 මහනෙල් සුවඳමය - කුඩ මසු පිලී ගඳමය
 දෙකම- එක විලමය - හොඳට නරකට දෙකට කටමය
 
 නවරත්න අත්තනායක
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles