Divaina - ජනාධිපතිවරණය හා මෛත‍්‍රී භුමිකාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

janadi
 
 සනත් දේවින්ද 
 
නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණය නව මුහුණුවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපතිවරණයකට මෙවර ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් සංඛ්‍යාව තරම් විශාල පිරිසක් වෙන කවර මැතිවරණයකදී හෝ ඉදිරිපත්ව නැත. එබැවින් එමගින් ඡුන්ද දායකයන් ඉතා ව්‍යාකූලත්වයට පත් වනු ඇත. දැන උගත් සමාජයේ හාස්‍යයටද ලක්වනු ඇත. කෙතරම් අපේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වුව ද මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රධාන වශයෙන් කඳවුරු දෙකකට බෙදීම මෙරට දේශපාලනයට ආවේණික වූවකි. එහෙත් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා සහ ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්‍ෂකයා සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇති බවට පුරෝකථනය කෙරේ.
 
 ප‍්‍රධාන බලවේග දෙකෙන් ඉදිරිපත්වීමට නියමිත අපේක්‍ෂකයන් දෙදෙනා තේරීම සිදු කළේ තම පක්ෂයේ නිල ව්‍යුහය විසින් නොවීම මෙහි ඇති විශේෂත්වය වේ. එකී අපේක්‍ෂකයන්ට ඇති මහජන ඉල්ලීම විසින් පක්ෂ නායකයන් හා නිල ව්‍යුහයන් අනුගත වූවා මිස අවංක හා හෘදයංගම කැමැත්ත මත සිදු වූවක් නොවීම ද මෙහි ඇති තවත් විශේෂිත ලක්ෂණය. වෙනත් විකල්පයක් නැති බැවින් එම අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ බව සත්‍යයකි. එසේ ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් දෙදෙනා සම්බන්ධව දැඩි කතා බහක් සමාජය තුළ විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා තිබේ ද යන්න පිළිබඳව කතිකාව ප‍්‍රධාන මාතෘකාවක් වූ අතර, දැන් එය උසාවිය විසින් තීන්දු කරන තැනකට පත් වී තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධව ගොඩ නැගුණු කතිකාවේදී මේ වන විට ශ‍්‍රී ලාංකික සමාජය ගිලගෙන තිබෙන බරපතළ ප‍්‍රශ්නවලට උත්තර සැපයීමට තරම් පළල් දැක්මක් ඔහු සතුව නොමැති බවට වන තර්කයද රට තුළ සංවාදයට ලක්වෙමින් තිබේ. මේ අපේක්‍ෂකයන් දෙදෙනාටම තමා නියෝජනය කරන කඳවුර කෙරෙන්ම චෝදනා නැගෙන ස්වරූපයක් දක්නට ලැබීම තවත් විශේෂ ලක්ෂණයකි. රවි කරුණානායක හා සරත් ෆොන්සේකා වැනි නායකයන් සජිත් පේ‍්‍රමදාසට දැඩිව විවේචනය කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා කුමාර වෙල්ගම මහතාගේ දැඩි විවේචනයට හසුවිණි.
 
 සංකීර්ණ දේශපාලන පරිසරයක පත්වන ජනාධිපතිවරයාට විධායක බලතල සැලකිය යුතු ලෙස අහිමි කළ තත්ත්වයක් ඇසුරේ රාජ්‍යය මෙහෙයවීමට සිදුවනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයා සමග බලතල බෙදාහදා ගනිමින් රාජ්‍යය මෙහෙයවන තත්ත්වයට විධායකය පත් කර තිබේ. මෙය ලාංකීය දේශපාලනයට නවමු අත්දැකීමක් බැවින් පත්කර ගන්නා ජනාධිපතිවරයා පරිණත සූක්ෂම දේශපාලන ඥානයකින් හෙබි බරපතළ ලෙස ඉවසීම ප‍්‍රගුණ කළ අයකු වීම සපුරාලිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිට හිමි බලතල පිළිබඳව ප‍්‍රායෝගික දැනීම මෛත‍්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිතුමන් සතුය. එතුමා බෙහෝ අවස්ථාවල අවධාරණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව සහ සැලසුම ජනාධිපති නොව අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවක් ලබා ගැනීම පිළිබඳ බවය. කෙසේ වුවත් රටේ ජනයාගේ දැඩි උද්‍යෝගයක් ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන රහසක් නොවේ. කුමන උද්‍යෝගයක් ඇති වුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද සංවිධාන ශක්තිය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ හඬ පෞරුෂය ද එහි ලා තීරක බලය වේ. එය නොපිළිගෙන, හෝ නොසලකා කටයුතු කරන අයට අත්වන ඉරණම හා විනාශය, මැතිවරණයෙන් අනතුරුව තහවුරු වනු ඇත.
 
 මෙරට බිහි වූ ජනාධිපතිවරුන් විවිධ චෝදනාවලට ලක්ව ඇත.
 
 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වාම ඒ චෝදනා අදාළ වේ. එනමුත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එබඳු චෝදනා නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණැගල දිස්ත‍්‍රික් සමුළුවේ දී ජනාධිපතිවරයා රටට ඒ පිළිබඳව සිහිපත් කළේය.
 
 ‘‘ඉන්දීය ඉතිහාසයේ ඔබ අහල තියෙනවා චණ්ඩාශෝක සහ ධර්මාශෝක පිළිබඳව. චණ්ඩාශෝක අධිරාජයා යුද්ධ කරලා මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් කරපු නිසා එදා ඔහුට චණ්ඩාශෝක කියලා කියන්න පටන් ගත්තා. කලක් යනකොට ඔහුට තේරුණා මම විශාල වශයෙන් මිනිස් ඝාතන සිදු කළා. ඒ නිසා මම දැහැමි ජීවිතයක් ගත කළ යුතුයි කියලා. දැහැමිව රාජ්‍ය පාලනය කළ යුතුයි කියලා. ඒ නිසාම දැහැමි පිළිවෙතක් අනුගමනය කරනවා කියලා චණ්ඩාශෝක රාජ්‍යය එක්සේසත් කර කලක් යන කොට ධර්මාශෝක බවට පත් වුණා. ලංකාවේ ඒකේ අනිත් පැත්තයි. බලයට එන්න කලින් හැමකෙනෙක්ම ධර්මාශෝකලා. බලයට අවට පස්සේ චණ්ඩාශෝකලා බවට පත් වුණා. විධායක ජනාධිපති ක‍්‍රමය 1978 සිටම මගේ කාලය දක්වා සිදු වුණේ එයයි. ධර්මාශෝකලා චණ්ඩාශෝකලා බවට පත් වුණා. එතැන් සිට පසුගිය වසර පහක කාලය තුළ රටේ ජනාධිපතිවරයා විදියට මම මොනවද රටට ලබා දුන්නේ. අංක එක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස. එය කොතෙක් අසීමිත විදිහට මම තමුන්නාන්සේලාට ලබා දුන්නද කියන එක තමුන්නාන්සේලාගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් පෙනී යනවා. සමාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය මේ රටේ නිදහස භාවිත කරන්නේ සමාජයට අහිතකර විදියට. මොනතරම් අශීලාචාර විදිහට ද කියලා තමුන්නාන්සේලා දන්නවා. නමුත් මම නිදහස දුන්නා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළා. මගේ වසර පහක කාලය තුළ මේ රටේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට එල්ල වූ චෝදනා මට නැහැ. මිනීමැරුම්, ඝාතන, ගෙවල් ගිනි තැබීම්, කාන්තාවන්ට අතවර කිරීම්, බරපතළ පෞද්ගලික දේශපාලන පළිගැනීම්, හිරිහැර පළමුවැනි ජනාධිපතිගේ සිට පස්වැනි ජනාධිපති දක්වා සියලූ දෙනාටම තිබෙනවා. මගේ වසර පහක කාලය තුළ එවැනි චෝදනා මට එල්ල වී නැහැ. මම මේ රටේ පුංචි තැනකින් ආපු මිනිහෙක් විදිහට වලව් පැලැන්තියක නැතිව, ප‍්‍රභූ පන්තියෙන් නැතිව, ධනපති පන්තියෙන් නැතිව, දුප්පත් ලෝකයෙන් බිහිවී ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ වසර 52 ක මගේ දේශපාලන ඉතිහාසය තුළ ඒ අශීලාචාර දේශපාලන චෝදනාවලට ලක් නොවෙච්ච කෙනෙක්, අද ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියලා මම පැහැදිලිව කියන්න කැමතියි. ඒකයි බණ්ඩාරනායක දර්ශනය. ඒකයි මැතිනියගේ දර්ශනය. ඒකයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය.
 
 මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විවෘත කළ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වඩාත් බැට කෑවේ සහ කමින් සිටින්නේ එතුමාය. එකී නිදහස් අවකාශය භාවිත කරන්නන් වියරුවෙන් මෙන් එතුමාගේ චරිතය විනාශ කරමින් සිටී. එහිදී එතුමා නිහඬ පිළිවෙත කිසිදු රාජ්‍ය නායකයෙකු තුළින් ප‍්‍රකට නොවීය. ජනයා පීඩනයට හසුකරමින් රට පුරා ක‍්‍රියාත්මක වැඩ වර්ජන අභියස පවා එතුමා ඒවාට උත්තරය ලෙස මර්දනය භාවිත නොකිරීමට තරම් මෘදු ස්වරූපයක් ගෙන තිබේ. එතුමාගේ පාලන කාලය තුළ මුහුණ දුන් වැඩ වර්ජන සංඛ්‍යාව මෙරට මතු නොව ලෝක දේශපාලන ඉතිහාසය තුළින් පවා හමු නොවන බව නිසැකය.
 
 එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ සමහර මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සම්බන්ධව කරන කර්කෂ විවේචන මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙකුට කර නැත. එසේ කළ හැක්කේ ජීවිතය එපා වූවෙකුට හෝ සිහි විකල් වූ අයකුට පමණි. ජීවිත අපේක්ෂාව සහ සිහිබුද්ධිය සහිත කිසිවකු මරණය වැලඳ ගැනීමට උත්සුක නොවන බැවිනි. එවන් ඉරණමකට පත් නොවන බව දන්නා බැවින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට විවේචනයට බොහෝ වීරයන් බිහිව ඇති බව සඳහන් කළ යුතුය.
 
 මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා තරම් ‘මෙරට බිහිවූ රාජ්‍ය නායකයන් අතර ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට මුළු අධ්‍යාත්මයෙන්ම කැපවූ නායකයෙක් නැත. අල්ලස දූෂණ විරෝධය ද එතුමාගේ ජීවිතය හා බද්ධව තිබේ. පැවති ආණ්ඩුව සිදු කළ වංචා දූෂණය සෙවීම මෙන්ම තමාගේ ආණ්ඩුව තුළ සිටින චෞරයන්ට එරෙහිව වංචා දූෂණ සෙවීමට ක‍්‍රියාකාරීව මැදිහත් වූ රාජ්‍ය නායකයකු ශ‍්‍රී ලාංකීය දේශපාලනය තුළ හමුවන නාමය මෛත‍්‍රිපාල සිරිසේන නාමය පමණයි.
 
 මෙරට පවත්වන ජාතික මැතිවරණයේ දී අප කැමති වුවත් අකැමැති වුවත් සුළු ජන වර්ගවල අනුමැතිය හා ආශිර්වාදය අවශ්‍ය වේ. තවමත් මේ රටේ විවිධ සුළු ජන කණ්ඩායම්වල ආකර්ෂණීය ජාතික නායකයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව පිළිගැනීමට කිසිවකු මැලිවිය යුතු නොවේ.
 
 ජාතියේ දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කැපවී සිටින විධිමත් ජනාධිපතිවරයා ජීවිතය ඉල්ලා යදින ලක්ෂ දෙකකට ආසන්න වකුගඩු රෝගීන් ගේ ඉරණම වෙනුවෙන් සටන් කරයි. රජරට, උතුරු මැද, වයඹ, උතුරු නැගෙනහිර, සාපිපාසාවෙන් පෙලෙන ජනයාගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ සිහිනය යථාර්ථයක් කිරීමට කැපවී සිටී. පාතාලය මැර බලය බැහැර කර, මාධ්‍ය නිදහස අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ එතුමා කිසිවෙකුට ගැති නැති එහෙත් සියල්ලන් සමග මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තියට අනුගතව ලොව දිනාගත් නායකයාය. එබැවින් දෙස් විදෙස් කුමන්ත‍්‍රණකරුවන් කෙතරම් එතුමාට එරෙහි වුව ද එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නායකත්වයේ භූමිකාව අමතක කර කිසිදු බලවේගයකට පැවැතීමක් නැති බව තේරුම් ගැනීම වැදගත්ය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles