Divaina - ජාතියට ප‍්‍රථමාධාර දී රැජනගෙන් නයිට් පදවිය ලැබූ සරත් සමරගේ.. තාත්තා වෛද්‍යවරයෙක් දරුවො හතරදෙනාමත් විශේෂඥ වෛද්‍යවරු...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


  jaathi
 
 * සම්මානය ලැබුණේ ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයේ නිලධාරියකු ලෙස අවුරුදු 48 තිස්සේ කරපු සේවයට...
 
 * ශාන්ත ජෝන් සේවාව ආරම්භ වුණේ 1906 දැන් මෙරට තියෙන පැරැණිතම ස්වෙච්ඡා සංවිධානය...
 
 * යුද බිමේ ප‍්‍රථමාධාර දුන්නෙත් ශාන්ත ජෝන් සේවාව...
 
  * නවතින හෘදය පණගැන්වීමට අලූත් යන්ත‍්‍රයක් රටේ ප‍්‍රචලිත කරයි, ප‍්‍රථම වැඩමුළුව 11 වැනිදා විහාරමහාදේවී උද්‍යානයේදී...

 
 

 තරංග රත්නවීර
 ඡායාරූප - ජූඞ් ඩෙන්සිල් පතිරාජ 


සොඳුරු මිනිසෙකු සමඟ ළෙන්ගතු කතාබහකට අපට අවස්ථාව උදා විය. ඔහුගේ රාජකාරි ස්ථානයේදීම අප සමඟ සම්මුඛ වූ ඒ නිරහංකාර මිනිසා සාමාන්‍ය කෙනෙක් නොවේ. එංගලන්ත මහ රැජනගෙන් පවා සම්මාන දිනාගත් මෙරට සුප‍්‍රසිද්ධ වෛද්‍යවරයෙකි. සමාජ සේවකයෙකි. හේ අන් කිසිවකු නොවේ ලෝක වෛද්‍යවරුන්ගේ පරිපාලකයන්ගේ සංගමයේ ලංකාවේ නියෝජිත, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මෙරට ක‍්‍රියාත්මක ෆොන්ගෝඩා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතිවරයා මෙන්ම ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාවේ සභාපති ධුරය දරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සරත් සමරගේ මහතාය. පසුගිය මස 19 වැනිදා එංගලන්තයේ පැවති ජාත්‍යන්තර සම්මාන ප‍්‍රදානෝත්සවයේදී එංගලන්ත මහ රැජන විසින් පිරිනමනු ලබන නයිට් පදවියෙන් පිදුම් ලැබූ ගෞරවනීය ශ‍්‍රී ලාංකිකයාය.
 
 
jaathi1සරත් සමරගේ මහතාගේ උපන් ගම ගාල්ලේය. වෛද්‍ය සමරගේ සිරිල් ද සිල්වා මහතාගේ පවුලේ වැඩිමහල් පුතණුවන් වූ සරත් සමරගේ පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ නාලන්දා විiාලයෙනි. නාලන්දාවේ කීර්තිමත් ශිෂ්‍යයකු වූ සරත් සමරගේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. වෛද්‍ය විද්‍යාලයේ ද කීර්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය හදාරමින්, වෛද්‍ය උපාධිය ලබාගත් සරත් සමරගේ මහතා මෙරට නොයෙකුත් ප‍්‍රදේශවල රජයේ රෝහල්වල සේවය කළේය. පසුව පශ්චාත් උපාධිය ලබාගනිමින් ප‍්‍රජා සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු බවට පත් විය. 1993 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සංවිධාන සංවර්ධන ධුරයට පත් වූ වෛද්‍ය සමරගේ මහතා ක‍්‍රමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් තනතුරු හොබවමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයට ද පත් විය. 2010 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟ සරත් සමරගේ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක තනතුරකට පත් විය. 2016 වර්ෂයේ සිට සරත් සමරගේ මහතා ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ පර්යේෂණ කටයුතුවල නියැළෙමින් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් ඉටු කරමින් සිටී.
 
 සමරගේ පවුලේ සරත් මහතාට බාල සහෝදරයන් දෙදෙනාම ප‍්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරු ලෙස එංගලන්තයේ සේවය කරති. එකම සහෝදරිය නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන්නීය. විශේෂඥ වෛද්‍යවරු සතරදෙනෙක් බිහි කළ වෛද්‍ය සමරගේ මහතා මීට වසර කිහිපයකට ඉහත දී දැයෙන් සමුගෙන ගියේය. සමරගේ මැතිනිය මේ වන විට අවුරුදු අනූ තුනක් ආයු වළඳමින් දරුවන් අතර ජීවත් වෙති. වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් යුත් සමරගේ පවුල ගැන එක ලිපියකින් කතා කර අවසාන කළ නොහැකිය. දැන් අප කතා කරන්න යන්නේ ශාන්ත ජෝන් ස්වෙච්ඡා සංවිධානයේ සභාපතිවරයා ලෙස එංගලන්ත මහ රැජනගෙන් නයිට් පදවිය ලැබූ වෛද්‍ය සරත් සමරගේ මහතා සහ ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවය ගැනය.
 
ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවය ලෝකයේ ආරම්භ වී ඇත්තේ අවුරුදු නවසියයකට ඉහතදීය. එනම් ප‍්‍රවාහන කටයුතු නොදියුණු සමයේ ජෙරුසලම වන්දනා කිරීමට පැමිණ රෝගාතුර වන වන්දනාකරුවන්ට ප‍්‍රථමාධාර ලබාදීමට ජෙරුසලම පල්ලියේම කොටසක ආරම්භ කළ ප‍්‍රථමාධාර සේවයයි. එසේ ආරම්භ වූ ප‍්‍රථමාධාර සේවය කාලයත් සමඟ ශාන්ත ජෝන් සේවාව නමින් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාප්ත විය. එම රටවල් අතරින් මෝල්ටා රාජ්‍යයේ මේ සමාජ සේවාව දීර්ඝ කාලයක් පැවතිණි. ශාන්ත ජෝන් සේවාවේ ලාංඡුනය වී ඇත්තේ ද මෝල්ටා රාජ්‍ය ලාංඡුනයයි. එහෙත් ඇලෙක්සැන්ඩර් රජු පත්වීමත් සමඟ ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාව මෝල්ටාවේ තහනම් කෙරිණි. අනතුරුව ශාන්ත ජෝන් සේවාව ස්ථාපිත වී ඇත්තේ එංගලන්තයේය. මේ වන විටත් ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයේ මූලස්ථානය ක‍්‍රියාත්මක වන්නේ එංගලන්තයේය.
 
ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාව මෙරට ආරම්භ වී ඇත්තේ 1906 වර්ෂයේ ආගෝස්තු මස 13 වැනිදාය. එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් හෙන්ඩි‍්‍ර ආතර් බ්ලෙක් යටතේ ආරම්භ වූ ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයේ ප‍්‍රථම ශාඛාව කොළඹ විවෘත වී ඇත. පසුව යාපනයේ සහ ගාල්ලේ තවත් ශාඛා දෙකක් ආරම්භ වී ඇත. 1948 වර්ෂයේදී මෙරටට නිදහස ලැබීමත් සමඟ 1969 වර්ෂයේදී ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයට ද නිදහස ලැබිණි. ශාන්ත ජෝන් සේවාවේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලාංකිකයකු ලෙස සභාපති ධුරයට පත් වී ඇත්තේ රාසයියාය. සරත් සමරගේ මහතා ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයේ සභාපති ධුරයට පත් වන්නේ දොළොස් වැනි සභාපතිවරයා ලෙසටය. ඔහුට පෙර සභාපති ධුරය හොබවනු ලැබුයේ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාය.
 
 ආපදා තත්ත්වයන් තුළදී අසරණ වූ මිනිසුන්ට සේවා සපයන ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාවට ප‍්‍රථමාධාරකරුවකු ලෙස සරත් සමරගේ එකතු වී ඇත්තේ 1971 වර්ෂයේදීය. විවිධ තනතුරු දරමින් සරත් සමරගේ සභාපති ධුරයට පත් වන විට ඔහු එම සංවිධානයේ අවුරුදු හතළිස් අටක් ස්වෙච්ඡාවෙන් සේවය කර තිබේ. එංගලන්ත මහා රැජන විසින් ඔහුට නයිට් පදවිය පිරිනමා ඇත්තේ ස්වෙච්ඡාවෙන් ඔහු කළ එම අපරිමිත කැප කිරීමට සහ ශාන්ත ජෝන් සේවාව හරහා මෙරට ප‍්‍රථමාධාර සේවය දියුණු කිරීමට කළ මෙහෙවර අගයමිනි. ලෝක ශාන්ත ජෝන් සේවාවේ පිරිනැමෙන වටිනාම සම්මානය මහ රැජනගේ නයිට් පදවියයි. මීට වසර තිහකට පෙර ශාන්ත ජෝන් ස්වෙච්ඡා සංවිධානයේ අණදෙන නිලධාරිවරයකු ලෙස කටයුතු කළ ජී. ඒ. පියදාස මහතා නයිට් පදවියෙන් පිදුම් ලැබුවාට පසු ශ‍්‍රී ලාංකිකයකු ලෙස මේ සම්මානය දිනාගෙන ඇත්තේ වෛද්‍ය සරත් සමරගේ මහතාය. එය අපේ රටට විශාල ගෞරවයකි. ආඩම්බරයකි. එහෙත් සරත් සමරගේ මහතා කියන්නේ එම ගෞරවනීය සම්මානය ඔහුට පමණක් නොව මෙරට ශාන්ත ජෝන් සේවාවට ලැබුණු ගෞරවයක් බවය.
 
 ‘‘ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවය ලෝකය පුරා ව්‍යාප්ත වූ ස්වෙච්ඡා සංවිධානයක්. මම ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවයට බැඳිලා අවුරුද්දක් යනකොට පානදුර කොට්ඨාසයේ භාරකරු විදිහට පත් වුණා. ඊට ටික කාලයකට පස්සේ ශාන්ත ජෝන් කළුතර දිස්ත‍්‍රික් කොමසාරිස් විදිහට පත් වුණා. 1992 අවුරුද්දෙදී ශාන්ත ජෝන් මෙරට සංවිධානයේ පුහුණු අධ්‍යක්‍ෂ ලෙස මම පත් වුණා. 2015 වර්ෂයේදී අණදෙන නිලධාරියා ලෙස පත් වුණා. 2018 අවුරුද්දේ එම සංවිධානයේ සභාපති ධුරයට පත් වුණා. වසර හතළිස් අටකට ආසන්න කාලයක් ස්වෙච්ඡාවෙන් කරපු සේවය ගැන වගේම ලංකාවේ ප‍්‍රථමාධාර සේවය දියුණු කරන්න අපි කරපු ව්‍යාපෘති, කලාපීය රැස්වීම්වලදී මම කරපු දේශන ගැන අවධානය යොමු කරලා එංගලන්ත මහ රැජන තමයි නයිට් පදවිය පිරිනැමිය යුතු කියලා නිර්දේශ කරන්නේ. අවුරුදු තුනකට වතාවක් පැවැත්වෙන මේ සම්මාන උළෙලේදී මෙවර ආසියාකරයෙන්ම සම්මානයට නිර්දේශ වෙලා හිටියේ මම විතරයි. අපිට ඒ සම්මානය ලැබුණා. ඒ ගෞරවය මට විතරක් නෙමෙයි මෙරට ශාන්ත ජෝන් සේවයටම ලැබුණු ශක්තියක්...’’
 
 ‘‘අපේ රටේ ප‍්‍රථමාධාර සේවය දියුණු කරන්න ශාන්ත ජෝන් සේවාව විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ආපදා අවස්ථාවකදී ප‍්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වෙමින් හානියට පත් මිනිසුන්ට ප‍්‍රථමාධාර පහසුකම් ලබාදෙනවා. ඊට අමතරව මෙරට සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවන්න වැඩ කරගෙන යනවා. 1980 දශකයේදී මම පානදුර කොට්ඨාසයේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරනකොට මගේ මූලිකත්වයෙන් ප‍්‍රාථමික සෞඛ්‍යය පිළිබඳ අලූත් වැඩසටහනක් ආරම්භ කළා. එම ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාවක් එංගලන්තයේ ශාන්ත ජෝන් මවු ශාඛාවටත් යැව්වා. ශාන්ත ජෝන් මවු ශාඛාවේ ප‍්‍රධානීන් ඒ ව්‍යාපෘති වාර්තාව පිළිගෙන අපේ රටේ ප‍්‍රාථමික සෞඛ්‍යය තත්ත්වය නඟාසිටුවීමට එංගලන්ත ලොතරැයි මණ්ඩලයෙන් විශාල ආධාර මුදලක් අපිට දුන්නා. ඒ වගේම මම හඳුන්වා දුන්නු ප‍්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන ලෝකය පුරා ශාන්ත ජෝන් සේවාවන් තුළ ආරම්භ කරන්නත් එංගලන්ත මවු ශාඛාව කටයුතු කරලා තිබුණා. එංගලන්ත ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණු ආධාර මුදලින් ‘ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණය’ නමින් සිංහල භාෂාවෙන් පොතක් මුද්‍රණය කරලා රට පුරා බෙදාහරින්න අපි කටයුතු කළා. ඒ වගේම අදටත් මෙරට ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණය දියුණු කරන්න අපේ සංවිධානය විශාල වැඩ කොටසක් කරගෙන යනවා...’’
 
jaathi2‘‘ත‍්‍රස්තවාදී යුද සමයේදී උතුර, නැගෙනහිර ප‍්‍රදේශවලදී ශාන්ත ජෝන් සාමාජිකයන් සක‍්‍රීයව ක‍්‍රියාත්මක වුණා. හැකි උපරිමයෙන් ප‍්‍රථමාධාර පහසුකම් ලබා දුන්නා. යාපනයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට උවටැන් කිරීමේ සේවාවක් ආරම්භ කළා. ඒක අපි කළේ කුලී පදනම මත මිනිස්සු අරගෙන. අදටත් යාපනයේ ඉස්පිරිතාලයේ ඒ සේවාව ක‍්‍රියාත්මකයි. ඒ වගේම සමහර අවස්ථාවල එල්.ටී.ටී.ඊ. ප‍්‍රදේශවලට යන්න අවසර දුන්නෙ අපිට විතරයි. වෙන කිසිම සංවිධානයකට යන්න දුන්නෙ නෑ. මෙරට රජයත් අපේ සංවිධානය ගැන හොඳ අවබෝධයෙන් පසු වුණා. සුනාමිය වැනි ව්‍යසනකාරී අවස්ථාවලදී ශාන්ත ජෝන් සේවාව හරහා විශාල සේවයක් ඉටු කළා. සුනාමි ව්‍යසනය වෙනකොට අපේ සංවිධානයට හරිහැටි කාර්යාලයක්වත් තිබුණේ නෑ. ලංකාවට උදව් කරන්න පැමිණි ජර්මනියේ ශාන්ත ජෝන් සේවයේ නිලධාරීන් ගරා වැටුණු අපේ කාර්යාලය දැකලා අපිට අලූතින් කාර්යාලයක් හදාගන්න ආධාර දුන්නා. ඒ ආධාර යටතේ කොළඹ නගරයේ තට්ටු පහක ගොඩනැඟිල්ලක් ඉදි කළා. මේ වෙනකොට මෙරට සෑම දිස්ත‍්‍රික්කයකම ශාන්ත ජෝන් සේවාවේ ශාඛා ආරම්භ කරලා තියෙනවා. ඒ සෑම ශාඛාවක්ම ශාන්ත ජෝන් සේවාවේ දිස්ත‍්‍රික් කොමසාරිස්වරු හරහා පාලනය වෙනවා. ලංකාව පුරා අපේ සංවිධානයේ සාමාජිකයෝ තිස්දහසක් ඉන්නවා. යාපනය, හම්බන්තොට, සමන්තුරේ සහ මාතලේ නගරවල ප‍්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන හතරක් ආරම්භ කළා. රට පුරා ප‍්‍රථමාධාර පුහුණුකරුවන් එකසිය පනහක් විතර ඉන්නවා. ඒ පුහුණුකරුවන්ට එංගලන්ත ශාන්ත ජෝන් සේවයේ ඇගයීම් සහතික පවා හිමි වෙලා තියෙනවා. 2006 වර්ෂයේදී කොළඹ නගර සභාවත් එක්ක එකතු වෙලා හදිසි ගිලන් රථ සේවයක් ආරම්භ කළා...’’
 
 ‘‘මෙරට ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාව කරන වැඩ ගැන අවධානය යොමු කරලා එංගලන්තයෙන් විශාල මුදල් ආධාර ලබා දෙනවා. පසුගිය වසරේදී ජාත්‍යන්තර මට්ටමෙන් ප‍්‍රථමාධාර අත් පොතක් භාෂා තුනෙන්ම මුද්‍රණය කොට බෙදාහැරීමට එංගලන්තය ආධාර ලබා දුන්නා. මේ වර්ෂයට පවුම් පනස් එක්දාහක ආධාර මුදලක් ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ මුදල්වලින් මෙරට ප‍්‍රථමාධාර සේවාවන් වැඩි දියුණු කිරීමට සමාජ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම හෘදයාබාධ වැළඳුණු පුද්ගලයන්ගේ හදවත යළි පණගැන්වීමට අවශ්‍ය උපකරණ භාවිතය ප‍්‍රචලිත කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටත් අපි කටයුතු කරනවා. එළැඹෙන 11 වැනිදා ලෝක හදවත් දිනය නිමිති කොටගෙන නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී හදවත් පණගැන්වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රථම වැඩසටහන් පැවැත්වීමටත් අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා...’’
 
 ‘‘අපේ රටේ ප‍්‍රථමාධාර පහසුකම් දියුණු කරන්න ස්වෙච්ඡාවෙන් වැඩ කිරීමට කැමැති ඕනෑම කෙනෙකුට ශාන්ත ජෝන් සේවයේ සාමාජිකත්වය ලබාගන්න පුළුවන්. ඒ හැර පාසල්වල කැඩෙටින් කණ්ඩායම්වල ප‍්‍රථමාධාර පුහුණු ලබාගැනීමට කැමති ළමයින්ට ප‍්‍රථමාධාර සේවා සම්බන්ධයෙන් දින තුනක පුහුණුවක් ලබා දීලා අවසානයේ ඇගයීම් පරීක්‍ෂණයක් කරලා ජාත්‍යන්තරය පිළිගත් සහතික පත‍්‍රයක් ලබාදෙන්නත් අපි කටයුතු කර තිබෙනවා. පාසල්වල දරුවන් මෙවැනි සමාජ සුබසාධන කටයුතුවලට යොමු කරන්න ගුරුවරු මූලිකත්වය ගන්න ඕනෑ...’’
 
 ‘‘මේ වෙනකොට දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන කිහිපයක් මම දිනාගෙන තිබෙනවා. ඒ අතරින් එංගලන්ත මහ රැජන පිරිනැමූ නයිට් පදවිය විශේෂයි. මේ හැම ගෞරවයක්ම මම ලබාගෙන තියෙන්නේ කැපවීමෙන් ගෞරවාන්විත සේවයක් කරලා. රට, ජාතියට එවැනි සේවාවක් කරන්න මට පන්නරය ලබා දුන්නේ කොළඹ නාලන්දාව. පාසල් යන කාලයේදී අධ්‍යාපන කටයුතුවලට අමතරව පාසලේ සෑම සමිතියකම නිලතල දරලා තියෙනවා. ඒ සමිතිවලින් ලැබුණු පන්නරයෙන් තමයි ජාත්‍යන්තර ස්වෙච්ඡා සංවිධානවලට නායකත්වය ලබාදෙන්න මට පුලූවන් වුණේ. අලූත් පරම්පරාවට මම කියන්නේ යහපත් පුරවැසියකු ලෙස රටට සේවයක් කරන්න නම් පොත පතේ දැනුම පමණක් ප‍්‍රමාණවත් නෑ. පාසලේදී වගේම, සමාජයේදීත් සමිති සමාගම්වල තනතුරු දරමින් බාහිර දැනුමෙනුත් පෝෂණය වෙන්න ඕනෑ...’’ කතාව පුරාවටම ඔපවත් වූ ලෙන්ගතු සිනාවෙන් අපගේ හදවත් පුරවමින් සරත් සමරගේ කීර්තිමත් කතාව නතර කළේය.
 
 ජාත්‍යන්තර කීර්තියට පත් වී සිටින සරත් සමරගේ කතාව අවසානයේ අලූත් පරම්පරාවට කියන කෙටි වචන කිහිපය පමණක් නොවේ ඔහුගේ ජීවිතයම සමාජයට අත්පොතක් කර ගත යුතුය. ඒ විනා ඒ උස් මිනිසාගේ කතාවට අටුවාටීකා එකතු කිරීමෙන් වැළකී ඔහුගේ ජීවන ගමනට සුභාශිංසන එකතු කර අපි කතාව නතර කෙළමු. එමෙන්ම ජීවිතයේ හැට නව වැනි විය පසුකරගෙන යන සරත් සමරගේ මහතාට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කර සිටිමු.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles