Divaina - පිංපඩියත් යටිමඩි ගහලා... ඇමතිවරු වැඩිහිටි සුබසාධනයත් බූදලයක් කරගත් හැටි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
 pin  

යහපාලන රජය බලයට පත් වනුයේ සැමට සාධාරණ සමාජයක් වෙනුවෙන්ය. එහෙත් හුදෙක් කි‍්‍රයාව කොයිහැටි වෙනත් වචනයට පමණක් සීමා වී ඇති බවක් පෙනේ. මේ රටේ වයස අවුරුදු 70 ඉක්ම වූ තෝරා ගත් වැඩිහිටියන්ට සොච්චමකට පිං පඩිය ලෙස හඳුන්වන රුපියල් 2000 ක මාසික දීමනාවක් රජය විසින් ගෙවනු ලැබේ. මෙලෙස වැඩිහිටියන් දෙන මාසික දීමනාවෙන් ද රුපියල් 100 ක් කිසිදු අවසරයකින් තොරව වැඩිහිටි සුබසාධනය සඳහා කියමින් නැවත අය කරගනු ලැබේ. එවිට අසරණ වැඩිහිටියාට ලැබෙන්නේ රුපියල් 1900 ක් පමණි. රුපියල් 100 සුළු මුදලක් වුව ද දැනට මෙම මුදල ලබන වැඩිහිටියන් සංඛ්‍යාව 438600 ක් පමණ වනු ඇත. මෙම සංඛ්‍යාවෙන් මාසිකව අය කරගනු ලබන රුපියල් 100 මත මාසික ආදායම (100 X 438600 = 43,860,000.00) කි. මෙය වසරකදී 43,860,000.00 X 12 = 526,320,000.00 ක මුදලකි.
 
 මෙම අසාධාරණ අයකර ගැනීම ආරම්භ කරන ලද්දේ යහපාලන රජයෙන් පත්කරන ලද එවකට සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය භාරව කටයුතු කළ එස්. බී. දිසානායක ඇමැතිවරයාය. මෙය මුදල් අමාත්‍යාංශයේ හා ජනාධිපතිතුමාගේ ද අනුමැතියකින් තොරව හුදෙක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කි‍්‍රයාත්මක කරන ලද්දකි. තවද, 2018 වර්ෂයේදී පිහිටුවන ලද ජාතික වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ විරුද්ධත්වය නිසා සමෘද්ධිය මෙන් සිදුවීමට ගිය මුදල් නාස්තියක් වැළකින. එහෙත් මෙම මුදල වියදම් කර තමන්ට රිසි සේ දේශපාලන ලකුණ එක්රැස් කර ගැනීමට තවත් දේශපාලකයන් මාන බලන පුද්ගලයන් අතර වර්තමාන විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන දයා ගමගේ මහතා ද, මෙවැනි අක‍්‍රමික හා අවිධිමත් කර්තව්‍යයන් සඳහා මුදල් යෙදවීමට අනුබල දෙන ඇමැති සම්බන්ධීකරණ ලේකම් ද සඳහන් කළ හැක. ඔවුන් මෙම මුදල වියදම්කර ඉතා විශාල මුදලකට වැඩිහිටියන්ට විනෝද චාරිකා යෑමට යැයි කියමින් ඉතා අධික මිලකට බස් රථ 331 ක් මිලදී ගැනීමට මාන බලමින් සිටියි. මෙපමණක් නොවේ බස් රථමිලදී ගැනීමටත්, තමන්ට සිතෙන ආකාරයට මෙම අවිධිමත් ලෙස හා සදාචාරාත්මක නොවන ලෙස අහිංසක වැඩිහිටියන්ගෙන් ගසා කන ලද මුදල් නිරපරාදේ යෙදවීමට අමාත්‍යාංශ බලධරයන් මෙන්ම ඇමැතිතුමා විසින් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ද බලකරමින් සිටියි. කරුණු කාරණා කෙසේ වෙතත්, අඟුණකොළපැලැස්ස වැනි ඈත ගම්මානවල වෙසෙන දිළිඳු වැඩිහිටියන්ට වන්දනා ගමන් යෑම පසෙකලා අවශ්‍ය රුධිර පීඩනය සඳහා නියම කරන ලද ඖෂධ වට්ටෝරුව මිලදී ගැනීමට පිං පඩිය ලැබෙන තුරු මඟ බලා සිටීමට සිදුවී ඇත. එවැනි වාතාවරණයක් තුළ දුප්පත් අසරණ වැඩිහිටියා මෙම පිං පඩිය ලබා ගැනීමට නොවඳිනා වැඳුම් තම ග‍්‍රාම නිලධාරිවරයාට වඳිමින් දිගු කලක් පොරොත්තු ලේඛනයේ ද සිටීමට සිදුව ඇත. එවැනි දුක් ගැහැට විඳිමින් ලබා ගන්නාවූ සොච්චම් පිං පඩියෙන් රුපියල් 100 ක මුදලක් ගසා ගන්නා අමාත්‍යාංශය මාසය අවසානයේදී විශාල මුදලක් එක්රැස් කර ගනී. මෙම රැස් කර ගත් මුදල මෙලෙස දේශපාලනික අවශ්‍යතාවය මත වැදගැම්මකට නැති දෙයකට වියදම් කිරීම ශිෂ්ට සමාජය විසින් කිසිසේත් අනුමත කරන්නේ නැත.
 
 එබැවින් මෙම රුපියල් 100 කපා ගැනීම වහාම නතර කළ යුතු අතර එක්රැස් කරගත් මුදල නැවත වැඩිහිටියන් අතට පත් කළ යුතුය.
 
 තවද, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සහ අමාත්‍යාංශයේ කාර්ය වනුයේ උත්සව සංවිධානය කරමින් වැඩිහිටියන්ව වේදිකාව මත නැටවීම නොව, ඔවුන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමය. එයට හේතුව ඉදිරි වර්ෂවලදී ලංකාවේ වැඩිහිටි ජනගහනය දෙගුණ තෙගුණ වීමයි. ඔවුනට අවශ්‍ය වැඩිහිටි නිවාස ඉදිකිරීමටත් තිබෙන වැඩිහිටි නිවාස හොඳින් පවත්වා ගැනීමටත් සැලසුම් සකස් කර කි‍්‍රයාවට නැඟිය යුතුය. වැඩිහිටි කමිටුවල සිදුවන දූෂණ හා අක‍්‍රමිකතා නැවැත්වීමට වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතුය. ඒ වෙනුවට වැඩිහිටියන් බලහත්කාරයෙන් උත්සවවලට ගෙන්වා ගනිමින් දේශපාලනික වුවමනාවන් ඉටුකර ගන්නේ නම් එය හෙළා දැකිය යුතුය. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ ඔක්තෝබර 01 වැනි දින අනුරාධපුරයේ පැවති වැඩිහිටි දින උත්සවයට අමාත්‍යාංශය විසින් වැඩිහිටියන් 25000 ගෙන්වීමට ගන්නා ලද අසාර්ථක උත්සාහයයි. එය හුදෙක්ම දේශපාලනික මුහුණුවරක් ගැනීමට අවකාශ තිබුණු අතර මැතිවරණ සමය නිසා එය ඇමැතිතුමාට සිතු පරිදි ඉටුකර ගැනීමට නොහැකි විය. මෙහිදී මෙපමණ වැඩිහිටියන් සංඛ්‍යාවක් අනුරාධපුරය වැනි ස්ථානයකට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද්දේ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් ලබාදිය හැකි ආකාරයවත් සැලකිල්ලට ගැනීමෙන් තොරවය.
 
 කෙසේ වෙතත් මේ වනවිට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නමින් ආයතනයක් තිබුණ ද එහි වැඩිහිටියන්ගේ දත්ත එක්රැස් කර ගැනීම සඳහා වූ නිවැරදි ක‍්‍රමවේදයක් ඒ තුළ නොමැත. වැඩිහිටි ප‍්‍රවර්ධන නිලධාරීන් යැයි තනතුරක් සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ස්ථාපිත කර ඇති අතර, වැඩිහිටි තොරතුරු ලබා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සැලසුම් කර නොමැත. සැබැවින්ම මෙම ආයතනය අංග විකල ආයතනයකි. මෙවැනි අඩුපාඩු සකසා වැඩිහිටි සුබසාධනය කාර්යක්ෂම කරනු වෙනුවට එස්. බී. දිසානායක හා දැනට සිටින දයා ගමගේ ඇමැතිවරුන් කරනුයේ හා කර තිබෙනුයේ තමන්ගේ දේශපාලනික වාසි සහ නිෂ්ඵල කාර්යයන් සඳහා ආයතනය හා වැඩිහිටියන් යොදා ගැනීමය. මෙය වැඩිහිටියන් සම්බන්ධව ඉතාමත් ශෝචනීය තත්ත්වයකි.
 
 අනෙක් අතට දිවයිනේ වෙසෙන වැඩිහිටියන් පිළිබඳව අවධානය යොමු කළහොත් කාත් කවුරුවත් නොමැතිව දුක් විඳින වැඩිහිටියන් මෙන්ම වැඩිහිටි නිවාස තුළ ආහාර හා ඖෂධ නොමැතිව දුක් විඳින අසරණ වැඩිහිටියන් ප‍්‍රමාණය අප‍්‍රමාණය. උදාහරණයක් ලෙස කළුතර උතුර සුජාතා ආබාධිත වැඩිහිටි නිවාසය පෙන්වා දිය හැකිය. මෙවැනි වූ නිවාස දිවයිනේ කෙතරම් තිබිය හැකිද? එවන් වූ පසුබිමක ඇමැතිවරුන් සහ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඇති ආයතන මෙලෙස උත්සව සංවිධානය කරමින් අනවශ්‍ය ලෙස මුදල් කාබාසිනියා කිරීම කෙළෙසකවත් ඉවසිය නොහැකි කාරණාවකි.
 
 මේ සියලූ කාරණා සලකා බැලූ විට ශී‍්‍ර ලංකාවේ වැඩිහිටියන් සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි අතර, වහාම ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ වැඩපිළිවෙළක් බලධාරීන් විසින් ස්ථාපිත කළ යුතුය යන්න ජාතික වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ බලකිරීමයි. එබැවින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අසරණ වැඩිහිටියන්ගෙන් ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව කපා ගන්නා රුපියල් 100 වහාම නවත්වන ලෙසත්, මෙතෙක් කපා ගන්නා ලද අතිවිශාල මුදල ඔවුන් සැවොම සුරක්ෂා කිරීම සඳහා රක්ෂණයක් ඇති කරන ලෙසත්, දිවයිනේ වැඩිහිටි කමිටුවල සිදුවන අක‍්‍රමිකතා නවත්වන ලෙසත්, වැඩිහිටියන් කිසිදු ප‍්‍රවර්ධන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසත්, වැඩිහිටියන්ගේ විශේෂ වූ අවශ්‍යතා හා රැක ගැනීමේ නිවැරදි වැඩපිළිවෙළක් ඇති කරන ලෙසටත් සංවිධානය ලෙස බලකර සිටින අතර එසේ නොවුණහොත් ඒ සඳහා වැඩිහිටියන් දැනුවත් කර රජයට බල කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට ජාතික වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය දීප ව්‍යාප්තව සැලසුම් කිරීම වැළැක්විය නොහැකි වනු ඇත.
 
 
 අනුර පී කස්තුරු
 කැඳවුම්කරු
 ජාතික වැඩිහිටි අයිතිවාසිකම්
 සුරැකීමේ සංවිධානය
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles