Divaina - හබරණ හස්තීන්ගේ මරණ අභිරහසක් ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
habarana

 

 ජගත් කණහැරආරච්චි
 
habarana2අලි - මිනිස් ගැටුම ශ‍්‍රී ලංකාව මුහුණදී ඇති බරපතළ ගැටලූවක් බව අමුතුවෙන් කියා දිය යුත්තක් නොවේ. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් අලි - මිනිස් ගැටුමේ අමිහිරි කතාන්දර ඇසෙන අතර ඊට ගොදුරුව මියයන අලින්ගේ ප‍්‍රමාණය මෙන්ම මිනිස් ජීවිත ප‍්‍රමාණයද සුළුපටු නොවේ. වසරින් වසර මෙම තත්ත්වය තවත් උග‍්‍ර අතට හැරෙමින් පවතින අතර, සෑම වසරකම අලින් 250 ක් පමණ ද මිනිස් ජීවිත 50 - 60 ක් පමණද නිරපරාදේ රටට අහිමිව යෑම සලකාබැලිය යුතු තත්ත්වයකි. කලක් පූජනීය තත්ත්වයෙන් සැලකූ අලි - ඇතුන්ම අද අපගේ සතුරන් සේ සලකා කටයුතු කිරීම අතිශය ඛේදනීය තත්ත්වයකි. මේ වසරේ ගෙවී ගිය මාස හය තුළ පමණක් අලි - ඇතුන් 294 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වන අතර 2019 වසර මේ අනුව අලින් වැඩිපුරම මියගිය වසර ලෙස වාර්තාගත වනු ඇත. තවත් මාස දෙකක් පමණ ඉතිරිව පවතින බැවින් එම ප‍්‍රමාණය 300 ඉක්මවා යන බවටද ‘වේදනාබර’ විශ්වාසයක් අපට තිබේ.
 
 
මේ වේදනාබර සංසිද්ධියේ තවත් එක් අහිමිරි මතක සටහනක් බවට පත්වන්නේ පසුගියදා හබරණ තුම්බිකුලම වන රක්‍ෂිතයේදී ‘අභිරහස්’ අන්දමින් මියගොස් සිටි හස්තීන් සත්දෙනාගේ මරණ ඛේදවාචකයයි.
 
අප මෙය ‘අභිරහස්’ මරණ ලෙස හඳුන්වන්නේ මෙම හස්තීන් සත් දෙනාගේ මරණවලට තවමත් හරිහැටි හේතුවක් හඳුනාගෙන නොමැති නිසාය. තුම්බිකුලම රක්‍ෂිතයේ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ මෙසේ තැන තැන වැටී මියගොස් සිටි සද්ධන්තයන්ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයා ගන්නා ලදුව, පොලිසිය, වනජීවී නිලධාරීන් හා එක්ව පරීක්‍ෂණ ආරම්භ කරන ලදී.
 
 යුද හමුදාව සහ ගම්වැසියන්ද යොදවා ප‍්‍රදේශයේ බොහෝ කැලෑ ප‍්‍රදේශ සුපරීක්‍ෂාවට ලක්කළත් මේ හැරෙන්නට මියගිය තවත් හස්තීන් නොවූයෙන්, මෙම මරණ මෙම ස්ථානයේදී පමණක් සිදුව ඇති ඒවා බවට තහවුරු කරගත් පරීක්‍ෂණ කණ්ඩායම්, ඒ අතරතුර මියගිය හස්තීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේය.
 
habarana3වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. කේ. සී. සූරියබණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් වහාම ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර මේ ගැන සොයාබලා වාර්තාවක් ලබාදීමට කටයුතු කෙරිණි. වයඹ සහකාර වනජීවී අධ්‍යක්‍ෂ චන්ද්‍රරත්න, අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන හා වස්ගමුව උද්‍යාන භාරකරු පතිරණ යන මහත්වරු කමිටුව සඳහා පත්කරන ලද අතර, පශු වෛද්‍ය චන්දන මහතා සමග ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ තවත් පශු වෛද්‍ය නිලධාරිනියකද පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා පත්කෙරිණි.
 
 ඒ අනුව පරීක්‍ෂණ කටයුතු සිදුකළ කමිටුව හා වෛද්‍යවරුන් මියගිය ඇතුන් කපා කළ මූලික විමර්ශනයේදී හඳුනාගත් කරුණු කිහිපයක් විය. එනම් මියගිය හස්තීන් අතර ඇතින්නියන් හය දෙනෙකු ද එක් (පිරිමි) අලියකු ද වේ. මියගොස් සිටි ඇතින්නියන් අතර එක් ඇතින්නක ගැබිනියකි. තවත් ඇතින්නියන් තිදෙනකුගේම කිරි වෑහෙමින් පැවතිණ. ඒ අනුව සැකකරන්නේ එම ඇතින්නන්ද පැටවුන් සහිත හස්තීන් ලෙසය. මියගිය එක් ඇතින්නක් අසල ශෝකය වාවාගත නොහැකි මව් සෙනෙහසින් දුක්වන පැටවකුද දකින්නට ලැබුණේ කාගේත් නෙත් කෙවෙනි කඳුළින් තෙත් කරමිනි.
 
 මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හඳුනාගත් වැදගත්ම කරුණ වූයේ මියගිය හස්තීන් හත් දෙනාම ඉතා හොඳින් ආහාර ගෙන තිබූ නිරෝගී සතුන් බවත්, ඔවුන්ගේ කුස තුළ විෂ වූ බවට සැකකෙරෙන ආහාර කිසිවක් නොමැති බවත්ය.
 
 එනම් බොහෝ විට අලි - ඇතුන් මරා දැමීම සඳහා ගම්වැසියන් සිදුකරන ප‍්‍රධාන උපක‍්‍රමයක් වන්නේ අලින් කෑමට ප‍්‍රියකරන ආහාරයකට ‘වස’ දැමීමය. ඒ අනුව වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, බඩඉරි`ගු වැනි ආහාරවලට වස දැමීම බහුලව සිදුවන්නකි. එනමුත් මෙම මරණ පරීක්‍ෂණවලදී එවන් කිසිදු සැකකටයුතු අහරක් හඳුනාගෙන නැත. කුස පිරෙනතුරු මෙම හස්තීන් අනුභව කර තිබී ඇත්තේ තණකොළ, ඉලූක්, මානා වැනි වනාන්තර බද ස්වභාවික ආහාරය. එහෙයින් මරණ පරීක්‍ෂකවරු උභතෝකෝටියක ගිල්වා දමමින්, අලින්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය නිමාවන්නේ තවදුරටත් අභිරහසක් ඉතිරි කරමිනි.
 
habarana4මේ අනුව ඉකුත් දා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ත‍්‍රිපුද්ගල කමිටුව මගින් ලබාදුන් වාර්තාවේ මරණවලට හේතූන් සඳහන් නොවන අතර, වැඩිදුර පරීක්‍ෂණ සඳහා රස පරීක්‍ෂණ වාර්තා කැඳවීමට යෝජනා කර ඇත.
 
 පසුගිය දිනෙක වනජීවී අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවකට එක්වූ සංචාරක හා වනජීවී කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මියගිය අලින් පිළිබඳ වගකීම රජය භාරගන්නා බවත්, වැඩිදුර පරීක්‍ෂණ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත භාරදෙන බවත් පැවසීය.
 
 මෙහිදී අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සූරියබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ කැකිරාව මහෙස්ත‍්‍රාත්වරයා මාර්ගයෙන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් ලබාගත් බවය. අමතරව මියගිය අලින්ගේ සිරුරුවලින් ලබාගත් ඉන්ද්‍රීය හා සමේ පටක කොටස් රස පරීක්‍ෂකවරයාට අමතරව, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට හා පශු සම්පත් පර්යේෂණායතනයට වශයෙන් සාම්පල් තුනක් ඉදිරිපත් කර ඇත. මෙම වාර්තා පැමිණෙනතුරු අලින්ගේ මරණ අභිරහසක්ව පවතී.
 
කෙසේ හෝ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විශ්වාසය පළකරන්නේ කිසියම් විෂක් ශරීරගතවීමෙන් මෙම හස්ති මරණ සිදුව ඇති බවටය. මන්ද වෙඩි තැබූ හෝ වෙනත් තුවාලයකින් කරන ලද මරණ බවට කිසිදු බාහිර තුවාලයක් ද නැත. විදුලිය වැදීමට තරම් ළ`ගපාත විදුලි රැහැන් හෝ විදුලි වැටවල්ද නැත. අකුණු අනතුරක්ද විශ්වාස කළ නොහැක. කාපු වස විස අහරක්ද නැත. එසේ නම් පානය කළ ජලය හෝ වෙනත් පානයක් විෂ විය යුතුය. එනම් ජලයට හෝ වස විෂ මිශ‍්‍ර කළ යුතුය. නැතහොත් වස එන්නත් කළ යුතුය. මේ කරුණු කාරණා සඳහා ළ`ගම සබඳතාව ඇත්තේ වසක් පානයට සැලැස්වීමය. එසේ නම් එය රස පරීක්‍ෂණ වාර්තාවෙන් සනාථ වනු ඇත. සාම්පල් තුනක් ස්ථාන තුනකට ලබාදී ඇති බවත් එම ආයතන හැකි උපරිම අන්දමෙන් නිවැරැදි පරීක්‍ෂණ වාර්තා ලබාදිය යුතුවද තිබේ.
 
habarana5 තවත් සමහරු පවසන්නේ කසිප්පු හෝ විෂ ‘ගෝඩා’ පානය කර මියයන්නට ඇති බවකි.
 
 එනමුත් මළ සිරුරු පැවැති ස්ථානවල එතරම් තණකොළ පොඩිවී දැ`ගලූ බවටද සාක්‍ෂි නොමැත. හිටි අඩියේ ගසක් කඩා වැටෙන්නාක් පරිදි අලින් මියයා හැකිද? රස පරීක්‍ෂණ වාර්තාවෙන්ද යමක් හෙළි නොවුනොත් සැබැවින්ම හබරණ අලි මරණ අභිරහසක්ම වනු ඇත.
 
 එසේ නම් වගකිවයුත්තේ කවුරුන්ද? මේ මහා ඛේදවාචකය අපභ‍්‍රංසයකි.
 
 
 පින්තූර - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles