Divaina - දේශීය ගොවිතැනේ ඩිජිටල් පෙරළිය මෙන්න...උදැල්ල ගන්නේ ටැබ් එක බලලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


  krushi


* ඔබේ දුරකථනයට කෘෂි ඇඞ්වයිසර් ඇප් එක නොමිලේ

* පාසල්” සරසවි සිසුන්ට මෙය කෘෂිකර්ම පුස්තකාලයක්

* බෝග මාදිලි” තාක්ෂණය සියලූ තොරතුරු ඇඟිලි තුඬේ දුරින්

* අවශ්‍යනම් මොහොතකින් වාචිකවත් උපදෙස්


සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


ප‍්‍රංශයේ ජීවත්වූ රෙනේ ලෙයිනෙක් (Rene Laennec) වෛද්‍යවරයෙකි. සංගීතඥයෙකි. නිදහස් වේලාවකදී පිඹින්නට බටනලාවක්ද ඔහු විසින්ම සාදා ගෙන තිබිණ. ඒ සඳහා කටයුතු කරද්දී ඔහුට සිතුණේ මෙවැනි ලී බටයක් භාවිත කරන්නේ නම්, රෝගීන්ගේ ළය මත කන නොතබාම හදගැස්ම ඇසිය හැකි නොවේද යන්නයි. එම සිතුවිලි ඔස්සේ 1816 දී වෙදනලාව මෙලොවට බිහිවුණේය. මුලදී එය නිකම්ම නිකන් ලී බටයක් වූ අතර, වෛද්‍යවරු එහි එක පැත්තක් රෝගියාගේ පපුව මත තබා, පපු කුහරයෙන් නැෙඟනි‘ලබ් - ඩබ්’ ශබ්දයට වඩාත් පහසුවෙන් සවන් දුන්හ. පසු කාලයකදී වෙදැඳුරුගේ ගෙල වටා දැවටුණු වෙදනලාව ඔහුගේ වෘත්තීය සංකේතය බවට පත්වුණි. අදින් දශක කීපයකට එපිටදී කුමන අසනීපයකට බෙහෙත් ගන්නට ගියත් දොස්තර මහතා රෝග පරීක්ෂාව අරඹන්නේ වෙදනලාව ඇසුරෙන් රෝගියාව පිරික්සීමෙන් පසුව බව මාහට මතක තිබේ. එසේ නොකළානම් රෝගියාට ද එය අඩුවක් සේ දැනෙන තරමට වෙදනලාවත්, ප‍්‍රතිකාරත් එකිනෙකට බද්ධ වී තිබුණි. කාලය නික්ම ගොසිනි. තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ ඇත. දැන් වෙදනලාව තවදුරටත් වෙදැඳුරුගේ ගෙලවට නිතරම පැටලෙන්නේ නැත. ඔහු ඊටත් වඩා දැන් විශ්වාසය තබන්නේ තාක්ෂණයේ දියුණුව හමුවේ නිකුත්වෙන අනේකවිධ වෛද්‍ය වාර්තා කෙරෙහිය. ඒවා තමා විසින් සවන්දී දැනගන්නා තොරතුරු වලට වඩා සංවේදී බවද, නිවැරදි බවද ඔහු පිළිගන්නා අතර රෝගීහුද ඒ ගැන සැකසංකා පහළ නොකරති.

ගොවිතැනේ පරිනාමයත් මීටම දෙවැනි නොවේ. පැරණි ගොවියා යනු සොබාදහමේ සිදුවීම් මැනවින් කියවා තේරුම් ගෙන, තම වැඩිහිටියන් විසින් අනුගමනය කළ සිරිත් විරිත්වලට හොඳින් පුරුදු පුහුණුවූ පරිසර සංරචකයක්ම මිස, ගොවිබිමට ආගන්තුකයෙක් නොවේ. දොස්තරගේ වෙදනලාව සේ ඔහුගේ සලකුණ වූයේ කැත්ත උදැල්ලය. එහෙත් නූතන වාණිජ කෘෂිකර්මාන්තය හමුවේ ගොවියා ඇතැම් විට ගොවිපොළට ආගන්තුකයෙකි. සමහරු ගොවිතැනේ මූලධර්ම දන්නේද නැත. පාරම්පරික තොරතුරු දන්නේත් නැත. කැත්ත උදැල්ලට වඩා යමක් බලාපොරොත්තුවෙන් හෙතෙම දඬුවැට අද්දර බලා සිටී. උපදෙසක් දෙන්නට කෙනෙක් එනතුරු හතර දිශාවට දෑස මානමින් සිටී. ඩිජිටල් උපකරණ ඇසුරෙන් උපදින වෛද්‍ය වාර්තා වෙදනලාව පසුකර ඉදිරියට පැමිණියාසේ, කැත්ත උදැල්ලට කලින් ගොවි දෑතේ පහස ලැබිය යුතු, පෙරට ආ මෙවලමක්, අණ්ඩ දැමූ කොටකලිසමේ සාක්කුවට තමා විසින්ම රිංගවාගෙන ඇතිබව, දඬුවැට අද්දර බලා හිඳිනා ගොවියාට මතක්කර දීමට ගත් උත්සාහයකි මේ.

තම පරීක්ෂණාගාර කුටියට යාබද මැදිරියක සිටි සහායකයා වන තෝමස් වොට්සන් අමතමින් 1876 මාර්තු 10 වැනිදා ”වොට්සන් මෙහි එන්න, මට ඔබ දැකීමට අවශ්‍යයි” යනුවෙන් දුන් පණිවිඩය මේ තරමට ඉතිහාස ගතවෙනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ටෙලිෆෝනයේ නිර්මාතෘ ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් තවත් පාර්ශ්වයක් වෙත සාර්ථකව ලබාදුන් පළමු ඇමතුමයි ඒ. වයර් කැබැල්ලකින් යාබද කාමර දෙකක් අතර සම්බන්ධ කර තිබූ එම දුරකථනය බිහිවී වසර 143 ක් ගතවෙත්දී, පිටතට දිගුවෙන වයර් කෑලි කිසිවක් නැති, සාක්කුවේ දමාගෙන යා හැකි පුංචි ප්ලාස්ටික් නිපැයුමකින්, ලෝකයේ අනෙක් කෙළවරේ සිටින්නකු හා රිසිසේ පිළිසඳරේ යෙදෙන්නට අප සමත්වී සිටින්නෙමු. ඒ ඇතැම්විට අනෙකාගේ මුහුණේ ලියවෙන ඉරියව් ද සජීවීව නරඹමිනි. අදාළ ප්ලාස්ටික් කැබැල්ල අද දිනයේ පිටකොටුවේ පාර අයිනේ පිහිටි කඩයකින් සරලව මිලදී ගත හැකිව තිබුණත්, මීට අඩ සියවසකට පමණ ඉහතදී ටෙලිෆෝනය යනු ලොකු මිනිසුන්ගේ නිවෙස්වල, විසිත්ත කාමරයේ ඉතා ආරක්ෂිතව තැන්පත්කොට තිබූ ස්ථාවර සුපිරි භාණ්ඩයකි. පරිහරණය කෙරුවේද සුපිරි මිනිසුන් කොටසක් විසින්ය. ගෙදරක දුරකථනයක් තිබුණානම් ගෙහිමියා බොහෝවිට ප‍්‍රභූවරයෙකි. එහෙත් අද වනවිට ලංකාවේ ජනගහනයටත් වඩා කීප ගුණයකින්, ජංගම දුරකථන රට තුළ ලියාපදිංචි වී තිබේ. දුරකථන ඝනත්වය මගින් පෙන්වා දෙන්නේ මිනිසුන් 1000 කට ටෙලිෆෝන් 1616 ක් ඇති බවයි.

krushi2ඝන කැලෑ කීපයක් හැරුණුවිට මුළු රටම වාගේ ආවරණය වන පරිදි පෞද්ගලික දුරකථන සමාගම් කීපයක් විසින් තරගයට මෙන් සංඥා ජාලයක් ස්ථාපනය කර ඇති වටපිටාවක, ගොවියාගේ යහපත උදෙසා දුරකථනය යොදවා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තැබූ ලොකු පියවරක් ගැන පේරාදෙණිය පැත්තෙන් අලූත් ආරංචියක් අසන්නට ලැබේ. මෙහි ප‍්‍රතිලාභීන් වන්නේ ගොවීන් පමණක්ම නොව පොළොවේ පය ගසා සිටින සමස්ත ලාංකිකයින්මය. පාසල් හා සරසවි සිසුන්, ගෙයි පිළිකන්නේ හෝ බතල දණ්ඩක් යටකරන්නට සිත එකඟ කරගත හැකි ගැමියන් ආදීන්ට සීමා නොවී, සඳලූතලයේ තැබූ පෝච්චියක මාළුමිරිස් පැළයක් සිටුවා ගෙන උදේ හවා එය නරඹන නගරවාසී සුපිරි මහල් නිවාස ලාභීන්ද ඒ අතර සිටී. තමන්ගේ අතින් පැළයක් සිටුවා, එයට සාත්තු සප්පායම් කර, එහි මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා හා මෝරනවා වැනි සිදුවීම් පිළිවෙළින් නරඹා, අවසානයේ අස්වැන්න ලෙස නෙළාගත් යමක් අනුභව කරන්නට මේ හැම දෙනා තුළම ඇත්තේ ගුප්ත ආශාවකි. ක‍්‍රිස්තු පූර්ව 6200 ක් වැනි ඈත අතීත කාලයකදී චීනයේ විසූ මිනිසුන් විසින් කැලයෙන් ගලවා ගෙන ආ ගොයම් ගස් කීපයක් තම වාසභූමි අවට වගා කිරීමෙන් ලද ගොවිතැනේ පන්නරය, ආරෙට යෑම නිසා මෙම ගුප්ත ආශාව අපට නොදැනීම අපගේ ශරීර කූඩුව තුළට රිංගනවා විය හැකිය. එහෙත් නිසි කෘෂිකාර්මික පණිවිඩයක් ලැබ, විද්‍යාත්මක මඟ පෙන්වීමක් යටතේ ගෙවතු වගාවක්වත් කරගන්නට අවකාශ ඇත්තේ කීයෙන් කී දෙනෙකුට දැයි මේ කෘෂිකාර්මික රටතුළ මහත් විවාදයක් පවතී. පණිවිඩය වගාකරුවා වෙතට ගෙනයෑමට සිටින ව්‍යාපෘති නිලදරුවා ගේ ආවරණය ලබන්නට බොහෝ දෙනකුට අද හැකියාවක් නැත. වගාවකට අවැසි තොරතුරු පිපාසාවෙන් පෙළෙන්නන් සංඛ්‍යාවට ගැළපෙන්නට රජයේ සේවයේ සිටිනා නිලධාරි ගණන ගෑවෙන්නවත් මදිය.

මේ නිසා මෙරට බහුතර ගොවිබිම් වල කෙරෙන්නේ නොදැන කරන ගොවිතැනක් බව පැවසීම එතරම් අසාධාරණ නොවේ. විනෝදයට හෝ කම්මැලිකම යන්නට ගෙවත්තේ පොඩි එළවළු පාත්තියක් දමන්නා පමණක් නොව, තම ජීවනෝපාය වශයෙන් ගොවිතැන කරන්නාද ඇතැම් විට මේ හිතුමතේ වගාවට යොමුවී තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. දුරකථනය හරහා ගොවිතැනට උපදෙස් දෙන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගැනීම කාලෝචිත වන්නේ මේ නිසාය. නව්‍යතාවයකින් අද දිනයේ මෙම කටයුතු කලඑළි බැස්සද, දුරකථනය, කෘෂිකර්ම උපදේශනයට ගාවා ගන්නට මුලින්ම සිතුවිලි එකඟ කරගෙන ඇත්තේ මීට දශකයකටත් වඩා එපිටදී ගන්නෝරුවේ එවකට පිහිටි ශ‍්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙස සේවය කල, පසු කලෙක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පදවියද හෙබවූ, ආචාර්ය රොහාන් විජේකෝන් මහතාය. ඔහුගේ මූලිකත්වයෙන් 2006 වසරේ පෙබරවාරියේදී 1920 යනුවෙන් විශේෂිත දුරකථන අංකයක් ස්ථාපිත කෙරුණු අතර, ඒ හරහා ග‍්‍රාහකයින්ගේ ඇමතුම්වලට නොමිලේ උපදේශන සේවා සැපයීම ඇරඹුණි. එදා එකවර ග‍්‍රාහකයින් තුන්දෙනෙකුට පමණක් පිළිතුරුදීමේ ධාරිතාවක් තිබූ මෙය අද වනවිට දුරකථන මාර්ග 20 ක් විවෘතව තබා ගනිමින් පසළොස්වක පෝය දින හැර අන් සෑම සතියේ දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාවට ගොවිතැනේ පණිවිඩ බෙදාහරී. සති අන්ත දින වලදී නම් ක‍්‍රියාත්මක වන්නේ පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා පමණය.

තොරතුරු තාක්ෂණ මෙවලම් විසින් අත්කර ගන්නා ශ‍්‍රීඝ‍්‍ර පරිණාමයත්, ඒවාහි මිල ගණන් ජනතාවට දැරිය හැකි මිලක් දක්වා පහත වැටීමත්, මෙම උපකරණ සමාජයේ එදිනෙදා භාවිතවන පාරිභෝගික භාණ්ඩ ලැයිස්තුව තුළට ප‍්‍රවිෂ්ටවීමත් අප සිතුවාටත් වඩා වේගයෙන් සිදුවෙනවා පෙනේ. දුරකථන සංවාදයකින් උපදෙස් දෙන සීමාවෙන් ඔබ්බට ගොස් එම් කෘෂිකර්මයක් (m- agriculture) නොහොත් මොබයිල් කෘෂිකර්ම ප‍්‍රවේශයක් ගන්නට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ මේ නිසාය. එහිදී ඉලක්ක කරගනු ලැබුවේ අතේ ගෙනයා හැකි ස්මාර්ට් ජංගම දුරකථන, ලැප්ටොප් හා ටැබ් වැනි මෙවලම් හරහා කෘෂිකර්ම දැනුම බෙදා දීමයි.

” 1920 සේවය හොඳයි. ගොඩක් අය මේ හරහා ප‍්‍රතිලාභ ලබනවා. දිනකට සාමාන්‍යයෙන් ඇමතුම් 300 කට වඩා එනවා. අපිට අවශ්‍ය වුණා නව තාක්ෂණයේ උපකාරයෙන් මේ සේවය තව ප‍්‍රසාරණය කරන්න. 1920 ට කතා කරලා යම් උපදේශයක් ලබා ගත්තත් ඒක ඉක්මණට අමතක වෙන්න පුළුවන්. අපි හිතමු පොහොර නිර්දේශයක් කියල. පොහොර වර්ග කීපයක ග‍්‍රෑම් ගණන් ලියා ගන්නේ නැතුව මතක හිටින්නේ නෑ. ප‍්‍රශ්නය අසන්නා ඒ මොහොතේ ලියා ගන්න බැරි තැනක හිටියොත් ගන්නා උපදේශය අපතේ යෑමේ හැකියාව වැඩියි. තව දෙයක් තමයි 1920 වෙතින් ප‍්‍රශ්නයක් අසන කෙනා තමා අසන ප‍්‍රශ්නය ගැන යම් පමණකට පසුබිම දැනගෙන කතා කිරීම. එතකොට පිළිතුරු දෙන කෙනාටත් අසන්නාට එය අවබෝධ කරවීම පහසුයි. අසන්නාටත් කඩිනමින් තොරතුරු ග‍්‍රහණය කරගන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි මේ අලූත් ක‍්‍රමය පිළියෙල කෙරුවේ.”

නව අදහස ක‍්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගෙන ව්‍යාපෘතිය කළමනාකරණය කළ ටී. ඒ. කාමිස් මහතා තම අදහස් ඉදිරිපත් කෙරුවේ එසේය. දැනට ගන්නෝරුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහු කටයුතු කරයි. කට්ටිය එකතුවී සාදා ඇත්තේ ඇප් එකකි. මේ අදහස මුලින්ම රෝපණයවී ඇත්තේ කෘෂිකර්ම උපදේශක සමන් නිශාන්ත බණ්ඩාර මහතාගේ සිත තුළයි. එවකට ආයතන ප‍්‍රධානියාව සිටි ආර්. ඞී. සිරිපාල මහතා වෙත යෝජනාව ඉදිරිපත් කෙරුවද ඒ මොහොතේ තිබූ තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය ක‍්‍රියාවට නැංවී නැත. පසු අවස්ථාවකදී අදාළ මෘදුකාංග සංවර්ධනය ප‍්‍රසාද් බණ්ඩාර ජයසිංහ මහතා අතින් සිදුවෙත්දී, මුළු ව්‍යාපෘතියම අධීක්ෂණය කර ඇත්තේ තොරතුරු සන්නිවේදන අධ්‍යක්ෂ, ආයතන ප‍්‍රධානී එස්. පෙරියසාමි මහතාය. බෝග මාදිලි, වාහන පමණක් නොව අධිකරණයත් හයිබි‍්‍රඞ් වියයුතු යැයි සිතනා කියනා රටක වෙසෙනා නිසාදෝ මේ සඳහා ද ඔවුන් තෝරාගෙන ඇත්තේ සිංහල ඉංග‍්‍රීසි භාෂා ද්විත්වයෙන් සාදාගත් හයිබි‍්‍රඞ් නමකි.කෘෂි ඇඞ්වයිසර් (Krushi Advisor) යන දුරකථන යෙදවුම නොහොත් ඇප් එක බිහිවී ඇත්තේ එලෙසය. දැන් ඉතින් Gloogle Play වෙත පිවිස මෙම යෙදවුම

ඔබගේ ඇන්ඞ්රොයිඞ් දුරකතනයට නොමිලේම ඩවුන්ලෝඞ් කරගන්න. දුරකථන මතක ධාරිතාවයෙන් වැයවන්නේ එම්.බී. පහකටත් වඩා අඩු ප‍්‍රමාණයක් නිසා එය ග‍්‍රාහකයාට ලොකුවට දැනෙන්නේත් නැත. ලාංකික ගොවිතැනේ අහුමුලූ සියල්ලේ තොරතුරු ගබඩා කරගත් මහ පුස්තකය දැන් ඔබගේ සාක්කුවේය. වෙනත් ආකාරයකින් කියනවානම් ඔබ කෘෂි තොරතුරු අන්තර්ගත ඩිජිටල් පුස්තකාලයක හිමිකරුවෙකි.

මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේම ශ‍්‍රමය මත වසරක් තිස්සේ කාලය වැය කරමින් කළ නිර්මාණයකි. පිටස්තර සේවා සපයන්නෙකු හරහා කරවා ගත්තානම් රුපියල් මිලියන ගණනක රාජකාරියකි. එහෙත් මේ නිර්මාණය සඳහා අතිරේක ශත පහක්වත් රජය වියදම් කර නැත. ඒ අනුව බලනකල මෙය වනාහී රුපියල් ශත වලින් මිල කෙරෙනා ඩිජිටල් මෙවලම් සහිත ප්ලාස්ටික් අසුරණයක් තුළට රිංගවූ මිලකළ නොහැකි දඹ රත්තරන් මෘදුකාංගයකි.

”යම් කෙනෙක් අන්තර්ජාල පහසුකම් තිබෙන තැනක සිට මේ යෙදවුමේ යම් තොරතුරක් සොයාගොස් එය පරිශීලනය කළා යැයි සිතමු. එවිට එම කොටස් දුරකථනය තුළ සංචිත වෙනවා. පසු අවස්ථාවක අන්තර්ජාලය නැති තැනකදී වුවත් ඔහුට නැවත එය නැරඹිය හැකියි.”

krushi3කාමිස් මහතා එසේ පවසන්නේ offline තත්ත්වය යටතේ වුවද මේ මගින් වැඩ ගැනීමට ඇති හැකියාවයි. නිතර අන්තර්ජාලය භාවිත නොකරන ගොවි ජනතාවට මෙය වඩාත් වැදගත් වේ. පසුගිය ජූලි මාසයේ සිට මෙය පරිහරණය සඳහා විවෘත වූ මොහොතේ පටන් මේ වනවිට 2000 ක් පමණ ග‍්‍රාහක පිරිසක් මෙය ඩවුන්ලෝඞ් කරගෙන ඇති බව ඔහු සඳහන් කරයි. කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයන්හි විද්වතුන් විසින් සිදුකරන පර්යේෂණ හමුවේ අලූතින් යමක් සොයා ගැනෙන්නේ නම්, එය ඇතුළත්වන පරිදි යෙදවුම යාවත්කාලීන කිරීමටද තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය සූදානමින්ය.

කෙටි උදාහරණයක් ඇසුරෙන් මෙම ඇප් එකෙහි ක‍්‍රියාකාරීත්වය ඔබට පෙන්වා දෙන්නට සිතේ. ටික දුරක් යනතෙක් අතින් අල්ලා ගෙන ගොස්, ඩිජිටල් තොරතුරු ගුහාව තුළට ඔබව මුදාහල විට, තමාට අවශ්‍ය ද්වාරයන් තුළින් ඇතුළු වෙමින් ඔබට රිසිසේ ඒ තුළ සැරිසරමින් දැනුවත් වීමට ඇතිතරම් පහසුකම් තිබේ. අන්තර්ජාලය අඛණ්ඩව සැපයෙන්නේ නම් ඔබගේ තෘප්තිමත් භාවය ගැන උපරිම ගැරන්ටියක් ලබාදිය හැකිය. උදාහරණයක් වශයෙන් මුල් පිටුවේ ඇති එළවළු සංකේතය ඔබ ස්පර්ශ කළා යැයි සිතමු. දැන් දිග හැරෙන්නේ මෙරට වගා කෙරෙන එළවළු ලැයිස්තුවකි. ගෝවා, මාළුමිරිස්, ලීක්ස්, කැරට් ආදී එළවළු නාමාවලියක් එහි තිබේවි. ඔබට මාළුමිරිස් වැවීමේ උනන්දුවක් ඇතැයි තවදුරටත් සිතමු. එසේනම් එය ස්පර්ශ කළවිටම තිරය ඇරෙන්නේ මාළුමිරිස් වලට සුදුසු ප‍්‍රදේශ, දේශගුණ අවශ්‍යතා, සුදුසු පස හා ජල වහනය, වගා කළහැකි කාලය වැනි තොරතුරු ඔබට දැන්වීමටයි. එය දුටු පමණින් ඔබගේ වගාබිම පිහිටා ඇති ප‍්‍රදේශය මෙම බෝගයට සුදුසු දැයි තීරණයකට එළැඹීමට ඔබ සමත්වනු ඇත. එම තොරතුරු මත මාළුමිරිස් අතහැර, පළාතට ගැළපෙන වෙනත් බෝගයක් කරා යෑමට වුවද ඇතැම්විට ඔබට සිදුවේවි. පරිසරය ඔබට ගැළපේ නම්, ඊළඟ පියවරට යන්න. ප‍්‍රභේද හා බීජ අවශ්‍යතාවය ද ප‍්‍රභේදයන්හි ලක්ෂණ ද එහි තිබෙන අතර, තවත් ඉදිරියට යනවිට බෝගය ස්ථාපනයට අදාළ මාතෘකා වශයෙන් තවාන් පාලනය, බිම් සකස් කිරීම හා පරතරය වැනි තොරතුරු ද පොහොර නිර්දේශ ද ඔබට දිස්වෙනු ඇත. ඩිජිටල් තොරතුරු ගබඩාව තුළ දැන් ඔබ සෑහෙන දුරක් ගොසිනි. මාළුමිරිස් වගා කර අස්වැන්න නෙළා ගන්නා තෙක් තොරතුරු සොයා යෑම ඔබට අපහසුවක් නොවේ. තවත් විශේෂ උපකාරයක් කිරීමට ඇප් නිර්මාණ කණ්ඩායම සූදානම්ය. යම් අපහැදිලිතාවයක් කොතැනක හෝ ඇත්නම්, මේ මොහොතේ එය, කරුණු දන්නා කෙනකුගෙන් අසා දැනගත යුතුයැයි ඔබ සිතනවාද? ඔබ මේ තොරතුරු ගවේෂණය කරමින් සිටින්නේ, ලිපියේ වෙනත් තැනක සඳහන් කර ඇති 1920 ගොවි සරණ සේවය සක‍්‍රියව පවතින වෙලාවකද? එසේනම් ඔබගේ දුරකථන තිරයේ ඉහළින්ම කෘෂි ඇඞ්වයිසර් වශයෙන් ඉංග‍්‍රීසියෙන් සඳහන්ව ඇති නාම පුවරුවට වම් පසින් දිස්වෙන කවුළුවට ඇඟිල්ල තබන්න. 1920 හා සම්බන්ධ විය හැකි දොරටු කීපයක් මොහොතකින් විවෘත වෙනු ඇත. සාමාන්‍ය ඇමතුමක්, වට්ස්ඇප්, වයිබර්, ස්කයිප්, විද්‍යුත් තැපෑල ආදී නවීන සන්නිවේදන ක‍්‍රමවේදයන් අතරින් කැමැති එක තෝරාගෙන ඔවුන් සමග කතාකර කරුණු තහවුරු කරගන්න. තවත් නම් ගැටලූවක් ඉතිරි වන්නේ නැත.

කෘෂිකර්මය ගැන උනන්දුවෙන, දේශීයව නිපදවන, පරිභෝජනයට ආරක්ෂිත ආහාර බෝගයක් ගැන සිහින දකින සමස්ත මහජනතාවටත් ඩිජිටල් මෙහෙයුම් නඩය හා එක්වී කළහැකි තවත් යමක් ඉතිරිව තිබෙනා බව කාමිස් මහතා සමග කළ සාකච්ඡුාවේදී මා හට පැහැදිලි වුණි. එය ඔහුගේ ඉල්ලීමක් බවට හරවා ඔබ හමුවේ තබන්නේ නම් තවත් ඇඟට දැනේවි.

”අපි මේ යෙදවුම හරහා කතා කරන්නේ දැනට සුලභව පවතින බෝග වර්ග, කෘෂි විද්වතුන් විසින් කළ පර්යේෂණ මගින් තහවුරු වී ඇති තාක්ෂණික කරුණු ආදිය පමණයි. ඒත් අපි අමතක කළයුතු නෑ මේ රට තුළ තව කොතෙකුත් බෝග මාදිලි සැඟවිලා ඇති. ගොවීන් සතුව විවිධ පාරම්පරිකව පැවැත එන තාක්ෂණික තොරතුරු ඇති. ඒවා අපිට ඉදිරිපත් කරනවානම් පර්යේෂණ අංශයන් වෙත යොමුකරලා උපයෝගීතාවය ගැන තක්සේරුවක් ලබාගන්න පුළුවන්. හොඳ දෙයක් තිබෙනවානම් සමස්ත ගොවි ජනතාවගේම දැනගැනීම සඳහා අපට එය ඇප් එකට ඇතුළු කරන්න පුළුවන්. එවැනි යාවත්කාලීන කිරීමකට අපි නිතරම සූදානමිනුයි ඉන්නේ”

ආරාධනය පැහැදිලිය. ඔබ කළ යුත්තේ සරලව එම තොරතුරු 1920 වෙතම යොමු කිරීමයි. ඔවුන් එය ස්තුති පූර්වකව භාර ගන්නවා ඇත. කෘෂිකර්මයවත් තාක්ෂණයවත් හරියාකාරව නොදැන, ? නින්දෙන් දුටු සිහිනවලට හා කාන්සිය මකන්නට පහළවෙන සිතුවිලිවලට අනුගතව බිහිවෙන කෘෂිකර්ම තොරතුරු නිසා මෙරට ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයාද නොමඟ යන තරමේ සීමාවක් නැත. බීජයක් පසට යටකළ මොහොතේ පටන්, ඇනූ බත්කටක් මුවෙහි ලා ගන්නාතෙක් එය තුළට වසවිස එකතුවන්නේද මේ බහුබූත නිසාවෙනි. කෘෂි ඇඞ්වයිසර්ටවත් මේ උවදුරෙන් ජනතාව බේරා ගැනීමට හැකිවුවහොත්, එයනම් වචනයේ පරිසමාප්තියෙන්ම කෘෂිකර්මයේ ඩිජිටල් විප්ලවයකි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles