Divaina - මතින් දැය මුදාගැනීමේ කන්දකාඩුවේ හමුදා මෙහෙයුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


camp

* තවත් එක් පුනරුත්ථාපන කඳවුරක් නොවන ක‍්‍රියාන්විතයක්...

* මේ වනතෙක් පුහුණුව ලැබූ පිරිස පන්දහසකට අධිකයි

* මැහුම්හල්, කරණවෑමි අංශ, බේකරි, සංගීත අංශ, භාවනා මධ්‍යස්ථාන, ශාරීරික සුවතා මධ්‍යස්ථාන සියල්ලෙන් සපිරි තැනක්


සමන්තී වීරසේකර


සෝමාවතිය පුදබිම සිරිලක් වැසියන්ට නුහුරු නුපුරුදු තැනක් නොවේ. නමුත් මෑත අතීතයේ සහශ‍්‍රයේ ආරම්භයේදී සෝමාවතිය, සුංගාවිල, කන්දකාඩුව, සේනපුර, වැලිකන්ද ආදී වූ පොළොන්නරුව නගරයෙන් වයඹ සහ බටහිර දෙසට වන්නට පිහිටි ප‍්‍රදේශවලට පය තබන්නට තබා එහි යෑමක් ගැන හිතන්නට වත් නොහැකි කාලයක් වීය. එල්ටීටීඊ ග‍්‍රහණයට නතුව තිබූ මේ බිම මුදාගනු ලැබූයේ දෙදහස් හය වසරේදීය.

දැන් අපි බියකින් සැකයකින් තොරව එහි යන්නෙමු. මේ යන්නට සැරසෙන්නේ කන්දකාඩුව සහ වැලිකන්ද සේනපුර වෙතටය. රටපුරා සෑම ප‍්‍රදේශයකම පාහේ කුඩු ගංජා කොකේන් අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, සමාජ විරෝධීන් ලෙස පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ නියෝග මත පුනරුත්ථාපනයට යොදවා සිටින පිරිස් බලන්නටය. දහස් ගණනක් කන්දකාඩුවටත් සේනපුරටත් යවා යහපත් මිනිසුන් ලෙස යළි සමාජයට මුදාහරින වික‍්‍රමය බලන්නටය.

පොළොන්නරුව රෝහල හන්දියෙන් මා කැටුව යන්නට එහි පැමිණ සිටියේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි (මාධ්‍ය) මේජර් මොහාන් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමය. ඡුායාරූප ශිල්පි ෂෙල්ටන් පෝල්, කැමරා ශිල්පි ප‍්‍රියංග කරුණාතිලක, චතුරංගි සහ මල්ෂි යන අය එම කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

පොළොන්නරුවේ සිට කන්දකාඩුව වෙත ඇත්තේ කිලෝමීටර හතළිස් දෙකක දුරකි. සෝමාවතිය සේරුවාවිල මග ඔස්සේ මහවැලි ගඟ අයිනෙන් කන්දකාඩුවට පැමිණීම පහසුය. කැලෑබද පෙදෙසක් වුවද අවට පරිසරයේ සුන්දරත්වය උදේ දිවා රැයේ වෙන් වෙන් ලෙසින් අමුතුම සිරියක් ගෙන ආවේය. ඌරන් සර්පයන් ගහන වන ලැහැබක අයිතිකරුවන් ලෙස සිටියේ අලි ඇතුන්ය. අපි යා යුතුව තිබුයේ අලි ඇතුනට රිසිපරිදි කීවාට වරදක් නැත. අලි පාරට පැමිණ සිටිය හොත් උන්ට රිසිපරිදි ඉන්නට ඉඩදී උන් ගිය විට අප යා යුතුව තිබිණි.

”කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය” ලෙස නම් කර තිබූ බිමකට අපි පිවිසුනෙමු. එහිදී අපව පිළිගනු ලැබූයේ, එහි අධ්‍යක්ෂ කර්නල් චමින්ද පැස්කුවෙල් මහතාය. ඔහු සමග තවත් හමුදා නිලධාරීන් රැසක්ද උපදේශන නිලධාරීන් රැසක්ද වීය.

කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් බවට පත්වූයේ වසර දෙදහස් අටේදීය. අතහැර දමා තිබූ ගොවිපළක් සකසා එල්ටීටීඊ සොල්දාදුවන් වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරක් ඉදිවුණි. පුනරුත්ථාපනය ලැබූ ඔවුහු ඒ ආසන්නයේ වන ගොවිපොළක් වෙත යොමුකරනු ලැබූයේ වගා කටයුතු සඳහාය. වසර දෙදහස් දහ තුනේ අගෝස්තු මස විසිවැනි දින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය මගින් කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇත.

ආධුනිකයන් රැලි තහඩුවට

camp2ඉතා නිහඬ නිසංසල පරිසරයක පිහිටි මේ බිමෙහි පැහැදිලි ලෙස ගොඩනැගිලි කොටස් තුනකට වෙන්කොට තිබිණි. රැලි තහඩු කොටස පළමුවැන්නය. පුනරුත්ථාපන කඳවුරේ මුල සිටම පැවැති මේ ගොඩනැගිලි රැලි ගැන්වුණු තහඩු යොදා ආවරණය කර ඉදිකොට තිබූ නිසා ඒ බිම රැලි තහඩු කොටස ලෙස නම්කොට තිබිණි. මෙම කොටසේ සිටින්නේ මෙම කඳවුරට පැමිණෙන ආධුනික පිරිසය. එනම් ලංකාවේ කොහේ හෝ උසාවි නියෝගයකින් ලංකාවේ කොහේ හෝ බන්ධනාගාරයකින් නිරෝගි බවට සනාථ කරන ලද වෛද්‍ය වාර්තාවද අතැතිව බන්ධනාගාර නිල රථයකින් කැටුව එන ආධුනිකයන්ය. මෙම පිරිස රටේ පළාත් නවයම ආවරණය කරමින් මෙහි එති. වැඩිම පිරිසක් හෙවත් මෙතෙක් දෙදහස් තුන්සිය හැට දෙනකු පැමිණ ඇත්තේ බස්නාහිර පළාතෙනි. දෙවැනි වැඩිම පිරිස දකුණු පළාතෙනි. එය ගණනින් පන්සිය අසූ හතකි. තුන්වැනි වැඩිම පිරිස තුන්සිය හැත්තෑ හතක් ලෙස වයඹ පළාතෙනි. සෙසු සියලූ පළාත් වලින් සියය ඉක්මවූ සහ සියයට ආසන්න පිරිසක් පැමිණ ඇත.

දෙවැනි කොටස නව ගොඩනැගිලි පියසය. එහි නව පන්ති කාමර ඇත. රෝහල් පරිශ‍්‍රයක් ඉදිවෙමින් පවතී. නව ගොඩනැගිලි
පියස වෙත යා හැකි වන්නේ මාස තුනක් ගෙවුණු පසුවය. උපදේශන සහ සෙසු පන්ති පැවැත්වෙන්නේ එහිදීය.

තෙවැනි කොටස පාරෙන් එපිට ඇති නව ගොඩනැගිලිය. කාර්යය මණ්ඩල නේවාසිකාගාර ඇත්තේ එතැනය.

මෙබිමට පාතබන මේ ආධුනිකයා පිළිගැනීමේ නිලධාරියා විසින් පළමුව පිළිගෙන ලියාපදංචි කරයි. එම අවස්ථාවේ ඔහු තම න්ගේ සෑම විස්තරයක්ම අදාළ නිලධාරියා වෙත ප‍්‍රකාශ කරයි. අනතුරුව ඔහු සතුව ඒ මොහොතේ ඇති යට ඇඳුමේ පටන් සියල්ල ඉවතලා විනාශ කර දමයි. පුද්ගලයකුට මාසිකව අත්‍යාවශ්‍ය වන දත්බුරුසුවේ, රැවුල බාන තලයේ සිට භාණ්ඩ කට්ටලයක් අලූතින් ලබා දෙයි. තුවායක් සරමක් කොටකලිසම් දෙකක් දිග කලිසමක් ටීෂර්ට් දෙකක් ෂීට් දෙකක් කොට්ට උර දෙකක් සෙරෙප්පු කුට්ටමක් සපත්තු කුට්ටමක් සබන් දත්බෙහෙත් එම භාණ්ඩ කට්ටලයට අයත්ය. කොණ්ඩය කොටට කපා නා පිරිසිදු වී අලූත් ඇඳුම් ඇඳගන්නා ආධුනිකයා මුලින්ම යොමුකරන්නේ, කෘෂි චිකිත්සාව සඳහාය.

කෘෂි චිකිත්සාව හා ජල චිකිත්සාව

මිනිසා සොබාදහමට අයත් සත්වයෙකි. ඔහුට හෝ ඇයට මානසික සුවය නිරන්තරයෙන්ම ලැබෙන්නේ සොබාදහම සමග සමීප සබඳතාවක් පවත්වා ගැනීමෙන්මය. එය පාඩමක් කරගත් කන්දකාඩු නිලධාරීන් පුනරුත්ථාපන ක‍්‍රියාවලිය ආරම්භ කරන්නේ වගාවට මනසත් සිරුරත් යොදවමිනි. ජලය මිනිසාට ජීවය ලබා දෙන ප‍්‍රබල සාධකයක් නිසාම ජලයද චිකිත්සාවක් ලෙස යොදා ගනී.

කන්දකාඩුව කඳවුරේ භූමියෙන් වැඩි කොටසක් වගා කටයුතු සඳහා වෙන්කර ඇති අතර, ඊට පා තබන ආධුනික අභ්‍යාසලාභියා වගාවට සාත්තු කළ යුතුය. අනතුරුව පාත්ති සකසා වගා කළ යුතුය. මේ සඳහා ඉතා හොඳ මග පෙන්වීමක් සිදු කරන්නේ පුහුණුවලත් නිලධාරීන් පිරිසක් විසිනි. පස සකසා බීජ යටකර පැළ ආ විට ඒවාට සාත්තු කරමින් ඵලයක් පැමිණෙන තුරු රැක බලා ගැනීම දක්වා වන කාර්යයභාරය චිකිත්සාවක් ලෙසින් ලබා දෙන්නේ කඳවුරට පැමිණෙන පිරිස් හි සිත තුළ පවතින ආතතිය පහ කර හැරීම පිණිසය.

අන්තරායකර ඖෂධයක් ශරීර ගත කර ඉන් සිරුරට ලැබුණු අහිතකර තත්ත්වයන් මගහරවා ගැනීම පිණිස, දවසකට තුන් හතර වතාවක් ස්නානය කළ යුතුය. එය ජල චිකිත්සාව ය.

ඉන්ද්‍රියන් විනාශ වී ඇත්ද?

පළමු මාසය එසේ ගෙවීයද්දී දෙවන මාසය වෙන් කර ඇත්තේ, අන්තරායකර ඖෂධ යනු කුමක්ද? ඊට නතු වූ විට සිදුවන මානසික සහ ශාරීරික විපර්යාසයන් මොනවාද? ඉන් සිරුරට ලැබෙන අහිතකර තත්ත්වයන් මොනවාද? පාවිච්චි කරන ලද ප‍්‍රමාණයන් අනුව දැන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක‍්‍රියාවලියට සිදුව ඇති බාධා මොනවාද? ආදිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීමටය. මෙය අභ්‍යාසලාභීන්ගේ හැරවුම් ලක්ෂ්‍යයය. මටත් මේ කුමන හෝ අහිතකාරී තත්ත්වයක් ඇතිව ඇත යන අවබෝධය ලබා ගැනීම පිණිස මෙම දැනුම බෙහෙවින් උපකාරි වෙයි.

තුන්වැනි මාසයේදි ප‍්‍රතිකාර සහ උපදේශනය ලබා දීම ආරම්භ කරන්නේ මේ මිනිසුන් සමාජයට වටිනා කියන මිනිසුන් නිසාය. ජීවිතයක් කායිකව මානසිකව විනාශව යෑම යනු දරුණු සමාජ ව්‍යසනයක ඇරඹුමක් බැවින්ම යළි මනා සිහියෙන් යුතු ජීවිතයක් ලබා දීමට පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය දරන උත්සාහය අප අගය කළ යුතුය. සිව්වන මාසයේ සිදුවන්නේ අභ්‍යාසලාභියාට තමන්ගේ ජීවිතයේ වටිනාකම අවබෝධ කර දීමය. තමන් මත යැපෙන, තමන් මත සැනසෙන තම සමීපතමයන් තමන්ගේ වෙන්වීමෙන් විඳින වියෝව වේදනාව කනස්සල්ල සේම පවුලේ ආර්ථිකයේ බිඳ වැටීම මෙහිදී හොඳ හැටි අවබෝධ කර දෙයි.

තමන්ගේ වටිනාකම පවුලට

camp3සමාජ උපදේශනය ඔස්සේ ලබා දෙන මානසික සහනය හරහා බොහෝ අභ්‍යාසලාභීන් ඒ මොහොතේම තමන්ගේ
පවුලේ ඥාතීන්ට කතාකරන්නට ඇත්නම් යන වෙනස වෙතට ඇදීයයි. මව පියා බිරිඳ දරුවන් සිහිකරන ඔවුහු තමන්ගේ සිදුව ඇති වරද පිළිබඳව පශ්චත්තාප වෙයි. ඒ වග හොඳින් අවබෝධ කරගත හැකිවූයේ ඔවුන් හා කතා කළ විටය. මේ ඔවුන්ගේ වචනය.

”අපි ජීවිතේ පාර වරද්ද ගත්තු අය තමයි. ඒත් දැන් හිතෙනවා අඬලා අඬලා සමාව ගන්න.... මේ තරම් වැරැද්දක් අපේ අතින් ගෙදරට වෙලාද කියලා දැන් හිතෙනවා. අද මං නැතුව ගෙදර ආර්ථිකයක් නැති තැනට ඇදගෙන වැටිලා. ආයේ කවද්ද මම ඒ අයට සැපවත් ජීවිතයක් දෙන්නේ කියලා මම දැන් පසුතැවෙනවා.... මං ගැන ඒ අය කොයිතරම් දුක් වෙනවා ඇත්ද..”

නායකත්වය සහ පෞරුෂය

පස්වැනි සහ හය වැනි මාස වලදී ලබා දෙන්නේ ද නායකත්වය සහ පෞරුෂ වර්ධනය සඳහා අවශ්‍ය උපදේශනය සහ මගපෙන්වීමය. තමන් තුළ සැඟව ඇති නායකත්ව ලක්ෂණ ඔපමට්ටම් කොට ඉදිරියට ගැනීමට නායකත්ව පුහුණු වැඩමුළු රැසක් පැවැත්වෙයි. සැඟව ඇති කුසලතා සියල්ල එළියට එන ප‍්‍රබලතම අවස්ථාව වන මෙහිදී කිසියම් හෝ හැකියාවක් ඇති පිරිස් ඉන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගැනීමට මෙහි නිලධාරීන් සූක්ෂමව අවධානයෙන් කටයුතු කරයි. ඒ අනුව මේ වන විට ක‍්‍රීඩා කුසලතා, සංගීත කුසලතා ඇති උදවිය සඳහා විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත. සංගීත භාණ්ඩ වාදනය සහ සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යෑම පාපන්දු අත්පන්දු ක‍්‍රිකට් කණ්ඩායම් ඇති කරමින් ජය පරාජය නායකත්වය කණ්ඩායම් බැඳීම සහයෝගය බෙදා ගැනීම ආදි සියල්ල සඳහා යොමු කිරීම හි සාර්ථකත්වය නිති දක්නා ලැබුනේ ඔවුහු කන්දකාඩුව කඳවුර තමන්ගේම කොට ගෙන සිටි අයුරු දැකීමෙනි.

අද වන විට කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරෙන් පුහුණුව ලැබූ පිරිස පන්දහස් තුන්සිය හතළිහකි. හයසිය හතර දෙනකු මුදාහැරීමට සිදුව තිබුණු අතර අදවන විට සේනපුර කඳවුරට යොමුකළ පිරිස තුන්දහස් අටසිය විසි තුනකි. අටසිය හැට දෙදෙනකු අදටත් කන්දකාඩුවේ පුහුණුව ලබමින් සිටිති.

කන්දකාඩුවට පැමිණෙන මේ උදවිය විවිධ ජාතීන්ය. අදවන විට සිටින පිරිසෙන් හත්සිය අනූ එක් දෙනකු සිංහලය. මුස්ලිම් පනස් තුන් දෙනකු සහ දමිළ දහඅට දෙනකු වෙති. ඔවුහු විවිධ ආගම් අදහන්නවුන්ය. බෞද්ධයන් හයසිය හැත්තෑ නව දෙනකුද ක‍්‍රිස්තියානි ද හැත්තෑ හය දෙනකු රෝමානු කතෝලික ද පනස් තුන් දෙනකු ඉස්ලාම් ද දහඅටදෙනකු හින්දුද වශයෙන් සිටිති. ඔවුනොවුන්ගේ ආගම් ඇදහීම සඳහා කඳවුර තුළ වෙන් වෙන් ලෙස ආගමික ස්ථාන ස්ථාපිත කොට තිබේ. ඒ ඒ ආගම්වල විශේෂ දින වල ඔවුහු ඊට අදාළ උත්සව පවත්වන්නේ සෙසු ආගමිකයන්ද එක්කාසු කොට ගෙනය. එහෙයින්ම සෙසු ආගම් කෙරෙහි ඉතා ඉවසිලිවන්තව සහ අවබෝධයෙන් බැලීමට ඔවුහු හුරුවී සිටියි.

වයස විස්ස තිහ අතර වැඩි නැඹුරුවක්

විවාහක තුන්සිය හතළිස් අටදෙනකු සිටින මේ බිමෙහි අවිවාහක පන්සිය දහහතර දෙනකු සිටියි. මේ පිරිස වයස් මට්ටම් අනුව ද වෙනස්ය. වයස අවුරුදු 18 -20 අතර හැට හතර දෙනකු ද 20 - 35 අතර දෙසිය හාරසිය හැත්තෑ හතර දෙනකු ද වයස අවුරුදු

31- 35 අතර එකසිය හතළිස් දෙනකුත්, වයස අවුරුදු 36 - 40 දක්වා අසූපස් දෙනකුත් සිටිති. ඒ ඒ වයස් ඛාණ්ඩවලදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම් පිළිබඳව සමීක්ෂණයන් සිදුකරන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වෙත වාර්තා ඉදිරිපත් කරන්නේ සමාජයේ මෙම තත්ත්වයන් ඇතිවීමට පෙර නැති කර ගතයුතු තත්ත්වයක් ඇති නිසාය. පාසල් ගිය සහ පාසල් නොගිය පිරිස්ද සංඛ්‍යාත්මකව ගත් කල පාසල් නොගිය පිරිස ඇත්තේ දහතුන්දෙනකු පමණකි. 1වසර -5 වසර දක්වා පමණක් ගිය 138 දෙනකු ද 10 වසර දක්වා ගිය 234 දෙනකු ද 11වසර දක්වා ගිය 437 දෙනකුද සිටියහ. අපොස සාමාන්‍ය පෙළ සමත් , 29 ක් හා උසස්පෙළ සමත් 46 දෙනකු ඇති අතරම උසස්පෙළ විභාගයට ඉදිරිපත් නොවූ 64 දෙනකුද පුනරුත්ථාපනය ලබති. කන්දකාඩුවේ පුනරුත්ථාපනය ලබන උපාධිධාරි සිසුවා අද වන විට සිය අතපසුවීම යෙහෙන් අවබෝධ කොට ගෙන සිටින්නේ සෙසු උදවියගේ අත්දැකීම්ද විඳිමිනි. දකිමිනි.

වෛද්‍ය වාර්තා ඇතත් රෝගීන් බහුලයි

කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පැමිණෙන මෙම පිරිස් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට වෛද්‍ය වාර්තාවක් එවා තිබුණද, ඉකුත් අගෝස්තු මාසයේ පමණක් දෙසිය විසිහත් දෙනකු නිත්‍ය ප‍්‍රතිකාර සඳහා පොළොන්නරු රෝහලහි සායන වෙත කැටුව යෑමට කඳවුරේ නිලධාරීන්ට සිදුව තිබිණි.

ලබන සතියට


ඡුායාරූප - ෂෙල්ටන් පෝල්
විශේෂ ස්තූතිය - මේජර්
මොහාන් ගුණතිලක මහතාට


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles