Divaina - දරුවන් දහම් පාසල් යැවිය යුත්තේ ඇයි?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 daruwan


 පී. එච්. නිරෝෂා ක‍්‍රිෂාන්තනී අධිකාරිනායක
 මාතලේ දිස්ත‍්‍රික් බෞද්ධ කටයුතු නිලධාරී
 
 
විද්‍යාත්මක ඥානය හා විද්‍යාත්මක ගවේෂණයන් මගින් මිනිසා පෙර නොවූ විරූ සුවිශේෂ දියුණුවක් අත්පත් කරගෙන ඇත. පෘථිවිය තරණය කරමින් සඳ මත පා තැබූ ඔහු අනෙකුත් ග‍්‍රහලෝකයන්ද ජය ගැනීමට වෙර දරමින් සිටියි. මෙසේ සිය අභිලාශයන් මෙන්ම සියලූ මිනිස් අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා ඔහු ලද විද්‍යා හා තාක්ෂණික දැනුම මනා සේ උපයෝගී කොට ගෙන ඇත. එක් තැනක සිදුවූ යමක් එසැණින් දැනගැනීමට හා ඇසීමට හැකියාව ඇති කරමින් මිනිස් මනසින් නිර්මාණය කළ රුපවාහිනිය, ගුවන්විදුලිය, කෘතිම චන්ද්‍රිකාව ලෝකය විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය කර ඇත. සැතපුම් දහස් ගණන් පා ගමනින් ඇවිදගෙන ගිය මිනිසා නූතනයේ සිය ගමනාන්තය ඉතා පහසුවෙන් හා ඉක්මනින් ළඟාවීමට හැකිවන සේ ප‍්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කර ඇත. නිවසේදි, කාර්යාලයේදී, වැඩබිමේදී සිදුකරන කටයුතු වඩාත් පහසු කර ගැනීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ සකස් කර ඇත. රෙදි සෝදා වියළා ගැනීම, ආහාර පිළියෙල කර ගැනීම, නිවස පිරිසිදු කර ගැනීම, ගණන් සැදීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් කාලය වැය කරමින් ශ‍්‍රමය අපතේ යැවීමට අවශ්‍ය නොවේ. මරාන්තික ලෙඩ රෝග පවා සුව කිරීමට හැකි වන සේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වැඩි දියුණු වී ඇති අතර ඒ තුළින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙන්ම මිනිසාගේ ජීවිතාපේක්ෂාව වැඩි කිරීමට හැකියාව ලැබි ඇත. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේදීද බෝග වගාවන්ගෙන් ලැබෙන අස්වැන්න වැඩිකරගැනීම සඳහා විවිධ උපාය මාර්ගයන් යොදා ගෙන ඇත. කෘතිම වර්ෂාව ඇති කොට ජලය ලබා ගැනීම, පොහොර, කෘමි නාශක ආදිය මගින් කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ඇත. කෙටියෙන් කිව හොත් මිනිසා ලද විද්‍යා හා තාක්ෂණික දැනුම තුළින් මිනිස් කාර්යයන් වඩාත් පහසු කර ගෙන ඇත.
 
 මේ ආකාර භෞතික දියුණුවක් අත්පත් කරගත් මිනිසා වර්තමානයේ දැඩි අසහනකාරිත්වයකින් හා අතෘප්තියකින් දිවිගෙවනු දැකිය හැකි වෙයි. මන්ද යත් මිනිසා සිය අවශ්‍යතාවන් සඳහා කොතෙකුත් මිල මුදල් උපයා තිබුණද ඒ හරහා තම අවශ්‍යතාවන් සපුරා ගනිමින් සුඛෝපබෝගී ජීවිතයක් ගත කළද සමස්තයක් වශයෙන් ගෙන බලන විට පෙනී යන්නේ එම සුන්දර අපේක්ෂාවන් ඉටුවනු වෙනුවට නව විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමග මිනිස් ජීවිතය හා තදාසන්ත ප‍්‍රශ්න සංකීර්ණ භාවයට පත් කරමින් මිනිසා අතෘප්තියෙන් කල් ගත කරන බවයි. හුදෙක් පරිගණකයට හා රෝබෝවරුනට වැඩ කොටස් පවරා නිදහස හා විවේකය අත්පත් කර ගත් මිනිසා නින්ද ළඟා කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. සිය දවස පුරා තියුණු තරගයක යෙදී සිට ජයග‍්‍රහණය නොලබා අසහනයෙන් පීඩා විඳියි. වෙළෙඳපොළ තරගය නිසා ඇති වන ඉච්ජාභංගය මිනිස් හැසිරීම් කෙරේ අහිතකර ලෙස බලපා ඇත. ඌණ සංවර්ධිත රටවල සිය දහස් ගණන් මිනිස්සු මන්දපෝෂණයෙන් මෙන්ම සාගින්නේන් මිය යති. මහ මන්දිර වලින් සැදුම්ලත් ලෝකයේම තවකෙකු හිසට සෙවනක් නොමැතිව, කුසට අහරක් නොමැතිව මහ මග අසරණව, දුක්ඛිතව කල්ගෙවති. පුපුරා යන බෝම්බය මගින් ජන ජීවිත අඩාල වී ඇති අතර ජන සමාජය තුළ භීතිය හා තැතිගැනීම පැතිරී ඇත. එසේම පවුල තුළ අඹුසැමි ආදර සබඳතා මෙන්ම මා පිය දු දරු සෙනෙහෙබර සබඳතා බිඳ වැටී ඇත. ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි පැවතිය යුතු මිතුරු බව වෙනුවට තරහව, වෛරය, අමනාපකම් බහුල වී ඇත. මවකගේ
 පූජනීයත්වය, කාන්තාවකගේ ගෞරවනීයත්වය වැනි සමාජ සම්මත වටිනාකම් විනාශ වී ඇති අතර මිනිසාගේ සෞඛ්‍ය පිරිහීම, දරුවන්ගේ සුජාතකත්වය පිළිබඳ ගැටලූ, අවජාතක දරුවන් බිහිවීම, කිරි දරුවන් විකිණිම, වීදි දරුවන්ගේ වර්ධනය සමාජයේ යහපැවැත්ම බිඳදමයි. මත් කුඩු වලට ඇබ්බැහිවීම, ස්ත‍්‍රී දූෂණ, අනාචාර, ගර්භනාශනය, දික්කසාද, ඝාතන, මංකොල්ලකෑම් සමස්ත සමාජයටම අහිතකර ලෙස බලපා ඇත. අනෙක් අතට ජාතිවාදී හැඟීම්, භාෂණයන් හා ක‍්‍රියාදාමයන් තුළින් හට ගන්නා අමිහිරි සිදුවීම් වල අඩුවක් නොපෙනේ. ආගම, ජාතිය වැනි දේ පිළිබඳ පටු හේදකාරී මතවාදයන් ඉතා විශාල ලෙසත්, සංවිධානාත්මක ලෙසත් ව්‍යාප්ත වී ඇති අතර ඒ හරහා මිනිසා විසින් සූක්ෂම හා බුද්ධිමත් ක‍්‍රම උපයෝගි කර ගනිමින් ජන සමාජයට කරන බලපෑම ඛේදජනකය. අද පවත්නා ගැටලූව වන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් සමාජය දූෂණය වී ආකූල ව්‍යාකූලත්වයෙන් බිඳ වැටුණු සමාජයක් නිර්මාණය වීමයි. හුදෙක් එය මිනිස් වර්ගයා සහමුලින්ම තිරිසන් හැසිරීමකට පත් කෙරෙන අතිශය විනාශකාරී ඛේදවාචයකින් කෙළවර වේ.
 
 වර්තමානයේ මිනිසා ඉදිරියේ ඇති මෙම ගැටලූව සඳහා බලපා ඇති ප‍්‍රධාන සාධකය වී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ විද්‍යාව හා තාක්ෂණය සමග බැඳුණු ඒක පාක්ෂික අධ්‍යාපන ක‍්‍රමයක් වෙත පමණක් මිනිසා යොමු වීමයි. ඒ තුළින් සදාචාරාත්මක අධ්‍යාපනයක් කෙරේ දක්වන උනන්දුව මිනිසා කෙරෙන් බැහැර වී ඇත. මෙම තත්ත්වය නිසා මිනිසා දැනුමෙන් පෝෂණය වුවද විනය සහ ඉන්ද්‍රිය සංවරයෙන්, මෙන්ම යහපැවැත්මෙන් හීන වී ඇත. මිනිසා ඉදිරියේ ඇති මෙම අසාර්ථකත්වය පිටු දැකිය හැක්කේ මිනිසා ලබන දැනුම් සම්භාරය සමග සදාචාරාත්මක ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීමෙන් බව බෞද්ධ පිළිගැනීමයි. එබැවින් මිනිසා ලබන විද්‍යා හා තාක්ෂණික දැනුමට අමතරව සදාචාරාත්මක අධ්‍යාපනයක් වෙත ප‍්‍රවේශ වීම හදිසි අවශ්‍යතාවක් වේ. එකී සදාචාරාත්මක අධ්‍යාපන ක‍්‍රියාවලිය දහම් පාසල් අධ්‍යාපනය තුළින් සාක්ෂාත් කළ හැකි වේ.
 
 දහම් පාසල් එන දරුවා විහාරස්ථානය වෙත සතියකට වරක් පැමිණෙයි. උදේම මල් සුවඳදුම්, පහන්තිර රැගෙන ළමා සාරිය හෝ ජාතික ඇඳුමින් සැරසී පන්සල වෙත පිය මනින දරුවා තුළ ඇත්තේ දඟකාර පෙනුම වෙනුවට ශාන්ත බවකි. බෝධීන් වහන්සේ, වෙහෙර වහන්සේ, බුදුපිළිම වහන්සේ, සුවඳවත් මලින් පිරුණු මල් ආසන ගෞරවනීය සංඝරත්නය දකින දරුවා තුළ සිත් පහන් වන්නේ නිරායාසයෙනි. හුදෙක් එම දසුන් පුද්ගල මනස සුමගට යොමු කරයි. සෑම සතියකටම එක් දිනයක් මෙසේ ආගමික පරිසරයක් තුළ රැඳී සිටීම මත දරුවා තුළ ඔහුත් නොදැනුවත්වම වාගේ මානසික හා චර්යාත්මක වෙනසක් සිදුවනු ඇත. උදේ වරුවේ සිදුකරනු ලබන ආගමික වාතාවත්, භාවනා කිරීම් ආදිය මගින් සිය චර්යාව ආගමික ජීවන චර්යාවක් බවට පත්වන්නේද ඔහුට නොදැනුවත්වමය. කළ යුතුදේ නොකළ යුතුදේ, හොඳ හා නරක ආදි කොට ඇති මිනිසා විසින් ගොඩනගා ගත යුතු උසස් චරණයන් දහම් පාසල මගින් අවධිමත්ව දරුවන්ගේ මනසට ක‍්‍රමයෙන් කාන්දු වෙයි. යම් සේ කරත්තයක පැවැත්ම තහවුරු කරන්නේ කඩ ඇණය ද එසේම මිනිස් සමාජයේ පැවැත්ම ස්ථාපිත කරන්නේ යහපත් චරණය බව බුදු දහමින් ස්ථුට කරයි. මෙසේ යහපත් පැවැත්ම හා යහපත් හැසිරීම ප‍්‍රවර්ධනය මගින් යහපත් සමාජයක් ජනිත වනු ඇත.
 
 දහම් පාසල වූ කලි පුද්ගලයා සුමගට යොමු කරන එකම බලවේගයයි. ජාතක කථා බුද්ධ චරිතය, බෞද්ධ සිරිත් විරිත්, සම්ප‍්‍රදායන්, ජාතික උරුමය, ජාතියේ අනන්‍යතාව, මව් භාෂාවේ වටිනාකම හා එහි අගය, ජාතිය හා ආගම පුබුදු කළ හෙළ විරුවන් සම්බන්ධ කථා ඇසීම තුළින් දරුවා තුළ ජාතික අනන්‍යතාවක්, ආගමික නැඹුරුවක් ජනිත වෙයි. බෝ සෙවනේ, සෑමළුවේ සිට ගායනා කරන කවි සහ සජ්ජායනය කරන ගාථා දරුවෝ ක‍්‍රමයෙන් සංවර කරති. පෙරහැර සූදානම් කිරීම, වෙසක්, පොසොන් උත්සව සඳහා විහාරස්ථානය සැරසීම, දන්සල් පැවැත්වීම, ශ‍්‍රමදාන සඳහා සහභාගීවීම, සාංඝික දාන හා පිරිත් පිංකම් සඳහා සම්බන්ධ වීම මගින් දරුවා නොදැනුවත්වම සද්චාරිත‍්‍ර රකින ශ‍්‍රද්ධා සම්පන්න බෞද්ධයකු බවට පත්වේ. සංඝ රත්නයට ගරු කරන, විහාරස්ථානය වැඩි දියුණු කිරීමට කැපවෙන, දෙමාපිය, වැඩිහිටි හා ගුරුවරුනට ගරු කරන, ලද දෙයින් සතුටු වන, ගහ කොළවලට මෙන්ම සතා සිව්පාවට පවා ආදරය කරන, මිත‍්‍රත්වය හා කාරුණිකබව පතුරුවන, දැහැමි සිතිවිලි වලින් යුක්ත වූ පුද්ගලයන් බවට පත්වේ. ඇරත් ධර්මය ඇසුරු කරමින්, එය අවබෝධ කරගනිමින් එය භාවිත කරමින් වැඩෙන දරුවා සාමකාමි, ආගමික දිවිපැවැත්මක් ඇති රටට, ජාතියට, ආගමට ආදරය කරන උදාර පුරුෂයෙක් බවට පත්වෙයි.
 
 මේ අන්දමට දහම් පාසල මගින් උසස් පෞරුෂයක් හා උසස් හැසිරීමක් සහිතව සමාජයට ප‍්‍රවේශ වන පුද්ගලයා මුළු මහත් සමාජයටම හිතකරය. ඔහු අතින් සමාජයට විනාශකාරී කිසිවක් සිදු නොවෙයි. සාරධර්ම ඉක්මවා නොයයි. අසීමිත අපේක්ෂාවෙන් මෙන්ම ඉඳුරන් පිනවමින් ධනය, බලය පසුපස හඹායන පුද්ගලයෙක් බවට පත්නොවෙයි. මෙම තත්ත්වය ඉගැන්වීමෙන් හෝ පොත පතින් ලබා දිය හැක්කක් නොවේ. ඒවා දීර්ඝ කාලයක් එහි යෙදීමෙන් ගැලීමෙන් උකහා ගත යුතුය. දහම් පාසල් එන දරුවා කාලයක් තිස්සේ මෙම ක‍්‍රියාවලිය තුළ රැඳී සිටීමෙන්, ඒවා භාවිතයෙන්, යෙදීමෙන්, ඇසීමෙන් හා දැකීමෙන් යහගුණ ප‍්‍රගුණ කරයි. එවන් පුද්ගලයන් සිය පවුල තුළත් සමාජය තුළත් අනෙකා සමග සුහදව ජීවත්වෙයි. හුදෙක් ඔහු පංචශීලය සිය ජීවිතයට බද්ධ කර ගනියි. එබැවින් ඔහු බලය, ධනය හෝ වෙනත් යමක් ලබා ගැනීම වෙනුවෙන් තවෙකෙකු ඝාතනය කිරීමට නොසිතයි. ඒ නිසා අනෙකාගේ ජීවත්වීමේ මානව අයිතිය ආරක්ෂා වෙයි. හෙතෙම අනුන්ගේ ජීවන සන්තකයට බාධා නොකරන නිසා අනෙකාගේ පෞද්ගලික දේපළ ආරක්ෂා වෙයි. කාම තෘෂ්ණාවෙන් පසු නොවන නිසා අනියම් සබඳතා, අවජාතක දරුවන්, අනාථ දරුවන්, ලිංගික අසාධනයන්, ගණිකාවන්, දික්කසාද ඇසුරෙන් පැනනගින
 සමාජ ප‍්‍රශ්න සමාජයට නැත. සත්‍ය වචන මගින් ශිෂ්ට ලෙස භාෂාව හසුරුවන බැවින් අනෙකාගේ විශ්වාසය හා ගෞරවය දිනා ගනියි. සුරාව විරමණය කරන නිසා කලකෝලහාල, අනතුරු, නිර්ලජ්ජිත හැසිරීම්, ලෙඩ රෝග වැනි ගැටලූ පැන නොනගියි. මේ පිළිබඳව දිගින් දිගටම විමසා බැලීමෙන් පැහැදිලි වන්නේ මිනිසාගේ දෛනික ජීවිතය විධිමත් වීමේ පදනම ධර්මය බවයි. එම නිසා දරුවා පාසල් අධ්‍යාපනයෙන් දැනුම වර්ධනය කරගන්නවා මෙන්ම ඒ සමගම සදාචාර අධ්‍යාපන ක‍්‍රමයක් වෙත දරුවා ප‍්‍රවේශ කළ යුතුයි. හුදෙක් එය දහම් පාසල් අධ්‍යාපනයෙන් කළ හැකිය.
 
 ගෝලීයකරණය හා විශ්ව ගම්මාන සංකල්පය ඔස්සේ මෙන්ම නව විද්‍යාත්මක හා තාක්ෂණික සංවර්ධනය සමග ඉදිරියට යෑමේදී ඒ සඳහා අවශ්‍ය නව දැනුම සොයා යායුතුය. නව නිශ්පාදන ලොවට හඳුන්වා දිය යුතුය. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික දැනුම භාවිත කොට මිනිස් ජීවිත වඩ වඩාත් පහසු හා සුවදායි බවට පත්කර ගත යුතුය. තම ජීවත්වන පෘථිවිය තරණය කොට අනෙකුත් ග‍්‍රහලෝක වෙත යායුතුය. මාර්ග පද්ධති පුළුල් කරමින් ප‍්‍රවාහන සේවාවද දියුණු කළ යුතුය. යෝධ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ යුතුය. එහෙත් ඒ සියල්ල කළයුත්තේ ධර්මය පදනම් කොට ගෙනය. ධර්ම න්‍යාය පදනම් කොට ගෙනය. බුදු දහමේ මූලික අරමුණ වී ඇත්තේද භෞතික අධ්‍යාත්මික සංවර්ධනයක් තුළින් පූර්ණ මිනිසෙකු බිහි කිරීමයි. එක් අංශයකින් පමණක් ලබන දියුණුවක පුතිඵලය වී ඇත්තේ අනෙක් අංශය අඩපණ වීමෙන් සම්පූර්ණ මිනිසා ක‍්‍රියා විරහිත කරවන අංශභාග රෝගය මෙන් පුද්ගල සංවර්ධනය අඩපණ වීමයි. එබැවින් රටක සංවර්ධනය සඳහා භෞතික හා අධ්‍යාත්මික උභයංශයේ සංවර්ධනයක් තුළින් මිනිසා පූර්ණ මිනිසෙක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යාපනයට දක්වන උනන්දුව හා කැපකිරීම දහම් පාසල් අධ්‍යාපනය වෙතද යොමු විය යුතුයි. හුදෙක් එය නූතන සමාජ අවශ්‍යතාවකි. ඇරත් භෞතිකවාදී වූද, මානව දායාවෙන් තොර වූද, අකාරුණික වූද ජීවන ක‍්‍රම පුද්ගල සතුට මෙන්ම සමාජගත සංවර්ධනයද ගිල දමන්නක් බව බුදු දහම් අවධාරණය කරයි. දහම් පාසල වූ කලී මේ අනතුරෙන් මුළු මහත් සමාජයත්, මතු පරපුරත් බේරා ගැනීමට කැප වූ ආයතනයයි. එබැවින් රටේ මතු අනාගතය ගැන සිතා සෑම දරුවෙක්ම දහම් පාසල් ගත කිරීම කාලීන අවශ්‍යතාවකි. එසේ සෑම දරුවෙකුම දහම් පාසල් ගත කිරීමට හැකි වුවහොත් නැවතත් ගුණ ගරුක යහපත් සමාජයක් අපට හිමිවනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles