Divaina - තුරන් කළා යැයි කියන මැලේරියාව ආයෙත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


mele
 

සමන්තී වීරසේකර


එපා කියා විසිකළද විදේශීය රටකින් ඔපමට්ටම් කොට යළි එවන්නේ නම් ගඳ ගසන කුණු ගොඩක් වුවද මේ ශ‍්‍රී ලාංකික අපි එය දෑතින්ම බදා ගන්නෙමු. මෙයද එවන් කතාවකි.

මැලේරියාව පිළිබඳ මතකය හැත්තෑවේ දශකයට එපිට ජීවත් වූ සෑම අයෙකුටම අදටත් දැනෙන්නේ අතිශය බිහිසුනු අත්දැකීමක් ලෙසය. එක්දහස් නවසිය තිස්හතර තිස් පහ කාලයේ මාස හතඅටක් වැනි කෙටි කාලයක් තුළ මැලේරියා උණ රෝගය වැළඳීමෙන් අසූදහසකට ආසන්න පිරිසක් මිය ගිය අතීතය අපගේ මතකයෙන් ඈත්වන්නේ නැත.

එවකට මැලේරියා රෝග මර්දනය සඳහා සෞඛ්‍ය අංශ මගින් කළ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස, වසර එක්දහස් නවසිය හැටතුන වන විට ලංකාවේ මැලේරියා රෝගීන් සංඛ්‍යාව දහහතකට අඩුකර ගත හැකිව තිබිණි. එහෙත්, එම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමේ නොහැකියාව මත යළිත් වසර එක්දහස් නවසිය හැට අට වන විට ලංකාව පුරා මැලේරියාව වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව හාරලක්ෂයද ඉක්මවා එය දරුණු වසංගතයක් බවට පත්ව තිබිණි.

යළි මැලේරියාව මතුවීම

අද යළිත් මැලේරියාව හිස ඔසවා තිබේ. අතීතය අමතක කරන්නාට අනාගතයක් නැත යන කියමන සනාථ කරන්නා සේ, මැලේරියා රෝගය වැළඳී ඇති රෝගින් දැන් දැන් රට පුරා කිහිපපොළකින්ම මතු වන්නේය. ජනතාවට පමණක් නොව වෛද්‍ය ක්ෂේත‍්‍රයට ද මැලේරියාව යන රෝගය අමතකව ගිය මේ කාලවකවානුවේ නොමිලයේ ආනයනය කොට ඇති මැලේරියා වසංගතයය පිලලයක් සේ රටපුරා වර්ධනය වීමට ඇති ඉඩකඩ අසීමිතය.

හැටේ දශකයේ මැලේරියා උණ රෝගයෙන් පීඩා විඳ, ගත කළ යුගයට අප නැවත පා තැබිය යුතු නැති නමුත් කාගේ හෝ දුර්වලතාවක් මත මැලේරියාව යළි අප අතරට පැමිණ ඇත.

එයට හොඳම ප‍්‍රබලම සහ ඇස්පනාපිට ඇති සාක්ෂි ඇත. තෙල්දෙණිය උඩිස්පත්තුව පදිංචි රෝගීන් දෙදෙනකු තෙල්දෙණිය මූලික රෝහලෙන් ද, මාපනාවතුර පදිංචි රෝගියකු මහනුවර පෞද්ගලික රෝහලකින්ද සහ හන්තාන පදිංචි රෝගියෙකු මහනුවර ශික්ෂණ රෝහලෙන්ද නේවාසික ප‍්‍රතිකාර ලබා ගනිමින් පිටව යාමය ඒ. එහි හොඳම කතාව මේ සිව්දෙනාම එකවර දඹදිව වන්දනාවේ ගොස් ඇති බවත්, ආපසු පැමිණි පසුව මැලේරියාව වැළඳී ඇති බව තහවුරු වීමත්ය.

මෙම රෝගින් ප්ලැස්මෝඩියම් වෛවැක්ස් පරපෝෂිතයකු වර්ධනය වීමේ අවදානම ඇති රෝගින් වීමත්, දඹදිව වන්දනාව සඳහා එකම නඩයකට අයත් පිරිසක් වීමත් මත, රෝගය දඹදිව වන්දනාව ඔස්සේ මෙහි පැමිණි බව පැහැදිලිව සනාතව ඇත.

මැලේරියා රෝගින් මධ්‍යම පළාතේ

ඒ වග අපට කියන්නේ මහනුවර නුවරඑළිය දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරි හමීඞ් මොහොමඞ් ෆයිසාල් මහතාය.

”ලංකාවේ අතීතයේ පැවැති මැලේරියා රෝග තත්ත්වය රටින් තුරන් කරන්නට දේශපාලන අධිකාරියත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත් ඇතුළු ජනතාවත් අප‍්‍රමාණ වෙහෙසක් ගෙන තිබෙනවා. ඒ වෙහෙසෙහි ප‍්‍රතිඵලය රැඳෙන්නේ අපි ඉදිරියටත් මර්දන ක‍්‍රියාවලිය පවත්වාගෙන ගියොත් පමණයි. නමුත් කුමක් හෝ අවාසනාවකට ඇතැමුත් මේ වගක් හිතන්නේ නැහැ. අපි අදටත් ඇතිතරම් රාජ්‍ය හා පෞද්ගලික මට්ටමෙන් දැනුවත් කිරීම් සිදුකොට තිබෙනවා.

විශේෂයෙන්ම අද සිදුවන්නේ රට අභ්‍යන්තරයේ මැලේරියා ව්‍යාප්ත වීමක් නෙවෙයි. මේක විදේශ සංචාර ඔස්සේ අපේ රටට ඇතුළු වන රෝගයක් බවට අද පත්වෙලා. මැලේරියා මර්දන නිලධාරීන් වීදිහට අපි නිතරම විදේශ සංචාර සැලසුම් කරන ආයතනවලට, මැණික්, ඇඳුම් සහ වෙනත් ව්‍යාපාරිකයන්ට, විනෝද චාරිකා ලෙස විදේශීය රටවල සෆාරි යන අයට, වන්දනාකරුවන්ට, ප‍්‍රබල ලෙස දැනුම් දී තිබෙනවා මේ රටින් පිටත්ව යෑමට පෙර සහ නැවත මෙරටට පැමිණි පසු රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙස. නමුත් ඒ ගැන මිනිස්සු අවධානය යොමු කරන්නේ නැහැ. මෙවන් විපත් ඇති වීමට ප‍්‍රබලව බලපාන්නේ මිනිස්සු දැනුවත් වුවත් ඊට අදාළ ලෙස කටයුතු නොකිරිම යි.

ආනයනික මැලේරියා වසංගතය

මැඩගස්කර් බොඞ්සුවානා, මුසැම්බික්, ටැංසානියා, තායිලන්තය, මියෙන්මාර්, ලෙබනන්, මාලි, හයිටි, උගන්ඩා, ඉන්දියාව වැනි තැන්වල සංචාරය කරන උදවිය බොහොම අවධානයෙන් සිටිය යුතුයි. මොකද, අපේ රටේ කලක් වසංගතයක්ව පැවැති රෝගයක් යළිත් රටතුළ වැපුරුව හොත් අප සිදු කර ගන්නේ මහා විපතක්. රට පුරා මේ වන විට මැලේරියා රෝගීන් විසිඅටකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙනවා. සහ ප‍්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. දැන් අප එම අගය පහත දමන්නට කටයුතු කරනවා විනා නොදැනුවත්ව හෝ ඉහළ දමන්නට කටයුතු කිරිම සුදුසු නැහැ. ..”

එය ඇත්තකි. අද රට තුළ පවතින දේශපාලනික සාමාජීය වාතාවරණය මත, රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලූවක් දරුණු ලෙස උද්ගත වුවහොත් ඊට නිසි විසඳුම් ලබා දිය හැකි මට්ටමේ ප‍්‍රබලයන් රටතුළ නැති බව අවබෝධ කරගත යුතුය. රටේ සියලූ නායකයන්ට ප‍්‍රබලයන්ට බලවතුන්ට අද ඇත්තේ මැලේරියාව මර්දනය කිරීමේ පරමාර්ථයක් හෝ ජනතාව දුකින් මුදා ගත යුතු හැඟීමක් නොවේ. කෙසේ හෝ තමන්ගේ බලය රැක ගැනීමේ චේතනාවක් පමණි.

මැලේරියා මර්දන අතීතය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මැලේරියා තුරන් කිරීමේ වැඩසටහන 1955 දී දියත් කිරීමෙන් අනතුරුව, ශ‍්‍රී ලංකාව 1957 දී තමන්ගේම මැලේරියා තුරන් කිරීමේ උපාය මාර්ගයක් දියත් කළ අතර එය බොහෝ දුරට සාර්ථක විය.

පනහ හැට දශකය අවසානයේ ශ‍්‍රී ලංකාවේ මැලේරියාව මර්දනය කිරීම පිණිස, පළමුව ක‍්‍රියාත්මක වූයේ මැලේරියා මර්දන ව්‍යාපෘතියය. දෙවනුව මැලේරියාව තුරන් කිරීමේ ව්‍යාපෘතියය. තෙවැනි ව්‍යාපෘතිය හෙවත් අවසානයේ අදටත් ක‍්‍රියාත්මක වන්නේ, මැලේරියාව නැවත මතුවීම වළක්වාලීමේ වැඩසටහනය. එහි ප‍්‍රතිඵලය වූයේ වසර දෙදහස් දොළහේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාව තුළ අභ්‍යන්තර රෝගින් වාර්තා නොවීමය. වාර්තා වූ සහ රුධිර සාම්පල පරීක්ෂාව මගින් තහවුරු සෑම රෝගියකුම විදේශීය රටකින් මෙරටට පැමිණි උදවිය ය. සෞඛ්‍ය දත්ත අනුව, වාර්ෂිකව ශ‍්‍රී ලංකාව තුළ පැවති මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාත්මක සටහන් ද ඒ වග තහවුරු කර ඇත. විදේශීය රටකදි මැලේරියා රෝගයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වසර 2013 - අනූපහකි. 2014 -දි හතළිස් නවයකි. 2015 - තිස්හයකි. 2016 - තිස්හයකි. 2017 - පනස් හයකි. 2018 - පනස් දෙකකි. 2019 - තිහකි.

මෙම සියලූ රෝගින් විදේශීය රටකින් මැලේරියාව මෙරටට ගෙන ඒමේ නොගැළපීමක් සහ අනාගතයේ ඉන් වන විපත බරපතළ වීමේ තත්ත්වයක් ඇති බව දැන් දැන් පෙනෙන්නේය.

මැලේරියාව මර්දනය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මැලේරියා මර්දන මූලස්ථානය පිහිටා ඇත්තේ නාරාහේන්පිටය. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ අධීක්ෂණය මත ලංකාව පුරා දිස්ත‍්‍රික්ක විසිහතරහිම මැලේරියා මර්දන කාර්යාල පිහිටුවා, ප‍්‍රාදේශීය මර්දන නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු යොදවා ජනතාව දැනුවත් කිරීමේ සිට රෝග නිරෝධායන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නේය. එපමණක්ද නොව සෑම ග‍්‍රාමීය රෝහලක්, ප‍්‍රාදේශීය රෝහලක් මූලික රෝහලක්, ඇතුළු සියලූම රජයේ සහ පෞද්ගලික රෝහල් ඇසුරෙහි මැලේරියා රෝග පරීක්ෂාවට අදාළ රුධිර පරීක්ෂණ සිදුකරගැනීමේ සියලූම පහසුකම් ලබා දී ඇත.

රෝහල්ගතව නේවාසිකව ප‍්‍රතිකාර ලබන සෑම උණ රෝගියකුගේම මැලේරියා රුධිර පරීක්ෂාවක් සිදුකිරීම සඳහා වන පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දි ඇත. මැලේරියා මර්දන කාර්යාල ඔස්සේ, ජංගම සායන, සහ මදුරු ගණත්වය වැඩි ප‍්‍රදේශවල එය පාලනය සඳහා දූමායනය හෝ වෙනත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින්නේය. මැලේරියා පරපෝෂිතයන් රටතුළ කොතැනක හෝ වර්ධනය වන්නේදැයි පරීක්ෂා කිරීම පිණිස කීට විද්‍යා සමීක්ෂණ හා පරීක්ෂණ සිදුකරමින් මැලේරියා මර්දන කාර්යාල දැනුවත් වන්නේය. විදේශිකයන් සඳහා වෙනම රුධිර පරීක්ෂණ වැඩසටහන් ද ඔවුන් බහුලව වෙසෙන ස්ථානවල ස්ථානීය පරීක්ෂණ ද සිදුකරන්නේය.

යම් හෙයකින් මැලේරියාවට ගොදුරු වූ අයෙකු හමු වූ විට ඔවුන්ගේ ප‍්‍රතිකාර සඳහා ඉතා හොඳ මෙහෙයවීමක් සිදු කරන්නේය. නිශ්චිත ප‍්‍රතිකාර සඳහා දින තුනක ප‍්‍රතිකාර රටාවක් ද, කිසියම් සංකූලතාවකට ගොදුරු වූ මැලේරියා රෝගීන් සඳහා දින පහක ප‍්‍රතිකාර රටාවක්ද ක‍්‍රියාත්මක වන්නේය.

තවද, රෝග වාහක මදුරුවා සවස සහ රාත‍්‍රි කාලයේ සැරිසරන බැවින් ජනතාව ඉන් රැක ගැනීම පිණිස මැලේරියා අවදානම ඇති ප‍්‍රදේශවල ජනතාවට මදුරුදැල් බෙදා දීමද මැලේරියා මර්දන කාර්යයාල ඔස්සේ සිදු කරන්නේය.

එවන් පරිසරයක් තුළ යළි මැලේරියාව හිස ඔසවන තත්ත්වයක් ඇතිවන්නේ නම් කාගේ හෝ නොසැලකිල්ල මතම එය සිදුවන බව අප කල්පනා කළ යුතුය. මැලේරියාව බෝ කරනු ලබන රෝග වාහකයා ඇනෝෆිලික්ස් මදුරුවාය.

මැලේරියාව සොයායෑම

කියුබානු වෛද්‍යවරයෙකු වූ කාලෝස් ෆිනාලෝ විසින් මදුරුවන් මගින් මිනිසාට සහ මිනිසාගෙන් පිටතට රෝග ව්‍යාප්ත කළ හැකි බවට සොයා ගනු ලැබූයේ එක්දහස් අටසිය හැත්තෑවේදි පමණය. කෙසේ නමුත් ඉන්දියාවෙහි සේවය කරන ලද බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වූ සර් රොනාල්ඞ් රෝස් විසින් වසර 1898 දී ඔප්පු කරන ලද්දේ මැලේරියාව මදුරුවන් මගින් බෝ වන බවයි. ඔහු මෙය සිදුකරන ලද්දේ ඇතැම් මදුරු විශේෂ මගින් මැලේරියා රෝගය ව්‍යාප්ත කරන බව පෙන්වීම මගිනි. ආසාදිත පක්ෂීන්ගෙන් ලේ උරා බොන ලද මදුරුවන්ගේ ඛේට ග‍්‍රන්ථිවලින් මැලේරියා පරපෝෂිතයන් වෙන්කිරීම මගිනි. ඔහුගේ මෙම සොයා ගැනීම සඳහා 1902 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවුණි.

ලංකාවට ඩබ් එච් ඕ සහතිකය

මැලේරියාව ලංකාවෙන් තුරන් කිරීම උදෙසා වසර දෙදහස් දහසයේදි ලෝක සෟඛ්‍ය සංවිධානය සහතිකයක් පිරිනැමීය. එතැන් සිට ලංකාව තුළ පරපෝෂිත රෝග වාහකයා රටින් තුරන්ව ගියේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියල්ලන්ගේම උත්සාහය මහන්සිය සහ කැපවීම මතය. සහතිකය ලබා ගත හැකි වූයේ හුදෙක් ජනතාව දැනුවත් කරමින් මර්දනය සඳහා කැපවූ නිසාය.

මැලේරියා රෝග ලක්ෂණ මැලේරියාව හදුනා ගන්නා ක‍්‍රම දෙකක් තිබේ. එකක් රෝහලේ දි රෝගියා සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂාවේදිය. අනෙක අන්වීක්ෂ පරීක්ෂාව මගිනි.

යම් උණ රෝගියකු තද හිසරදය, මස්පිඩු වේදනාව, පිටකොන්ද වේදනාව, ඔක්කාරය, වමනය, පාචනය, බඬේ කැක්කුම, දිනක් හැර දිනක් උණ මතුවීම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වෛද්‍යවරු එය මැලේරියා රෝග ලක්ෂණ බවට අනුමාන කරති. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වූ විට, අක්මාව ප්ලීහාව වැවි අවයව වලට හානි ඇතිවන බැවින් වහා රුධිර පරීක්ෂණ සිදු කොට ප‍්‍රතිකාර ආරම්භ කරයි.

අන්වීක්ෂ පරීක්ෂාව මගින් රුධිරය පරික්ෂා කොට නිශ්චිත ලෙසම මැලේරියාවදැයි තහවුරු කර ගත හැකිවෙයි. මේ සඳහා වර්තමානයේ ප‍්‍රතිදේහ පරීක්ෂණ ද සිදුකෙරේ. RDT හෙවත් RAPID DIAGNOSTIC TEST ලෙස හඳුන්වන මෙම ප‍්‍රතිදේහ පරීක්ෂාව දැන් ළඟම ඇති ඕනෑම රෝහලකින් සිදු කරගැනීමේ හැකියාවද ඇත.

මැලේරියාව තුරන්කිරීමේ වගකීම

කෙසේ වෙතත්, 1960 ගණන්වල මැලේරියාව නැවත නැගිටීම පිළිබඳ මතකයන් මැලේරියා මර්දනය සඳහා වැඩ කරන සියලූ දෙනාගේ මනසෙහි විශාල වශයෙන් රැඳී තිබේ. මැලේරියාව නැවත හඳුන්වාදීම වැළැක්වීම ඉතිහාසය නැවත නැවත සිදුවීම වළක්වා ගැනීම රටට ඇති ඊළඟ විශාල අභියෝගයයි. ශ‍්‍රී ලංකාව ආනයනය සමඟ විශාල තර්ජනයක්ව ඇති මැලේරියා සම්පේ‍්‍රෂණයට ඇති ඉහළ අවදානම සැලකිල්ලට ගෙන ඉහළ මට්ටමේ සුපරීක්ෂාවක් අවශ්‍යව ඇත.

ලෝකයේ ඕනෑම රටක් මැලේරියාව තුරන් කළ පසුව නැවත නොඑන්නට වගබලා ගන්නා බව ඇත්තය. අපේ රටට දැන් මැලේරියාව එන්නේ විදේශීය රටවලින් නම්, ගුවන්තොටුපළ රෝග නිරෝධායන ඒකකයක් ස්ථාපිත කිරීම පහසුම ක‍්‍රියාමාර්ගයය. යන එන සෑම ශ‍්‍රී ලාංකිකයකුගේම සහ පැමිණෙන විදේශිකයන්ගේ රුධිර පරීක්ෂාවක් හෝ අතිශය පහසු ප‍්‍රතිදේශ පරීක්ෂාවක් සිදුකොට මෙම තත්ත්වය පාලනය සඳහා වහා විසඳුම් ලබා දිය හැකිවනු ඇත.

එසේ නොවන්නට ඩෙංගු මෙන් යළි යළිත් මඬේ දමමින් සෝද සෝදා සිටින ක‍්‍රමවේද ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට දේශපාලන අධිකාරිය උපදෙස් දෙනු ඇත.

මැලේරියාව මෙරටින් තුරන් කිරීමට අද වන විට ගත යුතු වන්නේ නියපොත්තෙන් කඩා දැමිය හැකි විසඳුම්ය. මේ රටේ බලධාරීන් සෞඛ්‍ය ප‍්‍රධානීන් ඇතුළු වගකිවයුත්තන් අදම ප‍්‍රශ්නයට විසඳුම් ලබා නොදුනහොත් මෙය පොරවෙන් වත් කපා දැමිය නොහැකි තැනට පත්වනවා නියතය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles