Divaina - නෙලාගත නොහැකිද? ඉන්දියාවට සඳ දුරය.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


  india
 
 
 චතුර පමුණුව
 
චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග‍්‍රහයා වේ. සඳ මත මිනිසුන් පා තබා පසුගිය ජුලි මාසයට පනස් වසරක් සපිරිණි. සඳ වෙත මිනිසුන් රැගෙන ගිය පළමු රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්වූයේ 1969 ජුලි 20 වෙනිදාය. 1972 අවසාන වන විට, එක්සත් ජනපදය දියත් කළ මෙහෙයුම් හයක් මගින් සඳ මත පා තබන ලද පුද්ගලයන් සංඛ්‍යාව හයකි. ‘මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.‘ යනුවෙන් පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවිය. එය මනුෂ්‍ය වර්ගයා විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ලබාගත් විජයග‍්‍රහණය පිළිබඳව කියවෙන වැදගත් කියමනකි. මිනිසා සඳ මත ගොඩ බැසීමෙන් ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණය ඒ මත සටහන් කර තබන ලද්දේ සිහිවටන පුවරුවක් මගිනි. එහි මෙසේ සඳහන් විය.’ක‍්‍රිස්තු වර්ෂ 1969 ජුලි මාසයේ දි පෘථීවි ග‍්‍රහලෝකයෙන් පැමිණි මිනිසුන් මුලින්ම හඳේ පය තැබූ ස්ථානය මෙයයි. සමස්ත මිනිස් වර්ගයාගේම සාමය උදෙසා අපි මෙහි පැමිණියෙමු.’ එම පුවරුවේ නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස්, එඞ්වින් ඕල්ඞ්රින් යන ගඟනගාමීන් තිදෙනාගේත් එවක ඇමෙරිකානු ජනපති රිචර්ඞ් නික්සන් මහතාගේත් අත්සන මුද්‍රණය කර තිබිණි. 1969 ජුලි මස 22 වැනි අඟහරුවාදා දිනමිණ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය සටහන් වුයේ ‘මිනිසා හඳට යයි...!’ මැයෙනි. ‘අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝන්, එඞ්වින් ඕල්ඞ්රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා 1969 ජූලි 21 වැනි සඳු දින පෙරයම චන්ද්‍ර මණ්ඩලයට පා තැබූහ.’ යනුවෙන් ඒ පුවතේ මුලින්ම සඳහන් කර තිබිණි. මේ අතීත කතාව සිහි කිරීමකි.
 
 දැන් වර්තමානයට පිවිසිය යුතුය. සඳ මත ගම්මානයක් ගොඩනැඟීම සිය ඉදිරි සැලැස්ම වන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් ප‍්‍රකාශ කළේ 2015 වසරේදීය. ජෝන් මහතාට අවශ්‍ය වූයේ සඳ මත මිනිස් ගම්මානයක් ඇති කිරීමය. එය ඔහුගේ පුද්ගලික අදහසකි. එම අදහස මුදුන්පත් කිරීම වෙනුවෙන් පසුගිය වසර හතරේදී කවර ක‍්‍රියා මාර්ග ගෙන ඇත්ද යන්න අප දන්නේ නැත. මෙය සැබවින්ම සිහිනයකි. නමුත් යම් දිනක එය සැබෑ වනු ඇත. එවිට සඳ ගම්මානයේ සිටම සඳ ගැන ගීත කවි ලිවිය හැක. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළා රොදක සැඟවිලා... නැමැති කුලරත්න ආරියවංශයන් ගේ අපූරු පදමාලාවට සඳ ගම්මානයේදී ලැබෙන අරුත කුමක්ද? එය වෙනම සොයා බැලිය යුතුය.
 
 මේ අතර චීනයේ Chang'e 4 නමැති අභ්‍යවකාශ යානය මගින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළවී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය ප‍්‍රකාශ කළේ මේ වසරේ ජනවාරි මාසයේය. සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙය සටහන්වූ අතර එය දීර්ඝ අභ්‍යවකාශ තරණයන් සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ. Chang'e 4 යනු පෘථිවියට ප‍්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි. සඳ පෘෂ්ඨයේ භූ ගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් Chang'e 4 යානය සඳ මත ගොඩ බැස් වූයේ ජනවාරි මස 3 වනදාය. මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදුකර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කර නොතිබිණි. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත. ඒ අනුව, ග`ගනගාමීන්ට ආහාර රැගෙන යාම සඳහා යළි පෘථිවියට නොපැමිණ අභ්‍යවකාශය මතම සිය ආහාර නිෂ්පාදනය කර ගත හැකි වනු ඇත.
 
 චීනය සඳ මත බීජ පැළ කරද්දී අසල්වැසි ඉන්දියාවට සඳ තවමත් දුර බව පෙනෙන්නේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම අසාර්ථක වී වික‍්‍රම් යානය අතුරුදහන් වීම නිසාය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප‍්‍රධානි කයිලාසවාදිවෝ සිවන් හඬා වැටුණේ වික‍්‍රම් අතුරුදහන්වීම නිසා ඇති වූ ශෝකයෙනි. පසුගිය දිනවල ඉන්දීය සමාජ මාධ්‍ය ජලාවල ප‍්‍රමුඛව කතා කෙරුණේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම අසාර්ථක වීමට වඩා අගමැති නරේන්ද්‍ර මෝදි මේ හඬා වැටෙන සිවන් බදා වැළඳ සනසන ආකාරය පිළිබඳවය. වික‍්‍රම් යානය සඳ මත පතිත වීමට කිලෝ මීටර 2 ක් තිබියදී හදිසියේ අතුරුදහන් වීම සිවන් පමණක් නොව සමස්ත ඉන්දියාවම කම්පා කිරීමට හේතු විය. හදිසියේම වික‍්‍රම් අතුරුදහන් වෙද්දී ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ බැංගලෝර් මෙහෙයුම් මධ්‍යස්ථානයේ පාලක මැදිරියේ විද්‍යාඥයන් ගල්ගැසී නිසොල්මන්වී තම ඔළුවට අත ගසා ගෙන ඉතා දුක්මුසුව බලා සිටින අයුරු දැක්වෙන දර්ශන ඉන්දීය රුපවාහිනි මාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණි. අහෝ මේ විපත කුමක්දැයි ඔවුහු එකිනෙකාගෙන් විමසනු පෙනිණි.
 
 මේ අවස්ථාවේ ඉන්දීය අගමැතිද පාලක මැදිරියේ විශේෂ කුටියකට වී මේ සඳ ගමන දෙස උන්නදුවෙන් බලා සිටින අයුරු දක්නට ලැබිණි. නමුත් අගමැතිවරයා අසලට ගිය කේ. සිවන් ප‍්‍රකාශ කළේ වික‍්‍රම් යානය හදිසියේම අතුරුදහන් වී ඇති බවයි. එහෙත් අගමැති මෝදි කිසිම විටක චන්ද්‍රයාන් 2 මෙහෙයුමට සම්බන්ධ වූ විද්‍යාඥයන් අපහසුවට පත් කළේ නැත. ඔවුන් දිරි ගැන්වූයේය. එම මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේ කුමක් ද අපගේ ආත්ම විශ්වාසය බිඳවැටී නැහැ. ඉදිරිය සුබදායකයි ජීවිතයේ ගොඩනැඟීම් සහ බිඳ වැටීම් සාමාන්‍යයෙන් සිදුවෙනවා ඕවා සාමාන්‍ය දේවල් නමුත් ලබාගත් ජයග‍්‍රහණය සුළුකොට තැකිය යුතු නැහැ. චන්ද්‍රයාන් 2 යානය සඳ මතුපිටට ගොඩබෑමට ආසන්නව තිබියදී පෘථිවිය හා පැවති සම්බන්ධතාව ගිලිහී ගියත් අපි මේ මෙහෙයුම ගැන බෙහෙවින්ම ආඩම්බර වෙනවා” යනුවෙනි.
 
 ඇමෙරිකාව, රුසියාව, චීනයට පසුව සඳ මතට යානයක් ගොඩ බැස්වීමේ අවස්ථාව ඉන්දියාවට අහිමිව ගියේය. පසුගිය වසරේදී ඊශ‍්‍රායලය Beresheet' නමැති යානය ගොඩ බැස්වීමට උත්සාහ කළද එයද අසාර්ථක විය. වික‍්‍රම් යානය තුළ ප‍්‍රග්යාන් නමින් රොබෝ රෝවරයක් ද තිබූ අතර එය සඳ මතුපිට ගමන් කරවීම සඳහා සකස් කර තිබිණි. එහි බර කිලෝ 27 කි. ප‍්‍රග්යාන් යනු සංස්කෘත භාෂාවෙන් ප‍්‍රඥාව යන්නය. චන්ද්‍රයාන් යනු සංස්කෘත භාෂාවෙන් සඳ යානාවයි. වික‍්‍රම් නම් කරනු ලැබුවේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු සභාපති වික‍්‍රම් සරභායි සිහි කිරීම සඳහාය. සඳ මත ගොඩ බැසීමට නියමිත වූ වික‍්‍රම් යානයේ බර කිලෝ 1471 කි. මෙය රොබෝවක් ලෙසින් ක‍්‍රියාත්මක වීමට සකස් කර තිබිණි. සඳ මතට කඩා වැටුණු වික‍්‍රම් යානයේ කොටස් සඳ මත තිබෙන බව නිරීක්ෂණය වී ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මීට දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළේය.
 
 2008 වසරේදී මුදා හළ ඉන්දියාවේ පළමු සඳ තරණ යානය වූ චන්ද්‍රයාන් -1 සඳමතට ගොඩ බැස්සවීමට නොහැකි විය. එහෙත්, රේඩාර් මගින් සඳ මතුපිට ජලය සෙවීමට අදාළව පළමු සහ වඩාත්ම පැහැදිලි දත්ත ලබා ගැනීමට එහිදී හැකියාව ලැබිණි. දෙවන උත්සාහය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ වසර 11 කට පසුවය. පසුගිය ජුලි 22 වැනිදා චන්ද්‍රයාන් - 2 යානය ගුවන් ගත කෙරුණේ මෙතෙක් සාර්ථකව ගවේෂණය නොකෙරුණු සඳෙහි දක්ෂිණ ධ‍්‍රැවයට ගොඩ බැස්සවීම සඳහාය. මෙම මෙහෙයුම මගින් සඳ කම්පන (Moonquakes) අධ්‍යයනය කරමින් සඳ මතුපිට ඇති ජලය සහ ඛනිජ
 
 ගවේෂණය කිරීමට බලාපොරොත්තු විය. ඉන්දියාව මෙම මෙහෙයුම සඳහා යොදාගෙන තිබුණේ ඔවුන් සතු වඩාත්ම ප‍්‍රබල රොකට්ටුව වන GSLV Mk-III නමැති රොකට්ටුවය. එය ටොන් 640 ක බරින් යුතු වන අතර මීටර් 44 ක් උසැති එය මහල් 14 කින් යුත් ගොඩනැඟිල්ලක් තරම් උසින් යුතුය. මෙම ගමනෙහි දුර කිලෝ මීටර් 384000 කි. දෙවන සඳ මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවෝ 1000 ක් පමණ දායක වූහ. එහෙත් පළමු වරට මෙම අන්තර් ග‍්‍රහලෝක ගවේෂණ මෙහෙයුම මෙහෙයවීම කාන්තාවන් වෙත පවරා තිබිණි. මෙම ඉන්දීය සඳ තරණය සඳහා නායකත්වය සැපයුවේ කාන්තාවන් දෙදෙනෙකි. ඒ වැඩසටහන් අධ්‍යක්ෂිකා මුතායා වනිතා සහ රිතු කරිධාල් යන දෙදෙනාය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles