Divaina - උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත...මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

maharahath
 
රාජගිරියේ අරියඥාන හිමි

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා ඔබව මෙහෙයවන මාර්ග ඥානයයි කියලා.

මේ උතුම් මාර්ග ඥානය අපෙන් දුරස්කරන්නේ අවිද්‍යාවේ අන්ධභාවයය. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා කිළිටි කරන නැවත පුනර්භවය ඇතිකරන දුක් උපදවන අවිද්‍යා යෝගයක් තිබෙනවාය කියලා.

මේ අවිද්‍යා යෝගය නිසාමයි අපි රාජයෝග” පැවිදි යෝග” මංගල යෝග සොයමින් ජ්‍යොතිෂය සරණ යන්නේ.

හැබැයි ඉතිං රටක ජනාධිපති වෙන්න” අගමැති වෙන්න හැමෝටම බැහැ. එවැනි තනතුරු දරන්න නම් රාජ යෝගයක් තිබෙන්නටම ඕනේ. භික්ෂුව රාජ යෝගයක්ය කියලා කියන්නේ හඳහන බලලා සොයන දෙයක් නොවේ.

ධර්මානුකූලව රාජ යෝගයක් කියන්නේ රටක රජකම දැරීමට අවශ්‍ය පෙර පිනය. දෙවැනිව පටිච්චසමුප්පන්නව රජකම් කොට ඇති සාංසාරික පුහුණුවය. ඉහත රාජ යෝගයන් දෙක දුර්වල වූ තැන පිංවත් රජතුමාත්” රාජ්‍යයත් යන දෙකම විනාශය කරා යන්න පුළුවන්.

රටක රජකම දැරීමට වගේම උතුම් පැවිදිභාවයක් ලැබීමටත්” පැවිදි යෝගයක් තිබිය යුතුය. පැවිදි යෝගයක් කියලා ධර්මානුකූලව හඳුන්වන්නේ යම් ගිහි පිංවතෙකුට උතුම් පැවිදිභාවය ලැබීමට අවශ්‍ය පෙර පිනය. දෙවැනිව සාංසාරිකව උතුම් පැවිදිභාවයක් තුළින් ලැබූ පුහුණුවය.

පැවිදිභාවයට පත්වෙන පිංවතාට පෙර පිනත්” සාංසාරික පුහුණුව හෙවත් තෘෂ්ණා පච්චය උපාදානව ධර්මතාවත් දුර්වල නම් අපේ පැවිදි ජීවිතයත් උතුම් ශාසනයේ ආත්මගරුත්වයත් යන දෙකම අනතුරට පත්වෙන්න පුළුවන්කම තිබෙනවා.

අවිද්‍යා යෝගයේ සැබෑම හැඩරුව වෙන්නේ යම් පිංවතෙක් අධ්‍යාත්මික රූපයන්” බාහිර රූපයන්” විඤ්ඤාණයන් එකතුවෙන් සකස්වෙන ඵස්සයේ ඉපදීම” ආශ්වාදය සහ ආදීනවය තතු සේ නැවැරදිව නොදනී ද ඔහු ඒ හේතුවෙන්ම ඵස්සයේ යම් අවිද්‍යාවක් තිබේ ද ඒ අවිද්‍යාව ඔහු තුළ උපදිනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

ඵස්සය තුළ බැසගෙන තිබෙන අවිද්‍යාව සත්ත්වයා නොදකින නිසාම ඵස්සය හේතුවෙන් සකස්වෙන ඇලීම්” ගැටීම් සහ උපේක්‍ෂාවන්ට සත්ත්වයා බැඳී යනවා. එහි ඵලය වෙන්නේ කුසල්” අකුසල් සංස්කාරයන්ගේ වැඞීම පමණක්මය.

මේ වැඩෙන කුසල් සහ අකුසල් සංස්කාර අවිද්‍යාව මුල්කොටගෙනම සත්ත්වයා කිළිටි කරන” සත්ත්වයා නැවත උපතකට යොමුකරන” භවයෝගයක් ද තිබෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

කාමභවය” රූපී භවය සහ අරූපී භවය යන භවාත‍්‍රයේ ඉපදීම” භවයේ ආශ්වාදය” ආදීනවය සහ නිස්සාරණය යම් පිංවතෙක් තතුසේ නොදනී ද ඔහු තුළ භව තෘෂ්ණාව ඇතිවෙනවා. භවයේ උපතකට හේතුවන උපාදානයේ අර්ථය සහ හැඩරුව නොහඳුනන නිසාම අපි කාම උපාදාන” දිට්ඨි උපාදාන” අන්‍යශීලවෘත උපාදාන මගේකොට ගන්නවා. තමා තුළ ඇතිවෙන්නාවූ උපාදානය හෙවත් බැඳියාව තුළ මම සිටිනවාය කියලා දකිනවා. එම උපාදානය මගේම ආත්මය කොට දකිනවා.

maharahath2සම්මා දිට්ඨියේ දුර්වලභාවය හේතුවෙන් සකස්වෙන සම්මා සතියේ දුර්වලභාවය තමා තුළ සකස්වෙන උපාදානය හෙවත් බැඳියාව තෘෂ්ණාවේ ඵලයක් බව විවෘතකොට දකින්නේ නැහැ.

පිංවත් ඔබ හොඳින් බුදුගුණයන් මෙනෙහි කරන කෙනෙක් නම් ඔබ මරණාසන්න මොහොතේ බුදුරජාණන්වහන්සේ කෙරෙහි බැඳී යනවා. එවිට ඔබ අනිවාර්යයෙන්ම කාමභවයේ දිව්‍ය හෝ මනුෂ්‍ය උපතකට යනවා.

පිංවත් ඔබට මරණාසන්න මොහොතේ බුදුරජාණන්වහන්සේ සිහිපත් වෙනවා. ඔබ ඒ බැඳියාව විනිවිද දකිනවා. තෘෂ්ණාව නිසාමයි මේ බැඳියාව ඇතිවුණේ. පිංවත් ඔබ බුදුරජාණන්වහන්සේගේ රූපකාය” කායානුපස්සනාවෙන් දකිනවා. සිතේ සකස්වෙන සියලූම ධර්මථාවන් වේදනානුපස්සනාවෙන්” චිත්තානුපස්සනාවෙන්” ධම්මානුපස්සනාවෙන් දකිනවා. තෘෂ්ණාවම සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් වැට බැඳුන තැන උපාදානය බල රහිත වෙනවා.

පිංවත් ඔබ අනාගතයේ ඔබ ලබන ස්වභාවික මරණයට පෙර මනසින් මියයන්න. හැබැයි ඉතිං ශීලයෙන් පෝෂණය වූ ඉන්ද්‍රිය සංවරය ඔබට තිබෙන්නට ඕනේ. ඉන්ද්‍රිය සංවරය දුර්වල වූ තැන ධර්මයේ නාමයෙන් අපි කරන්නේ මෝඩ වැඩමය.

පිංවත් ඔබ මනසින් මියයද්දි ඔබට ඔබ තුළින් හඳුනාගන්න පුළුවන්” ඔබගේ බැඳියාව හෙවත් උපාදානයන් මොනවාද කියලා. එවිට පිංවත් ඔබට පුළුවන් විවේකීව එම උපාදානයන් කෙරෙහි ධර්මානුකූලව තෘෂ්ණාව සියුම් කොටගන්න.

පිංවත් ඔබ කැමති දිව්‍ය” මනුෂ්‍ය” කාමභවයේ උපතකට නම් එම දිව්‍ය” මනුෂ්‍ය සැපයන් කෙරෙහි තෘෂ්ණාව සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් බැහැරකොටගන්න.

ඔබ කැමති ද්වේශයට” වෛරයට” පළිගැනීමට” දුශ්ශීලභාවයට නම් ඔබට පුළුවන් සතර අපාය නමැති කාමභවයේ අනතුර දැක ද්වේශය” දුශ්ශීලභාවය කෙරෙහි තෘෂ්ණාවන් සියුම්කොට ගන්න. ද්වේශයට හේතුවන මමත්වයේ දැඩිභාවය සියුම්කොටගන්න. මෙය සටහන් තබන භික්ෂුව නම් පෞද්ගලිකත්වය කයානුපස්සනාව නමැති බිම්බෝම්බයෙන් පුපුරුවා දමපු භික්ෂුවක්.

පංචඋපාදානස්කන්ධ ලෝකය සංස්කාර හේතුවෙන් වෙනස් වෙමින් නැවත නැවත සකස් වෙමින් වෙනස් වෙමින්ම යනවා. වස්සානය එනවා. වැස්ස වහිනවා. අපි වස් සමාදන් වෙනවා. ඒ වැස්සේ වේගයට වඩා වේගයෙන්” සංස්කාරයන් රැස් වෙනවා. අපි පටිච්චසමුප්පන්නව භවයෙන්” භවය පංචඋපාදානස්කන්ධ ලෝකයම තිරිහන් කොට ගන්නවා.

මේ සුන්දර වස්සානයේ වස් සමාදන්ව වැඩසිටින” ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්” වස්සානය උපයෝගි කොටගෙන” සුන්දර පිනෙන් බරවූ ආයුෂ” වර්ණය” සැපය” බලය” තම ජීවිතවලට මුහුකොට ගන්නා ගිහි පිංවතුන්ලාටත්” භික්ෂුව බොහෝම ගෞරවයෙන් දැනුම් දෙනවා පිංවත් ඔබ මොනම හේතුවක් නිසාවත් අතීතය අමතක කරන්න එපාය කියලා.

පිංවත් ඔබ අතීතය අමතක කළොත් වර්තමානයේදී ඔබ අනිවාර්යයෙන්ම රැවටීමට ලක් වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව කවදාකවත් අතීතය අමතක කරන්නේ නැහැ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබට අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීමේ භාවනාව දේශනාකොට තිබෙන්නේ වර්තමාන සහ අනාගත පංචඋපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය මතුකොට දැකීමට නම් අනිවාර්යයෙන්ම අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම අත්‍යවශ්‍ය නිසාමය.

මේ සුන්දර වස්සානය භික්ෂුව අර්ථවත් කොට ගන්නේ අතීත පංචඋපාදානස්කන්ධ භාවනාව සිහිපත් කොට ගනිමින්මය. අතීත සංසාරයේ මම පටිච්චසමුප්පන්නව පැවිදි උපසම්පදාවන් ලබලා” වස් කාලය” වස් ශීලය” කොතෙක් නම් විහිළුවක් කොට ගන්නට ඇති ද”

භික්ෂූන් වන අපගේ සුපටිපන්න ගුණයන්ගේ උජුපටිපන්න” ගුණයන්ගේ පෝෂණය උදෙසාම බුදුරජාණන් වහන්සේ පැනවූ වස් ශීලයන් අගෞරවයෙන්” අශ‍්‍රද්ධාවෙන් දුර්වලකොට ගෙන අපි අකුසල් කඳු රැස්කොට ගන්නට ඇති ද”

ඇසළ මාසයේ වැසි නැති ඉඩෝරයෙ වැසි නැති වස්සානයක් කුමකටද කියලා මොන තරම් අධර්මයේ දෘෂ්ටීන්ට යටවී” අකුසල් කඳු රැස්කොට ගන්නට ඇති ද” මේ සියල්ල හේතුවෙන් මොන තරම් නම් සම්මා සම්බුද්ධ ශාසන අපි අහිමි කොට ගන්නට ඇති ද”

ඒ අතීත පංචඋපාදානස්කන්ධයේ අසුන්දර මතකයන්” වර්තමානයේ සුන්දර විදර්ශනාත්මක ධර්මයේ කැඩපතක් බවට භික්ෂුව පත්කොට ගන්නේ අතීත පංචඋපාදානස්කන්ධය නැවත නැවත මතුකොට දැකීමෙන්මය.

පටිච්චසමුප්පන්නව භික්ෂුව රැස්කොට ගත් සංස්කාර හේතුවෙන්ම වර්තමානයේ භික්ෂුවට තවත් සුන්දර වස්සානයක අයිිතිය ලබාදීලා තිබෙනවා. එම අයිතිය” උපයෝගිකොට ගෙන අතීතය අමතක කොට” වර්තමානයේ ආශ්වාදයට බැඳී ගියහොත් අපි අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකයේ සිරකරුවන් බවටමයි” පත් වෙන්නේ.

ඇත්ත ඇති සැටියෙන් දකින්නට නම් සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. සම්මා සමාධිමත් සිතක් කියන්නේ ආර්ය අෂ්ටාගිංක මාර්ගයේ මාර්ග අංග හතකින් පෝෂණය වූ සිතක්. මේ සුන්දර සිත සකස්කොට ගැනීමට උපකාරක ධර්මයන් සකස්කොට දෙන්නේ සම්මා සතියය.

සම්මා සතිය ඇතිකොට ගත් පිංවතා පංච නීවරණයන්ගේ සහ සප්තබොජ්ඣංගයන්ගේ අයහපත සහ යහපත ගැන තමා තුළින්ම ස්වයං විශ්වාසයක් ඇතිකොට ගත් පිංවතෙක්.

සමාජය තුළ ජීවත්වන බහුතරයක් පිංවතුන්ලා කාමච්ඡුන්ද” ව්‍යාපාද” ථීනමිද්ධ” උද්ධච්ච කුක්කුච්ච” විචිකිච්චා යන පංචනීවරණ ධර්මයන්ට හරිම පි‍්‍රයය. පංචනීවරණ ධර්මයන් කැමැත්තෙන්ම මගේ කොටගෙන ජීවත් වෙනවා. පංච නීවරණයන් කෙරෙහි සක්කාය දිට්ඨිය ඇතිකොට ගන්නවා. පංචනීවරණ ධර්මයෝ සක්කාය දිට්ඨිය විසිනුත්” සක්කාය දිට්ඨිය පංචනීවරණයන් විසිනුත් එකිනෙකාට බොහෝම සහෝදරත්වයෙන් පෝෂණය කොට ගන්නවා.

පිංවත් මවක්” භික්ෂුවට ප‍්‍රකාශ කරනවා” ස්වාමීන් වහන්ස” මගේ දරුවන්ගේ සහ ස්වාමිපුරුෂයාගෙන් තොර ලෝකයක් මට නැහැයි කියලා. එම පිංවත් කාන්තාව තම පවුල නමැති ලෝකයේ රැජන වෙලයි ජීවත් වෙන්නේ. ඵස්සය හේතුවෙන් සකස් වෙන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ඇයගේ රජ කිරුළ තව තවත් ශක්තිමත් කොට දෙනවා.

නිරෝධය කළ යුතු වූ ධර්මයක්” රාජ්‍යයක් කොට ගැනීමේදී ඇයගේ මුවින් පිට වන සෑම වචනයක්ම” තෘෂ්ණාව සංවර්ධනය කරන රාජාසන කතාවන්මය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා” සතර මහා ධාතුවෙන් සැදුණු මේ තුඹස ඒ කියන්නේ පිංවත් ඔබගේ ජීවිතය” රාති‍්‍රයට දුම් දමනවා. දහවලට මේ තුඹස ගිනි ගන්නවාය කියලා.

අපේ රටේ විශේෂයෙන්ම කාන්තා පක්ෂය රාති‍්‍ර නින්දට නිදි යහනට නඟින්නේ කුස්සියේ ලිප ගිනි නිවා දමා වුවත් තම පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇවිලෙන ගිනි අඟුරු නම් නිවා දමාගෙන නොවේ. සම්මා සතිය දුර්වල සිතක” පංචඋපාදානස්කන්ධ ගිනි රස්නය නම් නිවෙන්නේ නැහැ.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles