Divaina - සෑම තත්පර 40කට වරක් සියදිවි නසා ගැනීමක්...ඉන්න පුළුවන්කම තියෙද්දි මැරෙන්නෙ මොකටද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 රුවන් ජයවර්ධන
 
ලෝක ජනගහන වාර්තාවලට අනුව ලොව කුමන හෝ තැනක තත්පර 40කට වරක් සියදිවි නසා ගැනීම් හේතුවෙන් එක් පුද්ගලයෙක් මිය යන අතර ඒ අනුව ලෝක ජනගහනයෙන් ලක්‍ෂයකට 16 දෙනෙක් සියදිවි නසා ගැනීම හේතුවෙන් මරණයට පත්වන බව ගණන් බලා ඇත. එම සංඛ්‍යා ලේඛනවලට අනුව ශ‍්‍රී ලංකාව සියදිවි නසාගැනීම අතින් පසුවන්නේ 15වන ස්ථානයේය. ඒ අනුව ඉකුත් වර්ෂය තුළ පමණක් මෙරටින් සියදිවි නසා
 ගැනීම් 3281ක් වාර්තා වන අතර ඒ අනුව ඉකුත් වර්ෂයේ පමණක් සියදිවි නසා ගැනීම හේතුවෙන් දිනක් තුළ මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව අටදෙනෙක්ය. 2017 වර්ෂයේ පුද්ගලයන් 3263ක්ද 2016 වර්ෂයේ පුද්ගලයන් 3025ක්ද සියදිවි නසා ගැනීම හේතුවෙන් මරණයට පත් වූ අතර ඊට අමතරව සියදිවි නසා ගැනීමට තැත් කරන පිරිස සියදිවි නසා ගත් පිරිස මෙන් විසිගුණයක් දක්වා ඉහළ අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන ආදියෙන් තහවුරු වී ඇත. ඒ හරහා පැහැදිලි වෙමින් පවතින්නේ රටක් ලෙස අප මේ මොහොතේ අත්විඳිමින් පවතින කටුක මුත් ඇත්ත යථාර්ථයක්ය.
 
 ලබන 10 වැනිදාට එළැඹීමට නියමිත ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය අපට පිළිගැනීමට සිදුවන්නේ ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන ආදියෙන් තහවුරු කර තිබෙන අවිනිශ්චිත පිටපිටාවක් තුළය. ඉකුත් දිනක ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සියදිවි නසා ගැනීම අවම කිරීම පිණිස ශ‍්‍රී ලංකා මනෝ විද්‍යා ආයතනය විසින් මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් සංවිධානය කර තිබූ අතර එහිදී කිසියම් පුද්ගලයෙක් මානසික පීඩාවට පත්ව සියදිවි හානිකර ගැනීමේ මට්ටමකට පත්ව සිටීනම් ඉන් අත්මිදීම පිණිස ඔහුට හෝ ඇයට ශ‍්‍රී ලංකා මනෝවිද්‍යා සංගමයේ උපදේශන සේවාවන් ලබාදීම, ඒ සඳහා කඩිනමින් යොමුවිය හැකි දුරකථන අංකයක් ජනගත කිරීම ආදිය සිදුවී ඇති අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම පිළිබඳව කාර්යසාධන බළකායේ සභාපති මහාචාර්ය සමුද්‍රා කත‍්‍රිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කර සිටියේ රටේ ඕනෑම ප‍්‍රදේශයක සිටින පුද්ගලයකුට මේ හා සම්බන්ධ විය හැකි බවත් ඒ සඳහා භාෂා ත‍්‍රිත්වයෙන්ම එම පහසුකම් ලබාදීමට දැනටමත් කටයුතු කර ඇති බවත්ය.
 
 සියදිවි නසාගැනීම් අවම කිරීම පිණිස යම් ගුණාත්මක තලයක් දක්වා රාජ්‍ය අංශය විසින් කටයුතු කිරීමට මැදිහත්වීම පිළිබඳවත් ඒ හරහා ළ`ගාවිය හැකි සාර්ථක කඩඉම් කවරේද යන්න පිළිබඳවත් අප විසින් මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතාගෙන් විමසීමක් කරන ලදී.
 
 ලංකාවේ ජනගහනය ගත්තොත් ඒ අතරින් සැලකිය යුතු පිරිසක් යම් යම් මානසික රෝග, මානසික ව්‍යාධීන් ආදියෙන් පෙළෙනව. නමුත් ඒ තත්ත්වයන් අවම කිරීම පිණිස රාජ්‍ය මැදිහත්වීමේ අඩුවක් පවතිනව. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලය තුළදී ඒ සම්බන්ධ සාර්ථක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිය දිවි නසා ගැනීම අවම කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ පළමු තැනට ආව. ඒක සුවිශේෂී තත්ත්වයක්. නමුත් ඉන් පස්සෙ කිසිම රාජ්‍ය නායකයෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. ඊට අමතරව මානසික රෝග සහ එවැනි රෝග වැලඳුන පුද්ගලයන් පිළිබඳ කතා කරනව නම් සියදිවි නසා ගැනීමේ මානසිකත්වය අතින් ඔවුන් අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නව. සියදිවි නසා ගැනීම පැත්තෙන් සියයට 50ත් 60ත් අතර පිරිසක් ඉන්නෙ මානසික රෝගී තත්ත්වයන් ගෙන් පසුවන්නන්.
 
 විශේෂයෙන්ම යම් මානසික රෝගී තත්ත්වයක පසුවන පුද්ගලයෙක් ඉන්නව නම් ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමු නොවන තත්ත්වයක් බහුලව දකින්නට පුළුවන්කමක් ලැබෙනව. ඔවුන් කරන්නෙ බලාගෙන ඉන්න එක පමණයි. ඒ සම්බන්ධව මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු නොයෙකුත් ආයතන, සංවිධාන විසින් කොපමණ දැනුවත් කිරීම් සිද්ධ කළත් ඒ ඒ රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන හු`ගදෙනෙක් තවමත් ප‍්‍රතිකාර සඳහා යොමුවීමේ අඩුවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් තවත් පිරිසක් ඉන්නව ඒ අය මානසික රෝගවලට බෙහෙත් ගන්න ඕන බව හෝ ඒ සඳහා ප‍්‍රතිකාර තිබෙනව කියලවත් දන්නෙ නැහැ. ඒක බරපතළ තත්ත්වයක්. මෙතනදී තවත් වැදගත් කාරණයක් පෙන්වාදිය යුතුයි. ඒ තමයි යම් මානසික රෝගී තත්ත්වයක් පවතීනම් ඒ සඳහා වෛද්‍ය නිර්දේශ අනුව දීර්ඝකාලයක් ප‍්‍රතිකාර ගත යුතුයි. නමුත් අපේ රට ඇතුළේ ඒ දෙය හරියට සිද්ධ වෙන්නෙ නැහැ. තවදුරටත් බෙහෙත් පාවිච්චි කරනවද නැද්ද කියල වෛද්‍යවරු නිගමනය කරන්න පෙර ඒ දෙය රෝගියා විසින්ම සිද්ධ කරනව. මානසික රෝග මර්දනය කිරීමට යෑමේදී ඒ කාරණයත් ප‍්‍රබල සාධකයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්. සිව්වන කාරණය ලෙස යමෙක් යම් මානසික රෝගයකින් පෙළෙනවනම් ඔහුව පරිපාලනය කළ යුතු වෙනව. ඔහු පිළිබඳව පසුවිපරම් සිදුකළ යුතු වෙනව. ඒ දෙයත් මේ වෙද්දි නිසියාකාරව සිදුවන අයුරක් දකින්නට ලැබෙන්නෙ නැහැ. ඔය ආදී තවත් කරුණු කාරණා කීපයක් හේතුවෙන් යම් මානසික රෝගයකින් හෝ මානසික ව්‍යාධීන් ආදියෙන් පසුවන පිරිස් සියදිවි නසා ගැනීමට යොමුවීමේ වැඩි නැඹුරුතාවක් පවතිනව.
 
 මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා පවසා සිටින ආකාරයට මානසික රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන පිරිස් සියදිවි නසා ගැනීම පිණිස යොමුවන ප‍්‍රධාන කාරණා අතරින් කීපයක් ඉහත සඳහන් පරිදිය.
 
 ඊට අමතරව සියදිවි නසා ගැනීමේ ප‍්‍රවනතාවය ඉහළ යෑමට වගකීම් විරහිත මාධ්‍ය භාවිතයද එක් සාධකයක්වී ඇති බව පවසන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී බලයට පත්වන රජයන් විසින් මේ සම්බන්ධව යම් අවධානයක් යොමු කළ යුතු බවක්ය.
 
 මේ සම්බන්ධ අප විසින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු කථිකාචාර්ය ඩබ්ලිව්. ඒ සරත්චන්ද්‍ර මහතාගෙන් විමසීමක් කරන ලදී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩබ්ලිව්. ඒ සරත්චන්ද්‍ර මහතා
 
 සියදිවි නසා ගැනීමක් කියන්නෙ අපරාධ විද්‍යාව පැත්තෙන් ගත්තොත් පුද්ගලාන්තර ගැටුමක්. නමුත් ප‍්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයකු වන එමිල් ඩුර්කයිම් පවසන ආකාරයට සියදිවි නසා ගැනීමක් කියන්නෙ සමාජයීය කාරණාවක්. ඔහු විසින් රචිත ීමසජසාැ කියන ග‍්‍රන්ථයේ ඒ බව විස්තර කරල තිබෙනව. පුද්ගලයෙක් ඒ වගේ තත්ත්වයකට පත්වීමේදී ඒ සඳහා බලපාන ප‍්‍රධාන කාරණා හරතක් ඔහු විසින් සඳහන් කරනව. ඒ කියන කාරුණු හතරෙ මූලික හරය තමයි සමාජ පරිහානිය. ඕනෑම රටක සියදිවි නසා ගැනීම් ඉහළ යනව නම් එතන සමාජ බිඳවැටීමක් සිද්ධ වෙලා තිබෙනව. ඒ කාරණා ගැන ගැඹුරින් හදාරල බලන කෙනෙකුට පෙනී යන කරුණක් තමයි සියදිවි නසා ගැනීම් කියන්නෙ පුද්ගලානුබද්ධ සිද්ධියක් නොවෙයි කියන එක. ඒ නිසා සමාජ විද්‍යාව පැත්තෙන් ගත්තොත් සියදිවි නසා ගැනීම් වැනි කාරණා අවම කරන්න නම් ඒ සඳහා මුලින්ම කළ යුතු වෙන්නෙ යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.
 
 ඒ අනුව බලන කල පෙනී යන්නේ රටක සියදිවි නසා ගැනීම් අවම කිරීම පිණිස පෞද්ගලික මෙන්ම සමාජයීය කරුණු කාරණා රැසක් බලපාන බවත් ඒ තත්ත්වයෙන් අත්මිදීම පිණිස දීර්ඝකාලීන සැලසුම් සකස්විය යුතු බවත්ය. ඒ සඳහා ගතහැකි සෑම පියවරක්ම අනුගමනය කිරීම රජයේ වගකීම වන අතර එය සියදිවි තොරකර ගන්නන්ගෙන් තොර රටක් නිර්මාණය පිණිස බෙහෙවින් උපකාරී වන ක‍්‍රියාවක්ය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles