Divaina - පිටු විසිඑක් දාහක වාර්තාවක් සිංගප්පූරුවට... අර්ජුන් ගෙන්වන මෙහෙයුමේ අලූත්ම තත්ත්වය මෙන්න...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



 pages2

ශ්‍යාම් නුවන් ගනේවත්ත


වත්මන් රජය පත් වී මාසයකුත් සති තුනක් ඉක්ම යන්නටත් පෙර සිදු වූ ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය මගඩිය ගැන මේ රජය යටතේ මෙතෙක් සිදු වී ඇති විමර්ශන කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. එසේම එම විමර්ශන සහ නීතිමය කටයුතු සිදුව ඇති ආකාරය ගැන ද මේ රටේ බහුතර මහජනයාට එතරම් විශ්වාසයක් නොමැති බව අපගේ විශ්වාසයයි. මේ මහා මූල්‍ය මගඩියට වගකිවයුත්තන් තමන්ගේම යහපාලන රජය රකිනවාටත් වඩා ආයාසයකින් රකින්නට මේ රජයේම අය උපරිම වර යොදමින් කටයතු කළ බව ද රහසක් නොවේ. පසුව ජනපති කොමිෂන් පත් කරමින් එයට එරෙහිව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන කටයතු කළත් මුලදී ඔහුත් ක‍්‍රියා කළේ බැඳුම්කර හොරු රකින්නටය. බැඳුම්කරය විභාග කළ ඩිව් ගුණසේකරගේ පළමු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අන් කිසිවෙක් නොව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාය. ඒවාද මේ රටේ මහජනයාට අමතක නැත. මේ තත්ත්වය නිසාත් මේ සඳහා චෝදනා එල්ල වූ අයගේ භාරයේම මහ බැංකුව තිබියදී විමර්ශන සිදු කිරීමට වූ නිසාත් මේ විමර්ශන නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබුණු බවද අපට සිතා ගැනීමට අපහසුය. විමර්ශන කටයුතු සඳහා මහ බැංකුවේ ලේඛන ගැනීමේදී මහා බැංකුව පැත්තෙන් ද බාධා එල්ල විය. එසේම මේ සඳහා චෝදනා එල්ල වූ ඇතැම් බලවත් ඇමැතිවරු ද රජයේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරමින් එම පසුගිය විමර්ශන කාලයේ සිටි බව රහසක් නොවේ. තම රජයේම සිදු වූ මේ මගඩිය ගැන විමර්ශන කිරීමට මේ රජය විසින්ම ජනපති කොමිසමක් පත් කිරීම ඉතා හොඳ දෙයක් වුවත් (ඇතැම් විට මහින්ද රාජපක්ෂ රජයක් යටතේ එවැන්නක් සිදු වනු ඇතිද යන්නත් සැක සහිතය) එමගින් ද පූර්ණ විමර්ශනයක් සිදු වූ බවක් නොපෙනිණි. මේ සිද්ධියට සම්බන්ධ සහ එහි ප‍්‍රතිලාභ ලැබූ තවත් පිරිස් හෙළිදරව් නොවී තවමත් යහතින් සිටින බවද මේ ඇතැමුන් මහ බැංකුවේ නිලධාරීන් බවද ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එසේ නම් මේ බැඳුම්කර මගඩිය ගැන විශ්වාසදායි පූර්ණ විමර්ශනයක් සිදු කිරීම අනාගත රජයක ප‍්‍රමුඛතම වගකීමකි. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැනද එවැනි පුළුල් විමර්ශනයක් අවශ්‍යමය. මේ පසුබිම තුළ බැඳුම්කර මගඩිය ගැන අනාගත රජයක වගකීම සහ අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වත්මන් උත්සාහය ගැන මේ ලිපියෙන් අපි සාකච්ජා කරමු

pagesශ‍්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය මාධ්‍ය මගින් මුල සිට දිගින් දිගටම අනාවරණය වෙද්දී මේ රජය වෙත ජනතා විරෝධය නැගෙන්නට විය. මේ රජයේ සිටින බැඳුම්කර මංකොල්ලයට සෘජුව සහ වක‍්‍රව සම්බන්ධ දේශපාලනඥයන් සහ නිලධාරීන් හිතාමතාම එම වංචාව වසන් කරන්නට ද විය. කිසිදු වංචාවක් සිදුව නැති බවට මාධ්‍ය හමුවේ කියන්නට විය. මහ බැංකුවේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් මහ බැංකු මාධ්‍ය හමුවේ කළේද මේ මගඩිය වසන් කිරීම සහ ඊට සහාය වීමයි. එම ඇතැමුන් දැන් විශ‍්‍රාම ගොස් සිටියත් තවත් ඇතැමුන් මහ බැංකුවේ ඉතා ඉහළ තනතුරු හොබවමින් තවමත් සිටින බව මහ බැංකුවේම ආරංචිමාර්ගවලින් දැන ගන්නට ඇත. මහ බැංකුවේ අයද ඇතුළුව මේ බොහෝ දෙනෙක් මේ මහා මගඩිය වසන් කිරීමට විශාල ලෙස උත්සාහ කළත් මාධ්‍යයට පින් සිදු වන්නට බොහෝ තොරතුරු එළියට ආවේය. පසුව පත් කළ බැඳුම්කර ජනාධිපති කොමිසම නිසා ද තවත් තොරතුරු රැසක් හෙළිදරව් විය. මේ කොමිසම මාධ්‍ය මගින් දිනපතා වාර්තා කළ නිසා එම කුප‍්‍රකට මගඩියේ බොහෝ තොරතුරු සමාජගත විය. ඒ නිසා මේ මගඩිය තවදුරටත් සැඟවිය නොහැකි මහජනයාට හොඳින් තහවුරු වූ එකක් වූ බවද කිව යුතුය. මේ නිසා මහජන අපේක්ෂා ඒ ආකාරයෙන්ම එම කොමිසමෙන් ඉටු වූයේ නැති වුවත් ඉන් සිදු වූ මෙහෙය අති විශාලය. එහි වැඩිම ගෞරවය හිමි විය යුත්තේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලයට සහ එම සාක්ෂි දිනපතා ජනගත කළ මාධ්‍යවේදීන්ටය. එහෙත් ඇත්ත කතාව නම් මේ මගඩියට අදාළ සම්පූර්ණ සත්‍ය තවමත් හෙළිදරව් වී නොමැති බවයි. ඒ නිසා අනාගත රජයක් යටතේදී හෝ මේ ගැන තවදුරටත් පුළුල් ලෙස විමර්ශන සිදු විය යුතු බව අපේ අදහසයි. ඒ අනුව මෙහි තවදුරටත් සැඟවී ඇති සත්‍ය හෙළිදරව් කරගෙන වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුව තිබේ. මහජනයාගෙන් කොල්ල කන ලද මුදල් නැවත ඔවුන්ගෙන් අය කර ගත යුතුව තිබේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා සිංගප්පූරු රාජ්‍යය වෙත යැවීමට අවශ්‍ය පිටු 21,000 කට අධික ලේඛන සහිත උදර්පන ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් පසුගිය සැප්තැම්බර් 02 දා පස්වරුවේ භාරදී ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. ඒ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යට අනාවරණය කර තිබුණි. එකී උදර්පන ඉල්ලීම් ගොනුවකට ඇතුළත් පිටු 21,000 කට සෑම ලේඛනයක්ම එකින් එක ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් සහතික කිරීමෙන් පසු වෙන් වෙන්ව ඉල්ලීම් ගොනු එලෙස එකී අමාත්‍යාංශය වෙත භාරදීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබාදුන් බව නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යට පවසා තිබුණි. උදර්පන නීතිය අනුව යම් රටක රැඳී සිටින හෝ පදිංචිව සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ගෙන්වා ගැනීමට පෙර කොන්දේසි කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එකී කොන්දේසි සපුරාලීමෙන් පසුව එම ඉල්ලීම එම රටින් කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය මගින් බවත් රජයේ අධිනීතිඥවරිය කරුණු පැහැදිලි කරමින් මාධ්‍යට පවසා තිබිණි.

නීතිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ජුනි 28 වැනිදා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව එකී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීම අනුව එකී උදර්පන ඉල්ලීම කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇතැයි ඇය ප‍්‍රකාශ කර තිබිණි. එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට පෙර කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය හා ශ‍්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගත් රතු නිවේදනය ද එකී ලේඛන අතර ඇතැයි පෙන්වා දී සිටි ඇය, එකී සෑම ලේඛනයක්ම නිසි අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවට යැවීමට භාරදී ඇති බවද ඒවා එරටට භාරදීමෙන් පසුව වසර ගණනාවක් නීතියෙන් වසන් වී සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා කඩිනමින් ශ‍්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට පැමිණවීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණි. මේ අනුව අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කටයුතු ප‍්‍රමාද වී හෝ දැන් සිදුව තිබෙන බව පෙනේ. මේ සඳහා පසුගිය කාලයේදී එම දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද මහජනයා තුළ බොහෝ සැක සංකා තිබුණි. එහෙත් බැඳුම්කර කොමිසමේ රජයේ නීතිඥ මණ්ඩලයේ නායකත්වය දුන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මෙරට නීතිපතිවරයා වීමෙන් පසුව මේ කටයුතු කඩිනම් වී ඇති බවක් පෙනේ. එදා ඔහු බැඳුම්කර කොමිසම හමුවේද ප‍්‍රකාශ කළේ මේ සඳහා මහජනයාට යුක්තිය ඉටු කර දීමට කටයුතු කරන බවයි. එදා ඔහු නීතිපතිවරයා නොවේ. එහෙත් අද ඔහු රටේ නීතිපතිවරයාය.මේ නිසා මේ ක‍්‍රියාවලිය දෙස මහජනයා දැන් වැඩි අපේක්ෂාවකින් බලා සිටින බව ද කිව යුතුය.

මේ අතර තවත් පුවතකින් වාර්තා වූයේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීම පිළිබඳ සලකා බැලීමේ හැකියාව පවතින බව සිංගප්පූරු රජය පවසා ඇති බවයි. මේ ගැන එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත්තේ නියමිත ලිපි ලේඛන ලැබීමෙන් පසු පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳව සිංගප්පූරු නීතියට අනුකූලව කටයුතු කරන බවයි. අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීමට අදාළ ලියකියවිලි ලබා දෙන ලෙස මේ වසරේ ජනවාරි මස 18 වැනිදා සිට ඉල්ලීම් සිදු කර තිබුණ ද ඒවා
සිංගප්පූරු රජය වෙත මේ වන තෙක් ලැබී නොමැති බවට එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ද තහවුරු කර ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර දැන් එම නඩුව විභාග වෙමින් තිබේ. එහි පළමු විත්තිකරුවා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ය.

අර්ජුන මහේන්ද්‍රන් මේ නඩුවේ පළමු විත්තිකරු වුවත් අප නම් සිතන්නේ ඔහු මේ කුප‍්‍රකට බැඳුම්කර මගඩියේ අනුන් වෙනුවෙන් අණ ලබමින් කටයුතු කළ කිසියම් දේශපාලන ඉත්තෙක් බවය. ඒ නිසා මෙහි ඔහුට ඉහළින් සිටින අය ගැන රටම කතා කළත් ඔවුන් තවමත් නීතිමය ක‍්‍රියාවලියට හසුව නැත. එනම් ඔහුට උපදෙස් දුන් අය මෙන්ම ඔහු මේ තනතුරට පත් කළ මෙහි දේශපාලන මහමොළකරුවන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වනු ඇතිද යන කරුණයි. බරපතළම ප‍්‍රශ්නය එයයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය සැප්තැම්බර් 03 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සම්මේලනයේදී ඉතා බරපතළ ප‍්‍රකාශයක් කළේය. එනම් ඔහු එහිදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලූ කඩදාසි සකස් කර අවසන් බවත් එසේම මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ප‍්‍රකාශ කළේය. මෙය ඉතා බරපතළ ප‍්‍රකාශයකි. අර්ජුන මහේන්ද්‍රන් කෙසේ වෙතත් මේ ගැන යුක්තිය අපේක්ෂා කරන මහජනයාටත් ප‍්‍රශ්නය තිබුණේ අර්ජුන මහේන්ද්‍රන්ට ඉහළින් සිටින අයට නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැනයි. දැන් ජනාධිපති කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කුඩුවට නගින්නට සිදු වන බවයි.වෙනත් රටවල නම් දේශපාලනඥයන් හිරේ සිර ගතවන අවස්ථා ඕනෑ තරම් අප අසා ඇත. එහෙත් අපේ රටේ එසේ සිදු නොවන තරම්ය. කෙසේ හෝ මේ මගඩියට වගකිවයුතු අර්ජුන මහේන්ද්‍රන්ටත් ඉහළින් සිටින ජනපති කියන එම ලොකු මහත්වරුන්ටත් නීතිය හරි හැටි ක‍්‍රියාත්මක වන්නේ නම් එය ඇත්තවශයෙන්ම මේ ගැන යුක්තිය පතන බහුතර මහජන අපේක්ෂාවයි. එසේම ජනපතිවරයා තවත් බරපතළ කතාවක් කීවේය. එනම් තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදු කළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය බව සහ එහි වගඋත්තරකරුවන් සියලූ දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි. එසේ නම් මුලදී බැඳුම්කර හොරු රැකීම සම්බන්ධයෙන් මේ සඳහා වන කිසියම් වගකීමක් ජනපති මෛත‍්‍රීටත් තිබේ. කෙසේ හෝ මේ සියල්ල දේශපාලන පම්පෝරි නොවී ඇත්ත වශයෙන්ම ඉටු වන්නේ නම් එය මේ කුප‍්‍රකට මගඩිය ගැන මහජනයාට යුක්තිය ඉටුකර දීමකි. මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනපති ධූර කාලයේ අවසානයට ළඟා වී ඇත. දැන් ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයන්ද කරළියට පැමිණ ඇත. ඔවුන්ද ඉදිරි ජනපතිවරණ වේදිකාවේ කතා කරන ප‍්‍රධාන කරුණක් වනු ඇත්තේ බැඳුම්කර මගඩියයි. ඒ නිසා අනාගත රජයකට මේ සඳහා යුක්තිය ඉටු කර දීමට පැහැර හැරිය නොහැකි ඉහළම වගකීමක් තිබේ. ඊට ප‍්‍රථම ජනපති මෛත‍්‍රී කියන දේවල ඉටු වනු ඇතිද? එසේ නම් එය මේ ගැන යුක්තිය අපේක්ෂාවෙන් සිටින අති මහත් බහුතර මහජන අපේක්ෂා ඉටු කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අප නම් සිතන්නේ මේ ගැන පූර්ණ යුක්තිය ඉටු කිරීමට කාලය ප‍්‍රමාණවත් නොවනු ඇති බවයි. එහෙත් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට නම් මේ කාලය ප‍්‍රමාණවත් විය හැකිය.

ඇතැම් අය නම් කියන්නේ ජනාධිපති ලොකු ලොකු කතා කිව්වාට ඒවා ඉටු වන්නේ නැති බවය. එහෙත් ඔහුගේ බරපතළ ප‍්‍රකාශ අනුව ඉදිරි දිනවලදී මේ මගඩියේ වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා මීට වැඩි යමක් සිදු වීමට ඉඩ තිබෙන බවක් අපට හැෙඟයි. ජනාධිපතිවරණයද ළං වෙමින් තිබෙන නිසා දේශපාලන උණුසුම ද ඉහළ යමින් තිබේ. ඒ අනුව යළිත් බැඳුම්කර මගඩිය සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ කතාබහ කරළියට පැමිණ තිබේ. එහෙත් ජනයාට අවශ්‍ය කරන්නේ බැඳුම්කර මගඩියෙන් දේශපාලන වාසි ගෙන ආණ්ඩුව පෙරළීම පමණක් නොවේ. මේ ගැන අනාගත රජයක් විසින් නිසි වගකීම ඉටු කරනු දැකීමට ඔවුහු කැමැත්තෙන් සිටිති. ඒ අනුව මේ සිද්ධියෙන් හුදු දේශපාලන වාසි ගන්නවා වෙනුවට එමගින් රටට සිදු වූ පාඩුව අදාළ වගකිව යුත්තන්ගෙන් අය කරගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබා දෙනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එසේ නැතුව මෙය හුදු දේශපාලන වාසියට පමණක් යොදාගෙන මේ ආණ්ඩුව පෙරළා බලයට පත් වී මෙය අමතක කර දමන අනාගත පාලනයක් ජනයාට අවශ්‍ය නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම ඉදිරි ජනපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙන බව කියන එජාපයේ සජිත් පේ‍්‍රමදාසට ද සහ අනෙකුත් සියලූම ජනපති අපේක්ෂකයන්ට අපි කියා සිටිමු. මේ ආණ්ඩුව පිරිහීමට බලපෑ සාධක බොහෝය. ඒ අතරින් බැඳුම්කර මගඩිය ප‍්‍රධානතම එකකි. ඒ නිසා මේ ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානියක් සිදු කළ බැඳුම්කර මගඩියෙන් දේශපාලන වාසි උපරිම ලෙස ලබාගෙන මේ ආණ්ඩුව පෙරළා බලයට පත් වීමෙන් පසු බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් මහජනයාට නීතියෙන් යුක්තිය ඉටු කර දීම අනාගත රජයේ පාලකයන් අමතක නොකළ යුතුය. එය අමතක කර දමන්නේ නම් බරපතළ වරදක් වනු ඇති බවට මහජනයා වෙනුවෙන් දැඩි ලෙස අපි ඔවුන්ට අනතුරු අඟවා සිටින්නෙමු.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles