Divaina - විල්පත්තුවේ අපේ උරුමය ඔසවාපුගල පන්සල

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


vilpattu
 

පුරාවිද්‍යා චක‍්‍රවර්තී
එල්ලාවල මේධානන්‍ද නාහිමි


විල්පත්තු අභයභූමියට අයත් ප‍්‍රදේශයට වන හානියත් එහි ඇති පුරාවස්තුවලට වන විනාශයත් පිළිබඳව දල සටහනක් පසු ගිය ලිපියෙන් ඉදිරිපත් කරන ලදී. මේ රටේ වෙළෙඳාම පිණිස පැමිණි මුසල්මානුවන් අපේ ජාතික උරුමය වනසන විට අපට කොන්දක් නැතිකමේ පාඩුව හොඳටම දැනේ. පුරාතන බෙදීම් අනුව පච්ýමපස්සයට අයත් වන විල්පත්තුව මේ රටේ සශ‍්‍රීකම ප‍්‍රදේශයකි. වංශකතා අනුව මේ ප‍්‍රදේශය තුළ පැරණි රජදරුවන් විසින් ගොඩනඟන ලද නොයෙක් අන්දමේ පූජනීය ස්ථාන දහස් ගණනක් ඇති බව පැහැදිලිවම කිව යුතුය. මේ ප‍්‍රදේශය විදේශීය වෙළෙඳ සබඳතා පැවැත්වූ හා ආක‍්‍රමණිකයන්ගේ ආක‍්‍රමණවලට බෙහෙවින් ගොදුරු වූ ප‍්‍රදේශයක් විය. පැරණි රජදරුවන් විසින් මේ හරහා ගලායන ඔයවල් පදනම් කරගෙන ප‍්‍රදේශය සමෘද්ධිමත් කිරීමට හේතුවන වාරිකර්මාන්තයන් බෙහෙවින් නිර්මාණය කර තිබිණි. දේශපාලන වශයෙන් ද වරින් වර මේ ප‍්‍රදේශය වැදගත් කරුණු අතින් ඉස්මතුව පෙනෙන අවස්ථා තිබේ. වර්තමානයේ පුත්තලම් දිශාවත් අනුරාධපුර උතුරු කොටසත් ඇතුළත්වන මුළු මහත් ප‍්‍රදේශය වැඩි වශයෙන් ඝන වනයෙන් වැසී ඇත්තේ දැන්ය. මේ වන ගල මැද ප‍්‍රමාණයට අනුරූප වන අයුරින් විල්පත්තුව කොටස පිහිටා ඇත්තේය. අනුරාධපුර යුගයේදී මහත් ජනාවාසයන්ගෙන් ගහණ වූ මෙහි වරින් වර එල්ල වූ සතුරු උවදුරු නිසාත් උණ වසංගතය ආදිය නිසාත් ජනශූන්‍යව ගොස් වන බිම් බවට පත්වූයේය.

ස්වාභාවික විවිධ දුෂ්කරතාවන් නිසා අද වුවත් මේ ප‍්‍රදේශවල ජනයා පදිංචි වීමට මැලිකමක් දක්වනු පෙනේ. එහෙත් අතීතයේදී මේ කොටසේ මුහුදු තීරයේ පැවති දියුණු සමහර විට විදේශයන්හි පවා පැතිර ගිය කීර්ති කඳම්බයක් ද ඇති ආරාම ගැන අභිලේඛන මඟින් මෙන්ම නොයෙක් බෞද්ධ පොත්පත්වලින් ද කරුණු එළිදරව් වේ. මගන නගරය වල්ලි විහාරය වැනි ස්ථාන නිදසුන් හැටියට දැක්විය හැකිය. යුරෝපා ජාතීන් මෙරට ආක‍්‍රමණය කිරීමෙන් පසු මුහුදුබඩ තීරය ඔවුනට අයත්වීම නිසා මේ ප‍්‍රදේශ වෙනත් සංස්කෘතික බලපෑම්වලට ද ගොදුරු වූයේය. කෝට්ටේ යුගයේ ලියන ලද කෝකිල සංදේශයේ සඳහන් වන පරිදි දෙවුන්දර සිට යාපනයට දිවෙන ප‍්‍රධාන මාවත මේ තීරය හරහා වැටී තිබිණි. පොන්පරප්පුවෙන් පිටත්වන කෝකිලයා මුවදොරගම, මුසලිය, මුවදොර මෝරවල හරහා මන්නාරමට යයි. පොන්පරප්පුව අද ද සුළු වෙනසකින් පොන්පරිප්පුව සේ ව්‍යවහාරයේ යෙදෙයි. ද්‍රවිඩයෙහි ‘පරිප්පු’ සද ‘යාය’ අර්ථයේ යෙදී ඇත.

මෙනමින් තෙල පෙදෙස අබෝගයෙන් යුක්තව කෝට්ටේ යුගයේදී පවතින්නට ඇතැයි සැලකීමට හැකිය. මුවදොරගම හා මොරවල නම් අද ව්‍යවහාරයෙන් ගිලිහී ඇති බව පෙනේ. ඒ නමුත් මේ ගම් ගැන කරන ලද වැනුම් අනුව එදා දියුණුව තිබූ බවට සැක නැත. සිල්වත්තුරෙහි හා අරිප්පු අතර අද ද ‘මූසලි’ නමින් හැඳින්වෙන වගුරු සහිත බිමක් තිබේ. එය කෝකිලයේ සඳහන් වන මුසලිය මුවදොර වීමට පුළුවන.

මේ ප‍්‍රදේශය තුළ විසිරී පවත්නා පුරාණ ශේෂ එහි අතීතය හැදෑරීමට මහත් පිටිවහලක් වේ. එහෙත් ඒවා ක‍්‍රමික
ගවේශනවලට ලක් වී නැත. තවත් අතෙකින් සලකන විට මෙහි වූ නෂ්ඨාවශේෂ බොහෝ සෙයින් පරසතුරන්ගේ උවදුරුවලට ගොදුරු වූයේය. මේ නිසා බොහෝ දුරට ඒවා විනාශ වී ගියේ වන ත‍්‍රිසිංහලයේ කඩඉම් පොතේ සඳහන් වන හැටියට පොන්පරිප්පුව අවට ප‍්‍රදේශයේ පමණක් පූජනීය නටබුන් ස්ථාන තිස් දෙකක් තිබූ බව පැහැදිලි වෙයි. මේවා කුමන අන්දමට පැවතී දැයි අද දැනගැනීමට හැකිකමක් නැත. පරසතුරු උවදුරින් විනාශ වී යන්නට ඇති බව මේ අනුව තීරණය කිරීමට පුළුවන. මානව විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන පරිදි මේ ප‍්‍රදේශයේ භූඛණනයන්ගෙන් ලත් ශේෂ ලෝක සංස්කෘතීන් සමඟ සැසඳීමට පුළුවන. බුදුසමය පැතිරීමෙන් පසු මේ ප‍්‍රදේශය තුළ ගොඩනැඟුණු පූජනීය ස්ථාන පසුව විනාශයට යාදී ශේෂ වූ එක් ස්ථානයක් ගැන සටහනක් මෙහි විස්තර වේ.

අද ඔච්චාප්පුකල්ලූ නමින් හැඳින්වෙන තෙල පුද තැන එදා කුමන නමකින් හැඳින්විණි දැයි කීමට සාධක නැතුවාම නොවේ. මෙහි ළඟාවීමට ස්ථිර වූ නියමිත මාර්ගයක් නැතත් කිහිප පැත්තකින්ම අපහසුවෙන් වුවත් යා හැකිය. පුත්තලමේ සිට පොන්පරිප්පුව පාරේ එය පසුකර උතුරු දිගට ගොස් මෝදරගම් ආරුවෙන් එගොඩ වී පලයික්කුල්ලූ නම් තැනින් හැරී වෙප්පාල් විල්ලූ පාරේ ද ටික දුරක් ගොස් මෝදරගම් ආරුවට සමාන්තරව තවත් සැතපුම් පහක් පමණ ගිනිකොන දිගට ගමන් කළ යුතුය. ඉන් පසු නැවත මෝදරගම් ආරුවෙන් මෙගොඩට සැතපුම් දෙකක් ගිය පසු ඔච්චාප්පුකල්ලූව අසලට පැමිණීමට පුළුවන. එසේම විලච්චිය පාරේ සූරිය දමන හරහා ගොස් මෝදරගම් ආරු හා එහි ශාඛාවකින් ද එගොඩ වී මේ ස්ථානයට පැමිණිය හැකිය. අනුරාධපුර අරිප්පු මහා මාර්ගයේ විසිඑක් වැනි සැතපුම් කණුව සමීපයෙන් සැතපුම් නවයක් පමණ බටහිරට ගමන් කිරීමෙන් ද මෙහි ළඟා විය හැකිය. එහෙත් මේ එකම මාර්ගයක්වත් සුරක්‍ෂිත ඒවා නොවේ. බිහිසුණු වන සතුන් ගහන වන මං වේ. අප මේ ස්ථානවලට ගියේ මුලින් සඳහන් කළ මාර්ගයෙනි. එය ද වංකගිරි හමන සිහිගන්වන්නක් මෙන්ම ත‍්‍රාසයෙන් හා භීතියෙන් පරිපූර්ණ
ගමනකි. අපේ මඟපෙන්නාගේ දක්‍ෂකම නිසා මේ ස්ථානය සොයාගත්තෙමු.

පිරිසිදු ජල බිඳක් නැති මිනිස් පියසක් නැති ඝන වන බිම්වල පැරණි මිනිස් පියසටහන් තවමත් ශේෂව ඇතැයි ස්ථානයට පා තබත්ම වැටහුණේය. ඔච්චාප්පුකල්ලූ යනු තරමක ගල් තලාවක් සහිත වූ මිටි සාමාන්‍ය කඳුගැටයකි. මෙහි බොහෝ නෂ්ඨාවශේෂ තිබී ඇතත් දැන් එතරම් දෙයක් දක්නට නැත. තැන තැන විසිරී ගිය පැරණි ගඩොලූ ශේෂ හැරුණු විට ගල්තලා මත ගොඩැලි වශයෙන් පවතින ස්ථාන තුනක් තිබේ. මේවා සමහර විට ස්තූපවලට අයත් වූ ඒවා වීමට පුළුවන. එහෙත් යූප හෝ ඡුත‍්‍ර ගල් වැනි ශේෂ අපට දක්නට නොලැබිණ.

පැලූ ගල් හා ගල්කණු රැසක් තැන තැන විසිරී තිබේ. ස්තූපවලට අයත් පැරණි ගඩොලූ ඒ ඒ තැන විනාශයට යමින් පවතී. මෙහි ඇති ගල්කුළු ඇසුරුකර ලෙන් ගණනාවක් දක්නට ලැබේ. මේවා කටාරම් කොට ඇත. සමහර ලෙන්වල වැදි චිත‍්‍ර සටහන් දක්නට ලැබිණි. මේවා මෑත යුගයට අයත් ඒවා විය යුතුය. මේ ලෙන් අතර කිහිපයකම බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් කොටන ලද ශිලා ලේඛන කිහිපයක් තිබේ. මේ ලිපි පිටපත්කර ඇත. ඒවා මෙසේය.

1. පරුමක තිමර පුතශ පරුමක දිග ගුතශ ලෙණෙ ශගශ. (ප‍්‍රමුඛ තිමරගේ පුතු වූ ප‍්‍රමුඛ දීඝගුප්තගේ ලෙණ සඟනටය)

2. පරුමක දිනශ ලෙණෙ ශගශ

(ප‍්‍රමුඛ දින්නගේ ලෙණ සඟනට පුදන ලදී)

3. තිශගුතශව පූශශච ලෙණෙ

(තිශ්‍යගුප්තගේ ද පුෂ්‍යගේ ද ලෙණයි)

4. උතිය ලෙණෙ

(උත්තියගේ ලෙණයි)

5. නගහ ලෙණෙ.

(නාගගේ ලෙණයි)

6. රජකණශ පුත රජ පුත කණශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ

(කෘෂ්ණ රජුගේ පුත‍්‍ර වූ රාජපුත‍්‍ර කෘෂ්ණගේ ලෙණ පැමිණි නොපැමිණි සිවුදිග සඟනටය)

මේ ලිපිවල සඳහන් වන තොරතුරු අනුව මේ ලෙන් දායකයන් විසින් රා: ව: පු: යුගයේදී මහා සංඝයාට පූජාකර තිබේ. තිමර දිගගුත දින තිශගුත, පුශි, උතිනග යන උදවිය රා: ව: පු: යුගයේ මේ ප‍්‍රදේශයේ සිටි වැදගත් බෞද්ධ නායකයෝ වෙති. මෙහි අන්තිම ලිපියේ එන තොරතුරු වංශකතාවලට සම්බන්ධ නැති රාජකීයයන් පිරිසක් ගැන අනාවරණය කරයි.

ක‍්‍රි. පූ. යුගයට අයත් මෙහි ලිපියක සඳහන් රජතුමා කණ (කෘෂ්ණ) හා ඔහුගේ පුත‍්‍ර කණ (කෘෂ්ණ) අප තුළ කුහුලක් ඇති කරයි. ඔහු සිවුදිගින් වඩින සංඝයාට ලෙණක් පූජා කර ඇත. රජකණශ යනු රාජකෘෂ්ණ වශයෙන් නමක් ලෙස ද ගත හැකිය. එහෙත් එබඳු නම් මේ යුගයේ සඳහන් නොවන බැවින් මෙය කෘෂ්ණ රජකු ලෙස ගත හැකිය. ක‍්‍රි. පූ. යුගයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල රාජකුමාරයන් ප‍්‍රාදේශීය පාලකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනෙන බැවින් කෘෂ්ණ ද මේ ප‍්‍රදේශය පාලනය කරන ලද අයකු බවට කල්පනා කළ හැකිය.

මේ හැර මෙහි තිබූ පර්වත ලිපියක් ගැන සී. ඩබ්. නිකලස් මහතා සඳහන් කර තිබේ. මේ ලිපිය බොහෝ අමාරුවෙන් අපි සොයා ගතිමු. එය වැසී තිබිණි.

1. සිද්ධම් නකමහරජහ පුත මලිතිසම.

2. හරජ මගන නකරියහි වවලවි මිතයහ චූදතක වවියිච.

3. ජබො අවියි ච මතක අවියිච තලවන අවියිච මෙ එතකවවියි.

4. බොජියපති කර කචය කුබ විහරකෙහි පච චෙතහි කෙල හූත මූලචත මුදවෙටි.

5. යජින පඩි සතරිය කොටු දිනි.

මේ ලිපිය අනුව ස්ථානයේ නම කුබ විහර (කුම්භ විහාර) නම් විය. එම ස්ථානයට පූජාව කරන ලද්දේ නකමහරජගේ පුත‍්‍රයා වූ මලිතිස මහරජ විසිනි. මෙහි සඳහන් නකමහරජ යනු මහාවංශයේ දැක්වෙන මහල්ලක නාග (130 - 136) රජතුමාය. එතුමා බොහෝ වෙහෙර විහාර කර ඇතත් මේ නමින් විහාරයක් කරන ලද බවක් සඳහන් වී නැත. මලිතිස මහරජ යනු එතුමාගේ පුත‍්‍රයා ද වූ මහාවංශයෙනි. කනිට්ඨතිස්ස (160 - 188) නමින් සඳහන් වන රජතුමාය. මේ රජු ද බොහෝ වෙහෙර විහාර කරවා ඇති නමුත් කුම්භ නමින් ආරාමයක් ඉදිකළ බවක් සඳහන් නොවේ. ඔහු සෙල්ලිපිවල සඳහන් වන්නේ මලිතිස නමිනි. දෙවැනි භාතියතිස්ස රජුගේ සහෝදරයා බැවින් මලූතිස (මල්ලිතිස්ස) වූ බව පෙනේ.

ලිපියේ එන හැටියට වවලවැව, ජබොවැව, මතකවැව, තලවන වැව යන වැව්වල බදු කුම්භ විහාරයෙහි ස්ථූප පසෙහි තෙල් තැවරීම පිණිස පූජාකර තිබේ.

මෙහි සඳහන් වන මගන නගරය ගැන මීට පෙර ලිපියේ ද සඳහන් කර ඇත. එය වරායක් ද විය. මෝදරගම් මුවදොර මුල්ලිකුලම්මලේ වටා මේ වරායත්, නගරයත් පිහිටා තිබූ බව පෙනේ. එහි නටබුන් මුහුදට බිලි වී තිබේ. විදේශීය රටවල් සමඟ සම්බන්ධතා පැවැත් වූ වැදගත් වරායක් වන මගන නිසා මේ ප‍්‍රදේශයේ ඓතිහාසික අගය මනාව පැහැදිලි වෙයි. කුම්භ විහාරය හා ස්ථානයට පූජා කරන ලද වැව් මේ ආසන්නයේ තිබේ.

ලිපියෙහි දැක්වෙන ඉතා වැදගත් කරුණක් නම් කුම්භ විහාරයේ ස්තූප පහක් තිබූ බවත් ඒවායේ තෙල් ආලේප කළ බවත් සඳහන් වීමයි. ස්තූප පහක් කරවා තිබීමෙන් පෙනී යන්නේ මේ ආරාමය, ප‍්‍රදේශයේ තිබූ දියුණු ප‍්‍රකට මහා විහාරයක් බවයි. දැනට ද ගල්තලාවේ තැන තැන ඇති ගරාවැටුණු ගඩොලූ ගොඩවල් මේවායේ ශේෂ විය යුතුය. සතුරන් විසින් හා සොරුන් විසින් වනසන ලද පුදබිමේ ඇත්තේ කැබැලි ගොඩක් පමණි. මෙහි ඇති ගල්ලෙන් අතර විශ්මය එලවන ගල්ලෙණක් තිබේ. එය ඔච්චාප්පුකල්ලූ (ඔසවාපුගල) නම ඇතිවීමට ද හේතු වී යැයි සිතේ. මෙය ගලක් ඔසවා කුඩා ගලක ආධාරයෙන් ලෙණක් ලෙස රඳවා තිබේ. බිමට සිටි කොටස ඉතා ස්වල්පයක් වන අතර නයිපෙණයක සේ උඩකොටස විශාල ලෙස එසවී ඇත. මෑතදී ඒ අසල තිබූ ගල්කණුවක් ලෙණ යටින් ගලට මුක්කුවක් සේ තබා ඇත. ලෙණ කටාරම් කොටා ඇති බැවින් එහි පෙර වාසයක් තිබූ බව පැහැදිලිය. කෙසේ වෙතත් ලෙණ තුළ රැඳී සිටීමට බියක් ඇතිවේ.

මේ ප‍්‍රදේශයේ භූගතව තැන තැන දක්නට ලැබෙන නටබුන් ගවේශනය කර නැති නිසා මේ ප‍්‍රදේශයේ ඉතිහාසය තවම ප‍්‍රකට වී නැත. කෙසේ හෝ වේවා මේ ශේෂ අතීතයේ ප‍්‍රදේශයේ පැවති සිංහල බෞද්ධ අයිතිය මැනවින් අපට පිළිබිඹු කර පෙන්වයි. උතුරු තුඩුවේ සිට දකුණු තුඩුවට වැටී තිබුණු ප‍්‍රධාන මාර්ගය අද නැත. කෝට්ටේ යුගයේ කෝකිලයා ගිය මෙඟ්ම යාපා පටුන ජයගත් සිංහල සේනාව ජයවර්ධනපුරය කරා පැමිණියා විය යුතුය. තිලතුරඟුන් අරා එන සපුමල් කුමරකු තබා අද මේ ප‍්‍රදේශයේ සිංහල මිනිසකු ආශාවට වත් දක්නට නැති තරම්ය.

ස්තූපවල තෙල් තැවරීම ගැන ද සඳහන් කළ යුතු වෙයි. පෙර ස්තූපවල මුදුන් කොටස (බුද්ධ වේදිකාව) ලී වලින් සකස් කර තිබිණි. ඒවායේ දිරායෑම වැළැක්වීම සඳහා වර්ෂයකට කිහිපවරක් තෙල් ගෑම කර ඇති බව පෙනේ. මේ බව තවත් සෙල්ලිපිවල සඳහන් වෙයි. කැලෑව කපා මුස්ලිම් ජනපද බිහිකරගෙන ඇත. මේ නීති විරෝධී ක‍්‍රියාව නැවැත්වූයේ නැත්නම් මේ සියලූ පුරාවස්තු වැඩි දිනක් යෑමට පෙර අවසන් වන බවයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles