Divaina - කුඩු රොෂාන්ගේ මැරයෝ මාදම්පිටිය සුසාන භූමිය ලේ විලක් කළේ මෙහෙමයි.... මට්ටක්කුලිය සමිට්පුර කිසිදා නොවිසඳෙන පාතාල ගැටුම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 pathala
හේමන්ත රන්දුණු
 
ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය පොදු සුසානභූමිය ජනාකීර්ණ වී තිබුණේය. අගෝස්තු මස 15 වැනිදා මධ්‍යහ්නය උදාවීමට තවත් ඉතිරිව තිබුණේ සුළු වේලාවකි.
 
 මට්ටක්කුලිය සමිට්පුරයේ පදිංචිකරුවකුගේ ආදාහන උත්සවයක් එදින සිදුකිරීමට නියමිතව තිබිණි. සමිට්පුරයේ පදිංචි ආනමාළු රංග සහ මොහොමඞ් ඉම්රාන් ඇතුළු පිරිසක් මේ ආදාහන උත්සවය වෙනුවෙන් මාදම්පිටිය සුසාන භූමිය සරසමින් සිටියහ.
 
 තවත් සුළු මොහොතකින් මාදම්පිටිය පොදු සුසාන භූමිය අමු සොහොනක් බවට පත්වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත.
 
 වේගයෙන් ආ ත‍්‍රිරෝද රථ කීපයක් එක් වරම මාදම්පිටිය පොදු සුසාන භූමිය ඉදිරිපිට නතර කළේය. ත‍්‍රිරෝද රථවල පාතාල මැරයන් විස්සකට ආසන්න පිරිසකි. ඔවුන් බොහෝ දෙනකු අත තියුණු ආයුධය. මේ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ මට්ටක්කුලිය පාතාලය මෙහෙය වූ කුඩු රොෂාන්ය.
 
 ත‍්‍රිරෝද රථවලින් බැසගත් පාතාල මැරයෝ මාදම්පිටිය සුසාන භූමිය වෙත දිව ආහ. සැරසිලි කරමින් සිටි පිරිස තුෂ්නිම්භූතව සිදුවන්නට යන්නේ කුමක් ද කියා බලා සිටියහ.
 
 සැරසිලි කරමින් සිටිය වුන් අතර සිටි ආනමාළු රංග සහ මොහොමඞ් ඉම්රාන් බියෙන් ගැහෙන්නට වූහ. සොහොන් බිමට පැමිණි මැරයෝ කවුදැයි ඔවුන් හඳුනාගෙන සිටියහ.
 
 එහෙත් මැරයන්ගෙන් බේරී පලායෑමට ඔවුන්ට කාල වේලාවක් නැත. සුසාන භූමියට කඩාවැදුණු පාතාල මැරයෝ ආනමාළු රංග සහ මොහොමඞ් ඉම්රාන් වටකරගෙන ඔවුන්ට ඉවක් බවක් නොමැතිව පහර දෙන්නට වූහ. දෙපැත්ත කැපෙන මුවහත් කඩු ඉහළ පහළ යන ආකාරය සුසාන භූමියේ සිටිය වුන් දුටුහ. මැරයන් රැළට මැදිවූ ආනමාළු රංග සහ මොහොමඞ් ඉම්රාන් කපාහෙළුෑ කෙසෙල් කඳන් මෙන් බිම ඇද වැටුණහ.
 
 ඔවුන්ගේ සිරුරු තියුණු කැපුම් තුවාල සහිත විය. මැරයන් පිරිස තම ඉලක්කය සපුරාගෙන නිරුපද්‍රිතව මාදම්පිටිය සුසාන භූමියෙන් පිට වූහ.
 
 ප‍්‍රහාරයට ලක්වූ ආනමාළු රංග සහ ඉම්රාන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කරන විටත් මියගොස් සිටියහ.
 
 වසර හත අටක් තිස්සේ ග‍්‍රෑන්ඞ්පාස් සමිට්පුරය ගිනියම් කළ කුඩු යුද්ධයට තවත් නර බිලි දෙකක් එකතු වූයේ ඒ ආකාරයටය.
 
 ග‍්‍රෑන්ඞ්පාස් මට්ටක්කුලිය සමිට්පුරය ඇතුළු ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගෙන සිය පාතාල ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩු රොෂාන් සහ චූටි උක්කුං අතර පැවතියේ මාරාන්තික යුද්ධයකි. මේ යුද්ධය ඇතිවන්නේ හෙරොයින් ජාවාරම් මුල්කරගෙනය. මේ කුඩු යුද්ධයට මැදිවූ චූටි උක්කුං මේ වන විටත් ජීවිතයෙන් සමුගෙන හමාරය.
 
 චූටි උක්කුං ඝාතනයට ලක්වන්නේ 2016 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනිදාය. චූටි උක්කුං ඇතුළු පස් දෙනෙක් සමිට්පුරයේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ කුඩු රොෂාන් ඇතුළු පාතාල කල්ලිය වෙතය. වසර 3 ක් තිස්සේ මේ නඩු විභාගය පැවැත්වූ අතර අවසානයේ කුඩු රොෂාන් ඇතුළු පාතාල මැරයන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරුණේය. ඒ මේ පංච පුද්ගල ඝාතනය ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැතිවීම නිසාය.
 
 චූටි උක්කුං ඇතුළු පස් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් නිදහස ලැබූ කුඩු රොෂාන් තම එදිරිවාදීන් සංහාරය කිරීම නැවතත් ආරම්භ කළේය. මාදම්පිටිය පොදු සුසාන භූමියේදී චූටි උක්කුංගේ ගෝල බාලයන් දෙදෙනකු ඝාතනය වන්නේ සංහාරයේ ප‍්‍රතිඵලයක් ලෙසය.
 
 මේ ලෙයට ලෙය පළිගැනීම ආරම්භ වන්නේ මීට වසර හය හතකට පෙර සිට ඇතිවූ කෝන්තරයක් මතය.
 
 කලක් චූටි උක්කුං සහ කුඩු රොෂාන් සමීප මිතුරන් වූහ. ඔවුන් සියලූ දෙනා පදිංචිව සිටියේ මට්ටක්කුලිය සමිට්පුරයේය. සමිට්පුරයේ හෙරොයින් ජාවාරම් කළේ මොවුන් දෙදෙනා එකටය. වසර කීපයක් තිස්සේ කිසිම ගැටුමක් නොමැතිව හෙරොයින් ජාවාරම කරගෙන ගියද පසු කලෙක මොවුන් අතර විවිධ ආරවුල් ඇතිවන්නට පටන් ගත්තේය.
 
 කුඩු රොෂාන්ගේ පියා සුමිත්ය. සුමිත් ද සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගියේ හෙරොයින් ජාවාරමය. තම පියාගේ අඩිපාරේ යමින් රොෂාන්ද හෙරොයින් ජාවාරමට අතගැසුවේය.
 
 පිය පුතු දෙපළම හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යද්දී චූටි උක්කුංගේ ව්‍යාපාරවලට මරු පහරක් එල්ල වන්නට පටන් ගත්තේය. චූටි උක්කුං කුඩු රොෂාන් සහ ඔහුගේ පියා කුඩු සුමිත් පරලොව යවා හෙරොයින් ජාවාරම සියතට ගැනීමට සැලසුම් කරන්නට පටන් ගත්තේය.
 
 ඒ වන විට චූටි උක්කුංට එවකට රජයේ ප‍්‍රබලම දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී තිබුණේය. ඒ රැකවරණය චූටි උක්කුංට ලැබෙන්නේ කොළඹ පාතාලයේ ප‍්‍රධානම කෙළිකාරයා ලෙස වැජඹෙමින් සිටි දෙමටගොඩ චමින්ද හරහාය.
 
 චූටි උක්කුං අලෙවි කළේ දෙමටගොඩ චමින්දගෙන් ලබාගත් හෙරොයින්ය. කුඩු රොෂාන් සහ ඔහුගේ පියා සුමිත් අලෙවි කළේ කොළඹ පාතාලයේ අනෙක් කෙළිකාරයා යැයි කියාගන්නා බ්ලූමැන්ඩල් සංඛ ලබාදෙන හෙරොයින්ය.
 
 බ්ලූමැන්ඩල් සංඛ සහ දෙමටගොඩ චමින්ද බද්ධ වෛරක්කාරයන්ය. මේ පාතාල මැරයන් දෙදෙනා අතර ඇවිලෙමින් තිබූ වෛරය ඔවුන්ගෙන් පහළ පාතාල මැරයන් අතරද මිනීමරා ගන්නා ගැටුම් තරමට උග‍්‍ර වෙමින් තිබුණේය.
 
 චූටි උක්කුං සහ කුඩු රොෂාන් අතර ගැටුම්වලට හේතුපාදක වන්නේ ද දෙමටගොඩ චමින්ද සහ බ්ලූමැන්ඩල් සංඛ අතර කාලයක පටන් ඇතිව තිබූ වෛරය පිරිමසා ගැනීමේ සටනය.
 
 2014 වර්ෂයේ ජූලි මස 13 වැනිදා රාත‍්‍රිය ගෙවීයමින් තිබුණේය. ඒ වන විට මුළු සමිට්පුරයම නින්දට ගොසින්ය. චූටි උක්කුංගේ පාතාල කල්ලියේ සාමාජිකයෝ කිහිප දෙනෙක් සමිට්පුරයේ එක්තරා ස්ථානයක නිදිවර්ජිතව බලා සිටියහ.
 
 මේ අතරතුර මට්ටක්කුලිය සමිට්පුරයේ මුඩුක්කු අතරින් මතුවූ පුද්ගලයන් දෙදෙනකු දැඩි විමසිල්ලෙන් යුතුව අවට නිරීක්‍ෂණය කරන්නට වූහ.
 
 අන්ධකාරය අතරින් මතුවූ දෙදෙනාගෙන් එකකු කුඩු රොෂාන්ය. අනෙකා ඔහුගේ පියාවන කුඩු සුමිත්ය. මේ පිය පුතු දෙපළ සමිට්පුරයේ එක්තරා ස්ථානයකට පැමිණ සිටියේ චූටි උක්කුංගේ ඉල්ලීමකට අනුවය.
 
 ‘බිස්නස් ගැන කතාකර ගන්න එන්න කිව්වට චූටි උක්කුං පේන මානෙක නැහැනෙ.’ සුමිත් තම පුත‍්‍රයා වන කුඩු රොෂාන්ගේ කනට කර කෙඳිරුවේය.
 
 මේ අතර සමිට්පුරයේ මුඩුක්කු අතරින් චූටි උක්කුං සහ උගේ සගයන් කීප දෙනෙක් මතුවූහ. ඔවුන් කුඩු රොෂාන් සහ සුමිත් ආසන්නයට ආහ.
 
 ‘සමිට්පුරයේ අපි දෙගොල්ලන්ටම එකට බිස්නස් කරන්න බැහැ. ඒ නිසා උඹලා වෙන අතක් බලාගනිල්ලා. එහෙම නොවුණොත් උඹලගේ සනුහරේම නැති කරලා දානවා. උඹලා දන්නවනේ අපිට තියෙන දේශපාලන හයිය. උඹලා නැති කරලා දාන එක අපට බොහොම සුළු වැඩක්’.
 
 චූටි උක්කුං කෝපයෙන් කෑගැසුවේය. සුමිත් මෙන්ම කුඩු රොෂාන්ද ඒ වන විට කෝපාවිශ්ඨව සිටියහ. එකට හෙරොයින් ව්‍යාපාරය කළ තම සගයා මේ ආකාරයට තමන්ට ව්‍යාපාරයෙන් ඉවත්වන ලෙස තර්ජනය කිරීම ගැන පියපුතු දෙපළට තිබුණේ පාලනය කරගත නොහැකි වූ කෝපයකි.
 
 ‘උඹ කවුද යකෝ අපිට ඕඩර්ස් දෙන්න. දැනගනින් මේක අපි උපන් ගම. අපට මේ ගමේ ඕන දෙයක් කරන්න පුළුවන්. උඹට බැහැ අපේ බිස්නස් නතර කරන්න. පුළුවන්නම් හැප්පිලා බලපං...’ කුඩු සුමිත් චූටි උක්කුංගේ තර්ජනයට නෙදෙවැනි ලෙස තර්ජනය කරමින්
 
 කෑගැසුවේය. එහෙත් සුමිත්ට වැඩි වේලාවක් ඒ ආකාරයට කෑගැසීමට ඉඩ ලැබුණේ නැත. ඝන අන්ධකාරය මැදින් මතුවූ චූටි උක්කුංගේ කල්ලියේ මැරයන් සුමිත්ට සහ ඔහුගේ පුත‍්‍රයා වන කුඩු රොෂාන්ට තියුණු ආයුධවලින් පහර දෙන්නට වූහ.
 
 ප‍්‍රහාරය එල්ල වුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය. සුමිත් සහ රොෂාන් තම ආරක්‍ෂාවට පොලූ කැබැල්ලක් හෝ ගෙනැවිත් තිබුණේ නැත. තියුණු ආයුධවලින් ලත් විශාල කැපුම් තුවාල සහිතව තම පියා බිම ඇදවැටෙන ආකාරය කුඩු රොෂාන් දුටුවේය.
 
 ‘පුතේ උඹ දුවලා බේරියන්, නැත්නම් මේ කාලකණ්ණි උඹවත් මරාලා දායි.’
 
 සුමිත් මරුවිකලෙන් මෙන් කෑගැසුවේය. ඒ වන විට රොෂාන්ගේ සිරුරේද ස්ථාන කීපයක දරුණු කැපුම් තුවාල සිදුව තිබුණේය. ජීවිතය බේරා ගැනීමට දිව යනවා හැරෙන්නට කළයුතු වෙනත් යමක් නොවීය. තම ආදරණීය පියා මැරයන් අතර අතහැර දමා රොෂාන් සමිට්පුරයේ මුඩුක්කු අතර සැ`ගවුණේය.
 
 මට්ටක්කුලිය සමිට්පුරය එකම ලේ ගංගාවක් බවට පත්කළ කුඩු යුද්ධය ආරම්භ වන්නේ එතැන් සිටය.
 
 චූටි උක්කුං සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන උක්කුං හැදී වැඩුණේ මට්ටක්කුලිය සමිට්පුරයේය. රොෂාන් හැදී වැඩුනේද මේ සමිට්පුරයේමය. චූටි උක්කුංලා රොෂාන්ලා කුඩා කාලය ගත කළේ එකටය. කෙළි සෙල්ලම් කළේ පාසල් ගියේ ඔවුන් එකටය.
 
 කරදඬු උස්මහත් වෙද්දී මොවුහු හෙරොයින් ජාවාරම්කරුවන් බවට පත්වූහ. පසු කලෙක මට්ටක්කුලිය සමිට්පුරයේ පාතාල කෙරුම්කාරයන් වූයේද චූටි උක්කුං සහ රොෂාන්ය.
 
 සමිට්පුරයේ හෙරොයින් ආධිපත්‍ය බෙදා ගැනීමට චූටි උක්කුං සහ රොෂාන් සටන් කරන්න පටන් ගත්හ. දෙමටගොඩ චමින්දගේ දේශපාලන හයිය අතට ගෙන සිටි චූටි උක්කුං තම ප‍්‍රතිවාදියා වූ කුඩු රොෂාන්ගේ පියා අමු අමුවේම ඝාතනය කළේ කොළඹ පාතාලයටම අභියෝග කරමින්ය.
 
 චූටි උක්කුං තම පියා ඝාතනය කළ අයුරු රොෂාන් සියැසින් දුටුවේය. තම පියා ඝාතනය කළ අයුරු සිහිවන මොහොතක් මොහොතක් පාසා රොෂාන්ගේ සිත වෛරයෙන් පිරීයන්නට විය.
 
 ‘මගේ රත්තරං තාත්තා අන්තිම මොහොතෙත් මට කිව්වා පුතේ උඹ බේරියන් කියලා. මං බලාගෙන ඉන්දෙද්දී උන් මගේ තාත්තා කෑලි කෑලිවලට කපලා මැරුවා. මේ පාපතරයන්ගෙන් පළිගන්නකල් මට නින්ද යන්නෙ නැහැ. මේ සේරම නැතිකරලා දාලා මම මගේ තාත්තට සාධාරණයක් ඉෂ්ඨ කරනවා.
 
 කුඩු රොෂාන් තම කල්ලියේ සගයන් සමග මේ ගැන නිතර නිතරම කියවන්නට වුණේය. ඒ වන විට කොළඹ පාතාලයේ අනෙක් කෙරුම්කාරයා වූ බ්ලූමැන්ඩල් සංඛගේ පූර්ණ සහාය කුඩු රොෂාන්වෙත ලැබී තිබුණේය.
 
 චූටි උක්කුං ජීවත් වුණේ තම මව සමගය. චූටි උක්කුංගේ මව කුමාරිය. ඇය වෘත්තීය ලෙස කළේද කුඩු ජාවාරමය. සමිට්පුරයේ කුඩු රැජින ලෙස හැඳින්වූයේද චූටි උක්කුංගේ මව වූ කුමාරිය.
 
 ‘මගේ තාත්තගේ හත් දවසෙ දානෙ ඉවර වෙන්න ඉස්සර චූටි උක්කුංගේ අම්මා කම්මුතු කරන්න ඕනෙ. අන්න එතකොට තමයි මගේ හිතට සැනසීමක් ලැබෙන්නෙ.’
 
 කුඩු රොෂාන් තම ගෝලබාලයන්ට කීවේය. ඒ වන විට කුඩු රොෂාන් සිටියේ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින්ය. කුඩු රොෂාන්ගේ නියෝග ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට උගේ ගෝලබාලයන් සැදී පැහැදී සිටියේය.
 
 ‘රොෂාන් අයියා උඹ කලබල වෙන්න එපා. අපි ඕනෙම දේකට ඉන්නවා. තාත්තගේ හත් දවසෙ දානෙ ඉවර වෙන්න ඉස්සර අපි උක්කුංගෙ අම්මා පරලොව යවනවා.’
 
 රොෂාන්ගේ ගෝල බාලයන් ජාතික රෝහලෙන් පිටවන්නේ චූටි උක්කුංගේ මව ඝාතනය කිරීමට පොරොන්දු වෙමින්ය. කුඩු රොෂාන්ගේ පියා සුමිත්ගේ හත් දවසේ දානමය පිංකමට දින දෙකකට උඩදී සමිට්පුරය නැවතත් ගිනිගත්තේය.
 
 කුඩු රොෂාන්ගේ ගෝලබාලයන් පිරිසක් චූටි උක්කුංගේ මව පදිංචි නිවසට කඩාවැදී ඇයගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණේ ලෙයට ලෙයින් පළිගනිමින් සිය වෛරය පිරිමසා ගනිමින්ය. චූටි උක්කුංගේ නිවස පිහිටා තිබුණේ කුඩු රොෂාන්ගේ නිවසට මීටර් 50 කටත් අඩු දුරකින්ය. ඒ නිසාම මේ පවුල් දෙක නිතර නිතර ගැටුම් ඇතිකර ගත්හ.
 
 රොෂාන්ගේ කල්ලියේ පාතාල මැරයන් තම මව ඝාතනය කළ පුවත ඇසීමෙන් චූටි උක්කුං මාරාවේෂ වුණේය. තම මව ඝාතනය කිරීම චූටි උක්කුංට දරාගත නොහැකි වේදනාවක් විය.
 
 ‘මම ඕකව කම්මුතු කරනවා. ඌ දන්නෙ නැහැ චූටි උක්කුං කියන්නෙ කවුද කියලා.’
 
 චූටි උක්කුං ජාතික රෝහලට කඩාපැන රොෂාන් මරා දමා තම වෛරය පිරිමසා ගැනීමට උත්සාහ කළද උගේ සගයෝ එය වැළැක්වූහ.
 
 ‘රොෂානයා ගමට ආවම අපි ඌට වැඩක් දෙමු. මේ වෙලාවෙ හොස්පිටල් එකට පැනලා මිනී මරන්න ගිහින් අපි අත පුච්ච ගන්න ඕනෙ නැහැනෙ.’
 
 තම ගෝලබාලයන්ගේ ආයාචනයන් නිසා චූටි උක්කුං කුඩු රොෂාන් ඝාතනය කිරීමට ජාතික රෝහලට ඇතුළුවීමට කළ උත්සාහය නතර කළේය. චූටි උක්කුංට අවශ්‍යව තිබුණේ කුඩු රොෂාන් පරලොව යවා සමිට්පුරයේ පාතාල බලය මෙන්ම හෙරොයින් ආධිපත්‍ය තමන් වෙත නතුකර ගැනීමය.
 
 තම දෑස් ඉදිරිපිටදී පියා මරා දැමීමෙන් ඇතිවූ කම්පනයෙන් කුඩු රොෂාන් හැම විටම පීඩා වින්දේය.
 
 ‘චූටි උක්කුවගේ සනුහරේම විනාශ කරන කල් මට නින්ද යන්නෙ නැහැ. රෝහලෙන් පිටවූ දා පටන් කුඩු රොෂාන් තම ජන්මාන්තර වෛරකාරයා පරලොව යැවීමට සැලසුම් සකස් කරන්නට වුණේය.
 
 එල්ලේ ක‍්‍රීඩාවට චූටි උක්කුං දැක්වූයේ මහත් ඇල්මකි. එල්ලේ තරග නැරඹීමට චූටි උක්කුං තම පාතාල කල්ලියේ සාමාජිකයන් සමග දුරබැහැර ප‍්‍රදේශවලට පවා ගියේ මේ ඇල්ම නිසාමය.
 
 2016 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනිදා සමිට්පුරයේ ක‍්‍රීඩාංගණයේ එල්ලේ තරගාවලියක් පැවතුණේය. එදින චූටි උක්කුංට කාර්යබහුල දිනයක් විය. ඔහු තම පාතාල කල්ලියේ සගයන් සමග උදේ වරුවේ සිට ?බෝවන තුරුම එල්ලේ තරග නරඹමින් විනෝද වුණේය.
 
 චූටි උක්කුං එල්ලේ තරග නරඹමින් සමිට්පුර ක‍්‍රීඩාංගණයේ සිිටින බව කුඩු රොෂාන්ගේ කන වැකුණේය. චූටි උක්කුං පරලොව යැවීමට සුදුසුම දිනය එදින බව තේරුම් ගත් කුඩු රොෂාන් තම පාතාල කල්ලියේ සාමාජිකයන් සමග එක්ව සැලසුමක් සකස් කළේය.
 
 ප‍්‍රහාරය සඳහා අවශ්‍ය ගිනි අවි කීපයක් කුඩු රොෂාන් ගෙන්වා ගන්නේ බ්ලූමැන්ඩල් සංඛගේද සහාය ලබාගෙනය. 23 වැනිදා රාත‍්‍රිය වන විට ප‍්‍රහාරයට සියල්ල සූදානම් කර තිබුණි. තමාව ඝාතනය කිරීමට කුඩු රොෂාන් සැලසුම් කරගෙන සිටින බව නොදත් චූටි උක්කුං තම කල්ලියේ ගෝලබාලයන්ද සමග සමිට්පුරයට ආවේය.
 
 කුඩු රොෂාන්ගේ නිවස අසලට එන හැම අවස්ථාවකදීම කුමක් හෝ අරියාදුවක් කිරීම චූටි උක්කුංගේ සිරිතක් විය. එදිනද පදමට මත්පැන් පානය කර සිටි චූටි උක්කුං කුඩු රොෂාන්ගේ නිවස අසලට පැමිණ මොකක් හෝ ආරවුලක් ඇතිකර ගන්නට උත්සාහ කළේය.
 
 එහෙත් එදින චූටි උක්කුංට වැරදිනිි. තම නිවස අසල සැ`ගවී සිටි කුඩු රොෂාන් ඇතුළු පාතාල මැරයන් චූටි උක්කුං ඇතුළු පාතාල සහචරයන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ. මේ ප‍්‍රහාරයෙන් සමිට්පුරය පමණක් නොව මුළු රටම හෙල්ලූණේය. චූටි උක්කුං ඇතුළු පාතාල සගයන් පස් දෙනකු එදින සමිට්පුරයේදී අවසන් ගමන් යන්නේ තමන් සිදුකළ මහා පාපකර්මවලට මෙලොවදීම දඬුවම් විඳිමින්ය.
 
 මේ පංච පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු පාතාල සගයන් 14 දෙනකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට පත්වුණේය.
 
 කුඩු රොෂාන් ඇතුළු පාතාල මැරයන් බන්ධනාගාරගත වුවද සමිට්පුරයට නිදහසක් ලැබුණේ නැත. කුඩු රොෂාන් වැලිකඩ බන්ධනාගාරයේ සිට සමිට්පුරයේ තම පාතාල කල්ලිය මෙහෙයුවේය. එමෙන්ම හෙරොයින් ජාවාරම ද ජයටම කරගෙන ගියේය.
 
 චූටි උක්කුංගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පාතාල කල්ලියේ සාමාජිකයන් සමූල ඝාතනය කිරීම කුඩු රොෂාන්ගේ එකම අරමුණ වී තිබුණේය. ඒ අනුව තම පියා ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගැනීමට කුඩු රොෂාන් චූටි උක්කුංගේ සනුහරේම විනාශ කිරීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය.
 
 චූටි උක්කුං පරලොව ගියද ඔහුගේ සොහොයුරන් වන ප‍්‍රියංකර සහ සඳරුවන් සමිට්පුරයේ ජීවත්ව සිටියහ. තම මව සහ සොහොයුරා ඝාතනය කළ රොෂාන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට මේ සොහොයුරෝද සැලසුම් කරන්නට වූහ.
 
 චූටි උක්කුංගේ බාල සොහොයුරා වන ප‍්‍රියංකර කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන්නේ මේ අතරතුරදීය. ප‍්‍රියංකර බන්ධනාගාරගත වූ පුවත ඇසීමෙන් පසු දැඩි ලෙස ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වූ රොෂාන් ඔහුගේ බිරිඳ මරා දැමීමට සැලසුමක් සකස් කළේය.
 
 තම ගෝලබාලයන් යොදවා පි‍්‍රයංකරගේ බිරිඳ ඝාතනය කිරීමට රොෂාන් උත්සාහ ගත්තද එය සාර්ථක වුණේ නැත.
 
 පළිගැනීම්වලින්, ගැටුම්වලින් මිනීමරා ගැනීම්වලින් සමිට්පුරයට නිදහසක් නැත. මේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ගැටුම් නිසා සමිට්පුරයේ ජනතාව ජීවත් වුණේ දැඩි භීතියකින් යුතුවය.
 
 මේ අතර චූටි උක්කුංගේ සොහොයුරකු වන චාමර සඳරුවන් කුඩු රොෂාන්ට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කරන්නට වුණේය. කුඩු රොෂාන්ගේ පවුලේ සාමාජිකයකු හෝ සමීපතමයකු ඝාතනය කර ඔහුට රිදවීමට චාමර සඳරුවන් සැලසුම් කළේය.
 
 ගල් සම්පත් කියන්නේ රොෂාන්ගේ ළ`ගම ගෝලයෙක්. රොෂාන්ගේ කුඩු බිස්නස් එක කරන්නෙ ගල් සම්පත්. රොෂාන්ට උණ ගැනෙන්න ගල් සම්පත්ට වැඩක් දෙමු.
 
 චාමර සඳරුවන් ඇතුළු පාතාල සගයන් ගල් සම්පත් පරලොව යවා කුඩු රොෂාන්ට රිදවීමට සැලසුම් කළේය.
 
 දිනක් ගල් සම්පත් සිය බිරිඳ සහ දරුවා සමග ත‍්‍රිරෝද රථයක යමින් සිටියදී චාමර සඳරුවන් සහ පාතාල මැරයකු යතුරුපැදියකින් ඔවුන් පසුපස පන්නාගෙන ආහ.
 
 මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී සිය බිරිඳ සහ පුංචි දරුවා බලා සිටියදීම ගල් සම්පත්ට වෙඩි තබා ඝාතනය කළ චාමර සඳරුවන් සහ පාතාල මැරයා පලා ගියහ. ගල් සම්පත් ඝාතනය කළ පුවත ඇසීමෙන් කුඩු රොෂාන් දැඩි ලෙස කෝපයට පත්වුණේය.
 
 චූටි උක්කුංගෙන් පසු සමිට්පුරයේ පාතාල බලය චාමර සඳරුවන් අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව කුඩු රොෂාන් තුළ වූයේ කිසියම් චකිතයකි.
 
 චාමරයට ඔලූව උස්සන්න දුන්නොත් අපිට තව තව ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන්මම ඌව ඉවරයක් කරලා දාන්න ඕනෙ’ කුඩු රොෂාන් තම ගෝලබාලයන්ට උපදෙස් දුන්නේය. ඒ වන විටත් කුඩු රොෂාන් සිටියේ චූටි උක්කුං ඇතුළු පස් දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතවය.
 
 බන්ධනාගාරයේ සිටියද සමිට්පුරයේ පාතාල මෙහෙයුම් මෙන්ම කුඩු ජාවාරම ඔහු ජයටම කරගෙන ගියේය.
 
 ‘චාමර සඳරුවන් ගල් සම්පත්ගේ මර්ඩර් එකට උසාවි යනවා. උසාවි ගිහින් එන අතරතුරේදී ඌට ගහලා දාන්න පුළුවන්.’
 
 කුඩු රොෂාන්ගේ ගෝලබාලයෝ යෝජනා කළහ. ගල් සම්පත් ඝාතන නඩුවට අධිකරණය වෙත ගොස් ආපසු එන අතරතුර චාමර සඳරුවන් මරා දැමීමට කුඩු රොෂාන්ගේ ගෝලබාලයෝ සැලසුම් කරන්නට වූහ.
 
 රොෂාන්ගේ පාතාල කල්ලියේ සාමාජිකයන් කොයි මොහොතක හෝ තමාගෙන් පළිගන්නා බව චාමර සඳරුවන් හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසා චාමර සඳරුවන් නඩු විභාගවලට ඉදිරිපත් වීමට යද්දී තම සහචරයන් පිරිසක් කැඳවාගෙන යෑමට කටයුතු කළේය. එමෙන්ම ඔවුන් සන්නද්ධව තැබීමට ද චාමර සඳරුවන් පියවර ගත්තේය.
 
 ගල් සම්පත් ඝාතන නඩු විභාගයට ඉදිරිපත් වී ආපසු නිවසට යෑමට චාමර සඳරුවන් සූදානම් වුණේය. තම පවුලේ සමීපතමයන් තිදෙනකු ත‍්‍රිරෝද රථයක යැවූ චාමර සඳරුවන් යතුරුපැදියක නැගී වෙනත් මාර්ගයක් ඔස්සේ සමිට්පුරයට නොගොස් තම හිතවතකුගේ නිවසකට ගියේය.
 
 චාමර සඳරුවන් අධිකරණයේ සිට ත‍්‍රිරෝද රථයකින් සමිට්පුරයට යන බව කුඩු රොෂාන්ට සිය ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගන්නට ලැබුණේය. චාමර සඳරුවන් විනාශ කර දැමීමට කුඩු රොෂාන් තම ගෝලබාලයන්ට නියෝග කළේය. වහාම ක‍්‍රියාත්මක වූ රොෂාන්ගේ පාතාල කල්ලියේ සගයන් දෙදෙනකු ත‍්‍රිරෝද රථය ලූහුබැඳගොස් ඊට වෙඩි තැබූහ.
 
 ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ සඳරුවන් ත‍්‍රිරෝද රථයේ නොසිටි බව කුඩු රොෂාන් දැනගන්නේ පසුවය. වෙඩි ප‍්‍රහාරවලින් සඳරුවන්ගේ මාමා, මස්සිනා ඇතුළු පස් දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මහමග ගමන්ගත් කාන්තාවක්ද මේ ප‍්‍රහාරයෙන් තුවාල ලැබුවාය.
 
 එවර කුඩු රොෂාන්ගේ ඉලක්කය අසාර්ථක විය. සමිට්පුරයේ එකට කාබී කුඩා කල සිට හැදී වැඩුණු මිතුරන් මේ වන විට බද්ධ වෛරකාරයන් වී හමාරය. මේ කල්ලි දෙකට ගෑවුණු ගෑවුණු පුද්ගලයෝ එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත්ව සිටිති.
 
 ආනමාළු රංග සහ ඉම්රාන් චූටි උක්කුංගේ කල්ලියේ සමීපතමයෝ වූහ. චූටි උක්කුං පරලොව ගියද ඔහුගේ සොහොයුරා වූ චාමර සඳරුවන් සමග සබඳතා පවත්වාගෙන යමින් ඔවුන් සමග නීති විරෝධී ව්‍යාපාර කිරීම ආනමාළු රංග සහ ඉම්රාන් කටයුතු කළහ.
 
 චූටි උක්කුං ඇතුළු පුද්ගලයන් පස් දෙනා ඝාතනය කිරීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූ කුඩු රොෂාන් නැවතත් සමිට්පුරයේ නිදහසේ කාලය ගෙවන්නට පටන් ගත්තේය.
 
 කුඩු රොෂාන්ගේ සොහොයුරා චප්පුය. චප්පුද තම වැඩිමහල් සොහොයුරාගේ අඩිපාරේ යමින් විවිධ නීති විරෝධී ක‍්‍රියාවල නිරත වුණේය.
 
 දිනක් චප්පු සහ ආනමාළු රංග පැටලූණේය. බහින්බස් වීම කෙළවර වන්නේ ගුටිබැට හුවමාරුවකින්ය. ආනමාළු රංග චප්පුගේ ත‍්‍රිරෝද රථයට ද පහරදී අලාභහානි කළේය.
 
 ‘රොෂාන් අයියා ආනමාළු රංගයා මටත් ගහලා ත‍්‍රීවිල් එකත් කුඩු කළා. උන් තාම හිතාගෙන ඉන්නෙ චූටි උක්කුං ජීවතුන් අතර ඉන්නවා කියලා. උන්ට පාඩමක් ඉගැන්නුවෙ නැතිනම් අපට සමිට්පුරේ ඉන්න හම්බ වෙන එකක් නැහැ.
 
 චප්පු තම සොහොයුරාට කීවේය. චූටි උක්කුංගේ පාතාල බලය සමිට්පුරයෙන් මුළුමණින්ම අතුගා දමා එහි පාතාල බලය මුළුමණින්ම තමන් අතට ගතයුතු යැයි කුඩු රොෂාන් සිතුවේය.
 
 ආනමාළු රංග සහ චූටි උක්කුංගේ ගෝලබාලයන් විනාශ කිරීමට කුඩු රොෂාන් සැලසුම් සකස් කළේය. අගෝස්තු මස 15 වැනිදා මාදම්පිටිය සුසාන භූමියට කුඩු රොෂාන් ඇතුළු පාතාල මැරයන් 20 දෙනෙකු කඩා වදින්නේ සමිට්පුරයේ පාතාල ආධිපත්‍ය තවමත් තමන් සතුව තිබෙන බවට ඒත්තු ගැන්වීමටය.
 
 ආනමාළු රංග සහ ඉම්රාන් කපා කොටා ඝාතනය කළ කුඩු රොෂාන් ඇතුළු පාතාල මැරයෝ පලා ගියහ.
 
 කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ග‍්‍රෑන්ඞ්පාස් සහ මට්ටක්කුලිය පොලිසිවල නිලධාරීන්ගේද සහාය ඇතිව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. ඝාතන සඳහා යොදාගත් තියුණු ආයුධ පහක් ත‍්‍රිරෝද රථයක් ඇතුළු තවත් භාණ්ඩ පොලිස් පරීක්‍ෂක රණසිංහ ඇතුළු නිලධාරීහු විසින් සොයා ගත්හ.
 
 මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහුද කුඩු රොෂාන් ලූහුබඳින්නට වූහ.මෙම ද්විත්ව ඝාතනය සිදුවූ දිනට ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය පසුදින තවත් සැකකරුවන් තිදෙනෙක් සිය භාරයට ගත්හ.
 
 මේ අතර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා තම ඔත්තුකරුවකු මාර්ගයෙන් කුඩු රොෂාන්ගේ කල්ලියේ සමීපතමයකු වන ආජී නමැත්තා පිළිබඳ තොරතුරක් ලැබුණේය. වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයක සැ`ගවී සිටි ආජි අත්අඩංගුවට
 
 ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත්වූහ. ආජිගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී කුඩු රොෂාන් ඇතුළු පාතාල සාමාජිකයන් පිරිසක් යක්කල ප‍්‍රදේශයේ හෝටලයක සැ`ගවී සිටින බවට තොරතුරු ලැබුණේය.
 
 ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් එම හෝටලය වටලා පරීක්‍ෂා කිරීමේදී එහි කාමර තුනක සැ`ගවී සිටි කුඩු රොෂාන් ඔහුගේ සොහොයුරු චප්පු ඇතුළු පාතාල සාමාජිකයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
 
 කුඩු රොෂාන් ඇතුළු මේ පාතාල මැරයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළද සමිට්පුරයට නිදහසක් ලැබෙන්නේ නැත. මේ පාතාල මැරයන් හෙට දිනයේ නිදහස ලබා නැවත සමිට්පුරයට පැමිණ සිදුකරන්නේ ද මේ මිනිස් ඝාතනය, මේ අපරාධමය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles