Divaina - මියෙන මොහොතේත් ජීවිතය පරිත්‍යාග කළ සුන්දර පත්තරකාරයකුගේ කතාව...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 paththara

 

බුලිත ප‍්‍රදීප් කුමාර


1993 වසරේදී දිවයින පුවත්පතේ රැකියාව සඳහා මා එන විට එහි සේවය කළ ‘දැවැන්තයෝ’ බොහෝය. ශරීර ප‍්‍රමාණයෙන් මතු නොව, පත්තර කලාවේ කීර්තිය හා ප‍්‍රභාව අතින් ද මට ඔවුන් අතිශය දැවැන්තයෝ වූහ.

ඒ වන විට දිවයින ඉරිදා සංග‍්‍රහයේ පුරෝගාමියා වූ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව (පසු කලෙක නැවත ආවේය) විනී හෙට්ටිගොඩ දිවයිනෙන් බැහැරව ගොස් ය. දිවයින නිර්මාතෘ කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ, ගාමිණී සුමනසේකර, දයාරත්න රණසිංහ, උපාලි තෙන්නකෝන්, කරුණාදාර සූරියආරච්චි, කිත්සිරි නිමල්ශාන්ත, චන්‍ද්‍රසිරි දොඩන්ගොඩ, ධර්මරත්න විජේසුන්දර, සිරිමල් ෆොන්සේකා, තිස්ස වීරසේකර, ජයන්ත චන්‍ද්‍රසිරි, අනුර සොලමන්ස්, විමල් වීරසේකර, සුන්දර නිහතමානී ද මැල්, අශෝක ගුණතිලක, ගයිරික පේරුසිංහ, ජනක රත්නායක හා ශාන්ත කේ. හේරත් ආදීන් ඉතිිරිව සිටියහ. ඒ සියලූම දෙනා අතරින් මා දුටු අති දැවැන්තයා මෙරිල් පෙරේරා යැයි කිවහොත් කිසිවෙක් මා සමඟ උරණ නොවනු ඇතැයි මම සිතමි.

අද ඒ අතරින් එඞ්මන් රණසිංහ ‘මහත්තයා’ ඇතුළු කිහිපදෙනෙක් ගෞරවනීයව පුවත්පත් රස්සාවෙන් සමු අරන් ය. අති බහුතරයක් ජීවිතයෙන් සමු අරගෙනය. සමුගත් ඒ විරල ගණයේ මාධ්‍යවේදීන් කුලකයට අලූතෙන්ම එක් වූ පත්තරකාරයා මෙරිල් පෙරේරා හෙවත් ‘මෙරිල් මහත්තයා’ ය.

සමකාලීනයන්ට ‘මෙරිල්’ වූත්, දිවයිනේ අනෙකුත් අංශවල අයට මෙරිල් මහත්තයා වූත්, සිසිර පරණතන්ත‍්‍රි, ජටිල වැල්ලබඩ, ශාන් විජේතුංග, ලක්‍ෂ්මන් පියසේන බඳු දිවයින දෙවන පෙළට ‘මෙරිල් අයියා’ වූත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා පුවත්පත් කලාවට පිවිසියේ 1965 දෙසැම්බර් 15 වැනිදා බඳු දිනකය. ඒ මට වඩා අවුරුදු 28 කට කලින් ය. ලංකාදීපයේ අදටත් ප‍්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කරන

සිරි රණසිංහ, ලක්‍ෂ්මන් ජයවර්ධන, ඩබ්ලිව්. ජී. ගුණරත්න, විමල් වීරසේකර ආදීන් සමග එදින පත්තර කලාවේ මහගෙදර නම් වූ ලේක්හවුසියට එක් වූ මෙරිල් පෙරේරා ජනතා පුවත්පත ඔස්සේ සිය පත්තර ජීවිතය ආරම්භ කළේය.

ජනතාවේත්, ටික කලක් දිනමිණේත් සේවය කර ලේක්හවුසියෙන් සමුගෙන දවස ආයතනයට එක් වූ මෙරිල් පෙරේරා, 1981 වසරේ අවසාන භාගයේදී පත්තර කලාවේ විප්ලවයක් කරන්නට දායකත්වය දෙන්නේ අදටත් පත්තර කලාව ගැන කතා කරන විට දැවැන්තයන්ගේත් ගුරුවරයා ලෙස සලකන එඞ්මන්ඞ් රණසිංහ මහතා සමග එකට අත්වැල් බැඳ ගනිමිනි. අපේ රටේ පත්තර කලාවට ‘දිවයින’ නම් වූ ජාතික චින්තනයෙන් ඔදවැඩි ජාතික පුවත්පත ශ‍්‍රී ලාංකේය පත්තර කලාවේ විප්ලවයක් ලෙස ආරම්භ වන්නේ ඒ අනුවය.

එවකට ලංකාවේ නමගිය දේශීය ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධන මැතිඳුන්ගේ අර්ථ පතිත්වයෙන් ජාතික මුහුණුවරක් ගත් විප්ලවීය පුවත්පතක් බිහිකරන්නට ලේක්හවුසියෙන් හා දවස ආයතනයෙන් පැමිණි පිරිසක් පුරෝගාමී වන ආකාරය මෙරිල් පෙරේරා මහතා ලියූ මුල්ම පුස්තකය වන ‘ආයුබෝවන් ආමර්වීදිය’ ග‍්‍රන්ථයේ හරි අපූරුවට විග‍්‍රහ කොට ඇත්තේය.

අපේ රටේ පත්තර කලාවට දිවයින තුළින් ලබාදුන් විප්ලවීය වෙනසට හේතු වූයේ දිවයින හඳුන්වාදුන් දේශීය චින්තනයම පමණක් නොවේ. දිවයින තුළින් බිහිකළ පත්තර කලාවේ ‘ආකෘතිකමය වෙනස’ද ඒ් විප්ලවයට හේතුවක් විය.

ආකෘතිකමය වෙනස ද දෙආකාරයකට සිදුවිය. එක් පැත්තක් උපාලි විජයවර්ධන මහතා මෙරටට පළමුවරට හඳුන්වා දුන් ලිතෝ මුද්‍රණ තාක්‍ෂණයයි. වෛර්ණ පින්තූර, පාට පාට වර්ණ පදාස හා අලූත් බ්‍රෝමයිඞ් අකුරු පාඨකයාට අලූත් අත්දැකීමක් ගෙන දුන්නේය. ඒ හා සමානවම බලපෑ අනිත් හේතුව වූයේ අලූත් පත්තර කලාව තුළින් රටට හඳුන්වා දුන් පත්තර පිටු සැලසුම් තාක්‍ෂණයේ තිබූ නිර්මාණශීලීබව හා නැවුම් බවයි.

මා දන්නා පරිදි ඒ නිර්මාණශීලී බව හා නැවුම් බව මුල සිටම දිවයින පුවත්පතට එක් වූයේ මෙරිල් පෙරේරාගේ දායකත්වයෙනි.

මෙය වූ කලී දිවයින ගැන අප නොදන්නා මුල් යුගයේ සිදු වූ සිද්ධියකි. දිවයින පත්තරය අලූත් තාක්‍ෂණයෙන් සකස් කරන්නට හා ඊට ගැළපෙන ලෙස නිර්මාණය කරන්නට මෙන්ම තාක්‍ෂණය අප ශිල්පීන්ට කියා දෙන්නට පිටරටින් පීටර් හාලන්ඞ් නම් සුදු මුද්‍රණ ඉන්ජිනේරුවෙක් පැමිණියේය.

ඔහු පිටු සැලසුම් කරන ආකාරය ශිල්පීන් වට කරගෙන කියා දෙන්නට විය. පුවත්පතේ ප‍්‍රධාන උප කර්තෘ ලෙස වැඩ ඇරඹූ මෙරිල් පෙරේරා ඒ දෙස බලා සිටියේය. සුද්දාට සාපේක්‍ෂව ඔහු ද ඒ තාක්‍ෂණයෙන් ම පිටුවක් නිර්මාණය කළේය. එය ඔහුට පෙන්නුවේය.

‘‘මට දැන් මෙහෙ කරන්න දෙයක් නැහැ. මෙරිල් වැඬේ හරියටම අල්ල ගත්තා’’

එසේ කී ඔහු තමන් දන්නා ඉතිරි ටිකත් කියා දී තව නොබෝ දිනකින් යන්නට ගියේ පත්තරයේ නිර්මාණශිලී පැත්ත ගැන සියලූ වගකීම් මෙරිල් මහතා මත පටවා තබාය.

එදා පටන් මෙරිල් පෙරේරා දිවයින පිටු සැලසුම් අංශයට මඟ පෙන්වන්නට පටන් ගත්තේය.

දිනක් මෙරිල් මහතා මට කතා කොට මගෙන් විස්තර ඇසුවේය. ආටිස්ට් කෙනෙක් ලෙස වැඩ කරනවාට වඩා ලේඛකයකු ලෙස වැඩ කරන එක කාලෝචිත යැයි ඔහු මට අවවාද කළේය. බාහිර පෙනුමට ගොරහැඩි රළු මිනිසකු වුවද ඇතුළාන්තයේ සිටින සරල සුන්දර ලෙංගතු මිනිසා මට පෙනෙන්නට පටන් ගත්තේය. මම ඔහුට සර්.... කියා කතා කරන විට ඔහු තරමක් කිපුනේය.

පත්තරකාරයන්ට සර්ල නෑ. මට සර් කියන්න එපා. කැමැති නම් මට මෙරිල් කියල නම කියනවා. නැත්නම් අයිය කියනවා. අර කාමරයේ ඉන්න මනුස්සයට ඕනිනම් සර් කිව්වට කමක් නෑ...........

ඒ කිව්වේ කොටු වීදුරු කාමරයක සිටි එඞ්මන්ඞ් රණසිංහ මහත්තයා ගැනය.

එතැන් පටන් මම මෙරිල් මහතාට මෙරිල් අයියා කියන්නට සිතා ගතිමි. එහෙත් මට පසුව ආ පරපුර මේ සියලූම ජ්‍යෙෂ්ඨයන්ට සර් කියන්නට පටන් ගත්හ. ජ්‍යෙෂ්ඨයන්ට ‘අයියා’ කියා අමතන පරපුර මගෙන් පසු අවසන් විය.

මමද සිනමාවට කැමතිය. කලාවට කැමතිය. මෙරිල් අයියා ඔහු දන්නා කලාකරුවන් සාහිත්‍යකරුවන් ඉතා නොමසුරුව මට හඳුන්වා දුන් අයුරු මට මතකය. සිනමාව කලාව ගැන ලියන්නට ඔහු මාව උනන්දු කළේය.

ඔහු සිනමා ලිපි ලීවේය. අලූතින් එන ඕනෑම චිත‍්‍රපටයක් පළමු හෝ දෙවන දර්ශනයේදීම නරඹන මෙරිල් අය්යා එය සාධනීය නිර්මාණයක් නම් නිසැකවම පොඩි විවේචනයක් ලියයි. ඉතා සරල කට වහරකට අනුව ඔහු ලියන සිනමා විවේචන අතිශයින් රසවත් ය. සිද්ධීන් විස්තර කර ලියන්නට ඔහු සතුව තිබූ ආඛ්‍යාන ශෛලිය හරි අපූරුය.

සුන්දර මිනිසකු වූ මෙරිල් අයියා තනිකඩව ජීවත් වන්නට තීරණය කිරීම පුදුමයකි. තනිකඩ ජීවිතය තුළ ඔහු හොඳ මධු ලෝලියකු බවට පත්විය. මධුපැන් බිඳක් තොලගා සංවාදවලට මුල පුරන මෙරිල් අයියලා, කසුරිලා, සුනිල් අයියලා තිස්ස අයියා, දොඩංගොඩලා ගොඩනගන සංවාද නොව, රණ්ඩු සරුවල් වුව හරි රසවත් ය.

අතීතයේ දිවයින කන්තෝරුවේ සුලභ දසුන් වූ ඒ සිදුවීම්,

මෙරිල් අයියා බොරු වර්ණනා ආටෝප සාටෝප කතා වලට කැමැති අයෙක් නොවීය. වර්ණනාව ඔහු අකමැති විෂයකි. කවරෙකු හෝ එවන් දේකට මුල පුරමින් තමන් ළඟට කිට්ටු වන්නේ ලෙඩකට බව ඔහු අත්දැකීමෙන් දැන සිටියේය. එසේම ලෙඩක් දුකක් අනීපයක් වූ විට ඒ ගැන විමසනවාට අසනවාට ද පවා ඔහු අකැමැති විය.

ඇයි ඇයි..... ඔයගොල්ලන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද... වැඩක් බලාගන්නවා.... කියමින් ඔහු ඒ අල්ලාප සල්ලාප පවා ප‍්‍රතික්‍ෂේප කරයි.

උදේ පාන්දර කැපකිරීමෙන් යුතුව රාජකාරියට මුල පුරන මෙරිල් අයියා කාර්යාලයට තරුණ විය හා ජීවිතය දියකර හැරියේය. ගෙදරක් කියා තැනක් තිබුණා දැයි සැකයකි. බොහෝ විට රෑ 10.00 ට බැලූවත් ඔහු කාර්යාලයේ ය. හදිස්සියක්, කලබලයක්, අනතුරක් විපතක් වූ විට මුලින්ම කාර්යාලයට දිව එන කිිහිපදෙනා අතර ප‍්‍රමුඛයා ඔහු බව මට මතකය.

රාජකාරියට මුල්තැන දුන් ඔහු විනෝදාස්වාදයට දෙවන තැන දී ක‍්‍රියා කළේ එය ද රැකියාවටම ඈඳා ගනිමිනි. චිත‍්‍රපට බැලීම, නාට්‍ය බැලීම, සංගීත ප‍්‍රසංගවලට සහභාගිවීම, මධු සම්භාෂණ, ප‍්‍රිය සම්භාෂණ වලට සහභාගි වීම ආදී කිසිම දෙයක් ඔහු පැහැර හැරියේ නැත. රැකියාවේ ගෞරවය ආරක්‍ෂා කර ගනිමින් ඔහු ඒ සියල්ල අකුරටම කරනු ලැබූ අයුරු මට මතකය.

ප‍්‍රධාන උප කර්තෘ ලෙස සිටි සමයේත්, කර්තෘ ලෙස සිටි සමයේත් මිතුරු සමාජයෙන් මෙරිල් අයියා වෙත ලද තෑගි භෝග බොහෝය. ඒ කිසිවක්ම ඔහු ගෙදර ගෙන ගියේ නැත.

මධුපැන් බෝතල් පවා සහෝදර පත්තරකාරයන් අතර මෙන්ම ආයතනයේ කාර්ය මණ්ඩලය අතර බෙදා හැරියා මිස සඟවා හෙට දවස පිණිස තබා ගැනීමේ පුරුද්දක් ඔහුට නොවීය.

ඔහුගේ පරිත්‍යාගශීලීත්වය ගැන කියන්නට තවත් කතාවක් මට තිබේ. මේ වූ කලී මා රැකියාවට පැමිණි මුල් අවුරුදු කිහිපය තුළ සිදු වූ සිද්ධියක් බව මට මතකය. දිනක් ඔහු මට ඔහුගේ කාර්යාලයට කතා කළේය.

කොහේ හරි පිටරටකට ගිහින් තියෙනවද මීට කලින් මෙරිල් අයියා ඇසීය.

සත්තකින් ම ඒ වන විට මම ලංකාවෙන් පිට කිසිදු තැනක ගොස් සිටියේ නැත. මම ලැජ්ජාවෙන් ඔළුව දෙපසට සැලූවෙමි.

එහෙනම් ඔන්න ඩුබායිවලට ගිහින් එනවා. සාජාවල අවුරුදු උත්සවය දවස් 4 ක් තියෙනවා. සොමියක් දාල එන එකයි ඇත්තේ.

කියමින් ඔහු ඔහුගේ නමට ලැබුණු ආරාධනා පත‍්‍රයක් මා වෙත විසි කළේය.

අයියා යන්නේ නැද්ද?

මොන බම්බුවක්ද? මට මහ කම්මැලියි අප්පා ඕවයි යන්න. යනවා... යනව.... ගිහින් ඉක්මනට පාස්පෝට් හදා ගන්නවා.

ඉන්නා කාලය ගෞරවාන්විතව රැකියාව කරමින් සිංහයකු සේ ජීවිතය ගෙවූ මෙරිල් අයියා සිය ජීවිතයේ අවසාන කාලය ගැන ද දැන සිටියේය. ඔහුට හොඳ සහෝදර සහෝදරියන් කිහිපදෙනකු සිටියේය. තනිකඩයකු වූ මෙරිල් අයියාට තනි වූවකු ලෙස ජීවත් වන්නට ඔවුන් කිසිදා ඉඩ දුන්නේ නැත. මෙරිල් අයියාව සුරැකිව බලා ගන්නට ඔවුන් නිරතුරුව කැපවීම් කළෝය.

එහෙත් රෝ සතුරා පරාජය කළ නොහැකි බව ඔහු දැන සිටියේය. දැන දැන මරණය කල් දමා ගනිමින්, ජීවත්වන අනෙකුත් සහෝදර සහෝදරියන්ට අනවශ්‍ය බරක් වන්නට ඔහු කල්පනා නොකළේය.

අවසානයේ මෙරිල් අයියා තීන්දුවක් ගත්තේය. වකුගඩු අක‍්‍රිය වීමෙන් පසුව කරන එකම ප‍්‍රතිකර්මය වූ රුධිර කාන්දුකරණය ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. ඔහු දොස්තර මහතාට මෙසේ කීවේය.

මට දැන් අවුරුදු 73 යි. නිකරුණේ ඔය මැෂින් වෙහෙසවල වැඩක් නෑ. ඒ අවස්ථාව දෙන්න තරුණ අයට. ජීවත්වෙන්න කාලය තියෙන අයට.

පරිත්‍යාගශීලී මෙරිල් අයියා මරණය පෙනි පෙනීත් ජීවත් වන්නට තිබෙන අවසන් අවස්ථාවන් පවා ප‍්‍රතික්‍ෂේප කර දෑස පියා ගන්නට කල්පනා කළේ එසේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles