Divaina - තුන් කල් බලා ක‍්‍රියා කළ ආදර්ශවත් දේශපාලනඥයා

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

thunka
 
 අලූත්ගම ඓතිහාසික කන්දේ
 විහාරාධිපති ගෞරව ශාස්ත‍්‍රවේදී
 කොක්කාවිට විපුලසාර නාහිමි
 
 
පනස් වසරක් තිස්සේ එතුමා කළ සේවය බේරුවලට පමණක් නොව කළුතර දිස්ත‍්‍රික්කයේ ජනතාවට කිසි දිනක අමතක නොවනු ඇත. එතුමා අන් කවරෙකු නොව අභාවප‍්‍රාප්ත දේශමාන්‍ය එම්.ඒ. බාකිර් මාකර් හිටපු කථානායක තුමාය.
 
 එතුමා ධනය බලය කිසිදු අවස්ථාවක ආභරණයක් කර ගත්තේ නැත. ඔහු හැමවිටම අනුගමනය කළේ මැදුම් පිළිවෙතයි. අනුගමනය කළ නම්‍යශීලී සුහදශීලි ප‍්‍රතිපත්ති රාමුව කිසි දිනක අමතක කර ක‍්‍රියා නොකළ මෙතුමා ආදර්ශවත් දේශපාලනඥයකු ලෙස අදත් ජනතාව අතර අමරණීය වී ඇත.
 
 එතුමා නියෝජනය කළ බේරුවල කොට්ඨාසය යනු විවිධ ආගමික විවිධ ජනවාර්ගික ජනතාවක් සිටින ප‍්‍රදේශයකි. එතුමා ජනතාවට සිය මෙහෙය ඉටු කළේ අති දක්ෂ දුම්රිය රියදුරෙකු ලෙසය. දුම්රිය මනාව හසුරවමින් නිවැරදිව ගමනාන්තයට ගෙන යෑමට ඔහු සමත් විය. කිසිදු අවස්ථාවක ඔහුගේ වගකීම පැහැර නොහැර නිවැරදි ශිල්පීය ක‍්‍රම අනුගමනය කිරීම එම සාර්ථකත්වයට හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. එතුමාට දුම්රිය මගෙහි අනතුරුදායක ස්ථාන හමු නොවූවා නොවේ. එම ස්ථාන දුරදීම හඳුනාගැනීමට අති දක්ෂ දෙනෙතක් හා තීක්ෂණ බුද්ධියක් තිබුණි. පනස් වසරක් ජනතා සේවය අඛණ්ඩව ජනහිත පිණිස යෙදවීමට සමත් වූයේ එබැවිනි.
 
 බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු යන විවිධ ආගමික හා ජන සමූහයකින් යුතු වූ තම ප‍්‍රදේශයේ සහජීවනයට මුල්තැන දීම ඔහුගේ එකම පරමාදර්ශය විය.
 
 එතුමා ධනය බලය මමත්වයට වඩා විශ්වාසය තබා ක‍්‍රියා කළේ සුහදත්වය සහෝදරත්වය හා සහජීවන පැවැත්ම පදනම් කරගෙන බව අප කවුරුත් අත්දැකීමෙන් දන්නා කරුණකි.
 
 කළුතර දිස්ත‍්‍රික්කයේ බේරුවල කොට්ඨාසයේ පිහිටි ප‍්‍රධාන ඓතිහාසික පූජනීය ස්ථානය වන ඓතිහාසික කන්දේ විහාරස්ථානය හා එතුමා ගෙන ගිය සබඳතාව කිසි දිනක අමතක කළ නොහැකිය. අප විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජිනාරාම, බටුවන්හේනේ බුද්ධරක්ඛිත යන අප නාහිමිපාණන් වහන්සේලා සමග ඉතා සුහද සබඳතාවක් පවත්වමින් අවවාද අනුශාසනා හැමවිටම ලබා ගත් අතර ඒවා නිසි පරිදි
 
 අනුගමනය කළ බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම විහාරස්ථානයේ අභිවෘද්ධියට දිය හැකි උපරිම සහයෝගය ලබා දුන් එතුමා සිය දේශපාලන හෝ ඒ හා බැඳුණු කිසිදු වැඩපිළිවෙළකට විහාරස්ථානය ආධාරකයක් කර නොගත් අතර අප විහාරස්ථානය අනුගමනය කරනු ලබන මැදුම් පිළිවෙත හොඳින් තේරුම්ගෙන තම ප‍්‍රතිපත්ති සකසා ගැනීමට අමතක නොකළ බවද එතුමාගේ ශ්‍රේෂ්ඨ ජීවන මගට හොඳම නිදසුනක් ලෙස සඳහන් කළ හැකිය.
 
 හිටපු කථානායක බාකීර් මාකර් මැතිතුමා සිංහල ජනතාව අතර හොඳම සිංහල දේශපාලනඥයෙකි. ඉස්ලාම් ජාතීන් අතර ආදර්ශවත් ඉස්ලාම් භක්තිකයෙකි. කතෝලික ජනතාව අතර හොඳම කතෝලික බැතිමතෙකි. හින්දු භක්තිකයන් අතර හොඳ හින්දු භක්තිකයෙකි. එතුමා ගැන අපට හඳුන්වා දිය හැකි හොඳම අර්ථකථනය එයයි. මෙය එතුමාගේ පරමාදර්ශී දිවි පෙවෙතේ කැඩපතයි. තුන්කල් බලා ක‍්‍රියාකිරීම එතුමාගේ අති දක්ෂ හැකියාවක් වූ අතර අතීතයෙන් තොරතුරු රැස්කර වර්තමානයට උචිත ලෙස සකසා අනාගතයට අවශ්‍ය පරිදි සිය ප‍්‍රතිපත්ති ක‍්‍රියා දාමයන් හා ව්‍යාපෘති සැකසීමටත් ක‍්‍රියාවට නැංවීමට සමත් විය.
 
 එතුමා තමාගෙන් පසු අනාගතය සැකසුවේ දුරදක්නා දක්ෂ දේශපාලනඥයෙකු බව රටටම කියා පෑමෙනි. සිය දූ දරුවන් ද ඉදිරි සහජීවන සමාජයකට අවශ්‍ය පරිදි පෙළ ගැස්වීමට අමතක කළේ නැත. එයට හොඳම සාධකය සිය දෙටු පුත් ඉම්තියාස් බාකිර් මාකර් මහතාය. ඔහුගෙන් බේරුවල පමණක් නොව සමස්ත ජන සමාජයට සිදුවන අපරිමිත මෙහෙවර ඉතා ප‍්‍රශංසනීයයි. කැලණි සරසවියේ අප සමග සිටි සහෘදයෙක් ලෙස එතුමාගෙන් දිස්වූයේ සිය පියාගේ ආදර්ශවත් දිවිපෙවෙතයි. ඔහු සරසවිය තුළ කැපී පෙනුනේ හෙළ බොදු සිසුවකු ලෙසය. එදත් අදත් හෙටත් එම ලක්ෂණය එතුමා තුළින් දිස්වීම ඉතාම වැදගත්ය.
 
 අප විහාරස්ථානයේ සංවර්ධනයට පිය පුතු දෙපළ ලබා දුන් පිටිවහල සදාකල් පවතිනු ඇත. විහාරස්ථානයට පිවිසෙන වාහල්කඩ මෙන්ම කුමාරි හස්තියා ද දායාද කළේ මෙතුමන්ලාගේ කාරුණික අනුග‍්‍රහයෙන් බව ද විදුලි ආලෝකය ලබා දීම වැනි උතුම් පුණ්‍ය කර්මයන් ද මෙහිදී සිහිපත් කරමි.
 
 හිටපු කථානායක අභාවප‍්‍රාප්ත එම්.ඒ. බාකිර් මාකර් මැතිතුමාගේ පරමාදර්ශී දිවි පෙවෙත ධම්ම පදයේ මෙම ගාථාව තුළින් මනාව පිළිබිඹු වනු පෙනේ.
 
 ‘න අන්තහේතු - න පරස්ස හේතු
 න පුත්තම්විජේන - න ධනං න රට්ඨං
 න ඉච්ඡෙය්‍ය අධම්මේන - සමිද්ධි මත්තනෝ
 න සීලවා පඤ්ඤවා - ධම්මිකෝ සියා’
 
 ‘යම් කිසිවෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ අධර්මයක් අයුක්තියක් නොකරයි ද, නොනිසි අයුරින් පුතෙකු හෝ ධනයක් හෝ රටක් හෝ කැමති නොවෙයි ද, තමාගේ දියුණුවත් අධර්මයෙන් බලාපොරොත්තු නොවෙයි ද, ඔහු සිල්වතෙක් ද, නැණවතෙක් ද, ධාර්මිකයෙක් ද වන්නේ ය.’
 
 මෙම ධම්ම පද ගාථාවෙන් කියවෙන උතුම් ලක්ෂණවලින් හෙබි චරිතයකින් හෙබි හිටපු කථානායක අභාවප‍්‍රාප්ත එම්.ඒ. බාකිර් මාකර් මැතිතුමාගේ නාමය සදා ජනතාව අතර පවතිනු ඇත. වර්තමාන දේශපාලනඥයින්ට ආදර්ශවත් චරිතයක් වේවායි පතමි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles