Divaina - ගුරුවරියක් ගිය දුරක්...කාල කළමනාකරණය ක‍්‍රියාවෙන් ඔප්පු කරන සම්මානලාභී සිංහල කරාතේ කෙල්ල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali



 

යෙනුක සිසිල්චන්ද්‍ර
 

karatheවර්තමානයේදී පවුල් සංස්ථාව තුළත්, රැකියා ආශ‍්‍රිතවත් බොහෝ ගැටලූ ඇතිවන්නේ කාල කළමනාකරණයේ නොහැකියාව නිසාය. බොහෝ විට රැකියාවල නියුතු වන කාන්තාවන්ට කාලය පිළිබඳ ගැටලූ ඇතිවේ. සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට කාල කළමනාකරණය පිළිබඳ ක‍්‍රියාවෙන්ම ආදර්ශයක් සපයන දිරිය කතක් අපිට හමු විය. ඇය හිටපු කරාතේ ශූරියකි. ජාතික කාරාතේ පුහුණුකාරියකි. පාසල් ගුරුවරියකි. පාසල් හා ජාතික කරාතේ සංගම්වල විවිධ නිලතල හොබවන නිලධාරිනියකි. යහපත් පවුල් දිවියක් ගතකරන ගෘහණියකි. ඇය නමින් හර්ෂණී සඳමාලී බස්නායක වේ.

හර්ෂණී උපත ලැබුවේ තෙදරු පවුලක වැඩිමලා ලෙස මාතලේ දිස්ත‍්‍රික්කයේ අලූවිහාරය ප‍්‍රදේශයේය. හර්ෂණීගේ පියා ව්‍යාපාරිකයෙක්වන අතර මව ගෘහණියකි. සහෝදරිය නාවික හමුදා කරාතේ සංචිතයේ ක‍්‍රීඩිකාවක් වන අතර, සොහොයුරා උසස් අධ්‍යාපනයේ නිරත වෙයි. 1991 වර්ෂයේදී පාසල් දිවියට ඇතුළු වූ හර්ෂණී, 2005 වසරේදී කලා අංශයෙන්, උසස් පෙළ විභාගය හදාරනතුරුම ඉගෙනගත්තේ මාතලේ ශ‍්‍රී සංඝමිත්තා පාසලෙනි. ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩාවටත් දක්ෂ හර්ෂණී, කුඩාකල සිටම පාසල් සමයේදී දැල්පන්දු, අත්පන්දු හා මලල ක‍්‍රීඩාවල නිරතවිය.

අහඹු ලෙස 1998 වසරේ පාසලේ පැවැති නිවාසාන්තර කරාතේ තරඟයකට සහභාගී වූ එකොළොස් හැවිදිරි හර්ෂණී, කුමිතේ ( දෙදෙනෙක් අතර කරන කරාතේ ඉසව්ව) ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය ලබාගන්නා ලදී. සිය ජයග‍්‍රහණයෙන් පසු කරාතේ ක‍්‍රීඩාවෙන් ඉදිරියට යන්න තීරණය කළ හර්ෂණී, සෙන්සේ දුලීකා සිරිසේන යටතේ පෞද්ගලිකව පුහුණුව ලබා පසුව, සිය පාසලේ පුහුණුකරු වූ සෙන්සේ උපාලි සිරිසේන යටතේ ෂෝටෝකාන් ශෛලයෙන් කරාතේ පුහුණුව ලැබීය. 1999 වසරේ මධ්‍යම පළාත් ශූරතාවලියට සහභාගී වී කාතා ඉසව්වෙන් (තනිව විදහා දක්වන ඉසව්ව) ප‍්‍රථම ස්ථානය දිනූ හර්ෂණී, එම වසරේම ජාතික කරාතේ ශූරතාවලියේ අවුරුදු 12න් පහල කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගෙන, ජාතික කනිෂ්ඨ සංචිතයට ඇතුළු විය. 2000 වර්ෂයේ ඉන්දියාවේ, මුම්බායිවල පැවැති 5වන ජාත්‍යන්තර ෆුනාකෝෂි ෂෝටෝකාන් කරාතේ ශූරතාවලියේ කාතා ප‍්‍රථම ස්ථානය හා කුමිතේ දෙවන ස්ථානය දිනාගන්නා ලදී. ප‍්‍රථම වරට ජාතික පාසල් ක‍්‍රීඩා සඳහා 2000 වසරේදී සහභාගී වූ අතර සමස්ත ලංකා තරඟාවලියේ මධ්‍යම පළාතට හිමි එකම රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. 2001 වසරේදී සමස්ත ලංකා පාසල් 15න් පහල 2වන ස්ථානය හිමිකරගත් හර්ෂණී, 2002 හා 2003 වසරවල පළමු ස්ථානය ලබාගන්නා ලදී. එමෙන්ම 2003 හා 2004 යන වර්ෂ 2කේදීම, ජාතික ශූරතාවලියයේ වයස අවුරුදු 16 -17 කාණ්ඩයේ, කුමිතේ ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.

2004 වර්ෂයේදී ශ‍්‍රී ලංකා පාසල් කරාතේ ශූරතාවලියේ කාතා, කුමිතේ, කණ්ඩායම් කාතා හා කණ්ඩායම් කුමිතේ යන ඉසව් 4න්ම ප‍්‍රථම ස්ථානය ස්ථානය ලබාගෙන එම වසරේ පැවැත්වූ මධ්‍යම පළාත් ශූරතාවලියේද ඉසව් හතරේම ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට හර්ෂණීට හැකිවිය. 2004 වනවිට හර්ෂණී ජාතික කනිෂ්ඨ සංචිතයේ, ශ‍්‍රී ලංකා කරාතේ පුහුණු සංචිතයේ හා ජාතික ජ්‍යෙෂ්ඨ සංචිතයේ සමාජිකාවකි. ඒ අතර 2004දී 30වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී 48නට බර පන්තියේ තෙවන ස්ථානය ලබා ජාතික කරාතේ සංචිතයට තේරීපත් වූ මැය, 2005 හා 2006 වර්ෂවල පැවැති 31 හා 32 ජාතික මහා ක‍්‍රීඩා උළෙලවල් වලදී, එම බර පන්තියේම දෙවන ස්ථානය හිමිකරගන්නා ලදී.

2005දී ෂෝටෝකාන් ශෛලයෙන් පළමුවන කළුපටි ශ්‍රේණිය ලබාගත් හර්ෂණී, පාසලෙන් ඉවත්වූ පසු එනම් 2007 දී එම ශෛලයෙන්ම දෙවන කළුපටි ශ්‍රේණිය ලබා ගත්තාය.

2005 වර්ෂයේදී කලා අංශයෙන් උසස් පෙළ සමත්වූ හර්ෂණී, 2007 වර්ෂයේදී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (ඉංග‍්‍රීසි මාධ්‍ය) පාඨමාලාව සඳහා දිවයිනෙන්ම ප‍්‍රථමයා ලෙස ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් විය. එහි අධ්‍යාපනය ලබන අතරතුර ක‍්‍රීඩා කෞෂල්‍යය වැඩිදියුණු කරගැනීමට, 2008 සිට මේ දක්වා රෙන්ෂි ක්ලෙමන් ද සිල්වා මහතා යටතේ ශිතෝරියූ ශෛලය ඉගෙන ගැනීම ඇරඹූ අතර 2009 වසරේ ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී කාතා ඉසව්වෙන් තෙවන ස්ථානය ලබාගත්තේය. 2009 වසරේදී සිය අධ්‍යාපන කටයුතු නිමාකළ පසු 2010 වසරේදී විවාහ විය.

2011දී ගුරුපත්වීම හර්ෂණීට ලැබුණේ මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයටය. මේ වන විටත් ඇය එම විද්‍යාලයේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්තිවලට ඉංග‍්‍රීසී මාධ්‍යයෙන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය උගන්වයි. 2011 වසර ශ‍්‍රී ලංකා නාමය, ලෝකය තුළ, කරාතේ ක‍්‍රීඩාවෙන් බැබළවූ වර්ෂයක් ලෙස ඉතිහාසගත වෙයි. එයට හේතුව එම වසරේදී රටවල් 43ක සහභාගීත්වයෙන් පැවැති තෝආ ලෝක ශූරතාවලියේදි 48නට බර පන්තියේ ලෝකඩ පදක්කම හර්ෂණී විසින් දිනා ගැනීමයි. ඒ වන විට ශ‍්‍රීලංකාවේ කරාතේ ක‍්‍රීඩිකාවක් ලබාගත් ඉහළම ජයග‍්‍රහණය රටට දායාද කළ හර්ෂණී, ක‍්‍රීඩිකාවක් ලෙස කරාතේ ක‍්‍රීඩාවෙන් සමුගත්තේ 2012 වසරදීය. එහෙත් එය ක‍්‍රීඩාවෙන් සමුගැනීමක් නොවේ. 2012 වසරේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිනියගේ අරාධනාවෙන් පාසල් කරාතේ පුහුණුකාරිය වීමට හර්ෂණීට හැකි විය. මැයගේ පුහුණුකාරීත්වය යටතේ 2012 සිට 2018 දක්වා 7 වතාවක් මධ්‍යම පළාත් ශූරතාවලිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට හිමිවූ අතර 2018 වසරේදී සමස්ත ලංකා අනුශූරතාව ලබාගැනීමට ද හැකිවිය. 2012 සිට මේ දක්වා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවන් බිහිකිරීම වෙනුවෙන් පුහුණුකරු සම්මාන දිනා ගැනීමට ද හර්ෂණී සමත්විය. 2015 පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම්ලාභියෙක් හා 2016 දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභියෙක් බිහිකිරීමටද මැයට හැකි විය. හර්ෂණීගේ සිසු සිසුවියන් 10 දෙනකු පමණ මේ වනවිට ජාතික කනිෂ්ඨ සංචිතයේ සිටින අතර 2019 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ සංචිතවලද හර්ෂණීගේ සිසුවියන් ඇතුළත්ව සිටී. හර්ෂණීගේ ගෝලයන් 4 දෙනෙක් මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 100ට ඇතුළත්ව ඇත.

හර්ෂණී දැනට තමා ගුරුවරියක් ලෙස කටයුතු කරන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මෙන්ම මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ හා ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප‍්‍රධාන කරාතේ පුහුණුකාරිය වශයෙන් කටයුතු කරයි. 2017 වර්ෂයේදී ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කුමිතේ තීරකවරයෙක් ලෙසත් (refree - A), කාතා විනිසුරුවරයෙක් (judge - B) ලෙසත් පත්වීම් ලබාගත්තේය. පළමුවරට 2006 වසරේ පුහුණුකරු හැඳුනුම්පත ලබාගත් හර්ෂණී 2019 වසර දක්වාම කරාතේ ජාතික සම්මේලනයේ හා පාසල් කරාතේ සංගමයේ පුහුණුකාරියක් ලෙස කටයුතු කරයි. 2017 වර්ෂයේදී ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි පුහුණුකරුකු බවටද පත්විය.

2017 වර්ෂයේ ආසියානු කරාතේ පුහුණුකරු විභාගයෙන් සමත්ව ලංකාවේ සිටින ප‍්‍රථම පුහුණුකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වන හර්ෂණී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රථම ආසියානු කරාතේ පුහුණුකාරිය බවට පත්විය. 2019 වර්ෂයේදී ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ජාතික පුහුණුකරුවකු බවටද පත්විය.

2014 හා 2015 වර්ෂවල ශ‍්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ තරඟ ලේකම් ලෙස පත්වූ හර්ෂණී, මේ වනවිට එම සංගමයේ විවිධ තනතුරු දරා ඇත. මේ වන විට මැය ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හා ශ‍්‍රී ලංකා පාසල් කරාතේ සංගමයේ ජාත්‍යන්තර තරඟ සඳහා කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස හා පුහුණුකරු ලෙස සහභාගී වෙයි. මේ වන විට ශිතෝරියූ කරාතේ ශෛලයේ ජාත්‍යන්තර කළුපටි දෙවන ශ්‍රේණියේ පසුවන අතර ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කළුපටි 4 වැනි ශ්‍රේණියේ පසුවෙයි.

එකොළොස්වියේදී කරාතේ ක‍්‍රීඩාවට අවතීර්ණ වී ශ‍්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවූ කරාතේ ශූරීය අදවන විට විවිධාකාර වගකීම් දරයි. ඇය ගුරුවරියකි. පාසල් තුනක කරාතේ පුහුණුකාරියයි. තමා උගන්වන ශාන්ත අන්තෝනි පාසලේ ක‍්‍රීඩා පරිපාලකතුමි යයි. ශ‍්‍රී ලංකා කරාතේ දො සම්මේලනයේ තීරකවරයෙක්, විනිසුරුවරයෙක් හා පුහුණුකරුවෙකි. ඒ වගේම ජාත්‍යන්තර තරඟ සඳහා ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනි යයි. ශ‍්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ නිලධාරිනියකි. එමෙන්ම ක්‍ෂේත‍්‍රයේ සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වූ, යහපත් පවුල් ජීවිතයක් ගතකරන බිරිඳකි. තවද ඇතැම් අය හර්ෂණීව හඳුන්වන්නේ ක‍්‍රීඩා ලොව සිටින රූමතිය ලෙසයි. බහු වගකීම් දරමින්, සිය පෙනුම, පෞරෂත්වය හොඳින් පවත්වාගෙන යන හර්ෂණී තමන්ගේ කාල කළමනාකරණය ගැන කිව්වෙ මෙවන් අදහසකි.

‘‘ මම පදිංචිව ඉන්නෙ මාතලේ ප‍්‍රදේශයේ. මගේ මහ ගෙදරට කිලෝමීටර් 5 ක් පමණ දුරින්. සතියේ දවස් වල උදේ 4ට නැඟටලා, 4.45 ට ගෙදරින් පිටත් වෙලා, 5.30සිට 7.15 දක්වා පාසල්වල පුහුණුකිරීම් කරලා, 7.30 වනවිට මා උගන්වන පාසලට ගිහින් සාරිය ඇඳගෙන, 1.30 වනතුරු ඉගැන්වීම් කටයුතු කරලා, නැවතත් හවස 2.00 සිට 6.00 දක්වා පුහුණු කිරීම් කරලා ගෙදර එද්දි ? 8.00 විතර වෙනවා. හැමදාම උදේට, දවල්ට කන්නෙ පිටින් නිසා ?ට උයලා, කාලා, නිදා ගන්නකොට ? 10.00, 11.00 වෙනවා. ළමයිව තරග සඳහා එක්කගෙන යන්න වෙන්නෙ සති අන්තයේ නිසා, ඒ දවස් දෙකේ පුහුණුවීම් කරන්නෙ නැහැ. ඒ දවස් දෙකේ තමයි පාසලේ ඉගැන්වීම කටයුතු වලට සූදානම් වෙන්නෙ. ඒ වගේම ගෙදර වැඩටික කරගන්නෙ. මගේ සැමියාගෙත් ආශිර්වාදය මත මම කරාතේ වෙනුවෙන් කරන්නෙ ලොකු කැපකිරීමක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජාත්‍යන්තර ජයග‍්‍රහණය වලින් ලෝකය තුළ අපේ රටේ නම බබළවන්න හැකි දක්ෂ කරාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීමයි”.

ආත්මාර්ථය උදෙසා මුදල්, වරදාන පසුපස යන වත්මන් තරුණ පරපුරට ක‍්‍රියාවෙන් ආදර්ශයක් සපයන හර්ෂණී, තමාට උදව්කළ අය මෙනෙහිකර, සිය අනාගත අරමුණු පැහැදිලි කළේ මෙසේය.

‘‘මම මේ ඉන්න තැනට එන්න ගොඩක්ම උදව් කළේ මගේ අම්මා සහ පවුලේ අය. ඒ වගේම මගේ කැපකිරීමේ කොටස්කරුවෙක් වන මගේ සැමියටත් ගෞරවාන්විත ස්තුතිය පුදකරනවා. ඒ වගේම මගේ පුහුණුකරුවන් වන සෙන්සේ දුලීකා සිරිසේන, සෙන්සේ උපාලි සිරිසේන හා රෙන්ෂි ක්ලෙමන් ද සිල්වා යන මහත්ම මහත්මීන්ටත් ස්තුතිය පුදකරනවා. ඒ වගේම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිනිය පී.ආර්.සී.කේ. රණසිංහ මහත්මිය ඇතුළු ගුරුවරු සියලූදෙනා ලබාදෙන සහයෝගය අගය කරනවා. මගේ එකම බලාපොරොත්තව ජාත්‍යන්තර පුහුණුකරුවකු වෙලා රටේ කරාතේ ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කිරීමයි”


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles