Divaina - අපි නොදන්න පොලිසිය දන්න ට‍්‍රැෆික් කතන්දරේ මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 trafic
 
 නිතීඥ සංජීව බෝපේආරච්චි
 BA, LLB, MA (Political science)
 
 
”ධම්මේ භවේ රක්ඛති ධම්මචාරී’’ යන්න ශ්‍රී ලංකා පොලිසියේ තේමා පාඨයයී. එනම් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි යන තේමාව පෙර දැරිකර ගත් ශ්‍රී ලංකා පොලිසිය මේ මස තුන් වැනි දින සිය 153 සංවත්සරය සැමරීය. එවන් යහපත් සමාජයක් නිර්මාණය කිරීමේහිලා පොලිසිය විසින් විවිධ කාර්යභාරයන් ඉටු කරනු ලබයි.එනම් නීතිය හා සාමය ආරක්ෂා කිරීම,අපරාධ විමර්ශනය, වංචා හා දූෂණයන්ට එරෙහිව කටයුතු කිරීම යනාදිය පොලිසිය විසින් සිදු කරනු ලබන කාර්යයන්ගෙන් බිඳක. වඩාත් යහපත් වූ ද සාමකාමී වූ ද ජන සමාජයක් නිර්මාණය කිරීම සඳහා මහා මාර්ගයේ නීතිය අකුරටම ක‍්‍රියාවට නැංවීම ද පොලිසියේ ප‍්‍රධානතම කාර්ය භාරයකි.
 
 අප රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියයෝ මිනීමැරුම් , ස්ත‍්‍රී දූෂණ මංකොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ වලට යොමු නොවෙති. නමුදු ඔහුන් පවා මං මාවත් වල ගමන් කිරීමේ දී විවිධ මාර්ග නීති කඩ කිරීම් සිදුකරයි. අද වන විට එවැනි මාර්ග නීති කඩ කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. එනම් පදික මාරු භාවිත නොකිරීම , මාර්ග සංඥා නොතකා ගමන් කිරිම,අධික වේගයෙන් සහ බීමත්ව රිය ධාවනය කිරීම, කහ ඉරි නොතකා පාර හරහා ගමන් කිරීම වැනි වැරදි ක‍්‍රියා ඔහුන් විසින් සිදු කරයි.එමෙන්ම එවැනි වැරදි සාමාන්‍ය තත්ත්වයන් ලෙස සැලකීමට මිනිසුන් පූරුදු වි සිටිති. ඔවුහූ එවැනි ක‍්‍රියකාරකම් වැරදි ලෙස පිළගැනීමට මැලිවෙති.එවන් වැරදි වලට එරෙහිව ක‍්‍රියා කරන පොලිස් නිලධාරීන් වෙත පවා ඔවුන් දක්වන්නේ වෛරීකාරි හැඟීමකි. නමුදු පොලිසිය ක‍්‍රියා කළ යුත්තේ වඩා වැඩි බහුතර ජනතාවකගේ ආරක්ෂාව සහ සුබසාධනය උදෙසාය. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත යම් යම් බලතල ලබා දී ඇත. එකී බලතල සම්බන්ධයෙන් අප රටේ පුරවැසියන් වෙත පවතින දැනුම ඉතාම අල්පය. මෙහි ඇති වඩාත් ඛේදනීය පැතිකඩ වන්නේ පොලිස් නිලධාරීන් පවා ඇතැම් විට ඔවුන් සතු බලතල පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව ක‍්‍රියා නොකිරිමය.
 
 ”තනි පොලිස් නිලධාරියකුට වාහනයක් නතර කළ නොහැකිය. කාන්තාවක් රිය පදවන විට වාහනය නතර කොට ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගත නොහැකිය. වේගයෙන් රිය පැද වූ බවට එල්ලවන චෝදනාවකදි වේග මාපකයක් අනිවාර්යයෙන් තිබිය යුතුය.
 
 මේ ආකාරයේ බොහෝ දුර්මත සමාජය තුළ පවති. ඊට මූලිකතම හේතුවවී ඇත්තේ සාමාන්‍ය මහජනතාවට නීතිය පිළිබඳ පවතින අඩු දැනුමය. තවද මෙම නීති තත්ත්වයන් අන්තර්ගතව ඇති පනත් කියවා තේරුම් ගැනීම ද බෙහෙවින්ම අපහසු ය. ඇතැම් විට මෙම මාර්ග නීති සම්බන්ධයෙන් වන දැනුම ඉහළ වෘත්තිකයන් වෙත පවා පවතින්නේ ඉතාම අඩු මට්ටමකිනි .
 
 මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ අද වන විට විශාල වශයෙන් රිය අනතුරු ශීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතී. ඒ අතුරින් මාරක රිය අනතුරු, ස්ථිර අබාධ තත්ත්වයන්ට පත් කරන රිය අනතුරු, ළමා සහ ගැබිනි මාතාවන් අනතුරට භාජනය වීම් ද වාර්තා වේ. 2016 වර්ෂයේ දී මාරක රිය අනතුරු 2798 ප‍්‍රමාණයක් වාර්තා ගත වී ඇත. එහිදි සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2961 ක්ය. 2017 වර්ෂයේදී එම තත්ත්වය තවත් වර්ධනය වී ඇත. එම වර්ෂයේදී වර්තා ගත වී ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 2922 කි. පුද්ගල මරණ සංඛ්‍යා 3100 දක්වා වර්ධනය වී ඇත. මෙම තත්ත්වය මර්දනය කර ගැනීම සඳහා පොලිසිය වෙත අති විශාල කාර්ය භාරයක් පැවරී ඇත. මෙවැනි අවස්ථාවන්හිදී පොලිස් නිලධාරින් වෙත පවා තමනට ගත හැකි නෛතික ප‍්‍රතිකර්ම කවරේ ද යන්න පිළිබඳව පවතින්නේ ඉතාම අඩු දැනුමකි.ිඑබැවින් අඩුපාඩු සහිත කරුණු වාර්තාගත කිරීම් හේතුවෙන් අධිකරණ වෙතින් වැරැදිකරුවන් නිදහස් වන අවස්ථාද අපට දැකගත හැකිය. රථ වාහන පාලනයේ දී පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද යන්න පිළිබඳව මූලික වශයෙන් විග‍්‍රහ වන්නේ 1951 අංක 14 දරන මෝටර් රථ වාහන පනත සහ 1885 අංක 16 පොලිස් ආඥා පනත වෙතිනි. මෙම පනත් ද අවස්ථා කිහිපයකදීම සංශෝධනයට ලක්ව ඇත. මෙම පනත් වල දක්වා ඇති විධිවිධාන කෙරෙහි අවධානය යොමු කිරීමේ දී අපට බොහෝ ගැටලූවලට යම් විසඳුමක් ළඟා කර ගත හැකිය.
 
trafic2තනි පොලිස් නිලධාරියකුට වාහනයක් නතර කළ නොහැකිය. දඩ කොලයක් ලිවිය නොහැකිය යන්න සමාජය තුළ මුල් බැසගත් මතයකි. සාමාන්‍ය සිවිල් පුරවැසියන් පමණක් නොව ඇතැම් විට නීතිය පිළිබඳ දන්නා තැනැත්තන් පවා පොලිස් නිලධාරීන් සමග තනි පොලිස් නිලධාරියකු වූ වාහනයක් නතර කළ විට එසේ තනි පොලිස් නිලධාරියකුට වාහනයක් නතර කළ නොහැකිය” යන පදනමේ සිට තර්ක විතර්ක කරති. ඒ පිළිබඳ පවතින සෑබෑ නෛතික තත්ත්වය අප විමසා බැලිය යුතුය. එනම් මෝටර් රථ වාහන පනතේ 162 වගන්තිය ප‍්‍රකාරව මහා මාර්ගය දී තනි පොලිස් නිලධාරියකුට වුවද වාහනයක් නවතා ලිය හැකිය. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටීම අවශ්‍ය නොවේ. එකී වගන්තිය අනුව මෝටර් රථය නතර කිරීමට පසුපසට පැදවීමට එහි වේගය අඩු කිරීමට ආපස්සට හැරවීමට හෝ වාහන පෙළකට අනුව ගමන් කිරීමට පොලිස් නිලධාරියකුට වාචික හෝ හස්ත සංඥා මගින් විධිවිධාන සැලැස්විය හැකිය. මේ අනුව තනි පොලිස් නිලධාරියකුට වාහනයක් නතර කළ නොහැකි යන්න සමාජය තුළ පවතින මුල් බැසගත් වැරදි මතයක් බව අපට පෙනී යනු ඇත. එහිදී පොලිස් නිලධාරියකුට වාහන නතර කොට මෝටර් රථවාහන පනතේ දක්වා ඇති විධිවිධානයන් කඩ කිරීමක් ගැන දඩ කොලයක් නියම කළ හැකිය. නමුත් රියැදුරු හෝ රථයේ අයිතිකරු වරද
 
 පිළිගැනීමට අකමැති නම් එවැනි තැනැත්තන්ට එරෙහිව පොලිසිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී නඩු පවුර ලැබේ. නමුත් දඩ මුදලක් නියම කරනු ලැබූ විටදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හෝ තැපැල් කාර්යාලයක දී එකී ගෙවීම් කළ හැකිය. එලෙස ගෙවීම් කළ කුවින්තාසිය දින 14ක් තුළ අදාළ පොලිස් ස්ථානය වෙත පුද්ගලිකවම හෝ ලියා පදිංචි තැපෑලෙන් ලැබීමට සැලැස්විය යුතුය.
 
 අද වන විට අපේ රටේ මාර්ග පද්ධතිය වඩාත් නවීකරණය වී ඇත. එමෙන්ම අධිවේගී මාර්ගයන් ද පවති. එබැවින් වාහන ධාවකයන් ඉතාම වේගයෙන් සිය රථ පැදවීමට කටයුතු කරන අවස්ථා අපට දැක ගත හැකිය. ඇතැම් පිරිස් වේග සීමා ගැන තැකීමක් නොකරති. එවැනි විටෙක දී පොලිස් නිලධාරීන්ට ඔවුන්ව නැවැත්විය හැකි ය. මේ සඳහා වේග මාපකයක් තිබීම අනිවාර්ය නැත. නමුත් අද වන විට අධිවේගී මාර්ගයේ ගමන් කරන විට වේග සිමා මැනීම සඳහා ස්වයංක‍්‍රීය කැමරා පද්ධතියක් සවි කොට ඇත. නිදර්ශනයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව වන්නේ පැයට කිලෝමීටර 100 කි. එකී වේගයට වඩා වැඩි වේගයකින් ගමන් ගන්නා අවස්ථාවකදී ස්වයංක‍්‍රිය කැමරා පද්ධතිය මගින් සටහන්ව ගමනාන්තයේදී එකී වරදට අදාළව පොලිසිය විසින් දඩ කොලයක් ලබා දීම හෝ නඩු පැවරීම සිදු කරනු ලබයි. මෙලෙස තාක්ෂණික නවීනාංග උපයෝගී කර ගැනීමෙන් මෙම ගැටලූවට යම් සහනදායි පිළිතුරක් ලබාගත හැකියි.
 
 යම් කාන්තාවක් වාහනයක් පදවන විටදී හෝ පදික වේදිකාවේ ගමන් කරන විටකදී ඇයගේ තහවුරු කර ගැනීම සඳහා පොලිස් නිලධාරියකුට හැකියි. ඒ සඳහා කාන්තා නිලධාරීනියක් සිටීම අත්‍යවශ්‍ය නැත. ඇගේ නම , ලිපිනය, දුරකථන වැනි දෑ ඉල්ලා සිටීමට ද හැකි ය. කාන්තාවක් පරීක්ෂා කිරීමේදී නම් සදාචාරය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව දක්වා ඇත. එනම් එවැනි විටෙකදී කාන්තා නිලධාරිනියක් නොමැති නම් වෙනත් කාන්තාවක් ලවා ඇයව පරීක්ෂා කරවීමට පොලිස් නිලධාරියකුට හැකියාව පවතී. කාන්තාවක් පමණක් නොව වෙනත් ඕනෑම අයකුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පොලිස් නිලධාරියකුට හැකිය.කෙනකුගේ නම,ලිපිනය , යම් ස්ථානයේ සිටින්නේ කවර හේතුවක් මත ද එම තැනැත්තා සන්තකයේ තිබෙන දේවල් (සාක්කුවල සහ ගමන් මලූ) වැනි දෑ පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරියකුට හැකිය. මෙහිදී ඔහු අසන ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුය.ිඑමෙන්ම ඔහු ගේ රාජකාරියට බාධා නොකළ යුතුය. එම පොලිස් නිලධාරියා රථවාහන අංශයේ කෙනකුවීම අවශ්‍ය නැත. එම නිලධාරියා පොලිස් නිල ඇඳුමින් සිටීම හෝ පොලිස් නිලධාරියකු බව තහවුරු කිරීම අවශ්‍ය වේ. එහි දී ඔහුගේ නම, ශ්‍රේණිය සහ සේවයේ යෙදෙන පොලිස් ස්ථානය ප‍්‍රකාශ කළ යුතුය. පොලිස් නිලධාරියා පොලිස් නිල ඇඳුමෙන් සිටියදී වුව ද ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීම අවශ්‍ය වේ. නමුදු ප‍්‍රායෝගිකව මෙවැන්නක් සිදුවන බවක් නම් පෙනෙන්නට නොමැත. පසුගිය කාල වකවානුවලදී ආගමික අන්තවාදීන් විසින් රටපුරා විවිධ ත‍්‍රස්ත ක‍්‍රියා සිදු කරනු ලැබීය.
 
 මුස්ලිම් පල්ලි වැනි ස්ථාන පරීක්ෂා කිරීමට පොලිසියට බලතල පවතිනුයේ ද යන්න පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය විය. ඇතැම් විට ආගමික පළඳනවන් පවා ඉවත් කොට සැක කටයුතු පිරිස් පරීක්ෂා කිරිමට සිදුවිය. සමහරවිට ඇඳුම් පවා ඉවත් කර ඔවුන් පරීක්ෂා කිරීමට සිදුවිය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම්
 
 ගැටලූකාරී අවස්ථාවක දී පොලිසියට ද එකී සෝදිසි කිරීමට බලය තිබිය යුතුය. පොලිස් නිලධාරීන් විසින් ඇඳුම් ඉවත් කිරීම, ආගමික පළඳනා ඉවත් කිරීම වැනි ක‍්‍රියාවන් සිදු කරනු ලබන්නේ සංවෘත ස්ථානයක දී ය. පොලිස් නිලධාරීන් විසින් ඔහුන්ව එසේ පරීක්ෂා කරන්නේ කවර හේතුවක් මත ද යන්න පිළිබඳව ප‍්‍රකාශ කළ යුතුය. යමක් සඟවාගෙන තිබිය හැකි යැයි සැක සිතන අවස්ථාවකදී ශරීරයේ ස්පර්ශ කර පවා පරීක්ෂා කිරීමේ බලය පොලිසියට ඇත. එවැනි අවස්ථාවකදී කාන්තා සැකකාරියක් නම් කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් හෝ පිරිමි සැකකරුවෙක් නම් පිරිමි පොලිස් නිලධාරියකු විසින් හෝ මෙම පරීක්ෂා කිරිම සිදු කළ හැකිය.
 
 වර්තමානයේදී සන්නිවේදන තාක්ෂණය බෙහෙවින්ම දියුණු වී ඇත. බොහෝ අය අතේ ජංගම දුරකථනයක් පවතී. එසේ හෙයින් යම් ස්ථානයක දී සිදුවන යමක් වඩා පහසුවෙන් වීඞීයෝ ගත කර ගැනීමට ඔවුන්ට අවකාශ පවතී. මෙලෙස මහා මාර්ගයේ පොලිස් නිලධාරීන් සමග ප‍්‍රශ්න ඇතිවන අවස්ථාන්හිදී විවිධ සමාජ ජාලා ඔස්සේ එකී සිදුවීම් විඩියෝ ගත කර විකාශනය වන අවස්ථා අපට දැක ගත හැකිවේ. එවැනි සිද්ධින් සම්බන්ධයෙන් දැඩි ප‍්‍රසිද්ධියක් ද ලැබෙයි. කතාබහට ද ලක් වේ. පොදු ස්ථානවලදී එවැනි සිදුවිම් ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කරන්නට නිතියෙන් බාධාවක් නොමැතිනමුදු එවැනි අවස්ථාවක දී ඔවුන්ගේ රාජකාරියට බාධාවක් වන පරිදි එම ජායාරූප ගතකිරීම හෝ විඩියෝ ගත කිරීම හෝ කළ නොහැකියි.
 
 එමෙන්ම යම් පොලිස් නිලධාරියෙක් අතින් පුද්ගලයකුට යම් අසාධාරණයක් වුවහොත් හෝ තමන්ගේ ආත්ම ගරුත්වයට හානි වන ආකාරයේ යම් දෙයක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා පොලිස්පතවරයාට සෘජු වම සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය. පොලිසිය විසින් ඊට අදාළව ර්‍ණ ඔෑඛඛ ෂඨඡු ර්‍ණ නමින් විද්‍යුත් තැපැල භාවිතකොට ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇත. නවීන ලෝකය සමග යාවත්කාලින වන පරිද්දෙන් පොලිස් දෙපාර්තමේන්තුව නවීකරණය විය යුතුය. තාක්ෂණික ශිල්ප ක‍්‍රම හඳුන්වා දීම සහ එවා භාවිතයට ගැනීම පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතුය. එවිට නිවැරදිව වැරදිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගත හැකිය.
 
 පොලිස් නිලධාරීන් යනු සමාජ සතුරන් නොවේය. සමාජයට අවැඩක් කිරීමට සිටින්නා වූ පිරිස් නොවේ. නමුත් සමාජයේ වෙසෙන සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක‍්‍රියා හේතුවෙන් සමාජයේ සාමාන්‍ය පුරවැසියාට එල්ලවන අපරාධ , වංචනික ක‍්‍රියා වැළැක්වීම පොලිසිය මූලිකතම ඉලක්කයකි. ජනතාවගේ සුරක්ෂිත භාවය ඔවුන් අපේක්ෂා කරයි.ිපොලිසිය නීතියේ අධිපත්‍ය තහවුරු කරන ප‍්‍රධාන ඒකකයකි. ඕනෑම සංස්ථාවක පුද්ගලයන් කිහිප දෙනකු කරනු ලබන වැරදි ක‍්‍රියාවන් මුළු සමස්ත කුලකයටම ආදේශ කිරීම එතරම් යෝග්‍ය නැත. ඒමත පිහිටා විවිධ තීන්දු තීරණවලට එළැඹීම ද යෝග්‍ය නොවේ. පොලිසිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ආකල්ප වෙනස් වීමට කාලය එළැඹ ඇත.
 
 මානව අයිතිවාසිකම්වලට ගරු කරන, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, මහජනයාට වග වන ,මහජන අභිලාශයන්ට ප‍්‍රතිචාර දක්වන පොලිස් සේවාවක් අපට අවශ්‍යව ඇත. ඒ සඳහා පොලිසිය සිය ස්වාධීනත්වය, අවංකවභාවය, වගවීම, සහයෝගීතාවය, අඛණ්ඩ පැවැත්ම, නිර්මාණශීලීත්වය, යනාදිය වූ කරුණු මත පිහිටා ක‍්‍රියා කළ යුතුය. ඒ සඳහා පොලිස් සේවාවේ මානව සම්පත ඵලදායී ලෙසත් කාර්යක්ෂම ලෙසත් කළමනාකරණය කළ යුතුය. තවද වෘත්තියමය වශයෙන් උසස් ප‍්‍රමිතියකින් යුතු පොලිස් සේවාවක් ඇති කිරීම අනිවාර්ය වේ. පොලිස් අභ්‍යාස විද්‍යාලයවලට අමතරව සියලූ පාදක ව්‍යුහයමය පහසුකම් වලින් යුක්ත ජාතික මට්ටමේ පොලිස් විශ්වවිද්‍යාලයක් ඇති කළ හැකිය.ිපොලිස් නිලධාරීන්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබා දීම තුළින් වඩා සාධනීය වූද කාර්යක්ෂම වූද පොලිස් සේවාවක් අපට ඇති කර ගත හැකිය. දේශපාලන ඇඟිලි ගැසීම් ද මුළුමනින්ම නවතාලිය යුතුය. කිසිදු පාර්ශ්වයකට අගතියක් වන ආකාරයෙන් කටයුතු නොකරමින් අපක්ෂපාතීව ක‍්‍රියා කිරීමට ඔවුන් පුරුදු පුහුණු කළ යුතුය. නවීන තාක්ෂණික ශිල්ප ක‍්‍රම, විධිමත් අවි පුහුණුව ඔවුන් වෙත ලබාදීම කාලීනව සිදු විය යුත්තකි. එමගින් මානව අයිතිවාසිකම් සුරක්ෂණය වන නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වන මහජන පැමිණිලිවලට කාර්යක්ෂම ප‍්‍රතිචාර දක්වන වඩාත් ඵලදායි පොලිස් සේවයක් නිර්මාණය කරගත හැකිය. එවිට පොලිසිය යනු ජනතාවගේ ගරු කටයුතු ආයතනයක් බවට සමාජ ආකල්ප වෙනස් වේ. ඒ ආකාරයෙන් නිර්මාණය වෙන සමාජ වටපිටාවක් තුළ සෑම පුද්ගලයකුටම නිදහස්ව මුලූ රට පුරා ගමන් කළ හැකිය. සෑම පුරවැසියෙක්ම වෙන් වෙන්වත් සාමූහිකවත් මෙම මාර්ග විනය රැකිය යුතුය. සදාචාරාත්මක සමාජ වටපිටාවක් තුළ පොලිසියට පනත් වලින් ලබා දී ඇති මෙම බලතල ප‍්‍රායෝගිකව ක‍්‍රියා කිරීමට සිදු නොවනු ඇත. එවිට පොලිස් නිලධාරියා ජනතාවගේ හුදු වෛරක්කාරයෙක් නොව සමාජ මිතුරකු බවට පත්වෙන කාලය ඉක්මනින්ම උදාකර ගැනීමට හැකිවනු ඇත. එවන් සදාචාර සම්පන්න සමාජ වටපිටාවක් තුළ ඔබ අප සියලූ දෙනාම අපේක්ෂා කරන ධර්මිෂ්ඨ සමජයක් නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles