Divaina - මේක දේශපාලන ශානරයේ පොතක් - මාධ්‍යවේදී චන්දන කාරියවසම්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
political
 
 * න්‍යායපත‍්‍රය හරියට දැනගත් විට අකුර එක්ක සෙල්ලම් කිරීම ලේසියි
 
 
 
 රිවිර දිනපතා පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන කාරියවසම් මහතා විසින් රචිත ‘පොලිටිකල් මණ්ඩිය I,II ග‍්‍රන්ථ ද්විත්වය මේ මස 12 වැනි දින ජනගත කිරීමට නියමිතය. මේ ඔහු සමග ඒ පිළිබඳව කළ සංවාදයකි.
 
 ප‍්‍ර - මේ ග‍්‍රන්ථය කුමන ශානරයකට අයත් ග‍්‍රන්ථයක්ද?
 
 පි - මෙහි අන්තර්ගත වන්නේ විවිධ පුද්ගලයන් සමග කළ සම්මුඛ සාකච්ඡා සමූහයක්. මෙම පුද්ගලයින් එකිනෙකට වෙනස් වූ සමාජ ස්ථරවල හා රැකියාවල නියැළී සිටි පිරිසක්. ඒ අතර සමහරෙක් රාජ්‍යතාන්ත‍්‍රිකයින්ය. තවත් සමහරෙක් විප්ලවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයින්. ඒ අතර තවත් පිරිසක් සිටිනවා වෘත්තීය සමිති නායකයින්. මෙවැනි එකිනෙකට වෙනස් වූ අදහස් හා පැවැතුම් ඇති පුද්ගලයින් සමූහයක් සමගයි මෙම සම්මුඛ සාකච්ඡා පෙළ සකස් වන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයින් මෙරට දේශපාලන නායකයින් සමග සමීප ඇසුරක් පැවැත්වීම. විශේෂයෙන් මා මෙහිදී උත්සාහ කළේ මෙම පුද්ගලයින් හරහා රටේ නාමධාරී දේශපාලන චරිතවල අභ්‍යන්තර ස්වරූපය මතු කර ගන්නත් එමෙන්ම සමහර තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව සියුම් ආකාරයේ විමර්ශනයක යෙදීම.
 
 ප‍්‍ර - ග‍්‍රන්ථ දෙකෙහි අන්තර්ගතය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කළොත්?
 
 පි - මම මුලින් සඳහන් කළා වගේ මෙය දේශපාලනයට බරව ලියැවුණු කෘතියක්. එහිදී මෙහි විශේෂයක් දක්නට ලැබෙනවා. ඒ ශ‍්‍රී ලංකාව පාලනය කළ පාලකයෝ බහුතරයක් ළඟින්ම ඇසුරු කළ විවිධ ක්‍ෂේත‍්‍රවල, තාරාතිරම්වල, වයස් කාණ්ඩවල පුද්ලයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙනවා. විශේෂයෙන් මෙම සම්මුඛ සාකච්ඡාවලදී මා උත්සහ කළේ ඔවුන්ගේ තොතුරුවලට වඩා ඔවුන් ඇසුරු කළ ඒ ඒ දේශපාලන චරිතවල විවිධ පැතිකඩ මොවුන් ලවා මතුකරවා ගැනීමටයි. විශේෂයෙන් ඇතැම් සුවිශේෂ දේශපාලන සිදුවීම්වලදී කරළියට ආවේ නැති සැඟ වී තිබූ විශේෂ කාරණා මෙම සම්මුඛ සාකච්ඡා හරහා එළිපෙහෙළි කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලැබුණා. එමෙන්ම 1956 ආණ්ඩු පෙරළියේ සිට 2015 ආණ්ඩු පෙරළිය දක්වා රට පාලනය කළ සහ පාලන බලය ලබාගැනීමට උත්සාහ කරපු දේශපාලන නායකයන්ගේ වතගොත මෙහි අන්තර්ගත වෙනවා.
 
 ප‍්‍ර - ඔබගේ කෘතියෙහි අන්තර්ගත සම්මුඛ සාකච්ඡාවලින් මතු වන මෙරට පාලනය කළ හා පාලන බලය ලබාගැනීමට උත්සාහ කළ චරිත ගැන ටිකක් කතා කරමු.
 
political2පි - 56 බණ්ඩාරනායක මහත්මයාගේ දේශපාලන ආගමනයේ සිට 2015 මහින්ද රාජපක්ෂ මහතා දක්වා රට පාලනය කරපු දේශපාලන නායකයින් ගැන මෙහි විවිධ හැඩතලවලින් අඩු වැඩි වශයෙන් තොරතුරු හෙළිදරව් වෙනවා. 56 දේශපාලන පෙරළිය රනිල් වික‍්‍රමසිංහ මහතා දක්වා මින් පෙර අප නොඇසූ හෙළිදරව් කිරීම් බොහෝමයක් මීටියාගොඩ ගුණරතන නාහිමියන් සමග කළ සම්මුඛ සාකච්ඡාවෙන් එළියට එනවා. එමෙන්ම ජෝන් කොතලාවල, දහනායක, බණ්ඩාරනායක මැතිනිය, හොරගොල්ල වලව්ව, බෝතලේ වලව්ව, කඳවල වලව්ව ආදිය පිළිබඳව සහ චන්ද්‍රිකා, අනුර, සුනේත‍්‍රා වැනි පසුකාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල දේශපාලන චරිත බවට පත් වූ මොවුන්ගේ කුඩා විය ගැනත් විශේෂයෙන්ම බණ්ඩාරනායක පවුල් ගැටුම පිළිබඳවත් අප නොදත් කරුණු රැසක් මෙහිදී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළා.
 
 ප‍්‍ර - මෙම සම්මුඛ සාකච්ඡා සඳහා ඒ ඒ පුද්ගලයන් තෝරා ගැනීමේ දී ඊට බලපෑ විශේෂ හේතු තිබුණාද ?
 
 පි - එවැනි විශේෂ චරිත තෝරාගෙන නෙමෙයි මෙම සම්මුඛ සාකච්ඡා පටන් ගත්තේ. නමුත් මා පළමු සම්මුඛ සාකච්ඡාව කළාට පස්සේ මම සම්මුඛ සාකච්ඡාවකදී පැන නැඟුණු විශේෂ කාරණා තව තවත් මතු කර ගැනීමේ අටියෙන් එම සිදුවීම්වලට සම්බන්ධ විශේෂ පුද්ගලයන් සොයා යෑම සිදුවුණා. මෙම සම්මුඛ සාකච්ඡා පෙළ සතිපතා ‘රිවිර ඉරිදා සංග‍්‍රහයේ’ පළ වුණා. ඊට ලැබුණු ප‍්‍රතිචාර නිසා මෙම සම්මුඛ සාකච්ඡා මාලාව දිගටම කරගෙන යන ලෙස පාලන අධිකාරියෙන් උපදෙස් ලැබුණා. ඉන් දිරිමත් වූ මා තව තවත් තොරතුරු සොයා යමින් විවිධ පුද්ගලයින් සමග කතාබස් කරමින් තොරතුරු හෙළි කර ගැනීමට සමත් වුණා. නමුත් අවසානයේදී සම්මුඛ සාකච්ඡා සියල්ල පෙළගස්වා බැලූ පසු පෙනෙන්නට ඇති කරුණක් වන්නේ මීට බඳුන් වූ පුද්ගලයින් සැලසුමක් තුළ අප යොදාගත් බවට කෙනකුට තර්ක කිරීමට ඉඩ ප‍්‍රස්ථාවක් තිබෙනවා. මම එහෙම කියන්නේ සමහර වේලාවලදී ලංකාවේ ප‍්‍රධාන චරිත දුරකථනයෙන් මා අමතා ඔබ මේ සිදුකරන්නේ සංවිධානාත්මක මඩ ගැසීමක් කියා චෝදනා කිරීම නිසයි.
 
 ප‍්‍ර - ඉන් හැෙඟන්නේ මෙම සම්මුඛ සාකච්ඡා නිසා ඔබගේ ලේඛනය අභියෝගයකට ලක්වූ බවයි.
 
 පි - මාධ්‍යවේදියකුගේ භූමිකාව කොයි අතින් ගත්තත් අභියෝගාත්මකයි. විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ වූ ජනප‍්‍රිය පුද්ගලයින්ගේ ඉතිහාසය ශ‍්‍රී ලංකාව වැනි පසුගාමී සංස්කෘතියක් යටතේ පවතින රටක මතු කිරීම වඩාත් අභියෝගාත්මකයි. අතීත නාමය මතු කිරීම හැම කෙනකුටම සුන්දර වෙන්නේ නැහැ. විශේෂයෙන් සඟවා ගත් ඉතිහාසයක් සහිත දේශපාලනඥයකුට මෙය කොහෙත්ම දිරවන්නේ නැහැ. සමහර වෙලාවට අභියෝගයක් එල්ල විය නොහැකි යැයි සිතෙන අවස්ථාවලදී පවා මෙවැනි ක්‍ෂේත‍්‍රයකදී අභියෝග එල්ල වෙනවා. සාමාන්‍යයෙන් මරණ තර්ජන පිළිගන්වමින් පැමිණෙන දුරකථන ඇමතුම් සුලබයි.
 
 ප‍්‍ර - මෙම ග‍්‍රන්ථ ද්විත්වයේ එකිනෙකට වෙනස් සුවිශේෂ චරිත රැසක් ඔබ සම්මුඛ සාකච්ඡාවට භාජනය කරනවා. ඔවුන්ගෙන් තොරතුරු අණාවරණය කර ගැනීමේදී ඔබ අනුගමනය කළ විශේෂ උපක‍්‍රම මොනවාද?
 
 පි - ඇත්තටම ඔව්. බුදුහාමුදුරුවන් වරක් දේශනා කළා ‘නානත්ථ ඛායා නානත්ථ සංඥ’ කියලා ඒ කියන්නේ මිනිස්සු ශරීර ස්වභාවයෙන් එකිනෙකාට වෙනස්. ඒ වගේම සිතන පතන විදියත් වෙනස්. මම සම්මුඛ සාකච්ඡාවලදී මුණ ගැසෙන්නේ මෙන්න මේ වගේ ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද එකිනෙකට වෙනස් මිනිසුන්. ඒ වගේම ඔවුන් සමහරෙක් විවිධ රෝගවලින් පෙළෙන උදවිය. සමහරකු වයස නිසාම අධික කෝපයට පත් වෙනවා. ඔවුන් නියෝජනය කරන්නේ විවධ පන්තිස්ථර. ඒ වාගේම අධ්‍යාපනයන්ගෙන් එකිනෙකට වෙනස්. ආර්ථික මට්ටම් ගත්තත් එහෙමයි.
 
 ඒ කියවීම තුළ ඔහු අඳින පළඳින ආකාරය, සිතන පතන ආකාරය ඔහු නියෝජනය කරන පන්තිය ඔහු ජීවත් වන වටපිටාව වැනි කාරණා පවා විෂයානුභද්ධ කාරණා වගේම අතිශය වැදගත් වෙනවා. සාර්ථකව සම්මුඛ සාකච්ඡාවක් කිරීමට නම් මේ කාරණාවලට අප සූදානම් විය යුතුයි. විශේෂයෙන් අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත‍්‍රිකයින් හා දේශපාලන භූමියේ පදම් වූ චරිත සමග කතාබහ කිරීමේදී මාධ්‍යවේදියකු ඉතා සැලකිලිමත් විය යුතු වගේම ප‍්‍රවේශම් විය යුතු වෙනවා. මන්ද ඔවුන් පිළිබඳ නියම වැටහීමක් තමන් තුළ නැත්නම්, ඉතා උපක‍්‍රමශීලීව ඔවුන් මාධ්‍යවේදියා නොමඟ යැවීම සිදුකරනවා.
 
 අපට අවශ්‍ය තොරතුරු මතු කර ගැනීමේදී ක‍්‍රම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්. කෙනකු අතීතයට රැගෙන ගොස් ඒ අතීත කාමය තුළ ඔහු අතරමං කොට සැඟවී ඇති විවිධ තොරතුරු ලබාගත හැකියි. හැබැයි එසේ තොරතුරු ලබාගත නොහැකි තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ තොරතුරු ලබාගන්න නම් උපක‍්‍රමශීලීව ඔවුන් කෝපයට පත් කළ යුතුයි. ප‍්‍රකෝප වූ පසු සමබරතාවය ගිලිහී යන නිසා ඔවුන් නොදනුවත්වම වාගේ තොරතුරු එළියට ගලා එනවා. තවත් ක‍්‍රමයක් තමයි අප ඔහුම වීම. ඉන් අදහස් වන්නේ ඔහු දරන දේශපාලන මතයම මා දරන බව පෙන්වීමයි. ඔහු රුචි කරන දේවල් අපද රුචි කරන දේවල් බව ඒත්තු ගැන්වීම. ඔහු රුචි නොකරන දේට අපත් රුචි නොකිරීම, එවැනි සුහද වාතාවරණයක් ගොඩනඟා ගත්විට සියුම් ලෙස ඔවුන්ගේ අභ්‍යන්තරය කතා කරන තැනට පත් කළ හැකිය.
 
 ප‍්‍ර - ඔබ මේ අයුරින් දේශපාලන ඉතිහාසය නැවත අවලෝකනය කරමින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?
 
 පි - ඉතිහාසය තියෙන්නේ වැරදුණු තැන නිවැරදි කරන යා යුතු නිවැරදි මඟ කියාදෙන උත්තම ගුරුවරයෙක්. ‘ඉතිහාසය කන්නදැයි’ කියලා අහපු නායකයෝ හිටපු කාලෙකුත් මේ රටේ තිබුණා. ඉතිහාසය නැතිව රටකටවත් පුද්ගලයකුටවත් නිවැරදි ගමනක් යන්න බැහැ. විශේෂයෙන් මෙම දේශාපලන අනාවරණ හරහා මතු වන ඉතිහාසය පැතිකඩ කීපයකින් වැදගත් වෙනවා. එක් පැත්තකින් තත්කාලීන, සමකාලීන දේශපාලන ඉතිහාස පෙළ ගැස්වීමේදී ඇතිවන හිඩැසි පිරවීමට මෙම අනාවරණ හේතු වෙනවා. ප‍්‍ර - කලක් ඔබ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වූවා. පත්තරකාරයකුගේ භූමිකාව සාර්ථක කර ගන්න ඉන් ලැබුණේ මොන වගේ පිටිබලයක්ද?
 
 පි - මම රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 1990 දීය. 1994 එම විශ්වවිද්‍යාලයේම ඉතිහාස අධ්‍යයන අංශයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙස වැඩ භාර ගන්නේ අවසන් ප‍්‍රතිඵල නිකුත් වෙන්නත් කලින්. ස්ථිර කථිකාචාර්යවරයකු හැටියට 2001 වසර දක්වා මා එහි සේවය කළා. වසර හත, අටක විශ්වවිද්‍යාල ගුරු ජීවිතය තුළදී මා ලැබූ විෂයානුබද්ධ දැනුම හා සියලූ දුක්කදෝමනස්සයන් විඳ ගැනීමේ හැකියාවෙන් පොහොසත් විශ්වවිද්‍යාල ජීවිතය පත්තරකාරයකු හැටියට මා ඉහළ ඔසවා තැබීමට අවශ්‍ය උත්තේජනය ලබාදුන්නා. විදේශ ගතවීමෙන් අනතුරුව ලංකාවට පැමිණි ‘රිවිර’ පුවත්පතට සම්බන්ධ වූයේ 2008 දී 2018 මම රිවිර පුවත්පතේ සේවයෙන් ඉවත්ව යන්නේ ‘රිවිර’ දිනපතා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා හැටියටයි. වසර දහයකට අධික රිවිර මාධ්‍ය ජීවිතය මගේ මාධ්‍ය ඉතිහාසයේ තීරණාත්මක කාල පරිචඡේදයක්.
 
 විශේෂයෙන් ඉතිහාසය විෂය පිළිබඳව හැදෑරීමක් විශ්වවිද්‍යාල ජීවිතය තුළ ලැබූ විවිධාකාර අත්දැකීම් හා විදේශගතවීමෙන් ලැබූ අත්දැකීම් මාධ්‍ය ජීවිතයේ පොහොසත් කරන්න මට විශාල පිටිබලයක් සැපයූවා.
 
 ප‍්‍ර - ඔබගේ ඊළඟ සාහිත්‍ය ව්‍යායාමය කුමක්ද?
 
 පි - මේ පොතට පාදක වූයේ දේශපාලනය හා ඉතිහාසය. මගේ ඊළඟ පොතට පාදක වන්නේ දේශපාලනය සහ ආගම.
 
 
 සාකච්ඡා කළේ - අකිලා නදීශානි බණ්ඩාර 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles