Divaina - ලන්ඩන් සටහන් - ජයලාල් රෝහණ ලන්ඩනයේදී ගීතයක් රූ ගත කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

සුජීව නිවුන්හැල්ල
 
 landon
 
ප‍්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණ පසුගියදා ඔහුගේ නවතම ගීය සඳහා රූ පෙළක් ලන්ඩනයේදී වීඩියෝ ගත කර ගත්තේය. ලන්ඩනයේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරගය අළලා එම ගීතය ලියා තිබූ අතර සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුය යන පණිවිඩය දීම රචකයාගේ අදහස වී තිබුණි. මෙම ගීය සහ රූප රචනය කර ඇත්තේ දැනට ලන්ඩනයේ ජීවත්වන, අයි.ටී.එන්. රූපවාහිනි සේවයේ හිටපු නිෂ්පාදකවරයකු මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ කට හඬ අනුමත ගායක ශිල්පියකු වන චන්දන ෆොන්සේකාය. තනුව සහ සංගීතය උපාලි රන්තිලක ගෙනි. වීඩියෝකරණය සිදු කරන ලද්දේ ජයසංඛ විජේසිංහය.
 
 ‘ඉරිදා දිවයින’ හා කථා කළ ජයලාල් රෝහණ කියා සිටියේ ස්කොට්ලන්තයේ වෙසෙන ඔහුගේ මිතුරෙකුගේ ආරාධනය මත ලන්ඩනයට පැමිණි අවස්ථාවේ මෙම ”මියුසික් වීඩියෝව” සිදු කළ බවයි. මෙම සංචාරයේදී තම දෙවන ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය කෙරෙන කරුණු කාරණා ද රැස් කර ගත් බව ඔහු සඳහන් කළේය. ඒ සඳහා ඔක්ස්ෆර්ඞ් සහ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලවලට ගිය බවත් විශේෂයෙන්ම ගවේෂණය සඳහා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පැරණි පුස්තකාලය භාවිතා කළ බවත් ඔහු පැවසීය. තමා නාට්‍යකරුවෙක් ලෙස ශේක්ස්පියර් ගම්මානය නැරඹීමට යෑමට ලැබීම මහඟු භාග්‍යයක් කොට සලකන බව ඔහු සඳහන් කරයි.
 
 ”මේ මගේ පළමු සංචාරයයි. නමුත් මා විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුවා. ස්කොට්ලන්තයේ ”අයිල් ඔෆ් ස්කයි” සහ ”එරිස්කේ” දූපත්වලට යෑමට මා වාසනාව ලැබුවා. මගේ මිත‍්‍ර මහින්ද සමරවීර නිසාමයි මට ඒ අවස්ථාව ලැබුණේ. එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සංචාරය කරන විට මා පරිසරයේ පුදුමාකාර සංයමයක් දැක්කා. විශේෂයෙන්ම වාහන පදවන රියදුරන්ගේ. මට හැකි නම් ශ‍්‍රී ලංකාවේ සියලූම රියදුරන් එංගලන්තයට ගෙනැවිත් මේ සංයමය පෙන්වනවා.”
 
 ”මේ සංචාරයේදී මට අවස්ථාව ලැබුණා ලන්ඩන් බී.බී.සී එකට ගොස් සාකච්ඡාවක් කරන්න. බී.බී.සීයට ඇතුළුවෙන තැන තියෙනවා ජෝර්ජ් ඕවල් මහතාගේ පිළිමයක්. ”ගොවිපොළේ පෙරළිය” නැත්නම් ”ඇනිමල් ෆාර්ම්” කියන පොත රචනා කළ ජගත් ලේඛකයා. ඔහු කලක් බී.බී.සී. ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කරලා තියෙනවා. ඔහුගේ පිළිමය යට මෙසේ කොටලා තියෙනවා. ”සැබෑ මාධ්‍යවේදියාගේ නිදහස යනු මිනිසුන් අසන්නට අකමැති දේ නිර්භයව ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන කෙනාය.”
 
  ”මා ඉගෙන ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි විද්‍යාර්ථයින් විශාල පිරිසක් මෙහිදී මුණ ගැසීමට හැකි වුණා. මා වෙනුවෙන් ලන්ඩනයේ කුඩා රංග ශාලාවක සුහද හමුවක් සූදානම් කර තිබුණා. එහිදී කාංචනා මෙන්ඩිස්, අනෝමා වත්තලදෙනිය සහ ලිලානි පෙරේරා වැනි ශිල්පිනියන් හමුවුණා. ලංකාව එපා වෙලාද කොහෙද ගොඩ දෙනෙක් කලාකාරයෝ ඉන්නේ මෙහෙ. අපේ රටට සේවය ලබා ගන්න පුළුවන් සුපිරි බුද්ධිමතුන් පිරිසක් මෙහේ. මේ බුද්ධි ගලනය සිදුවෙන්නේ කුමක් නිසාද?”
 
 ”මෙහේ නීතිය හරියටම ක‍්‍රියාත්මක වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට අයත් ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් තියෙනවා ස්කොට්ලන්තයේ. මම ගියා එය බලන්න. එතනත් රසවත් සිදුවීමක් වෙලා තියෙනවා. ගොල්ෆ් පිටියට යාබදව ඉඩමක් තියෙනවා. එය අයිති ගොවියෙකුට. ඒ ඉඩම ලබා ගන්න ට‍්‍රම්ප් උත්සාහ කර බැරි වූ විට නඩුවක් දමා තියෙනවා. නඩුවෙන් දිනලා තියෙන්නේ ගොවියා. ගොවියා ඔහුගේ වත්තේ ලොකු ස්කොට්ලන්ත කොඩියක් ඔසවලා තියෙනවා ට‍්‍රම්ප් ට කෝචොක් එකට. හැබැයි ට‍්‍රම්ප් ඔහුව මරවන්න හදලා නැහැ.”
 
 ”අපිට සුද්දන් ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි අරන් තියෙන්නේ අනවශ්‍ය දේවල්. ලංකාවේ මැති ඇමැතිවරු විශාල ප‍්‍රමාණයක් මේ රටවලට එනවා. නමුත් උන් කාලා බීලා ජොලි කරලා යනවා මිසක් අපේ රටවල්වලට අනුගත කළ යුතු දේවල් දිහා බලලා නැහැ. නගර ආකෘති, මං මාවත් පිළිසකර කර ඇති අන්දම ආදිය.”
 
 ”ශ‍්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන කතා කළොත්, දැන් එහි ජීවත්වෙන්න සුදුසු තත්ත්වයක් නැහැ. මගේ අවවාදය නම් ඉන්න බුද්ධිමතුන් ටිකටත් රටින් යන්න කියලා. මෙහේ ගෙවතු විශාල නොවුණත් හැම ගෙවත්තකම ඇපල් ගහක් වවලා. අර්තාපල්, තක්කලි, බීට්, කැරට් සහ මෙහේට ආවේනික එළවළු වර්ග පොඩියට හෝ වවලා. අපේ තියන කොස් ගහත් කපලා ලීවලට ගන්නවා. මෙහේ නගරයක තිබෙන ගහක් කපනවා නම් අවසර ගන්න ඕනේ. ඒ එක්කම කපන ගහ වෙනුවට එකක් හිටවන්න ඕනේ. අපේ අක්කර දහස් ගණනක ගස් කපපුවහම මහ එකා තීරණය කරනවා කියත් තහනම් කරන්න. ලන්ඩන් නගරයේ අක්කර 2500ක වන උද්‍යානයක් තියෙනවා ”රිච්මන්ඞ් පාර්ක්” කියලා. ඒකේ සිය ගණනක් මුවෝ ඉන්නවා. මගේ ඇඟ හිරි වැටුණා. මොකද කොළඹ විහාරමහාදේවි පාර්ක් එකේ එහෙම මුවෙක් හිටිය නම් පහුවෙනිදට උගේ මස් ටික තියෙයි ළඟ තියෙන හෝටලයක. එතකොට අපේ එවුන් දුනු ඊතල තහනම් කරයි. රට ගැන හිතන්නේ නැති. ජනතාව ගැන හිතන්නේ නැති වල් බූරු රැලක් එක්ක අපි ඉන්නවා. ජනතාවත් පච ටෙලි නාට්‍ය බලලා, බලලා මොළේ කල්පනා කරන්නේ නැති තැනට පත් වෙලා. ජනතාව තුළින් බුද්ධිමත් ව්‍යාපාරයක් අවශ්‍යයි. නැත්නම් රටක් නැති වෙනවා.” මේ ජයලාල් රෝහණ කලාකරුවාගේ අදහසුයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles