Divaina - අවුරුදු තුනේදී හිත් බැදුන සංගීත්-රේණු ආදර කතාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

sangeeth1

අද ආදර හැන්දෑව හැඩ කරන්නෙ බාලේ බැඳි ආලයකින් එහෙමත් නැතිනම් වැලිකෙළියේ පටන් බැඳි පේ‍්‍රමයකින් කියලත් කියන්න පුළුවන්. අපිට සිටින ප‍්‍රවීන සංගීතඥයකු වන සංගීත් වික‍්‍රමසිංහ තම හද දිනූ පෙම්බරාවිය හා බැදි හාදකම ගැන ආදර හැන්දෑවේදී ඈ ගැන මෙලෙස කියද්දි මේ ඈත දවසක රේණු ගැන ලියැවී තිබුණ පද වැලක් මට මතක් වුණා. රේණු රේණු මල් මිටේ රේණූ... ඈට පෙම් කරන්න මට බෑලූ.. 

 
රේණු රේණු ඒ... තමයි ඔහුගේ ආදරය.
 
 පාසල් වියේ පේ‍්‍රමය ගැන තියෙන අත්දැකීම් මොනවද?
 
 මම පස්වන ශ්‍රේණියට යනකම් ගම්පහ ශ‍්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයට තමයි ගියේ.
 
 ඒ කාලෙ නම් ආදර හැඟුම් මෝරන වයසක් නෙවෙයිනෙ?sangeeth2
 
 එහෙම කියල නැහැ. මම මේ කියන කතාව අහුවම ඔබ පුදුම වෙයි. මම විවාහ වෙලා ඉන්නෙ මගේ ප‍්‍රථම පේ‍්‍රමය වන රේණු සමග. මට මුලින්ම ඇය හමුවෙන්නෙ 1967 දි. ඒ අවුරුද්දෙ අපි ගම්පහ ගෙයක් හදල පදිංචියට එනව. එතකොට මට අවුරුදු තුනයි. අපේ ගේ ඉස්සරහ ගෙදර හිටිය ගැහැනු ළමය තමයි රේණු. අපේ ගෙවල් වටේම ගෙවල්වල ළමයි සෙල්ලම් බත් උයන්න සෙල්ලම් කරන්න එන්නෙ අපේ ගෙදරට. එදා මුල්වරට එයාව දැකපු ගමන් ආදරයක් ඇතිවුණා.
 
 ඒතරම් කුඩා වයසක දැණුන ආදර හැඟුම මොන වගේද?
 
 ඒක කියන්න තේරෙන්නෙ නැහැ. මට හැමදාම එයාව දකින්න කැමැත්තක් ඇතිවෙනව. ඊට පස්සෙ අපිව පාසල්වලට ඇතුළත් කරනවනෙ. එයා බාලිකා පාසලකට, මම පිරිමි පාසලකට ඇතුළත් කරන්නෙ. ඊට පස්සෙ හැමදාම සෙල්ලම් ගෙදරදි දකින්න ලැබෙන එක නතර වුණත් හැම සෙනසුරාදා ඉරිදාවකම අපේ ගෙදර අපේ අම්ම ටියුෂන් පංතියක්
 
 කරගෙන ගියා. ඒ පන්තියට අපේ ගෙවල් අවට ළමයි එනව. එයත් ඉන්නව. මමත් ඉන්නව. අපි පන්තිය ඉවරවුණහම
 
 හැංගිමුතං, අහස්යාත‍්‍රා, බට්ටො පනිනව වගේ සෙල්ලම් කරනව. සිංහල අවුරුදු දවසට අපි අඳින ඇඳුම් ගැන කතා වෙනව. ඒක හරිම සුන්දර ළමාවියක්. මම මගේ ළමාවිය වින්ඳේ ඇයත් සමගමයි.
 
 මේ වෙද්දි ආදරයත් ප‍්‍රකාශ වෙලාද?
 
 ඔය විදිහට කාලය ගතවෙලා එයා වැඩිවියට පත්වුණාට පස්සෙ මම එයාට මගේ අදහස කෙලින්ම කිව්වා. ඒ වෙද්දි එයාට දැනිල තියෙන්නත් ඇති. යාලූවො එයාට මොන මොනව හෝ කියල තියෙන්නත් ඇති මම එයා ගැන විශේෂත්වයක් දක්වනව කියල. එයා කෙදිනකවත් ඒක ප‍්‍රතික්ෂේප කළේ නැහැ. මට දැනෙන්නෙ මේක පහුගිය ආත්මයක ඉඳන්ම හොයාගෙන ආව දෙයක් විදිහටයි.
 
 පවුල්වල වැඩිහිටියන් මේ ආදර කතාව ගැන දැනගෙනද හිටියෙ?
 
 ගෙවල් වලින් නම් අපිට කිසිම විරෝධයක් ආවේ නැහැ. එකම දේ අපේ තාත්තා කිව්වා ගෙවල් දෙක ළඟ වැඩියි නේද කියලා. ළඟම ගෙවල් දෙකේ ජීවිත වුණත් තරුණ වියට ආවට පස්සෙ අපි මුණගැහෙන්න හරි බයයි. ආදර හසුන් වලින් තමයි ආදරය කළේ. මම ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් 1972 කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වුණා. 1980 දි තමයි මම උසස් පෙළ කරල පාසලෙන් අයින් වෙන්නෙ. ඒ කාලෙ ඉඳන්ම මම සංගීතයමයි කරන්නෙ.
 
 පෙම්වතියකුත් ඉන්න නිසා ස්ථිර රැුකියාවක් හොයාගන්න අදහසක් තිබුනෙ නැතිද?
 
 මට ඕන වුණේ සංගීතය එක්කම ඉන්න තමයි. මගේ තාත්තත් යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නායකයා විදිහටයි සේවය කළේ්. තාත්තා මම සංගීතය කළාට මේ රැුකියාවෙන් මට විශ‍්‍රාම වැටුපක් ලැබෙනවනෙ, ඔයා සංගීතය කළාට මොනවද අන්තිමට ඉතිරි වෙන්නෙ කියල මට අවවාද කළා. ඒත් මම දිගටම සංගීතය කළා. 1983 දි අපේ අම්මා මාව තරුණසේවා සභාවෙ බෙල්වුඞ් එකට බන්දනව. එතන මාස හයයි ඉන්නෙ. ඊට පස්සෙ ආධුනිකත්ව මණ්ඩලයෙ පාඨමාලාවකට ඇතුල් කරනව. ඒක හෝටල් ක්ෂේත‍්‍රය සම්බන්ධ පාඨමාලාවක්. මට ඒකෙන් පාසිකුඩාවල හෝටලයක් ලැබෙන්නෙ. ඒකට ගියෙත් නැහැ. අන්තිමට බෑන්ඞ් ගහන එකමයි කරන්නෙ.
 
 විවාහ වෙන වයසත් ළං වෙනව නේද?
 
 88 අවුරුද්දෙ අපේ විවාහය ලියාපදිංචි කළා. ඊට පස්සෙ මම සවුදි අරාබියේ රැුකියාවකට යනව. ගිහින් ඇවිත් 1992 තමයි අපේ විවාහ මංගල්‍ය ගන්නෙ. ඒ වෙද්දි රේණු මට ලියුම්වලින් අවවාද දීලාම මම දුම්පානයත් නවත්තලා තිබුණානෙ. අපි අපේ නැදෑ හිතවතුන්ට ඇරයුම් කරලා බොහොම චාම් විදිහට අපේ ගෙවල් වලදි විවාහ උත්සවය ගත්තා.
 
 මේ වකවානුවම නේද ඔබගේ ජනප‍්‍රියත්වය ඉහළම තලයක සිටි කාලය?
 
 ඒකට හේතුව මම ආනන්ද අයියව හඳුනගන්නෙ 89 අවුරුද්දෙ. ඒ කාලෙ එයාලට සංගීත කණ්ඩායමක් තිබුණා. මම ඒකෙ ඕගන් වාදනය කළා. ඒ කාලෙ දැන් වගේ ටෙලිෆෝන් නැහැ. වැඩ තියෙද්දි දින ටික ලියලා තැපැල්පතක් එවනව. ඉතින් මම බස් එකේ නුවර යනව. පස්සෙ මම සවුදි යනවනෙ. එහෙ ඉද්දි ආනන්ද අයියා මට ලියුමක් එවනව අපි සංගීත කණ්ඩායමක් පටන් ගත්තා, උඹ ලංකාවට ආවහම අපේ සංගීත කණ්ඩායමට වරෙන් කියලා. පස්සෙ ලංකාවට ආපු ගමන් මම 92 අවුරුද්දෙම සිහ ශක්ති කණ්ඩායමට එකතු වෙනව. 92 ජනවාරි අපේ මංගල උත්සවය. 92 දෙසැම්බර් අපිට සනුක පුතාව හම්බ වෙනව. 93 වසරෙදි ශක්ති ශ‍්‍රියා කියන කැසට් පටය අති මහත් ජනප‍්‍රියත්වයකට පත්වෙන්නෙ. මගේ ජනප‍්‍රියම වුණ ගීත ටික තිබුණෙ ඒ කැසට් එකේ තමයි. එහෙම තමයි රේණුගෙ ආදරයයි මගේ සංගීත දිවියයි ගොඩනැගුනෙ.
 
 ඈ තුළ ඔබ දකින සුවිශේෂතා මොනවද?
 
 ගෙදර සකසුරුවම් බව හා මුදල් පාලනය කිරීමේ හැකියාවම හරි ඉහළයි. අපේ දියුණුවක් වෙන්න නම් මෙයාට ගෙදර මුදල් පාලනය බාර දෙන්න ඕන කියලා මම හිතුවා. ඒ වගේම තමයි අපිට පුතාල දෙන්නෙක් ඉන්නව සනුක හා සමිත කියල. මම අතිශය කාර්ය බහුල වුණත් දරුවන්ගෙ අධ්‍යාපනය ගැන හැම දේම තීරණය කරලා සාර්ථකව ඉදිරියට ගෙන ගියේ රේණු. ඒ වගේම මම නිර්මාණය කරන හැම ගීතයක්ම එයා තමයි මුලින්ම අහල හොඳ නරක කියන්නෙ. මගෙන් කව්රුහරි ඇහුවොත් වැඩියෙන්ම ඉන්න කැමති කොහෙද කියල. මගේ පිළිතුර ගෙදර කියන එකයි. රේණු හැමදාම මට වඩා සැනසීමෙන් ඉන්න හැකි පසුබිමක් ගෙදර හදල තිබ්බා.
 
 ඔබ දෙදෙනා අමතන ආදරණීය හැඳින්වීම් මොනවද?
 
 එයාට ලස්සන නමක් තියෙනව. මේරියන් කියලා. එයාගෙ අම්ම තමයි ඒ නම දාලා තියෙන්නෙ. එයාගෙ සම්පූර්ණ නම මේරියන් රේණුකා පුෂ්පකාන්ති. මම ආදරේට එයාට කිව්වෙ රේණු කියලා. හැබැයි මේ වෙනතුරු එයා මට මගේ නමින් කතාකරල නැහැ. ඒයි ඔයා මෙයා වගේ ඇමතුම් තමයි මට ලැබෙන්නෙ. ආදර හසුන්වල නම් ගීත් කියල ලියනව. හැබැයි ඒ නමින් මට කතා කරද්දි අමතන්නෙ නැහැ.
 
 
 
 
 ධම්මිකා සුරංජි පතිරණ
 
 
 
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles