Divaina - ගාමිණීව මම දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්.... හැත්තෑඑකේ කැරැල්ලේදී මට හරියට ප‍්‍රශ්න ආවා.... ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සේන සමරසිංහ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

senasama1


ඈතින් ඈතට චිත‍්‍රපටයට මම ගොඩක් කැමැතියි

සේන සමරසිංහ සාර්ථක සිනමා කෘති රැුසක අධ්‍යක්‍ෂවරයෙක්. සදහටම ඔබ මගෙන් ඇරඹි ඔහුගේ සිනමා ගමනේ කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, චංචල රේඛා, බඹර කලාපය, ඈතින් ඈතට, යළි හමුවෙන්නයි ඔහුගේ ජීවිතයට වඩාත් සුවිශේෂී චිත‍්‍රපට වේ. මේ ඔහු ගේ කතාවයි.

 

senasama2

සේන සමරසිංහ සිනමාවට සම්බන්ධවීම

1971 කැරැුල්ලේදී මට හරියට ප‍්‍රශ්න ආවා. ඒ වෙලාවේ මගේ ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ඊට පස්සේ මම ගම අතහැරලා වත්තල ප‍්‍රදේශයේ මගේ මිතුරෙකුගේ නිවසක තමයි හිටියේ. ඒ කාලේ මම චිත‍්‍රපට රූපගත කිරීම් බලන්න හැඳල විජය ස්ටුඩියෝ එකට යන පුරුද්දක් තිබුණා. ඊට පස්සේ ඒ ගැන මට ආසාවක් ඇතිවුණා. කාලයක් ගියාට පස්සේ මගේ මිත‍්‍රයෙක් වුණ මිල්ටන් ජයවර්ධන ආරාධනාවක් කළා පින්තූරයක් කරමුද කියලා. ඒ වෙලාවේ තවත් ව්‍යාපාරයක් පටන්ගන්න එක හොඳයි කියලා මට හිතුණා. මොකද මගේ ව්‍යාපාර කටයුතුවලට තිබුණ කරදර හින්ද ඒවා ගැන විශ්වාසයක් තියාගන්න බැරිවයි හිටියේ. ඊට පසුව මම ඔහුගේ අදහසට කැමැතිවෙලා සදහටම ඔබ මගේ චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට අතගැසුවා. ඊට පසුව මම බලාගෙන හිටියා චිත‍්‍රපටයක් කරන්නේ කොහොමද කියලා.

 

senasama4

කස්තුරි සුවඳ චිත‍්‍රපටය

සදහටම ඔබ මගේ චිත‍්‍රපටය කරනවා බලාගෙන ඉඳලා මම වැඩ ඉගෙන ගත්තා. ඒ අනුවයි මම කස්තුරි සුවඳ අධ්‍යක්‍ෂණ කරන්න අදහස් කළෙ.

කස්තුරි සුවඳ චිත‍්‍රපටයේ ගීත

ඇන්ජලින් ගුණතිලක සදහටම ඔබ මගේ චිත‍්‍රපටයේ සමහර ගීත ගායනා කළා. ඒ හින්ද මම හිතුවා මේ වැඬේටත් ඇයගේ හඬ ගැලපෙනවා කියලා. ඇය ජෝතිපාල එක්ක තමයි ඒ කාලේ සින්දු කිව්වේ. අන්තිමේ මම ඒ දෙන්නව යොදාගත්තා. අනෙක් පින්තූරවලටත් මම ඒ දෙන්නවම යොදාගත්තා. ඊට පස්සේ තමයි මම මිල්ටන් මල්ලවආරච්චි යොදාගත්තේ.

නිල්ල සොයා චිත‍්‍රපටය

මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට අපි ගන්න හිටියේ ගීතා කුමාරසිංහව. නිල්ල සොයා චිත‍්‍රපටයේ මුහුරත් උළෙල දවසේ එයාට එන්න බැරිවුණා. මොකද එයා වෙනින් පළාතක වෙනත් පින්තූරයක රූගත කිරීමක් තිබුණා. මමත් මුහුරත් උළෙල දවසේ නැකතට පින්තූරයක් ගන්න සූදානම් කරලයි තිබුණේ. මුහුරත් එක තිබ්බාට පස්සේ නැකතට ෂොට් එක ගන්න මට නිළියක් නැතිව ගියා. ඊට පස්සේ එතැන හිටියේ උප ප‍්‍රධාන චරිතයකට තෝරාගෙන හිටපු මානෙල් වානගුරු විතරයි. අන්තිමේ මානෙල් වානගුරු දාලා මම ඒ ෂොට් එක කළා. මම ඒ වෙලාවේ තීරණය කළා මානෙල්ව ප‍්‍රධාන නිළිය විදිහටම තියෙනවා කියලා. චිත‍්‍රපටයට ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. මගේ දවස් සියයක් දුවපු මුල්ම චිත‍්‍රපටය වුණෙත් නිල්ල සොයා.

ආශා දෑසින්

ආශා දෑසින් චිත‍්‍රපටයට ශ‍්‍රියානිව තමයි මම ප‍්‍රධාන නිිළිය විදිහට තෝරාගත්තේ. ගාමිණී එක්ක ඒ චරිතයට මානෙල් වානගුරුව ගැලපෙන්නේ නැහැ. ඒ හින්ද මම හිතුවා ආශාදෑසින් චිත‍්‍රපටයට හරියනම කෙනා ශ‍්‍රියානි කියලා. ඒකත් සාර්ථකව දිව්වා.

senasama3චංචල රේඛා

චංචල රේඛා වෙනස්ම වෙනස් කතාවක්. ඒක ආදර කතාවක් නෙමෙයි. අනික මම මුලින් කළේ ආදර කතා. හැබැයි මේක අයියගෙයි නංගිගෙයි කතාවක්. ඒ චිත‍්‍රපටයේ අයියා විදිහට ගාමිණිව ගත්තහම නංගිට නිළියක් හොයා ගන්න ඕනෑ වුණා. ටිකක් පෙනුම තියෙන කෙනෙක් වෙන්නත් එපායැ. අනික ගාමිණිගේ මුහුණට ළඟින් යන්නත් ඕනෑ. මාලනීව අරගෙන හරියන්නෙත් නැහැ. මොකද ඒ දෙන්නා ආදරවන්තයෝ විදිහටනේ ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ. අනික නවක නිළියක් ගත්තහම මේකේ නැවුම් ගතියක් තියෙනවා. ඒ හින්දා තමයි නදීකාව ගත්තේ.

චංචල රේඛා හි දංචූටි

දං චූටි කිව්වහම ඒ කාලේ නොදන්න කෙනෙක් නැහැ. චිත‍්‍රපටය තිරගත වෙනකොට මට හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

ඈතින් ඈතට

ඈතින් ඈතටත් හොඳ පින්තූරයක් වුණා. ඒකත් මම ප‍්‍රසිද්ධ නළු නිිළියෝ ගත්තේ නැහැ. ඒකත් මම නිළියෝ නොවන කට්ටිය අරගෙන කරපු පින්තූරයක්. රසාදරී පීරිස්, අනුෂ්කා මැදිවක, කරුණාරත්න හඟවත්ත වගේ නවකයන් විශාල පිරිසක් මේ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. අනුරාධපුරය අවට තමයි රූගත කිරීම් කළේ. මම මේ චිත‍්‍රපටය කළේ හරි බයෙන්. මොකද මට ඕනෑවුනේ් කවුරුත් වැඩිය දන්නේ නැති අලූත් අය දාලා කරන්න. සමහරු ඒක හරියන්නේ නැහැ කිව්වා. මේ චිත‍්‍රපටය තිරගත කරන්න යනකොටත් හැමෝම ඇහුවා ඇයි ජෝතිපාල ගත්තේ නැත්තේ. ගාමිණී ගත්තේ නැත්තේ කියලා. ඒ අවුරුද්දේ සරසවි සම්මාන උළෙලේ ඈතින් ඈතට සම්මාන පහක් හිමිවෙනවා. අන්තිමේ මගේ උත්සාහය සාර්ථක වුණා.

බඹර කලාපය චිත‍්‍රපටය

මේ චිත‍්‍රපටයටත් මම අලූත්ම මුහුණු තමයි යොදාගත්තේ. රඹුක්කනට කෑගල්ල ගොඩක් කිට්ටු හින්ද කෑගල්ලේ ගොඩක් අයව මේ පින්තූරයට යොදාගත්තා. සබීතා පෙරේරා තමයි නිළිය හැටියට හිටියේ. ජීවන් කුමාරතුංග තමයි ප‍්‍රධාන නළුවා. මම නිෂ්පාදනය කරපු මගේ පළමුවැනි වර්ණ චිත‍්‍රපටය තමයි බඹර කලාපය. ඒ හින්දාම මගේ සිනමා ජීවිතයට බඹර කලාපය චිත‍්‍රපටය සුවිශේෂයි. ඊට පස්සේ සිංහ පැටව්, සෙබළියෝ, සාගර පෙරළිය වගේ චිත‍්‍රපට ගණනාවක් කළා. ඒකත් කරන්න ලොකු හේතුවක් තිබුණා. ඒ කාලේ සිංහල සිනමාව හොඳටම වැටිලා තිබුණා. අමාරු තත්්ත්වයක තිබුණා. මගේ ස්ටුඩියෝ එකක් තිබුණා. මගේ ළඟ හුඟාක් සේවකයෝ හිටියා. ඒ ගොල්ලන්ටත් වැඩ නැතිව ගියා. පස්සේ මට සම නිෂ්පාදනයට පිටරට නිෂ්පාදකවරු සොයාගෙන යන්න සිද්ධවුණා. ඒක කරලා තමයි මගේ සිනමා

සමාගම වැටෙන්නේ නැතිව පවත්වාගෙන ගියේ. අන්තිමේ ඒකත් අතහැරලා දැම්මා.

සේන සමරසිංහ සහ ගාමිණී ෆොන්සේකා මිත‍්‍රත්වය

ගාමිණීව මම දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. මම චිත‍්‍රපට කරන්නත් ඉස්සරවෙලා මගේ ළඟම මිත‍්‍රයෙක්. ඉතිං මොකක් හරි චිත‍්‍රපටයක් පටන් ගන්න කොට ගාමිණී ඉන්නකොට මට වෙන කෙනෙක් ගන්න බැහැනේ. ගාමිණි එක්ක ඒ දවස්වල නිතරම හැම පින්තූරයකම වගේ හිටියේ මාලනී ෆොන්සේකා. ඒ දෙන්නා තමයි ඒ කාලේ ජනපි‍්‍රයවෙලා තිබුණේ. චිත‍්‍රපටයක් කරනකොට ජනප‍්‍රිය අයවනේ ගන්න වෙන්නේ. අලූත් මුහුණු අරගෙන කරලා අපිට බලාපොරොත්තු තියාගන්න බැරිවෙනවානේ.

විජය කුමාරතුංගව නොගන්න හේතුවක් තිබුණාද?

විජයව ගන්න අදහසක් තිබුණා. නමුත් වැඬේ තියෙන්නේ මම දිගටම අරගෙන තිබුණේ ගාමිණීි ෆොන්සේකාවනේ. මට ඒක කඩන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. පින්තූරයෙන් පින්තූරයට මම වෙනස් අය ගත්තා නම් මට ඒ දේ කරන්න තිබුණා. නමුත් මම දිගටම ගත්තේ ගාමිණී ෆොන්සේකාවනේ. අන්තිමේ මම ඔහුව සම්බන්ධ කරගෙන කැසට් කිහිපයක් නිෂ්පාදනය කළා.

සිනමාවට හඳුන්වාදුන් නළු නිළියන්

අලූත් මුහුණකට කියලා කියන්න තියෙන්නේ බන්දු සමරසිංහව තමයි. සේනක පෙරේරාවත් හඳුන්වාදීලා තියෙනවා. සදහටම ඔබ මගේ චිත‍්‍රපටයෙන් තමයි බන්දු සමරසිංහ සිනමාවට ආවේ. ඊට පස්සේ මගේ හැම නිර්මාණයකටම දායකවෙලා තියෙනවා. අනික ඔහුත් කෑගල්ලේ පුද්ගලයෙක්. අපේ ගමට කිට්ටු කෙනෙක්. ඒ කාලේ ඉඳලා මම ඔහුව දන්නවා. සෝමපාල ලීලානන්ද තමයි මගේ චිත‍්‍රපටවල දිගටම තිර රචනය සිදුකළේ.

මිල්ටන් මල්ලවආරච්චි සහ සේන සමරසිංහ

සිනමාවට මිල්ටන්ව කිට්ටු කරලා දුන්නේ මමයි. මුලින්ම ගාමිණීගේ චිත‍්‍රපටවල සින්දු කිව්වේ ජෝතිපාල. මම තමයි මුලින්ම මිල්ටන් මල්ලවආරච්චිව සම්බන්ධ කරගෙන චිත‍්‍රපටයක් කළේ. ඇයි ජෝතිපාලව අයින් කළේ, මිල්ටන්ව හරියන්නේ නැහැ කියලා හුඟාක් දෙනෙක් කිව්වා. පස්සේ ගොඩක් දෙනෙක් පිළිගත්තා මම කරපු වැඬේ හරි කියලා. මොකද ගාමිණීගේ හඬට හොඳට මිල්ටන්ගේ හඬ ගැලපෙනවා. ඒ හඬ ගැලපුණේ නැතිනම් ඒ පින්තූර දුවන්නේ නැහැනේ. සාර්ථක වෙන්නේ නැහැ. නිල්ල නගන ගීතය, මුව මද හාසේ ගීත ඊට හොඳම සාක්‍ෂි.

මගේ චිත‍්‍රපටවලින් මා කැමැති චිත‍්‍රපට

මම හුඟාක්ම කැමැති ඈතින් ඈතට චිත‍්‍රපටයට. ඒකට මට හුඟාක් අභියෝග ආවා. ඒ චිත‍්‍රපටයට හිටියේ නවක නළු නිළියෝ. ඒක අසාර්ථකවෙයි කියලා තමයි හැමෝම හිතුවේ. ඒ හින්දා මට ගොඩක් ඒ වෙනුවෙන් මහන්සිවෙන්න වුණා. මම ඒ පින්තූරයට ගොඩක් කැමැතියි.

සිනමාවේ තිබුණ ප‍්‍රශ්න

තිරගත කිරීමේදී නම් ප‍්‍රශ්න මතුවුණේ නැහැ. අපිට ඒ කාලේ තිබුණ ලොකුම ප‍්‍රශ්නය තමයි චිත‍්‍රපටයක් කරලා එළියට දාන්න ගොඩක් කාලයක් බලාගෙන ඉන්න සිදුවීම. ඒකෙන් හුඟාක් පාඩුවෙනවා. චිත‍්‍රපටයක් කරලා අවුරුදු හතරකට විතර පස්සේ එළියට දානකොට සම්පූර්ණයෙන්ම ඒ සීන් එක අවුට් යනවා. එතකොට මිනිස්සුත් වෙනස්වෙලා. කොටින්ම කිව්වොත් ඇඳුම් පැළඳුම් පවා වෙනස් වෙනවානේ. සින්දුත් වෙනස්වෙලා. මගේ හැම පින්තූරයක්ම පෝලිමේ තිබුණා. අපි හැත්තෑව හැත්තෑඑක අවුරුද්දෙ කරපු කස්තුරි සුවඳ මිනිස්සුන්ට පෙන්නුවේ 73 හෝ 74 අවුරුද්දේ. එච්චරටම පෝලිමක් තිබුණා.

දිනේෂ් විතාන

 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles