Divaina - දුමින්ද නිදහස් වූ තීන්දුව රන්ජන්, පද්මිණි සහ ශානි ආපසු හැරවූ හැටි.... පද්මිණීගේ තීන්දුවේ දෝෂ ශ්‍රේෂ්ඨාධිකරණයට...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

 මනෝජ් අබයදීර
 
duminda

සෙනසුරාදා සන්ධ්‍යාවේ රන්ජන් රාමනායක පදිංචිව සිටින මාදිවෙල නිවස වෙත සෝදිසි වරෙන්තුවක් රැගත් පොලිස් කණ්ඩායමක් පැමිණියහ. සිය අත්අඩංගුව ද ප‍්‍රදර්ශනකාමී ආකාරයෙන් සමාජයට මුදාහැරීම සඳහා රන්ජන් විසින් සජීවී විකාශ ලබා දෙමින් සහ වටේ සිටි මන්ත‍්‍රීවරු නිවසට කැඳවමින්, පිටපතක් නොමැතිව හදිස්සි රංගනයක යෙදුණේය. මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව බරපතළ තේරුමක් රන්ජන් සිතේ එවෙලේ තිබුණේ නැත. දින කිහිපයකට ඉහත, ලයිසන් කාලය ඉකුත්වූ පිස්තෝලයක් සඳහා තමන්ව අත්අඩංගුවට ගන්නා බව පෙන්වමින්, ආණ්ඩුවට පක්ෂපාති පිරිසගේ පවා අනුකම්පාව තමා වෙත දිනා ගන්නට ඒ වන විට රන්ජන් සමත් වී තිබුණි.
 
 මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, මන්ත‍්‍රීවරයා භාවිත කළ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලය බලපත‍්‍ර රහිත එකක් බවත්, ඒ සඳහා යොදන උණ්ඩ 127 ට අමතරව තවත් ජීව උණ්ඩ 23 ක් තිබිය යුතු බවත්ය. එම ජීව උණ්ඩ යොදාගෙන මොහු යම්කිසි අපරාධ සිදුකර තිබේද, එසේම මොහුට මෙම ජීව උණ්ඩ ලැබුණේ කෙසේද, කුමක් සඳහාද, යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බවය. මොහු ඇප මත මුදාහැරියහොත් පොලිස් පරීක්ෂණවලට බාධා එල්ල විය හැකි බවත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු එවෙලේ අධිකරණයට දන්වා සිටියහ.
 
 මධුෂ් වෙනුවෙන් පෙනී සිටි උදුල්ම රන්ජන්ටත්
 
 රන්ජන් රාමනායක වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වනු ලැබුවේ, මධුෂ් ඇතුළු කුඩු නඩය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඩුබායි බලා ගිය නීතිඥ උදුල් පේ‍්‍රමරත්නය. මෙම ගිනිඅවිය බලපත‍්‍රයක් නොමැති ගිනි අවියක් වුවත් එය ඇප ලබාදිය හැකි වරදක් බවත්, එම නිසා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඔහු ඉල්ලා සිටියේය.
 
 දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. එසේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක්ද අධිකරණයෙන් පනවනු ලැබිණි.
 
 ඇප ලැබුණු සැණින් රන්ජන් වීරයාගේ ජවනිකාවට පණ පොවන්නට පටන් ගත්තේය. ඒ මොහොතේ ඔහු සිටියේ, ලව් ඉන් බැංකොක් චිත‍්‍රපටයේ ‘රන් සමනල ජෝඩුව වාගේ’.... යන ගීතයේ එන ආශ්වාදයෙන් ප‍්‍රමෝදයට පත්වුණා සේය. සියලූ දෙනාගේ ඇනුම් බැනුම් එල්ල වූයේ ආණ්ඩුවට සහ පොලිසියටය. එදින සමාජ මාධ්‍ය ජාලයම කරකැවී තිබුණේ ද රන්ජන්ගේ වාසියටය.
 
 අසභ්‍ය තැටි අසුවෙයි
 
 රන්ජන් සතුව තිබුණු අසභ්‍ය තැටි කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගත් බව ඔහුම පැවසූ අතර, ඒ කතාව ද තිබුණේ 

නළුවෙකු සහ තනිකඩයෙකු වූ රන්ජන්ගේ වාසියටය.
 
 සිද්ධිය ආණ්ඩුවටම, කරකවා ගැසීම සඳහා අවස්ථාවක් කර ගත් එජාපය, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල වුවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බව පවසමින් ඉරිදා සිරිකොත මූලස්ථානයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සංයුක්ත තැටි සොයා ගෙන ඇති බවට ප‍්‍රකාශ වුවත්, එවැනි තැටි ළඟ තබා ගැනීම වරදක් යැයි තමන්ට පැහැදිලි නොමැති බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ප‍්‍රකාශ කළේය.
 
 මෙවැනි චෝදනා යටතේ මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා නම් පක්ෂ විපක්ෂ දෙපැත්තේම මෙවැනි පිරිස් සිටිය හැකි බවද තමා දන්නා හැටියට නම් යම් පුද්ගලයකු විසින් ගිනි අවි බලපත‍්‍රය අලූත් කරගෙන නොමැති නම් එම පුද්ගලයාට ගිනි අවි බලපත‍්‍රය අහෝසි වන බවත්, එය අලූත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීම් කරනා බවත් මහාචාර්යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
 
 පළමු සංවාදය එළියට එයි
 
 සඳුදා උදෑසන වනතෙක්ම සිද්ධියේ වාසිය තිබුණේ රන්ජන්ගේ පැත්තටය. සියල්ල අනික් පිට හැරවෙන්නේ, රන්ජන්ගේ දෙබස් සහිත හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ රටේ සවන් අතරට එක්වීමත් සමගය. එහි පළමු දුරකථන සංවාදය ලෙස බොහෝ දෙනා ඇසුවේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ රන්ජන් අතර කතාවක් ලෙසය. එය ආරම්භ වන්නේ
 
 ශානි: සර් වඳින්නම් නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනකුට කතා කරන්න එපා. ලොකු ප‍්‍රශ්නයක් වෙනවා.
 
 රන්ජන්: ඇත්තද?
 
 ශානි: වැඳලා කියන්නම් සර්, කිසිම තැනක සර්ගෙ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නෙ.
 
 රන්ජන්: හා... හා... හා...
 
 ශානි: සර් කතා කරපු එකත් ලොකුවට පත්තුවෙලා යන්න හදන්නෙ. අපි ඒක බැලැන්ස් කරගන්නම්. වඳින්නම් කිසිම කෙනකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා.
 
 රන්ජන්: රයිට් රයිට් මං කාටවත් කිව්වෙ නැහැ. අද ජනාධිපතිතුමා හම්බවෙනවා පහහමාරට.
 
 ශානි: එපා එපා සර්. වඳින්නම් මොකුත් කියන්න එපා. දැන් ප‍්‍රශ්නෙ හරි.
 
 රන්ජන්: ප‍්‍රශ්නෙ හරිද?
 
 ශානි: ප‍්‍රශ්නෙ හරි. හැබැයි සර් වඳින්නම් රණවක මැඩම්ට කෝල් දීලා කියන්න එපා. ලොකු ප‍්‍රශ්නයක් වෙනවා අපි ඔක්කොටම.
 
 රන්ජන්: ඇත්තද? ඔතන කවුරුත් නෑ නේද?
 
 ශානි : නෑ නෑ
 
 රන්ජන්: මම කතා කරලා කිව්වා. මොකද එදා ඔයා හිතේ අමාරුවෙන් කතා කරානේ. මට කතා කළාම මම එහෙම්ම ගත්තා එයාට. මම කතා කරලා කිව්වා ‘අනේ මැතිනිය මම මේ බලපෑමක් කරනවා නෙවෙයි, මුළු රටම බලන් ඉන්නවා මේ 9 වැනිදා තීන්දුව ගැන. ඔව් රන්ජන් මොකද්ද කියලා ඇහුවා. මැඩම් මුළු රටම දන්නවා මහ දවල් මිනී මැරුමක්. ඔබතුමිය මම දන්න ශ්‍රේෂ්ඨ විනිසුරුවරියක්.’
 
 ‘ඉතින් මොකද්ද ප‍්‍රශ්නෙ. කියලා ඇහුවා. මං කිව්වා මුළු රටම බලන් ඉන්නවා මැඩම්. ආ රන්ජන් කට්ටියක් ඇවිල්ලා මං පස්සෙ ගන්නම් කියලා කිව්වා.
 
 ශානි: එච්චරයි නේ සර්.
 
 රන්ජන් : එච්චරයි. වෙන මොකුත්ම නෑ.
 
 ශානි: ඔය ඇරෙන්න වෙන මොකුත්ම.
 
 රන්ජන්: වෙන මොකුත්ම නෑ
 
 duminda2ශානි: සර් ආයේ එහෙම මැඩම්ට කතා කෙරුවොත් ඒගොල්ලොත් ඔක්කොම අනිත් පැත්තට එකතුවෙලා අරයාගෙ තීන්දුවට එකඟ වෙයි.
 
 යන දෙබස් මාදිලිය ඔස්සේය.
 
 එතැන් පටන් මේවන තෙක් නිකුත් වූ රන්ජන්ගේ හඬපට තොගය, අපරාධ, පළිගැනීම්, ආදරය, බබා කෝලම්. ප‍්‍රසිද්ධියේ අසන්නට බැරි ශෘංගාර කතා, සිට මරා දැමීම දක්වා දිගු පරදීසයක දිව යන බැවින් ඒවා එකිනෙක විග‍්‍රහ කිරීම අසීරු තත්ත්වයක පවතියි. එසේ වුවත් එම ඇමතුම් හි ඇති දුමින්ද - භාරත නඩු තීන්දුව සම්බන්ධ සිද්ධිය, මහින්දානන්ද
 
 අලූත්ගමගේ ඝාතන තැත, පොලිස් නිලධාරීන් ලවා දේශපාලන පළිගැනීම් මෙහෙයවීම, අධිකරණය දූෂිත කිරීම යන මාතෘකා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුව ඇත.
 
 පළමු පටිගතයෙන් ඇසෙන පරිදි ශානි අබේසේකර විසින් රන්ජන්ගේ ගෙදර වළං ඉඳුල් හෝදන තැන දක්වා පහළට වැටෙන්නේ, දුමින්දගේ නඩු තීන්දුව පිළිබඳවය. රටේම අවනම්බුවට භාජන වෙමින් සිරගත වෙන දුමින්ද වෙත ලබාදෙන ලද්දේ, නෛතික දඬුවමක් නොව සැලසුම් සහගත ලෙස පොලිසිය සහ අධිකරණයේ සමහර නඩුකාරයන් මෙහෙයවා ලබා දුන් තීන්දුවක් බව රටම තේරුම් ගන්නේ මෙම හඩපට ඇසීමෙනි.
 
 ආණ්ඩු මාරුවත් සමග විශේෂ නඩුවක් වෙයි
 
 දුමින්ද මරණ දඬුවම දක්වා ගෙන ගිය නඩු තීන්දුව සැකෙවින් මෙසේය.
 
 එතෙක් සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස තිබූ ‘භාරත ඝාතන නඩුව’, ආණ්ඩුපෙරළියෙන් පසු විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින්
 
 අගවිනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. එයට අනුමැතිය ලැබී, ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්. සී. බී. එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගේ යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ භාරත ඝාතන නඩුව විභාග කිරීම සිදු විය. මේ ලැබෙන හඬපට අනුව, දුමින්ද - භාරත නඩුව විශේෂ නඩුවක් වූ තැන පටන්ම යළි පරීක්ෂා කළ යුතුය.
 
 2011 ඔක්තෝබර් දොළොස් වැනිදා සාක්ෂි විමසීම ආරම්භ වූ දුමින්ද - භාරත නඩුව, 2016 ජුලි මාස 14 වැනිදා අවසන් වූ අතර, තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම, සැප්තැම්බර් අට වෙනිදාට නියම විය.
 
 තීන්දුව පද්මිණීගෙන්...
 
 විත්තිකරුවන් විත්තිකූඩුවට නැංවූ පසු උදෑසන 10.40 ට පමණ විනිසුරුවරු, අධිකරණයේ අසුන් ගත් අතර, සුළු මොහොතක පමාව පිළිබඳව කනගාටුව පළ කරමින් තීන්දුව ප‍්‍රකාශ කිරීමේ කාර්යය ආරම්භ විය. පිටු 297 කින් යුත් නඩු තීන්දුවේ වැදගත් කොටස, විනාඩි විසිපහක පමණ කාලයක් විනිසුරු පද්මිණි එන්. රණවක විසින් කියවමින් තීන්දුව ප‍්‍රකාශ කිරීම ආරම්භ කළාය.
 
 නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු සරත්, නඩුවේ 10 වැනි විත්තිකරු ජනක බණ්ගලගොඩ සහ 11 වන විත්තිකරු දුමින්ද සිල්වා යන පිරිස වරදකාර ලැයිස්තුවට ඇතුල්වූ අතර ඔවුන් සියලූ දෙනාට මරණ දණ්ඩනය එම තීන්දුවෙන් නියම කරනු ලැබීය.
 
 සභාපති විනිසුරු විසින් දුමින්ද නිදහස් කරයි
 
 විනිසුරු මණ්ලයේ දෙදෙනකු එක් තීන්දුවක් සහ සභාපති විනිසුරු විසින් සම්පූර්ණ වශයෙන් ඊට වෙනස් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීම මෙම නඩුවේ විශේෂත්වය විය. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා 17 න් විත්තිකරුවන් 13 දෙනාම නිදොස් කොට නිදහස් කළ යුතු බව එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දු ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් නමැත්තා එම ඝාතනයෙන් පසුව ඉන්දියාවට පලාගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්තිය ප‍්‍රබල ලෙස මතු කළ පැමිණිල්ලේ සාක්ෂි ඌනතාවන් බිඳ දැමීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් සිය තීන්දු ප‍්‍රකාශය මගින් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නඩුවේ විත්තිකරුවකු අත්අඩංගුවට ගැනීමක් වැනි කරුණක් පිළිබඳව අධිකරණය හමුවේදී සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි මගින් තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීමක් මගින් සමස්ත නඩු ක‍්‍රියාදාමයට බලපාන්නේ යැයි ද සභාපති විනිසුරුවරයා සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.
 
 මේ බෙදුණු තීන්දුවේ හේතුව විනිශ්චයකාරවරුන්ගේ සාධාරණ නිගමනය නම් ඒ පිළිබඳව කිසිවක් කතා කළ නොහැකිය. එසේ වුවත් මේ පිළිබඳව මුලසිටම සැකයක් ඉපදුණේ බොහෝ නීති විශාරදයන් පද්මිණි රණවකගේ තීන්දුවේ පරස්පරතා සහ නොසලකා හැරීම් ගොනු කිරීම තුළය. ඒ සියල්ල දැන් විසඳී තිබේ, දෙබස් වශයෙන් පළ කළ යුතු වුවත් රන්ජන්ගෙන් සහ හිටපු ජනාධිපතිගෙන් සිය උසස් වීම සඳහා පද්මිණි උදව් ඉල්ලා සිටින ආකාරය, නඩුවේ එක් පාර්ශ්වයක් වූ පොලිසියේ පරීක්ෂක ශානි විසින් කලින් තීන්දුව සැලසුම් කිරීම සහ දැනගැනීම යනාදියෙන් හඬපට හොඳහැටි ඔප්පු කර පෙන්වන්නේ, එක්කෝ මේ පුද්ගලික පලිගැනීමකි. නැතහොත් දේශපාලන පලිගැනීමකි යන්නයි. පද්මිණි විසින් ලියූ තීන්දුව වෙත, අනෙක් විනිසුරු මොරායස් විසින් එකඟයි යනුවෙන් අත්සන් තැබීමද මෙහිදී අවධාරණය කළ යුතුය. එසේ වන්නේ සැලසුමකින්ම බව සැක සහිතව දැනට කිව හැක.
 
 පද්මිණීගේ තීන්දුවේ දෝෂ ශ්‍රේෂ්ඨාධිකරණයට...
 
 මෙම තීන්දුවට එරෙහිව දුමින්ද පාර්ශ්වය විසින් අභියාචනයක් ගොනු කරමින් පද්මිණිගේ තීන්දුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැදගත් අනාවරණයන් ගණනාවක් ඉදිරිපත් කළේය. ඒ සියල්ල, රන්ජන්ගේ හඬපට හා සසඳා බලනවිට, ඇත්ත කුමක්ද යන්නත්, උසස් වීමකට, පළිගැනීමකට, මෙසේ ජීවිත සමග සෙල්ලම් කිරීම වෙනුවෙන් ශානිට, රන්ජන්ට, පද්මිණිට ලබාදිය යුතු තීන්දුව කුමක්ද යන්නත් ජනතාව තීන්දු කළ යුතුය.
 
 ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක නඩු තීන්දුවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වුවද නෛතික ප‍්‍රතිපාදන සැලසී ඇත්තේ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට පමණක් වන හෙයින් මෙම අභියාචනය විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් තම ප‍්‍රධනත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබීය.
 
 අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එකී අභියාචනය කැඳවා තිබුණි.
 
 ඒ අනුව මූලික කරුණු තහවුරු කිරීමේදී මෙම අභියාචනා විභාගයට නොගෙනම ඉවත දැමිය යුතු බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මඟින් නීතිපතිවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් කරන ලද ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ප‍්‍රතික්ෂේප කළහ.
 
 දින 04 ක මූලික කරුණු විමර්ශනය හා තවත් පුරා දින 14 ක් තරම් වූ දීර්ඝ පැය ගණනාවක් තුළදී සිදු වූ අභියාචනා විභාගයේදී ඉදිරිපත් වූ සැල කිරීම් තුළින් ප‍්‍රකාශ වූ කරුණු සම්භාරය අතරින් වඩාත්ම ඉස්මතු වූ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය වූ කරුණු කිහිපයකි.
 
 දුමින්ද තල්ලූකරයි - භාරත පාර්ශ්වයෙන් වෙඩි...
 
 duminda3හිඹුටානේදී අහම්බෙන් හමු වූ දෙපිරිස අතර බහින්බස්වීමක් හටගත් අවස්ථාවේදී, භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා දුමින්ද ආපසු හැරී යද්දී, භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා විසින් හිසටම තැබූ වෙඩි පහරවල් දෙක මඟින් දුමින්ද සිල්වා මළ කඳක් මෙන් ඇද වැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වූයේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදු වූ වඩාත් වැදගත් සිදුවීමක් විය.
 
 දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න සිය අවසන් සාක්ෂි සම්පිණ්ඩනය, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය පමණක් නොව පැමිණිලි පාර්ශ්වය විසින්ද ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින්ද ප‍්‍රකාශ කිරීම අනුව නිරවුල්ව තහවුරු වී ඇත්තේ බහින්බස් වීමකින් පමණක් අවසන් වීමට ගිය සාමාන්‍ය සිදුවීමක්, භාරත පාර්ශ්වය විසින් දුමින්ද සිල්වාට වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීමත් සමගම ජීවිත ගණනාවක් බිලිගත් බරපතළ ඛේදවාචකයක් බවට එය පත්වූ බවය.
 
 එකී කාරණා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දුන් ජනාධිපති නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ වෙතට හැරෙමින් විමසා සිටියේ එම කරුණු ඔබ ප‍්‍රතික්ෂේප කරන්නේද?.. යන්නය. ඊට ප‍්‍රතිචාර දක්වමින් නීතිපති නියෝජිතයා වූ ඔහු කියා සිටියේ එසේ නොකරන බවය.
 
 පැමිණිල්ල සහ විත්තිය දෙකම එකඟ වූ කරුණු
 
 එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවත් එකඟ වූ කරුණු රැසක් ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්හ.
 
 ⋆ දුමින්දට පළමුව වෙඩි වැදුණු බව
 
 ⋆ දුමින්ද සිල්වාගේ හිසට වෙඩි ප‍්‍රහාර දෙකක් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමීණි එල්ල කළ බව
 
 ⋆ ඉන් දුමින්ද සිල්වා පළමුව මරණීය තුවාල ලැබූ බව
 
 ⋆ ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා එම ස්ථානයෙන් ඉවත් කර රෝහල් ගත කළ බව
 
 ⋆ දුමින්ද සිල්වා කිසිදු අවස්ථාවක වෙඩි නොතැබූ බව
 
 ⋆ කිසිදු අවස්ථාවක දුමින්ද විසින් කිසිදු ගිනි අවියක් පරිහරණය නොකළ බව
 
 ඊට අමතරව ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නමැත්තා වෙඩි තැබීම ආරම්භ කළ නිසා සෑම සිදුවීමක්ම සිදු වූ බවයි. එම වෙඩි තැබීමෙන් දුමින්ද සිල්වා මහතා පළමුවෙන්ම තුවාල ලබා සිහිමූර්ජා වූ නිසා, ඉන් පසුව වූ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට වගකීමක් නොමැති බව ජනාධිපති නීතිඥවරුන් ප‍්‍රකාශ කළහ.
 
 සාක්ෂි ගෙතූ හැටි
 
 දුමින්ද පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ ඇතුළු නීතිඥ මණ්ඩලය, පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය කර සිටියේ, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් හැට දෙකකගේ සාක්ෂි හා සෙසු පරිවේෂණ සාක්ෂි ද ඇතුළුව ඉදිරිපත් වූ සාක්ෂි 126 අතුරින් දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රට වෙඩි තැබූ බවක් හෝ ඒ සඳහා කුමන්ත‍්‍රණය කළ බවක් හෝ සැලසුම් කළ බවක් හෝ ඔහු ඇතුළු ඔහුගේ ආරක්ෂකයන් ඒ සඳහා කුමන හෝ කි‍්‍රයාවකට සම්බන්ධ වූ බවට හෝ කරුණු අනාවරණය වී නොමැති බවය. එසේ නොතිබියදීත් විනිසුරුවරිය මෙම විත්තිකරුවන් එකී චෝදනාවන්ට වරදකරුවන් යැයි තීරණය කළේ කුමන පදනමකින් දැයි වටහා ගන්නට එම තීන්දුව ලක්ෂ වාරයක් කියැවුවද කිසිවකුටත් සොයාගත නොහැකි බව දුමින්දගේ නීතිඥයෝ අධිකරණය හමුවේ පවසා සිටියහ.
 
 අභියාචන විභාගයේදී දුමින්දට පළමුව වෙඩි වැදුණු බව නීතිපති දෙපාර්තමේන්තුව විසින්ද පැහැදිලිව පිළිගන්නා ලදී. එසේ වුවත් මෙම නඩුවේ මහාධිකරණය හමුවේ විභාගයේදී දුමින්ද සිල්වාට වෙඩි වැදීමට පෙර, භාරතට වෙඩි වැදුණු බවට 27 වැනි සාක්ෂිකරු වූ සංජීව ප‍්‍රසාද් විසින් ප‍්‍රකාශයක් සිදු කර තිබුණි. සිද්ධියෙන් දින හයකට පසුව ඔහු විසින් ලබාදෙන ලද මෙය ගොතන ලද්දක් බවට දුමින්ද පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබීය. ඔහු එලෙස ගොතන ලද සාක්ෂියක් දීමට ඉදිරිපත්ව ඇත්තේ, අනෙකක් නිසා නොව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පේ‍්‍රමචන්ද්‍ර පවුලත් සමගම එකට ජීවත් වෙමින් සහ කලක් රැකියාවද කොට පසුව ඔහුගේ මාර්ගයෙන් වරාය අධිකාරියේ රැකියාවක්ද ලබාගෙන දැනටද එම නිවසේ සෑම සියලූ කටයුත්තකටම උදවු පදවු කරමින් මෙම පුද්ගලයා ජීවත් වන නිසා බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පෙත්සම් විභාගයේදී සඳහන් කළේය.
 
 නොසලකා හැරිය යුතු සාක්ෂියකට පද්මිණි බරක් දුන් හැටි මහාධිකරණයේදී විත්තියේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව බොහෝ තැන්වලදී ඔහු නිහඬව සිටියේද එම විත්තිය ඉදිරිපත් කළ කරුණු කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට ඔහුට වූ නොහැකියාව නිසා බවද විනිසුරුවරිය සිය තීන්දුව දීමේදී අවධානය යොමු කොට තිබුණි. ඔහුගේ සාක්ෂිය කිසිදු බරක් නොමැති මුළුමනින්ම නොසලකා හැරිය යුතු සාක්ෂියක් ලෙස ඇය අමතක කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 නඩුවේ 03 වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන 2011.10.13 වැනි දින පිටුවහල් කරනු ලැබ තිබුණි. එවැන්නකු ගුවන් තොටුපළේදී ගුවන් තොටුපළ බලධාරීන්ට භාරදීමේදී ගුවන් යානයේ කපිතාන්වරයා විසින්ම තමාම පැමිණ අදාළ ලියැකියවිලි හා එම පුද්ගලයාගේ ගමන් බලපත‍්‍රය පවා භාරදීම සිදුවිය යුතුය. අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඒ සිද්ධිය වටා අමුතුම මාදිලියේ කතාවක් ප‍්‍රබන්ධ කරමින්, කටුනායක 18 කණුව අසලදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවට කරුණු ගොනුකොට ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 ශානි ගෙතු කතා
 
 ඔවුන් එසේ කි‍්‍රයා කොට ඇත්තේ මෙම ආරෝපිත චෝදනා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය වන ආයුධ ඔහු ළඟ තිබී සොයාගත් බවට කරුණු පෙළගැස්වීම සඳහා ඊට ගැළපෙන පරිදි තිර පිටපත සකසා ගැනීම සඳහා බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න සඳහන් කළේය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලබාගත් තොරතුරු මත ඔහුගේ කුලියට දී ඇති නිවසේ, උඩු මහලේ වතුර ටැංකියේ එක් ගිනි අවියකුත්, එම නිවසේ කුස්සියට යාර කිහිපයකට එහා ලෑල්ලක් යට තිබී තවත් ගිනි අවියක්ද සොයාගත් බවට කරුණු ඉදිරිපත් කරන ලද නමුදු අඩුම වශයෙන් එම නිවසේ කුලී නිවැසියකුවත් සාක්ෂි සඳහා කැඳවා නොතිබීමෙන්ම එයද අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ තවත් අපරාධ චෝදනා ගෙතීමක් බව පැහැදිලි වන බවද අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයේදී සඳහන් කළේය.
 
 ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත්, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාත් දිගින් දිගටම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේ නඩුව විභාග කළ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානත්වය දරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුතුමන් පවා එම තීන්දුවට එකඟ නොවී විත්තිකරුවන් සියලූ දෙනා නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප‍්‍රකාශ කර තිබීමෙන්ම මෙම නඩු තීන්දුවෙහි ඇති අයෝග්‍යභාවය මොනවට පැහැදිලි වන බවය.
 
 නඩු තීන්දුව ලියා දී ඇති විනිසුරුවරිය එය සකස් කොට ඇත්තේ දුමින්ද සිල්වා වරදකරු කිරීමේ චේතනාවෙන්ම බව එම තීන්දුව තුළ ඇතුළත්ව ඇති දුමින්ද පිළිබඳව වන ප‍්‍රකාශයන් තුළින්ම පැහැදිලි වන බවත්, එය කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවද හැම විටම විනිසුරුවරයෙකු හෝ විනිසුරුවරියක තම මධ්‍යස්ථභාවය හා අපක්ෂපාතීත්වය පිළිබිඹු වන ආකාරයෙන් සිය ප‍්‍රකාශ සිදුකිරීමට කි‍්‍රයා කළ යුතු බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා මෙහිදී කියා සිටියේය.
 
 තවද දුමින්ද සිල්වා ඝාතන චෝදනාවකට වරදකරු කිරීමට විනිසුරුවරිය කි‍්‍රයා කොට ඇත්තේ, ඔහු ගිනි අවියක් අත දරා සිටි බවට එකදු සාක්ෂියකින්වත් ප‍්‍රකාශ නොවී තිබියදී බවද, අතරමඟදී මරණකරු හා දුමින්ද සිල්වා පැමිණි වාහන දෙක මුහුණට මුහුණ හමු වූ අවස්ථාවේ, වාහන දෙකම නතර කළ බවත් දෙදෙනාම වාහනවලින් බැස ඉදිරියට විත් ඔවුනොවුන් මුහුණට මුහුණ මුණ ගැසුණු බවත්, උණුසුම් වචන හුවමාරුවෙන් පසු දුමින්ද සිල්වා විසින් භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු යන්නට හැරුණු බවත්, එම අවස්ථාවේදී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණු බවත් පැහැදිලිවම ප‍්‍රකාශ වී ඇති බවද, ඒ මොහොතේම ඔහු එම ස්ථානයෙන් ඉවතට ඔසවාගෙන ගොස් රෝහල්ගත කළ බවද සියලූ සාක්ෂිවලින් ප‍්‍රකාශ වී තිබියදීත්, වෙනත් අයකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන චෝදනාවකට ඔහු වරදකරු කළ හැක්කේ කුමන පදනමක් මතද යන්න මෙහිදී පැන නඟින බරපතළ ප‍්‍රශ්නයක් බවද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් එහිදී කියා සිටියේය. තවත් ඉතාමත්ම වැදගත් කරුණක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා, පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙන්වා දෙන ලද්දේ, නඩුවේ 12 වැනි විත්තිකරු, ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයේ අවසරය මත විත්ති කූඩුවේ සිට කරනු ලැබ ඇති ප‍්‍රකාශය විශ්වසනීයත්වයෙන් යුත් ප‍්‍රකාශයක් බවට පිළිගන්නා බව නඩු තීන්දුවේදී ද දක්වා ඇතත්, ඔහුගේ ප‍්‍රකාශයෙන් සඳහන් වූ කරුණ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරමින් තීන්දුව ප‍්‍රකාශ කොට ඇති බවය.
 
 රහස් පොලිසිය විසින් කරන ලද බලකිරීම්
 
 duminda4විත්ති කූඩුවේ සිට කරන ලද 12 වැනි විත්තිකරුගේ ප‍්‍රකාශය වී ඇත්තේ තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූවකු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම තමා විසින් සිදුකළ බවට පිළිගන්නා ලෙස තමාට බල කළ බවත් තමා නොකළ වරදක් කළ බවට ප‍්‍රකාශ කළ නොහැකි බැව් ප‍්‍රකාශ කිරීම නිසා උරණ වූ එම නිලධාරීන් තමාද විත්තිකරුවකු කොට තමාටද එරෙහිව මෙම නඩු ගොනු කරන ලද බවත්ය.
 
 තවද දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි ඉදිරිපස පෙදෙසට වෙඩි වැදී තිබුණු බැව් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද තහවුරු කොට තිබූ බවද එහෙත් පළමුවෙන්ම දුමින්ද සිල්වාට වෙඩි වැදීම හෝ ඔහුට එම වෙඩි තැබීමෙන් ඉතාමත්ම බරපතළ මරණීය තුවාල සිදුව තිබීම යන කරුණු නඩු තීන්දුවෙන්ම පිළිගෙන ඇතත් එම කරුණු තීන්දුවට අදාළ කර නොගන්නට විනිසුරුවරිය කි‍්‍රයා කොට ඇත්තේ කෙලෙසකද යන්නද ගැටලූවක් බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
 
 නීත්‍යනුකූල නඩු තීන්දුවක අඩංගු විය යුතු ලක්ෂණයන් පිළිබඳව ප‍්‍රකාශ කර සිටි ජනාධිපති නීතිඥවරුන් දෙදෙනාම, පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකින් එක කරුණු ගෙනහැර දක්වමින් විනිසුරුවරිය විසින් ලියා නිකුත් කොට ඇති නඩු තීන්දුව නීතියට අනුකූල නොවන බැව් තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි තවත් බොහෝ කරුණු නඩු තීන්දුව තුළින්ම ගෙන හැර දැක්විය හැකි බව කියා සිටියේය.
 
 එම කරුණුද මොනවා දැයි කෙටියෙන් හෝ සඳහන් කරන ලෙස විනිසුරු මඬුල්ල ඉල්ලා සිටි අතර, ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාත්, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාත් පහත කරුණු ගෙන හැර දැක්වූහ.
 
 ⋆ දුමින්ද සිල්වා විසින් ගිනි අවියක් භාවිත කළ බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කිසිදු සාක්ෂියකින්වත් ප‍්‍රකාශ නොවීම
 
 ⋆එම ස්ථානයේදී වෙඩි ප‍්‍රහාරයකට ප‍්‍රථමයෙන්ම ලක් වූයේ දුමින්ද සිල්වා බව විත්තිය පමණක් නොව පැමිණිල්ලේ සාක්ෂිවලින් පවා ප‍්‍රකාශ වී තිබීම
 
 ⋆ සිද්ධියෙන් දින 06 කට පමණ පසුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ ප‍්‍රබල ආධාරකරුවකු මෙන්ම සමීපතම හිතවතකු ද වන ඔවුන් සමගම කල් ගෙවන ‘සංජීව ප‍්‍රසාද්’ නමැති 27 වැනි සාක්ෂිකරුගේ සාක්ෂියෙන් හා තවත් ඔවුන්ගේ සමීපතමයකු වන ප‍්‍රසන්න සෝලංගආරච්චි යන අයගේ බිරිය වන නිලංකා මධුෂානී නමැති අයගේ සාක්ෂියද පරස්පරතාවලින් බහුල වූ කිසි ලෙසකත් අධිකරණයකදී පිළිගත නොහැකි සාක්ෂි දෙකක් වන අතර දුමින්ද සිල්වාට එරෙහිව ඔවුන් දෙදෙනාගෙන් පමණක් ඉදිරිපත් වූ ප‍්‍රකාශ පිළිගනිමින් දුමින්ද සිල්වා වරදකරු කිරීම ඉතාමත්ම ජුගුප්සාජනක වීම ගිනි අවි නැති දුමින්දට මරණය හිමිවීම
 
 අවම වශයෙන් එකී සාක්ෂි දෙකෙන් හෝ කිසිදු අවස්ථාවක මෙම ස්ථානයේදී දුමින්ද සිල්වා මහතා ගිනි අවියක් භාවිත කළ බවක් තබා අත දරා සිටි බවක් හෝ ප‍්‍රකාශ වී නොතිබියදීත් විනිසුරුවරිය විසින් ලියන ලද මෙම තීන්දුව ඔහු වැරදිකරු කිරීම අරමුණු කර ගනිමින්ම ලියන ලද තීන්දුවක් බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
 
 මෙම නඩු විභාගයේදී නගා ඇති චෝදනාවන්ට අදාළ නොවන විවිධ කරුණු හා දුමින්ද සිල්වා මහතාගේ චරිතයට හානිදායක වන කරුණු රැසක් සාක්ෂි මඟින් ප‍්‍රකාශ වී ඇති නමුදු සිද්ධියට අදාළව ඉදිරිපත් වූ කරුණු තුළින් ‘පරස්පරතා’ සහ ‘ඌනතා’ 62 ක් අධිකරණ නඩු විභාගයේදීම සලකුණු කොට තිබියදීත් ඒ කිසිවක් හෝ නොසලකා හරිමින් පද්මිණි විසින් තීන්දුව ප‍්‍රකාශ කොට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබුණි.
 
 මෙම විශේෂ අභියාචනා විභාගයේදී ප‍්‍රධාන වශයෙන්ම සඳහන් වූ කරුණු අතර මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කිරීම හා අපරාධ පරීක්ෂණ නිලධාරීන් කරුණු ගොනු කොට ඇති ආකාරයත්, රජයේ නීතිඥවරුන් සාක්ෂි ඉදිරිපත් කළ ආකාරයත් අනුව මෙම නඩුව හිතාමතාම සැලසුම් කොට දේශපාලන වුවමනාවන් සපුරාලීම සඳහා හිතාමතා ගොතා පෙළගස්වන ලද කරුණුවලින් සමන්විත වූ අසම්මත නඩුවක් හා නඩු තීන්දුවක් බවත් ජනාධිපති නීතිඥවරුන් යළි යළිත් අභියාචනා විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියහ.
 
 සියල්ලට වඩා වැදගත් වූ භාරත පවුලේ සමිපතමයාගේ සාක්ෂිය
 
 දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරිය විසින් තම ප‍්‍රතිවාදියා වන දුමින්ද සිල්වාට එරෙහිව තම සමීපතමයකු ලවා සිද්ධියෙන් දින 06 කට පසු ඉදිරිපත් කරන ලද සාක්ෂියක් මත පදනම්ව මෙම තීන්දුව ලබාදී ඇති බව ඔවුන් යළි යළිත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටියහ.
 
 මේ සියල්ල දැන් සැසඳිය යුත්තේ, රන්ජන් සහ තොදොලේ තෙපුලනා පද්මිණීගේ දුරකථන සංවාද සමගය. නඩු දිනයට පෙර ශානි විසින් රන්ජන් වෙත තීන්දුව කලින්ම ප‍්‍රකාශ කරනාකාරයත් සමගය. ඇත්ත වශයෙන්ම ගත් විට දුමින්ද දඬුවම් විඳින්නේ සාධාරණ නඩු තීන්දුවක් මත නොව දේශපාලන බලහත්කාරකමක් මත බව මේ සංවාද ඇසීමෙන් පෙනී යයි. යුක්තියේ දෙවොල මත කරන ලද මේ පාපතර ක‍්‍රියාව සඳහා යුක්තිය ඉටුවීමට තව බලා සිටිය යුතු නැත. හැකි ඉක්මනින් මේ ගැන විභාගයක් පවත්වා දුමින්දට සාධාරණයක් කළ යුතුය. මේ රටේ අධිකරණයට සාධාරණයක් කළ යුතුය. අධිකරණය සමග මෙසේ කතා කරන තැනට රන්ජන් බල ගැන්වූ බලවේග කවුද යන්න රට දැන ගත යුතුය. කට රන්ජන්ගේ වුවත් ඔහු පසුපස සිටි බලය ද මේවාට වගකිව යුතු හෙයින් ඒ සඳහාද නියමිත දඬුවම් නෛතික ආකාරයෙන් තීරණය කළ යුතුය. දුමින්ද දැන් නිදහස් වුවද, ඒ සඳහා කෙතරම් වන්දියක් ඔහුට ලැබුණේ වුවද, නිරපරාදේ මරණ දඬුවමක් ලබා ඔහු ගෙවූ කාලය යළි මිලට ගත හැකිද...? ලැබුණු අපහාස, අවලාද සඳහා වන්දියක් නියම කළ හැකිද...? රන්ජන්, ශානි, පද්මිණි ආදීන් එකතුවී රටේ නීතියට කරන ලද මේ අපචාරය සඳහා ජනතා ප‍්‍රතිචාරය දැනට ලැබී ඇතත් ඒ සඳහා තවම විධිමත් නෛතික ප‍්‍රවේශයක් ආණ්ඩුව ලබා දී නැත. එසේ පමා වන යුක්තිය දුමින්දට පමණක් නොව රටටම සිදු කරනා අසාධාරණයක් බව දැනට ලියා තබමි.
  


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles