Divaina - මා කිසි විටෙක රට බෙදන්න ඉඩ තබන්නේ නැහැ..... රණවිරුවන් පාවා දුන්නේ මගේ ප‍්‍රතිවාදි අපේක්ෂකයායි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 sajith
 
 * රටට අහිතකර කිසිදු ගිවිසුමකට මා එකඟ වෙන්නේ නැහැ
 
 * කිසිම රාජ්‍ය දේපළක් විකුණන්නේ නැහැ
 
 * මගේ ආණ්ඩුවක් යටතේ දූෂිතයන්ට, වංචාකාරයන්ට, කම්බහොරුන්ට ඉඩක් නැහැ
 
 * රණවිරුවන්ව පාවා දුන්නේ මගේ ප‍්‍රතිවාදි අපේක්ෂකයායි
 
 * මේ අගමැති තෝරන ඡන්දයක් නෙවෙයි...

 
 සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර
 
ලබන සති අන්තයේදී, මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනෙනු ඇත. සටන සඳහා ඡන්ද පත‍්‍රිකාවේ, නම් තිස් පහක් තිබුණද, සැබෑ ලෙසම ඇත්තේ ද්වන්ද සටනකි. මේ එම සටනේ ප‍්‍රධාන සටන්කරුවෙකි... සජිත් පේ‍්‍රමදාස මහතා එම සටන පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග කරනු ලබන සාකච්ඡාවයි මේ.
 
 ප‍්‍රශ්නය - ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. එසේ තිබියදී මෙවර ජනාධිපතිවරණය සඳහා ඔබ තරග කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ, හංසයා ලකුණෙන්... මීට පෙර මෙම ලකුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග කරන ලද්දේ, එජාපයේ සහයෝගය ලැබූ, එජාපයේ නොවන සරත් ෆොන්සේකා මහතා සහ මෛත‍්‍රිපාල සිරිසේන මහතා... ඔබ එජාප පාක්ෂිකයෙකු වෙලත් අලියාගෙන් තරග නොකර හංසයාගෙන් තරග කරන්නේ ඇයි
 
 පිළිතුර - අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ පුළුල් පෙරමුණක් ලෙසයි... පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වෙද්දි පොදු ලකුණක් පොදු පක්ෂයක් තිබෙන්නට ඕනෑ... එක්සත් ජාතික පක්ෂය මුල් වූ සන්ධානයකින් තමයි මෙවර ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. අනෙක එක්සත් ජාතික පාක්ෂිකයාට හංසයා නුහුරු ලකුණක් නොවෙයි. එම නිසා මම පුළුල් පෙරමුණක් ලෙස හංසයාගෙන් තරග කරනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ නායකත්වය ලබා දෙන හම්බන්තොට දිස්ත‍්‍රික්කය, එජාපයට ජයග‍්‍රහණය කරදීම සඳහා ඔබට හැකියාවක් ලැබුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ, මෙවරද එය එසේම වන බවයි. ජනාධිපතිවරණය පසෙක තබා හම්බන්තොට දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කිරීම පිළිබඳවත් ඔබට විශ්වාසයක් තිබෙනවාද?
 
 පිළිතුර - මම ඉදිරිපත් වෙලා ඉන්නේ ජනාධිපතිවරණයකට... එතනදි හම්බන්තොට පමණක් නොව රටේම ජයග‍්‍රහණය බලන්න ඕනේ... ඒ නිසා ඔබ කියන විදිහට නම්, ජනාධිපතිවරණය පසෙක තබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයට වෙලා ඉන්න ඕනේ. ජනාධිපතිවරණයක් කියන්නේ එක දිස්ත‍්‍රික්කයක මැතිවරණයක් නෙමෙයිනේ... ඒක දිස්ත‍්‍රික්ක 22 ක මැතිවරණයක්.
 
 ප‍්‍රශ්නය - මෙවර ජනාධිපතිවරණයේදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරන බව සඳහන් වුවත්, ඔහු විසින් කිහිපවරක්ම ඔබට අගමැති තනතුර භාරගැනීම සඳහා ආරාධනා කර තිබුණා. අවසාන මොහොතේදි හෝ ඔබට ජනාධිපතිවරයාගේ සහයෝගය හිමිවෙයි කියා හිතෙන්නේ නැද්ද?
 
 පිළිතුර - ජනාධිපති අපේක්ෂකයෙකු නොවන ජනාධිපතිතුමා, ස්වාධීනව සිටීම ඉතාම හොඳ කාරණයක්... මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරන්නේ, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්නයි. එතනදි මම මුලින්ම හිතන්නේ, මම ගන්නා තීන්දු තීරණවලින් එක්සත් ජාතික පක්ෂයට කොතරම් ශක්තියක් ලැබේද කියන කාරණයයි. ජනාධිපතිතුමා කාටද සහාය දෙන්නේ කියන එක, එතුමාගේ තීරණයක්... මට ඒකට බලපෑම් කරන්න බැහැ. හැබැයි එතුමා ස්වාධීනව, අපක්ෂපාතීව මේ මැතිවරණ කාලය තුළ කටයුතු කරනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ...
 
 ප‍්‍රශ්නය - ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර ”නොබෙදුනු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක්” පිළිබඳ අදහස ඔබගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වෙනවා... මධ්‍යම ආණ්ඩුවේ බලය උපරීම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ, ඔබත් ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවට, රට ෆෙඩරල් තත්ත්වයකට පත් කරනා විසඳුමකට කැමත්ත පළකරන බව නේද...?
 
 පිළිතුර - නොබෙදුනු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක් යැයි කීම, ඒකීය රාජ්‍ය තව තවත් ශක්තිමත් කිරීමක්... මොකද ඒකීය වචනයට වඩා වෙන් කළ නොහැකි කී විට, කිසිම අවස්ථාවක කිසිම පාර්ශ්වයකට වෙන් වෙන්න ඉල්ලීමක්වත් කරන්න ලැබෙන්නේ නැහැ. එයින් වන්නේ ඒකීය භාවය ශක්තිමත් කිරීමයි... කිසිම අවස්ථාවක මෙය ෆෙඩරල් වන්නේ නැහැ. මොකද, මධ්‍යම ආණ්ඩුවේ බලය උපරීම ලෙස බෙදුවද එහිදී ආරක්ෂාව කියන කාරණය බෙදී යන්නේ නැහැ. අනෙක මූල්‍ය බලතලවල ප‍්‍රධානියා දිස්ත‍්‍රික් ලේකම්වරයායි. ඔහු වගකියන්නේ මධ්‍යම රජයටයි... ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එක කොටසක් නොව අනිත් කොටසත් ඔබ කියවන්න. එවිට මගේ සැබෑ අරමුණ පැහැදිලි වේවි... මා කිසි විටෙක රට බෙදන්න ඉඩ තබන්නේ නැහැ. රට ෆෙඩරල් වන්න ඉඩ තබන්නේ නැහැ. නමුත් පළාතේ සිටින ප‍්‍රාදේශීය දේශපාලඥයාට එම ප‍්‍රදේශයට වැඩ කරන්න බලයක් තියෙන්න ඕනේ. එම බලය තමයි සියලූම පළාත්වලට ලැබෙන්නේ. එසේ නොමැතිව බොරු බිල්ලෝ මවන්න උත්සාහ කරන්න එපා. සියලූ ජාතීන් සියලූ ආගකමිකයන්ට සාමයෙන් සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම රට තුළ තිබෙන්න ඕනේ...
 
 ප‍්‍රශ්නය - ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍ය ධුරය හැර, වෙනත් කිසිම ඇමැති ධුරයක් ඔබ විසින් තීරණය කර නොමැති බව මහනුවරදී ඔබ ප‍්‍රකාශ කළා. එසේ වුවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරන ලද්දේ, ඔබ ජනාධිපති ධුරයට පත්වුවහොත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම තනතුරට පත් කරන බවයි. ඇත්තටම ඔබ ජනාධිපතිවරයා වුවහොත් අගමැතිවරයා කවුද?
 
 පිළිතුර - මේ වෙලාවේ තියෙන්නේ අගමැති තෝරන ඡන්දයක් නෙවෙයිනේ... මේ වෙලාවේ තියෙන්නේ ජනාධිපති තෝරන ඡන්දයක්... ඒ නිසා ඇමති මණ්ඩලය ගැන තීන්දුවක් ගන්නේ, ජනාධිපතිවරණයෙන් පසුවයි. මම මහනුවරදීත් කිව්වේ ඒක තමයි. තවම ඇමැති මණ්ඩලය මොකක්ද කියලා මා තීරණය කර නැහැ. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුර ගැන තීරණය කළේ, මේ අවස්ථාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අප ගන්නා පියවර පිළිබඳව ජනතාව බලා සිටින නිසයි.
 
 ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකයන්... ඔබ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම පිරිස් සඳහා අමාත්‍ය තනතුරු ලබා දෙනවාද ?
 
 පිළිතුර - පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පසු ඔවුන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වුණා. ආරක්ෂක අංශ විසින්, ඔවුන් මෙයට සම්බන්ධ නොවන බවට අධිකරණයට හා පාස්කු ප‍්‍රහාරය ගැන සොයා බලන කමිටුවට දැනුම් දුන්නාට පස්සේ තමයි ඔවුන් යළි ඇමතිධුර භාරගත්තේ... තාමත් ඔවුන් ඇමැතිවරු... ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් මා තවම තීරණයක් ගෙන නැහැ... එය කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව සියලූ පාර්ශ්ව සමඟ සාකච්ජා කරලයි. අනෙක් කාරණය, පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ට පඩි ගෙව්වේ තමන්ගේ ආණ්ඩුවෙන් කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රසිද්ධියේම කියලා තියෙනවා. එතකොට පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන චූදිතයෝ තමයි, අද ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට එන්නේ.
 
 ප‍්‍රශ්නය - මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් සිදුවී ඇතැයි පවසන මහා වංචාව සඳහා ඔබ පක්ෂයේ කිහිප දෙනකුගේම නම් කියවෙනවා. මේ පිරිස සම්බන්ධයෙන් ඔබ විසින් අනුගමනය කරන ක‍්‍රියාකලාපය කුමක්ද?
 
 පිළිතුර - බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සිදුවී තිබෙනවා. ජනාධිපති කොමිසමක් පවා පත්කර වාර්තාවක් ඉදිරිපත් කළා. එම කොමිසමෙන් දැනුම් දී තිබෙනවා, මෙම කාලයේදි වගේම පසුගිය ආණ්ඩුව කාලයේත් බැඳුම්කර වංචා සිදුව ඇති බව... මේ ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් වූ පාඩුවට වඩා ඉකුත් රජය යටතේ වූ වංචාව මහා පරිමාණ බව එම වාර්තාව සඳහන් කරනවා... කියලා. මා ජනාධිපති වීමෙන් පසු, මේ සියල්ල ගැන අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනයෙන් පසු මා තීරණය කරනවා කුමක්ද කළ යුත්තේ කියලා... කොහොම වුණත් එකක් කිව යුතුයි, මගේ ආණ්ඩුවක් යටතේ දූෂිතයන්ට, වංචාකාරයන්ට, කම්බහොරුන්ට ඉඩක් නැහැ.
 
 ප‍්‍රශ්නය - හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් එජාප ආණ්ඩුවට තියෙන්නේ, සතුරු ආකල්පයක් බව කියන්න පුළුවන්... ඔබ නියෝජනය කරන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඇති මෙම ආයතන දෙක අතරින් හම්බන්තොට වරාය චීනය සඳහා දැනටමත් විකුණා අවසන්... එසේම මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීම සඳහා මෙම ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා ඔබගේ ප‍්‍රතිචාරය කුමක්ද?
 
sajith2පිළිතුර - මුලින්ම කිව යුතු දේ තමයි හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සහ මත්තල ගුවන් තොටපළ ඉදිකිරීමේදී රටට හතුරු ආකල්පයට සිට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය නොව රාජපක්ෂ ආණ්ඩුවයි, කියන කාරණය. මොකද පහුගියදා පැවැති කෝප් කමිටුවේදි හෙළි වුණා මේ ආයතන ඉදිකරන්න යන මුදලට වඩා වැඩි මුදලක් ණය ලෙස ලබා ගෙන තිබෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට වරාය විකුණුවේ නැහැ... ඒ වරාය අනූනව අවුරුද්දකට බදු දීලා තියෙනවා. එයත් වසර 30 කට පසු රාජ්‍ය - පෞද්ගලික සම ව්‍යාපාරයක් ලෙස තමයි ක‍්‍රියාත්මක වෙන්නේ... හම්බන්තොට වරාය වගේම මත්තල ගුවන් තොටුපළ හදද්දි, එහිම වියදමක් ලෙස සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය හදනවා. මේ නිසා රට ණය උගුලක හිර කෙරුවා... කොහොම වුණත් මගේ ප‍්‍රතිපත්තිය කිසිම රාජ්‍ය දේපළක් විකුණන්නේ නැහැ කියන එකයි.
 
 ප‍්‍රශ්නය - යහපාලන ආණ්ඩුව විසින් රණවිරු දඩයම සිදු කරන අතරේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සඳහා සම දායකත්වය ලබා දුන්නා. ඒ පිළිබඳව ඔබගේ දැන් ස්ථාවරය කුමක්ද
 
 පිළිතුර - පළමුව කියන්න ඕනේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් තමයි, සජිත් පේ‍්‍රමදාස කියන්නේ... කිසිම රණවිරු දඩයමක් අපි කරලා නැහැ. රණවිරුවන්ව පාවා දුන්නේ මගේ ප‍්‍රතිවාදි අපේක්ෂකයායි. මාධ්‍යවේදිනියක් ඔහුගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා, යුද්ධය කාලයේ වූ දේවල් සම්බන්ධයෙන්... හැබැයි ඒ වෙලාවේ ඔහු කිව්වේ මොකක්ද...? ”මමවත් මගේ අයියාවත් යුද්ධය කළේ නැහැ. යුද්ධය කළේ හමුදාපතිතුමා නිසා එයා තමයි ඒවට වගකියන්න ඕනේ...ට් කියලා. මේකද රටට ආදරය කරන, රණවිරුවන්ට ආදරය කරන, පුද්ගලයෙකුගේ පිළිතුර වෙන්න ඕනේ... ඔහු මේ කියන්නේ යුද හමුදාව මේවට වගකියන්න ඕනේ කියලානේ... මෙහෙම ද රණවිරුන් ආරක්ෂා කරන්නේ...? මගෙන් ඔය ප‍්‍රශ්නය ඇහුවා නම්, මම කියන්නේ යුද්ධයේදි රණවිරුවන් කළ ක‍්‍රියාකාරකම්වල සම්පූර්ණ වගකීම මම බාරගන්නවා කියලායි... කිසිම රණවිරුවෙක් මම පාවා දෙන්නේ නැහැ... කිසිම රණවිරුවෙකුව ජාත්‍යන්තරය ඉදිරියේ වැරදිකරුවන් වෙන්න මම ඉඩ තියෙන්නෙත් නැහැ. හැබැයි මගේ ප‍්‍රතිවාදියා නම් එයාගේ ඇමරිකානු පුරවැසිභාවය ආරක්ෂා කර ගන්න රණවිරුවන් පාවා දුන්නා.
 
 ප‍්‍රශ්නය - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් සහස‍්‍ර අභියෝගතා ගිවිසුම සඳහා ඔබගේ ආණ්ඩුව අති උනන්දුවකින් ක‍්‍රියාකරන බව පෙනී යනවා. ඒ අනුව ඇමරිකානු ආර්ථික කොරිඩෝවට ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝමීටර් 200 ක් දිවෙන, ප‍්‍රදේශයේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ඇතුළත් වෙනවා. එම ගිවිසුම සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය...?
 
 පිළිතුර - ආණ්ඩුව හා ඇමරිකා එක්සත් ජනපදයේ සහස‍්‍ර සහයෝගීතා සමාගම අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම ලබන 16 දා දක්වා කිසිදු ලෙසකින් අත්සන් නොතැබීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව හෝ එම ගිවිසුම අත්සන් කරන්නේ නම්, පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවාදයකින් පසුවයි එය සිදු කරන්නේ... එමෙන්ම කිසිදු ලෙසකින් රටට අහිතකර ගිවිසුමකට මා විසින් එළැඹෙන්නේ නැහැ. මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදුවන්නේ ගෞරවනීය මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කොට අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුවයි.
 
 ප‍්‍රශ්නය - ඇක්සා ගිවිසුම හේතුවෙන් ඇමරිකානු මිලිටරි බලඇණි සඳහා ශ‍්‍රී ලංකාවේ නීතිය නොතකා ඇතුල්වීමට සහ ක‍්‍රියාකිරීමට ඉඩ ලැබෙනවා. එම ගිවිසුම ඇතුළු යහපාලන ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලූ ද්වි පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ගිවිසුම් පිළිබඳව සමාලෝචනයක් සිදුකර, ඒවා රටට අහිතකර නම් එම ගිවිසුම් වලින් ඉවත් වෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වෙනවා. ඔබ ජනාධිපති වුවහොත් මේ සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය කුමක්ද...?
 
 පිළිතුර - ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමකට පළමුවෙන්ම එළැඹුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාම තමයි... ඒ ගිවිසුමෙන්ද ඉවත් වෙන්නේ කියලා එතුමා පැහැදිලිව රටට කියන්න ඕනේ... ඇක්සා කියන්නේ ඔහු අත්සන් කළ ගිවිසුමේ දිගුවක් පමණයි. මගේ විදේශ ප‍්‍රතිපත්තියේදි මම පැහැදිලිව කියලා තියෙනවා, අපි ගිවිසුම්ගත වන්නේ මෙරට ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා වනවා නම් පමණයි කියලා... එම නිසා රටට අහිතකර විදේශ ප‍්‍රතිපත්තියක අප නැහැ... රටට අහිතකර කිසිදු ගිවිසුමකට මම එකඟ වෙන්නේ නැහැ.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles