Divaina - බඩට නොගහා ජනතාවගේ ජීවිතය සුඛිත කරනවා.... ලබන දාහත් වෙනිදා මේ රටේ ජනතාව යළිත් රජ කරනවා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



mahinda
* බැඳුම්කර හොරු අල්ලනවා විතරක් නෙමෙයි පාඩුවත් අය කර ගන්නවා
* දුප්පතාට බඬේ පාර... ව්‍යාපාරිකයාට බදු දාලා කනේ පාර...
* මහා සංඝරත්නයට, කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර... ඊළඟට මිනිස්සුන්ට බෝම්බ ප‍්‍රහාර... මේ වසර 4 ට කරලා තියෙන්නේ ඔය ටික විතරයි.
* ලබන දාහත් වෙනිදා මේ රටේ ජනතාව යළිත් රජ කරනවා..... මහින්ද රාජපක්ෂ කියයි



සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර

සිය ගම්පියසේ පැවැත්වීමට නියමිත මැතිවරණ ප‍්‍රචාරක රැලියකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි ශ‍්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ලද නිමේෂයක අප සමග කතාබහ කළේය. ඒ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු උදෙසා පිළියෙල කරන ලද අවිවේකී කාලසටහනක් ඔහු ඉදිරිපිට දිග හැර තිබුණි. ඔහු හමුවීම සඳහා වැඩමවා වදාළ මහ සංඝ රත්නය සමග මිලේනියම් චැලේන්ජ් ඉන්කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන ලද්දේ ” අපේ හාමුදුරුවනේ... අපිට 2005 රට බාර දෙනකොට ලංකා සිතියමේ ගොඩබිමෙන් තුනෙන් එකකුයි, මුහුදෙන් තුනෙන් දෙකකුයි තිබුණේ නැහැනේ... අපි මෙයාලට භාරදුන්නේ සම්පූර්ණ ලංකා සිතියමනේ... ඒ වගේම අද අපිට අරෙහෙට, මෙහෙට විකුණපු රටක් බාර දුන්නාට අපි රට භාර ගත්තාහම කාටවත් ණය නැති, කාටවත් බය නැති ශ‍්‍රී ලංකාවක් හදලා දෙන්නම්... තව දවස් කීයද තියෙන්නේ...” කියාය.

‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන සම්මුඛ සාකච්ඡාව ආරම්භ වන්නේ ඒ කතාබහත් සමගය.

ප‍්‍රශ්නය - ඔබ විසින් සඳහන් කරන පරිදි මේ රට අද අරාජිකත්වය කරා ගමන් කරමින් තිබෙනවා. රටේ සම්පත් සේම, රටේ අනාගතය ද විදේශයන් වෙත පවරා දී ඇති බව ඔබ සඳහන් කරනවා. නමුත් මේ ප‍්‍රබල රටවල් සමග අත්සන් කරන ගිවිසුම් එසේ පහසුවෙන්, අකා මකා දැමීමට පුළුවන්කමක් නැහැ. මේ, තවත් දේශපාලන පොරොන්දුවක් විතරද...?

පිළිතුර - ඔයා අහගෙන හිටියානේ, මම අපේ ස්වාමින් වහන්සේට දුන්න පොරොන්දුව... අපි ඒවා කියන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි... මේ රට දිහා බලාගෙන... මේ රටේ අනාගතය, අපේ දරු පරපුර දිහා බලාගෙන... අපි හැමදාම, කිව්ව දේ කළා... මෙයිට වඩා කරන්න බැහැ කියපු දේවල් අපි කළා. එදා අපි රට භාර ගන්න කොට සටන් විරාම ගිවිසුම් අත්සන් කරලා, ගිවිසුම් ගහලා, රටේ පළාත් ත‍්‍රස්තවාදීන්ට ලියලා තිබ්බා... ඒ ගිවිසුම් පැත්තකට දාලා අපි රට බේරා ගන්නවා කිව්වහම, එදා සමහරු කිව්වෙත් එහෙම තමයි. අපිට මේ රට භාර දුන්නේ, බැරි දේවල් කරලා, රට දිනවන්නයි. අපි එදා පාන්දර මේ සියල්ල අතහැරලා යන කොට, මේ අයට භාර දුන්නේ සෞභාග්‍යමත් දේශයක්... ඒ නිසා අපි කියන දේ විශ්වාස කරන්න... මේ රටේ දේශපාලනය අලූත් පරිච්ෙඡ්දයක් ලබන දාහත් වෙනිදා උදෑසන ආරම්භ වෙනවා. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා.. අර ගෝඨාභය කියනවා වගේ ”ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, අපි අපේ යුතුකම ඉටු කරන්නම්...”

ප‍්‍රශ්නය - එදා ත‍්‍රස්තවාදයෙන් තිබ්බ අනතුර අද මේ රටට නැවතත්, නව ආරක, අනාරක්ෂිත තත්ත්වයකට රට ගොදුරුවෙලා තියෙනවා. ඒ අනුව ජාතික ආරක්ෂාව කියන සංකල්පය රටේ න්‍යාය පත‍්‍රයේ පළමු ස්ථානයට පත්වෙලා තියෙනවා. ඒ සඳහා ඔබේ අපේක්ෂකයාට ඇති සැලසුම කුමක්ද...?

පිළිතුර - අපේ සැලසුම අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. ඒ සඳහා අපිට තියෙන සහතිකය තමයි, ගෝඨාභය රාජපක්ෂ... ත‍්‍රස්තවාදීන් ගහන බව කලින් කියලා, ගහන දවස් කලින් කියලා, වෙලාව කියලා, ගහන අය කවුද කියලා, අපි යුද්ධ කළේ නැහැ. ඔය අද ආණ්ඩුවේ ඉන්න අය, ජනතා විමුක්ති පෙරමුණ ආදිය අපේ කකුලෙන් අදිද්දී තමයි, අපි මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තේ... ඒ තුළින් උදා කරලා දුන්න නිදහස අද වැඩියෙන්ම භුක්ති විඳින්නේ උතුරේ වැසියන්... අද ඔවුන්ගේ දරුවන් පාසල් යනවා. තුන් වේල කාලා, ඇඳලා ඔවුන් අද නිදහසේ ඉන්නවා. ඒ ජනතාව දැන් මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. සජිත් ආයිමත් කරන්නේ, එජාපය අර ගිය පරණ දේශද්‍රෝහී පාරේම අරගෙන යන එකයි... බලන්න එයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය දිහා... එකේ ඒකීය රාජ්‍යය කියන වචනයවත් නැහැ... ”නොබෙදුනු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට, ඔහු එහිදී යෝජනා කර තිබෙනවා. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත්, එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා. මේ තියෙන්නේ ජනවාරි මාසයේදී රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු, ව්‍යවස්ථා කෙටුම්පතේ තියෙන දේවල්මයි.

මේ රට ෆෙඩරල් රාජ්‍යක් කරන එක, සජිත්ගේ ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තියෙන බව දැන් පැහැදිලියි... අපේක්ෂකයා විතරයි වෙනස් වෙලා තියෙන්නේ... බස් එකේ ඩ‍්‍රයිවර් විතරයි මාරුවෙලා තියන්නේ... අනිත් සියල්ලම එකයි... රනිල් කරපු වැඩ ටික රනිල්ටත් වඩා හොඳට මෙයා කරන බවයි දැන් පේන්නේ...

ප‍්‍රශ්නය - ඔබේ පාලන සමයේදී බිමට වැටී තිබුණු රටේ ආර්ථිකය මේ වසර හතරේදී ගොඩගන්න පුළුවන වුණු බව එජාපය පැත්තෙන් ප‍්‍රකාශ වෙනවා. විශේෂයෙන්ම රටේ ණය බර අඩු කරලා, ආර්ථිකය හරි පීල්ලට දා ගන්න පසුගිය අවුරුදු කිහිපයේදී පුළුවන් වුණු බව පැවසෙනවා...

පිළිතුර - යුද්ධයක් පවතින අවස්ථාවේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 6 ට වැඩිය පවත්වාගෙන යන්න අපිට හැකි වුණා. ඒ කාලේ ත‍්‍රීවීල් එළවන මනුස්සයට මීට වැඩිය හයර් තිබුණා. බිස්නස් මීට වැඩිය තිබුණා. නිදහසේ කර්මාන්ත කරගෙන යන්න හැකියාව තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ හැදුවේ පාරවල් හතරයි. දුප්පතාට බඬේ පාර... ව්‍යාපාරිකයාට බදු දාලා කනේ පාර... මහා සංඝරත්නයට, කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර... ඊළඟට මිනිස්සුන්ට බෝම්බ ප‍්‍රහාර... මේ වසර 4 ට කරලා තියෙන්නේ ඔය ටික විතරයි.

ජනතාවට අද ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම ඉහළ ගිහින්... මම රට භාරදෙන විට ණය තිබුණේ ටි‍්‍රලියන දෙකයි. මේ ආණ්ඩුව අවුරුදු හතරට ණය කොපමණ අරගෙන තිබෙනවාද? ටි‍්‍රලියන 7 ක්... අපි එදා ණය ගත්තේ රටේ සංවර්ධනය උදෙසා. මේ අය මොනවද කළේ? ණය ගෙවන්න හම්බන්තොට වරාය විකුණා දැමුවා. ගුවන්තොටුපළ විකුණන්න හදනවා... වරාය විකුණලා ගත්ත මුදලින් එක වාරිකයක්වත් ගෙව්වේ නැහැ. අපි එදා මේ රටේ ගොවියාට දුන්න පොහොර සහනාධාරයේ ඉඳන් කැපුවා... මේ රටේ ආර්ථිකය අපි ගොඩනගන්නේ, ජනතාවගේ බඩට ගහන්නේ නැතිව... එදා අපි දුන්න සහන සියල්ලම අපි ජනතාවට යළි ලබාදෙනවා... අද පාන් කෑල්ලක් කන්න මිනිස්සුන්ට සල්ලි නැහැ.. එදා අපි මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. යළිත් අපි ඒ යුගය ඇති කරනවා. ජනතාවගේ අතේ සල්ලි ගැවසෙන යුගයක්... රටේ සංවර්ධනය වේගයෙන් සිද්ධ වෙන කාලයක් අපි යළිත් ගේනවා...

ප‍්‍රශ්නය - අද රටේ තිබෙන තත්ත්වය ව්‍යාපාර සඳහා හිතකර නොවන බව පැවසෙනවා... විශේෂයෙන්ම බදු බර නිසා ජනතාව සේම ව්‍යාපාරිකයන් ද හෙම්බත් වෙලා තියෙනවා... ඒ සඳහා කඩිනම් විසඳුමක් රටට අවශ්‍ය වී තිබෙනවා. ඔබගේ අපේක්ෂකයා සතුව එවැනි විසඳුමක් තිබෙනවාද...?

පිළිතුර - සංචාරක ව්‍යපාරය අද මුළුමනින්ම කඩාවැටිලා... වෙලාවට තෙල් ටික ගෙන්නලා බෙදා ගන්න බැරි ආණ්ඩුවක් මේක... අද බලන්න ගෑස් පෝලිම... මේ ආණ්ඩුව මේ ටිකට ආයෙත් මේ රට පෝලිම් යුගයකට අරගෙන ගියා. මේ තමයි අකාර්යක්ෂමතාව... ගෑස් හිඟය නිසා කුඩා ආපන ශාලාවේ ඉඳලා, බේකරි දක්වා ව්‍යාපාර අද වසා දමන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ලොකු කුඩා සියලූ ව්‍යාපාරිකයෝ අද අසරණ වෙලා... පගාව දෙන්නේ නැතිව ආණ්ඩුවේ කිසිම තැනකින් ඔවුන්ට අද වැඩක් කර ගන්න බැහැ... අපි මේ යුගය නිමා කරනවා. මාස කිහිපයක් ඇතුළත සහන ලබාදෙමින් මේ රටේ ව්‍යාපාරිකයා වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න අපි කටයුතු කරනවා. අපි කන බොන පාවිච්චි කරන හැම දේටම අය කරන බද්ද 15% දක්වා වැඩි කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා. මේ බද්ද 8% දක්වා අඩු කරමින් අපි ජනතාවට සහන ලබාදෙනවා. ව්‍යාපාරිකයන් සඳහා අද තියෙන සංකීර්ණ බදු ක‍්‍රමය වෙනුවට සරල, පහසු බදු ක‍්‍රමයක් ඉක්මනින් සකස් කරලා, ඔවුන් ලෝකය ජයගන්නා තත්ත්වයට පත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙනවා. අපේ රටට ආවේණික වූ කර්මාන්ත රාශියක් තිබෙනවා. ඒ සියල්ල අද කඩාගෙන වැටිලා... එවැනි කර්මාන්ත වැඩි දියුණු කරන්නට අපි කටයුතු කරනවා. එම කර්මාන්තවල නියැළී සිටින්නන්ට අවශ්‍ය වන තාක්‍ෂණ දැනුම ලබා දෙනවා. උපදෙස් ලබා දෙනවා. ඒවා නිෂ්පාදනයට උපයෝගී කර ගන්නා අමුද්‍රව්‍ය ලබා දෙනවා. අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනවා. නිදිවරන කෙනෙක් වෙනුවට රටට වැඩ කරන කෙනෙක් පත් කර ගන්න... අපි මේ රට ලෝකයේ වැජඹෙන තැනකට ගෙන යන්නම්...

ප‍්‍රශ්නය - කාන්තාවන් සඳහා විශේෂ අවධානයක් මේ මැතිවරණයේදී යොමුවී නැති බව සඳහන් වෙනවා. ගෘහණිය සහ වැඩ කරන කාන්තාව කියන්නේ මේ රටේ ප‍්‍රධාන මෙහෙයුම් යාන්ත‍්‍රණය... ඒ සඳහා ඔබගේ පාර්ශ්වය දක්වන සැලකිල්ල කෙබඳුද...?

පිළිතුර - අපේ ජනගහනයෙන් වැඩි කොටසක් කාන්තාවෝ... ඔවුන් එදා සිටියේ බියෙන්.. ඒ බය අපි නැති කළා. ඒ වගේම කාන්තාවන්ට සවිමත් ආර්ථිකයක් අපි නිර්මාණය කළා. අපේ රටේ කාන්තාව කියන්නේ පවුලේ ජීවනාලිය... වැඩ කරන කාන්තාව පමණක් නොවෙයි. ගෘහනියටත් හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කිරීම සඳහා අපි සැලසුම් සකස් කරලා ඉවරයි. හැම නිවසක්ම ආර්ථික ව්‍යුහයක් බවට පත් කරලා, ගෘහනියගේ ප‍්‍රධානත්වයෙන් රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා වන ව්‍යුහයක් අපි සකසනවා. ඒ අනුව නිවසට සමෘද්ධිය මෙන්ම රටේ ආර්ථිකයටත් හැම නිවසක්ම දායක කර ගන්නවා. අද වෙන කොට මේ සමාජය වේගයෙන් පිරිහිලා ගොස් තිබෙනවා. එයින් බලවත් ලෙස පීඩා විඳින්නේ කාන්තාව... ඇයට සිදුවෙන හිරිහැර නතර කිරීම සඳහා නව ඒකකයක් අපි ඇති කරනවා. එසේම අද අපේ දරු පරපුර මත් උවදුරෙන් වල්මත් වෙලා... ඉගෙනීම සඳහා පාසල් යන දරුවාට පාසලේ ගේට්ටුව ළඟ ඉඳන් මත්ද්‍රව්‍ය විකුණන රටක් බවට මේක අද පත්වෙලා. මේ අවුරුදු පහට මේ රට අපායක් වෙලා ඉවරයි... පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගිහින්. එක් පාසලක පන්තියක තාත්තලා තිස්පහක් විතර සුළු සුළු වැරදිවලට හිරේ ගිහින්. ඔන්න ඕකයි අද තත්ත්වේ. කුඩු ජාවාරම්කරුවන් ඇතුළු සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මේ රට ගලවා ගතයුතුයි... අපේ කාලයේදී පාරේ සිගරට් එකක් බොන්න දුන්නේ නැහැ... අපිට වඩා අමද්‍යප ප‍්‍රතිපත්තියක් රටට ගෙනාපු අය, අන්තිමට මේ රට ආසියාවේ මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානය බවට පත් කළා. අපි මේ රට ගලවාගත යුතුයි. මේ අය රටින් පිට කරන්න ඕන. අපි එන විටම ඒ අය රටින් යයි. කුඩු මුදලාලිලාට ටිකට් අරන් රටින් යන්න ලැහැස්ති වෙන්න කියලා මම කියනවා. මේ මත්ද්‍රව්‍ය උවදුර නිසා වැඩියෙන්ම පිඩා විඳින්නේ අපේ මව්වරු සහ බිරින්දෑවරු...

ප‍්‍රශ්නය - හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මේ වන විට විදේශිකයන්ට විකුණා දමා තිබෙනවා. මේ සඳහා ඔබගේ පාර්ශ්වය ඍජු විරෝධය දැක්වුවා... ඔබගේ අපේක්ෂකයා බලයට පත්වුවහොත් එම රාජ්‍ය සම්පත් යළි මෙරට ජනතාවට හිමිකර දෙනවාද...?

පිළිතුර - අවුරුදු පහකට බලයට ඇවිත් අනාගත පරපුරට අයිති දේවල් විකුණන්න කිසිවෙකුට අයිතියක් නැහැ. එම රාජ්‍ය සම්පත් සියල්ල අපි යළි මේ රටේ ජනතාවගේ උරුමයක් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ සම්පත් කුණු කොල්ලයට විකිණීමේදී අත යටින් ගත්ත කොමිස් ගැනත් අපි පරීක්ෂණ කරනවා. මේ අයගේ පිංතූර ගහගෙන, අපි හදපුවා ඒ අය ලජ්ජා නැතුව ගිහිල්ලා විවෘත කරනවා. ඒවා බොහොමයක් ගෝඨාභය රාජපක්ෂ මහතා මූලික වෙලා කරපු සංවර්ධන වැඩ. ගෝඨා ආවොත් ගෙවල් කඩනවා කියලා අද කිය කිය යනවා.. අපි ගෙවල් හදනවා මිසක් ගෙවල් කඩන්නේ නැති බව ප‍්‍රකාශ කළ යුතුයි. අපි පරිසරය රකිනවා. අද කොළඹ නගරය බලන්න අපි කළ වැඩ නිසා තමයි, එතරම් දියුණු වුණේ. අද හැම තැනම කුණු පිරිලා. රටේ කුණු ටික කළමනාකරණය කරගන්න බැරි මේ ආණ්ඩුව, අපේ ජාතික සම්පත් එතෙරට විකුණලා, එහෙ තියෙන කුණු මෙහෙට ගෙනෙහල්ලා, ලෝකයේ කුණුමුල්ල බවට ශ‍්‍රී ලංකාව පත් කළා.

ප‍්‍රශ්නය - බැඳුම්කර සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව තවම නෛතික ලෙස ඉදිරියට ගිහිල්ලා නැහැ. එහි ප‍්‍රධාන වග උත්තරකරු වෙන අර්ජුන මහ්න්ද්‍රන් අද සිටින්නේ වෙනත් රටක සැඟවිලා... ඔබගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කළහොත් මෙම බැඳුම්කර සම්බන්ධයෙන් සිදුවූවා කියන දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද...?

පිළිතුර - එදා අපිට හොරු හොරු කියලා, මේ රටේ ජනතාව මුළා කරපු අය, මහ බැංකු බැඳුම්කරයෙන් හොරකම් කරපු මුදල තවම හොයාගන්න බැහැ. ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව මුල්වෙලා, වෝහාරික විගණනයක් සිදු කළාට තවම එහි වාර්තාව ජනතාවට ලබාදීලා නැහැ... මම නම් හිතන්නේ මෙහිදී හොරකම් කරපු මුදල කෝටි දහදාහකට වැඩියි... දකුණු ආසියාවේ සිදු වුණු දැවැන්තම වංචාව බවට මේක පත්වෙනවා කියන දේ අපි එදා රටට හෙළිකලා. ආණ්ඩුව මොකක්ද කළේ? මේ හොරකම වහන්න, හොරු රකින්න තර්ක හැදුවා. සම්මන්ත‍්‍රණ තිබ්බා. කමිටු පත් කළා. පොත් ලිව්වා. ඩිව් ගුණසේකර ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කෝප් කමිටුව බැඳුම්කර හොරුන් හෙළි කරලා වාර්තාවක් පිළියෙල කළා. ඒක හෙළි වීම වළක්වන්න වාර්තාව බාර දෙන දවසට කලින් දවසේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බැඳුම්කර හොරුන් බේරාගන්නයි. ඊට පස්සේ සුනිල් හදුන්නෙත්තිගේ කෝප් කමිටුව විසින් රනිල්ගේ නම මේ හොරකමෙන් අයින් කරලා, එම වාර්තාවට ෆුට් නෝට් දාන්න ඉඩ දුන්නා... ඒ ෆුට් නෝට් කල්ලිය අද ඉන්නේ සජිත් එක්ක... ඒ අය තමයි සජිත්ගේ ළඟම මිතුරෝ... රට කාපු හැමෝම ළඟ තියාගෙන තමයි අද සජිත් අත වනන්නේ. කුණුගොඩවල් ඔක්කොම එතැන. ආයේ ඒ කිසි කුණු ගොඩක් අපි ගන්නේ නැහැ. අපි කෙරෙහි විශ්වාසය තියන්න. මේ බැඳුම්කර හොරු අල්ලනවා වගේම, එයින් රටට සිදුවූ පාඩුවත් අපි අය කරලා දෙනවා.

ප‍්‍රශ්නය - අපේ රටේ කෘෂිකර්මාන්තය අද අන්තයටම පිරිහිලා... කරලින් බරවීමත් රටට බරක් වෙන තත්ත්වයක් පත්වෙලා... වගාව විකුණා ගන්න බැරිව ගොවීන් ළතවෙනවා... ඒ නිසා ගොවියන්ට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. පොරොන්දු දේශපාලන පිළිතුරක් වෙනුවට මේ සඳහා කලපවත්නා ප‍්‍රතිපත්තිමය පිළිතුරක් ඔබට තිබෙනවාද...?

පිළිතුර - අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්. මෙවර අපි පොහොර නොමිලයේ ලබා දෙන්නට තීරණය කරලා තියෙනවා. විවිධ හේතූන් මත ගොවීන් ණය බරින් පෙළෙනවා. සියලූ ගොවි ණය කපා හැරීමට තීරණය කරලා තියෙනවා. සෑම බෝග වර්ගයකම හොඳ බීජ වර්ග ගෙන එන්නට අපි ලංකාව තුළ බීජ වර්ග නිෂ්පාදනය කිරීමට, ඒ වගේම තාක්ෂණය ගෙන එන්නට අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ වගේම ගොවි රක්ෂණ, ගොවියා වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක්, මේවා අපේ කාලය තුළ දී අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්ත දියුණු කරන්නට, උද්යෝග කරන්න කෘෂිකර්මාන්තය වෙනුවෙන් යෙදෙන කර්මාන්ත අපි සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කරනවා. ඒ වගේම කෘෂිකර්ම උපකරණ වෙනුවෙන් බදු අඩු කිරීමට. මෙන්ම මේ වගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අපේ මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. අපිට සමච්චල් කරන්න මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කරලා, මේ ආණ්ඩුව රටම සමච්චලයට පත්කළා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ ව්‍යවසායකයන් වගේම, ගම සමග පිළිසඳරක් මඟින් ජනතා අවශ්‍යතා සාකච්ඡා කරලා, ඒවාට අදාළ සැලසුම් අපි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. කෘෂිකර්මාන්තයට, දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. කර්මාන්තකරුවා ආරක්ෂා කරගත යුතුයි...

ගොවියා ජීවත් කළ යුතුයි... ඒ නිසයි අපි පොහොර නොමිලේ දීලා, ගොවි ණය කපා හරින්න තීරණය කළේ. වී ගොවියා වගේම අනෙකුත් වැවිලි බෝග වවන්නන් පවා අද අසරණයි. දහදුක් විඳලා ගොවියා අතට ගත්ත වී ටිකට නිසි මිලක් නොදී, කලට වේලාවට පොහොර ටික නොදී, පිටරටින් සහල් ටික ගෙන්වූ යහපාලන ආණ්ඩුව, වී ගොවියා අනාථයෙක් බවට පත් කළා. එදා අපි වියළි මිරිස් රටින් ගෙනාවේ නෑ. සියයට 100 ක්ම අපි නිෂ්පාදනය කළා. ගම්මිරිස් ටික අපි පිටරට යැව්වා ඒත් දැන් මේ සියල්ල රටින් ගෙන්වීම නිසා අද ගොවියා අසරණ වෙලා අපි මේ සියල්ල නවත්වලා ගොවියා ආරක්ෂා කරනවා. ඩොලර් මිලියන ගණන් පිට රටට දන් දෙන්නේ නෑ. ගම්මිරිස්, කුරුඳු, රබර් සඳහා අද ඇතිවෙලා තියෙන තත්ත්වය කවුරුත් දන්නවා... ඒ සියල්ල ලබන දාහත් වෙනිදා පාන්දර ඉඳලා අපි නිවැරදි කරනවා. මේ රටේ ගොවියා රජකරවන යුගය අපි නැවත නිර්මාණය කරනවා.

ප‍්‍රශ්නය - ජයග‍්‍රහණය පිළිබඳව ඔබේ තක්සේරුව කොහොමද...?

පිළිතුර - අපිට ඒ පණිවිඩය මුලින්ම ලැබුණේ පළාත් පාලන මැතිවරණයෙන්... ඊළඟට මේ අය ඡන්ද කල් දැමීමෙන් අපි දැනගත්තා, මොකද වෙන්නේ කියලා... පරදින්න බය නිසා මේ අය ඡන්දය කල් දැම්මා... හැමදාම කරනවා වගේ මේ පාරත් පරදින බව දන්න නිසා රනිල් මේක කාගේ හරි ඇෙඟ් ගහන්න හැදුවා... ඒක රනිල් කරන්න ඉස්සෙල්ලා, සජිත් ඇඟට දා ගත්තා... රනිල්ට ඕනේ පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකකම... එයා දන්නවා, ඒගොල්ලන්ට රටක් කරන්න බැරි බව... අපි පක්ෂයක් ලෙස අපේක්ෂකයා නම් කරන්න ඉස්සෙල්ලා, මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂව ඊළඟ නායකයා කරන්න ඕනේ කියලා ඉල්ලා සිටියා. ජනතාව විසින් අපේක්ෂකයෙකු ඉල්ලපු පළමුවෙනි වතාව තමයි ඒ... අද මොනවා කිව්වත් එදා සරත් ෆොන්සේකාත් කිව්වනේ ගෝඨාභය අපේක්ෂකයා කරපු එක නිවැරදියි කියලා... ඒ නිසා අපේ ජයග‍්‍රහණය පිළිබඳව කිසිම සැකයක් නැහැ. අපි අපේ අගමැති කවුද කියලා ඉවරයි... කෝ ඒ අයගේ අගමැති අපේක්ෂකයා... රනිල් කියනවා එයා අගමැතිලූ... සජිත් කියනවා එහෙම නැහැ කියලා... අද එජාපය දෙකට බෙදිලා... දෙමළ සන්ධානයේ යෝජනා දහතුන පිළි අරගෙන රට බෙදන්න පොරොන්දු වෙලා ඡන්ද හිඟා කන තැනට ඒ අය ඇදගෙන වැටිලා... උතුරේ ජනතාව වගේම නැගෙනහිර, දකුණ ආදී සියලූ පළාත්වල ජනතාව දැන් අපිට ඡන්දය දෙන්න තීරණය කරලා ඉවරයි... විශේෂයෙන්ම උතුරේ ජනතාව අද බුද්ධිමත්... ඔවුන් දන්නවා දෙමළ සන්ධානය ඔවුන්ව වෙන්දේසි කරලා, තමන්ගේ සුඛ විහරණය තර කර ගන්න හැටි... මෙදා තැපැල් ඡන්දයෙන් සියයට අසූවකට වඩා ගෝඨාභයට වැටුණු බව ජනතාව දන්නවා.... ඒ කියන්නේ ලබන දාහත් වෙනිදාට මේ රටේ ජනතාව යළි ජයග‍්‍රහණය කරනවා...

ප‍්‍රශ්නය - ඔබගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කළහොත් ඔහුට හිමිවන්නේ ජනාධිපති ධුරය පමණයි. පාර්ලිමේන්තු බලය හිමිවන්නේ එජාපයට... එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු බලය දිනා ගැනීම සඳහා ඔබගේ සැලසුම කුමක්ද...?

පිළිතුර - කලින් සැලසුම කියලා සතුරා අතරට තොරතුරු යවන්න බැහැනේ... අපි ජයග‍්‍රහණය කළාහම ඒ අය නම්බුවක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනේ... කොහොමටත් මේ අය එක්ක අපිට ආණ්ඩු කරන්න බැහැ... ඒ පිලේ බොහෝ දෙනෙක් දැනටමත් අපිට එකතු වෙන්න කතා කරලා තියෙනවා. එහෙම වුණොත් අපි ඒ ක‍්‍රමයට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්නවා... නැත්නම් අපිට තව ක‍්‍රම තියෙනවා... හැබැයි ඒ සියල්ලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ව්‍යවස්ථාවට අනුව කෙරෙන දේවල්...


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles