Divaina - ගෝඨාභයගේ පුරවැසිභාවය තහවුරු කළ නඩුවේ සම්පූර්ණ කතාව..... ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීන්දුවක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


gota


 

මනෝජ් අබයදීර

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට දින නියම කර ඇත්තේ ලබන අඟහරුවාදාටය. එසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් පවරන ලද්දේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසිනි. මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටියහ.

ආරක්‍ෂාව දැඩිවෙයි

එම නඩුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා මුලින්ම සලකා බැලූ අතර, එදින කොළඹ සහ විශේෂයෙන්ම අලූත්කඬේ ප‍්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබුණේ, එම නඩුව රටේ ප‍්‍රමුඛ වෙනසක් සඳහා නිමිත්ත සපයන බැවිනි.

එම පෙත්සමේදී පැමිණිලිකරුවන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් දක්වමින් චෝදනා එල්ල කර තිබුණි.

ලිපිගොනු නැත...?

පෙත්සම්කරුවන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් වන අතර පළමු පෙත්සම්කරු පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ලෙස ද දෙවැනි පෙත්සම්කරු ශ‍්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් ද සේවය කරති. ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් අගෝස්තු 5 වැනිදා දැන ගන්නට ලැබිණි. ඔහු නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය නොකර ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති අතර එය භාවිත කරමින් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගැනීමට ලැබී ඇත. එම පුරවැසිභාවය හෝ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත‍්‍ර හෝ ලබාගැනීමට අදාළ ආයතන මගින් ලිපිගොනු පවත්වාගෙන ගොස් නැත.

දිවිත්ව පුරවැසිබවත් ප‍්‍රශ්නයක්...?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තිය සමග කියැවෙන 89 (ඒ) දරන වගන්තිය අනුව ශ‍්‍රී ලාංකික පුරවැසියකු නොවන අයකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකිය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයදුම්කර ඇති 2005 නොවැම්බර් 18 සහ 24 අතර කාලයේදී අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු නොසිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇත්තේ නීතියෙන් නියමිත ක‍්‍රමවේදය අනුව නොවේ යැයි ද ඒ නිසා එම සහතිකය නීත්‍යානුකූල නොවන බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.

හැඳුනුම්පත් බල රහිත කරන්න

එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති අංක 8305500 දරන ගමන් බලපත‍්‍රය සහ අංක 194917210010 දරන ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූල නොවන බව කියා සිටින පෙත්සම්කරුවෝ එබැවින් එම ගමන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතාට ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කරන තුරු එම ගමන් බලපත‍්‍රය හා ජාතික හැඳුනුම්පත ක‍්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ එමඟින් ඉල්ලා සිටියහ.

ලිපිගොනු අතුරුදන්ය...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ‍්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සතුව ඇති විදෙස් ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගය සඳහා ගැනීමට පෙර අදාළ විනිසුරු මඩුල්ල විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව නීත්‍යානුකූල විදේශ ගමන් බලපත‍්‍රයක්, ජාතික හැඳුනුම්පත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු ලබන 02 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට, එහි අමාත්‍යාංශ ලේකම්ට, ආගමන විගමන පාලකවරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට සැප්තැම්බර් 30 දා නියෝග කළේය.

මේ සඳහා පිළිතුරු ලබා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා විසින් ඔක්තෝබර් මස දෙවැනිදා අධිකරණයට දැනුම් දුන්නේය. ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

විනාශ කළාද...? අතුරුදන්ද...?

2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ බවද එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුව සතුව පැවති කිසිදු ලියැවිල්ලක් විනාශ නොකළ බවද ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ 2007 ට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත්, ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප‍්‍රකාශන නොකරන බවද හෙතෙම කියා සිටියේය.

ඉන් පසු අවස්ථාව එළඹුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව අනන්‍යතා සහතික ඉදිරිපත් කිරීමටය.

සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ - අද දින අධිකරණය කළ නියෝගය අනුව අදාළ ලියවිලි ඉදිරිපත් කරන්න.

සියල්ල නීත්‍යානුකූලයි...

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධිවිධාන අනුව නීත්‍යානුකූල සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ - එසේය ස්වාමීනි. ස්වාධීන අයිතම 16 ක් යටතේ තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම්. පළමු අයිතමය යටතේ ආගමන විගමන වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියකියවිලි තොරතුරු නැහැ. 2007 පසුව එම ආයතනය පරිගණකගත කරලා.

සභාපති විනිසුරු - ජාතික හැඳුනුම්පත පිළිබඳ තොරතුරු?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - පුද්ගලයන් ලියාපදිංචි කොමසාරිස් සතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා - මීට අදාළ සමහර ලියකියැවිලි විනාශ කර ඇති බවට තොරතුරු දැන ගන්නට ලැබී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - කිසිදු ලියකියවිල්ලක් විනාශ කළ බවට තොරතුරු ලැබී නැහැ.

පෙත්සම විභාගයට ගන්නට බැහැ...

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - මෙම පෙත්සම පවත්වා ගෙන යන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ නඩුවක් ආරම්භ කර තිබෙනවා. අපි ඒ නඩුවේ සාක්කි සටහන් ඉල්ලූවා. පවතින නඩුවක සාක්කි සටහන් දෙන්න බැරි යැයි බලධාරීන් කිව්වා. සාක්කි සහ ඊට සම්බන්ධ ප‍්‍රකාශ නැතිව මෙම පෙත්සම ගෙන යන්න බැහැ.

සභාපති විනිසුරු - මේ පිළිබඳ සොයා බලා අදාළ ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිට උපදෙස් දෙනවා.

ජාත්‍යන්තර නීතියට පටහැනියි...

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා - මා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වන්නේ නීතිමය වශයෙන් මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකියි යන්නයි. එසේම මෙම පෙත්සමේ අඩංගු කරුණු අධිකරණයෙන් පිළිගත්තත්, ඉල්ලා ඇති සහන නීතියෙන් ලබා දෙන්න බැහැ. තවද මෙම පෙත්සමෙහි අත්‍යවශ්‍ය පාර්ශ්වයක් වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නැහැ. දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩුවකුත් පවතිනවා. එම නඩුව අවසන් වනතුරු මෙම අධිකරණයට රිට් අධිකරණ බලය ක‍්‍රිියාත්මක කරන්න බැහැ. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙත්සමෙන් ප‍්‍රශ්න කිරීමේ මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර නීතියට පටහැනියි. මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ ද්වේශ සහගතවයි. මෙම පෙත්සමෙන් ඉල්ලන සහන දුන්නොත් රටේ ජනතාවගේ ඡුන්ද අයිතිය උල්ලංඝනය වනවා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වසර 15 කට පසුවයි. ඉන් පැහැදිලි වන්නේ මෙය දේශපාලන අරමුණින් කළ දෙයක් බවයි.

සභාපති විනිසුරු - අපරාධ නඩුව සහ මෙම අධිකරණයේ රිට් අධිකරණ බලය පිළිබඳව නීතිපතිවරයාගේ අදහස් කුමක්ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - අපරාධ නඩු විභාගයත් මෙම පෙත්සමත් අතර සම්බන්ධයක් නැහැ. එයින් රිට් අධිකරණ බලයට බලපෑමක් නැහැ.

සභාපති විනිසුරු - මෙම අධිකරණය කිසිසේත්ම වේදිකාවක් කර ගත යුතු නැහැ. සියල්ලන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.

මහින්ද දිවුරුම් දී නැහැ...

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - පස්වැනි වගඋත්තරකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය ලබා ගෙන ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්. මෙම සහතිකය ලබා ගන්නාවිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් දිවුරුම් දී නැහැ.

මේ අවස්ථාවේදී සියලූ ලිඛිත දේශන අධිකරණ විද්‍යුත් තැපෑලට යොමු කරන ලෙස සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

නමේ වෙනසක්...

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - මෙම ද්විත්ව පුරවැසි සහතිකය ලබා දෙන විට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කර නැහැ. මෙම ද්විත්ව පුරවැසියන්ගේ නම් අඩංගු නාම ලේඛනය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. එවකට පැවති ක‍්‍රියාවලිය අනුව සෑම නමක්ම ඇතුළත් කර ඇත්තේ මුල් අකුර සමගයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සම්පූර්ණයෙන් ඇතුළත් කර තිබෙනවා. එහි යම් නොගැළපීමක් තිබෙනවා. අනෙක් අතට පරිගණක කර තිබෙන නමත්, මුල් පිටපතේ නමත් අතර වෙනස්කම් තිබෙනවා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා - එය පරිගණක ගත කිරීමේ පහසුව තකා සකස්කර ගත් ක‍්‍රමවේදයක්.

ද්විත්ව පුරවැසි සහතිකය හිස් ලියැවිල්ලක්...

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - එවකට ජනාධිපති මෙම ලියැවිල්ලට අත්සන් තබන්නේ 2005 නොවැම්බර් 23 වැනිදායි. එවකට ජනාධිපති සිය බලතල ඇමැතිවරුන්ට පවරා නැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයා කියන්නේ ප‍්‍රධාන විධායක නිලධාරියායි. ප‍්‍රතිපත්ති තීරණ සහ බලතල තියෙන්නේ විෂය භාර අමාත්‍යවරයා යටතේයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ගේ බලතල පවරන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව ජනාධිපති ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් වන්නේ 2005 දෙසැම්බර් 08 වැනිදායි. ඒ අනුව මෙම ද්විත්ව පුරවැසි සහතිකය නිකම්ම නිකම් හිස් ලියැවිල්ලක්. අනිත් අතට අන්තිමට ආරක්ෂක ලේකම්වරයා බවට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි.

සභාපති විනිසුරු - ඔබ කියන්නේ මෙම ලිපියට අත්සන් කළ කාලයේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක බලතල නැතැයි කියාද?

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - ඔව්. ඒ කාලයේ ආරක්ෂක අමාත්‍ය බලයක් නැහැ. එක්සත් රාජධානියේ නඩු තීන්දුවක් අනුව මෙවැනි ලියවිලි හඳුන්වන්නේ හිස් ලිපියක් (බ්ලෑන්ක් පේපර්) හැටියටයි.

සභාපති විනිසුරු - මෙම පෙත්සම දේශපාලන අරමුණින් ඉදිරිපත් කළා යැයි කියන චෝදනාවට පිළිතුරු දෙන්න.

අරමුණ මෙන්න...

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අරමුණකින් නොවෙයි. යම් හෙයකින් විදේශ පුරවැසියකු මොහොතකින් මේ රටේ ජනාධිපති, ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධානියා වුවහොත් රටේ ආරක්ෂාවට ඉමහත් බලපෑමක් සිදුවනවා. ඒ තත්ත්වය වැළැක්වීම මෙම පෙත්සමේ අරමුණයි.

සභාපති විනිසුරු - නාමයෝජනා බාරදීමේදී මෙම ලියකියවිලි පරීක්ෂා කරනවාද?

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - එය හුදෙක් මතුපිටින් පරීක්ෂා කිරීමක් පමණයි. මැතිවරණ කොමසාරිස්වරයාට ලියකියවිලිවල නීත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීමට බලයක් නැහැ. එය වෙනම ක‍්‍රියාවලියක්. නාමයෝජනා අවස්ථාවේදී ඕනෑම අයකුට විරෝධතාවක් ඉදිරිපත් කළ හැකියි.

සභාපති විනිසුරු - පොදුජන එක්සත් පෙරමුණ පාර්ශ්වකරුවකු වශයෙන් නම් නොකිරීම පිළිබඳව කරුණු දක්වන්න.

දේශපාලන ගැටලූවක් නෙමෙයි...

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු - මෙය හුදෙක්ම පස් වැනි වගඋත්තරකරුගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නයක්. මෙය දේශපාලන ගැටලූවක් නොවෙයි. නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාගේ කරුණු දැක්වීම් ඉන් අවසන් විණි. ඉන්පසු නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ රටේ ජනාධිපතිවරයා විධායකයේ ප‍්‍රධානියායි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ රජයේ ප‍්‍රධානියා.

මේ අනුව ඒ ඒ විෂයන් අමාත්‍යවරුන්ට බෙදා දීමට පෙර ඒ සියලූම විෂයන්වලට අදාළ බලතල ජනාධිපතිවරයා සතු වෙනවා. ඒ අනුව මෙම සිද්ධිය වන විට එනම්, අදාළ ලියකියවිලි අත්සන් කරනවිට ආරක්ෂක ඇමැතිවරයාගේ බලතල සතු වූයේ ජනාධිපතිවරයාටයි. ඒ අනුව ජනාධිපතිවරයා ලියවිල්ලට අත්සන් කිරීම නීතියට එකඟයි. අනිත් අතට පුරවැසි පනතේ 19 (2) වගන්තිය අනුකූලව ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය නීතියට එකඟව සිදුවී තිබෙනවා.

නීතිපතිගේ මතය...

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීතියට එකඟයි යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම පෙත්සම ඉදිරිපත් කළ චන්ද්‍රගුප්ත තේනුවරගේ බාල සහෝදරයා වන ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පී සහ ඡුායාරූපකරණය පිළිබඳ දේශක ඉන්ද්‍රනාත තේනුවර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සමාජ මාධ්‍ය ජාලා අතර කතාබහට ලක්විය.

චන්ද්‍රගුප්තට මල්ලිගෙන් චෝදනාවක්...

‘අයිය අඳින එක ඉරක් අඳින්න, මට තව අවුරුදු 25 ක්වත්, සතතාභ්‍යාසයේ යෙදෙන්නට සිදු වෙයි. නමුත් අයියා මෙන් මේ වහුතු, මජර, කුජීත දේ්ශපාලන ගුබ්බෑයමක ඉත්තකු වන්නට නම් මට තව ශත වර්ෂ 25කින්වත් බැරි ම ය!!’යනුවෙන් ඔහු සටහන් තබා තිබුණි. එහිදී ඉන්ද්‍රනාත තේනුවර පෙන්වා දී ඇත්තේ සිය සොහොයුරාගේ කලා ප‍්‍රතිභාවට ළං විය නොහැකි වුවත් ඔහු මෙන් වත්මන් මජර දේශපාලනයේ ඉත්තෙක් නොවන බවයි. තරග කර ජයග‍්‍රහණය කරනවා වෙනුවට විරුද්ධවාදීන්ට කකුල් මාට්ටු යෙදීමට තම සොහොයුරා ගෙන ඇති උත්සාහය තමන් හෙළා දකින බව ඉන්ද්‍රනාත තේනුවර මහතා සඳහන් කරන ලද්දේ ඊට දින කිහිපයකට පසු තුන්වෙනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් යම් ගැටලූවක් තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් මෙයට පෙර ක‍්‍රියා කිරීමට තිබූ බවත් පැවසූ ඉන්ද්‍රනාත තේනුවර මහතා අවසන් මොහොතේ තම සොහොයුරා සිදු කළ මෙම ක‍්‍රියාදාමය පිළිබඳ තමන් පසුතැවෙන බවත් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් දැවැන්ත දේශපාලන ප‍්‍රවාහයක උවමනාව මත තම සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් චෝදනා කරන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිකුරාදා උදෑසන වන විට මුළු රටම බලා සිටියේ අලූත්කඬේ අභියාචනාධිකරණයෙන් ලැබෙන තීන්දුව දෙසය. එදින උදෑසන තෙවැනි දිනටත් විභාගය ආරම්භ කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ආරම්භ කළේය.

පෙත්සම සලකා බැලීම පස්වරු 2.00 ට පමණ අවසන් කළ විනිසුරු මඩුල්ල පස්වරු 3.15 ට පෙර ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙස සියලූ පාර්ශ්වවලට නියෝග කළේය. පස්වරු 6.00 ට ඒ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන බව දැනුම් දීම නිසා පස්වරු 4 වන විටත් භික්‍ෂූන් වහන්සේ තෙනමක් ඇතුළු විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.

යම් හෙයකින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය ලබා දුනහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහාතට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවසරය අහිමි වන බැවින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ද්විත්ව පුරවැසිභාවය කියා සහතිකයක් නොමැති බවත් ඇත්තේ ශී‍්‍ර ලාංකික පුරවැසියකු බව කියැවෙන ප‍්‍රකාශයක් පමණක් වන බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා 2005 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසි සහතිකය අභියෝගයට ලක් කළ හොත් ඒ සමයේම එකී පුරවැසි සහතිකය සමග අත්සන් කළ සෙසු පුරවැසි සහතික 21 කද බලරහිත වන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව නොලැබුණ හොත් ඔහුගේ දේශපාලන දිවිය ඉන් අවසන් විය හැකි බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා ඔහුට සිය ඡන්දය ලබාදීමට අපේක්‍ෂා කරන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සුබ සිහින ද එමගින් සුනු විසුනු විය හැකි බවද අධිකරණයට පැවසීය. වසර 14 කට පසුව එකී පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරන්නේ නම් ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වසර 10 ක් කටයුතු කළ සමයේ ලබාදුන් නියෝග ද අභියෝගයට ලක්විය හැකි බවද එහිදී සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (2) ව්‍යවස්ථාව අනුව විධායක බලය සම්පූර්ණයෙන්ම සංකේතවත් වී ඇත්තේ ජනාධිපතිවරයා මත බවත් පැවසීය. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ දිසා අධිකරණය හමුවේදී සලකා බැලිය යුතු කරුණක් වන බවද එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා මහින්ද රාජපක්‍ෂ මහතාට කූඨ ලේඛන සකස් කළ බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා චෝදනා නැගීම ඉතා වැරදි සහගත බවද විනිසුරු මඩුල්ලට පැවසීය. එකී පුරවැසි සහතිකය ලබාගැනීමේ ඉල්ලීම ඍජුවම ඉදිරිපත් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වන බැවිනි.

එලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටක් රාජ්‍යයක් නොමැති අරාණික පුද්ගලයකු බවට පත්වීමේ අවදානමක් පවතින බවද පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරනුයේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් වන බැවින් එම පක්‍ෂ හා සෙසු පාර්ශ්ව එකී පෙත්සමේ පාර්ශ්වකරුවන් ලෙස නම් නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවද අධිකරණයට පැවසීය.

හයවන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද එහිදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය එම පෙත්සම ගොනුකර ඇත්තේ එය දේශපාලන හේතූන් මත බැවින් ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පළමු හා දෙවන ආගමන හා විගමන පාලකවරයා හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එස්. ඥානරාජ්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙඕන් පුල්ලේ මහතා පෙනී සිටියේය.

තුන්වන විත්තිකාර රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ නෙරන්ජන් අරුල්ප‍්‍රගාසම්, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ජී. අරුල්ප‍්‍රගාසම් යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා පෙනී සිටියහ. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන, අලිසබ්රි, නවින් මාරපන යන මහත්වරු පෙනී සිටියහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles