Divaina - මෙන්න මානුෂීය මෙහෙයුමේ තවත් අදියරක්... කෝප‍්‍රල්වරු දෙදෙනෙක් වැවේ ගිලෙන්න ගිය මව සහ දරුවන් බේරාගත් හැටි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

රුවන් ජයවර්ධන
 

mwnna

කිලිනොච්චිය පුනරීන්හි පිහිටි අරසපුරකුලම් වැව අක්කර 06කට ආසන්න වපසරියකින් යුක්තය. උතුරු නැගෙනහිර පළාතට වැසි සමය උදාවීමත් සමග සියගත වැසි දියෙන් සරස ගන්නා අරසපුරකුලම් වැව ප‍්‍රදේශයට නියඟය උදාවීමත් සමග කෘෂව ගිය දිය කඩිත්තක් බවට පත්වීම සෑම වසරකට වරක්ම නොකඩවා සිදුවන්නක්ය. එවැනි අවස්ථාවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් විසින් බැකෝ යන්ත‍්‍ර ආදිය භාවිතා කරමින් වැව් පතුල හාරමින් සිය වගා කටයුතු ආදියට අවශ්‍ය ජලය සොයා වෙහෙසීම කලක පටන් සිදු කරගෙන එන ක‍්‍රියාවකි. ප‍්‍රදේශයට වැසි සමය උදාවීමත් සමග එලෙස හාරන ලද ගැඹුරුවලවල් රොන් මඩ ආදියෙන්ද වැව අහස් දියෙන්ද පිරෙන්නට ගන්නා අතර වැවත් එහි ඇති අවදානමත් පිළිබඳ අවබෝධයෙන් පසුවන ප‍්‍රදේශයේ පදිංචි ජනතාව දියනෑම පිණිස මෙම ස්ථානය භාවිතා නොකිරීමට නිරන්තරයෙන් වග බලා ගත්හ.
 
 තත්ත්වය කෙසේ වෙතත් ඉකුත් 07දා ඇලෝසියස් ජයන්ති මාලා ඇගේ සැමියා හා දරුවන් තිදෙනා දැන හෝ නොදැන අරසපුරකුලම් වැවට දියනෑම පිණිස ළඟා වන්නේ පෙ.ව. 11.30ට ආසන්න වෙමින් පැවති මොහොතකය. දැඩි හින්දු බැතිමතුන් වන ඔවුහු ඊට පෙර ප‍්‍රදේශයේ පිහිටි කෝවිලක් වෙත ගොස් ආගමික වතාවත් ආදිය සිදුකර ඇති අතර දියනෑම පිණිස වැව වෙත පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.
 
 අවචානමක් අවම කර ගැනීම පිණිස හෝ නතරකර ගැනීම පිණිස අවධානය බෙහෙවින් බලපානු ලබන්නක්ය. ඒ බව නොසලකන ජයන්තිමාලා අඹුසැමියන් සහ ඔවුන්ගේ දරුවන් වැවේ එක්තරා ස්ථානයක් ස්නානය පිණිස තෝරා ගන්නා අතර පළමුව වැව් දියට බසිනු ලබන්නේ ඔවුන්ගේ වැඩිමහල් දරුවා වන ඇලෝසියස් අම්බරාසාය. ඔහුට වැඩි වේලාවක් දියමතු පිට ගත කරන්නට අරසපුරකුලම් ජල තලය ඉඩ අවස්ථාව ලබා දෙන්නේ නැත. ඔහුට මදක් මෑතින් සිටි ජයන්තිමාලාට දකින්නට ලැබෙන්නේ වැව් දියේ ටිකෙන් ටික ගිලෙමින් පවතින සිය වැඩිමහල් පුතුගේ දසුනය. උකු දුඹුරු බොර වතුර පිරි ගැඹුරු වැව් පතුල තුළ තම පුතනුවන් නොපෙනී යන අයුරු දකින ජයන්තිමාලාට තවත් ඒ දෙස දෑස් දල්වා බලා සිටීම ඉහිලූම් නොදෙනසුළු කටයුත්තක් වී ඇත. අපරිමිත මව් සෙනෙහසේ තරම වැවක් මෙන් දසදහස් ගුණයකින් යුක්තය. වැව විසින් ගුප්ත ලෙස සඟවා ගත් තම පුතනුවන් සොයන අටියෙන් ඇය ගැඹුරු වැව් දියට පනිනු ලබන්නේ ඉන් අනතුරුවය. අරසපුරකුලම් වැව ඒ වනවිට ද අකාරුණිකය. ඇය ද මද වේලාවකින් සිත්පිත් නැති වැව් දිය තුළ සැඟව යන්නේ කිසිවක් කරකියාගත නොහැකි අයුරින්ය. ඊළඟට ක‍්‍රියාත්මකවී ඇත්තේ ජයන්තිමාලාගේ දෙවැනි පුතනුවන්ය. නමින් ඇලෝසියස් අනුස්තන් වන ඔහු සිය වැඩිමහල් සහෝදරයාත්, මවත් බේරා ගැනීමේ අටියෙන් තෙවනුුව වැව දියට බහින අතර ඔහුටද සිදු වන්නේ සිය මවට සහ සහෝදරයාට සිදුවූ විපතමය.
 
 මේ අතර වැව් දියට මදක් මෑතින් සිටින ජයන්ති මාලාගේ සැමියා හා කුඩා දියණිය මෙම සිදුවීම සියැසින් දකිමින් හිඳින ජයන්තිමාලාගේ සැමියාට දකින්ට ලැබී ඇත්තේ දුඹුරු බොර පැහැති වැව් දිය විසින් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ගුප්ත ලෙස සඟවාගත් ආකාරයක්ය. මද වේලාවකින් වැව් දිය පෙර පරිදි නිසලව ගලන්නට වූ අතර එතැන් සිට අවට පරිසරය සසල වන්නට ගන්නේ ජයන්තිමාලාගේ සැමියා වන තෙරුසල් ඇලෝසියස් හා ඔහුගේ කුඩා දියණිය විසින් නඟන ලද විලාප හඬින්ය.
 
 5 වන යාන්ත‍්‍රික පාබල බල ඇණියට අයත් හමුදා කඳවුර පිහිටා තිබෙන්නේ අරසපුරකුලම් වැවට මදක් නුදුරින්ය. එහි රාජකාරියේ නිරත ලාන්ස් කෝප‍්‍රල් ආරියරත්න ටී. ජී. ජේ. පී. සහ ලාන්ස් කෝප‍්‍රල් අමරසිරි ඞී, ජී. එස්. එදින කඳවුරු එළිමහන් භූමියේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටින අතරතුර අසල තැනකින් නැගෙන විලාප හඬක් කන වැකෙන්නට වී ඇත. ඒ අනුව වරෙක කුඩා දරුවකු නගන විලාපයත් තවත් වරෙක වැඩිහිටි පුද්ගලයකු නගන විලාපයත් කන වැකෙන්නට වූ අතර ඔවුන් ඒ පිළිබඳව විමසිලිමත් වන්නේ එතැන් සිටය.
 
මෙතැන් සිට මෙම ත‍්‍රාසජනක කථාවේ ඉතිරි කොටස පවසන්නේ එම අභීත රණවිරුවන් දෙදෙනා විසින්ය. රට රකින ජාතිය ලෙස විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ලාන්ස් කෝප‍්‍රල් ආරියරත්න ටී. ජී. ජේ. පී. තමන් මුහුණ දුන් සිදුවීම එතැන් සිට විස්තර කරන්නට වූවේ පහත සඳහන් පරිදිය.
 
 එදා... පසුගිය 07 වැනිදා අපි උදෑසන ශාරීරික අභ්‍යාසවල නිරතවෙලා කඳවුරේ එළිමහන් භූමියක ඉන්න වෙලාවක
 තමයි කවුද දෙන්නෙක් උදව් ඉල්ලල කෑ ගහන හඬක් ඇහෙන්න ගත්තේ. අපි හිටියෙ වැව පේන හරියක නොවෙයි. ඒත් කෑගහන සද්දෙ ඇහෙන දුරක පරතරයක් තමයි වැවයි අපියි අතරේ තිබුණෙ. ඒ වෙද්දි කාට හරි අනතුරක් තමයි කියල අපි දෙන්නටම දැනුන. බල බල ඉන්නවෙලාවක් නැහැ. මමයි ලාන්ස් කෝප‍්‍රල් අමරසිරියි වැව පැත්තට වේගයෙන් දුවන්න ගත්තා. ඒ දුවන අතරෙ කෑම්ප් එකටත් මේ පනිවිඩය දුන්න. අපි වැව ළඟට යද්දි පොඩි දරුවකුයි තාත්තා කෙනෙකුයි උදව් ඉල්ලමින් විලාප නඟනව. ඒ අය සිංහල දන්නෙ නැහැ. වැව දෙසට අත දික්කරල පෙන්නුව පස්සෙ අපිට තේරුණා කවුරු හරි වැවට බිලිවෙලා කියල. මේ පළාතෙ වැව්වල කිඹුල්ලූ ඉන්න හන්ද අපි හිතුව කාව හරි කිඹුලෙක් ඇදගෙන යන්න ඇති කියල. හිත හිත ඉන්න වෙලාවක් තිබුණෙ නැහැ. මම පී.ටී. කිට්එක පිටින්ම වැවට පැන්න. ඒත් එක්කම මගෙත් එක්ක හිටිය ලාන්ස් කෝප‍්‍රල් අමරසිරිත් වැවට පැන්න...
 
 
manu3ජාති ආගම් බේද පමණක් නොව තම ජීවිත පවා තුට්ටුවකට මායිම් නොකරන අභීත රණවිරුවන් මරණය පෙනි පෙනී වැව් දිය සමග තරග කරන්නට ගන්නේ එතැන් සිටය. ඒ වන විට යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වන විටද ලාන්ස් කෝප‍්‍රල්වරුන් වන ආරියරත්න සහ අමරසිරි බෙහෙවින් අවදානම් සහගත දියයට මෙහෙයුම් ආරම්භ කර හමාරය. එම තීරණාත්මක විනාඩි කීපය පිළිබඳ මතකය නැවතත් අවදි කළ ලාන්ස් කෝප‍්‍රල් ආරියරත්න...
 
 අරසපුරකුලම් වැවේ වතුර කොහොමත් බොර පාටයි. හමුදාවේ අපිවත් ඒ වැවට නාන්න යන්නෙ නෑ. වතුරට බැහැල ටිකක් දුර යද්දි අපිට තේරුණා ඒ හරියේ ලොකු වලක් තියෙනව කියල. රොන්මඩ තියෙන වලක ගිලූන කෙනෙක්ව ගොඩ ගන්නයද්දි එකෙ තියෙන අවදානම අපි දෙන්නටම දැනුන. නමුත් ඒක පැත්තකින් තියල කවුද ගිලිල ඉන්නෙ කියල අපි හොයන්න ගත්ත. එහෙම අඩි දහයක් දොළහක් ගැඹුරට යද්දි අතක් අහුවුනා. ඇද්දට එක පාරට ආවේ නැහැ. කොහොම හරි කරල ගොඩට ගෙනාවට පස්සෙ තමයි දැක්කෙ එයා කාන්තාවක් කියල.එයාව ගෙනත් උඩ ඉන්න අපේ කට්ටියට දුන්නට පස්සෙ තමයි දැන ගත්තෙ තවත් දෙන්නෙක් ඒ වළේම එරිල ඉන්නව කියල. ඒ පාර ආපහු වැවට පැනල යට ගියා. අඩි 15ක් 20ක් විතර යටට යද්දි මට තේරුණා මාත් ඇතුළට ඇදිල යනව කියල. ඒක රොන්මඩ තට්ටුවක්. ඒ වෙලාවේ අපි දෙන්නත් හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. කොහොම හරි ඒ වෙලාවෙ තමයි දෙවෙනිය මඬේ එරිල ඉන්නව අපි දකින්නෙ. එයාවත් අමාරුවෙන් උඩට ගත්ත. ඒ ගෙනත් උඩ ඉන්න අයට දීල ආපහු වතාවක් යට ගියා. ඒ යද්දි තුන්වෙනියත් මඬේ එරිල ඉන්නව දැකල ඔහුවත් ගොඩට අරන් ආවා.
 
 ඒ වෙද්දි උඩට ගෙනාපු දෙන්නට හමුදාවෙ කට්ටිය ප‍්‍රථමාධාර ලබාදෙනව. ගොඩට ගනිද්දි තුන්දෙනාම සිහිමූර්ජා වෙලා හිටියෙ. ඒ වෙලාවෙ හමුදාවෙ උසස් නිලධාරීන් සෙසු නිලයන් හැමෝම වගේ සිද්ධිය වූ ස්ථානයට ඇවිත් මේ අයගෙ ජීවිත බේරගන්න අවශ්‍ය සියලූ පියවරයන් ක‍්‍රියාත්මක කරමින් හිටිය. ගිලන් රථය ඒ ස්ථානයට එන්නත් පෙර හමුදාවෙ වහානයකින් පුනරීන් රෝහලට අරන් යන්න කටයුතු කළා. අතරමගදි තමයි ගිලන් රථයට මාරු කරන්නෙ...
 
 රට රකින ජාතියේ වීරෝධාර රණවිරුවන් දෙදෙනකුගේ මැදිහත්වීම මත මරණයෙන් ගලවා ගත් මව සහ පුතුන් දෙදෙනා පළමුව පුනරීන් රෝහලටත් ඉන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර පිණිස යාපනය මහ රෝහලටත් පිටත් කොට හරින අතර යුද හමුදාව විසින් මුූලිකව ලබාදුන් ප‍්‍රතිකාර සහ පසුව වෛiවරුන් විසින් ගත් දැඩි උත්සාහයන් හේතුවෙන් මේ වන විට ඔවුන් ක‍්‍රමිකව සුවය ලබමින් ඇත. ඔවුන්ව මරණයෙන් මුදාගත් රණවිරුවන් පිළිබඳ සොයා බැලීමේදී හෙළිදරව් වූ තවත් අතුරු කථාවක් බවට පත් වන්නේ ඔවුන් එකම ගමේ එකම පාසලේ එකට අධ්‍යාපනය හදාරා පසුව හමුදාවට එක්වූ දෙදෙනක් වීමය.
 
 ඒ අනුව ඔවුන්ගේ උපන් ගම වන්නේ හසලක අඹගහපැලැස්සය. තෙල්දෙනිය මිනිපේ කනිටු විදුහලේ අධ්‍යාපනය ලබන ඔවුන් කුඩා කල පටන් අඹ යාළුවන් දෙදෙනක්ය. පසුව ඔවුන් යුද හමුදාවට එක්වන අතර එහිදී ඔවුන්ට සේවය කරන්නට ලැබන්නේද එකම සේනාංකයකට අයත් සෙබළුන් ලෙසය. ඉකුත් 07දා ඉහත සහන් සිදුවීම සිදු වන්නේද ඔවුන් එකම කඳවුරක එකට සේවය කරමින් සිටියදීය.
 
 තිස්පස් හැවිරිදි මෙම අභීත රණවිරුවන් දෙදෙනාම විවාහකයන් වන අතර ලාන්ස් කෝප‍්‍රල් ආරියරත්න දෙදරු පියෙක්ය. තෙවැනි දරු උපත පිණිස සැරසී සිටින ඇගේ බිරිඳ මේ වන විට ගැබිනියක්ය. ලාන්ස් කෝප‍්‍රල් අමරසිරි දෙදරු පියෙක්ය. ඔවුන් දෙපළ තවත් ජීවිත තුනක් බේරා ගැනීම පිණිස සියදිවි දෙවෙනි කොට රොන්මඩ පිරුණ ගැඹුරු වැව් පතුුලක් යට මරණයත් සමග සටනක නිරත වන්නේ ඉහත සඳහන් පවුල් පසුබිමක් මත හිඳිමින්ය. ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් බිහිකළ විශිෂ්ටතම විරුවෙකු වන හසලක ගාමිණී උපන් බිම මුල් කර
 
 ගනිමින් ජන්මලාභය ලබන මෙම අභීත විරුවන් දෙදෙනා නැවතත් හසලක නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වන අතර ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාවෙ ඔවුන් විසින් පවසා සිටියේ ජීවිත තුනක් බේරා ගැනීම පිණිස තම ජීවිතයක් පූජා කිරීම අභිමානවත් බවත් ඒ සඳහා ඉදිරිපත්වීම පිණිස තමන් ලද යුද හමුදා පුහුණුව ඉමහත් ප‍්‍රයෝජනයක් වූ බවත්ය. හසලක මිනිපේ ප‍්‍රදේශයේ උපන් තමනට කුඩා කල පටන් ඇල දොල නුහුරු දෙයක් නොවන බව පවසා සිටි මෙම විරුවන් දෙපළ අවසන් වශයෙන්ද පවසා සිටියේ රට රකින ජාතිය ලෙස මව්බිම හා රට වැසියන් වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට ඔවුන් බැඳී සිටින බවක්ය.
 
 සංහිදියාව පිණිස කිඹුල් කඳුලූ හෙළන නෝනාවරුනි, මහත්වරුනි, ශ‍්‍රී ලංකා හමුදාවන් සතු මානුෂීයභාවය පිළිබඳ ඔබට තවත් කීමට ඇත්තේ කුමක්දැයි යනුවෙන් විමසමින් මෙම සටහන නිමා කරමි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles