Divaina - කොළඹම පාළුවට යයි... වසර 100කට පසුමැනිං මාර්කට්ටුව වසා දමයි..... භූමි පුමාණය අක්කර 5 යි.... කඩ කාමර 1262 යි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 manin  
  පිටකොටුව ‘මැනිං මා්ර්කට්’ කියූ පමණින් ඒ බවක් නොදන්නා කෙනෙකු නැත. මෙරට කෘෂි නිෂ්පාදන අතරින් වැඩිම ප‍්‍රමාණයක් දිනපතා අලෙවි වන ප‍්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස ගැනෙන මැනිං මාර්කට් පොදු වෙළෙඳපොළ තුළ වෙළෙඳසල් 1262ක් පිහිටා ඇත. එළවළු පළතුරු ආදිය අලෙවියෙහි රටපුරා ප‍්‍රසිද්ධ ස්ථානයක් වන පිටකොටුව මැනිං මාර්කට්හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ දිනපතා මෙරට එළවළු මිල එහිදී තීරණය වීමය. ත‍්‍රිවිධ හමුදාව, වරාය ඇතුළු රටේ ප‍්‍රධාන ආයතන රැසක් සහ කොළඹ පිහිටි ප‍්‍රධානතම හෝටල් සියල්ලට එළවළු, පලතුරු ආදියත් රටේ අනිකුත් ප‍්‍රදේශ සඳහා එම සේවාවන් සැපයීමත් මැනිං මාර්කට්හි සිදුවන ප‍්‍රධාන කාර්යභාරය වේ.
 
 එවැනි ස්ථානයක් පූර්ව දැනුම්දීමකින් තොරව අකර්මණ්‍යවීම යනු තරමක විවාදයට තුඩුදෙන කරුණකි. ඉකුත් 04දා මැනිං මාර්කට් පොදු වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කිරීම තාවකාලිකව නතරවූ දිනයකි. කඩ හිමියන් 1262 ගෙන් සමන්විත මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ බහුතරයකගේ කැමැත්ත මත සිදුවූ එම සිදුවීම හේතුවෙන් එදින මැනිං මාර්කට් පොදු වෙළෙඳපොළ දිස්වූවේ ජනශුන්‍ය ප‍්‍රදේශයක් ලෙසිනි. එහි ගිය අපට වැඩිදුරටත් දකින්නට ලැබුණේ සියලූම වෙළෙඳසල් ඉබි යතුරු දමා වසා තිබුණ ආකාරයකි. ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ ප‍්‍රකාශකයන් පිරිසක් සඳහන් කර සිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පළ කිරීමක් ලෙස මැනිං මාර්කට් වෙළෙඳ ප‍්‍රජාව ගත් තීරණයක් මත එවැනි තත්ත්වයක් උද්ගතවූ බවත්ය.
 
 ඒ පිළිබඳවත් මැනි මාර්කට් හි එදිනෙදා සිදුවන ක‍්‍රියාවලිය පිළිබඳවත් තොරතුරු සොයා බැලීමේ අටියෙන් එදින අප එහි සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර දීර්ඝ කාලයක් තිස්සේ මැනිං මාර්කට්හි වෙළෙඳාමේ නිරත පුද්ගලයන් කීපදෙනෙකු මුණ ගැසීමේ අවස්ථාවක් උදාවිය. මැනිං මාර්කට් සතු අතීතයත් එහි වත්මන් ක‍්‍රියාකාරිත්වයත් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඔවුන් හරහා එහිදී අපට අනාවරණය කරගත හැකි විය. පළමුව ඒ පිළිබඳ අදහස් දක්වන ලද්දේ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ වත්මන් සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ විසින්ය.
 
 manin2‘‘මැනිං මාර්කට් එක මුල් කරගෙන ප‍්‍රධාන වශයෙන්ම අලෙවි කරන්නෙ එළවළු සහ පලතුරු. ඊට අමතරව කුකුළු මස් සඳහාත් මේ ස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතිනව. මෙතන සිංහල, දෙමළ, මුස්ලිම් බේදයක් නැහැ. එදා ඉඳන්ම අපි කවුරුත් සමගියෙන් සහයෝගයෙන් අපේ බිස්නස් කරගෙන යනව. මෙතන වෙළෙඳාම් කරන බහුතරයක් පිරිසකගෙ තීරණයක් මත තමයි අද අපි වෙළෙඳාමෙන් ඉවත් වෙන්න තීරණය කරන්නෙ. දේශපාලනය පස්සෙ යන කවුරුවත් මෙතන ඇත්තෙත් නැහැ. ඒ හින්ද මේක පිටිපස්සෙ දේශපාලනයක් නැහැ. බහුතරයක් දෙනාගේ ඉල්ලීම පිණිස රතන හාමුදුරුවන්ගේ ක‍්‍රියාමාර්ගයට සහාය පළ කරන්න ගත්ත තීරණයක් මත අපි අද බිස්නස්වලින් ඈත් වෙන්න තීරණයක් ගත්තා...’’
 
 එසේ සඳහන් කළ සභාපතිවරයා ඉන් අනතුරුව වෙනත් මානයක් වෙත යොමු වෙමින් අදහස් දක්වන්නට විය. ඒ හරහා මැනිං මාර්කට් භූමියේ දිනපතා සිදුවන ක‍්‍රියාවලිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි විය.
 
 ‘‘මෙතනට ලංකාවෙ හැම පළාතකින්ම බඩු එනවා. දවසකට ලොරි 150ක් විතර ප‍්‍රමාණයක් මේ ස්ථානයට එනව. දඹුල්ල, රාජාංගණය, යාපනය පැත්තෙන් එන ලොරි ? දහය, දොළහ වෙද්දි තම තමන්ගේ බඩු ටික බාල ඉවර කරනව. පාන්දර හතර විතර වෙද්දි වෙළෙඳාම සූදානම්.
 
 උදේ පාන්දර පහ, හය වෙද්දි මේ ස්ථානයේ වැඩිපුර ගැවසෙන්නෙ ගැනුම්කරුවන්. මෑතක ඉඳල ගැනුම්කරුවන්ට මුහුණ දෙන්න වෙලා තිබෙන ලොකුම ගැටලූවක් තමයි මේ ස්ථානයේ වාහන නතර කර තැබීමේ පහසුකම සීමාසහිත වීම. මේ මෑතක් වනතුරුම ගැනුම්කරුවන් තමන්ගෙ වාහන නතර කළේ මේ එහා පැත්තෙ තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක. දැන් මාසෙක විතර කාලෙක ඉඳන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒක තහනම් කළා. වාහන නතර කරන්න නම් මාසෙකට ලක්‍ෂ 11ක මුදලක් ඉල්ලනව. අපිට ඒක කරන්න බෑ. මේ ස්ථානයෙන් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය පිළිබඳ ලොකු ලොකු මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. කෘෂි නිෂ්පාදන කියන්නෙ ඉක්මනින්ම නරක් වෙන්න බලන දෙයක්. පාරිභෝගිකයන් මෙතනට එන්නෙ හැකි ඉක්මනින් බඩු ටික අරගෙන ලොරියට පටව ගන්න. දැන් මේ ස්ථානයේ අධික වාහන තදබදයක් පවතිනව. මේ වෙලාවෙ අපි රජයෙන් ඉල්ලා සිටිනව ඒ සඳහා විසඳුමක් ලබාදෙන්න කියල...’’
 
  මැනිං වෙළෙඳපොළ සතු ඉතිහාසය සියවසකට එපිට අතීතයට දිවයන්නකි. එම තොරතුරුවලට අනුව මේ වනවිට මැනිං වෙළෙඳපොළ යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානය නම් කරන ලද්දේ පිටකොටුව එළවළු වෙළෙඳපොළ නමින්ය. කඩ බක්කි නමින් හඳුන්වනු ලැබූ වෙළෙඳසල් 262කින් සමන්විත එම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නෙ මේ වන විට පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණය සහිත භූමිය ආශ‍්‍රිතවය. එය සුදු අධිරාජ්‍යවාදීන් විසින් කරන ලද ඉදිකිරීමක්ය. පසුව එය කොළඹ මහ නගර සභාව විසින් පාලනය කර ඇති අතර එහිදී සියයට 10ක කොමිස් මුදලක් යටතේ බඩු භාණ්ඩ අලෙවි කිරීමේ අවසරය වෙළෙඳුන්ට ලබාදී ඇත.
 
 කොළඹ නගරය නවීකරණයට ලක්වීමත් සමග ඉපැරණි පිටකොටුව එළවළු වෙළෙඳපොළ දැන් පවතින ස්ථානය වෙත රැගෙනවිත් ඇත. වර්ෂ 1983දී පමණ සිදුවූ එම සංක‍්‍රාන්තියත් සමග පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි ඉපැරණි ගොඩනැඟිල්ලක් මුල් කරගනිමින් වෙළෙඳාම් කටයුතු ආරම්භ වන අතර එතැන් සිට මේ දක්වා එය හඳුන්වනු ලබන්නේ පිටකොටුව ‘මැනිං මාර්කට්’ ලෙසින්ය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් ආහාර ගබඩාවක් ලෙස භාවිත කොට ඇති එම ඉපැරණි ගොඩනැඟිල්ල සහිත භූමියත් ඇතුළත් පිටකොටුව මැනිං වෙළෙඳපොළ අයත් මුළු භූමි ප‍්‍රමාණය අක්කර පහකට ආසන්න බව තතුදත් අය සඳහන් කර සිටිති.
 
 මෙරට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන අතරින් ප‍්‍රධාන තැනක් ගන්නා මෙම ස්ථානය අවස්ථා කීපයකදී වෙනත් ස්ථානයක් වෙත රැගෙන යෑමට කටයුතු කර ඇතත් තවත් එය ක‍්‍රියාත්මක වන්නේ ඉහත සඳහන් ස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.
 
 මේ වන විටත් කොළඹ මහ නගර සභාව විසින් එහි පරිපාලන කටයුතු සිදු කරන අතර මැනිං පොදු වෙළෙඳපොළ ජනතාව අතර ප‍්‍රකටව පවතින්නේ පසළොස්වක පෝය දිනයන්හි පමණක් වසා තබන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසින්ය. ඒ අනුව සිංහල අලූත් අවුරුදු දිනයන්හි පවා විවෘතව තබන මැනිං වෙළෙඳපොළ හරහා මෙරට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ආදායම් උපයමින් ඇත. මෙරට ගොවි ජනතාව ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නා අතර ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන සඳහා සාර්ථකම වෙළෙඳපොළ බවට පත්වී ඇත්තේ මෙම ස්ථානය ය.
 
 මේ වන විට මැනිං වෙළෙඳපොළ තුළ වෙළෙඳාමේ නියුතු ව්‍යාපාරිකයන් එක්ව මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතිය යනුවෙන් සංවිධානයක් පවත්වාගෙන යන අතර එහි ක‍්‍රියාකාරි සාමාජිකයන් පිරිස එක්දහස් දෙසීයකට ඉහළ අගයකින් යුක්තය. ඔවුන්ගේ දායකත්වයෙන් වාර්ෂිකව විවිධ සමාජ සත්කාරයන් අආගමික හා සමාජයීය කටයුතු ආදියත් සිදු කරන අතර ඒ හරහා ඔවුන්ගේ මූලික අරමුණ බවට පත්වන්නේ ජාතින් අතර සමගිය වර්ධනය කිරීම සහ එකමුතුකම වැඩිදියුණු කිරීමය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ සාම භූමියක් ලෙස ගැනෙන පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළ ඉකුත් දිනක හදිසියේ අකර්මණ්‍ය වන්නේද ජාතින් අතර සංහිඳියාව තවදුරටත් වර්ධනය විය යුතු යැයි යන පණිවිඩය බලධාරීන් වෙත වැඩි වැඩියෙන් ලබාදීම පිණිසය.
 
 රුවන් ජයවර්ධන
 ඡුායාරූප - ජූඞ් ඩෙන්සිල් පතිරාජ

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles