Divaina - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කපුවෝ කපෝති කරමින් ‘හතුරු’ කොරහත් බිඳගෙනම යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

haturu99
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රාමුවේ මැද ගැබ්ව ඇති ඇතැම් සිදුරු කොතරම් පිරෙව්වද ඒවා ගොඩකර දැමිය නොහැකි වළවල් බවට පත්ව තිබේ. අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉකුත් දශක දෙක ඇතුළත ගත් තීන්දු තීරණ ඔස්සේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වන්නට ඇත. එහි වත්මන් ඛේදවාචකය චන්දික හතුරුසිංහයි.
 
 හතුරුසිංහව ශ‍්‍රී ලංකාවට ගෙන ආවේ අනාගත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඔසවා තබන්නට තුන් වසරක කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවක් ඔහුට පිරිනමමිනි. 2017 වසරේ නොවැම්බර් මසදී හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව අත්සන් කරන විට ඔහුට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 70 ක පමණ මාසික වැටුපක්, නිවසක්, වාහනයක් ඇතුළු සියලූ දීමනා ලබා දී තිබුණි. ඒ හතුරුසිංහ වැඞ්ඩකු යැයි සිතූ නිසා විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සිටි ක‍්‍රිකට් වැඞ්ඩන් අතර හතුරුසිංහට ප‍්‍රාතිහාර්යයක් කිරීමට හැකියාව ඇතැයි සිතූ තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් කමිටුව ඒ කපුකම කරමින් ඔහුව බංග්ලාදේශයෙන් ගලවා ශ‍්‍රී ලංකාවට ගෙන ආවේය. ඒ කපුකම දැන් අච්චාරු වී නඩු මගට පැටලෙන තරමට විෂ ධුමානය පිට කරමින් සිටින්නේ වන්දි නඩුවක් බවට ජාත්‍යන්තර අධිකරණය දක්වා සිද්ධිය ඇදී යමිනි. හතුරුසිංහව මෙරටට ගෙන ඒමේ කපුකම කළේ තිලංග සුමතිපාල මහතාගේ අනුදැනුම මත කේ.මතිවානන්, ඈෂ්ලි ද සිල්වා ඇතුළු වගකිව යුතු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලකයන්ය. එදා ඔවුන් මිලියන හතකට හතුරුව ගෙන ආවේ මොන කෙංගෙඩියකටද යන්න දන්නේ ඔවුන්ම පමණි.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ අනාගත් සිද්ධීන් ඕනෑ තරම් තිබේ. නමුත් අයි.සී.සී යේ මුදල් නිසා රජය හෝ ඊට වැඩිය හොට දමන පාටක්ද පෙනෙන්නට නැත. හරූන් ලොගාට් යනු හිටපු දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ප‍්‍රධාන විධායකවරයායි. ඔහුව 2010 වසරෙන් පසුව ශ‍්‍රී ලංකා රුපියල් කෝටි තුනකට වැඩි වියදමක් වැය කරමින් ශ‍්‍රී ලංකාවට සතියකට ගෙන්වා ක‍්‍රිකට් සැලැස්මක් සකස් කළේය. ඒ සැලැස්ම තවමත් හමස් පෙට්ටියේය. එස්.එල්.පී.එල්. විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අරඹා වසරකින් එය පල්වන තැනකට පත්විය. ඒ අතරතුර පැමිණි ඔස්ටේ‍්‍රලියානු ජාතික පුහුණුකරුවකුට වන්දි ගෙවා ගෙදර යැව්වේ මාස හයකටත් අඩු කාලයක් රඳවා ගනිමිනි. කි‍්‍රකට් ආයතනය විසින් ඉතිහාසයේ විනාශ කරන ලද මුදල් එකතු කළේ නම් පේදරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටම අධිවේගී මාර්ගයක් හදන්නට හැකියාවක් තිබෙන්නට ඇතැයි අපි විශ්වාස කරමු.
 
 කෙසේ වෙතත් හතුරුසිංහ දැන් ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ට එරෙහිව නාටකයක් රඟ දක්වා ඇත්තේ ඇ.ඩො.මි. පහක වන්දියක් ඉල්ලාය. ඒ ඔහුගේ සේවය මාස 18 ක් තිබියදී ඉවත්කර දැමූ නිසාය. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එක දිගට පරදින්නේ නම්
 
 හතුරුසිංහගේ මුදල් ගස පෝෂණය කරනවා වෙනුවට ඔහුව කණෙන් ඇද එළියට දැමීමට ක‍්‍රීඩාව පාලනය කරන අධිකාරියට කොන්දක් තිබිය යුතුය. ඒ වැඬේ හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු සහ වත්මන් ක‍්‍රිකට් පාලනය එක්ව කළේය. නමුත් දැන් ඔවුන්ට හතුරුසිංහ ඉල්ලන වන්දියට එරෙහිව චෝදනා ගොනු කරමින් නඩුව ජය ගැනීමේ වගකීම කර මත පැටවී තිබේ.
 
 හතුරුසිංහ යනු ශ‍්‍රී ලංකාවට අමුතු චරිතයක් නොවන බව සැබෑය. ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 35 කට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයෙකි. ඔහුගේ ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවිය 1999 දී අවසන් වෙද්දී 2004 වසරේදී පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඔහු සමුදෙන විට තරගයකට රුපියල් තුන්දහසකට අඩු ගෙවීමක් ලැබුණි. විටෙක පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන අතරවාරයේ ටැමිල් යුනියන් ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රධාන පුහුණුකරුවාද ඔහු විය.
 
 නමුත් රුපියල් පනස් දහසක මාසික වේතනයකට පුහුණුකරු රස්සාව කිරීම විහිළුවක් බව වටහා ගත් හතුරුසිංහ පුහුණු වෘත්තියෙන් ගොඩ යන්නට වැඬේට බැස්සේය. 2005 වසරේදී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුහුණුකරුවා විය. අනතුරුව ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුුණුකරුවා වශයෙන් හතුරුසිංහ පත්විය. ඊට පසුව ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහය පුහුණුකරුවා විය. ඒ කාලයේදී හතුරුසිංහව එවකට සිටි ක‍්‍රිකට් පාලනය විසින් කොන්ත‍්‍රාත්තුව ගලවා දමා වෙනත් පුහුණුකරුවකු ගෙන්වා ගත්තේය. ශ‍්‍රී ලංකාවෙන් පසුව හතුරුසිංහ කැනඩාවේ පුහුණුකරුවකු වශයෙන්ද කටයුතු කළේ 2011 වසරේදීය.
 
 කෙසේ වෙතත් හතුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ පුහුණුකරුවීමත් සමග ඔහු එරට පදිංචිකරුවකු විය. ඊට පසුව සිඞ්නි තන්ඩර් කණ්ඩායමේද පුහුණුකරුවා විය. පසුව බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් හතුරුසිංහ පත්වීම් ලබන්නේ 2014 වසරේදීය. එතැන් සිට ජාත්‍යනතර ක‍්‍රිකට් පිටියේ නට්ටන්ව සිටි බංග්ලාදේශයව ඔසවා තැබීමේ ගුරු වූ හතුරු එම රාජකාරිය අතරමග නවතා දමා ශී‍්‍ර ලංකාවට පැමිණෙන විට බංග්ලාදේශය ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ක‍්‍රීඩා කළ ටෙස්ට් තරග 17 කදී පහක් ජයගෙන අටක් පරාජය වී තිබුණි. එක්දින තරග 51 කට සහභාගි වී තරග 25 ක් ජය ගෙන පරාජය වී තිබුණේ තරග 23 කි. විස්සයි විස්ස තරග 29 කදී ජයග‍්‍රහණ 10 ක් සහ පරාජයන් 19 ක් ලබා තිබුණි. බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට එම කාලය පත්වීම හේතුවෙන් හතුරුසිංහ ගැන අති වඩවන්නට ශ‍්‍රී ලංකාවට සිදුවිය.
 
 කෙසේ වෙතත් බංග්ලාදේශයේ තනතුර අතහැරීමට මාස 10 කට පමණ පෙර හතුරුසිංහ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග පිළිසඳරකට එක්විය. එදා ඔහු කීවේ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු රාජකාරිය කරන්න කලින් තමා බංග්ලාදේශයේ පුහුණුකරු රස්සාව තවමත් කරන බවයි. නමුත් ඔහු පැවසූ මේ වදන වත්මන් තත්ත්වය අනුව සිහිපත් සඳහන් කළ යුතුය. ‘‘මම අනිත් පුහුණුකරුවන්ට වඩා වෙනස්. තරග පරදින විට වගකියන්න ඕන පුහුණුකරුවානම් මට ඕන විදිහට හැම දේම සිදුවෙන්න ඕන. එහෙම වෙන්නෙ නැතිනම් මම දමලා ගහලා යනවා. මොකද මට ගහක් යට ළමයි දෙතුන් දෙනෙක්ව අරන් වුණත් පුහුණුවීම් කරන්න පුළුවන්.’’
 
 ගහක් යට වුණත් පුහුණුවීම් කරන්න පුළුවන් කියූ හතුරුසිංහව දුම්මල ගසාවත් පන්නන්ට බැරි විය. ඔහු ක‍්‍රීඩකයන් සමග දබර කරගත්තේය. ඇන්ජලෝ මැතිව්ස්ව නායකත්වයට ගෙන ඔහුගේ නායකත්වය යළිත් ගලවා දැමුවේය. තේරීම් ක‍්‍රමවේදය උඩු යටිකුරු කරමින් කණ්ඩායම අනාථ කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග 21 කින් 11 ක්ම පරාජය වී ජයග‍්‍රහණ හයක් පමණක් ලැබීමයි. එක්දින තරග 44 කදී තරග 29 ක් ශ‍්‍රී ලංකාව පරදින විට ජය ගනු ලැබුවේ තරග 10 ක් පමණි. විස්සයි විස්ස තරග 12 කදී තරග 8 ක් පරදින විට ජය ගත්තේ තරග 12 ක් පමණි. හැමදේම හතුරුට ඕන විදිහට දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එසේ පරදින්නේ නම් ඔහුගේ රැුකියාව ගැන තීන්දුවක් ගත යුතුය. මෙය හතුරුසිංහගේ හෝ ක‍්‍රිකට් ආයතනයේ තාවකාලික බූදලයක් නොව. ජාතික ක‍්‍රිකට් යනු රටේ නම්බුව බවද ඔහු මතක තබා ගත යුතුය.
 
 චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේදී නන්නත්තාර විය. ඔහුගේ නම්බුව බේරා ගැනීමට පරාජයේ වගකීම ක‍්‍රීඩකයන්ගේ
 
 ඇෙ`ග් ගැසීමට උත්සහ කළේය. අනතුරුව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්
 
 හතුරුසිංහගේ පතුරම හිටපු කී‍්‍රඩා ඇමැති හරීන් ඉදිරියේ දිග හැරියේය.
 
 2018 දි හතුරුසිංහගේ අධි මානසිකත්වය හේතුවෙන් බාබේඩොස් හීදි බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති ටෙස්ට් තරගයේදී විනිසුරුවන් සමග ගැටුමක් ඇති විය. එහි ප‍්‍රතිඵලය වුයේද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මිලියන ගණනක නඩු ගාස්තු වලින් පාඩු විඳීම සහ පුහුණුකරුවා, කළමනාකරුවා සහ නායකයා වු දිනේෂ් චන්දිමාල්ට තරගාවලියක්ම තහනම් වීමයි.
 
 අලූත්ම තත්ත්වය වන්නේ චන්දික හතුරුසිංහට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැටෙන්න වැටෙන්න ගෙවූ පඩිය වත්මන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණු කාර්ය මණ්ඩලයේ භාගයකටත් වඩා ගෙවීමට හැකි වීමයි. මිකී ආතර් යනු ඔස්ටේ‍්‍රලියාව, පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව වැනි රටවල් පුහුණුකර පුහුණුකරුවන් අතර විශිෂ්ටයෙකි. ඔහුට නැති ගෙවීමක් හතුරුසිංහට ලැබුණි. එහෙත් මාස 18 ක් ඉතිරිව තිබුණද මාස හයකට පඩි අරන් ගෙදර යන ලෙසට හතුරුසිංහට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැන්වුවද ඔහු ජාත්‍යන්තරය දක්වා ප‍්‍රශ්නය ඇදගෙන ගියේ හිතුවක්කාරයකු ලෙස විය හැකිය.
 
 තමාගේ රාජකාරිය ඉදිරියේ අසාර්ථකත්වය පෙනෙන්නට තිබියදී තවත් සෙල්ලම් දැමීමට ඔහු සමත් වන්නේ අනාගතයේදී කොහේ හෝ රටකට පුහුණුකරු තනතුරක් බලාපොරොත්තුවෙන් විය හැකිය.
 
 කෙසේ වෙතත් ලෝකයේ පිළිගත් හොඳම ක‍්‍රිකට් පුහුණුකරුවන්වත් නොලැබූ වැටුපක් හතුරුසිංහට ලැබුණි. ලොව හොඳම පුහුණුකරුවන් ලෙස ඔවුන් පත්වූයේ ඒ ඒකාලයේදී අදාළ රටවල් වෙනුවෙන් කළ සාර්ථකත ගුරු හරුකම් නිසාවෙනි. 1996 ලෝක කුසලාන ශ‍්‍රී ලංකාවට දිනා දෙන යුගයේ පුහුණුකරු වූ ඬේව් වට්මෝර්ද ලොව හොඳම ක‍්‍රිකට් පුහුණුකරුවන් දහ දෙනා අතර සිටියි.
 
 ලොව හොඳම පුහුණුකරුවන් දස දෙනා අතරටවත් ඒමට නොහැකිව සිටින හතුරුසිංහ අධි මානසිකත්වයෙන් මිදී ලොව හොඳම පුහුණුකරුවන් වූ ජෝන් බචනන් (ඔස්ටේ‍්‍රලියා පුහුණුකරු), බොබ් වුල්මර් (පාකිස්තාන් පුහුණුකරු), ගැරි කර්ස්ටන් (ඉන්දියා පුහුණුකරු), ජෝන් රයිට් (නවසීලන්ත පුහුණුකරු), ඬේව් වට්මෝර් (ශ‍්‍රී ලංකා පුහුණුකරු), ඩන්චන් ෆ්ලෙචර් (එංගලන්තය පුහුණුකරු), ඇන්ඩි ෆ්ලවර් (එංගලන්ත පුහුණුකරු), ඩැරන් ලීමන් (ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරු) සහ මයික් හේසන් (නවසීලන්ත පුහුණුකරු) වැනි පුහුණුකරුවන් එදා කණ්ඩායම්වලට කළ සාර්ථකත්වය ගැන විපරම් කළ යුතුය. අනතුරුව ජිනීවා හිදී තම උපන් රටේ ක‍්‍රිකට් ආයතනයට එරෙහිව යන නඩුව අස්කරගෙන තමන් ලොව හොඳම පුහුණුකරුවකුවී ශ‍්‍රී ලංකාවට ‘කොකා’ පෙන්වීමට ඔහු දක්ෂ විය යුතුය. එසේ නොකළ වැඩ බැරි ටාසන් ලේබලය අලවා ගනිමින් නඩු මගට යෑම ඔහු තවත් ඉල්ලන් කෑමකට සැරසෙන බවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
 
 
 අසේල විතාන


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles