Divaina - ඉස්සර මට තෝරන්න දක්ෂයෝ හිටියේ නැහැ.... දැන් ඕනෑ තරම් ඉන්නවා ඇන්ජලෝ මැතිව්ස්ට ස්ථානයක් තියෙන්නෙ පන්දු යැව්වොත් විතරයි....

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

cric



ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල්

*ලෝක කුසලානට නායකයා කවුද කියලා තවම තීරණයා කරලා නැහැ
*ක‍්‍රිකට් ආයතනයෙන් මට කිසිම බලපෑමක් නොකර සභාපතිවරයා හැම සහයක්ම දෙනවා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි පණ ගන්වන්නේ මෙහෙමයි...

කලකට පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමැති ශාකය දළුලා වැඩෙන්නට පටන් ගෙන තිබේ. ඒ ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායමට එරෙහිව පළමු වරට ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියක් දිනා ගැනීමත් සමගයි. විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙර පාකිස්තාන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් ක‍්‍රීඩා කර ඇති සමස්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරග එකතුව 402 කි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර අත්දැකීම් සටහන්ව තිබුණේ සංචිතයේම 128 කි. නමුත් ගලිවර්ලා ඉදිරියේ ශ‍්‍රී ලංකා නවකයෝ වැඩ පෙන්වූහ.

 පාකිස්තානය සමග ක‍්‍රිකට් මෙන්ම ජාත්‍යන්තර සබඳතාවට මෙවර තරගාවලිය මහා පිටිවහලක් විය. පාකිස්තාන් සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල යළි පිබිදීමක් ඇති කරද්දී ඉදිරියේදී කණ්ඩායම තේරීමට ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාට දැන් ඕනෑ තරම් විකල්ප තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන්ට යළිත් ක‍්‍රිකට් ‘ඇම්ම’ ඇති කිරීමට ක‍්‍රිකට් ආයතනයට පසුව තිරය පිටුපස දැවැන්තම රාජකාරිය මෙහෙයවන්නේ අසන්ත ද මෙල්ය. ඔහු තෝරන නඩය කවුරු වුණත් තරග පරදින්නේ නම් සමස්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වපසරියටම ප‍්‍රහාර එල්ල වේ. එබැවින් ඒ භාර දූර රාජකාරිය ඔහු ඉදිරියට කෙසේ කරන්නේද? නැතිනම් එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායම ශක්තිමත් කරන්නේ කෙසේද යන්න ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ අසන්තද මෙල් මහතා සමග මෙසේ කතිකාවක යෙදුණි.

ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයන් වැලක එල්ලී සිටින විට ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානියා වශයෙන් ඔබවත් විවේචනයට බඳුන් වූවා. දැන් පාකිස්තානය පරාජය කිරීමෙන් පසුව ඔබට ඒ සියලූ දේට පිළිතුරු ලබා දිය හැකියි නේද?

පිළිතුර - ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති විදිහට මම නිතරම ලබන්නේ විවේචනය තමයි. ජයග‍්‍රහණය කළහම ඒ හොඳ යන්නෙ ක‍්‍රීඩකයන්ට. සාමාන්‍යයෙන් නරක ටික තමයි තේරීම් කමිටුවට ඉතුරු වෙන්නෙ. ඉතිං තේරීම් කමිටු සභාපතිවරයා විදිහට මම මේ දේවල් තේරුම් අරන් තමයි ඉන්නෙ. ක‍්‍රීඩකයන් හොඳට කළේ නැති වුණහම තමයි තේරීම් කමිටුව හොඳ නැති වෙන්නෙ. ඒ දේවල් මම එච්චර ගණන් ගන්නෙ නැහැ.

ප‍්‍රශ්නය - පාකිස්තාන් සංචාරයට ජ්‍යෙෂ්ඨයන් සහභාගි වුණේ නැහැ. තේරීම් කමිටු සභාපතිවරයා විදිහට ඔබට ලැබුණු අභියෝගය අද ජයග‍්‍රහණය කරලා තියෙනවා.

පිළිතුර - පාකිස්තාන් සංචාරයේදී අපේ නවක ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කළ ආකාරය ඉතාමත් අගය කළ යුතුයි. අපේ දෙවැනි පෙළ හොඳ කණ්ඩායමක් ඉන්න බව ඔවුන් දක්ෂතාවලින් පෙන්නුවා. ඒක තමයි තේරීම් කමිටුවටත් සතුටු විය හැකි වැදගත්ම දෙය.
 

ප‍්‍රශ්නය - පාකිස්තාන් සංචාරය ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පැමිණියේ නැති වුණත් නවකයන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට ඔබ දැන් යළිත් කණ්ඩායම තේරීමේ අපහසුතාවට ලක්වෙනවා නේද?

පිළිතුර - මගේ පැත්තෙන් බලන විට පාකිස්තාන් සංචාරයේදී නවකයන් දක්ෂතා දැක්වීම මට සුබවාදී හිසරදයක් විදිහට තමයි මම දකින්නෙ. ඒකට හේතුව මට ඉස්සර තෝරන්න දක්ෂ ක‍්‍රීඩකයන් හිටියේ නැහැ. දැන් කණ්ඩායම තෝරන්න ඕනෑ තරම් ක‍්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා මට ඒක සුබවාදී දෙයක් විදිහටයි මම දකින්නෙ. කොහොම හරි ලබන 2019 ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානට හොඳ කණ්ඩායමක් හදන්න තමයි මම උත්සහ කරන්නෙ. නවකයන්ගෙන් පරිණත ක‍්‍රීඩකයන්ට අභියෝගයක් එල්ලවීම ඉතාමත් හොඳ දෙයක්.

ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයෙන් ඔබට බලපෑම් එල්ල වෙන්නෙ නැද්ද අර ක‍්‍රීඩකයාව දාන්න මේ කී‍්‍රඩකයාව දාන්න කියලා.

පිළිතුර - ඇත්තටම මම ඉතාමත් සතුටු වෙනවා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට ක‍්‍රිකට් දියුණු කරන්න තියෙන උත්සහය ගැන. ඔහු නිතරම දුරකතනයෙන් මට කතා කරලා අහනවා මොනවද වෙන්න ඕන කියලා. ක‍්‍රිකට් ආයතනයෙන් අපිට කිසිම බලපෑමක් කරන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න උපරිමය සහය දෙන එක ගැන අගය කරන්න ඕන. මේ සැලැස්ම දිගටම අරගෙන ගියොත් අපිට අනාගතයේදී හොඳ ක‍්‍රිකට් එකක් ගහන්න පුළුවන් වෙයි.

ප‍්‍රශ්නය - පළමු පෙළ ක‍්‍රීඩා සමාජ සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන එනවා. අනාගතය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල වෙනස් විය යුත්තේ කුමන තැන්ද?

පිළිතුර - විශේෂයෙන් පළමු පෙළ කණඩායම්වල තරගකාරීත්වය වැඩි කරන්න ඒ අය තීරණයක් ගන්න ඕන. දැන් පාකිස්තානයේ කණ්ඩායම් 24 ක් තියලා ඒ අය එක හයකට අඩු කරලා තියෙනවා. මම හිතන්නෙ දැන් ශ‍්‍රී ලංකාවෙත් ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ වගේම දක්ෂ පුහුණුකරුවන් ගෙනල්ලා ක‍්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය දැනුම ලබාදිය යුතුයි. මම ඒ සම්බන්ධයෙන් ක‍්‍රිකට් ආයතනයට කියලත් තියෙනවා. ඒ දේවල් ටික වුණොත් ඉදිරිය ගැන බය වෙන්න දෙයක් නැහැ. අපේ ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම කඩුලූ අතර දිවීමේදී ඔවුන්ව තවත් වේගවත් කිරීමේ වැඩසටහන් අවශ්‍යයි. ඒ වගේම පන්දු රැකීම මෙන්ම පිතිකරණය සහ පන්දු යැවීමද තවත් දියුණු වෙන්න ඕන කියන මතයේ මම ඉන්නවා. ඒ වෙනුවෙන් ක‍්‍රමවේදයන් සකස් කළ යුතුයි. හැබැයි පසුගිය මාස හයට වඩා අපි දැන් හොඳ තැනක ඉන්නවා කියන එක කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය - තරුණ ක‍්‍රීඩකයන් පාකිස්තානයේදී දැක්වූ දක්ෂතාවත් සමග තේරීම් කමිටු සභාපතිවරයා විදිහට ඔබ හඳුනාගත් ක‍්‍රීඩකයන් කවුද?

පිළිතුර - ධනුෂ්ක ගුණතිලක බැට් කළ ආකාරය සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් ඔහු දෙවැනි එක්දින තරගයේදී ලබාගත් ශතකය මම දැකපු හොඳම ශතකයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම පළමු විස්සයි විස්ස තරගයේදී ගහපු අර්ධ ශතකයත් ඉතාමත් හොඳ ඉනිමක්. අවශ්‍ය වන්නේ ඒ දේවල් දිගටම අරගෙන යෑම. ඒ වගේම වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ දෙන්නා අනාගතයට ඉතාමත් හොඳ ක‍්‍රීඩකයන්. ඒ අනුව අපිට ඉදිරියට හොඳ සංයුතියක් සකස් කරගන්න පුළුවන්.

ප‍්‍රශ්නය - පාකිස්තානයට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක ජය ගනු ලැබුවේ දසුන් ශානකගෙ නායකත්වයෙන්. ඔහු නිත්‍ය නායකයා නොවෙයි. කොහොම ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ඔබට හැගෙන දෙය

පිළිතුර - දසුන් ශානක ඉතාමත් හොඳින් නායකත්වය කළා. මට පේනවා ඔහුට ලොකු වුවමනාවක් තියෙනවා දක්ෂතා දක්වන්න. ඔහු කණ්ඩායමත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ඔහු නායකත්වයේ ගුණාංග හොඳට පෙන්වනවා. ඔහුට ඉදිරියේදී නායකයකු ලෙස කටයුතු කරන්න හොඳ හැකියාවක් තියෙනවා.

ප‍්‍රශ්නය - නායකත්වයේ වෙනසක් ඉදිරියේදී සිදුවේවිද?

පිළිතුර - ඔස්ටේ‍්‍රලියානු සංචාරයෙදී විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ ලසිත් මාලිංග. මාලිංග වගේ කෙනෙක් විශ‍්‍රාම ගියහම දසුන් වගේ කෙනෙක්ට ඒ තැන ගන්න පුළුවන්. ඔහු පාකිස්තාන් සංචාරයේදී හොඳ අත්දැකීමක් ලබා ගත්තා.

ප‍්‍රශ්නය - පාකිස්තාන සංචාරයට කණ්ඩායම තේරීමේදී ඔබ අපහසුතාවට ලක් වුණාද ජ්‍යෙෂ්ඨයන් නොමැතිවීමෙන්.

පිළිතුර - මම මේ සංචිතය තේරුවහම මම හිතුවා මේක හොඳ කණ්ඩායමක් කියලා. අලූත් ක‍්‍රීඩකයන්ට පීඩනය වැඩියි. පාකිස්තානයට අපි එනකොට පීඩනයක් තිබ්බා මොකද අලූත් කණ්ඩායමක් එන්නෙ. ජ්‍යෙෂ්ඨයන් නැහැ. පාකිස්තානයටත් මාධ්‍යයෙන් ලොකු පීඩනයක් තිබ්බා දෙවන පෙළ කණ්ඩායමක් එන්නෙ කියලා. නමුත් ධනුෂ්ක, භානුක, හසරංග සහ පන්දු යවන්නන් බය නැතිව ක‍්‍රීඩා කළා.

ප‍්‍රශ්නය - එංගලන්තයේ පැවැති ලෝක කුසලානයේදී ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන සහ වැන්ඩ‍්‍රසි යන ක‍්‍රීඩකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබව විවේචනයට ලක්වුණා. මෙවැනි දක්ෂ ක‍්‍රීඩකයන් හිටිද්දී ඇයි ඔබ එවැනි දෙයක් කළේ.

පිළිතුර - ලෝක කුසලාන සංචිතය ගැන හිතනකොට අපි කණ්ඩායමේ සමබරතාවය හිතුවා. දසුන් ශානකට කලව ආබාධයක් තිබ්බා. ධනුෂ්ක ගුණතිලක තුනටියේ ආබාධයක් තිබිලා හොඳටම සුව වෙලා හිටියේ නැහැ. ඩිල්රුවන් පෙරේරාට ආබාධයක් තිබ්බා. නිරෝෂන් දික්වැල්ල ලකුණු අතර හිටියේ නැහැ. ඒ නිසා තමයි අපි අංක හය ගහන ක‍්‍රීඩකයා අනිවාර්යයෙන් පන්දු යවන්න ඕන කියලා තීරණය කරලා මිලින්ද සිරිවර්ධන සහ ජීවන් මෙන්ඩිස්ව ගෙනාවේ. ජීවන් මෙන්ඩිස් පළාත් තරගාවලියේදී හොඳින් පන්දු යැව්වා. අපි සෑම පළාත් පුහුණුකරුවෙක්ගෙන්ම ඇහුව්වා කවුද හොඳ කියලා. එහෙම කතා කරලා තමයි ලෝක කුසලාන සංචිතය තේරුවේ. හැබැයි ජෙෆ්රි වැන්ඩ‍්‍රසිව අපි එකපාරට අතඅරින්න බැහැ. වනිඳු හසරංග ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක‍්‍රීඩකයකු හැටියට හිටියා.

ප‍්‍රශ්නය - ඔබ කාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරලා ලොකු අත්දැකීම් තියෙනවා. විටෙක ඔබ දැඩි තීරණ ගත්තා අපිට මතකයි. 2007 ලෝක කුසලානයේදී මාවන් අතපත්තුව නායකත්වයෙන් ඉවත් කරලා මහේල ජයවර්ධනට නායකත්වය ලබා දුන්නා. ඒ වගේ ඉදිරියේදීත් ඔබ මාලිංගව ඉවත් කරලා දසුන්ව නායකත්වයට පත්කරයිද පාකිස්තාන් තරගාවලිය දිහා බලලා.

පිළිතුර - නායකත්වය අපි දැනට ලසිත් මාලිංගව තමයි නම් කරලා තියෙන්නෙ. හැබැයි ලෝක කුසලාන වෙනකම් නායකයකු නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා තරගාවලියෙන් තරගාවලියට තමයි නායකත්වය ගැන තීරණය ගන්නෙ. ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ලසිත් මාලිංග නායකයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම කණ්ඩායම තේරීමේදී පිතිකරුවකුගෙ ප‍්‍රහාරාත්මක වේගය 140 ක්වත් තිබිය යුතුයි. පන්දු යවන්නෙක් නම් ඕවරයකට ලකුණු 7.5 ක්වත් තියෙන්න ඕන. නැතිනම් ඔහු කඩුලූ අරගන්න ඕන. ඒ වගේ කඩඉමක් ක‍්‍රීඩකයන්ට දීලා තියෙනවා. පුහුණුකරුවන් සහ නායකයන්ට ඒ දේවල් දැනුම් දීලා තමයි තියෙන්නෙ. ඒ අනුව ලෝක කුසලාන සංචිතය තෝරනවා.

ප‍්‍රශ්නය - එළියේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට යළිත් කණ්ඩායමට එන්න ඔබ ගන්නා තේරීම් ක‍්‍රමවේද කුමක්ද?

පිළිතුර - ලසිත් මාලිංග අනිවාර්යයෙන් කණ්ඩායමට එයි. ඒ වගේම කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව තියෙනවා. නිරෝෂන් දික්වැල්ලටත් ඇතුළට එන්න පුළුවන්. අනිත් කට්ටියට ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ඇතුළට එන්න පුළුවන්ද කියලා සකච්ඡා කරලා බලලා තමයි තීරණයක් ගන්න වෙන්නෙ. මම හිතන විදිහට තව තුන් හතර දෙනෙක්ට වඩා ඇතුළට එන්න ස්ථානයක් නැහැ.

ප‍්‍රශ්නය - ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානය මේ වන විට අහිමි වෙලාද තියෙන්නෙ

පිළිතුර - ඇන්ජලො මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තොත් එයාට කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම එයා ශාරීරික යෝග්‍යතාව තවත් දියුණු කරගන්න ඕන. මොකද විස්සයි විස්ස කියන්නෙ වේගවත් ක‍්‍රීඩා රටාවක්. පන්දු යවන්න පටන් ගත්තොත් ඇතුළට එන්න පුළුවන් කියලා මම මැතිව්ස්ට කියලා තියෙන්නෙ. කණ්ඩායමට දැන් හොඳ තරගක් තියෙනව ස්ථානයක් ගන්න.ධනුෂ්ක ගුණතිලක ආරම්භක ස්ථානයට දැන් ස්ථිර වෙලා තියෙන්නෙ. එයාගේ අනිත් පැත්තෙන් කුසල් ජනිත් පෙරේරා ඉන්නවා. අංක තුනට කුසල් මෙන්ඩිස්ට එන්න පුළුවන්. අංක හතර හෝ පහට නිරෝෂන් දික්වැල්ලට එන්න පුළුවන්. දසුන් ශානක අංක හයට ඉන්නවා. භානුක රාජපක්ෂත් ඉන්නවා. පන්දු යවන්නන් අතරින් ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග ඉන්නවා. දඟ පන්දු යවන්නෙක් බලනවනම් ඉන්නෙ අමිල අපොන්සු තමයි. ඒ වගේම ධනංජය ද සිල්වාට පුළුවන් අකිලගේ ස්ථානයට එනව නම් එන්න. වේග පන්දු යවන්නන් වශයෙන් ළහිරු කුමාර, කසුන් රාජිත, ලසිත් මාලිංග ඉන්නවා. තුන් ඉරියව් ක‍්‍රීඩකයන් විදිහට ළහිරු මධුසංක සහ ඉසුරු උදාන ඉන්නවා. එහෙම බැලූවහම අපිට ලෝක කුසලාන සංචිතය තවම කියන්න බැහැ.

සකච්ඡා කළේ -
අසේල විතාන
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles