Divaina - ඉම්රාන් ඛාන්ගේ දැඩි තීරණයකින් පාකිස්තාන් ක‍්‍රිකට් සැලැස්ම උඩු යටිකුරු වෙයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

අසේල විතාන
 කරච්චි සිට
 
inrab135ඕනෑම ක්‍ෂේත‍්‍රයක නායකයකු යනු ඔහුගේ කණ්ඩායම හෝ සමූහය වෙනුවෙන් නොබියව පෙනී සිටිමින් හරිදේ කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුත්තෙකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාව රැකියාව කරගනිමින් ලොවක් හඳුනා ගත් ඉම්රාන් ඛාන් ඒ ක්‍ෂේත‍්‍රයෙන් සමුගෙන දේශපාලන වේදිකාවට පැමිණ රටේ නායකත්වයට පත් වූ පසු පාකිස්තාන් ක‍්‍රිකට් කී‍්‍රඩාව වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගැනීම ඕනෑම ක‍්‍රිකට් දේශයකට ආදර්ශයකි. එය විශේෂයෙන් ශ‍්‍රී ලංකාවටද කදිම පාඩමකි.
 
 රටක පළමු පෙළ කණ්ඩායම් අඩු වූ විට ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම පහසුය. ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් 24 ක් ටියර් ‘ඒ’ සහ ටියර් ‘බී’ වශයෙන් ක‍්‍රීඩා කිරීම බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වුවද ක‍්‍රීඩා ඇමැතිවරයා හෝ ඊට උඩින් සිටින ප‍්‍රභූවරුන්ට තවමත් ඒ සඳහා විසඳුමක් නැත. එබැවින් පාකිස්තානයේ ක‍්‍රිකට් වෙනුවෙන් ඉම්රාන් කළ කර්තව්‍ය කොපි කිරීමට මේ හොඳම කාලය වේ.
 
 1992 දී පාකිස්තානයට ක‍්‍රිකට් ලෝක කුසලාන දිනා දුන් නායකයා වු ඉම්රාන් ඛාන් ඉන් වසර විස්සකට පසුව එරට අග‍්‍රාමාත්‍යවරයා වී මාස හයක් ගතවීමට පෙර අලූත් ක‍්‍රිකට් සැලැස්මකට ‘ ඕඩරයක්’ ලබාදුන්නේය. ඒ පළමු පෙළ කණ්ඩායම් 18 ක් ක‍්‍රීඩා කළ තරගාවලිය කණ්ඩායම් හයක් දක්වා අඩුකරන ලෙසයි. එය රටක අග‍්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් තීන්දුවකි. පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයට ඡුන්දය ලැබෙන්නේ අදාළ පළමු පෙළ කණ්ඩායම් වලින් වුවද රටේ ප‍්‍රධානියාගේ බලපෑම මත එය ඔවුන්ට කර ඇරීමට නොහැකි විය. ඉම්රාන් ඛාන් ක‍්‍රිකට් නායකයකු වී රටේ අගමැතිවරයා වූ හෙයින් එවැනි තීන්දුවක් නොගන්නට වෙනත් කිසිදු රටකට අදාළ තීන්දුවක් ක‍්‍රියාත්මක නොවනු ඇත. ඒ බොහෝ ප‍්‍රභූවරුන් ක‍්‍රීඩාව ගැන නොදන්නා නිසා හෝ ඔවුන්ට ඊට වඩා රාජකාරි ඇති නිසා විය හැකිය.
 
 පාකිස්තානයේ අලූත් ක‍්‍රිකට් සැලැස්ම ගැන විපරම් කිරීමේදී ඉම්රාන් ඛාන් ලබාදුන් තීන්දුවට එරෙහිව පළමු පෙළ ලේබලය අහිමිවූ ක‍්‍රීඩා සංගම් අධිකරණයට ගොස් තිබේ. එහිදී අධිකරණය විසින් අදාළ ප‍්‍රශ්නය ක‍්‍රිකට් ආයතනය සමග විසඳා ගන්නා බවට නියෝග කර ඇති බව පාකිස්තාන් ක‍්‍රිකට් නිලධාරියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. දැන් පළමු පෙළ ලේබලය අහිමි වු ක‍්‍රීඩා සමාජ ළත වුවද තව වසර දෙකක් යන විට පාකිස්තාන් ක‍්‍රිකට්වල දියුණුව දැක බලා ගැනීමට හැකිවනු ඇත.
 
 නව සැලැස්ම අනූව පාකිස්තාන් ජාතික කණ්ඩායමට තේරීම් කමිටුවක් නොමැත. තේරීම් කමිටුවේ සියලූම බලය ලබා දී ඇත්තේ පුහුණුකරු මිස්බා උල්හක් හටය. එය චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස සිටියදී ලබාදුන් බලයට වඩා අධි බලයකි. ඊට හේතුව පළමු පෙළ කණ්ඩායම් හයෙන් පමණක් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේදී මිස්බාට අදාළ කණ්ඩායම්වල තේරීම් කමිටුවලින් ලබාදෙන වාර්තාව අනුව ජාතික කණ්ඩායමට අවශ්‍ය ක‍්‍රීඩකයන් ඔහු විසින් හඳුනා ගනු ලබයි. එහිදී ක‍්‍රීඩකයකු ශතකයක් ලබාගතහොත් ඔහු ක‍්‍රීඩා කළ තණතීරුව, ප‍්‍රතිවාදී පන්දු යවන්නන් සහ ඔහුගේ ශතකය ලබා ගැනීමේදී ලබාදුන් දැවී යාම් අවස්ථා වැනි දේ සටහන් වනු ඇත.
 
 පළමු පෙළ කණ්ඩායම්වලට ජාතික පිල නියෝජනය කරන සියලූම දෙනා නියෝජනය කරද්දී අලූතින් ක‍්‍රීඩකයකුට කණ්ඩායම ඇතුළට පැමිණීමට විශාල සටනක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව ප‍්‍රධාන කණ්ඩායම්වලට දෙවැනි පෙළින් ක‍්‍රීඩකයන් තෝරා ගැනීමට වෙනම තේරීම් කමිටුවක් ඇති නිසාවෙනි. පළමු පෙළ කණ්ඩායම් ඒ වසරේදී අන්තිමයා වුවහොත් දෙවැනි පෙළට වැටෙන බැවින් ඔවුන් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කරන උනන්දුවෙන්ම අදාළ කණ්ඩායමට සේවය ලබාදෙනු ලබයි. පාකිස්තාන් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමට සිටින ප‍්‍රධානතම කඳවුරේ සමස්ත සංයුතිය එවිට 120 කි. නමුත් ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම තෝරා ගැනීමට පළමු පෙළ ක‍්‍රීඩා සමාජ 24 ක් තිබීමෙන් 450 ක් පමණ සිටියි.
 
 ලෝක ක‍්‍රිකට් රාජ්‍යයන් පාකිස්තානයට පැමිණීම ප‍්‍රතික්ෂේප කරද්දී ක‍්‍රිකට් වලින් පොහොසත් වන ක‍්‍රමවේදයක් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය තුළ ඇතිවී තිබේ. අයි.සී.සී.යේ සභාපතිවරයාද වූ වත්මන් පාකිස්තාන් ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානි එම ව්‍යාපාරය කදිමට දියත් කරමින් සිටියි. ඔහු එක් පැත්තකින් ක‍්‍රිකට් හදන ගමන් අනෙක් පැත්තෙන් තම රට තුළට ජාත්‍යන්තර කණ්ඩායම් ගෙන්වා ගැනීමේ කර්තව්‍ය මෙහෙයවමින් සිටියි. වසර දහයක් පුරා පාකිස්තානයට ජාත්‍යන්තර කණ්ඩායම් නොපැමිණි විට ඔවුන් මුදල් ගෙවා තම රට සිම්බාබ්වේ, ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ව ගෙන්වා ගත්තේය. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම 2015 දී පාකිස්තානයට ගෙන්වා ගත්තේ එක් ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 12500 ක් ගෙවාය. කොදෙව්වන්ව ගෙන්වා ගත්තේ එක් ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000 ක් ගෙවාය. ලෝක කණ්ඩායමටද එසේ මුදල් ලබාදී පාකිස්තානයට ගෙන්වා ගත්තේය. නමුත් දැන් ඔවුන් යළිත් මුදල් ගෙවා පාකිස්තානයට ක‍්‍රීඩකයන් ගෙන්වා නොගන්නා බව පවසයි.
 
 ‘‘අපේ රටේ ආරක්ෂාව තියෙනවා. ඕනෑම කණ්ඩායමකට ප‍්‍රභූ ආරක්ෂාවක් අපි ලබාදෙනවා. ආයෙත් පාකිස්තානයට සල්ලි දීලා ක‍්‍රීඩකයන්ව ගෙන්වා ගන්නේ නැහැ. මොකද ගොඩක් සල්ලි ලබාදෙන විට මෙහි ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයක් නැතිව ක‍්‍රීඩකයන් එනවා. සල්ලි නොදුන්නොත් ආරක්ෂාව ගැන ප‍්‍රශ්න එනවා. ඒ නිසා හැමදාම සල්ලිවලට ක‍්‍රීඩකයන්ව ගෙන්වා ගැනීමේ වැඬේ කරන්න බැහැ.’’ යනුවෙන් දැඩි තීරණයක පාකිස්තාන් ක‍්‍රිකට් සභාපතිවරයා සිටින බව ඔහු සඳහන් කර සිටියේය.
 
 ශ‍්‍රී ලංකාවේ තිසර පෙරේරාද ලෝක කණ්ඩායම සමග පාකිස්තානයට පැමිණියේය. අනතුරුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් 2017 වසරේදී පාකිස්තානයට පැමිණියේය. නමුත් මෙවර ඔහුට නායකත්වය හෝ සල්ලි නැති නිසා ආරක්ෂාව හුවා දක්වමින් තරගාවලිය ප‍්‍රතික්ෂේප කළේය. ක‍්‍රිකට් යනු මහත්වරුන්ගේ ක‍්‍රීඩාවකි. සද්භාවයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නොකළහොත් ක‍්‍රීඩකයාත් රටේ ක‍්‍රීඩාවත් වළ පල්ලට යනු ඇත.
 
 ලොව වැඩිම ක‍්‍රිකට් නිලවරණයට ඡුන්ද ඇත්තේ ශ‍්‍රී ලංකාවේය. එබැවින් පළමු පෙළ කණ්ඩායම් අඩු කළහොත් එයට විරුද්ධව ඇතැම්හු නඩු මගට යන්නට උත්සාහ කරති. පාකිස්තානයේ කොතරම් ප‍්‍රශ්න තිබුණද ඔවුන් ප‍්‍රිමියර් ලීගයක් පවත්වනු ලබයි. තම රටේ වසර දහයක් ජාත්‍යන්තර තරග නොපැවැත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔවුන් සත්කාරක තරග පවත්වයි. එවිට යන වියදම දෙගුණ තෙගුණය. එහෙත් ටෙස්ට් ක‍්‍රීඩාවෙන් හැර එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණියේදී පාකිස්තානය සිටින්නේ ශ‍්‍රී ලංකාවට ඉදිරියෙනි. ඡුන්ද පොරය පසකට දමා පාකිස්තාන් ක‍්‍රිකට් සැලැස්මෙන් ගත යුතු ආදර්ශය ගතහොත් ශ‍්‍රී ලංකාවට සුපිරි තරු සොයා ගැනීමට පහසු වනු ඇත. එසේත් නැතිනම් ප‍්‍රිමියර් ලීගයක් හෝ පැවැත්විය යුතුය. නැතහොත් අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියේදී භයානක තැනකට තල්ලූ වනු ඇත.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles