Divaina - පාකිස්තානයේ යන ගැටලූව සහ ඉල්ලන් කෑම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 paki
 අසේල විතාන
 
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී මිතුරෝ මෙන්ම හතුරෝද මුණ ගැසෙති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඉතිහාසයේ ලොකුම උදව්ව මානුෂික වේශයෙන් කරනු ලැබුවේ ඉන්දියාව සහ පාකිස්තානයයි. ඒ 1996 ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකාව අනාරක්ෂිත රාජ්‍යයක් බවට ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් අණ බෙර ගහද්දී ඉන්දු-පාකිස්තාන් ඒකාබද්ධ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණ දැක්වූ සහයෝගය කිසි විටෙකත් අමතක කළ නොහැක. ඊට ප‍්‍රති උපකාර දැක්වීමට දැන් ශ‍්‍රී ලංකාව සූදානමින් සිටියි.
 
 පාකිස්තානය යනු වසරකට බෝම්බ ප‍්‍රහාරවලින් ඝාතන කිහිපයක්ම සිදුවන රාජ්‍යයක් බව අපි හොඳින්ම දනිමු. ඉකුත් අගෝස්තු මස 16 වැනිදාද පාකිස්තානයේ සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් සහ පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත්විය. ත‍්‍රස්තවාදය යනු ලොව ගිලගත් භයානක වෛරසයකි. ත‍්‍රස්තයන් යනු තිරිසනුන්ය. ඔවුන්ට හොඳ නරක නොපෙනෙති. ශ‍්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයක් තිබුණද ක‍්‍රීඩාවට එල්.ටී.ටී.ඊ ප‍්‍රහාර එල්ල නොවුණි. නමුත් පාකිස්තානයට ගිය ශ‍්‍රී ලංකා පිලට 2009.03.03 එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
 
 තමන්ගේ රටේ ක‍්‍රිකට් ගහන්නට විදේශයන් නොපැමිණියහොත් එරට ක‍්‍රිකට් ආයතනයේ මුදල් පසුම්බියද හිස්වනු ඇත. නමුත් පාකිස්තානය දැන් සිටින්නේ එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණියේ ශ‍්‍රී ලංකාවට වඩා ඉහළිනි. එදා ශ‍්‍රී ලංකාවට ඉන්දු-පාකිස්තාන් ඒකාබද්ධ කණ්ඩායම නොපැමිණියේ නම් ශ‍්‍රී ලංකාවට ද විදේශ කණ්ඩායම් පැමිණෙන්නේ යුද්ධය අවසන්වීමෙන් පසුව වන්නට තිබුණි. එසේ වුවේ නම් මෙරට ක‍්‍රිකට් අද නැත්තටම නැතිව යන්නට තිබුණි. වැටෙන විට නැගිටින්නට අත්වැලක් අවශ්‍යය. අසල්වැසියා වැටෙන විට එදා ඔවුන් අත දුන්නේ 96 ලෝක ශූරයන්ටය. මීට දස වසරකට පෙර ලාහෝර් හීදී ශ‍්‍රී ලංකාව ගමන් ගත් බස් රථයේ සිටි ක‍්‍රීඩකයන් අද කණ්ඩායමේ නැත. එය එසේ වුවද වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයන් දස දෙනකු පාකිස්තානයේ යෑමෙන් වැලකී සිටින්නේ ඇයි? යන්න ප‍්‍රශ්නයකි.
 
 ක‍්‍රීඩකයන් විසින් අදාළ තීන්දුව ගනු ලැබුවේ ක‍්‍රිකට් බළධාරීන් විසින් ඔවුන්ට කැමැති තීරණයක් ගැනීමට ඉඩ ලබාදීම නිසාය. වෙනදා සංචාරයකට නම් කරන විට ඔවුන් එයට සහභාගි වනවාද යන්න තේරීම් කමිටුව විසින් විමසීමක් නොකරයි. නමුත් පාකිස්තාන් ප‍්‍රශ්නය උළුප්පා පෙන්නු ක‍්‍රිකට් බළධාරීන් ක‍්‍රීඩකයන්ට යනවාද නැද්ද යන්න තීරණය ගැනීමට අවස්ථාව දීමෙන් අකමැති පිරිස ඉවත් විය. එම නිසා කී‍්‍රඩකයන්ට චෝදනා කළ නොහැක.
 
 ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව මත ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට ඕනෑම අවස්ථාවක ඔවුන් බැදී සිටියි. යම් හෙයකින් සංචිතයට නම් කිරීමෙන් පසු ඔවුන් ඉවත් වූයේ නම් ක‍්‍රිකට් ආයතනයට ක‍්‍රීඩකයන්ට එරෙහිව තීන්දුවක් ගැනීමට හැකියාවක් තිබුණි. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බළධාරීන්ට තිබෙන්නෙ ක‍්‍රීඩකයන්ගේ පදයට නටමින් බලා සිටීම පමණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බොහෝ දුරට ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ ගින්න ඇවිස්සීමෙන් පසුවයි. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ප‍්‍රශ්නය එක් තැනක තවමත් පල්වෙයි.
 
 එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාව සහභාගී වන්නේ සුදුසුකම් ලැබීමේ වටයකින් ජයගතහොත් පමණි. එවන් තත්ත්වයක පාකිස්තානයේදී විස්සයි විස්ස ගහන්නට යන්නේ ක‍්‍රීඩකයන්ගේ කැමැත්ත සහ අකමැත්ත අනුවනම් මෙරට ක‍්‍රිකට් දැක්ම සම්බන්ධව ඇත්තේ කුකුසකි. හැමදාමත් අත්හදා බැලීම් මතින් යන තියරිය අනුගමනය කළ ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලානට ගියේ වසර ගණනක් එක්දින ක‍්‍රීඩා නොකළ ක‍්‍රීඩකයන් තුන් හතර දෙනෙක් අහුලාගෙනය. දැන් ඔවුන් කරන්නේ එහි අනික් පැත්තය. විස්සයි විස්ස ලෝක කුසලානට පෙර ශ‍්‍රී ලංකාවට තරග 19 ක් තිබුණි. ඉන් තරග තුනක් පසුගියදා අවසන් විය. තවත් තරග තුනක් දැන් පාකිස්තානයේදී අවසන්වේ. එහෙත් හොඳම සංයුතිය තවමත් එම තරගාවලි දෙකටම ක‍්‍රීඩා නොකරන්නේ නම් විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයද ඉල්ලන් කනු ඇත.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට ලාහෝර්වලදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානයට ගියේ සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව පමණි. ඒ විස්සයි විස්ස තරග සඳහාය. කෙසේ වෙතත් පසුගිය දශකය තුළ පාකිස්තානයේ පවත්වා ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් පමණි. ඉන් විස්සයි විස්ස තරග තුනකට ශ‍්‍රී ලංකාව සහභාගි විය. එම තරගවලට ත‍්‍රස්තයන්ගෙන් ගැටලූවක් නොතිබුණි.
 
 පාකිස්තානයේදී ශී‍්‍ර ලංකාවට ප‍්‍රහාරයක් එල්ල වන බවට මෙරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයට පණිවුඩයක් ලැබී ඇති බව වාර්තා විය. නමුත් ඊට සති කිහිපයකට පෙර පාකිස්තාන් ක‍්‍රිකට් හී ඇති විද්‍යුත් තැපැල් පණිවුඩයක සඳහන් වූයේ ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායමට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවයි. පාකිස්තානය සහ ඉන්දියාව කොහොමත් අවුල්ය. ඒ දේශ සීමා අර්බුදය නිසා වුවත් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය ක්ෂණිකවම ඒ බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශයට සහ ක‍්‍රිකට් ආයතනයට දැන්වීය. ක‍්‍රීඩාවේදී ඇති සහෝදරත්වය එයයි.
 
 ශ‍්‍රී ලංකාව පාකිස්තානයේ රැුඳී සිටින දින දහයකටත් අඩු කාලයකදී කී‍්‍රඩා කරන තරග සඳහා ඉහළ ආරක්ෂාවක් ඔවුන් සපයා තිබේ. පාකිස්තාන් නොගිය ක‍්‍රීඩකයන්ට ඉන් පසුව එළැඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයද අහිමිවිමේ රතු එළියක් දැල්වී ඇතැයි වාර්තා වේ. ප‍්‍රශ්නයක් පැන නගින්නට පෙර විසඳා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දක්ෂ වූවේ නම් මෙවන් සිදුවීම් සිදුනොවනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles