Divaina - ක‍්‍රිකට් කුණු කන්දට කෝප් කමිටුවෙන් බර අවි ප‍්‍රහාරයක්.... ක‍්‍රිකට් නිලධාරීහු මල්වතු අස්ගිරි නාහිමියන්වත් පාවා දෙති.... ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමින් පිටරට බැංකුවලත් ගිණුම්.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


sp


* ක‍්‍රිකට් නිලධාරීහු මල්වතු අස්ගිරි නාහිමියන්වත් පාවා දෙති

* 95 දී ක‍්‍රිකට් ගිණුමේ රුපියල් පනස් දාහයි. දැන් මිලියන 1200 ක ‘කැම්පස්’ හදන්න යයි

* ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමින් පිටරට බැංකුවලත් ගිණුම්

* ක‍්‍රිකට් විකාශන අයිතියෙන් ඇ.ඩො. මිලියන 18 ක පාඩුවක්
 

අසේල විතාන

ශ‍්‍රී ලංකාවේ දූෂිත රාජ්‍ය ආයතන වැලේ එල්ලී සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පසුගිය සිව් අවුරුද්ද පුරා කරන ලද ගනුදෙනුවල විනිවිද භාවය සම්බන්ධයෙන් ඇත්තේ කුකුසකි. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ වාර්තා වෙද්දී දැනට එහි අතුරුදන් වූ සම්පුර්ණ මූල්‍ය වත්කම් කුමක්ද සහ ඒ සදහා වගකිව යුතු පාර්ශ්ව කවුද යන්න හෙළි කළ යුත්තේ විගණකාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණයකින් පසුවය.

විගණකාධිපතිවරයාට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හී මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඉතාමත් සරලව පරීක්ෂණ කළ හැකි යැයි අපි විශ්වාස කරමු. ඒ ඉකුත් වසරේදී ක‍්‍රිකට් මූල්‍ය අංශ ප‍්‍රධානියා වූ පියල් දිසානායක විසින් අනාවරණය කළ කරුණු සැලකිල්ලට ගෙනය.

ක‍්‍රිකට් ආයතනයට ලෙහෙසියෙන්ම මුදල් ගලා එන්නේ අයි.සී.සී.යෙන් සහ විකාශන අයිතිය ඔස්සේය. ක‍්‍රිකට් පරදින විට විකාශන අයිතිය තුට්ටු දෙකටත් ක‍්‍රිකට් දිනන විට එහි අයිතිය සදහා වැඩි වටිනාකමක්ද හිමිවීම සාමාන්‍ය සිරිතකි. නමුත් 2018 වසරේදී ඉන්දියාවේ සෝනි රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ඔවුන් ගෙවන ලද ඇ.ඩො. 187,000 මෙක්්සිකෝවේ බැංකු ගිණුමකට යවා තිබීමද තවත් මගඩියකි. ක‍්‍රිකට් ගිණුම් විගණනය කරන විට එම මුදල් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි විය.

වත්මන් ක‍්‍රිකට් පරිපාලනයේ සිටින්නේද වසර කිහිපයක් වරින් වර ක‍්‍රිකට් ඉහළ පුටුවල තනතුරු දැරූ සහ විධායක කමිටුව නියෝජනය කළ පිරිස්ය. එසේ තිබියදී ඔවුන් 2016 ගැන අසන විට ඔවුන් පිළිතුරු ලබා දෙන්නේ 2004 ගැනය. ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ‘කොහෙද යන්නෙ මල් පොල්’ යන න්‍යායෙන් පිළිතුරු දෙමින් වසර කිහිපයක් අදාළ තනතුර රැක ගනිමින් සිටියි. ඔහු ඉකුත් වසර දහයක කාලයේදී ක‍්‍රිකට්වල සිදුවූ සියලූ ගනුදෙනු සම්බන්ධව දන්නා පුද්ගලයෙකි. ක‍්‍රිකට් ගසන කාලයේ ඈෂ්ලි ද සිල්වාගේ කඩුල්ලට එන පන්දුව නිදැල්ලේ යවමින් ඔහු ක‍්‍රීඩාගාරයට ගියාක් මෙන් ක‍්‍රිකට් ප‍්‍රධාන විධායකයා ලෙස ඔහුට එන ඕනෑම පන්දුවක් ඔහු නිදැල්ලේ යැවීමට දක්ෂයෙකි.

ක‍්‍රිකට් මුදල් කාබාසිනියා වෙද්දී ක‍්‍රිකට් ඒඞ් නමැති ව්‍යාපෘතිය ලියාපදිංචි කරන ලද්දේ 2006 වසරේදීය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාලගේ නිර්දේශ අනූව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට 2005 සිට වැඩ කර ඇති බව වත්මන් ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ඔහුගෙත් හතර බීරි කතාව කෝප් කමිටුවේදී හාස්‍යට ලක්විය. නමුත් තවමත් හොරු නිදැල්ලේ සිටියදී ක‍්‍රිකට් මුදල් ටොන් ගණනක් ආගිය අතක් නැතැයි අපි විශ්වාස කරමු. ක‍්‍රිකට් ඒජ් දැන් මාස දෙකකට තහනම් කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ප‍්‍රශ්න පත‍්‍රයට පසුගියදා ක‍්‍රිකට් ලොක්කන් ඇඹරී ගියේය. ප‍්‍රශ්නවලින් පැන ගන්නට බැරි තැන ක‍්‍රිකට් නිලධාරීන් පැවසුවේ මහනුවර ගත් ඉඩමක් සදහා මුදල් මල්වතු අස්ගිරි නාහිමියන්ටත් ලබාදුන් බවයි. එය බරපතල පාවාදීමකි. නමුත් අස්ගිරි විහාරයට අයත් ඉඩමක් වසර 30 ක් සදහා මිලියන 50 කට ක‍්‍රිකට් ආයතනය මිලදී ගත්තද එහිදී මල්වතු අස්ගිරි මහනායක හිමියන්ට මිලියන 25 ක් 2016 වසරේදී ලබාදුන් බව ඔවුන් පවසයි. තවත් මිලියන 25 ක් මහනාහිමියන්ට ලබාදුන්නද එය උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ බවද කෝප් කමිටුවේදී අනාවරණය විය. මහනාහිමියන්ට මුදල් දුන් බවට සහ උන්වහන්සේ මුදල් ප‍්‍රතික්ෂේප කළ බවට ඔවුන් තුළ ලිඛිත සාක්ෂිද නැත. අදාළ මිලියන 25 ලබාදීමෙන් පසු ආධාර වශයෙන් මසකට රුපියල් 250,000 බැගින් ගෙවා ඇති බවද ක‍්‍රිකට් ලොක්කන් පවසයි. මේ හතරබීරි කතා ආගමටද නිගාවකි. නමුත් ක‍්‍රිකට් සුද්ද කරන්නට කාලයෙන් කාලයට විවිධ කමිටු ඔස්සේ උත්සහ කළද තවමත් ක‍්‍රිකට් හොරකමකට හසුව මහ උළු ගෙදරට ගියේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා වූ පියල් දිසානායක පමණි. අනෙක් සියලූ දෙනාම නිදැල්ලේය. හාමුදුරුවරු සහ නූපන් දරුවන්වද ගාවාගනිමින් කළ හොරකම් වසන් කර ගැනීමට දැන් ක‍්‍රිකට් පාලකයන් උත්සහ කරන බවක් දිස්වේ.

ක‍්‍රිකට් විශ්වවිද්‍යාලයෙන් අනාගතයේදී මුදල් ලබා ගත හැකි යැයි ලේකම් මොහාන් ද සිල්වා පවසයි. 2016 අපේ‍්‍රල් මස අදාළ ඉඩම මිලදී ගැනීමට මුදල් ලබාදීම සඳහා හිටපු ක‍්‍රිකට් ප‍්‍රධානියා අනුමැතිය ලබාදෙයි. නමුත් ක‍්‍රිකට් විධායක කමිටුවෙන් ඊට අනුමැතිය හිමිවන්නේ අපේ‍්‍රල් 22 වැනිදාය. ‘වන් මෑන් ෂෝ’ ක‍්‍රිකට් පරිපාලනයට අදාළ සිද්ධිය හොදම නිදසුනකි. ක‍්‍රිකට් විශ්වවිද්‍යාලය සෑදීම සඳහා යන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1200 කි. 1995 දී ආනා පුංචිහේවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය බාර ගන්නා විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිණුමේ තිබුණේ රුපියල් පනස් දහසකි. අද වන විට මිලියන 1200 ක ව්‍යාපෘති කරන්නට සැරසෙන ක‍්‍රිකට් ආයතනය සල්ලි සමග සෙල්ලම් කරමින් රටේ බහුතරයගේ ආශිර්වාදය හිමි ක‍්‍රිකට් ක‍්‍රීඩාවද විනාශ කරමින් සිටියි.

හිතු මතේ යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මහනුවරින් ඉඩමක් මිලදී ගෙන ඇත්තේ ක‍්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යැයි පුරසාරම් ෙදාඩවති. ක‍්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පෙර ක‍්‍රිකට් හරියට තිබිය යුතුය. ක‍්‍රිකට් ආම්පන්න නැති පාසල් සිය ගණනින් මෙරට තිබෙද්දී ඉරිච්ච පාආවරණ සහ අත්ආවරණ පැළඳ ක‍්‍රිකට් ගසන දරුවන් දහස් ගණනක් සිටිති. ඔවුන් ගැන සොයා බලන්නේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි.

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ අටක් තිබේ. ඉන් හතක්ම දැනට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පවත්වන අතර මහනුවර අස්ගිරි ක‍්‍රීඩාංගණයේ පමණක් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක් වසර විස්සකින් පමණ පවත්වා නැත. එසේ තිබියදී මිලියන ගණන් ක‍්‍රිකට් කැම්පස් හදන්නට ඉඩම් ගන්නේ මෙරට ක‍්‍රිකට් සියයට සියයක් සාර්ථකව තිබියදී නම් ගැටලූවක් නැත. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේද වැටුප් අඩු කරමින් දිනන ක‍්‍රමයට වැටුප් ගෙවන යුගයක අනවශ්‍ය වියදම් ටොන් ගණනින් ක‍්‍රිකට් ආයතනය වියදම් කරන්නේ එහි ඇති කොමිස් නමැති ජරාව ඔවුන්ට මහත් ආශ්වාදයක් ගෙන දෙන බැවිනි.

ක‍්‍රීඩකයන් පවසන්නේ අපිට පිහිණුම් තටාකයක්, ජිම් එකක් හැම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයකම තිබේ නම් හරි පහසුවක් බවයි. මෙවැනි මූලික අංග සම්පූර්ණ නොකර ක‍්‍රිකට් විශ්වවිද්‍යාල හදන්නේ මොන කෙංගෙඩියකටද යන්න දන්නේ ක‍්‍රිකට් ලොක්කන් පමණි. නමුත් මහනුවරින් වසර 30 කට මිලදී ගත් ඉඩමේ දැන් වසර තුනකට වැඩි කාලයක් ගෙවී ගොස් අවසන්ය. එහෙත් එහිදී අත්තිවාරමක්වත් තවම දමා නොමැත. ක‍්‍රිකට් විශ්වවිද්‍යාලයට අවශ්‍ය වැඩසටහනක්ද සකස් කර නැත. ඒ අනුව බදු වර්ෂ අවසන් වන තෙක් මේ ඉඩමේ කුඹුරු කෙටීමට ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැලව යොමු කළහොත් එය ක‍්‍රිකට්වලට ආයෝජනයක් වනු ඇත. එසේ නම් එය කළ යුත්තේ ක‍්‍රීඩා ඇමැතිවරයා විසිනි.

2016 ජූලි මාසයේදී කෝප් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ තුට්ටුවකටත් ගණන් නොගත් ක‍්‍රිකට් ආයතනය වසර තුනහමාරකින් සම්පූර්ණ විගණනයක් කර නොමැත. ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා පවසන පරිදි ශ‍්‍රී ලංකාවේ හැර වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිණුම් නැත. නමුත් ලෝකය වටේ ඇති බැංකු ගිණුම්වලට, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට එන මුදල් හොර පාරෙන් ගාල් වෙයි. මෙරට ක‍්‍රිකට් ගිණුම් විදෙස් රටවල නොතිබෙන බවට ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසුවද එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, හොංකොං සහ තවත් රටවල් කිහිපයකම ගිණුම්වලට මෙරට ක‍්‍රිකට් වලට බැර වීමට ඇති මුදල් තැන්පත් වී ඇත්තේ අදිසි හස්තයක් නිසාදැයි වහාම සොය බැලිය යුතුය.

එංගලන්තයේ ක‍්‍රීඩාංගණයක් හිමි සරත් අබේසුන්දරගේ ප‍්‍රධානත්වයෙන්ද එරට ක‍්‍රිකට් ගිණුමක් තිබේ. එහි නම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනුවෙන් සඳහන් කර ඇති බවට ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පිළිගනියි. ශ‍්‍රී ලංකාවට ආධාර පිණිස එම ගිණුමට ලැබෙන මුදල් මෙරටට එන බවද ඔහු සඳහන් කරයි. එම මුදල්වලින් කරන්නේ කුමක්ද. මෙරට පමණක් ගිණුම් තිබේනම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නමැති නාමයෙන් වෙනත් රටක තිබෙන එම ගිණුම් ගැන සියයට සියයක් විගණනය කර තිබේද? නමුත් අදාළ ගිණුම ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලය දුන්නද ඒ බලය ලබා දුන් ලිඛිත සාක්ෂි අතුරුදන්ව තිබීම තවත් විහිළුවකි.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරගාවලියේ රූපවාහිනී ගනුදෙනුවද ‘ඞීල්’ යැයි අනාවරණය වෙමින් තිබේ. 2013-2020 දක්වා ශ‍්‍රී ලංකාව සහභාගි වන තරගවල විකාශන අයිතිය වෙනුවෙන් නිම්බස් කොමියුනිකේෂන් ආයතනය ඉහළම ලංසුවක් වන ඇ.ඩො. මිලියන 53 ක් ඉදිරිපත් කර තිබේ. එසේ තිබියදී එම විකාශන අයිතියේ පාඩුව ඇ.ඩො. මිලියන 18 කට වඩා වැඩිය. දක්ෂ පරිපාලකයන් මේ සඳහා වගකිව යුතුය. රූපවාහිනී විකාශනය අයිතිය වෙනුවෙන් හිමිවන ඇ.ඩො. මිලියන 5.5 ක මුදල විදෙස් ගිණුමකට බැර වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විද්‍යුත් ලිපිනය සහ ක‍්‍රිකට් අයි.ටී. අංශය හරහාය. ඒවා නොදන්න බාබාලා ක‍්‍රිකට් පරිපාලනය කරන්නේ නම් ඉදිරියේදී මුදල් මෙන්ම ක‍්‍රිකට්ද නන්නත්තාර වනු ඇත. අදාළ මුදල් ගෙවූ රූපවාහිනී ආයතනය විදෙස් ගිණුමට මුදල් බැර කර තිබේ. වැඬේ පත්තුවෙන බව දැනගත් ක‍්‍රිකට් විධායකවරයා පසුව පැමිණිලි කර ජාමේ බේරා ගැනීමට තැත් කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලොක්කන් විසින් ක‍්‍රිකට් මුදල් පාපන්දුවක් මෙන් එහාට මෙහාට තල්ලූ කරමින් සිටියි. ඔවුන්ට දැන් තක්කු මුක්කු වී ඇත්තේ ක‍්‍රිකට් මුදල් වලට කළ කී දෑ ගැන හරියට උත්තර බඳින්නට නොහැකිව බෙල්ල මුලට හිරවී ඇති නිසාය. නමුත් තිලංග සුමතිපාලගේ කල්ලියේ සිටින ක‍්‍රිකට් කෙරුමන් වත්මන් පරිපාලනයද මෙහෙයවද්දී ඔහුට තමාගේ අනාගතය බලය වෙනුවෙන් සුමතිපාල නාමයද රැක ගැනීමේ වගකීම පැවරී තිබේ. කෝප් කමිටුවේ වැඬේ අත්නොහැර දිගටම බර අවි ප‍්‍රහාරවලින් ක‍්‍රිකට් ලොක්කන්ට පහර දුනහොත් ක‍්‍රිකට් මුදල් කාබාසිනියා කළේ කවුරුන්ද යන්න හරියටම දැනගත හැකි වනු ඇත. එතෙක් රටේ ක‍්‍රිකට් කොයි අතටද යන්න රට වැසියන් බලා සිටිනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles