Divaina - ලක්ෂ 70ක පුහුණුකරුගේ දෝෂය නිමාවීම...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

hathuru
 
අසේල විතාන
 
ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ලොව බොහෝ රටවල් අලූත් උපායමාර්ග වලින් සන්නද්ධව ඉදිරියට යෑමේ ප‍්‍රධානතම වෙනස්කම වූයේ පුහුණුකරුවා මාරු කිරීමයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පසුගිය කාලයේ පරාජයෙන් හෙම්බත් වෙද්දී කල් ඉකුත් වූ චන්දික හතුරුසිංහගේ න්‍යාය පත‍්‍රයද හකුලා දැමීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා මූලිකත්වය ගැනීමත් සමග ඔහුගේ සේවයද නිමා විය.
 
 ලෝකයේ අංක එකේ ජාත්‍යන්තර කණ්ඩායම් පුහුණුකරුවා තෝරන ක‍්‍රම කිිහිපයක් තිබේ. ඉන්දියාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට ඉල්ලූම් පත් යැවිය යුත්තේ ටෙස්ට් තරග 30 ක් හෝ එක්දින තරග 50 ක් ක‍්‍රීඩා කර අත්දැකීම් ඇති පුහුණුකරුවෙකි. නමුත් ඉන්දියාවේ ක‍්‍රමයට චන්දික හතුරුසිංහට එරට ප‍්‍රධාන පුහුණුකරුවා වීමට නම් ඔවුන්ගේ අදාළ කොන්දේසිය ඉවත් කළ යුතුවේ. නමුත් ශ‍්‍රී ලංකාවට එවැනි කොන්දේසි තිබුණද ඉන්දියාව තරම් තදේට ක‍්‍රිකට් ගැන නොසිතන නිසා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරුවා බවට චන්දික හතුරුසිංහ පත්විය. ඒ බංග්ලාදේශයේදී හතුරුසිංහ කැපී පෙනුන නිසාය.
 
 හතුරුසිංහ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 26 කි. එහිදී ඔහු ලබා ඇත්තේ අර්ධ ශතක අටක් පමණි. එක්දින තරග 35 ක් ක‍්‍රීඩා කර ඇති හතුරුසිංහ අර්ධ ශතක 4 ක් ලබා තිබුණි. පුහුණුකරුවා ක‍්‍රිකට් වලින් පරිණත වූ විට රාජකාරිය කිරීම පහසය. නමුත් ජාත්‍යන්තර පිටියේ තෙම්පරාදු නොවූ පුහුණුකරුවෝද සිටිති. ඔවුන් ලොව දක්ෂතම පුහුණුකරුවන් වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. ශ‍්‍රී ලංකාව 1996 ලෝක කුසලාන දිනන වකවානුවේ සිටි ඬේව් වට්මෝර්ද එවැනි පුහුණුකරුවෙකි. ඔහුට ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් වලට වඩා තිබුණේ ක‍්‍රමවේදයන් සහ සැලසුම් පමණි.
 
 ජාතික ක‍්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවා යනු තරග දිනවන සැලැස්ම සකසන ප‍්‍රධානතම මොලකාරයා වෙයි. ඔහුගේ සැලැස්මට ක‍්‍රීඩා කිරීම ක‍්‍රීඩකයන්ගේ වගකීම වන අතර ඒ සැලැස්මට අසාර්ථක වන ක‍්‍රීඩකයන් කණ්ඩායමෙන් දොට්ට යන්නේ තවත් දක්ෂයන් ඇතුළට ගෙන එමිනි. නමුත් හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කාලයේදී නායකයන් බුරුතු පිටින් මාරු විය. ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යන ක‍්‍රීඩකයකු ලෙසට ඔහු හංවඩු ගැසීය. චන්දිමාල්ට නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයද නැති විය. ලසිත් මාලිංගටද කාලයක් කණ්ඩායමේ ස්ථානය අහිමි විය. ඒ හතුරුසිංහ පුහුණුකරු පමණක් නොව තේරීම් කිරීමේ පුර්ණ බලයද තිබෙන යුගයකදී ඒ සෙල්ලම් එසේ සිදුවිය. ඒ අතරවාරයේදී කණ්ඩායමේ එකමුතුකම සහ කී‍්‍රඩකයන්ගේ විශ්වාසයද බිඳී ගියේය.
 
 කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු හතුරුසිංහ සමග සෙල්ලම් කිරීමට අකමැති වූහ. මේ සියලූ ප‍්‍රශ්න අස්සේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට හතුරුසිංහව ඉවත් කිරීමට මාර්ගයක් නොවුණි. ඔහුට දෙන වැටුප ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පඩි ගන්නා සේවකයකුට දෙන වැඩිම වැටුප විය. ඇමරිකානු ඩොලර් 40000 ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 70 ක් පමණ මාසිකව වැටුප් ගන්නා පුහුණුකරුවා ශ‍්‍රී ලංකාවේ දක්ෂතා හිස් කරමින් මෙසේ සේවය නිමා කළේ තවත් මාස 16 ක කාලයක් ඉතිරිව තිබියදීය.
 
 ඕනෑ තරම් මුදල් කාබාසිනියා වන අවස්ථා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉතිහාසයේ සිට දක්නට ලැබුණි. ඒ අනුව හතුරුසිංහ යන්නේද තවත් ගාණක් සාක්කුවේ දමාගෙනය. නියමිත කාලයට පෙර කොන්ත‍්‍රාත්තුව අවසන් කිරීමෙන් ඔහුට වන්දියක් ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇත. නමුත් කොන්ත‍්‍රාත්තුව හරියට ගැසුවේ නම් එසේ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.
 
 බංග්ලාදේශයේ ප‍්‍රධාන පුහුණුකරුවා වූ ස්ටීව් රෝඞ්ස්වද ඔවුන් ලෝක කුසලානයෙන් පසුව ඉවත් කළේ තවත් කොන්ත‍්‍රාත්තුව ඉතිරිව තිබියදීය. නමුත් බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සාකච්ඡුාවෙන් ප‍්‍රශ්නය විසදා ගත්තේය. ස්ටීව් පුහුණුකරු ධුරය අතහැර ගියේ මුදලට ලොල් නොවීය. ‘මාව එපා නම් මම යන්නම්’ යන න්‍යායෙන් ඔහු නම්බුකාර ලෙස සමුගත්තේය. නමුත් හතුරුසිංහගේ පුහුණුකරු රැකියාව හතර වටින් විවේචනයට බඳුන් වෙද්දී එහු පැවසුවේ මට තවත් මාස 18 ක් තියෙනවා කියාය. ‘‘ක‍්‍රීඩකයන්ට වැඩි ගාණක් දෙන්නෙ තරග දිනුවොත් විතරයි. පැරදුනාම දෙන්නෙ අඩු ගාණක්. පුහුණුකරුටත් එසේ වෙන්න ඕන.’’ යන ස්ථාවරයේ සිටි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග කතා බස් කරමින් හතුරුසිංහව එළියට ඇද දැම්මේය.
 
 නමුත් හතුරුසිංහට නවසීලන්ත සංචාරයේදීත් ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් වැඩ කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණ කරා සිය සැලසුම දියත් කිරීමට තිබුණි. එසේ කළේ නම් ඔහු යන්නේ බංග්ලාදේශයට සහ නවසීලන්තයට එරෙහිව තරගාවලි දෙකක් ජයග‍්‍රහණය කර දුන් පුහුණුකරුවා වශයෙනි. නමුත් හතුරුසිංහ කිසිවකුගේ අණට කීකරු නැති බව ඔහු සමග පැවැති සාකච්ඡුාවලදී ගම්‍ය වීමෙන් ඔහුට නවසීලන්ත සංචාරයට පෙරම සිය රැකියාව නවතා දැමීමට සිදුවිය.
 
 චන්දික හතුරුසිංහ මීළඟට බංග්ලාදේශයේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ. නමුත් හතුරුසිංහ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ‘දිවයින’ සමග පැවැති සාකච්ඡුාවකදී පවසා සිටියේ, ‘‘මට ඕන විදිහට වෙන්නෙ නැතිනම් මම දමලා ගහලා යනවා. මොකද මට ගහක් යට හරි පුහුණුකරන්න පුළුවන් යනුවෙනි.’’ සියල්ල ඔහුට ඕනෑ විදිහට වන්නේ නම් ජාතික කි‍්‍රකට් කණ්ඩායමක ජයග‍්‍රහණයටද දෙයියන්ගේම පිහිට මිසක අන් කිමද යන්න ප‍්‍රශ්නය මතුවේ.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසන්නේ පුහුණුකරුව රැක ගැනීමට ගොස් ක‍්‍රිකට් වට්ටන්නට බැරි බවයි.
 
 ‘‘අපි නීතිඥයන් මාර්ගයෙන් බලනවා 2020 හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුවෙන් එළියට එන්නෙ කොහොමද කියලා. බංග්ලාදේශයේ, දකුණු අප‍්‍රිකාවේ, පාකිස්තානයේ, ඉන්දියාවේ වගේ සෑම රටකම පුහුණුකරුවන් මාරු කළා. අපිත් සෑහෙන්න කාලයක් හතුරුසිංහට දීලා තියෙනවා. අපෙන් අතපසුවීම් වෙලා තියෙනනවා. පුහුණුකරුවා බේරගෙන ක‍්‍රිකට් වැටෙන්න දෙන්න බැහැ. හතුරුසිංහට ගාණක් දෙන්න වුණොත් ඒක දීලා හරි යවනවා. මොකද සල්ලි දීලා හතුරුසිංහව යවනවාද නැතිනම් ක‍්‍රිකට් දිනලා තව සල්ලි හොයනවාද යන්න තමයි බලන්න ඕන.’’ යනුවෙන් ක‍්‍රිකට් සභාපතිවරයා පවසයි.
 
 ජාතික කණ්ඩායමක පුහුණුකරුවා ඇත්තේ ක‍්‍රීඩකයන්ගේ ශෛලියේ මහා වෙනසක් සිදුකිරීම නොව. එසේ කරන්නේ නම් ඒ පුහුණුකරුවා සිටිය යුත්තේ පාසලේ කනිෂ්ඨ කණ්ඩායමක පුහුණුකරුවා ලෙසිනුයි. ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් පැමිණෙන්නේ ඔහු දක්ෂ නිසාය. ඒ දක්ෂතාව වර්ධනය කර ගැනීමට හැකි උපාය මාර්ග සහ තරගයකදී ප‍්‍රතිවාදීන්ට පහරදිය යුතු සැලැස්ම සැකසීම ප‍්‍රධාන පුහුණුකරුගේ බැ?රුම් රැකියාව වේ. නමුත් කා කොටා ගැනිලි, ක‍්‍රීඩකයන්ගේ විශ්වාස පළුඳුවීම, නායකයන් මාරු වීම සහ පරාජයට එකම හේතුව කීම වැනි දේවලින් පුහුණුකරුවා රැකෙන්නේ නැති බව හතුරුසිංහගේ කාලයේදී මැනවින් ඔප්පු විය.
 
 මීළඟට එන පුහුණුකරුවා කවුරුන්ද යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තවමත් මුනිවත රකිමින් සිටින්නේ ඇයිදැයි අපි නොදනිමු. කෙසේ හෝ ඒ පුහුණුකරුවාගේ කොන්ත‍්‍රාත්තුව, ඔහු කරන රැකියාවේ සැලසුම් සම්බන්ධයෙන් හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැනුවත් විය යුතුය. නැතිනම් තවත් අසාර්ථක පුහුණුකරුවකු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles