Divaina - අසන්ධිමිත්තා සන්ධිකර ගැනීමේ අයිතිය ඔබ සතුය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

asandimiththa1ප‍්‍රවීණ ලේඛක සමන් වික‍්‍රමාරච්චිගේ ‘එනමින්. යුත් නවකතාව ඇසුරින් නිර්මාණය වූ ‘අසන්ධිමිත්තා. යනු, අප අවට සමාජයේ පැතිර පවතින එක් යථාර්ථවාදී ජීවිත අත්දැකීමක් වෙනත් මානයක් ඔස්සේ පිළිබිඹු කෙරෙන සිනමා කෘතියකි. එය නම් තරුණ විය ඉක්මවමින් සිටින වැන්දඹු ගැහැනියක වෙත ළඟාවන කපටි පිරිමියකු හා ඇය අතර, ගොඩනැෙඟන සබඳතාවයේ හැඩරුවයි. මෙම සිදුවීම එක්තරා දුරකට මනුෂ්‍යයාගේ ජීව විද්‍යාත්මක කාර්යයන් මුල්කර ගනිමින් ද ඊට සමගාමීව ආර්ථීක ගැටලූ මත පදනම් වෙමින් ද ඇති වන්නක්වන අතර, එයටම සංස්කෘතික ගැටලූ සහ ජන සමාජයේ වෙනත් අඩුම-කුඩුම ද එකතු වීමෙන් යම් පමණක සංකීර්ණ ස්වභාවයක් ද අත්පත්කර ගන්නකි.
 
 අප දන්නා කියන සමාජය තුළින් දැක ඇති ආකාරයට මෙන් ම චිත‍්‍රපටයෙන් පෙනෙන ආකාරයට ද මෙම වර්ගයේ සිදුවීමකට මුහුණ දෙන බොහෝ පාත‍්‍ර වර්ගයා සාමාන්‍යයෙන් දිවි ගමනේ හතර වැනි දශකයට ආසන්න හෝ ඉන් ඔබ්බට ගිය අයකු වීම හේතු කොට ගෙන එය සමාජයේ එක් ස්ථරයක් තුළට සීමා වූ අත්දැකීමක් බවට පත්වෙයි. ඒනිසා මෙය යම් තරමකට සෙසු සමාජයෙන් දුරස් වූ මෙන්ම තරමක් හුදෙකලාව ද පවතින්නකි. එකී හුදෙකලා චරිත දෙක තුනෙහි පසුබිම වලව්වක් හෝ පැරණි ගෘහයක් ද වූ කල අත්දැකීමට තව ‘ආලෝකයක්. ද එකතු වෙයි. මෙකී පාත‍්‍ර වර්ගයා බොහෝ අවස්ථාවල සිනමා නළු නිළියකු හෝ දේශපාලනඥයකු ද නොවන බැවින් එය ඕපා දූපයක් වශයෙන් ද එතරම් වටිනාකමක් අත්පත් නොකර ගනී. එබැවින් යම් කූටප‍්‍රාප්තියක් දක්වා එම සිදුවීම වර්ධනය වීමට අවශ්‍ය කාල අවකාශයක් එම පරිසරය තුළ ඉතිරිව පවතී.
 
asandimiththa අශෝක හඳගම නැමැති චිත‍්‍රපටකරුවා තම අත්දැකීම ඉදිරිපත් කරනු පිණිස තෝරා ගෙන ඇත්තේ මෙම පරිසරය මුල් කරගත් සීමිත චරිත කීපයයකි. එ් ඔස්සේ ඔහු අපට ඉදිරිපත් කරන්නේ පෙර කී සාධකවලින් සමන්විත චරිත දෙකක් එකිනෙක මුණ ගැසීමෙන් පසු ඇති වූ තත්ත්වයකි.
 
 මතු පිටින් පෙනෙන්නේ බොහෝ දුරට මෙය අප අසා පුරුදු පොදු කතා පුවතක් බවය . චිත‍්‍රපටය අවසාන දර්ශනය වුව ද මේ වර්ගයට අනුව තැනෙන සුලබ ඉංගී‍්‍රසි චිත‍්‍රපට වල අවසානය සිහිපත් කරවන්නකි. නමුත් අසන්ධිමිත්තා ගැන තව දුරටත් කතා කරන තත්ත්වයට අප පත් කරනු ලබන්නේ් අශෝක හඳගම නැමැති චිත‍්‍රපටකරුවා මෙම පොදු අත්දැකීම මුල්කර ගනිමින් කාරණාවේ මතුපිට හැඩරුවට ඔබ්බෙන් වූ මිනිස් දිවි පෙවෙත විනිවිද යමින් අලූත් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට දක්වන ප‍්‍රතිභාවය හේතු කොටගෙනය.
 
 සමස්ත චිත‍්‍රපටය තුළින් ඉහත කී සිදුවීම, පෙළ ගස්වා ඉදිරිපත් කරන අතරම, නිර්මාණාත්මක වෑයමෙහි සෞන්දර්යයෙන් පේ‍්‍රක්‍ෂකයාගේ මනස කිති කවන්නට වෑයම් කිරීම ද පැහැදිලිවම හඳගමගේ අභිප‍්‍රාය වී තිබේ. එහිදී හඳගම අතින් ශී‍්‍ර ලංකාවේ පොදු පේ‍්‍රක්‍ෂකයාට චිත‍්‍රපටයක් ඉදිරිපත් කෙරෙන අතරම තමාගේ ශිල්පීය වෑයම පේ‍්‍රක්‍ෂකයාට සිය නැණ පමණින් වටහා ගැනීමට කෙරෙන ආරාධනාවක් ද මේ තුළ ගැබ්ව ඇතැයි සිතේ. මන්ද යත් යම් සැක සංකා ඇතිකර ගනිමින් වුවද ආරම්භක තත්ත්පරයේ සිටම අවසාන දර්ශනය දක්වා පේ‍්‍රක්‍ෂකායා එක එල්ලේ රදවා ගැනීමේ කටයුත්ත අසන්ධිමිත්තා තුළ දී ඔහු මැනවින් ජයගෙන ඇති බැවිනි.
 
 තම චිත‍්‍රපටය ආරම්භයේ දීම අශෝක හඳගම අපට හරිබැරි ගැසෙන්නට ඉඩ සලස්වන්නේ මෙය ක‍්‍රයිම් ස්ටෝරියක්ය යන බලාපොරොත්තුවක් ඇති කරවමිනි. එම බලාපොරොත්තුව අශෝකගේ සිනමාව ගැන දන්නා අප තුළ විශේෂත්වයක් ඇති කරන්නේ එක්වරම මෙය ඔහුට සුපුරුදු ශෛලියෙන් පිටපැන ගිය එකක් මෙන් පෙනී යන බැවිනි. ඉන් අනතුරුව රහස් පරීක්‍ෂක කතාවක සන්ත‍්‍රාසය ලැබීම දක්වා වූ බලාපොරොත්තුවකට අපව යොමුවන අතර, මුඛ්‍ය සිදුවීම ප‍්‍රතිනිර්මාණය වී එහි කූටප‍්‍රාප්තිය දකින්නට පෙළ ගැසෙන තත්ත්වයට අපි යොමු වෙමු.
 
 පෙරකී ද්විත්ව කාරණා සාර්ථක කරගන්නා තත්ත්වයට අධ්‍යක්‍ෂවරයා යොමු වන්නේ එ් අනුව ය. එ් ගැන යළිත් කියන්නේ නම්, මූලික වශයෙන් අපට කතාන්දරයක් ඉදිරිපත් කරවමින් ඔහු අපව කෘතිය තුළ රඳවා ගනියි. දෙවනුව එය අපට කියන ආකාරයේ සිනමා චමත්කාරය විඳ ගැනීමට ද, අපට ඉඩ සලස්වයි.
 
 චිත‍්‍රපටයේ ආකර්ශනය උදෙසා මූලික හේතුවක් බවට පත්වී තිබුණ ද හඳගම තම තිර රචනය තුළ මහත ගැහැනියකගේ චරිතයක් ප‍්‍රතිනිර්මාණය කරන්නේ එ් අපූර්වත්වයට ඔබ්බෙන් වූ කරුණක් මුල් කර ගනිමිනි. ඉතා නිදහස් දිවිපෙවතක් ගත කරන මෙම ස්වාධීන ගැහැනිය හා විකී නම් ආගන්තුක පිරිමියා අතර, ඇති වන්නේ "මාංශමය" ගනුදෙනුවක් නොහොත් කායික ගනුදෙනුවක් විනා ආධ්‍යාත්මික පෙම් සබඳතාවක් නොවේ. එ් අනුව මෙම සංසිද්ධිය අතිශයෝක්තියට නැඟීම උදෙසා සංකේතයක් ලෙස ඔහු මහත ගැහැනියකගේ චරිතය ඉදිරිපත් කරන බව පෙනී යයි.
 
 asandimiththa4රාත්තල් 300ක් බර, අඩි මෙපමණක් උස, කසාද දෙකක් කැඩුණු, පිරිමි ළමයින් දෙදෙනකුගේ මවක් ලෙස තනිකඩව වසන්නියක් යැයි අසන්ධිමිත්තා තමන් ගැන කරනු ලබන හැඳින්වීමත්, තමා අඩි මෙපමණක් උස, රාත්තල් එකසිය පනස් ගණනක් බර, පවුල් බරින් තොර වරදට සමාව දෙන තාලයේ පිරිමියකු ලෙස විකී විසින් කරනු ලබන ප‍්‍රති හැඳින්වීමත් හඳගම මෙම සබඳතාවයේ තරාතිරම මාංශමය වශයෙන් කිරා බලා අපට ඉදිරිපත් කරන අවස්ථාවකි.
 
 අසන්ධිමි තාහි ක‍්‍රමිකව ගලා යන ප‍්‍රබල නාට්‍යමය අවස්ථා සහිත සිදුවීම් මාලාව පේ‍්‍රක්‍ෂකයා සිය ග‍්‍රහණයේ තබා ගනු ලැබුව ද අධ්‍යක්‍ෂවරයා මෙය ඉදිරිපත් කරන්නේ විකාර රූපී ශෛලීය මුල්කර ගත් ආඛ්‍යානයකිනි. ආරම්භයේ දීම දෙදෙනා අතර ඇතිවන පෙර සඳහන් කළ හඳුන්වා ගැනීම එම ශෛලිය පිළිබඳව මෙන්ම දෙදෙනා අතර වූ ආකර්ෂණයයේ ස්වභාවය සංකේතවත් කරන්නක් වුවද, පොදුවේ පේ‍්‍රක්‍ෂයාට එය හුදු හාස්‍යොත්පාදක අවස්ථාවක් පමණක් වීමට ද ඉඩ ඇත. අසන්ධිමිත්තාගේ සැමියා ලෙස චරිත දෙකක් පෙනී සිටීමේ ගැටලූව හැරෙන්නට පොදු පේ‍්‍රක්‍ෂකයාට හඳගමගෙන් අලූත් ආරක චිත‍්‍රපටයක් තිලිණ වන්නේ ඔය අයුරිනි.
 
 එ් සමඟම තමන් මෙතෙක් වේලා බලා සිටි චිත‍්‍රපටයේ මේ මේ දේවල් මේ අයුරින් සිදුවුණේ ඇයි දැයි යන්න මෙන්ම, සිදු නොවුණේ ඇයි දැයි යන්න කියවා ගැනීමේ අවස්ථාවක් ද කෘතිය තුළින්ම ජනිත කරවයි. එ් සඳහා ඔහු පෙර අප සඳහන් කළ විකාර රූපී ස්වභාවය, බ්‍රෙෂ්ට්ගේ දුරස්තීකරණය මෙන් ම, ප‍්‍රබල ලෙස නාට්‍යමය කුතුහලය ද උපයෝගී කරගනී. ඒ නිසා මෙය විටෙක චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා යම් පමණකට දන්නා කියන චරිතයක් පාදක කර ගනිමින් චිත‍්‍රපටයක් ගොඩනඟා ගැනීමට දරන අරගලයක් සේ පෙනී යා හැකි අතර, ස්තී‍්‍රන්ගේ සහ පුරුෂයින්ගේ මනෝ ලිංගික සංකීර්ණතාවයන් සිය තිර නාටකය පෝෂණයෙහි ලා යොදා ගන්නක් බව ද හැඟී යයි. විශේෂයෙන් ම විකීගේ චරිතය ගොඩනැංවීමේ දී ඔහුගේ කළු පක්‍ෂය නිරූපණය උදෙසා වෙනමම නළුවකු යොදා ගැනේ. ඉතා සියුම් ලෙස කෙරෙන සංස්කරණයක් මගින් අප දකින මේ අනික් භුමිකාව අසන්ධිමිත්තා නම් ගැහැනියට කිසිදු ගැටලූවක් නොවේ. එනයින් බලන කල අපට හැඟී යන්නේ කලින් පැවසූ ආකාරයට අධ්‍යක්‍ෂවරයාගේ මන:කල්පිතයකට වඩා මෙය අසන්ධිමිත්තාගේ ආඛ්‍යානයක් විය හැකි බවයි. ඇය සැබෑ චරිතයක් හෝ වේවා මන:කල්පිත සිතුවමක් හෝ වේවා සෙසු සියලූ චරිත නටවනු ලබන නූල ඇත්තේ ඇය අතය. කතා පුවතේ අප දකින චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා පවා හැසිරෙන්නේ එම අපූර්ව චරිතය කේන්ද්‍රකර ගනිමිනි.
 
 දිනක රාති‍්‍ර යාමයේ ලැබෙන දුරකථන ඇමතුමකින් සිය පැරණි පාසල් මිතුරියක් වන අසන්ධිමිත්තා හඳුනාගන්නා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා ඇයගේ කතාවට ආකර්ෂණය වන්නේ තමන් ගැහැනු තිදෙනකු මරා දැමීමට හවුල් වූ බව පැවසීමත් සමග ය. ඇයගේ කතාව අසා ගන්නට පසුදා හමුවන බවට පොරොන්දු වූවත්, ඔහු ඇයගේ දුරකථන අංකයවත් අසා ගැනීමට උනන්දු නොවෙයි. ඇමතුම ලැබෙන්නේ ගෘහස්ත දුරකථනයකට වන අතර, එහි අමතන්නාගේ අංකය සටහන් වී දැයි නැති දැයි පේ‍්‍රක්‍ෂකයා දන්නේ නැත. ඔහු ඇයව භෞතිකව හමුවූවා වූ නොවූවා හෝ ඇය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනඟන ලද තිර රචනයට වඩා යථාර්ථය වෙනස් වූවක් බව පෙනේ. එතනදී අපට හැඟී යන්නේ චිත‍්‍රපටකරුවකු අපූර්ව කතාවක් ගොඩනඟන්නට උත්සාහයක නිරත වී මොකක් දෝ අලකලංචියකට මුහුණ දුන් බව ය. නමුත් ඔහුගේ බිරිඳ සිටින්නේ එම මන:කල්පිතයෙන් පරිබාහිරව සැබෑ ලෝකය සමග ය. ඉතා සුළු චරිත නිරූපණයක් වුවද සමස්ත කෘතිට පුරා බද්ධව සිටින්නියක් බවට ඇය පත්වෙයි. මෙය චිත‍්‍රපටකරුවා අරබයා සාමාන්‍ය සිදුවීමක් බව අපට පෙන්වා දෙන්නේ ඇය විසිනි.
 
 නමුත් එ් වූ පමණින් අප තුළ පැන නඟින යම් විචිකිච්ඡාවන් පූර්ණ ලෙස විසඳෙන්නේ නැත. මිනිස් චර්යාවන් පිළිබඳව මෙන්ම ජීවිතය අරබයා අප එකිනෙකාගේ අත්දැකීම් මත ද මේ සිදුවීම් තේරුම් බේරුම්කර ගැනීමේ තත්ත්වයකට පේ‍්‍රක්ෂකයා පත් වෙයි. නමුත් එය වූ කලී අවුලකට වඩා ජීවිතයේ ඇති අලකලංචි ස්වභාවයට කලාත්මක හැඩයක් එක් කරන්නට තැනූ උත්සාහයක් බව පෙනෙයි. මොන විදියෙන් ඉදිරිපත් කරනු ලැබුවත් එය තුළ ඇත්තේ තමා අවට ජීවිතය බව පේ‍්‍රක්‍ෂකයා වටහා ගනී. ඒ අනුව මෙය ඉතා විචිත‍්‍ර සිනමාකරණයක් තුළින් ජීවිතයේ එක් පැතිකඩක් ප‍්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට පත් වෙයි.
 
 මේ චමත්කාරය අප තුළ දනවන්නේ අධ්‍යක්‍ෂවරයා තම දැක්ම සඳහා අප කැටුව අපූර්ව ගමනක යෙදෙන ආකාරය තුළය. අතරමඟදී වෙනතක නොහැරෙන තරම් බැඳීමකට ආරම්භයේ දී ම අපව ළංකර ගන්නා ඔහු, විටෙක කලක් තිස්සේ ගොඩනැඟු චරිතයක් පෙන්වන්නට යැයි කියා එ් පුද්ගලයාගේ වැට අද්දරටම ගොස් වෙනතක හැරෙයි. හඳගමගේ අතේ එල්ලීී ගෙනම වෙනත් ඉසව්වකට ගොඩවඳින නමුදු, පෙන්වන්නට යැයි එක්කාගෙන ආ චරිතය එනතෙක් ද බලාපොරොත්තුව සිටිමු. එහෙත් එ් චරිතය කවදාවත් එන්නේ නැත.
 
 හඳගම අසන්ධිමිත්තා කියන කතාව මෙන් ම කියන ආකාරයද පේ‍්‍රක්‍ෂකයාට විඳගත හැකි කාරණයක් බවට පත්ව ඇත්තේ ඔය අයුරිනි.
 
 නළු නිළි භූමිකාවන් අරබයා අප රට තුළ ඇති සාම්ප‍්‍රදායික සම්ප‍්‍රදායයන් බිඳ හෙළන අතරේම, රංගනය යනු කොතරම් ප‍්‍රබල විස්මිත කාර්යයක් දැයි පෙන්වා දෙමින් අසන්ධිමිත්තා චරිතය රඟන නිල්මිණි සිගේරා මෙන් ම, ධර්මපි‍්‍රය ඩයස්, ඩබ්ලිව් ජයසිරි, ශ්‍යාම් ප‍්‍රනාන්දු, යශෝධා විමලධර්ම, අනුලා බුලත් සිංහල, රුක්මල් නිරෝෂන්, ගයනි ගිසන්තිකා, සහ සඳලි ඇෂ් ආදි සියලූ නළු නිළියන්ගේ හැකියාවන් කෘතියේ සාර්ථකත්වයට මහඟු පිටිවහලක්ව පවතී. යශෝධා විමලධර්ම ඉතා සුළු චරිත නිරූපණයක යෙදුණ ද ඇයගේ නිරූපණය හා දෙබස් උච්චාරණ ශෛලීය එම චරිතයට වෙනමම අනන්‍යතාවයක් ලබා දී තිබේ. උපුල් චමිල බණ්ඩාරගේ කලා අධ්‍යක්‍ෂණය පසුබිම්ව ගොඩනැෙඟන රූපය චන්න දේශපි‍්‍රයගේ කෘත හස්ත කැමරාකරණයෙන් ද, රවින්ද්‍ර ගුරුගේගේ සියුම් සංස්කරණයෙන් ද, මතු කරනු ලබන ජීවිත අරුත කපිල
 
 පූගොඩආරච්චිගේ සිනමා සංගීතයද නිසල් ගංගොඩවිලගේ ශබ්ද සැලැසුම් කරණයද සමග අප අසන්ධිමිත්තා තුළින් අත් විඳිමු. සන්ධි නොපෙනෙන තරමට ම මහත දෙහෙතකින් යුත් අසන්ධිමිත්තා මනුෂ්‍ය දුවක් බවට පත් කළ අධ්‍යක්‍ෂවරයා, නිසි පරිදි සන්ධි කළ නොහැකි මිනිස් දිවි පෙවෙත ගැන ඉඟියක් ලබා දෙන්නේ ඔය පිරිස සමගිනි. එහෙත් චිත‍්‍රපටයක් සන්ධි කරන තරම් ජීවිතය සන්ධි කිරීම ලෙහෙසි නැති බැවින්දෝ ඔහු තම සිනමා පටය නිම කරන්නේ එ් අයිතිය පේ‍්‍රක්‍ෂක අපට භාර කරමිනි.
 
 තිස්ස පේ‍්‍රමසිරි

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles