Divaina - අවුරුදු සීයයකට කලින් සේනානායක සොහොයුරන්ගෙන් සිංහල අවුරුදු උත්සවයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

awrudusiyaඅපේ රටේ අනාදිමත් කාලයක සිට පැවත එන්නා වූ සිංහල අලූත් අවුරුදු උත්සවය අපේ රට අල්ලා ගන්නට පැමිණි ඒරොප්පේ සුදු ජාතීන් තුන් ගොල්ලකගේ බලපෑම් මත තහනම් කෙරී, වෙනස් කෙරී විවිධ ජාතික අතවරයන්ටද ලක්වූ බව එම යුගවල ඉතිහාසය දෙස සුපරික්‍ෂාකාරීව බලන විට දක්නට ලැබෙන්නේය. ඔවුන් වෙතින් සිංහලයාගේ ප‍්‍රධාන ආගම ධර්මය වූ බුද්ධාගමට වූයේත් එම සන්තෑසියමය. සමහර සිංහලයන් ඔවුන්ට යටත් පහත් වී අපේ කම පැත්තකට දමා ‘වැල යන අතට මැස්ස ගසන්නා සේ. ඔවුන්ගේ නම් ගොත්ද, ආගමද ගෙන, සිංහලයා අසිංහලයා වී ඔවුන්ගේ සියලූ නොපනත්කම්වලටද විප‍්‍රකාර සිරිත් විරිත්වලටද යටත්ව ඔවුන්ගේ දහසකුත් එකක් කුලී කුරක්කම් කරන අඳ බාලයන් බවට පත්වූහ.
 
 එහෙත් ඒ අතරම එසේ තම සිංහලකමත්, බෞද්ධකමත් අපේ ගැමිකමත් රැකගෙන අදීන සිංහල ගරුත්වයේ අභිමානයද රැකගත් උදාර සිංහල ගැමි පවුල්ද, ප‍්‍රභූ පවුල්ද වූහ. ඔවුන් එසේ කළේ එවන් වූ අපේකම ඔවුනගේ ලේවල නියත ලෙස ගැබ්ව පැවැති බැවිනි.
 
 කවර තරමේ නීතියේ බලයක් මතු වුවද කවර තරමේ පුද්ගල මතයක් මතු වුවද මෙසේ ලංකා පාලනභාරය මත සිදුවූ විදේශීය තුන්ගොල්ලගේම පාලන කටයුතුවලදීද අපේකම රැක ගනිමින්, අපේ අයිතිය රැකගනිමින්, අපේ ප‍්‍රධාන ආගම වූ බෞද්ධාගමත්, බෞද්ධකමත් රැකගනිමින් සිංහලකමත් බෞද්ධකමත් රැකගෙනම ඔවුන් තුන් ගොල්ල හමුවේ අදීනව සිටි අයද සිංහලයන් අතර වූහ. එම අධිපතියන් අනුව යමින් සමහර සෙසු ගැමියෝද එසේම තම සිංහලකමත් බෞද්ධකමත් රැකගෙන ජීවත් වූහ. ඔවුහු නිසි ලෙස පසළොස්වක පොහොය දා බෞද්ධ වතාවත් ඉටුකරමින් තෙරුවන් පිහිට පතමින් - ලබමින් තම දිවිය සරු කරගත්හ. වෙසක් දා මෙන්ම පොසොන්දා බෞද්ධාගමේ ප‍්‍රධාන ශාසනික කටයුතු සිදුවූ මාස ලෙස සලකා තෙරුවන් සරණ පතමින් සෙස්සන්ටද ආදර්ශයක් වූහ.
 
awrudu siyaa2 එසේම අවුරුද්දක් ගෙවී යළි නව අවුරුද්දක් එළැඹෙන සිංහල අවුරුදු දින එලෙසම චාරිත‍්‍රානුකූලව ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ගේ අනුශාසනාවලට මුල්තැනදී අවුරුදු චාරිත‍්‍ර ඉටුකර පාරම්පරිකව පැවැත ආ සිරිත් විරිත් තම දූදරුවන්ටද, මුණුපුරු මිණිපිරියන්ටද කියා පහදා දී ඔවුනගේ ඉදිරිය කළඑළි කළහ. බෞද්ධයා පන්සල සමග තිබෙන සම්බන්ධය නොකඩවා පවත්වාගෙන යෑමට මෙම සිංහල අවුරුද්ද විශේෂයෙන් ඉවහල් වේ.
 
 ගමේ ගොඬේ සිදාදියේ පවා සිංහල බෞද්ධයන් අතර යම් යම් ප‍්‍රශ්නවලදී ඇතිවන මතබේදයන් පවා පන්සලේ නායක හාමුදුරුවන්ගේ වචනයක් දෙකක් හමුවේ විසඳී එකමුතු වී ලබන අවුරුද්ද සරුසාර දිවි පෙවෙතක් පවත්වන්න මගපෑදෙන්නේද එවන් වූ සිංහල අලූත් අවුරුදු දිනයේදීය.
 
 සිංහල ගැමි වත්පිළිවෙත් අනුව තම තමන්ගේ ජීවිතද දරු දැරියන්ගේ ජීවිතවලද දියුණුවක් ලබනු පිණිස සිතුම් පැතුම්වල මෙන්ම ජීවන රටාවේද වෙනසක් ඇතිකරවීමට දෙමාපියන් සිංහල අවුරුදු උත්සව සමයේ තම දූ දරුවනට පූර්වාදර්ශ වෙති. එක් අතකින් එය තම පාරම්පරික වත් පිළිවෙත් නිසි ලෙස ඉටු කිරීමක්ද වෙයි. විහාරස්ථානයද සමග ගම්මුන්ගේ පවතින සම්බන්ධතා අලූත් කිරීමටද මෙය මගක් වේ.
 
 කරුණු මෙසේ හෙයින් සිංහල අවුරුද්දේ සිරි අසිරියෙන් මුළු රටම ඇළලන්නේ සිංහල ජනතාවගේ තිබෙන සාමූහික එකතුව විදහා දක්වන්නාක් මෙනි. තම තමන්ගේ යම් යම් දුර්වලතා නිසා ඇතිවී තිබුණු පැරැණි එදිරිවාදිකම් පවා අමතක කොට මේ වැදගත් සිංහල අවුරුදු දිනයේ වැඩිහිටියන්ට බුලත් අතක් දී දෙපාර්ශ්වයේම සුහද සම්බන්ධතාව යළිත් අලූත් කර ගැනීමටද මගපෑදෙයි. සමහර විටෙක නව නෑදෑකම් පවා ඇතිවී පවුල්වලට නවාලෝකයක් ඇතිවීමටද අලූත් අවුරුද්දේ සංහිඳියාව නිසා ඇතිවන්නක් ද පුළුවන. නොයෙකුත් සමාජමය ප‍්‍රශ්න නිසා තමන් වෙතින් පළාගිය සමගිය මෙන්ම සතුටද යළිත් ළගා කර ගැනීමේ මගක් ලෙසද ගම්බද අවුරුදු චාරිත‍්‍ර බෙහෙවින් ඉවහල් වේ.
 
 එසේ ඵලදායක වන - ඵලදායක වූ සිංහල අලූත් අවුරුදු උත්සවය මෙයට හරියටම සියක් වසකට පෙරදී අපේ රටේ එක් ප‍්‍රකට කෝරළයක් පුරා පැවැත්වුණු අන්දම මෙසේ හෙළිකර දැක්විය හැක්කේය.
 
 මෙම සිද්ධි දාමයට මුල් වූයේ හාපිටිගම් කෝරළයයි. වර්ෂ එක්දහස් නවසිය දහ අටේදීය. එයට හරියටම අවුරුදු තුනකට කලින් 1915 දී ඇරඹි සිංහල මුස්ලිම් අරගලය නිසා මුළු රටම භීතියෙන් ජරාදුක් විඳින්නට සිදුවූ යුගය වූ හෙයින් එම විපත පිළිබඳ රුදුරු ගිනිදැල් මේ වන විටද නොයෙක් විට නිවි නිවී දැල්වි දැල්වී පැවතිණි.
 
 ඉංග‍්‍රීසි රජයේ මැකලම් ආණ්ඩුකාරවරයා විසින් යෝජිත සුරා පනතට විරුද්ධව නොබොන සමාගම් පිහිටුවා ගත් සිංහල බෞද්ධ ජනතාව නිසා අසාධාරණ අන්දමින් වධයන්ට පත්වූ - සිරගත කරනු ලැබූ,
 
 දණගස්වනු ලැබූ සිංහල බෞද්ධයන් උදෙසා නව පිබිදීමක් ලෙස වර්ෂ 1918 දී සුවිශේෂී අදහසක් ඇතිවූයේ බෝතලේ සේනානායක වලව්වේ සේනානායක පුතුන් තිදෙනාගේ මද්දුම පුතාවූ දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක මැතිතුමාටය.
 
 ‘අපි ඒ භීෂණ යුගය අමතක කර නව ප‍්‍රබෝධයකින් නැගී සිටින්නට මුළු කෝරළය එකතුව එකට ඇළලී යන අන්දමට අවුරුදු උත්සවයක් පවත්වමු.. යනුවෙන් මෙහිදී ඇෆ්. ආර්. සේනානායක දේශබන්ධුතුමෝ සිය සහෝදරයන් දෙදෙනා සමග කියා සිටියහ. දෙදෙනම එකට ඒකමතිකවම කැමැති වූහ.
 
 ‘ඒක හොඳයි. මේ වේලාවේ හැටියට දුකටත්, අසතුටටත් පත් මිනිසුන්ගේ සිත් සනසාලන අන්දමේ කටයුත්තක් ඒ ගමන්ම කරන්න ඕනෑ. අපි ඒ ඒ ගම්මානවල ගොවීන් අතර බාල, තරුණ, වැඩිහිටි අය අතරත් තරග ඇතිකරවලා ඒවායින් දිනපු අයට ඉහළම තෑගි පිරිනමමු. ඊට පස්සේ තරගවලට සහභාගි වූ හැමෝටම වාගේ සිත සනසන්න යමක් දෙමු. යැයි කීවේ බාලයා වූ හෙයින් ස්ටීවන් සේනානායක මහතාය. තම පවුලට ගොවිතැනින් හා විශේෂයෙන්ම මිනිරන් කර්මාන්තයෙන්ද සෑහෙන ධන සම්භාරයක්ද ගලා එන නිසා එවන් කටයුත්තක් කිරීම ඔවුනට අසීරු කාරණයක්ද නොවේ.
 
 මෙහිදී කතාකළේ මේ වන විට සේනානායක පවුලේ අධිපතීත්වය දරමින් සිටින වැඩිමහලූ දොන් චාල්ස් සේනානායක ප‍්‍රභූවරයාය.
 
 ‘දෙදෙනාගේම අදහස්වලට මමත් සම්පූර්ණයෙන්ම එකගයි. සිංහල, මුස්ලිම් අරගලයෙන් සිත් තැවුල් වෙලා ඉන්න අපේ සිංහල ගැමියන්ට සිත සැනසෙන්න මෙහෙම අලූත් අවුරුදු උත්සවයක් මුළු හාපිටිගම් කෝරළේම පුරා සංවිධානය කරලා තරග පවත්වලා ඔවුනට හිත් සැනසෙන්න ඉහළම තෑගි පිරිනමමු. මම කල්පනා කළා අපේ සිදාදියේ හිතවතුන්ටත් මේ ගැන දන්වන්න. එවිට ඔවුනුත් විවිධ තෑගි සපයයි. එතකොට අපේ ගම්මුන්ටත් හොඳ කලක් ගත කරන්න සිත්වලට දිරියක් ලැබෙන්න පුළුවන්..
 
 සේනානායක සහෝදරයගේ මේ කතාබහ අනුව මුළු හාපිටිගම් කෝරළයේම විහාරස්ථානවලට, දේවස්ථානවලටද ගිය ඔවුහු මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අපේ හාමුදුරුවන්ගේ පමණක්ද නොව පල්ලියේ ස්වාමිලාගේද සහයෝගය ද පැතූහ. එසේම එය මුළු දිස්ත‍්‍රික්කයේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලූ ජාතිකයන්ගේද සාමූහික මහෝත්සවයක් ලෙසද පැවැත්විණි. මෙහිදී ඔවුහු සාමූහිකව දැක්වූ සමගිය හා සහයෝගය සේනානායක සහෝදරයෝ තිදෙනාගේම මවිතයටද හේතුවිය.
 
 එම වර්ෂයේ මාර්තු මාසයේ මැද සිට පැවැත්වූ තරග අතර ගොවිකම්, ජන ගී ගායනා තරග හා වෙනත් පාරම්පරික තරගවලින් වැඩිහිටි, තරුණ පිරිසද ඇලලී යන අන්දමින් කටයුතු සංවිධානය කෙරිණි. මෙහිදී ඉපැරැණි ජන ගායනාවලින් එහි වියපත් පිරිමින් මෙන්ම කාන්තාවන්ද තරුණ තරුණියන් හා සමග එක එල්ලේම තරග කරමින් වැඩි දෙනකුට සතුටක් ලබා දුන්හ.
 
 තරුණ තරුණියන්ටද, ළමා ළපටින්ටද තම තමන්ගේ දැනුම පළකරවමින් තරග කර වටිනා තෑගි දිනා ගැනීම් අවස්ථාද සැලසිණ.
 
 සේනානායක සහෝදරවරුන්ගේ මෙවන් සිංහල අවුරුදු උත්සවයක් කෝරළය පුරා මහත් වූ උද්යෝගයෙන් යුතුව සංවිධානය කරද්දී ඒ ඒ ප‍්‍රදේශවල පොලිස් ස්ථානවල අධිපතීත්වය දැරූ පොලිස් පරීක්‍ෂකවරු පිරිසද ඔවුන් සමග එකට ඈඳී කටයුතු කරන්නට පෙළඹුයේද එම සද්ක‍්‍රියාව නිසාද ප‍්‍රදේශයේ හොර මැරකම් සහ අපරාධ අඩුවූ හෙයිනි. මේ සමයෙහි ක‍්‍රියාත්මක වූ සේනානායකවරුන්ගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය වූ අමiප ව්‍යාපාරයද මෙකල මෙහිදී මනා ලෙසම ප‍්‍රදේශය පුරාම ක‍්‍රියාත්මක වූ හෙයින් එයද ප‍්‍රදේශයේ සාමයටද ප‍්‍රධාන වශයෙන් බලපෑ බව පෙනෙන්නට තිබුණි.
 
 ඞී. සී. සේනානායක මැතිඳුන්ගේ ආයාචනය අනුව අගනුවර එතුමාගේ හිතවතුන්ගෙන් ලැබුණු රෙදිපිළිවලින් මෙසේ සිංහල අවුරුද්ද ප‍්‍රදේශයේ වැඩිහිටි තරුණ බාල දරුවන්ට පවා ඇඳුම් ලබා දීමටද කටයුතු යෙදුණු හෙයින් මෙම අවුරුදු මාසය තුළදීම කෝරළයේ හැම පළාතකටම සතුටු විය හැකි අවස්ථාවක්ද එළැඹිණි.
 
 තිරික්කල් රේස්, ගම හරහා දිවීම, පොරපොල් ගැසීම වැනි පාරම්පරික ක‍්‍රීඩාවලින් දිනූ අයට පිරිනැමුණු වටිනාකමින් යුත් තෑගි අතර රත්රන් පවුම්, මුදල් තෑගිද විය. අධ්‍යාපනික වශයෙන්ද පළාත් දරුවනට තරග මගින් දැනුමද එයට සරිලන තෑගිද ලබා දෙන්නටද විහාරස්ථානවල නායක හාමුදුරුවරු මෙන්ම පල්ලිවල පූජකවරු ද මුල් වූහ. මුස්ලිම් පල්ලිවල පූජකවරු ද, හින්දු කෝවිල්වල නායකයෝද මෙම සිංහල අවුරුදු උත්සවයට සිය උපරිම සහයෝගය දුන්හ. එය ප‍්‍රදේශයේම ජාතික, ආගමික සමගියටද බලවත් ලෙස කැපී පෙණිනි.
 
 නවසිය පහළොවේ භීෂණයෙන් විපතට පත්ව වැලිකඩ බන්ධනාගාරගතව ජරාදුක් විඳීමට ලැබුණු සිංහල බෞද්ධ ජන නායකයන් දින හතළිස් හතරකට පසුව සිරෙන් නිදහස් වීමෙන් අනතුරුව මේ තාක්කල් කරගෙන ගිය ජාතික නිදහස් සටන තව තවත් දිරිගැන් වුණ තරම මෙහිදී මෙම වර්ෂ 1918 අවුරුදු උත්සවයේ ලද පන්නරය සමගම ඇතිවුණු ජාතික ආගමික සමගිය මතුවට රට හැකි ඉක්මණින් ඉංග‍්‍රීසි පාලනාධිකාරියන් නිදහස ලබා ගැනීම උදෙසා දිරිගැන්වීමක් වූ බව වාර්තාගතව ඇත්තේය. එය ඞී. ඇස්. සේනානායක මැතිතුමා යස රෙග්ට ඉටුකළහ.
 
 මෙවන් ලෙස වූ ජාතික විපතකින් පසුව එයට ලක්වූ ජනතාවට මෙසේ සිත සැනසෙන්නට කටයුත්තක් කළ එකම පවුල සේනානායක සහෝදරයන් තුන්දෙනා ලෙසද ඉතිහාසගත විය. එසේම මෙහිදී දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක මැතිතුමෝ තමන්ට අයිතිව තිබූ අක්කර පනහක වත්තක් එම ජයග‍්‍රාහකයන් අතර සාමූහිකව වගා කිරීම සඳහා ලියා දුන් බවද කියැවේ. පසුකලකදී ඞී. ඇස්. සේනානායක මැතිතුමාට රජරට කැලෑ ඉඩම් බවට පත්වී තිබූ සරුසාර ඉඩම් හෙළිපෙහෙළි කොට ඉඩම් නැති රටේ ජනතාවට බෙදා දෙන්නට මුල් වූයේද දේශබන්ධු සේනානායක මැතිතුමා සිදුකළ එම කටයුත්තය.
 
 මෙවන් වූ මහා සද්කාරයක් සිංහල අලූත් අවුරුද්දක මාර්ගයෙන් ඉටුකළ සේනානායක සහෝදරවරුන්ට එම කාර්යයේ විශිෂ්ට ප‍්‍රතිඵල නිසා තවත් දේ ඉටුකිරීමට අදහසක්ද ඇතිවිය. එය සිදුවූයේ තමන්ගේ ඉඩකඩම් හෙට්ටින්ට උකස් කිරීමෙන් අනතුරුව ඒවා පසුව ඔවුනටම සින්න වීමෙන් වු විත්තියක් පිළිබඳව අඳෝනාවකි. එයින් බලවත් ලෙස හිත් වේදනාවට පත් ඔවුන් කළේ එම හෙට්ටින් හමුවී ඔවුනට වියදම් වූ මුදල හා පොලී මුදල තමන් විසින් ගෙවා එම සින්න වූ ඉඩම් යළි ගම්වැසියන්ට ලියා දීමයි. මෙහිදී සේනානායකවරුන් කළේ එම ඉඩම් විකිණීමට නොහැකි වන ලෙස ඔප්පු සකස් කර දී ඒවා පරම්පරාවෙන් පරම්පරාවට හිමිවිය යුතු ලෙස නීති සකස් කිරීමයි. එම හිමිවී කටයුත්ත නිසා මේ වන විට හෙට්ටින්ට සින්න වී තිබූ අපේ සිංහලයන් ඉඩම් විශාල ප‍්‍රමාණයක් යළි සිංහලයන්ට අයිතිවිය.
 
 එක් කෝරළයක එවන් කටයුත්තක් සිදුකළ වෙනත් ජන නායකයන් ගැන අපේ මෑත කාලයේ ඉතිහාසයේ සඳහන් වන්නේ ද නැත. එසේ එදා සේනානායකවරුන් තම ධනය පොදු මහජනයා හමුවේ බෙදා දුන්නා සේම පසු කාලෙක සිටි සේනානායකවරුද එසේම කටයුතු කර සෙස්සන්ට පූර්වාදර්ශ බවට පත්වූහ.
 
 සෝමසිරි කස්තුරිආරච්චි

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles