Divaina - ඇහැට පෙනෙන සිතට දැනෙන අප උදාකළ සංවර්ධනය අපේ ජනපතිවරයෙක් යටතේ ඉදිරියට ගෙන යනවා....! ලෝකයෙන් කොන්වූ රටට අපි අභිමනයක් ගෙනවා....!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- අගමැති රනිල් වික‍්‍රමසිංහ කියයි
 ranil
 
 *
 
 සාකච්ඡාව කළේ
 මනෝජ් අබයදීර
 
තම පාර්ශ්වයේ අපේක්‍ෂකයා වෙනුවෙන් ජනරැලි ගණනාවක් ඇමතීම සඳහා ඔහු සූදානම්ව සිටියේය. අගමැතිවරයකුට සිය දෛනික කාර්යබහුලත්වය අතරේ සැහැල්ලූ ලෙස අරලියගහ මන්දිරයේදී කතා කළ නොහැකි තරම්ය. එසේ වුවත් තැනට උචිත සැහැල්ලූව ඔහු සතුය. දේශපාලනයේදී පැමිණෙන අර්බුද ‘පැණිරස’ සේ හඳුනාගත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සහ ආණ්ඩුවේ වසර පහක ශේෂපත‍්‍රය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
 
 ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටනක් මේ වනවිට ඇතිවී තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව ඔබේ ස්ථාවරය කුමක්ද?
 
 පිළිතුර - 2019 ජනාධිපතිවරණය ඉතා සාමකාමී මැතිවරණයක් බව කිව යුතුයි. මෙලෙස මැතිවරණය සාමකාමීව පැවැත්වීමට හැකිවී තිබෙන්නේ පසුගිය වසර හතරහමාර අපේ රජය ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. මේ මැතිවරණයේදී නිවාස ගිනි තැබීම්, පහරදීම්, ඝාතන දකින්න නැහැ. ආණ්ඩු පක්ෂයේ අයත් විපක්ෂයේ අයත් අද බය සැක නැතිව තම මැතිවරණ ව්‍යාපාරයේ නියැළෙනවා. එමෙන්ම බුද්ධිමතුන්, විද්වතුන් තම අභිමතය පරිදි ප‍්‍රසිද්ධියේ දේශපාලන වැඩකටයුතුවල නිරත වෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ ආකාරයට සාමකාමී පරිසරයක් නිර්මාණය කරන්න යහපාලන රජය ගත් පියවර කුමක්ද?
 
 පිළිතුර - සුළුතර ආණ්ඩුව යටතේ වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කර ගනිමින් ස්වාධීන මැතිවරණ කොමිසම අප ස්ථාපිත කළා. මේ නිසා අද මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කිසිදු බාධාවකින් තොරව, ඇඟිලි ගැසීම්වලින් තොරව තම රාජකාරිය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙනවා.
 
 එපමණක් නොවෙයි ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම වැනි කොමිෂන් සභා ක‍්‍රියාත්මක කරමින් සැමට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරයක් අප නිර්මාණය කළා.
 
 ඕනෑම අයකුට තමන් කැමැති දේශපාලන පක්ෂයට ඡුන්දය දෙන්න, තමන් කැමැති ආකාරයට කටයුතු කිරීමට හැකි නිදහස අප ඇති කළා.
 
 2015 ට පෙර මෙවැනි වාතාවරණයක් රට තුළ තිබුණේ නැහැ. ඒ යුගය ඔබට මතක ඇති එදා මාධ්‍යවේදීන් ඝාතනය කළා. සුදුවෑන් යොදවා පැහැරගෙන කනත්තට ගෙන ගිය යුගය වෙනස් කරමින් ඒ වෙනුවට සුව සැරිය සුදුවෑන් යොදවා ගෙදර සිට රෝහලට ගෙන ගොස් ජීවිත ආරක්ෂා කරන ක‍්‍රමවේදය අප ඇති කළා. මාධ්‍ය ආයතන ගිනි තැබුවා. අද කොපමණ විවේචනය කළත් පැහැරගෙන යෑම, ගිනි තැබීම්, ඝාතනය කිරීම් සිදුවන්නේ නැහැ. එවැනි නිදහස් සමාජයක් අප ඇති කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ඡුන්දය දී අප ඇති කළ මේ නිදහස ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යනවද එසේත් නැතිනම් ගෝඨාභයට ඡුන්දය දී නැවතත් අඳුරු යුගයකට රට ගෙන යනවද කියා ලබන මස 16 වැනිදා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - ගෙවුණු පස් වසර තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට හෝ ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වූ බවට විපක්ෂය චෝදනා කරනවා. මේ චෝදනාව භාරගැනීමට ඔබ සූදානම්ද?
 
 පිළිතුර - ඕනෑම කෙනෙකුට චෝදනා කළ හැකියි. නමුත් අප නිහඬ වැඩකොටසක් සිදු කළා. ඒ පියවර තුළින් ජනතාවට සහන ලබාදීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපට හැකි වූ බව කිව යුතුයි. ඒ අතර ඞීසල්, පෙට‍්‍රල් හා අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරන්න අපට හැකි වුණා.
 
 2015 අපේ ආණ්ඩුව බලයට පත්වන විට මේ රට ගැන ලෝකයේ කිසිදු රටක් විශ්වාසයෙන් බැලූවේ නැහැ. විශ්වාසය කඩවී අපි ලෝකයෙන් කොන් වූ රටක් බවට පත්ව තිබුණා. අප බලයට පැමිණ ඒ විශ්වාසය ගොඩනැඟුවා. අද ලෝකයේ සියලූ රටවල් සමග අපි මිත‍්‍රත්වයෙන් කටයුතු කරන බව කියන්න කැමැතියි.
 
 අපි බලයට පැමිණෙන විට මේ රට ආර්ථික වශයෙන් දැඩි කඩාවැටීමකට ලක්ව තිබුණා. රාජපක්ෂ පාලනය තුළ වසර 10 ක් තිස්සේ ලබාගත් ණය කෙතෙක් ද කියනවා නම් 2015 වන විට ණය වාරිකයවත් ගෙවා දැමීමට අපට හැකියාව තිබුණේ නැහැ. අපි ප‍්‍රථමයෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් බවට මෙරට ආර්ථිකය පත් කර ගැනීමට පියවර ගනු ලැබුවා.
 
 මේ කාලය තුළ අභියෝග රැසකට අපට මුහුණ පෑමට සිදු වුණා. නියඟය, ගංවතුර, කුණු කන්ද කඩාවැටීම, අගමැති කම හා ආණ්ඩුව පැහැරගැනීම, පාස්කු බෝම්බ ප‍්‍රහාරය වැනි විපත් ගණනාවකට මුහුණ පෑමට සිදුවුණා. මේ අභියෝගවලට මුහුණදෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට අප කටයුතු කළා. අපට භාරගැනීමට සිදු වුණේ ණය කන්දක් පමණක් නොව නැව් නැති වරායක්, ගුවන් යානා නැති මත්තල ගුවන් තොටුපොළක්, ක‍්‍රිකට් ක‍්‍රීඩා නොපවත්වන ක‍්‍රීඩා පිටියක්, සම්මන්ත‍්‍රණ නැති හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාවක් සුදු අලිබවට පත්ව තිබූ මේ සියල්ල රටේ ආර්ථිකයට දායක වන ආකාරයට සකසා ගැනීමට අපට සිදු වුණා.
 
 මේ කටයුතු ඉදිරියට ගෙන යන ගමන් රටේ ක‍්‍රමානුකූල සංවර්ධනයක් සඳහා සෙසු ක්ෂේත‍්‍ර දියුණු කිරීමට අප කටයුතු කළා. ගම්පෙරළිය, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැනි වැඩසටහන් හඳුන්වාදෙමින් ගමේත්, නගරයේත් දියුණුවක් ඇති කිරීමට ක‍්‍රියා කළා. කර්මාන්ත කලාප, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ ඉදිකළා. ග‍්‍රාමීය මට්ටමේ සිට යටිතල පහසුකම් දියුණු කළා.
 
 ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා, වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළා, සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය හඳුන්වා දුන්නා. පාසල් දරුවන්ට ටැබ් පරිගණකය ලබාදීමට පියවර ගත්තා, මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 5000 කින් වැඩි කළා.
 
 සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් විශාල වැඩකොටසක් අප සිදු කළා. සියලූ රෝහල්වලට අවශ්‍ය ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් ලබාදුන්නා. ඖෂධ 48 ක මිල අඩු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබාදුන්නා. පැය 24 පුරාවටම ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව නොමිලයේ ලබාදුන්නා. වකුගඩු රෝගීන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ ලබාදුන්නා. අක්ෂි කාච ලබාදුන්නා. පිළිකා රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 500,000 දක්වා සීමා කර තිබූ ප‍්‍රතිකාර ජීවිතාන්තය දක්වා ලබාදුන්නා. මාර්ග පද්ධතිය පුළුල් කළා, නව මංමාවත් ඉදිකළා, ජී. එස්. පී. ප්ලස් සහනය ලබාගත්තා, එමෙන්ම පවුල් ලක්ෂ 6 ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදුන්නා, වතුකම්කරුවන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළා. මෙලෙස රටේ විවිධ ක්ෂේත‍්‍රවල යෝධ සංවර්ධනයක් අපේ ආණ්ඩුව සිදු කළ බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - නමුත් විපක්ෂය චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව ඇඟට දැනෙන සංවර්ධනයක් නොකළ බවයි.
 
 පිළිතුර - අප සිදු කළ සංවර්ධනය ජනතාවගේ ඇහැට පේනවා. ජනතාවගේ හිත්වලටත් දැනෙනවා. නමුත් අඬබෙර ගහන්න ගියේ නැහැ. වෙනස එයයි.
 
 අපි රට පුරා සංවර්ධනය නිහඬව සිදු කළත් රාජපක්ෂ පාලනය මෙන් මහජන මුදල් වැය කරමින් අපි කටවුට් ගැහුවේ නැහැ. බැනර් ගැහුවේ නැහැ. වෙනත් කටයුතු සඳහා මුදල් නාස්ති කළේ නැහැ. ඒ සඳහා වැය වන මුදල් ද ජනතා යහපත වෙනුවෙන් යෙදෙව්ව බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණෙන හැම අවස්ථාවකම රාජ්‍ය සේවයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවට වෘත්තීය සමිති පැත්තෙන් අසන්නට ලැබෙනවා. ඇයි මෙලෙස රාජ්‍ය සේවකයන් නොසලකා හරින්නේ.
 
 පිළිතුර - රාජපක්ෂ පාලනය පැවැති දස වසර තුළ රාජ්‍ය සේවකයන් සඳහා කුඩම්මගෙ සැලැකිල්ල දැක්වූ බව කීවොත් එය නිවැරැදියි. නමුත් අපි එලෙස කටයුතු කළේ නැහැ. අප හැම විටම රාජ්‍ය සේවය ස්වාධීන කරමින් ඒ සේවකයන්ගේ ජීවන මට්ටම උසස් කළා.
 
 වත්මන් රජය කොපමණ ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටියත් 2015 බලයට පැමිණ රාජ්‍ය සේවක වැටුප 107% අපි වැඩි කළා. මෙලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ ආණ්ඩුවක් ඉතිහාසයේ බලයට පත්ව නැහැ. 2015 අපේ ආණ්ඩුව බලයට පත්වන විට රාජ්‍ය සේවකයන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියා. ඔවුන්ගේ වැටුප් අපි රුපියල් 10,000 වැඩි කළා. එදා කාර්යාල කාර්ය සහායකයකුගේ මාසික වැටුප රුපියල් 11,730 යි. එය 24,250 දක්වා වැඩි කළා. හෙද සේවයේ එදා රු. 15,620 යි. අද 32,525 යි. උපාධිධාරී ගුරුවරයෙකුගේ එදා වැටුප 16,100 යි. අද 33,300 යි.
 
 රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු හා උසස්වීම් දේශපාලකයන්ට වුවමනා ආකාරයට සිදුකළ හැකි ක‍්‍රමවේදය අප වෙනස් කළා. මෙලෙස වැටුප් වැඩිකරමින් රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කර තිබෙන පසුබිමක් තුළ අපි රාජ්‍ය සේකයන්ට සැලැකුවේ නැති බවට කිසිවකුටත් චෝදනා කළ නොහැකියි.
 
 රාජ්‍ය සේවකයන්ගේ පමණක් නොව රටේ අනෙකුත් අංශවල සේවකයන්ගේ ආදායම් මාර්ග ඉහළ දැමීමට අප පියවර ගෙන තිබෙන බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - නමුත් අගමැතිතුමනි බඩු මිල පහළ නොයෑම තුළ අද රටේ ජනතාව දැවැන්ත ජීවන සටනක පැටලී සිටිනවා. වැටුප් වැඩි කළා නම් ආදායම් මාර්ග වැඩි කළා නම් මෙහෙම වුණේ කොහොමද?
 
 පිළිතුර - ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට ඔබ නගන චෝදනාව මට පිළිගන්න බැහැ. මම කැමැතියි 2015 වන විට පැවැති බඩුමිල සහ අද තිබෙන බඩු මිල ගැන සුළුවෙන් ඔබට මතක්කර දීමට.
 
 2015 අපේ ආණ්ඩුව බලයට පත්වන විට පෙට‍්‍රල් ලීටරයක මිල රු. 162 යි. අද 137 යි. එදා ඞීසල් ලීටරය 118 යි. අද 104 යි. එදා භූමිතෙල් 110 යි. අද 90 යි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එදා 2650 යි. අද 1493 යි. පරිප්පු කිලෝවක් එදා 240 අද 120.50 යි. කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් එදා 410 යි. අද 345 යි. සීනි කිලෝවක් එදා 120 යි. අද 100 යි. සැමන් ටින් එකක් එදා 275 යි. අද 190 යි. මෙලෙස බඩුමිල අඩුකළ ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණ ද කියා ඔබට කිව හැකිද?
 
 2015 පැවැති බඩු මිල අපට අඩු කිරීමට හැකි වුවත් රාජපක්ෂ පාලනය මෙතෙක් තිබුණා නම් එදා පැවැති බඩුමිල අද වනවිට කිහිප ගුණයකින් ඔවුන් ඉහළ දමනවා.
 
 ප‍්‍රශ්නය - රටේ නිදහස ස්ථාපිත කරමින් බඩු මිල අඩු කරමින් යහපත් වාතාවරණයක් ගොඩනැගූ බව ඔබතුමා ප‍්‍රකාශ කළත් තවමත් රටේ උද්ඝෝෂණ හා විරෝධතා වැඩවර්ජන වල අඩුවක් දකින්නට නැහැ නේද?
 
 පිළිතුර - ඔබ කියන ආකාරයේ උද්ඝෝෂණ, පෙළපාලි, වැඩවර්ජන නිරතුරුවම දකින්නට අප ඇති කළ නිදහස් සමාජය නිසයි. එදා උද්ඝෝෂණ හා විරෝධතා දැක්වූ අයට මුහුණදීමට සිදුවූ ඉරණම අද බොහෝ අයට අමතක වූ බවක් පෙනෙන්නට තිබෙනවා.
 
 වසර දහයක රාජපක්ෂ පාලනය තුළ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටි ජනතාවට වෙඩි තැබුවා. ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා ඝාතනය කළා. ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලා සිටි ජනතාවට වෙඩි තැබුවා. ඝාතනය කළා. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උද්ඝෝෂණය කළ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කළා. නමුත් ගතවූ අපේ පාලනය කාලය තුළ කිසිදු විරෝධතාවක් වෙඩි තබා ඝාතනය කර මර්දනය කළේ නැහැ. මේ වෙනස රටේ ජනතාව අවබෝධ කරගෙන කුමන වෙනස ද ඔබට අවශ්‍ය කියා තීරණය කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - මෙවර මැතිවරණ, වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවල් බවට ජාතික ආරක්ෂාව පත්ව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ප‍්‍රතිවාදී ආපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කරනවා. ඇත්තටම
 
 අගමැතිතුමනි ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන බවට ඔබට සහතික විය හැකිද?
 
 පිළිතුර - රටේ ජාතික ආරක්ෂාව අප තහවුරු කර තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද කියා එතුමා ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් ජාතික ආරක්ෂාව ගැන පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව සම්බන්ධව තමන්ගේ වැඩපිළිවෙළ රටට හෙළි කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙනවා නම් පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ආගමික සිද්ධස්ථාන හා ප‍්‍රධාන හෝටල් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවූයේ කෙසේද?
 
 පිළිතුර - පාස්කු බෝම්බ ප‍්‍රහාරය අන්තවාදී නොමග ගිය කිහිප දෙනෙක් එල්ල කළත් අපි ඔවුන්ට ත‍්‍රස්තවාදී ලෙස හඳුන්වා ඔවුන්ට එරෙහිව ක‍්‍රියා කළා. සතියක් ගතවීමට පෙර ප‍්‍රහාරයට සම්බන්ධ සෑම කෙනෙක්ම අනාවරණය කර ගැනීමට අපට හැකි වුණා. මෙහි සිදුවූ අඩුපාඩු අප වසන් කරන්න ගියේ නැහැ. සිද්ධිය ඇතිවීමත් සමග ඊට පාදක වූ හේතු සොයා බලමින් එවැන්නක් මින් මතුවට සිදු නොවීමට අදාළ පියවර ගනු ලැබුවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මම එම සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා. ඒ සියල්ල රටේ ජනතාවට අප විවෘත කළා.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ සොයා බැලීමට පත් කරන ලද තේරීම් කාරක සභාව වැදගත් කාරණා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව පවා පොහොට්ටු පක්ෂය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මෙලෙස ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ගෙන එනවාට කුමන හේතුවක් නිසා ද කියා ගෝඨාභය රාජපක්ෂ රටට හෙළි කළ යුතුයි.
 
 අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප‍්‍රහාරය සිදු කළ අවස්ථාවේ එවැනි ප‍්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත්, ගෝලීය ත‍්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම අමෙරිකානු ජනාධිපති ට‍්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පුද්ගලිකවම කතා කොට සහාය ඉල්ලා සිටියා.
 
 ඒ අවස්ථාවේ රාජපක්ෂ කඳවුර කළේ අප ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත‍්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.
 
 ඇමෙරිකාව සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමකින් අයි. එස්. අයි. එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කර තියෙනවා. මේ ක‍්‍රියාව ගෝලීය ත‍්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මම මේ මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට‍්‍රම්ප්ට ප‍්‍රශංසාව පළ කළා.
 
 එලෙස ප‍්‍රශංසාව පළ කළේ අප පමණක් නොවෙයි. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයත් ඔවුන්ගේ ස්තුතිය පළ කර තිබෙනවා.
 
 අපේ‍්‍රල් 21 වැනිදා ශ‍්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරයට අනුබල දුන් බවට සැක කෙරෙන අයි. එස්. අයි. එස්. සංවිධානයේ ත‍්‍රස්ත නායකයාගේ ඝාතනය ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනාටම යම් අස්වැසිල්ලක් වනු ඇති බව ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය (්ක්‍න්‍ඹ) ප‍්‍රකාශක කර තිබෙනවා.
 
 ජාතික ආරක්ෂාව සහ දේශපේ‍්‍රමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්ෂලා මේ ගැන වචනයවක්වත් කතා කර නැහැ. අදහස් දැක්වීමක් සිදු කර නැහැ. ජාත්‍යන්තර ත‍්‍රස්ත නායකයෙක් ඝාතනය කිරීම පිළිබඳ ගොළුවත රකින්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනවා.
 
 අල් බග්ඩාඩිගේ ඝාතනය සමග අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදය මුළුමනින්ම නැති වන බව මම ප‍්‍රකාශ කරන්නේ නෑ. නමුත් ජාත්‍යන්තරය සමග එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත‍්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත්, ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීමටත් අපට අවස්ථාව උදාවෙනවා.
 
 ප‍්‍රශ්නය - මෙවර මැතිවරණයේදී කාන්තා හා තරුණ ගැටලූ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර නැති බව පෙනෙන්නට තිබෙනවා නේද?
 
 පිළිතුර - කාන්තා හා තරුණ අයිතිවාසිකම් ආරක්ෂා කර ඔවුන්ට නිසි අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් හැමදාම කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව බව කිව යුතුයි.
 
 මෙවර අපේ ජනාධිපති අපේක්ෂක තරුණ තරුණියන් වෙනුවෙන් මෙන්ම කාන්තාවන් වෙනුවෙන් වෙනම ප‍්‍රඥප්තියක් හඳුන්වා දී ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒවා එතුමගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. ප‍්‍රතිවාදි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එහෙම නිසි වැඩපිළිවෙළක් තිබෙන බව පෙනෙන්නට නැහැ.
 
 ප‍්‍රශ්නය - උතුරේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර දීම සඳහා වත්මන් ආණ්ඩුව ක‍්‍රියා නොකළ බවට චෝදනාවක් එල්ල වෙනවා. මෙවැනි පසුබිමක ඒ ජනතාවගේ සහයෝගය ජනාධිපතිවරණයට ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?
 
 පිළිතුර - උතුරේ ජනතාව අප කිසිවිටකත් අමතක කළේ නැහැ. දකුණේ මෙන් උතුර සංවර්ධනය කිරීමට මෙන්ම සංහිඳියාව ඇති කිරීමට අපි වැඩකටයුතු සිදුකර තිබෙනවා.
 
 2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව උතුරේත්, දකුණේත් දුක්ගැනවිලි විඳීමටත්, රටේ තිරසර සාමය සහ සංවර්ධනය සඳහාත්, අවශ්‍ය පදනමක් හැටියට පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවල අදහසුත්, පාර්ලිමේන්තුවෙන් පිටත අදහසුත් අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා. මෙහිදී මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් හැටියට ක‍්‍රියා කළා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය ගැන විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
 
 එපමණක් නොවෙයි උතුරේ සැබෑ සංවර්ධනයක් සඳහා පියවර ගැනුණේ 2015 න් පසුවයි. උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට අපට හැකි වුණා. නිවාස, මංමාවත්, පාසල්, සෞඛ්‍ය දියුණු කිරීමට අපට හැකි වුණා. යාපනය ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමට අපට හැකි වුණා. මේ අනුව උතුරේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ මූලික වැඩපිළිවෙළ මේ වනවිට දියත් කර තිබෙන බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි විශ්වාසයක් තිබෙනවාද? ඒ සඳහා ඔවුන් සමග කොන්දේසියකට පැමිණ තිබෙනවාද කියා දැනගන්න කැමැතියි.
 
 පිළිතුර - දෙමළ ජාතික සන්ධානය සහ අප අතර උතුරේ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු කරුණු කාරණා හා ඒ ප‍්‍රදේශ දියුණු කරමින් දේශපාලන විසඳුමක් ගෙන ඒම පිළිබඳව දිගුකලක සිට සාකච්ඡා කරනවා. ඒ වැඩපිළිවෙළ හොර රහසේ කරන එකක් නොවෙයි. අපේ අරමුණ ඒ වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන ගොස් උතුරත්, දකුණත් එකසේ දියුණු කර මේ රටට යහපත් අනාගතයක් උදාකර දීම බව කිව යුතුයි.
 
 ප‍්‍රශ්නය - අවසන් වශයෙන් ඔබතුමාට මොනවද කියන්න තිබෙන්නේ.
 
 පිළිතුර - වත්මන් පාලනය යටතේ ගත වූ කාල පරිච්ජේදය තුළ තහවුරු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ලබාදුන් නිදහස නැවැත යටපත් කිරීමට ඉඩ නොදිය යුතුයි. ඒ සියලූ අයිතීන් ආරක්ෂා කර රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ ලබන 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ජනාධිපති ධුරයට පත් කළොත් පමණයි. ඒ ජයග‍්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර 125 හිමි බහුතර ආණ්ඩුවක් පිහිටුවා විශාල පිම්මක් ඉදිරියට යන සීග‍්‍ර දිණුවකට යෑම අපේ අරමුණයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles