Divaina - සාර කතා, මාර කතා සමග ජනපතිවරණ වේදිකා රස ගැන්වුණු සතියක්... කාන්තාවන්ගේ ප‍්‍රශ්නත් සජිත්ට සංවේදී වන අයුරු... ජනාධිපති මෛත‍්‍රීගෙන් මංගලට නියෝගයක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



poli
බුලිත ප‍්‍රදීප් කුමාර


වැහිබර කාලගුණයක් සහිත තෙත බර සතියක් වුවත් පසුගිය සතිය උණුසුම්ව තිබුණේ දේශපාලනය නිසාය. 2019 ජනාධිපතිවරණයේ සටන් උණුසුම නිසා රට පුරා පැවති අයහපත් කාලගුණයේ ඇවතුම් පැවතුම් පවා රටේ ජනතාවට දැනුණේ නැති තරම් යැයි කීවොත් එහි කිසිත් අතිශයෝක්තියක් නැත.

දේශපාලන කරලියේ තුන් කොන් සටනක් ඇවිලී තිබිණි. ශ‍්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තේරීම සඳහා ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින අපේ‍්‍රක්ෂකයන් අතරින් කැපී පෙනෙන වේගවත්ම හා දැවැන්තම ප‍්‍රචාරක ක‍්‍රියාන්විතය ක‍්‍රියාවට නගා තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය යි. එය සටන් පෙරමුණු තුනක් මගින් ක‍්‍රියාත්මක වන්නට විය. නෙලූම් මාවත කාර්යාලය මගින් රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම විසිර පැතිර සිටින පළාත් පාලන නියෝජිතයන් හා පළාත් සභා නියෝජිතයන් හරහා බැසිල් රාජපක්ෂ එක් සටන් පෙරමුණක් බිම් මට්ටමින් ක‍්‍රියාත්මක කළේය. තවත් සටන් පෙරමුණක් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් විජේරාම මාවතේ විපක්ෂ නායක නිල නිවසේ සිට ක‍්‍රියාත්මක වූ අතර අනෙක් සටන් පෙරමුණ වියත්මග හා එළිය ආදී සංවිධාන හරහා

ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ක‍්‍රියාත්මක විය. මේ සටන් පෙරමුණ තුන විසින් දැවැන්ත ලෙස රට පුරාම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ක‍්‍රියාන්විතය අති සාර්ථක අන්දමින් මෙහෙයවන ආකාරය පසුගිය සතියේ අපට දැකගත හැකි විය.

සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රචාරක ක‍්‍රියාන්විතය ක‍්‍රියාත්මක වූයේ සටන් පෙරමුණු දෙකක් මගිනි. වොක්ෂෝල් වීදියේ ප‍්‍රධාන ප‍්‍රචාරක මෙහෙයුම් කාර්යාලයේ සිට තිස්ස අත්තනායකගේ නායකත්වයෙන් එක් මෙහෙයුමක් ක‍්‍රියාත්මක විය. සජිත් පේ‍්‍රමදාස පවා රට පුරා යමින් ප‍්‍රචාරක ව්‍යාපෘති වලට සහභාගී වූයේ තිස්ස අත්තනායකගේ සැලසුම් වලට අනුවයි. අනෙකුත් මෙහෙයුම් සියල්ල ඒකාබද්ධ වූයේ සිරිකොත මන්දිරය හා අරලියගහ මන්දිරය ප‍්‍රමුඛ කොට ගත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ක‍්‍රියාන්විතය තුළ ය. මේ අවස්ථාවේ දී යම් යම් ආකූල ව්‍යාකූලතා පෙන්නුම් කරමින් ගියත් පසුගිය සතිය වන විට සජිත්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ක‍්‍රියාන්විතයද ගෝඨාභයගේ මෙහෙයුමට සමාන්තර වන මට්ටමට පැමිණ තිබිණි.

තුන්කොන් සටනේ තුන්වෙනි පාර්ශ්වය නියෝජනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයුමෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගයයි. එම පෙරමුණේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් රට පුරා ක‍්‍රියාත්මක කළ ජනාධිපතිවරණ ඡුන්ද ප‍්‍රචාරක ක‍්‍රියාන්විතයද සුළුපටු නොවීය.

මේ ආකාරයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ රට පුරා තැනින් තැන යමින් දැවැන්ත ප‍්‍රචාරක රැලි වලට සම්බන්ධ වීම නිසා මුළු රටම අමුතු උනන්දුවකින් දේශපාලනය කෙරෙහි අවධානය යොමු කරමින් අනෙකුත් වැඩ කටයුතු මඳකට පසෙක තබා සිටින ආකාරය අපට දැකගත හැකි විය. මෙම උණුසුම උතුරු නැගෙනහිර දෙපළාතට පවා වෙනදාට වඩා දැඩි ලෙස දැනෙන්නට වූ බව පැහැදිලි විය.

ගෝඨාභයට මාතලෙන්
ගමේ කෑම වේලක්...


ගෝඨාභයගේ ජයග‍්‍රහණය තහවුරු කෙරෙන ජනරැලි මාලාවක් පසුගිය ඉරිදා මාතලේ දිස්ත‍්‍රික්කයේ දී පැවැත්විණි. ප‍්‍රථමයෙන් පැවැත්වුණේ මාතලේ නගරයේ ජනරැලියයි. රැලිය සංවිධානය කර තිබුණේ රෝහණ දිසානායක විසිනි. තරමක වැසි ඇද වැටුණත් විශාල ජනකායක් එම රැලියට එක්ව සිටියහ.

මාතලේ නගරයේ පැවැති රැලියෙන් පසුව ගෝඨාභය රත්තොට බලා ගියේය. අනතුරුව නැවතත් මාතලේ බලා ආවේ දිවා ආහාරය ගැනීමටය. රෝහණගේ බිරිය විසින් දේශීයත්වයට මුල්තැන දෙමින් රසවත් දිවා ආහාර වේලක් සූදානම් කර තිබුණි. කෑම ටික රසයි කියමින් ගෝඨාභය දිවා ආහාරය ගත්තේය.

අනතුරුව එතැන සිටි මාතලේ වැසියන් සමඟ සුහදව කතාබහ කළ ගෝඨාභය ඔවුන්ට වුවමනා තරම් සෙල්ෆි ගන්නට ද ඉඩ දී සිටියේය. පසුව ලග්ගල බලා ගිය ගෝඨාභය එදිනම සවස මැදිරිගිරිය නගරයේ පැවැති ජනහමුවකට ද සහභාගී විය.

පසුගිය සතියේ පොදුජන පෙරමුණේ ජනරැලි කිහිපයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණි. යාපනය, පේසාලේ, වාලච්චේන, මඩකලපුව, අම්පාර, කන්තලේ වැනි නගර කිහිපයකම දැවැන්ත ජනරැලි පැවැත්වුණේ මහින්දගේ සහ ගෝඨාභයගේ ප‍්‍රධානත්වයෙනි. අන් කවරදාටත් වඩා දෙමළ ජනතාවගේ සුවිශාල පිළිගැනීමක් මෙම සංචාරයේදී මහින්දට සහ ගෝඨාභයට හිමිව තිබුණේය.

සියලූම රැස්වීම් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරයක් ද දැකගන්නට ලැබුණි. විශේෂයෙන් පේසාලේදී සහ මඩකලපුවේදී ලැබුණු පිළිගැනීම ඉන් ඉහළම ස්ථානයක් ගත්තේය. දෙමළ ජනතාව සිටින රැස්වීම්වලදී මහින්ද සුපුරුදු පරිදි දෙමළ භාෂාවෙන් අදහස් දැක්වීම බොහෝ දෙනා අගය කළ කරුණක් විය.

ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු නිසා ප‍්‍රසන්න මේ දිනවල ගත කරනුයේ අවිවේකී දිවි පෙවෙතකි. පසුගිය සතියේ එක් දිනක බියගම ආසනයේ රැස්වීම් 50 ක් ඇමතූ ප‍්‍රසන්න ඊට පසුදින දොම්පේ ආසනයේ රැස්වීම් 50 ක් ඇමතුවේය. දොම්පේ ආසනයේ අවසන් රැස්වීම්වලට එන විට ප‍්‍රසන්න සිටියේ වචනයක් කතා කර ගත නොහැකි මට්ටමකය.

ඉතා අසීරුවෙන් හස්ත සංඥා ද උපයෝගි කරගනිමින් අවසන් රැස්වීම් කිහිපයත් ඇමතූ ප‍්‍රසන්නට සිදුවූයේ රැස්වීම්වලින් අනතුරුව බෙහෙත් ගැනීමටය. වෛද්‍යවරයා ප‍්‍රසන්නට අනතුරු ඇඟවූයේ කතා කිරීමෙන් වළකින ලෙසය. එක් දිනක් හෝ රැස්වීම් වල කතා කිරීමෙන් වළකින්නැයි ප‍්‍රසන්නගේ බිරියත් උදක්ම ඉල්ලා සිටියාය.

එහෙත් පසුදින නැවතත් ගම්පහ ආසනයේ රැස්වීම් තිබුණු නිසා ප‍්‍රසන්නට බිරියගේ හෝ වෛද්‍යවරයාගේ ඉල්ලීම ඉටු කරන්න ලැබුනේ නැත. ”මෙච්චර වැඩ තියෙද්දි කොහොමද කතා නොකර ඉන්නේ? මිනිස්සු බලන් ඉන්නේ අපේ කතා අහන්න” යැයි කී ප‍්‍රසන්න රැස්වීම්වලට සහභාගී වූයේය.

රටේ තාරුණන්‍යය සමඟ
සජිත් ගිවිසුමකට එනවලූ...


පසුගිය සතියට පෙර සතියේ අධික ලෙස මහන්සි වී රැස්වීම් ගණනාවකටම සහභාගි වෙමින් රට පුරා ඇවිදීම නිසා සජිත් පේ‍්‍රමදාස පසුගිය සති අන්තය වන විට අපමණ ලෙස වෙහෙසට පත්ව සිටියේය. එහෙත් ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ රත්නපුර දිස්ත‍්‍රික් දිස්ත‍්‍රික් රැස්වීම් මාලාවට සහභාගි වන්නට යෑමට ඔහුට සිදුවී තිබිණි.

එහිදී සජිත්ට තලතාගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි. අනතුරුව ලද විවේකයකින් සජිත් හා තලතා ආගිය තොරතුරු ගැන කතාබහ කරමින් සිටියේ මෙසේය.

කවුරු ජනාධිපති වුණත් හමුදාපතිව වෙනස් කරන්න ඕනද මොකද්ද කියලා කතාවක් යනවා. ඔබතුමා මොකද්ද කරන්න හිතන්නේ මේකට.

කාගෙවත් බලපෑම්වලටවත් කොන්දේසි වලටවත් වැඩ කරන්න මේ සජිත් පේ‍්‍රමදාස ලැහැස්ති නෑ. මම වැඩ කරන්නේ මට ඕන විදිහට කියලා කියල ඔයගොල්ල දන්නවනේ.

අනතුරුව සජිත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන රැලියට සහභාගි විය. ඉන් පසුව අවිස්සාවේල්ල නගරයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන්නට ද සජිත්ට යන්නට සිදුවිය. මෙම සියල්ල නිමවා කොළඹ පැමිණ සජිත්ට පසුව කොළඹ වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට සහභාගී වන්නට පණිවිඩයක් ලැබිණි.

සජිත් මේ සඳහා පැමිණියේ තිස්ස අත්තනායක ද සමඟය. සාකච්ඡාව පැවැත්වුණේ සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමට පෙර එහි ඇති තරුණ ප‍්‍රඥප්තියේ අඩංගු කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කරන්නටය.

”මේ රටේ තරුණයන්ට තිබෙන ප‍්‍රශ්න විසඳන්න අපි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ විතරක් තරුණයන් ගැන සඳහන් කිරීම ප‍්‍රමාණවත් වෙන්නේ නෑ. තරුණයින්ට මොකද කරන්නේ කියන එක සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප‍්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා තමයි තරුණ ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කරන්න ඕන” සජිත් පැහැදිලි කළේය.

”මේක අපි ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් විදියට ඉදිරිපත් කරමු. මේ රටේ බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම තරුණයන්ට එක එක පොරොන්දු දුන්නා. හැබැයි ඒවා ක‍්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ගැටලූ තිබෙනවා. අපිට තරුණයින් රවටන්න බෑ. ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරමු” තිස්ස යෝජනා කළේය.

”මම තරුණියින්ගේ ප‍්‍රඥප්තියට මුල් තැන දෙනවා. මේක හදලා ඉවර වුණාට පස්සේ අපි තරුණයින් සමග ගිවිසුමකට යමු” සජිත් යෝජනා කළේය.

”ගිවිසුමකට අත්සන් කරන එක ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ” සාකච්ඡාවට පැමිණ සිටි අයෙක් කීවේය.

”කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම මේ රටේ තරුණයින් එක්ක ගිවිසුමකට එනවා. මම ඉදිරිපත් කරන තරුණ ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වෙන්න ඕන. ඒ වගේම ඒක ක‍්‍රියාත්මක කරන්න ඕන. මේ නිසා මම තරුණයින් සමග ගිවිසුමකට යනවා” සජිත් සිටියේ දැඩි ස්ථාවරයකය. ඒ අනුව සජිත් පළමු වතාවට තරුණයින් හා ගිවිසුමකට එළඹුනේය.

කාන්තාවන්ගේ ප‍්‍රශ්නත්
සජිත්ට සංවේදී වන අයුරු...


poli2සජිත්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ කැපී පෙනෙන එක් කාරණාවක් වූයේ ඔහු නිතර නිතර මැතිවරණ වේදිකාවේ කියන අමුතු කතාය. එවන් අමුතු කතාවක් සජිත් පසුගිය සතියේද කීවේය. තරුණ තරුණියන් ගැන කාන්තාවන් ගැන විශේෂයෙන් පසුගිය දිනවල වේදිකාවේ කතා කළ සජිත් විශේෂයෙන්ම තරුණියන්ට හා කාන්තාවන්ට සංවේදී කිසිවෙකුත් කතා නොකරන ප‍්‍රශ්නයක් ගැන විශේෂයෙන් සඳහන් කළේය....

ඔහු කතා කළේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක ප‍්‍රශ්න ගැනය... කාන්තාවන්ට සනීපාරක්ෂක ගැටලූ ඇති බවත් ඒවාට ඉදිරියේදී තමන්ගේ ආණ්ඩුවකින් විසඳුම් දෙන බවත් ඔහු ප‍්‍රකාශ කිරීමත් සමඟම මේ කතාවට තටු ඇවිත් සමාජය පුරා ඉගිල්ලෙන්නට පටන් ගත්තේ සමාජ මාධ්‍යවල උත්තේජනය හේතුවෙනි.

කෙසේ වෙතත් සජිත්ගේ මෙම කතාවට සමාජයෙන් විවිධ ප‍්‍රතිචාර ලැබෙන්නට විය. බොහෝ දෙනකු කීවේ ප‍්‍රසිද්ධියේ කාන්තාවන් පවා මේ සම්බන්ධයෙන් එළිපිට කතා නොකරන බැවින් සජිත් පේ‍්‍රමදාස වේදිකාවල මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට පටන් ගැනීම සභ්‍ය නොවන ක‍්‍රියාවක් බවය. එහෙත් සජිත් ඒ කිසිවක් ගණන් නොගෙන දිගින් දිගටම ඒ කතාව වේදිකාවේ කීවේය.

ඉන්පසුව සමාජයේ ඒ සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ඇති විය... සමහර කාන්තාවන් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන්නට පවා පටන් ගත්හ. සමහර දැන උගත් කාන්තාවන් හා ගුරුවරියන් මේ ගැන මැදිහත් වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ තම තමන්ගේ අදහස් දැක්වූයේ පාසල් වල හා සමාජයේ අඩු ආදායම්ලාභී පවුල්වල සනීපාරක්ෂක පහසුකම් නොමැතිව තරුණියන් හා බාලවයස් කාරියන් විඳින දුක් ගැහැට පිළිබඳවය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගිය සතියට පෙර සතියේ එලිදක්වා තිබීම තුළ සජිත්ගේ වේදිකාවට හා මැතිවරණ ව්‍යාපාරයට යම් යම් අභියෝග පවා එල්ල වන්නට පටන් ගත්තේය.

ගෝඨාභය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වා ජනතාව අතරට ගොස් ඇතත් සජිත් පේ‍්‍රමදාස තවමත් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයය එළියට නොදමා සුරක්ෂිතව තබා ගන්නේ එයට උතුරු නැගෙනහිරින් ඉදිරිපත්වූ යෝජනා වලට එක්ඟත්වය පළ කරන කාරණා ඇතුළත් කිරීම්ටය යන චෝදනාව සජිත්ට එරෙහිව නැගෙමින් තිබිණි. කෙසේ වෙතත් සජිත්ගේ පාර්ශ්වයේ යම් යම් දේශපාලන බලවේග විසින් ද, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පමා වීම සම්බන්ධයෙන් මැසිවිලි මතුවවෙන්නට පටන් ගෙන තිබිණි. එහෙත් සජිත් ඒ කිසිවකින් කලබල වූයේ නැත. ඔහු කීවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නිසි වේලාවට කලට එළිදැක්වීමට තමන් ඇතුළු බලවේගය කටයුතු සූදානම් කර ඇති බව පමණකි.

ඒ අනුව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනය බ‍්‍රහස්පතින්දා මහනුවර ඓතිහාසික රැජිණ හෝටලයේදී එළිදැක්වීමට සියලූ කටයුතු සංවිධානය කරමින් පැවතිනි.

”මේක නුවර තියමු. මල්වතු මහා විහාරයෙන් ගෞරව නාමයක් මට දුන්නා. ඒ වගේ ගෞරව සම්මානයක් ලැබුණ එකම ජනාධිපති අපේක්ෂකයා මම විතරයි. මේ නිසා මම මල්වතු - අස්ගිරි නායක හාමුදුරුවන්ට තමයි මුලින්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිගන්වන්නේ” සජිත් කීවේය.

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන ස්ථානය ගැන විවිධ අදහස් මතුවෙමින් තිබුණේය. වොක්ෂෝල් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී මේ ගැන විවිධ සාකච්ඡා ඇතිවිය.

ඒ අනුව සජිත් පෙර දිනයේම නුවරට ගියේය. සජිත් නුවරට ගියේ කෝච්චියෙන්ය. ඒ සිය බිරිඳ සමගය. පෙර දින රාත‍්‍රියේ නුවර සිටි සජිත් උදෑසනම අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය භාරදුන්නේය. මැතිවරණ ව්‍යාපාරය සමගින් විවිධ ස්ථානවල ප‍්‍රචාරක කටයුතු කරමින් සිටි පක්ෂ නායකයන් එක තැනකට පැමිණියේ මේ අවස්ථාවේදීය.

අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවට සජිත් එනතුරු පක්ෂ නායකයන් සිටියේ මැතිවරණ ව්‍යාපාරයේ තත්ත්වය ගැන කතාබස් කරමින්ය.

”කවදාවත් මහනායක හාමුදුරුවන්ට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් මුල්වරට පිළිගන්වලා නෑ. ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ” සුජීව සේනසිංහ ඇමැතිවරයා කීවේය.

”සජිත්ට ඉතිං නුවරට සම්බන්ධතා කීපයක්ම තියෙනවානේ. සජිත්ගේ බිරිඳත් නුවරට සම්බන්ධ කෙනෙක්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ නුවර සම්බන්ධතා ගැන සිහිපත් කරමින්ය.

මේ අතර ප‍්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ද සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට පැමිණියේය.

”මේ රටට ප‍්‍රතිසංස්කරණක් අවශ්‍යයි. ඒකට සුදුසුම පුද්ගලයා වෙන්නේ සජිත් පේ‍්‍රමදාසයි” වික්ටර් අයිවන් සජිත්ට සහතිකයක් දුන්නේය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන්නට ගිය අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන් මහනුවරදී පිළිගන්නා ලද්දේ ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රමුඛ පිරිසකි. ”එජාපෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ටිකක් පරක්කු ඇයි කියලත් අහන අය ඉන්නවා.” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.

”නෑ අපේ කිසිම පමාවක් නෑ. පොහොට්ටුව තමයි කලින්ම අපේක්ෂකයා නම් කරලා අරහෙන් මෙහෙන් ලියාගත්ත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකුත් එලියට දාලා සෝඩා බෝතලයක් වගේ උඩ ගිහින් දැන් බිමටම වැටිල තියෙන්නේ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

”පොහොට්ටුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කරන්නන්වාලේ මිනිස්සු රවට්ටන්න කරපු දෙයක් බව පැහැදිලියි. ඒකේ වැරදි 276 ක් තියෙනවා. ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

”අර වියත් මගේ ඉන්න විකට නළුවොයි නටන නිලියොයි මේක ලියපු බවයි පේන්නෙ. ඒක ආපහු සිංහල හරියට දන්න කෙනෙක් කියවලවත් නැති බව පැහැදිලියි. ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

”පොහොට්ටුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රටේ ඒකීය බව හා බුද්ධාගමට නිසි තැන ලබා දීම ගැනවත් ප‍්‍රමුඛත්වයක් දීල නෑ. හංගලයි ගහල තියෙන්නේ. දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් ගැන නිශ්චිත සඳහනක් හෝ රැකවරණයක් ගැන කිසිම දෙයක් ඒකෙ නෑ කියල සුළු ජාතික පක්ෂ චෝදනා කරලත් නිබුණා. ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

”පොහොට්ටුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලිව්වේ එයාලගේ තනි මතයට. එයාලත් එක්ක එකතු වුණා කියපු ශ‍්‍රීලනිපයේ අදහස් මායිම් කරලත් නෑ. ඒත් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදුවේ අපිත් එක්ක ඉන්න සියලූ පක්ෂවල අදහස් අරගෙන පොදු ස්ථාවරයකට ඇවිල්ලයි.” අගමැතිවරයා පැහැදිලි කලේය.

”ගෝඨාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අමු පුස්සක්. එකේ තියෙන්නේ වචන ගොඩක් විතරයි. ඒකට වැටෙන්න ගහන්න පුළුවන්. ඒත් ඊට කලින් අපේ ශක්තිමත්, දැක්මක් හා වැඩපිළිවෙළක් සහිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එලියට දාලා ඉන්න ඕන නිසයි ගෝඨාගේ බොරු ප‍්‍රතිපත්ති වලට මෙතෙක් පහර නොවැදුනේ ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

පසුගිය සතියේ යළිත් වරක් අපේ මැතිවරණ වේදිකාවේ පාස්කු ප‍්‍රහාරය ගැන කතාබහක් ඇති විය. ප‍්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂගේ කර මත පැටවෙන ලෙස ඉතාමත් සංවිධානාත්මකව සූදානම් කෙරෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කතාවක් පසුගිය සතියේ දේශපාලන කරලියේ පැතිර ගියේය. මේ සම්බන්ධයෙන් ලොකු සංවාදයක් සමාජයේ ඇති විය.

ඒ අතර පසුගිය සතියේ කොළඹ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය... එය සිදුවූයේ මෙසේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මහින්දගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. එතැනදී සාකච්ඡාවට ලක් කෙරුණේ ජනාධිපතිවරණයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනයන කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීම ගැනත් එහිදී කතාබහට ලක්විය.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මහින්දගේ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටියහ. විමල්, කෙහෙළිය, ප‍්‍රසන්න, මහින්දානන්ද, උදය ඇතුළු කණ්ඩායමක් එහි සිටියහ. ඔවුන්ගේ සාකච්ඡාවට මුල්ව තිබුණේ පාස්කු ප‍්‍රහාරය ගෝඨාගේ පිට පැටවීමට දැරෙන තැතක් සම්බන්ධයෙනි.

”අයි. එස්. අයි. එස් කාරයෙක් විදියට පුද්ගලයෙක් අන්දලා ව්‍යාජ වීඩියෝවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝව තුළින් පාස්කු ප‍්‍රහාරයේ වගකීම ගෝඨාභයගේ පිට පටවන්නයි මේ අය සාකච්ඡා කරලා තියෙන්නේ” කෙහෙළිය පැවසීය.

”ඔව් ඔව් අපිටත් ඒ ආරංචිය ලැබුණා. රුපියල් කෝටි අටක් ද කොහෙද ඒකට ගෙවලා තියෙනවා කියලත් දැනගන්න තියෙනවා. ගෝඨාභයගේ උපදෙස් පිට අයි. එස් එකෙන් පාස්කු ප‍්‍රහාරය කළා කියලා ඇඟවෙන විදියටයි ඒක කරලා තියෙන්නේ” විමල් කීවේය.

”ආණ්ඩුව දන්නවා පාස්කු ප‍්‍රහාරයේ වගකීමෙන් තමන්ට මිදෙන්න බැහැ කියලා. මිනිස්සු පාස්කු ප‍්‍රහාරය ගැන ආණ්ඩුවත් එක්ක කේන්තියෙන් ඉන්නේ. මේ රටේ බහුතරයක් මේ වතාවේ ඡුන්දය දෙන්නේ ජාතික ආරක්ෂාව ගැන හිතලයි. ඒක වළක්වන්න තමයි ආණ්ඩුව මේ වගේ නිවට වැඩ කරන්නේ” ප‍්‍රසන්න පැවසීය.

”පාස්කු ප‍්‍රහාරය ගැන හොයන්න පත් කරපු තේරීම් කාරක සභාවත් බොරුවක් කළේ. ඒකේ ආණ්ඩුවේ කිසිම කෙනකුට චෝදනා නැගිලා නැහැ. ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ බුද්ධි අංශ ප‍්‍රධානීන්ට චෝදනා එල්ල කරලා තියෙනවා. මේකෙන් පේනවා ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් ආරක්ෂා කරන්න මහන්සි වෙනවා කියලා” උදය කීවේය.

”පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන් සියලූ දෙනාම ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. රිෂාඞ්ලා, හකීම්ලා වගේ අන්තවාදීන් ළංකරගෙන ඉන්න ගමන් පාස්කු ප‍්‍රහාරයේ වගකීම අපේ කරට දාන්න හදනවා. ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ දැන්” ප‍්‍රසන්න කීවේය.

”සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත‍්‍රණවලට කප් ගහපු අය. මංගලලා වගේ පිරිසක් තමයි මේ වැඬේ පිටිපස්සේ ඉන්නවා කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේම අය අපට කතා කරලා කියනවා මේ වගේ හිරිකිත වැඩ තමයි සජිත්ගේ කැම්පේන් එකේ කෙරෙන තරමක් කෙරෙන්නේ කියලා” කෙහෙළිය පැවසීය.

”මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මහත්තයා ජයග‍්‍රහණය කළාට පස්සේ පත් කෙරෙන පූර්ණ බලැති කොමිසම මගින් පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් සියලූ දෙනාම හෙළි වෙන හින්දා අපි ඕකට කලබල වෙන්න ඕනෙත් නැහැ” උදය පැවසීය.

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත‍්‍රය හෙල්ලූම් කෑ මෙම මඩ වීඩියෝව පිළිබඳ හෙළිදරව් කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කතෝලික මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මීගමුවේදී පැවැත්විණි. ලන්සා, අරුන්දික, සුදර්ශනී සහ සනත් නිශාන්ත මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත‍්‍රීවරුන් තේ බොන අතරතුරේ මේ ගැන වැඩිදුරටත් කතාබහ කරමින් සිටියහ.

”පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ අපේ ආසනවල කතෝලික ඡුන්ද සේරම එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවුණා. මිනිස්සුන්ට ගොඩක්ම කේන්ති ගියේ ප‍්‍රහාරය එල්ල වෙන එක දැන දැනත් ආණ්ඩුව නිසි පියවර අනුගමනය නොකිරීම නිසයි. ඒ විතරක් නෙමෙයි ප‍්‍රහාරයෙන් අපේ මිනිස්සු මැරිලා ඉන්නකොට අගමැති ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලය සිනහා වෙමින් මාධ්‍ය සාකච්ඡාවලට එක්වෙච්ච ආකාරය නිසා දැන් අපේ මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ පිළිකුලක්” ලන්සා පැවසීය.

”ආණ්ඩුව දන්නවා කතෝලික ඡුන්ද මේ වතාවේ එයාලට ලැබෙන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මේ වගේ මඩ වීඩියෝ හද හද ප‍්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න යන්නේ. පාස්කු ප‍්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියන එක තරම් තවත් විහිලූවක් නැහැ” අරුන්දික කීවේය.

”මේ වීඩියෝව පස්සේ ඉන්නේ මංගල, ළඟ ඉන්න පිරිසක්. මට දැනගන්න ලැබුණා දයානුත් මේකේ පාට් එකක් කළා කියලා. එයාගේ ෆේස්බුක් එකේ ඒ වගේ සටහනක් දාලා තිබුණා. මේක නිකම් විහිලූවට කරපු එකක් නෙමෙයි. ලොකු ප්ලෑන් එකක් තිබිලා තියෙනවා” සනත් පැවසීය.

”කතෝලික මන්ත‍්‍රීවරුන් විදියට අපිට යුතුකමක් තියෙනවා මේ වගේ කුමන්ත‍්‍රණ හෙළිකරන්න. නැත්නම් ඊළඟ අවුරුදු පහේ අපේ මිනිස්සුන්ට වෙන්නේ බෝම්බ කන්න” ලන්සා පෙන්වා දුන්නේය.

”ආණ්ඩුව අඩු ගාණේ ප‍්‍රහාරය ගැන පරීක්ෂණවත් හරියට කළේ නැහැ. වගකිවයුත්තන් ඇමැති මණ්ඩලයේ ඉන්න කොට ඒ අය ඉවත් කරලා තමන්ගේ පිරිසිදුකම පෙන්නුවේ නැහැ. දැන් මොන දේ කළත් ජනතාවගේ හිත්වල තියෙන සැකය අරින්න බැහැ” සුදර්ශනී කීවාය.

”ගෝඨාභය මහත්තයාගේ ජයග‍්‍රහණය වළක්වන්න සක්කරයාටවත් බැහැ. රටේ ආරක්ෂාව ගැන හිතන බුද්ධිමත් ජනතාව ඉන්නේ ගෝඨාභය එක්කයි. මිනිස්සු දන්නවා කියන දේ කරන කරන දේ කියන නායකයෙක් කියලා. ඒ නිසා මහින්ද මහත්තයාට තියෙන ජනප‍්‍රසාදයත් එක්ක ගෝඨාභය මහත්තයා මේ පාර වැඩි ඡුන්දෙන් ජනාධිපති වෙනවා” අරුන්දික කීවේය.

”ඒක හරි. සජිත්ට ගෝඨාභය මහත්තයාගේ කිට්ටුවටවත් එන්න ලැබෙන්නේ නැහැ. සජිත්ට වෙන්නේ ලංකා ඉතිහාසයේ අඩුම ඡුන්ද ගත්තු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් දේශපාලනයට සමුදීලා ගෙදර යන්නයි” සනත් පැවසීය.

පවුලට සීය කෙනෙක් වුණත්
රටට තවම අප්පච්චිලූ...


poli3හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පහුගිය සතියේ අප‍්‍රමාණ ලෙස වෙහෙසමින් මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් අමතමින් සිටියේ ය... ඔහු පසුගිය සතියේ යාපනයේ මඩකලපු අම්පාර ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල පවා සංචාරය කිරීම විශේෂත්වයක් විය.

සෑම තැනකදීම මහින්දට සුවිශේෂී පිළිගැනීමක් ලැබිණි. විශේෂයෙන්ම උතුරේදී හා නැගෙනහිරදී ඔහුට ලැබුණු පිළිගැනීම සුළුපටු නොවීය.

මෙසේ රැස්වීමෙන් රැස්වීමට යමින් අවිවේකීය තම සහෝදරයා වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටි මහින්ද රාජපක්ෂට පසුගිය තිස් වෙනිදා උදෑසන ඉතාමත්ම සතුටුදායක පුවතක් අසන්නට ලැබිණි. ආරංචිය වූයේ තම කනිටු පුතු රෝහිතගේ බිරිඳ වන ටට්යානාට කුළුඳුලේ පුතෙකු ලැබුණු පුවතයි.

ආරංචිය ලැබුණු සැණින්ම ශිරන්ති මැතිනිය සමඟ මහින්ද රෝහල වෙත ගොස් කුඩා බිලිඳා දෝතින් පිළිගෙන හොඳින් දැක බලා ගත්තේය. එදා දවසේ වැඩ රාජකාරි ගැන කතා කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ යළි පක්ෂයේ නායක කාරකාදීන් සමග සාකච්ඡා වලට සහභාගී වූයේ ඉන් පසුවයි.

මහාචාර්ය ජී එල් පීරිස්, නාමල් රාජපක්ෂ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ද පැමිණ ජනාධිපතිවරණය ගැන කතාබහ කරමින් විජේරාම නිවසේ සිටියහ.

ඔබතුමාට මෙච්චර දවසක් මේ රටේ ජනතාව කතා කළේ අප්පච්චි කියලා. ඒ අප්පච්චි අද සීයා කෙනෙක් වුණා. ඒ සිදුවීම ගැන අපේ සතුටත් ඔබතුමා දැන් පිළිගන්න. මේක එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඡුන්දයට පෙර පහළ වෙච්ච හොඳ සුබ පෙරනිමිත්තක්... කුමාරසිරි හෙට්ටිගේ කීවේය... ඒ සමඟම එතන සිටි අනිකුත් අයද සුබ පතන්නට වූහ...

ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ... මම උදෙන්ම ගිහිල්ලා බබාව බලල ආවේ එයා සතුටින් සනීපෙන් ඉන්නවද කියලා...

සීයා කෙනෙක් වීම ගැන අනෙකුත් අය බොහෝ දේ කිව්වේ මේ අතරය..

සීයා සීයා කියන්න එපා.. මට එහෙමට වයස නෑ. අමතක කරන්න එපා මම තවම මේ රටේ ජනතාවට අප්පච්චි බව. අනිත් එක පුංචි ළමයි කවුරුවත් මට සීයා කියන්න කැමති නෑ. ඔක්කොම දරුවො මට කියන්නේ මහින්ද මාමා කියලා තවමත්...

මහින්ද රාජපක්ෂ සිනාවෙමින් එය කීවේ විහිළුවකට මෙනි....

කොහොමද අපි කරපු සමීක්ෂණ ගැන විස්තර....

මහින්ද එසේ ඇසුවේ ජී එල් පීරිස් දෙස බලමිනි...

අපි කරපු සමීක්ෂණ වලිනුත් ඒ ගොල්ල කරපු සමීක්ෂණ වලිනුත් හෙළි වෙලා ඉවරයි මැතිවරණයෙන් අපි ගොඩක් ඉස්සරහින් ඉන්න බව... ඒක නිසා විරුද්ධ පක්ෂය ගොඩක් කලබල වෙලයි ඉන්නෙ මේ දවස් වල...

ඇත්තටම මේ ඡුන්ද සටන අපිට වඩාත් ලේසි වෙලා තියෙන්නේ සජිත් පේ‍්‍රමදාස අපේක්ෂකයා වෙලා ආපු නිසයි...නාමල් කීවේය.

ඇත්ත වශයෙන්ම ඔව්.... අපි අමුතුවෙන් යමක් වේදිකාවට ගිහිල්ල කියන්න ඕනෙම නෑ... සජිත් වේදිකාවට ගිහිල්ලා ජනතාවට කියන දේවල් හොඳටම ප‍්‍රමාණවත් අපිට දිනන්න... මහින්ද ටිකක් කල්පනාකාරීව කීවේය...

අනිත් එක තමයි ගෝඨාභයගෙ පරිණත කතාබහ... එයා කිසිම කලබලයක් නැතුව කියන සංවර්ධනාත්මක කතා ගැන අද මුළු රටේම ජනතාව කතාබහ කරන්න පටන් අරන් තියෙනවා...මහින්ද කීවේය.

මේ පාර දකුණේ සිංහල ඡුන්ද විතරක් නෙවෙයි... වෙනදට වඩා හොඳින් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡුන්ද අපට ලැබේවි කියලයි විශ්ලේෂකයෝ කියන්නේ.... විශේෂයෙන් බැසිල් මහත්මයා උතුරු නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක කරපු වැඩ පිළිවෙළ මේ වන විට ප‍්‍රතිඵල නෙළන්න පටන් අරන් තියනවා කියලයි පේන්නේ ...කුමාරසිරි හෙට්ටිගේ පෙන්වා දුන්නේය.

උතුරු නැගෙනහිරින් විතරක් නෙවෙයි සර්... මේ පාර කොළඹත් මුස්ලිම් ජනතාවගේ ඡුන්ද වල ලොකු වෙනසක් සිද්ධ වෙනවා... දෙමළ අයගේ ඡුන්දෙත් මේ පාර හුඟක් දුරට අපට ලැබෙනවා. බස්නාහිර පළාත තුළින්ම මේ දෙගොල්ලෝ

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලොකු වෙනසක් කරාවි... බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් එය කීවේ ලොකු විශ්වාසයකින් යුතුවය.

පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානයේ හැසිරීමද කැපී පෙනෙන්නට විය. දෙමළ ජාතික සන්ධානය මීට පෙර සෑම ඡුන්දයකදීම අනුගමනය කළ ප‍්‍රතිපත්ති රාමු මෙවර ජනාධිපතිවරණයේදී වෙනසකට බඳුන් කළේය.

දෙමළ ජාතික සන්ධානය නිරතුරුවම දකුණේ ජනතාව සමඟ තිබෙන සම්බන්ධතාව ගොඩනගා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවලට අනුකූලවය. සෑම විටම ඔවුන් අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂයට සහාය වෙමින් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති හා ජයග‍්‍රහණයන් ආරක්ෂා කරන පිළිවෙතකි. එහෙත් අවුරුදු ගණනාවක් තිස්සේ එම ප‍්‍රතිපත්තියම අනුගමනය කරමින් දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය සමඟ බැඳී සිටියත් එක්සත් ජාතික පක්ෂය හා දකුණේ කල්ලි කණ්ඩායම් තම ජනතාවගේ අභිප‍්‍රායන් හා බලාපොරොත්තු වෙනුවෙන් ඉටු කර ඇති කාර්යභාරය කුමක්දැයි කියා දෙමළ ජාතික සන්ධානය ඇතුළේ විසංවාදයක් මතුවී දැන් බොහෝ කල්ය.

දෙමළ මුස්ලිම් ඡුන්ද
එජාපයට අහිමි වෙයිද !


මෙම විසංවාදය තුළ තවදුරටත් උතුරේ ජනතාවගේ ඡුන්දය දකුණේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පාවා දිය යුතු නැතැයි යන මතයට ටික කලක පටන් දෙමළ ජාතික සන්ධානය පැමිණ සිටියේය.

මේ අනුව මීට සති කීපයකට පෙර දෙමළ ජාතික සන්ධානය තීන්දුවක් ගත්තේය. මෙතෙක් කලක් නිහඬව හා රහසිගතව සාකච්ඡා කරමින් එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් එකඟත්වයක් ඇතිකර ගෙන සිටි කරුණු කාරණාත් සියල්ල එළිපිට සාකච්ඡා කරන්නට ඔවුනට අවශ්‍ය විය.

පසුගිය දිනක යෝජනා 13 කින් යුතු ඉල්ලීම් මාලාවක් දේශපාලන කරළියට දෙමළ ජාතික සන්ධානය විසින් මුදා හැරියේ ඒ අනුවය. රට බෙදන රට පෙඩරල් කරවන දෙමළ ජනතාවට උතුරේ නිදහස හා වෙනම පාලනයක් ලබා දෙන යෝජනා රැසක් පමණක් නොව, දකුණේ බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වලට පවා දැඩි ලෙස බලපාන යෝජනා රැසක් මෙම කාරණා 13 තුළ අන්තර්ගතව තිබෙන බව සාමාන්‍ය ජන සමාජයට දැනෙන්නට වූයේ ඉන් පසුවයි.... එම කරුණු කාරණා එළිපිට සමාජගත කිරීම තුළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට උතුරු නැගෙනහිර ඡුන්දය ලබා ගැනීම බලවත් ප‍්‍රශ්නයක් විය. ඡුන්දය ලබා ගන්නට දෙමළ ජාතික සන්ධානය සතුටු කළ යුතුය. ඒ සඳහා එකී කාරණා 13 ට කොන්දේසි විරහිතව එකඟ විය යුතුය. එහෙත් අනිත් පැත්තට එසේ එකඟත්වය පළ කළේ නම් දකුණේ ජනතාවගෙන් එල්ලවන ප‍්‍රශ්නවලට උත්තර දීමට ද සූදානම් විය යුතුය. ඒ අතින් බලන විට මෙම කරුණු 13 තුළ එක්සත් ජාතික පක්ෂයේ හා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මුහුණ දී සිටියේ බලවත් දේශපාලන උභතෝකෝටිකයකට ය.

මේ අතර යාපනය ප‍්‍රදේශයෙන් මතු වූ දේශපාලන සාකච්ඡාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව තම තමන්ගේ ඡුන්දය ස්වාධීනව පාවිච්චි කළ යුතුයි යන මතය කරළියට පැමිණියේය.

විශේෂයෙන්ම උතුරු පළාතේ මහ ඇමැති විග්නේශ්වරන්ගේ මතය වූයේ ද මෙවර දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දකුණේ කිසිම දේශපාලන බලවේගයක අතකොළුවක් නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවකි... මෙම වාතාවරණය දකුණේ දේශපාලන ගමන් මාර්ගය අතීතයේදී මෙන් නොව, අනාගතයේදී වෙනස් කරවීමට පිටිවහලක් වනු ඇතැයි යන්න බොහෝ දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය විය.

ජනාධිපති මෛත‍්‍රීගෙන්
මංගලට නියෝගයක්


මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිහඬතාව ගැන ද දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය. පසුගිය දිනවල සමහරුන් මත පළ කර සිටියේ ඉතා ඉක්මනින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන කරළියට පැමිණ ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයය වෙනුවෙන් ඇප කැප වී ක‍්‍රියා කරනු ඇතැයි කියාය. එහෙත් ඒ සඳහා ඔහු අනුගමනය කළ කිසිදු වැඩ වැඩපිළිවෙළක් නොවීය.

ඒ අතර තවත් කතාවක් පැතිර ගියේය. නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව ලැබෙන විශ‍්‍රාමය තුළ ජනාධිපතිවරයා විශ‍්‍රාම නොගොසින් යළිත් වතාවක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවේ සිට වෙනත් දේශපාලන මාවතක් ඔස්සේ ගමන් කරනු ඇතැයි කියා ආරංචිය ක් එම කතාව ඔස්සේ පැතිර ගියේය. ඒ සඳහා දැනට ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ සිටින ඩිලාන් පෙරේරා මහතාට ඉල්ලා අස්වෙන්නට පවා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යෝජනා කර ඇතැයි කියා තවදුරටත් වර්ධනය වී තිබුණි. එහෙත් ඩිලාන්ගේ පාර්ශ්වයෙන්වත් මෛත‍්‍රිපාල සිරිසේනගේ පාර්ශ්වයෙන්වත් කිසිවෙකු ඒ ගැන අදහස් පළ නොකර සිටීම තුළ එම කතාවට කිසිදු වටිනාකමක් නොවීය.

මේ අතර ජනාධිපතිවරයාත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහත් අතර පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇතිවුණු නොහොඳ නෝක්කාඩුවක් පිළිබඳවද පසුගිය සතියේ තොරතුරු පැතිර ගියේය.

මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රම වික‍්‍රමසිංහ ගෙන ආ යෝජනා අතර එම ඇමරිකාව සමග අත්සන් කරන්නට යෙදෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් යෝජනාවද එක් සංවාදශීලී යෝජනාවක් විය. එම යෝජනාවට පක්ෂව ආණ්ඩු පක්ෂයේ වැඩි බලයක් ක‍්‍රියාත්මක වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඊට දැඩි ලෙස විරෝධය පාමින් කතා කළේය. එහෙත් ආණ්ඩු පක්ෂයේ බලය ඊට වඩා වැඩි විය.

මෙම යෝජනාව අත්සන් කර ක‍්‍රියාත්මක කළහොත් ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ සරල රේඛාවක් කේන්ද්‍ර කොටගෙන දෙපසින් වන ඉඩකඩම් කිලෝමීටර් ගණනක් පළල පටියක් ලෙස ඇමරිකානු අවශ්‍යතාවන්ට අනුකූල ලෙස පවරාදීමට නීතියෙන් ඉඩ අවසර ලැබීමට නියමිතව ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මෙම යෝජනාව සෘජුවම විරෝධය පළ කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ කැබිනට් මණ්ඩලයේදී උණුසුම් සංවාදයයක යෙදුණේය. එහෙත් කැබිනට් මණ්ඩලයේ අනෙකුත් මැති ඇමැතිවරු පෙන්වා දුන්නේ ඉන් ශ‍්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් ප‍්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් මූල්‍යමය වාසියයි.

කෙසේ වෙතත් මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුනත් මෙවර ජනපතිවරණය අවසන් වනතුරු එය ක‍්‍රියාත්මක කිරීම වළකන ලෙස ජනාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ද පනවනු ලැබීය.

කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මෙම ගිවිසුම් අත්සන් කරන්නට අවශ්‍ය කරුණු කාරණා රජය විසින් ලහි ලහියේ ලහියේ සූදානම් කරමින් පවතින බවට ආරංචියක් ජනාධිපති කාර්යාලය වෙත ලැබෙන්නට විය. ආරංචිය ලත් සැණින් ඒ ගැන සාකච්ඡා කරන්නට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් ජනාධිපතිවරයා හමුවන්නට ගියේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් සහ විමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් (ඔක්.31) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කළහ.

මෙහිදී ජනාධිපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් අතර ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයේ ඵසකකැබබසමප ක්‍ය්කකැබටැ ක්‍දරචදර්එසදබ ආයතනය සමග වත්මන් රජය හදිසියේ ගිවිසුම්ගත වීමට පියවර ගන්නේද යන්න පිළිබඳවයි.

මෙම සාකච්ඡාවෙන් පසුව යන ජනාධිපතිවරයා වහාම එම ගිවිසුම් අවලංගු කරන ලෙස දන්වා මුදල් ඇමැති මංගල සමරවීර වෙත ජනාධිපති නියෝගයක් නිකුත් කර තිබූ බව ද වාර්තා වී තිබේ.

අපේක්ෂක සජිත්ට වූ
හෙලිකොප්ටර අවනඩුව...


එක දිනයේදී මහජන රැස්වීම් කිහිපයක් පැවැත්වෙන දිනවලදී සජිත් ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක් ලබාගෙන රැස්වීම්වලට සහභාගි වෙයි. පසුගිය බදාදා කොළඹ සිට රැස්වීම් කිහිපයකට සහභාගි වීමට ගිය සජිත් ත‍්‍රිකුණාමලය රැස්වීමත්, දඹුල්ල රැස්වීමත් අමතා කුරුණෑගලට පැමිණීමට සූදානම් විය. කුරුණෑගලට පැමිණෙන විට තරමක් ? බෝවී තිබූ අතර ඔහු පැමිණි හෙලිකොප්ටරය ගොඩබෑමට තිබුණේ වෙළගෙදර ක‍්‍රීඩාංගණයටය. වෙලගෙදර ක‍්‍රීඩාංගණය වෙත හෙලිකොප්ටරය පැමිණෙන විට හදිසියේම කුරුණෑගල නගරයේ වීදි පහන් සියල්ල නිමා දමා තිබුණේය. මේ නිසා හෙලිකොප්ටරයේ සිටි නියමුවන්ට තමන් සිටින ස්ථානය ගැනත්, හෙලිකොප්ටරය ගොඩබෑ යුතු නිශ්චිත ස්ථානය ගැනත් අදහසක් ලබාගැනීමට අපහසු වී තිබුණි.

”සර්, අපි චොපර් එක ලෑන්ඞ් කරන්න හදනකොටම ලයිට් නිවලා දැම්මා. මේ හැම තැනම කළුවරයි. මේ නිසා හෙලිකොප්ටරය බාන්න බැහැ. ඒක අනතුරකට අත වැනීමක්” හෙලිකොප්ටරයේ සිටි නියමුවෝ කීහ.

මේ නිසා හෙලිකොප්ටරය කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන යා යුතු යැයි නියමුවෝ කීහ.

කටුනායකට පැමිණි වහාම සජිත් කළේ කුරුණෑගල රැස්වීම සංවිධානය කර තිබූ අශෝක් අබේසිංහට කතා කිරීමටය. ඔහුට කතා කර තත්ත්වය පැහැදිලි කළේය. ඒ වන විට අශෝක අබේසිංහ වේදිකාවේ සිටි අතර ඔහු සජිත් නොපැමිණෙන බව කීවේ කඳුළු පිරි දෑසින් යුතුවය.

ඉන්පසුව ඔහු කතා කළේ තිස්සටය.

”තිස්ස මේ වුණ දේ ගැන හොයලා බලන්න. එකවරම විදුලිය විසන්ධි කළේ මොකක් හරි කුමන්ත‍්‍රණයක් නිසා වෙන්න ඇති” සජිත් තිස්සට මේ ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නේය.

තිස්ස මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ නීති නිලධාරීන් හා සාකච්ඡා කළේය.

”මේක පොහොට්ටුවේ අයගේ කුමන්ත‍්‍රණයක් වෙන්න පුළුවන්. මේ නිසා අපි මේ ගැන සොයා බලන්න ඕන” නීති නිලධාරීහු තිස්සට කීහ.

ඒ අනුව තිස්ස, අජිත් පී. පෙරේරා ඇමැතිවරයාටද කතා කරමින් මේ ගැන අදහස් විමසුවේ ඔහු නීතිඥයෙක් වන නිසාය.

”පොදුජන පෙරමුණේ අය තමයි මේක කරලා තියෙන්නේ. ජීවිතයට අනතුරුදායක තත්ත්වයකින් අවසාන මොහොතේදී බේරිලා තියෙන්නේ. අපි මේකට පැමිණිලි කරමු” අජිත් පෙරේරා යෝජනා කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles