Divaina - ආර්ථික සමෘද්ධියෙන් පිරි ශ‍්‍රී ලංකාවක්...! පාතාලය, කුඩු ජාවාරම, ත‍්‍රස්තවාදය සියල්ල තුරන් කරනවා...!! ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවා....!!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- ගෝඨාභය රාජපක්ෂ කියයි
gota
සාකච්ඡා කළේ -
මනෝජ් අබයදීර


උදෑසන මඳක් පසුවී තිබුණද ඔහුගේ නිවස සහ ඒ අවට මහමග දිගට වාහන රාශියක් නවතා තිබුණි. උණුසුම් ජනාධිපතිවරණයක් සඳහා තව ඇත්තේ දින දහ තුනක් පමණි. මුස්ලිම් ප‍්‍රජා නායකයන් කිහිපදෙනකු සමග සාකච්ඡා කරමින් සිටි ඔහු නිවැරදි වෙලාවටම ඉන් නැගිට, සිය පුස්තකාලය සහිත කාර්යාල කාමරයට පිවිසියේ අප සමග පැවැත්විය යුතු සාකච්ඡාව සඳහාය. ආරක්ෂක ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔහු විසින් ඉටු කරන ලද කාර්යභාර්ය මත රටේ ඊළඟ ජනාධිපතිවරයා තේරීමේ තරගය සඳහා ඔහු ඉදිරිපත්ව සිටියි. ඔහුගේ මේසය මත තිබූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන්ව තිබුණේ ” ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කර සෞභාග්‍යමත් ජීවිතයක් සහ සුරක්ෂිත රටක් ගොඩනගන්නෙමි.” යනුවෙනි. ඔහු ඒ සඳහා අනුගමනය කරන මාවත කවරේද...? දිවයින ඉරිදා සංග‍්‍රහය සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාව මෙසේය.

ප‍්‍රශ්නය- රාජපක්ෂ ආණ්ඩුව පරාජයවීම සඳහා බලපාන ලද ප‍්‍රධාන හේතුවක් වූයේ, එයට එරෙහිව නැගුණු දූෂණ චෝදනා.... වත්මන් ආණ්ඩුවටත් එවැනි දූෂණ චෝදනා රාශියක් ඉදිරිපත් වුණා.... රාජ්‍ය දූෂණය කියන මාතෘකාව පසුගිය කාලයේ සිටම මැතිවරණ ක‍්‍රියාදාමයේ වැදගත් මාතෘකාවක්... මෙම දූෂණ මර්දනය සඳහා ඔබගේ ප‍්‍රතිපත්තිය පිළිබඳව අපි මුලින්ම කතා කරමු.

පිළිතුර - අපට එල්ල කරන ලද අභූත චෝදනා පිළිබඳව රටේ ජනතාව දන්නවා. රත්තරන් අශ්වයෝ, ඩුබායි ගිණුම් ආදිය ගැන කියමින්, ආණ්ඩු පෙරළන්න බොරු කියපු උදවිය, අන්තිමට නතර වුණේ, මේ රටේ ලොකුම හොරකම සහ තවත් හොරකම් ගණනාවක් සිදු කරලා. මේ දූෂණ සඳහා අපි කඩිනම්, කල්පවත්නා විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍යයි... ඒක තියෙන්නේ නායකත්වය දෙන විදියටනෙ...

එදා යුද්ධය දිනන්න බෑ කියල මානසිකත්වයක් තිබුණනේ... අපි ඒ මානසිකත්වය වෙනස් කළා. යුද්ධය දිනන්න පුළුවන් කියන මතය අපි ජනතාවට ලබා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරියෙන් වැඩක් වෙන්නෙ නෑ කියල, ඒ දවස්වල චෝදනා තිබුණෙ... වැඩ කරන සේවකයන් පවා හිතුවේ නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ වැඩක් නැති තැනක් කියලා... නමුත් අපි ඒ අයගේම මානසිකත්වය වෙනස් කළා. නිවැරදි නායකත්වයක් දීලා, මේකයි වෙන්න ඕන කියලා, පෙන්නුවොත් ඒ දේ කරන්න පුළුවන්. අපි 2005 එනකොට කොළඹ තිබ්බ තත්ත්වය මතකනේ... කාර් එකෙන් යන ගමන්, දොර ඇරලා, නෝනල කුණුටික පාරට දාගෙන යන හැටි, මමම ඇස් දෙකට දැකල තියනවා. අපි ඒක නතර කළා. මුළු කොළඹම සුද්ධ කරලා, කවුරුත් කුණු දාන්නෙ නැති තැනකට ගෙනාවා. ඒ වගේම එදා පාතාලෙ කොච්චර තිබුණද? කප්පම් ගන්නව, පාතාලෙන් මිනිස්සුන්ගෙ ඉඩම් ලියා ගන්නවා. මේව දැන් සමහර විට බොහෝ අයට අමතක වෙලා ඇති... ගෙයක් වහල තියන්න බෑ, ඒ ගෙදර අල්ල ගන්නවා. මේ පාතාලය අපි සම්පූර්ණයෙන් නැවැත්තුවා...

ඒ වගේම තමයි ඔබ කියන දූෂණය නතර කිරීම කියන එකත්... ඒ සඳහා නිවැරදි, දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙන නායකත්වයක් අවශ්‍යයි. ඒ එක්කම දූෂණය කියන එක මේ රටේ සංස්කෘතියක් වෙලානේ... මේ දූෂණය පහළ මට්ටමේ ඉඳලා, ඉහළ මට්ටමට යනකන් තියනවා. දේශපාලනඥයාටත් තියනවා, නිලධාරියාටත් තියෙනවා.

මේකට තද දඬුවම් දෙනව කියන මතය ඉදිරිපත් කරාම මේක සෑහෙන්න දුරට පාලනය වෙනවා. ඊළඟට හැබැයි අපිට තව එකක් තියනවා. නව තාක්ෂණය සහ අන්තර්ජාලය මාර්ගයෙන් මේ දූෂණය 100%ක් අපට නැති කරන්න පුළුවන්. මේක කරපු රටවල් තියනවා. ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ අලූතෙන් පත් වුණ මහ ඇමැතිතුමා, සම්පූර්ණයෙන්ම දූෂණය නැති කරා. ඒකට ප‍්‍රධාන ක‍්‍රමවේදය වුණේ, ඔන්ලයින් ක‍්‍රමවේදය... හැබැයි මේකෙ මූලික තේරුම තියෙන්නේ දේශපාලන අපේක්ෂාව සමග... අපිට යුද්ධය අවසන් කරන්න දේශපාලන අවශ්‍යතාවක් තිබුණා. අපි නායකත්වය දුන්නා. යුද්ධය නිමා කළා. ඒ නායකත්වය දුන්නොත් දූෂණය පහසුවෙන්ම කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය - යහපාලන රජයේ වසර පහ තුළ බැඳුම්කර මගඩිය සහ තවත් දූෂණ ක‍්‍රියා ගණනාවක් සිදුවුණා. මේ රජය යටතේ සිදුවුණු දූෂණ සෙවීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පවා පත් කර, ඒ පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. ඔබ ජනාධිපති පදවියට පත්වුණොත් මේ ආණ්ඩුවේ දූෂණ සෙවීම සඳහා අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත කුමක්ද...?

පිළිතුර - දූෂණ සෙවීම කියන එක සිදු කළ යුත්තේ, දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව නෙමෙයි. දූෂණ නතර කිරීම අරමුණු කරගෙනයි. මේ දූෂණ සොයන්න රාජ්‍ය ආයතන තියෙනවනේ... ඒ ආයතන සඳහා දේශපාලන බලපෑමකින් තොරව ක‍්‍රියාත්මක වෙන්න ඉඩ දිය යුතුයි වෙනවා. මේ රජය හොරු අල්ලනවා කියල කළේ මොකද්ද...? දේශපාලන

පළිගැනීම් කරන එක හොරු නිකන් පැත්තක ඉද්දි, අපේ පස්සේ එලෙව්වා. හොරකම් කරපු මිනිස්සු, දූෂණ සිදුකරපු මිනිස්සු, එක පොලිසියකට ගිහින් තියෙනවද?

මම තමයි මේ ලෝකෙ ඉන්න ලොකුම හොරා වගේ පෙන්වලා, මගේ පස්සෙන් එලෙව්වේ... මම අවංකව දන්නවා මම සතයක් හොරකම් කරල නෑ කියලා. හොරු අල්ලනවා කියලා, දේශපාලන පළිගැනීම් කරන්න බෑ. ඒකට දැනට අපේ රටේ තියෙනවා ඕන තරම් ආයතන. ඒවාට ස්වාධීනත්වයක් දෙන්න ඕනා. එහෙම නැතුව, දූෂණ සොයනවා කියලා, දේශපාලන පළිගැනීම් කරන්න යනවා නම්, ඒක තමයි ලොකුම දූෂණය.

ප‍්‍රශ්නය - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා මේ ආණ්ඩුව ඉතා කඩිනමින් අත්සන් තැබීමට යනවා. මෙවැනි විවාද සම්පන්න ගිවිසුම් ගණනාවකට යහපාලන ආණ්ඩුව අත්සන් තබා තිබෙනවා. මේ ගිවිසුම් සඳහා ඔබ විසින් ගන්නා ක‍්‍රියා මාර්ග මොනවාද...? ඒවා දිගටම ක‍්‍රියාත්මක කරනවාද...? නැතිනම් අවලංගු කරනවාද...?

පිළිතුර - අපේ විදේශ ප‍්‍රතිපත්තිය තමයි මෙතැනදී වැදගත් වෙන්නේ. අපි කිසිම බල කඳවුරකට ගැති වෙන්නේ නැහැ. ශ‍්‍රී ලංකාව දෙස බැලූවත්, ඉන්දියන් සාගරය පාලනය කරන්න පුළුවන් තැනක ඉන්න නිසා ඉන්දියාව, චීනය, ඇමරිකාව ඇතුළු අනෙක් සෑම බලවතෙක් හටම අපේ රට වැදගත්...ඒ සියලූ රටවල් ඉන්දියන් සාගරය ගැන ලොකු අවධානෙකින් ඉන්නේ... ඒ බල අරගලයට අපි මැදි වුණොත්, අපිට ජීවත් වෙන්නට පුළුවන් කමක් නෑ. මේකට උදාහරණ තිබෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ ස්විස්ටර්ලන්තය ඒ වගේ තැනක හිටියනේ... ඔක්කොම බලවතුන් වටේට ඉද්දි ඔවුන් නිෂ්ක‍්‍රිය ආකාරයෙන් කටයුතු කළා. අපි අන්න එවැනි ක‍්‍රමවේදයකට යන්න ඕන.

අද චීනය බලවත් දේශයක්... ආර්ථික වශයෙන් විශාල බලවතෙක් බවට පත් වෙලා. ඒ ආර්ථික බලය සමඟ හමුදා බලයත් ඔවුන්ට තිබෙනවා. ඉන්දියාවත් අද ආර්ථික බලවතෙක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඇමරිකාව, ජපානය, ඕස්ටේ‍්‍රලියාව, මේ වගේ රටවලූත් මේ බල අරගලයට මැදිවෙලා තියනවා. මේ ඔක්කොමත් එක්ක එකිනෙකාට අවිශ්වාසයක් නොවන පරිදි අපි ක‍්‍රියා කරන්න ඕන. විශේෂයෙන්ම මේ අතරතුර අපි බලාගන්න ඕන ඉන්දියාව අපිට ආසන්නයෙන්ම තියෙන විශාලතම රටනේ... ඒ වගේම ඉන්දියාව සැක හිතුවොත් අපේ ක‍්‍රියා කලාපය ගැන, ඒක හොඳ දෙයක් නොවේ. අපේ විදේශ ප‍්‍රතිපත්තියේ හොඳම කාලය යුද්ධය තිබුණු සමය... අපි ඉන්දියාව පැහැදිලිවම තේරුම් අරගෙන, ඉන්දියාවත් සමඟ ඉතාමත් කිට්ටුවෙන් වැඩ කරපු නිසා අපේ ඉලක්කයට යෑමට හැකි වුණා.

gota2විදේශ රාජ්‍යයක් සමග අපි ගිවිසුම් අත්සන් කළ යුත්තේ මේ වගේ ප‍්‍රතිපත්තියක ඉඳලා... එහෙම නැතුව අපේ රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරන්න බැහැ... ජනතාවට, පාර්ලිමේන්තුවට හොරෙන් ඒවා කරන්නත් බැහැ. එවැනි ගිවිසුම් මේ ආණ්ඩුව අත්සන් තබා තිබෙනවා. අපි ඒවා පිළිබඳ සම්පූර්ණ සමාලෝචනයක් සිදු කරලා, ඒ රටවල් සමගත් සාකච්ඡා කරලා, රට පාවා දීලා තියෙන එම ගිවිසුම් සියල්ල අපි අහෝසි කරනවා...

ප‍්‍රශ්නය - ඔබ ජනාධිපති ලෙස පත් වුවහොත්, පත් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක‍්‍රියා කරන බවට මත පළවෙනවා... නමුත් ඒ සඳහා නෛතික වශයෙන් මාර්තු මාසය වෙන තුරු සිටිය යුතු වෙනවා...

පිළිතුර - මේ 19 සංශෝධනයට අනුව ජනාධිපතිවරයෙකු හට ආණ්ඩුව කරගෙන යන්න, පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. අද වෙනකොට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයටත් බහුතරයක් නෑ... අපේ පක්ෂයටත් බහුතරයක් නෑ. මේ නිසා මට බහුතර බලය හදාගන්න සිද්ධ වෙනවා. කිසිම අයුරකින් මේ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වලින් එහාට ගිහිල්ලා කිසි දෙයක් කරන්න මම කැමති නෑ,. මට එසේ කරන්න අවශ්‍ය නෑ. ඒ එක්කම නීති ගැටලූ වලට මැදිහත් වෙලා ඉන්න අවශ්‍යතාවකුත් නෑ.

ඒ එක්කම මේ එජාප ඇමැති මණ්ඩලය සමග මට වැඩ කරන්නත් බැහැ...ඒ නිසා අපි බහුතරයක් හදා ගන්නට අවශ්‍යයි. ඒ බහුතරයත් සමග අදාළ කාලසීමාව වෙනකම්., අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා.

ප‍්‍රශ්නය - එතකොට 19 වෙනි සංශෝධනයේ ඉරණම කුමක්ද...? එම සංශෝධනය ගෙනාපු පිරිසත් අද එයට එරෙහිව කතා කරනවා... ඔබ 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන පියවර කුමක්ද...?

පිළිතුර - 19 වෙනි සංශෝධනය පමණක් නෙමෙයි, මේ ව්‍යවස්ථාවේ අවුල් ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල නිවැරැදි කරන්න අපිට තුනෙන් දෙකේ බලය අවශ්‍ය වෙනවා. ඒ බලය ලබා ගන්න පුළුවන් වෙන්නේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදී... මහ මැතිවරණයකදී තුනෙන් දෙකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.

ප‍්‍රශ්නය - ඔබ ජනාධිපති වුණොත් භාර ගන්න රට නගා සිටුවීම අසීරු කාරණයක්.... දැනට මේ රටේ ආර්ථික වර්ධන වේගය අන්තයටම පිරිහිලා... කර්මාන්ත, කෘෂිකර්මය බිමටම ඇදගෙන වැටිලා... මේ රට නගා සිටුවීම කියන මැජික් එක ඔබට කරන්න පුළුවන්ද...?

පිළිතුර - ඕවා මැජික් නෙමෙයි. මේවා හරිම සරල ප‍්‍රායෝගික දේවල්... අපි මැජික් පෙන්නන්නේ නැහැ. හැබැයි කරන්න බැහැ කියන ඒවා කරලා පෙන්වන්නම්... අපි 2005 බලයට පත්වුණහම තිබ්බ රට මතකනේ.... දිනන්න බැහැ කියපු යුද්ධය අපි දිනලා පෙන්නුවා... හදන්න බැහැ කියපු පාරවල්, නගර, වරායවල්, ගුවන් තොටුපළවල් අපි හදලා පෙන්නුවා...

මේ සඳහා අවශ්‍ය නිසි අධ්‍යනයක් සහ ප‍්‍රතිපත්තියක් මත ඇති කර ගත් කැපවීමක්... දැන් බලන්න, පොඩි දෙයක් ගන්න... අපේ ගම්මිරිස් වලට ලෝක වෙළඳපලේ හොඳ මිලක් ලැබුනා. ඒ දවස් වල කිලෝ එකකට රු. 1400ක් ලැබුණා. දිස්ත‍්‍රික්ක හතක විතර මේක පැතිරිලා තියෙනවා, මිනිස්සු සෑහෙන්න ප‍්‍රමාණයක් මේකෙන් ජීවත් වුණා. මේකෙන් විදේශ විනිමයක් ආවා. රැකියා ප‍්‍රශ්න නැති වුණා, මිනිස්සු ජීවත් වුණා. මේ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව, තකන්නේ නැතුව පිටරටින් බාල ගම්මිරිස් ගෙනල්ල, ප‍්‍රතිඅපනයනය කරන්න ඉඩදුන්නා. එයින් අපේ ගම්මිරිස් සඳහා තිබුණු කීර්ති නාමය සම්පූර්ණයෙන්ම නැති වුණා... අපේ ගම්මිරිස් අපනයනයත් ඉවර වුණා. දිස්ත‍්‍රික්ක හතක පවුල් දහස් ගණනක ආදායම ඉවර වුණා... මේ වගේ දේවල් කිහිපයක් නිවැරදි කරපු ගමන් ආර්ථිකය පිබිදෙන්න පටන් ගන්නවා. අවුරුදු සිය ගණනක්, අපිට ප‍්‍රධාන විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තයත් ඒවගේම විනාශ කරල දැම්මනේ... අද තේ කම්කරුවාගේ ඉඳලා, කුඩා සහ මධ්‍යම තේ වතු හිමියන්ගේ ඉඳලා, තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ ඉඳල ලොකු සමාගම් දක්වා සම්පූර්ණයෙන්ම තේ ආර්ථිකය කඩා වැටිල. කුරුඳු, රබර් ආදියත් ඒවගේ....

ප‍්‍රශ්නය - අද පවතින බදු ක‍්‍රමය පිළිබඳව ජනතාව සහ ව්‍යාපාරිකයන් අතර දැවැන්ත විරෝධයක් ඇතිවී තිබෙනවා... මේ සඳහා ඔබ සතුව විසඳුමක් තිබෙනවාද...?

පිළිතුර - කවුරු හරි ව්‍යාපාරයක් කරගෙන යනකොට, එයාට එම ව්‍යාපාරයෙන් ආදායමක් උපයන්න නුපුළුවන් වෙන විදියට බදු ගැහුවොත් මොකක්ද වෙන්නේ... බදු ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට බදු ගෙවන්නේ නැතුව කල් යනවා. ඊළඟට ඒ ව්‍යාපාරය කඩා වැටෙනවා. ඊළඟට බදු කළමනාකරණය කරන නිලධාරීන්ට මේක සංකීර්ණ බදු ක‍්‍රමයක් හින්දා, එකතු කර ගන්න බැරි වෙනවා. ඒ නිසා දූෂණය ඇතිවෙනවා. මේ සියල්ල අවසානයේදී සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටෙනවා. අපේ ඉලක්කය විය යුත්තේ බදු නොවෙයි... නිෂ්පාදනය වැඩි කරන්න, ආයෝජන වැඩි කරන්න. ඒ එක්කම ඉතුරුවත් වැඩි කරනවා පාරිභෝජනයත් වැඩිවෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවනම්, ආයෝජන වැඩි වෙනවනම්, ඉතුරු කිරීම් වැඩිවෙනවනම්, පාරිභොජනය වැඩි වෙනවනම්, ආර්ථිකයත් ඉබේම දිරි ගැන්වෙනවනේ.... එතකොට ඇත්තටම එන ආදායම වැඩි වෙනවා. ආදායම අඩු වෙන්නේ නෑ. ආදායම වැඩි වෙනවා. ඒ එක්කම අපි සරල බදු ක‍්‍රමයක් ගෙන එනවා. එහෙම සරල බදු ක‍්‍රමයක් ඇති කළහම, ජනතාව, ව්‍යාපාරිකයන් බදු ගෙවනවා... ඇයි ඒ...? බදු ක‍්‍රමය හරි සරලයි... ව්‍යාපාරිකයො දන්නවා බදු ගෙවන්න ඕන කියලා. නමුත් ඔහුට ගෙවන්නට පුළුවන් වෙන්න ඕන. ඔහුට දරන්නට පුළුවන් වෙන්න ඕන. එතකොට කලට වේලාවට ගෙවනවා. එතකොට පරිපාලනයටත් පහසුයි. දූෂණයත් නැහැ... මේක තමයි බදු අඩු කිරීමේ ක‍්‍රමවේදයේ අදහස... එහෙම බදු අඩු කරන කොට අනිත් පැත්තෙන් විදේශ විනිමය ගලාගෙන ඒම ඉහළ නංවන්නට ඕනේ. ඒ කියන්නේ බෝග වර්ග වගේම, සංචාරක ක්‍ෂේත‍්‍රය ආදිය දිරිගන්වලා, නව ආයෝජන සඳහා රට විවර කරන්න ඕනේ... හතර වන කාර්මික විප්ලවය කියන එකත් දැන් ඉවර වෙලා... දැන් ඊටත් එහා ගිහිල්ලා...

මේක තාක්ෂණික විප්ලවයක්... දැනුම මුල් වූ ශත වර්ෂයක්.... අපේ ලොකු කර්මාන්ත පදනමක් නැහැනේ. ඒවගේම අපේ ලොකු සම්පත් නැහැනේ... අපිට තියන ලොකුම ශක්තිය තමයි, මිනිස් බලය. ඒ එක්කම අපේ බුද්ධිය... අපේ තරුණ තරුණියන් හරි පහසුවෙන්ම හරි විදියට යොමුකළොත් අපිට ලේසියෙන්ම පුහුණු කරන්න පුළුවන්. පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, මේ ක්ෂේත‍්‍රවල විශාල වශයෙන්ම අපිට ඉහළට යන්න පුළුවන්.

ප‍්‍රශ්නය - ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටට ඔබ පිළිබඳව විශ්වාසයක් තිබුණත්, එය දැඩි පීඩනයක් වේද යන සැකය සමහරු සමාජගත කරලා තියෙනවා.

පිළිතුර - ඔය කතා කරන්නේ යුද්දේ කාලය ගැනනේ... යුද්දෙන් පස්සෙ, එහෙම පීඩනයක් තිබ්බෙ නැහැනේ...ඒ යුද්ධය අපි ඇති කරපු එකක් නෙමෙයි.... අපි කළේ ඒ යුද්ධය ඉවර කරපු එක... ඒ බංකර්, මුර කපොලූ අපි දාපු නෙමෙයි.... අපි කළේ, යුද්ධය දිනලා ඒවා ඉවත් කරපු එක, අපි රට භාර දෙන කොට සියලූ මුරපොළවල් ඉවත් කරලා, ඕමන්තේ මුරපළ විතරයි තිබුණේ...ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මතක් කරලා බලන්න ජාතික රූපවාහිනී පරිශ‍්‍රය තිබුණු හැටි....රේල් පීලි වැලි කොට්ට මැදින් තමයි යන්න තිබුණේ... ඒවා අයින් කරලා, මාධ්‍ය ආයතනයකට සුදුසු පරිසරය හැදුවේ අපි... ඉස්සර පොලිස් ස්ථාන තිබුණේ කටු කම්ම්බි ගහලා, වැලි කොට්ට ගහලා වට කරලා... ඒ සියල්ල අයින් කරලා, ලස්සන කළේ මම.... එහෙමත් කරලා, අපි ජාතික ආරක්ෂාවත් තහවුරු කළා.... අපිට ලැබුණු බෝම්බ පිපිරිච්ච්, ත‍්‍රස්තවාදීන් හිටිය රට වෙනුවට ත‍්‍රස්තවාදය නැති බෝම්බ නැති රටක් අපි ඇති කළා... අපි එහෙම දුන්න රටට දැන් මොකද වෙලා තියෙන්නේ.... ගහන දවස කියලා, ගහන අයගේ දුරකථන අංක, ලිපිනයන් ආදිය දීලා, ගහන වෙලාව, ස්ථාන ආදියත් කියලා, අල්ල ගන්න බැහැ... බෝම්බ පිපිරෙනවා...එතකොට පීඩනයක් නැද්ද...? අපි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවා.... පාතාලය, කුඩු ජාවාරම, ත‍්‍රස්තවාදය ආදී සියල්ල තුරන් කරනවා... බියෙන් සැකෙන් පීඩනයෙන් තොර ආර්ථික සමෘද්ධියෙන් පිරි ශ‍්‍රී ලංකාවක් ලබන දාහත් වැනිදාට මේ රටට උදා කරනවා.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles